Sunday 11 April 2010

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් - පන්ති නායිකාවරණය


පුංචි පහේ මං මුලින්ම පහේ පන්තියෙදි අති රහස් ඡන්දෙන් පන්ති නායකයා විදියට තේරී පත්වුනු කතන්දරේ ඊයෙ කිව්ව මතකයි නේද?

මේ ඡන්දෙ තිබුණු පුදුම ලක්‍ෂණය වුනේ එලිපිට ඡන්දෙ ඉල්ලපු කෙනෙක් හිටියෙ නැති එකයි. සාමකුමාර යි නාලන්ද යි ඇරුණහම, අනෙක් හැමෝම තමන් කැමති පරිදි නිදහසේ ඡන්දෙ දුන්න.

අන්තිමේදී මං කොල්ලො දාසය දෙනාගේ ඡන්දෙන් දහයක්ම අරං පන්තියෙ නායකය වුනේ තුනෙන් දෙකේ බලේ නූලෙන් මිස් කරගනිමිනුයි.

අපේ මුණසිංහ ටීචර් ඊලඟට සැරසුනේ පන්ති නායිකාවරණයේ උණු උණු ප්‍රතිපල අප අතරට ගේන්නයි.

මෙන්න පන්ති නායිකාවරණයේ නිල ඡන්ද ප්‍රතිපලය
පියසීලී ඡන්ද 4
තමරා ඡන්ද 4
ජානකී ඡන්ද 4
ශ්‍රියානි ඡන්ද 5

මේ අනුව ශ්‍රියානී සිසුවිය පහේ පන්තියේ නායිකාව හැටියට තේරී පත්වුනා!

ප්‍රතිපල කියල අපේ ටීචර් ඒ ගැන සමාලෝචනයකුත් කළා. එයා කිව්වෙ පිරිමි ළමයි වගේ හොඳ විචාර බුද්ධියකින් යුතුව ගැහැණු ළමයි ඡන්දෙ දීල තිබුණෙ නෑ කියන එකයි.

ශ්‍රියානි දිනුව වුනාට ඉතිං ඒ එක වැඩි ඡන්දෙකින්, හැබැයි මුළු ඡන්දවලින් එයා අරගෙන තිබුනෙ 30% ත් අඩු ගාණක්.

හැබැයි, අනිත් කෙල්ලන් ට ඡන්දෙ දුන්නු අය, ශ්‍රියානිට විරුද්ධව ඡන්දෙ දුන්න කියල නම් ක්‍රියන්න අමාරුයි. මොකද මේ අති රහස් ඡන්දෙදි කවුරුත් අපේක්‍ෂකයො කියල කට්ටියක් හිටියෙ නෑනෙ කටවුට් ගහගෙන.

පස්සෙ අපිට කෙල්ලන්ගෙන්ම ආරංචි වෙච්ච විදියට මෙන්න මේකයි වෙලා තිබුණෙ.

අර නාලන්දයි, සාමකුමාරයි, දෙන්නට දෙන්නා ඡන්දෙ දෙන්න කතාවුනා වගේ කෙල්ලොත් කතාවෙලා තියෙනව ඡන්දෙ නෙ විදිය.

අපේ පන්තියෙ කෙල්ලන්ගෙ පැත්තෙ පේලි පහක් තිබුණ. එක පේලියක කෙල්ලො හතර දෙනෙක් ගානෙ හිටිය. එක එක පේලියෙ හිටපු කෙල්ලො තමන්ගෙ පේලියේ එක්කෙනෙකුට ඡන්දෙ දෙන්න කතාවෙලා. මේ කියන දවසෙ අන්තිම පේලියෙ හිටියෙ එක කෙල්ලයි. ඉතිං, එයත් ඊට ඉස්සරහ පේලියේ නියෝජිතයා වුණු ශ්‍රියානිට ම ඡන්දෙ දීල.

දැන් තේරෙනව නේද පන්ති නායිකාවරණය ප්‍රතිපලවලින් පේන විදියේ තීව්‍ර තරගයක් වුනේ කොහෙමද කියල?

කොහෙමින් කොහොම හරි කතන්දරකුමාර පන්ති නායකයා. ශ්‍රියානි පන්ති නායිකාව. හැබැයි මටයි හම්බ වුනේ පන්තියෙ කබඩ් එකේ දාල හිටිය ඉබ්බගෙ යතුර.

බුදු අම්මෝ ඒකෙ තිබුණු ජාති. මට ආසම හිතුන එක තමයි මිනී ඔළුව. ඒ එක්කම තිබුණ "නාග කුමරිය" යි, "පුදුම දූපත" යි කියන පරණ චිත්‍රකතා පොත් දෙක. යාරේ කෝදුවක්, ලී කවකටුවක් වගේ තවත් මෙකී නොකී බඩු තිබුණ කෞතුකාගාරයක් ඒ කබඩ් එක.

මතකනේ මුණසිංහ ටීචර් පන්ති නායකයාට පවරපු වැඩ කොටස? පන්ති නායකයගෙ වගකීම් වෙන්නේ පන්තියෙ කාමරෙන් පිට මිදුල හරිය පිරිසිදුව තබා ගැනීම සහ අල්ලපු වත්තේ ළිදෙන් වතුර කළයක් ගෙන ඒම.

මං ටීචර් කිව්ව විදියට සේරම කොල්ලන් ගේ නම් දාලා වතුර ගේන්නයි, මිදුලේ කුණු අස් කරන්නයි කාල සටහනක් එදාම හදල කබඩ් එකේ දොරේ මැලියම් වලින් ඇලෙව්ව.

පහුවදා උදෙන්ම නැගිටපු මං ඉස්කොලෙට ආවෙ, අම්මගෙ නූල් රෝදෙකින් කඩාගෙන එකට අඹරපු නූලකින් මට බාරවුුණ කබඩ් එකේ ඉබ්බගෙ යතුර කර වටේ එල්ලගෙනයි!

මං එනකොට පන්තියෙ හොද දර්ශණයක්. ඒ විස්තරේ හෙට දාඤ්ඤං!

කතන්දරකාරයා
ප/ලි: මේ කතා කියන අව් අස්සෙ අන්න බොලේ සිංහල බ්ලොග්කාරයෙක් පාරලිමේන්තුවට ගිහිං!!!

9 comments:

  1. එහෙනම් එහෙමයි ගැහැණු ළමයි නේද? නායිකාව තමන්ගෙ පේළියෙම කෙනෙක් වෙන එක හොඳයි කියල ගැහැණු ළමයි හිතන්න ඈති කියල මට හිතෙනව.

    ReplyDelete
  2. හා හා පුදුමයි කෙල්ලො කතා කරගත් විදිහට වැඩේ කරලා තිබුනා

    [{ මේ ශ්‍රියණි දැන් මක්කැයි කොරන්නේ ... නිකමට වගේ ... අහන්නේ ....}]

    ReplyDelete
  3. අනෙ කතා අයියා අපෙ පන්තියෙ විස්තරෙද මන්දා මෙ කියන්නෙ.. අපෙත් උන්නු ගොබ්බියො ටික ඔහොම්මමයි .. පේළි පේළි අතර පුදුම ඉරිසියවක්.. තරඟයක්.. හැබැයි පේළියෙ ඉන්න කස්ටියනම් පුදුම වට්ටි අම්මලා ටිකක්.. පෙළියෙ ඉන්න ලස්සනම කෙල්ල කොල්ලන්ගෙ පැත්තට විරුද්ද කොණෙ.. එහා පන්තියෙ කොල්ලන්ට ලං වෙලා..( හක්ක හක්ක..)
    කතන්දරෙ ඔයා මෙහෙම ලියන්න පුරුදු වෙලා දවසක හොද පාඩමක් ඉගෙන ගන්නවා.. බැරි වෙලාවත් ලියන වෙලාවක කරන්ට් එක වගෙ ගිහිල්ලා.. එදා දවසෙ පොස්ට් එක දාන්න බැරි උනොත් එහෙම ඉවරටම ඉවරයි..

    ReplyDelete
  4. මේ කතන්දර කොච්චර නං ආස්වාදජනකද?

    කතන්දර දැං පෙන් ඩ්‍රයිව් එක බෙල්ලෙ එල්ලං ඉන්නෙ ඒ දවස් වල ඉබි යතුර බෙල්ලෙ එල්ලං හිටපු හොද පුරුද්ද හින්ද වෙන්න ඈති නේද?

    ReplyDelete
  5. කතන්දර කුමාර ශ්‍රියානි ළමයට ලයින් දැම්මා කියන්නේ ඇත්තද?

    ReplyDelete
  6. පංතියට සුභ අනාගතයක් :) :) :)

    ReplyDelete
  7. කතන්දරකුමාර ත් සෙල්ලම් නෑ

    ReplyDelete
  8. @ All

    සියළු දෙනාටම
    කඩේ යන්නට තිබේ. අද පොස්ට් එක දාන්නටද තිබේ. එනිසා කෙටියෙන් සැමට පිළිතුරු මෙන්න.

    @වත්, වැප්, රවා
    කෙල්ලන්ගේ ඡන්ද ප්‍රතිපල වගේ වුනේ උන්ගේ මෝඩකමකට නොව ටීචර් ගේ රහස් ඡන්ද ක්‍රමය නිසාය. අද දාන කොටස බලන්න.

    @රවා - ලයිට් ගියොත් මං ඉටිපන්දමෙන් ලියනවා. හික්ස්.

    @ බුද්ධි
    ඇත්තටම මේ වෙලාවෙත් මං ඉන්නෙ බෙල්ලෙ මාළෙ දාගෙනයි.

    @sameerausa
    කට කට, තව කතන්දර දහයක් ලියන්නයි වෙන්නෙ ඔහොම ගියොත්.

    @ හසිත
    ඒ දවස්වල අපේ ආදර්ශ පාඨය - සූර්යාලොකයෙන් පුෂ්පයෝ පිබිදෙති, විද්‍යාලොකයෙන් ශිෂ්‍යයෝ පිබිදෙති!

    @ දුකා
    දුකා ගෙ වැඩ අපි නොදන්නවැයි.

    ReplyDelete
  9. පේලිවාදය Linism. Another manifestation of the backward tribalism that pervades the rural Sinhalese culture. Related: පිටගම්කාරයා, ගමේ ගෙඩි ගමේ කොල්ලන්ට

    I pity us.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.