Wednesday, 31 March 2010

රත්නායක ජෝක්ස් - a new classification of jokes


අද කතන්දරේ ජෝක්ස් ගැනයි. හැබැයි මේක ජෝක් එකක් කියල නං හිතන්න එපා, හරිය?

දන්නව නේද අපේ සමහර කෂ්ටිය ඉන්නව ඒ ගොල්ලන්ට බොහොමයක් දේවල් වගේම ජෝක් එකක් වුනත් ටියුබ් ලයිට්!

ඔය ටියුබ් ලයිට් කතාව තේරුණේ නැති අයට පොඩ්ඩක් විතර විස්තර කරල දෙන්නංකො මුලින්ම.

ටියුබ් ලයිට් එකක් පත්තු වෙන්නෙ ස්විච් එක දාල ටික වෙලාවක් ගියාට පස්සෙනේ. ජෝක් එකක් ටියුබ් ලයිට් කියන්නෙ අහල ටික වෙලාවකට පස්සෙයි ඒක තේරෙන්නෙ කියන එකයි.

ඒ එක්කම හැබැයි මේකත් මතක තියාගන්න. බෙට(ර්) ලේට් දැන් නෙව(ර්) කියල කියනවනෙ. ඒ වගේ, පරක්කු වෙලා හරි ටියුබ් ලයිට් එක පත්තුවෙනව නම් ඒ මදෑ. ඒකටත් එක්ක, ස්ටාටරේ ගහල ගිහිල්ල නං, ස්විච් එක දැම්මත්, කරන්ට් තිබුනත්, සැමදා අඳුරෙ තමයි!

ඔය ජෝක් සාමාන්‍යයෙන් ටියුබ් ලයිට් වෙන කෂ්ටිය ඒ වගේ එක ජෝක් එකකට තුන් පාරක් හිනාවෙන බව දන්නව නේද? ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි.

  1. ඔන්න ජෝක් එක අහපු ගමං, අනිත් සේරම අය හිනාවෙන හින්ද හින්ද මුලින්ම හිනාවෙනව.

  2. ඊ ලඟට, ටියුබ් ලයිට් එක වැඩ කරල, ජෝක් එක ඇත්තටම තේරිලා, දෙවෙනි පාරට හිනා යනව.

  3. පස්සෙ ඔන්න හිතෙනව, මේ ජෝක් එකට මං මුල්ම සැරේ හිනාවුනේ ඇත්තටම ජෝක් එක තේරෙන්නෙ නැතුව නේද කියල. තුන්වෙනි පාර හිනාවෙන්නෙ ඒකටයි. ඒ කියන්නෙ තමන්ටමයි.

දැන් ඉතිං අපේ ප්‍රධාන කතන්දරේට බහිමුකෝ.

රත්නායක කියන්නෙ මගෙ හොඳ මිත්‍රයෙක්. අර, කීප් අ සයිඩ් ක්‍රමයට අන්තර්ජාලෙන් උයන්න ඉගෙන ගත්තෙ ඔන්න පොර තමයි.

මිනිහටම ආවේණික වුනේ නැතිවුනත්, ඔය රත්නායක ජෝක් කියල මං කියන්නෙ අපේ රත්නායක මහත්තය නිතරම කියන කරන ආකාරයේ විහිළු තහළු වලටයි.

විහිළු වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවනේ.

මුලින්ම, "සිරා ජෝක්ස්" සහ "මෝඩ ජොක්ස්".

"සිරා ජෝක්ස්" කියන්නෙ ජෝක් එක දාන එකා හිනාවෙන්නෙ නැතුව අනිත් අයට හිනා යනවනම් ලු. "මෝඩ ජෝකස්" කියන්නේ ජෝක් එක දාන එකා හිනාවුනත් අනිත් අයට හිනා යන්නෙ නැති ජෝක් වලටයි.

ඊලඟ වර්ගීකරණය තමයි "ක්ලැසික් ජෝක්ස්" සහ "පඩ ජෝක්ස්".

"ක්ලැසික් ජෝක්ස්" කී පාරක් අහල තිබුණත් අහන අහන සැරේට හිනා යනව. "පඩ ජෝක්ස්" කියන්නෙ හිනා වෙනව තියා එක පාරක්වත් අහගෙන ඉන්න බැරි ඒවට.

අනිත් වර්ගීකරණය තමයි "රත්නායක ජෝක්ස්" සහ "රත්නායක නොවන ජෝක්ස්".

සාමාන්‍යයෙන් අපි ජෝක් එකක් දාන්නෙ වෙනත් කෙනෙකුට හිනාවෙන්න බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ. සමහර වෙලාවට එකෙකුටම කොච්චර හිනාවෙනවද කියනව නං ඌව බයිට් එකට ගත්ත වගෙ වෙනව. අනුන්ගෙ වරදක් ගැන හරි, වැරදීමක් ගැන හරි, අඩුපාඩුවක් ගැන හරි, හිනාවෙන එකට තමයි පොදුවේ අපි ජෝක්ස් කියල කියන්නෙ. මෙන්න මේවා තමයි "රත්නායක නොවන ජෝක්ස්" කියල වර්ගීකරණය වෙන්නේ.

"රත්නායක ජෝක්ස්" කියන්නෙ මේ පොදු ජෝක්ස් වර්ගයට අයිති නොවෙන ඒවා. ඒ කියන්නේ, අනුන්ට හිනාවෙනව වෙනුවට තමන්ටම සරදම් කරගන්න ජෝක්ස්.

"රත්නායක ජෝක්ස්" දාන මං දන්න එකම කෙනා අපේ රත්නායක මහත්තය තමයි. මෙන්න පොඩි උදාහරණ කීපයක්.

මමඃ මචං උඹ හරක් මස් කනවද?
රත්නායකඃ අනේ නෑ බං, හරක් මස් කනවයැ, අපි කන්නෙ තණකොල නෙ?

මමඃ මචං, මට මේක කොහොම හරි හෙටම කරල දීපං.
රත්නායකඃ අපෝ බෑ බං, හෙට මං බිසි. අප්‍රියෙල් පලමුවෙනිද නේද? යකෝ මනුස්සයෙකුට උගේ උපන් දිනේ දවසෙවත් විවේකයක් නැද්ද?

මමඃ මොනවද බං උඹට තියෙන වැඩ රාජකාරි, උඹ ඔච්චර බිසිවෙන්න?
රත්නායකඃ ඇයි බං උඹ දන්නෙ නැත්ද, බල්ලට හෙමින් ගමනකුත් නෑ, ඇති වැඩකුත් නෑ.

තේරුණා නේද රත්නායක ජෝක්ස් කියන්නෙ මොනවද කියල? නැත්තං මේ ටිකත් කියවන්නකෝ.

ඔය කලින් තිබුණු කතාබහම අනිත් පැත්තට වුණා නම්, මෙන්න මෙහෙමයි.

රත්නායකඃ මචං උඹ හරක් මස් කනවද?
මමඃ අනේ නෑ බං, මං කොහොමද උඹේ මූණ බලාගෙන හරක් මස් කන්නෙ.

රත්නායකඃ මචං, මට මේක කොහොම හරි හෙටම කරල දීපං.
මමඃ ආ, හෙට අප්‍රියෙල් පලමුවෙනිද උඹේ උපන් දිනේ හින්ද නිවාඩුවක් දාන්නද යන්නේ?

රත්නායකඃ මොනවද බං උඹට තියෙන වැඩ රාජකාරි, උඹ ඔච්චර බිසිවෙන්න?
මමඃ උඹ හිතන්නෙ මාත් උඹ වගේම හෙමින් ගමනකුත් නෑ, ඇති වැඩකුත් නෑ කියලද?

දැන් තේරුණා නේද රත්නායක ජෝක්ස් කියන්නෙ මොනවද කියල?

කතන්දරකාරයා

ප/ලි:
දැන් නං රත්නායක කාරය පොරගෙ නම වෙනස් කරල වගේ. ඉස්සර වගේ රත්නායක ජෝක්ස් දාන්නෙ නෑ!

Tuesday, 30 March 2010

මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ


කතන්දරකාරයාගෙ මතකය සාමාන්‍යයෙන් ඉතා හොඳයි. නැත්තං කොහොමද මේ පරණ කතන්දර ලියන්නේ ලවක් දෙවක් නැතුව? උදාහරණයක් විදියට කියනව නං 1992 මැයි 28 වෙනිදා වගේ ඈත දවසක මොනවද කලේ වගේ දේවල් පවා මට හොඳට මතකයි. සමහර විට මගේ පරණ මිත්‍රයො පුදුම වෙනව මං කියන පරණ කතා අහල.

නමුත් ඉතිං කාට කාටත් අමතක වෙන දේවල් තියෙනවනේ!

ඔන්න පහේ පන්තියෙදි තිබුණු ජනප්‍රිය පාසැල් තරග විභාගෙදි ගණං වලට තිබුුණ එක ප්‍රශ්ණයක් තමයි, භාග සංඛ්‍යා කිහිපයක් අවරෝහණ ක්‍රමයට සකසන්න. පොදු ගුණාකාරය අරගෙන ඔය වැඩේ කරන විදිය නොදන්නේ කවුද? ඒත් පොඩි ප්‍රශ්ණයකට තිබුණෙ අවරෝහණ කියන්නේ වැඩිවීගෙන යන පිළිවෙලටද, අඩුවේගෙන යන පිළිවෙලටද කියන එක මට අමතක වීමයි. භාග සංඛ්‍යාවක උඩ තියෙන්නේ ලවය ද නැත්තම් හරය ද, හෘදය වස්තුවේ උඩින් තියෙන්නේ කර්ණිකාව ද නැත්තම් කෝෂිකාව ද, පිරිසිදු ලේ යන්නේ ධමනිවල ද නැත්තම් ශිරාවල ද වගෙ දේවල් තමා මට නිතරම අමතකවෙන්නේ.

හැබැයි පුතෝ ඕව පොඩි පොඩි දේවල්. හොඳ හොඳ විසඳුම් පවා තියෙනවනේ!

හැබැයි ක්‍රමාණුකූලව අමතක වෙන්න පටන් ගන්නේ නම් කසාද බැන්දට පස්සේ කියලයි මට හිතෙන්නේ. ඔන්න ඉස්සෙල්ලාම ගෙදර බොස් ගේ බර්ත් ඩේ එක අමතක වෙනව. ඊලඟට වෙඩින් ඇනිවර්සරි එක අමතක වෙනව.

හැබැයි පුතෝ ඕව නං අන්තිම දරුණු දේවල්. අර ආරෝහණ, අවරෝහණ, ශිරා, ධමනි වගේ නෙමේ!

ඉතිං දැන් ටික කාලෙකට කලින් මටත් ආව ඔය අමතක වෙන ලෙඩේ. කෙටිකාලීන මතකය හොරයි. මේකට හේතුව නම් දිගු කාලීන මතකය ලියන්න හාඩ් ඩිස්ක් එකේ හැම සෙක්ටර් එකක්ම, හැම ක්ලස්ටර් එකක්ම වගේ පාවිච්චිකරල තියෙන නිසා බවයි මගේ අදහස.

මේකට ඉතිං, හාඩ් ඩිස්ක් එක ඩී-ෆ්‍රැග්මන්ට් කලාට මදි, ජන්ක් ෆයිල්ස් අයින් කරල, පරණ ෆයිල් ටිකක් සිප් කරලවත් දාන්න ඕනැ.

ඔය අමතකවීම් පටන් ගත්තු මුල් කාලෙ දවස් තුන හතරක්ම ඔෆිස් එකෙන් පිටත්වෙලා කෝච්චියෙන් ඇවිල්ල බැස්සහමයි මතක් වුනේ යතුරු කැරැල්ල ඔෆිස් එකේ බව. මේකට හේතුව තමයි මගේ යූ.එස්.බී. ඩ්‍රයිව් එක අමුණල තිබුනෙ ඒ යතුරු කැරුල්ලට වීම.

දැං ඒක වෙනම බෙල්ලෙ එල්ලගෙනයි ඉන්නෙ මාලයක් වගේ.

ඉතිං අද කතන්දරේට මුල් වුණු සිද්ධිය මේකයි.

දැන් මාස නමයකටත් වැඩිය ඉස්සර දවසක මං ඔෆිස් එක ලඟ පාරේ ඇවිදගෙන යන ගමං ගොඩ වුනා පොත් කඩේකට. එතනදි මං දැක්කා අපූරු පොතක්.

"ඔබේ මතකය දියුණු කරගන්න!"

එහෙං මෙහෙං පෙරලල පොත බලන කොට දැක්ක විවිධ ක්‍රම සහ විධි, චාට්, බුද්ධි පරීක්‍ෂණ ප්‍රශ්ණ වගේ වැඩ කෝටියක් තියෙනව.

ඉතිං සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ගත්ත පොත සුද්ද වගේ.

ඔන්න දැං මාස පහකට විතර කලින් බෑග් එකක් අස්කරන කොට හම්බ වුනා මේ පොත ඒක අස්සෙ තිබිල.

වහාම අරගෙන හොඳට පේන්න මේසෙ උඩ තියාගත්ත, එදාම රෑට කියවන්න පටන්ගන්න හිතාගෙන.

මේ කතාව ලියන්නේ වැඩ ඇරිල ගෙදර යන ගමං කෝච්චියේදි.

ගෙදර ගිය හැටියෙම අර "ඔබේ මතකය දියුණු කරගන්න!" පොත හොයාගෙන බලන්න ඕනැ.

කතන්දරකාරයා

Monday, 29 March 2010

කතන්දරකාරයා දිව්‍යලෝකෙ ගිය හැටි විස්තරය: ද ලාස්ට් එපිසෝඩ් - Day trip to the heaven: Last episode


මතකයි නේද මෙතෙක් කතාව?

ඔන්න අර අපේ ඒකෝන්කාරය පොරගෙ ඊලඟ වීඩියෝ එක ෆිල්ම් කරන්න එනවයි කියන කලවානේ පන්සලේ බිතු සිතුවම් වල ඉන්න දිව්‍යාංගනාවන් දැකල මටත් හිතුන නන්ද කුමාරය වගෙ මේ නවදැලි හේනෙම ඉන්නෙ නැතුව පොඩ්ඩක් දිව්‍යලෝකෙ පැත්තෙ ගිහින් බලල එන්න.

කවියෙන ලියවුනු, මගේ ගමන් විස්තරේ මුල් කොටස, දිව්‍යලෝකෙ ගැන මූලික පරිසර වර්ණනාවක්, මෙතනින් බලන්න පුළුවනි.

දෙවෙනි කොටසින් මං කියන්නෙ දිව්‍යලෝකෙ දෙවිගොල්ල රන් කරන ඔරැකල් 10g ඩේටාබේස් එක ගැනයි. අපේ පින් පව් සේරම ලියවෙන්නෙ ඒකෙ.

එදා මං එහෙ යන දවසෙ දිව්‍යලෝකෙ මහ රජ්ජුරුවන් එහෙ කලාකරුවන්ට පොඩි පැදුරු සාජ්ජයක්. දෙයියො ඉන්වයිට් කලා, මාත් ඉතිං පොඩි ජින් එකක් වත්කරගෙන පැදුරට සෙට්වුනා. ඒ විස්තරය මෙතනින් බලන්න.

අද මගේ දිව්‍යලෝක ගමන් විස්තරයෙ අවසාන කොටසයි.

***

පැදුරට සෙට්වෙලා මං බලන කොට කවුද මේ මියුසික් කාරයො කියල, මෙන්න බොලේ අපි අඳුනන දෙන්නෙක්ම!

වීනාවක් නිකට යට තද කර අල්ලං
ගුත්තිලකාරයා පෙන්නුව හොඳ සෙල්ලං
මූසිලකාරයා වී නැත තව සල්ලං
සංගීතයට බත්වත් නොම කති බල්ලං

***

පැදුරෙ ඉඳන් එක දිගටම සින්දු කියන එකක් ලේසි පාසු වැඩක් නෙමේනෙ. ඉන්ධන තියෙන තරමට තමයි කොයි හපුතල් කන්දත් නගින්න පුළුවන්.

සින්දු වතුර බීමේ උවමනා වෙනා
පැදුරු සාජ්ජය මදකට නතර වුනා
ලොකු අඩුවක් සභාවේ හොඳ හැටි පෙනුනා
දෙවිපති ගෙන් විමසීමට මට හිතුනා

මෙතන නළුමන්ට්ස් ලා, නිලිමන්ට්ස් ලා, කලාකාරයො, වන්දිබට්ටයො, කාරියකරවන ආරියරත්නල සේරම පිරිල හිටියත් මට නං පැදුරු සාජ්ජෙට සෙට් වෙලා හිටිය අයගෙ ලොකුම ලොකු අඩුවක් පෙනී ගියා.

***

මං කෙලින්ම ගිහින් ඇහැව්ව මහ එකාගෙන්ම.

සල්ලි නමින් මනු ලොව කවුරුත් දනිතී
මල්ලි ඔබේ අද මෙම සබයෙහි නොමැතී
කොතැනකදෝ ඒ මහ උත්තම ගුණැතී
ඔබෙ සොහොයුරා දකිනට අප සැම කැමතී

දෙයියන්ගෙ මල්ලි පේන්න හිටියෙ නැති එක නං එතන ටක් ගලා කැපිල පෙණුන. මොන ලොක්කද ඉතිං තමන්ගෙ මල්ලිලව පිරිවරාගෙන ඉන්නෙ නැත්තෙ?

***

මේක ඇහැව්ව විතරයි, මෙන්න බොලේ අපේ දෙයිය පොරට නැග්ග නහුතෙටම.

මගෙ ඒ පැනෙන් දෙවිපතිදුට තරහ ගියා
රැව්වා මදෙස මා දා අළු කරන නියා
"උදය සවස නමදින අත් මුදුන් තියා
දැන ගනු නරය! ඒ මා හැදු මගේ පියා!"

***

මළ සේක! කිව්වළු. කව්ද දෙයියනේ ඔය කතාවක් දැනං හිටියෙ? අපි හිතාගෙන හිටියෙ සල්ලි කියන්නෙ දෙයියං ගෙ මල්ලි කියලනෙ. දැං බැලින්නං මේ තාත්තය කියන්නෙ!

මනු ලොව දනන් දෙවියන් වැඳ පුදන්නේ
දෙවියෝ සල්ලි පිහිටෙනි නිති රැකෙන්නේ
කුමටද අතර මැදියෙකු මත යැපෙන්නේ
සල්ලි වලට මින්මතු මා වඳින්නේ

සාදු, සාදු, සාදු !!!

***

මේකෙන් ඉතිං එකක් පැහැදිලියි. සල්ලි කියන්නෙ දෙයියංගෙ තාත්ත නං, ඒ කියන්නෙ, දෙයියංව ජාතක කරල, හදල, වඩල, ලොකු මහත් කළෙත් "සල්ලි" කියන එක නේද?

තවත් කතන්දරයකින් හැකි විගස හමුවෙමු!

කතන්දරකාරයා

Sunday, 28 March 2010

Akorn ලගෙ අපේ දිව්‍යලෝක ගමන් විස්තරේ : One day trip to heaven - Travelogue


මේ සේරම වුනේ අර ඒකෝන් කියන සින්දු කියන පොර හින්දනෙ. පොර ගෙ මීලඟ වීඩියෝ ක්ලිප් එක ෂූට් කරන්න යන රත්නපුර කලවානෙ පන්සලේ බුදු මැදුරෙ ඇඳල තියෙන දිව්‍යාංගනාවො දැක්ක දවසෙයි මට මේ දිව්‍යලෝකෙ ගමන සෙට් වුනේ.

කවියෙන් විස්තර කෙරෙන මේ කතන්දරේ මුල් කොටස මෙන්න මෙතන.

දෙවන කොටස මෙතනින් බලන්න.

අද තුන්වෙනි කොටස.

දිව්‍යලෝක සැප කියන කතාව අහල තියෙනව නේද? නමුත් ඕකෙ නියම තේරුම දන්නවද? මං එදා දිව්‍යලෝකෙ යනකම්ම හිතං හිටියෙ ඔය ෆුල් ඔප්ෂන් මොන්ටෙරෝ එකක යන එක, ඩයලොග් ටී.වී. වැලිවු ප්ලස් බලන එක, වීඩියෝ ෆෝන් එකක් පාවිච්චි කරන එක, ඉඳල ඉඳල හරි ජොනී වෝකර් එක්ක වෝක් එකකට යන එක වගේ දේවල් තමයි දිව්‍යලෝක සැප කියන්නෙ කියල.

ඇත්තටම කතාව තේරුණේ එහෙ ගිය දවසෙයි!

දෙව් ලොව සැප කියන එම යෙදුමෙහි අරුත
නිසැකව පසක් විය දෙව්පති දුටු මොහොත
සුරඹුන් සත් දෙනෙකු ගේ සුකොමල ලලිත
කම් සුව සිතූ ලෙස ලැබ ඔහු කල් යවත

අන්න දිව්‍යලෝක සැප! දිව්‍යරාජෝත්මයො කියන්නෙ ඔය මනුස්ස ලොකේ ඉන්න රජවරු වගේ ද?

***

මාත් ඉතිං දිව්‍යරාජෝත්මය ගෙ ධවල මන්දිරය පැත්තේ ගිය එකේ නිකං පැත්තකට වෙලා ඉන්න ඕනැ නෑනෙ කියල හිතල පොර ගෙ පõඬුපුල් ආසනේ පැත්තට ගිහින් පොඩි සැලියුට් එකක් දැම්ම.

ලද අවසරෙන් ගොස් මා දෙව්පතිඳු බලා
එකහත් පස්ව ඉඳිමින් ආචාර කලා
දෙව්පති පඬුපුලෙන් මදකට ඉවත් වෙලා
මධුපානෙකට මට ආරාධනා කලා

***

අන්න නියම දිව්‍යරාජෝත්තමයො! අනං මනං නෑ කෙලින්ම පොඩ්ඩක් සප්පායම් වෙන්න මට කතා කළානෙ! කියවල බලන්නකො එතන තිබුණු බෝතල් ජාති ටික විතරක්. නිකං තිතට මත පාටි එකක් වගේ.

කළු ලේබල ජොනී වෝකර්ලගෙ බීම
වොඩ්කා ගිනස් ජින් ෂැම්පේන් හැම දේම
කැවියා පොකිරිස්සො සහ තව රස කෑම
පිරිලා තිබුනි නැත අඩුවක් කිසි සේම

***

ඉතිං අපි දෙන්නම පොඩි ෂොට් එකක් වක්කර ගෙන පොඩ්ඩක් සෙට් වුනා. එදා දිව්‍ය ලෝකෙ ලොකු බොස් ගෙ ගෙදර පොඩි පැදුරක්. ගායකයො කලාකාරයො ප්‍රබුද්ධයො, සුප්‍රබුද්ධයො එතන වැහි වැහැල හිටිය.

ජින් සහ ටොනික් මද පමණින් දමාගෙන
දෙහි පෙත්තකුත් එහි කොනකින් ඔබාගෙන
දෙවි ඇරයුමෙන් පැදුරක දණ නමාගෙන
සාජ්ජයක් දැමු වෙමු රස විලෝපන

ඒ පැදුරෙ විස්තරෙයි, එතනින් පස්සෙ මොකද වුනේ කියල හෙට සේරම ලියන්නං, අනිව ඩෙෆා!

-කතන්දරකාරයා

ප/ලි:
අවසාන කොටස මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/03/day-trip-to-heaven-last-episode.html

Saturday, 27 March 2010

Akon ගෙන් පසු කතන්දරකාරයා ගිය දෙව්ලෝ ගමන - දෙවන කොටස


මතකනේ මං ඊයෙ කියන්න පටන් ගත්ත කතන්දරේ? ඒකෝන් කාරය තමන්ගෙ මීලඟ වීඩියෝ ක්ලිප් එක ෂූට් කරන්න එනවය කියන කලවානෙ පන්සලේ තියෙන දිව්‍යාංගනාවන් ගෙ සිතුවම් දැකල මං දිව්‍යලෝකෙ ගමනකට සෙට්වුනා.

ඉතිං මං මුලින්ම කලේ අවට සිරි නරඹන්න යන එක. ඊයෙ කිව්වනේ ෂොපින් ගිය හැටි.

එතනිං මං ගියේ ඔෆිස් කම්ප්ලෙක්ස් එකක් බලන්නයි.

මහ කන්තෝරු පිහිටා ඇත සතර දෙසේ
ලොකු පොඩි දෙවිවරුන් සේවය කරති තොසේ
තැන තැන අයිස් කැට පිරි භාජන දිලිසේ
දෙවිවරු අයිස් ගසතිය තම රිසි විලසේ

කන්තෝරු ඇතුළෙ හැම තැනම වගේ තියල තියෙන අයිස් නිසා දෙයියො ඕනෑ කෙනෙකුට නිදහසේ අයිස් ගහන්න පුළුවනි.

***

ඔන්න දැන් අහගන්න දිව්‍යලෝකෙ ඩේටා බේස් සිස්ටම් එක ගැන. රිමෝට් ඩේටා කලෙක්ෂන් පොයින්ට් තියෙනව ලෝකෙ හැම දේවාලෙකම, හැම පල්ලියකම.

හැම වැඩ කුටියකම කන්තෝරුව ඇතුලේ
සුවිසල් පරිගණකයන් සවිකර සුදිලේ
මනුලොව සතර දෙස නෙක පල්ලියෙ දෙවොලේ
හැම යැදුමක්ම ලිය වෙති පද්ධති ඇතුලේ

***

අපේ කෂ්ටිය කරන පූජා, දාන පඬුරු, වෙන බාර හාර, කරන යාඥා, කන්නලව් ඔය සේරම ගැන ඩේටා ඔන්ලයින් ම කලෙක්ට් වෙලා මහා ඔරැකල් ටෙන් ජී ඩේටා බේස් රාජයා රියල් ටයිම් අප්ඩේට් වෙනව.

පිදෙන පඬුරු පූජා බඩු දස දහසෙන්
සටහන්වේ දත්ත ගබඩාවල රහසෙන්
සම්පාදිත වාර්තා පින් පව් විලසෙන්
උපකාරක අංශ වෙත යොමු වෙයි විගසෙන්

අපි විභාග පාස් වෙනවද, අපි යන ඉන්ටර්වීව් හරියනවද, අපි ගන්න සංවර්ධන ලොතරැයි ඇදෙනවද, අන්තිමේදි අපි මැරිල යන්නෙ දිව්‍යලෝකෙටද, අපායටද කියල එක, ඔය සේරම තීරණය වෙන්නෙ ඔය ඩේටා මාට් වලින් එන බිස්නස් ඉන්ටෙලිජන්ස් වලින් තමයි.

***

කවද හරි හිතිල තියෙනවද ඇයි අපි දානයක් දුන්නහම, පින්කමක් කළාම දෙයියන්ටත් පින් දෙන්නෙ කියල.

ඕක මට හරියටම තේරුණේ මෙදා පාර දිව්‍යලෝකෙ ගිය වෙලාවෙයි.

පින් දෙන විටදි දෙවියන් හට හුදී දනා
පින් ගිනුමකට ඒ සැම පින් එකතු වෙනා
මාසික වැටුප ලෙස දෙවි කැල සියළු දෙනා
"පින් පඩි" ලබන හැටි දුටු මට දැනුදු හිනා

දෙයියො සේරම ජනසවි, සමෘර්දිකාරයො නෙ බලාගෙන යනකොට.

කතන්දරකාරයාගේ දිව්‍යලෝකෙ ගමන ගැන තව හොඳ හොඳ විස්තර කියවෙන කවි ටිකක් එක්ක ආයෙ හෙට මුණ ගැහෙමු.

-කතන්දරකාරයා

ප/ලි:
තුන්වෙනි කොටස මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/03/akorn-one-day-trip-to-heaven-travelogue.html

Friday, 26 March 2010

ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven


සමහර බෞද්ධ පන්සල්වල එක්කො ටොප්ලස් නැත්තං කල්චරල් ට්‍රෑන්ගල් මාක් එකේ දුහුල් සළු ඇඳගත්තු දේවතාවියන් බුදුන් පුදන හැටි දකින කොට අපේ ඒකෝර්න් පොර ගෙ වීඩියෝ එක නිකං මොන්ටිසෝරි වැඩක් කියලයි මට හිතෙන්නෙ.

මේ ගැන මං ඊයෙ දාපු පෝස්ට් එක බලපු නැති අයට මෙන්න ආපහු ලින්ක් එක.

කලවානෙ පන්සලේ නන්ද කුමාරය ගෙ කොලිටි එකේ දිව්‍ය අගනාවියො ටික දැක්ක නං, ඒකෝන් කාරයට හිතෙයි යකෝ අර මගෙ වීඩියෝ එකේ ඉන්නෙ නව දැලි හේනෙ කෂ්ටිය නේද කියල.

ඔය පන්සල් බිතු සිතුවම් ගැන වැරදියට හිතන්න එපා.

දිව්‍යාංගනාවන් ව කිරි ටොයියො වගෙ ලස්සනට ඇඳලා, අඹලා තියෙන්නෙ අපි වගේ පෘතග්ජනයින් ව දිව්‍යලෝකෙ යන්න උනන්දු කරවන්න උත්තේජකයක් විදියටයි.

කලවානෙ පන්සලේ ඒ පින්තූර ටික වැඳ පුදාගත්ත ආනිශංසෙ හින්දද මන්ද මටත් චාන්ස් එකක් ලැබුන දවසක් දිව්‍යලෝකෙ පැත්තෙ ගිහින් එන්න.

මෙන්න ඒ ගැන විස්තර අද ඉඳන් කවියෙන්. කවියෙන් කවියට මං පොඩි කමෙන්ට්‍රි පාරකුත් දෙන්නං.

කතන්දරකාරයා ගේ දෙව්ලොව ගමන

සීතල ඇසල මස මැද කෙම්මුර දාක
හිම කැට නීල කඳුවැටි පිසිනා රෑක
බැළුමට ගියෙමි දෙව්ලොව විසිතුරු නේක
දෙවිපති සුර ලියන් මැද වැඩ සිටි සේක

දන්නවනේ අද පන්සලකට ගියොත් වැඩියෙන්ම සිල් අරං පින් අතේ වැඩ කරන්නෙ කව්ද කියල. කාන්තා පක්‍ෂයනේ. ඉතිං මේ පින් බලෙන් ඒ ගොල්ලො සේරම දිව්‍යලෝකේ යනවා. එහේ දිව්‍යාංගනාවො අතිරික්තයක්. ඔය සක්විති දෙයියා (රණසිංහ නෙමේ!) හැමතිස්සෙම සුරලියන් පිරිවරාගෙන ඉන්නෙ ඒකයි.

* * *

දිව්‍යලෝකෙ දෙයියන්ගෙ ගෙවල් සේරම ෆුල් ඒ.සී. පොරවල් හොදට ආතල් එකේ ඉන්නව.

සොඳ ලෙස වායු සමනිත මහ මැදුරු තුල
අමරස මධු විතෙන් සැතපෙති දේව කැල
සුසිනිඳු සළු පැළඳි සුරඹුන් දකින කල
සිහිවුනි පෑ විකුම් නව දැලි හේන් වල

මටත් වුනේ අර නන්ද කුමාරයට වෙච්ච වැඩේ තමයි.

* * *

එහෙට යන්න කලින් මං නං හිතං හිටියෙ දිව්‍යලෝකෙ ලොකු ට්‍රැෆික් ජෑම් ඇති කියලයි.

තිස්තුන් කෝටියක් වසනා මුත් පිරිස
නොතිබුනි තද බදය කිසි ලෙස මග දෙපස
හැරඩ්ස් අයිය ගේ කඩයෙන් රිසි විලස
ගත්තෙමි වෑන් හියුසන් ලා මැසු කමිස

දිව්‍යලෝකෙ යනව කියන්නෙ ලන්ඩන් වල හැරඩ්ස් වගේ කඩේකට ෂොපින් ගිහින් හොද කමිස ටිකක් ගන්න එක වගේ සැපක් මිස වෙන මොකක්ද?

මේ කතාව තව දිගයි. එහෙ තියෙන ඔෆිස් වල වැඩ ගැන, ඩේටාබේ් සිස්ටම් ගැන, දිව්‍යලෝක සැප ගැන විස්තර නිමක් නෑ!

දිව්‍යලෝකෙ රසබර විස්තර හෙට ලියන්නං.

-කතන්දරකාරයා

ප/ලි:
දෙවන කොටස මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/03/akon.html

Thursday, 25 March 2010

ගායක ඒකෝන් එක්සත් ජනපද කල්‍යාණියන් අතහැර කලවානේ පන්සලේ ෂූටින් වලට එයි? - Akon leaves LA and comes to Sri Lanka to shoot his next DVD clip?

මං මීට ඉස්සර සිංහල තලිබාන් කෂ්ටිය ගැන කතන්දරයක් කියල තියෙනව. මතකනේ පන්සල් යන්න සරම අඳින්න ඕනැ කියන කතාව.

හැබැයි ඒ ගොල්ලො ලා-තලිබාන් ලා. දැන් දැන් තමයි නියම සිරා තලිබාන් පොරවල් ඉන්නේ.

මට මේ කතන්දරේ මතක් වුනේ අපේ උපැවිදි තරිඳු ළමයා දාපු පෝස්ට් එකක් කියවන කොටයි. හදිස්සියෙම පොඩි කොමෙන්ටුවක් දැම්මට පස්සෙ හිතුන විස්තරාත්මකව ලියන්න ඕනෑය කියල.

කලවාන කියන ගම් ප්‍රදේශය තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ. රත්නපුරේ ඉඳල හැතැප්ම විසි දෙකක් විතර දුරින්. කලවාන ටවුන් එක ඇත්තටම මානාන කියලයි හැඳින්වුනේ.

රත්නපුරේ ඉඳල යනකොට මානාන හන්දියට යන්න හැතැප්මකට විතර කලින් තමයි කලවාන පන්සල තියෙන්නෙ. පුරාණ විහාරයක්. හැබැයි අළුත් බුදු මැඳුරකින් සමන්විතයි.

මේ බුදුමැදුර ලංකාවේ සිතුවම් සහ ප්‍රතිමා කලාවේ අපූරු නිර්මාණ පුරෝල තියෙන තැනක් කිව්වොත් ඒක හරියටම හරි. මේ සේරටමත් වැඩිය වටින්නෙ බුදු මැදුරෙ බිත්තිවල ඇඳල තියෙන චිත්‍ර. ඒවායිනුත් මගේ නෙත, සිත, හද දිනාගත්තෙ නම් දිව්‍යාංගනාවන්ගෙ සිතුවම් ටිකයි.

මේ දිව්‍යාංගනාවො නැති තැනක් නෑ.
  • සිදුහත් ඉපදෙන වෙලාවෙ,
  • වප් මගුල වෙලාවෙ,
  • යසෝදරාව කසාද බඳින වෙලාවෙ,
  • කන්තකගෙ පිට උඩ නැගල රේස් යන වෙලාවෙ,
  • බුදුවෙන වෙලාවෙ,
  • පස්සෙ බණ කියන වෙලාවෙ,
  • පිරිණිවන් මංචකයෙදි
කියන මෙකී නොකී හැම වෙලාවකම අහසේ ඉන්නව දිව්‍යාංගනාවො පොකුරු පිටින්. නියම නන්ද කුමාරයගෙ මොඩල් එකේ.

වැඩේ කියන්නෙ මේ අයට පුදුමාකාර ඇඳුම් පැලඳුම් හිඟයක් තිබිල තියෙනව ඒ දවස්වල.

බහුතරයකගෙ උඩබාගෙ සේරම එලියෙ.

යට බාගෙට ඇඳල තියෙන්නෙත් අන්තිම තුනී "ගාන්ඨාර මාක්", සොරි, සොරි, වැරදුනා, "සංස්කෘතික ත්‍රිකෝණ මාක්" සළු විතරයි.

හරියටම හියූ හෙෆ්නර් (Hugh Hefner) ගෙ ෆොටෝ ඇල්බම් එකක් වගේ.

අර ඒකෝන් කියන පොරගෙ වීඩියෝ එකේ ඉන්නෙ කෂ්ටිය දැක්කනෙ? උන් සේරම වගෙ නාන ඇඳුම්, මිනි ස්කර්ට් වගේ මොනව හරි ඇඳුම් ඇඳල රහස් තැන් වහගෙනනෙ ඉන්නෙ.

ඒ ගොල්ලො කැලේ මේ කලවානෙ පන්සලේ දිව්‍යාංගනාවො එක්ක බලන කොට. මේ ගොල්ලො අර වී.සී.ඩී. එකේ බණ කියපු හාමුදුරුවෝ කියන විදියට උඩිනුත් ෆුල් ඒ.සී. යටිනුත් ෆුල් ඒ.සී. කෂ්ටිය.

ඇත්තටම කියනව නං ඒකෝන් කාරය ආවනං හිතෙයි අර ඇමරිකාවෙදි පොර සිංදු කිය කිය නැටුවෙ නව දැලි හේනේ වැඳිරියො රංචුවක් එක්ක නේද කියල.

නන්ද කුමාරය දිවිය ලෝකෙ ගියා වගේ වීසා නැතිවුණත් ඒකෝන් කාරය මෙහෙට එන එක සිකුරුයි!

-කතන්දරකාරයා

ප/ලි
කතන්දරකාරයා දෙව්ලියන් බලන්න ගිය හැටි මෙන්න.
http://kathandara.blogspot.com/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html

Wednesday, 24 March 2010

අති-විශේෂී පුද්ගලයෙකුට දුන් අති-විශේෂී තෑග්ගක්


මේ කතන්දරේත් අර අපේ මහාචාර්ය ගුණරත්න ගැනයි.

අපි කවුරු කවුරුත් වගේ පොරත් පොඩි අඩියක් ගහන්න කැමතියිනේ අවස්ථාවක් ලැබුණු වෙලාවට. මහාචාර්ය ගුණරත්න උන්නැහෙත් එහෙමයි. මාත් එහෙමයි අන්තර්ජංජාලයට අනුව නම්.

කොටින්ම කියනව නම්, ඔය අඩිපුඩි ගැන මං වැඩිය කතන්දර ලියල නැති වුණත් ගූගල් එකේ "අරක්කු" කියල දාල අයෑම් ෆීලින් ලකී [I'm feeling lucky] සර්ච් බටන් එක ප්‍රෙස් කලාම කෙලින්ම යන්නෙ මගේ කතන්දරයකටයි. ඕක ගැණ අපේ සහෘද බ්ලොග්කරුවෙකුට ටිකක් දුක හිතිලත් තිබුණ පහුගිය දවසක.

හැබැයි මට නං ඉතිං අඩියක් ගහනව කිව්වහම පැය ගණනක් ලැහැත්තිවෙන්න ඕනැ නෑ. රටකජු ටිකක් හප හප බියර් එකක් සිප් කරනව, නැත්තං අයිස් කැට ටිකක් උඩට මිලි ලීටර් පණහක් විතර තරල සාරය දාගෙන රස විඳිනව. අපි ඉතිං ඉස්සර ඉඳලම කෝක් වානා කට්ටියනේ.

අපේ මහාචාර්ය ගුණරත්නට එහෙම බෑ. හොඳට මිරිස් සැරට මස් ඩෙවල් කරල ඕනැ. පොටේටෝ චිප්ස් ඕනැ. කෝක් ඕනැ. අන්තිමේදි තබ්ල ඕනැ. සිංදු ඕනැ. නැත්තං ඔස්තාද් ල ගෙ ගසල් මියුසික් ඕනැ. වැඩ කෝටියයි.

ඒ වගේම පොර කැමතිත් ඕල්ඩ් රිසර්ව්, ජොනී වෝකර් විස්කි, ජැක් ඩැනියෙල් බර්බන් වගේ හොඳම බඩු වලටයි.

ඉතිං ඔන්න එක දවසක් අපේ මහාචාර්ය ගුණරත්න උන්නැහැ ගේ වයිෆරේට හිතුන තමන්ගෙ මහත්තැන් ට හොඳ තෑග්ගක් දෙන්න. මුලින්ම අදහස ආවෙ හොඳම හොඳ බෝතල් පොජ්ජක් අරං දෙන්නයි. අන්න අදහන්න වටින නෝන කෙනෙක් නේද?

ලංකාවෙ ඉතිං කාන්තා පක්‍ෂයට සමතැන තියෙනව කියල කිව්වට වයින් ෂොප්වලට යෑමේ මානව අයිතිය නං නීති මගින් නැතිකරලනේ තියෙන්නේ. ඉතිං මිසිස් ගුණරත්න මේ උදව්ව ඉල්ලුව ගමේ ඉන්න නෑයො වෙන අයිය කෙනෙකුගෙන්.

"මට හොඳම හොඳ බෝතලයක් ගන්න ඕනැ තෑග්ගකට දෙන්න!" එයා කීව.

අයිය ඇහැව්ව හරියටම මොනවද ඕනැ කියල. මිසිස් ගුණරත්න දන්නවයැ ඔය බෝතල් ජාතිවල නං ගං!

ඒ පාර අයිය නං කීපයක් කිව්ව, ඕල්ඩ් රිසර්ව්, මෙන්ඩිස් වගේ. ඔන්න මිසිස් ගුණරත්න එක නමක් අහල කැමති වෙලා කිව්ව ඒ ජාතියෙන් ගෙන්න කියල.

ඉතිං අර බෝතලේ හොඳට පැක් කරල, රිබන් එකකින් බැඳල, මලක් කාරිය ගහල අපේ මහාචාර්ය ගුණරත්න ට දෙන්න ඇති වැලන්ටයින් ඩේ තෑග්ගට!

ඔන්න මං දවසක ගුණේලගෙ ගෙදර ගියා පොඩි ආරාධනාවක් හම්බ වෙලා.

ඉතිං "මහ දවල් වුණත් පොඩ්ඩක් විතර බෝතලයකට දෂ්ඨ කරමුද?" අහල පොර ඇරිය කබඩ් එක.

මෙන්න බොලේ විස්කි, වයින්, බර්බන් බෝතල් අතරේ දිලිසි දිලිසි තියෙනව කොලපාට බෝතල් රාජයෙක්!



අති-විශේෂ හබියට අති-විශේෂ වයිෆරේගෙන් ලැබුණු අති-විශේෂ ත්‍යාගයයි ඒ.

මදෑ කොළා!

කතන්දරකාරයා

Tuesday, 23 March 2010

ඕපන් යුනිවසිටි එකට ජනාධිපති ආපු දා - The day President visited the Open University


මේ කතාව මට කිව්වෙ මගෙ හොඳම යාළු පොරක්. මේ අපූරු චිත්තරේ ඇඳල දුන්නෙ සයිබර්යාය ලියන අපේ හිතවත් බුද්ධි බ්ලොග්කරුවායි.

සිද්ධිය වෙලා තියෙන්නෙ දැනට අවුරුදු බර ගාණකට කලින්. මේ මාතෘකාවෙ කියන ජනාධිපති ගොයිය මිය පරලොව ගිහිනුත් දැන් කලක් ගතවෙලා.

ශ්‍රීමත් ජනාධිපතිතුමා තම රාජධානියෙ යම් ස්ථානයකට සැපත් වෙනව කියන්නෙ ඉතිං එසේ මෙසේ සිදුවීමක් නෙමෙයිනෙ. හැබැයි ඔය ජනාධිපතිල ඉතිං යුනිවසිටිවලට එන්නෙ නම් ඉතාමත් කලාතුරකින්. කැම්පස් එකේ කොල්ලො කෙල්ලො නැති කැම්පස් වහල තියෙන කාලෙට ඇවිත් යනව වෙන්න ඇති. ඕපන් යුනිවසිටි එකේ නං ඉතිං කොල්ලො කෙල්ලො ඉන්නවාද නැද්ද කියල අවුලක් නෑනෙ.

කොහොම හරිං ජනාධිපති එන දවස ලංවුණා. බරටම ලක ලෑස්තිය. ගමකට ආරක්‍ෂක විධි විධාන. වැඩේ බරපතලයි. මේ සිද්ධියෙන් වෙච්ච එක හොඳක් තමා සෙකියුරිටි ගාඩ්ලට වෝකි ටෝකි සැට් ලැබීම.

කවද කාපු ටකරන් ද කිව්වළු. සෙකුරිටි ගාඩ්ල කෂ්ටියට නිකං අවුරුදු වගේ. මුං ටික තමන්ගෙ වෝකි ටෝකි අරගෙන කැම්පස් එක හතර අතේ යනව, වෝකි ටෝකි වලින් කතා බහ කරනව, වැඩ කෝටියයි.

ඔන්න ඉතිං මෙතන සෙකුරිටි පොරවල් දෙකක් අළුතෙන් ලැබිච්ච ක්‍රීඩා භාණ්ඩෙ චෙක් කරන්න කියල දෙපැත්තට පිටත් වුනා. දෙන්න කැම්පස් එක වටේම රවුං ගහමින් අළුත්ම ආරක්‍ෂක තත්වය වාර්තා කරමින් එනව.

ඔතන තිබුන දිගම දිග කොරිඩෝර් කිහිපයක්ම. දැං ඔන්න මේ දෙන්න කතා ආරක්‍ෂක තත්වය ගැන පොඩි මොක් අප් කතාවක් දාගෙන එනව.

"උඹ දැන් ඉන්නෙ කොයි හරියෙද?"

"මං දැං ඉන්ජිනියරිං ඩිවිෂන් එක ලඟ."

"බොරු කියන්න එපා, මාත් ඉන්නෙ එතනනෙ බං."

"මට පේන්නෙ උඹයි බොරු කියන්නෙ, මං ඉන්නෙ නං ඉන්ජිනියරිං එක ලඟ."

දෙන්නටම හිතුන සමහර විට දෙන්න එකම කොරිඩෝර් එකේ දෙපැත්තට යනව වෙන්න ඇති කියල. එහෙම නං ඉස්සරහට පේන්නෙ නෑනෙ. ඔන්න ඒ පාර දෙන්නම ආපහු හැරිල වෝකි ටෝකි වලින් කතා කර කර පිටිපස්සට ඇවිදින්න පටන් ගත්ත.

"කෝ බං මට උඹව පේන්නෙ නෑනෙ."

"මටත් පේන්නෙ නෑ."

"මචං, මේ වෝකි ටෝකි වල පොඩි වරදක් තියෙනව වගේ නේද බං? මට නිකං දෝංකාරයක් වගෙ ඇහෙනව."

"ඔව් බං, මටත් නිකං උඹ කියන දේවල් දෙපාරක් ඇහෙනව වගේ."

ඩෝං!

ඒ සද්දෙ මොකක්ද දන්නවද? අපේ සිකුරිටි පොරවල් දෙන්නගෙ පස්ස පැත්තවල් හැප්පෙන සද්දෙ!

හෑන්ඩ්සෙට් වල වරදක් හින්ද එන දෝංකාරයක් නෙමේ ඒ ඇහිල තියෙන්නෙ ඇත්තටම කතාකරන සද්දෙයි, වෝකි ටෝකියෙන් එන සද්දෙයි එකට පටැලවිලා! පස්ස හැප්පෙනකංම පස්සෙන් පස්සටනෙ ආවෙ!

කතන්දරකාරයා

Monday, 22 March 2010

ආචාර්ය පියරත්න සහ මහාචාර්ය ගුණරත්න - Dr. Piyarathna and Professor Gunarathna


මේ කතන්දරේ ලියන්න හිතුනෙ ආචාර්යවරු, මහාචාර්යවරු ගැන අනේවාසිකය ලියල තිබුණ පෝස්ට් එකක් දැකලයි.

ඔය ආචාර්ය, මහාචාර්ය කියල කියන්නෙ ලියන භාෂාවෙන් සහ ප්‍රසිද්ධ අවස්ථාවල ආමන්ත්‍රණය කරන කොට විතරනෙ.

අපි නිකං කතා කරන කොට කියන්නෙ ඩොකා, ෆ්‍රොෆා කියලයි.

ඔය වචන දෙකේ ස්ත්‍රී ලිංග පද වෙන්න ඕනැ, ඩොකී සහ ෆ්‍රොෆී කියලයි. ඒත් මං ඉගෙන ගත්තු කම්මල කියන තිප්පොලේ ඒ සුදුසුකම් සහ තනතුරු තියෙන ගෑණු පරාණ ඒ දවස්වල හිටියෙ නැති නිසා ඩොකී, ෆ්‍රොෆී වචන දෙක කියවෙන කොට හරිම නුහුරු නුපුරුදු ගතියක් දැනෙන්නෙ.

අපි ඩොකාල ෆ්‍රොෆාල, ආචාර්ය මහාචාර්ය කියල හැඳින්නුවට ඩොකාල ෆ්‍රොෆාල උන් උන් කතා බහ කරන කොට එහෙම අඳුන්වා ගන්නෙ නෑනෙ. සාමාන්‍ය නමෙන් කතා කරනව මිස. ඒ වගෙම තමයි මං අඳුනන ඩොකෙක් ෆොෆෙක් එක්ක මං කතාකරන කොටත්. ආචාර්යතුමනි, මහාචාර්යතුමනි කියල කතාකරනව නං යාළුකමක් කෝ?

අද කතාව මට කිව්වෙ මගෙ හොඳ මිත්‍රයෙක්. පොරට දැන් ටික දවසකට කලින් වෙච්ච එකක්.

ඔන්න පොර එදා ගිහිල්ල තියෙනව මොකක්ද මේ උත්සවයකට. ඔතන කල් මර මර ඉන් කොට ශාලාවෙ එක කොනක අඳුණන කිහිප දෙනෙක් කතාකර කර ඉන්නව දැකල පොරත් ගියාළු එතනට.

එතන ඉඳල තියෙනව කලින් හමුවෙලා නැති කෙනෙක්.

ඔන්න, අපේ පොර හොඳට දන්න කෙනෙක් ඒ අමුත්තව ඉන්ට්‍රොඩියුස් කළා ලු.

"කලින් හම්බ වෙලා නෑනෙ, මේ ආචාර්ය පියරත්න!"

අපේ පොර එක පාරටම අත ඉස්සරහට දාල මෙහෙම කිව්වළු.

"ආ, මං තමයි මහාචාර්ය ගුණරත්න."

පොරට ඇති මහාචාර්ය පට්ටමක් නෑ. මේ නිකං ජොලියට වගෙයි කියල තියෙන්නෙ. නමුත් අර අළුතින් ආපු අඳුන්වල දුන්න පොරට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්.

ඉතිං එතන හිටපු හැමෝම තූෂ්නිම්භූත වුනාළු ඒ කතාවෙන් පස්සෙ. විනාඩියක් විතර නිහඬතාවය. ඊට පස්සෙ දෙතුන් දෙනෙක් එක්ස්කුයුස් කරල ඒ පැත්තට මේ පැත්තට ගියාළු. අනිත් අය වෙනිං කතාවක පැටළුනාළු.

ඔය අනේවාසිකය ඒ පෝස්ට් එකේ කියල තියෙන දේ ගැන මගේ අදහස නං, සාමාන්‍යයෙන් මහාචාර්ය කියන්නෙ තනතුරක්. ආචාර්ය කියන්නෙ උපාධියක්. සම්මාන මහාචාර්යකමක් නැත්තං පැන්ෂන් ගත්තහම, රිසයින් වුනාම ඒ පට්ටම නැතුව යනව.

මං ටිකක් අඳුණන කොළඹට කිට්ටු විශ්ව විද්‍යාලයක මහාචාර්ය දිසාපාමොක් ජොබ් එකෙන් අස්වෙලා යූ.එන්. එකේ වැඩට ගියා. දැන් එයා ආචාර්ය දිසාපාමොක් මිසක් තවදුරටත් මහාචාර්ය නෙමේ. ඇත්තටම කියනව නං, පස්සෙ කාලෙක විශ්ව විද්‍යාලයෙන් ඒ මහාචාර්ය තනතුරේ පුරප්පාඩුව පිරෙව්ව.

- කතන්දරකාරයා

ප/ලිඃ
මං මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තෙම එක ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙකුට බස් එකේදි සීට් එක දෙන්න ගිහින් වෙච්ච කතන්දරෙන්. මතකද?

(පින්තූරෙ ඉස්සුවේ මෙතනින්: http://www.mit.kln.ac.lk/Industrial/images/staff.jpg)

Sunday, 21 March 2010

ගන්නකො සර් හෑන්ඩ් ෆෝන් එකක්!


පිරිවෙණක මැත්ස් උගන්නන්න ගිහිං ලොකු හාමුදුරුවන්ගෙන් පනාවක් ඉල්ලපු පොර මතකයිනෙ? අමතක වෙන්න තරම් කාලයක් ගියායැ, මං ඒ කතන්දරේ කිව්වෙ මේ පෙරේද දවල් නෙ. කියවපු නැති අයට මෙන්න ලින්ක් එක ආයෙත්.

ඉතිං අපේ පොර ටියුෂන් වලට කොච්චර ආසයි ද කියනව නං ඔය ලොකුම ලොකු විභාග පාස් කරල පට්ටං ගහ ගත්තට තාමත් ටියුෂන් කරන එක තමයි රස්සාව. උසස් පෙල ළමයින්ගෙ මහාචාර්ය තනතුරක් දරන එකත් ලේසි පාසු වැඩක් යැ?

පොර හැබැයි ඔය මොන මොන විජ්ජා ඉගෙන ගත්තත් ඉලෙක්ට්‍රොනික් ගැජට්, බැජට් එක්ක වැඩි පහිරු පාසානයක් නැති කෙනෙක්. කොටින්ම තාක්‍ෂණ ෆෝබියාවක් තියෙන තරමටම වගෙ ඒවයින් ඈත් වෙලයි ඉන්නෙ.

අද වුනත් අපි ඊ-මේල් එකක් යවල, පස්සෙ ඒක ගැන කෝල් එකක් දාල මතක් කළාම කියන්නෙ "මචං, අපේ ගෙවල් පැත්තෙ ඔය පියුං කාරය එන්නෙ සතියකට එක දවසක් විතර තමයි" කියල.

ඒ කියන්නෙ පොර ඊ-මේල් බලන්නෙ සතියකට එක පාරකටත් අඩුවෙන්. පොරට ඊ-මේල් ගහනවට වැඩිය හොඳයි ඒ පණිවිඩේ ගොළුබෙල්ලෙක් අතේ එහෙට පිටත් කරන එක.

වැඩේ මේකනේ, පොර උගන්නන්නෙ මැත්ස්. ඉතිං, එදා තිබුණ මැත්ස් ම තමයි අද තියෙන්නෙත්, න්‍යාස, සමීකරණ, ඛණ්ඩාංක ජ්‍යාමිතිය, අවකලනය, අනුකලනය ඔය කොයි එකක්වත් මූලික වශයෙන් වෙනස් වෙලා නෑනෙ. ඉතිං, අනිත් දේවල් වෙනස් වෙන්න ඕනියැ?

අනේ අපේ සීයආච්චිල, ඉපදිලා, හැදිල වැඩිල, රස්සාවල් කරල, අවුරුදු අනූ ගණනක් ආයු වලඳල අන්තිමේදි මිය පරලොව ගියේ ඔය කොම්පියුටර්, ඊ-මේල්, අන්තර්ජාල, ජාල සටහන්, ජංගම දුරඛතන, එස්.එම්.එස්, ෆේස්බුක් තිබිලයැ.

අපේ සීයආච්චිලට ජංගම දුරකතන තියා, ජංගම ගිනුමක්වත් තිබුණද මන්ද?

අපේ ටියුෂන්කාර පොරත් ඔන්න ඔහොමයි ජීවිතේ ගෙනිච්චෙ. ජංගම දුරඛතනයක් පාවිච්චි කලේම නෑ ගොඩක් කල් යනකං. හැබැයි කවද හරි සමාජයත් එක්ක අනුවර්තනය වෙන්න වෙනවනේ. මෙන්න මෙහෙමයි ඒ සංසිද්ධිය වුනේ.

ඔන්න එදා අපේ පොර ගෙදරකට ගිහින් ගෑණු ළමයකුට ඒක පුද්ගල ටියුෂන් එකක් දෙන දවසක්. පොර කල් වේලා ඇතිව ගෙදරින් පිටත් වුනා.

ඔය අස්සෙ ගෙදරට ආව කෝල් එකක්.

"අනේ අද වික්‍රම සර්ට අපේ ගෙදර ටියුෂන් වලට එන්න එපා කියන්නයි මේ කතාකරන්නෙ. අපිට හදිසි ගමණක් යන්න වෙලා."

"අනේ දැන් වික්‍රම ගෙදරින් ගිහින් ටිකක් වෙලා. මෙලහකට මග ඇති."

"මට දෙන්නකො එහෙනං වික්‍රම සර් ගෙ හෑන්ඩ් ෆෝන් එකේ අංකය, මං කතාකරල කියන්නං."

"අනේ, වික්‍රමට නෑනේ මොබයිල් ෆෝන් එකක්."

"මොනවා!"

ඉතිං අන්තිමේදි ටියුෂන් සර් එනකං, ගෙදර අයට තමන්ගෙ හදිසි ගමන පැත්තක දාල පැය බාගයක් විතර ඉන්න වුනා. හරි නෑනෙ ගුරුවරයෙකුව රස්තියාදු කරන එක. පණිවිඩේ කල් වේලා ඇතුව දෙන්නත් බැරි වුනානෙ.

පොර ආවට පස්සෙ ශිෂ්‍යාව ගෙ තාත්ත කේන්තිය මැඩගෙන මෙන්න මෙච්චරයි කියල තියෙන්නෙ.

"ගන්නකො සර් හෑන්ඩ් ෆෝන් එකක්! මේ පොඩි ළමයින්ටත් දැන් ෆෝන් තියෙනවනෙ. ලැජ්ජ නැද්ද? අනික අපිටත් කොච්චර ලේසිද සර්ව කන්ටෑක්ට් කරන්න?"

පස්සෙ දවසක අපේ පොර මේ කතාව මට කියපු දවසෙ මෙන්න බොලේ පොර ලඟ මොබයිල් ෆෝන් දෙකක්ම.

එකක් පොර පිටට කෝල් ගන්න එක, අනික අනෙක් අය පොරට කතාකරන එක. දෙවෙනි එකේ නොම්බරය තමා කාට කාටත් දෙන්නෙ පොරව කන්ටෑක්ට් කරන්න.

කතන්දරකාරයා

Saturday, 20 March 2010

රෝස පාට තුවා (Pink Towels) කතන්දරේ -වලි ෂේප් බව මෙයින් දැනුම් දෙමි


මං ටික දවසකට කලින් කියපු රෝස පාට තුවා හදාගන්නා ක්‍රමය කියෙව්ව මතක ඇතිනේ. නැතිනං මෙතනිං කියවන්න පුළුවන්.

ඔය විදියට රෝස පාට තුවා කෙසේ වෙතත්, වෙන වෙන පාට වෙන වෙන ඇඳුම් පැලඳුම් නිර්මාණය කරපු අය ගොඩ දෙනෙක් ඉන්න බව එදා ලැබිච්ච කමෙන්ට්ස් වලින් තේරුණා.

මේ තියෙන්නෙ, ඒ රෝස පාට තුවා ටිකේ ෆෝටෝ එක නැවතත් බලා කියාගන්න.



කතන්දරකාරය රෝස තුවා හදන්න අවශ්‍ය එක්ස්පීරියන්ස් එක ලබාගත්තෙ, ඊට කලින් දවස් දෙක තුනක දි නිල්පාට බ්ලවුස් හෙම හදල කරපු එක්ස්පෙරිමන්ට් වල උදව්වෙනුයි.

මේ තියෙන්නෙ, ඒ වගෙ දවසක ගත්තු ෆොටෝ එකකුත්.



ඉතිං අද මේ ලියන්නේ, එදා රෝස පාට තුවා හදපු සිද්ධියට අදාල සියළුම වලි ෂේප් බව කියන්නයි.

මෙන්න ඒකට හේතු භූත වුනු දේ.



අළුත්ම අළුත් තුවා දහයක්ම! තද දුඹුරු පාට ඒවා හතරයි. ඇත්දල පාට ඒවා හයයි!

වැඩි ගානක් නෑ. රුපියක් තුන්දාහක් විතර තමයි වුනේ තුවා පොට්ටනියම.

අද කතාව ඉවර කරන්නංකෝ වලි ෂේප් වුනු දවසෙ ගත්තු මේ ෆොටෝ එකෙන්.



මෙ කතන්දරේ බලන දුකා ල, බිඟුව ල, ඉන්දික ල වගේ අත්සන් කරපු කොලේ තියෙන අය දන්නවා ඔය උඩ තියෙන පින්තූරෙ වටිනාකම.

අනිත් තනිකඩ හාදයොත් කවද හරි දැනගනී නොවැ!

මහත්තැන්ලා ට යි, වෙන්ට මහතැතැන්ලා ට යි සියළු පිරිමි පරාණ වලට ජයවේවා!

ගෑණු පරාණ වලටත් එසේම වේවා!!

කතන්දරකාරයා
kathandara@blogspot.com

Friday, 19 March 2010

සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?


දේශපාලන විද්‍යා විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක්, ඒ කියන්නෙ ක්ලාස් එකක් එක්ක පාස්වුනත්, ජොබ් කට්ටක් සෙට් වුනේ නැති නිසා ගෙදර තල බෝල, තල කැරලි හදල බයිසිකලෙන් ගිහින් තමන් ඉගෙන ගත්ත යුනිවසිටි එකේම කැන්ටින් වලට බෙදපු පොරක් ගැන රසික සූරියආරච්චි ලියපු කවිය මතකනේ.

ඔය වගේ ක්ලාස් තියෙන ග්‍රැජුවේට් ල ට ඒ කාළෙ හිටපු මන්ත්‍රීල කියල තියෙන්නෙ නං, ස්වයං රැකියාවක් හැටියට ඒ ක්ලාස් එක කරගෙන ඉන්න කියලයි, රස්සා ඉල්ලලා ආණ්ඩුවෙ ඉහමොල කන්න හදන්නෙ නැතුව.

අද කතන්දරේ ඇත්තටම ස්වයං රැකියාවක් විදියට ඒ වගෙ ක්ලාස් එකක් කරපු පොරක් ගැනයි.

පොර බ්‍රයිට. ඒ ලෙවල් විභාගෙත් ටොපේ ටොප් එකට පාස් වුණා. මැතට තමයි පොර ඉතාමත් දක්‍ෂ. අපි වගේ මැත හොර නිසා කවි කතන්දර ලිය ලියා ඉන්න පොරක් නෙමේ.

මිනිහ ටියුෂන් කරන්න පටන්ගත්තෙ කැම්පස් එකට යන්නත් කලින්. ලොකු ටියුෂන් කඩ නෙමේ, නිකං එදා වේල හම්බ වෙන, අර ගෙවල්වලට ගිහින් කරන ජාතියෙ ක්ලාස්.

ඔය අස්සෙ පොරට සෙට් වුනා පිරිවෙනක මැත්ස් ක්ලාස් එකක් කරන්නත්. මිනිහ කැම්පස් එකේ වැඩයි, ටියුෂන් වැඩයි දෙකම අපූරුවට කරගෙන ගියා අවුලක් නැතුව.

ඔන්න දවසක් පොර කැම්පස් ඉඳල ගෙදර ගිහින් පිරිවෙනට ගියා මැත ක්ලාස් එක කරන්න. ටිකක් පරක්කු වුනු හින්ද කඩිනමින් ගිහින් පොර පන්සලට ගොඩවුනේ දාඩිය දාගෙන.

නායක හාමුදුරුවො පොරව දැකල තුවායක් දීල ලිඳ ලඟට යැව්ව මූණ කට හෝඳගන්න. මෑන්ස් ඒ වැඩේ ඉවර වෙලා පන්තියට යන්න යන කොටයි දැක්කෙ කොණ්ඩෙ හොඳටම අවුල් වෙලා කියල.

ඉතිං මෙහෙම යන්න බෑනේ උගන්නන්න.

වහාම පොර ගියා නායක හාමුදුරුවන් ගෙ කාමරේ පැත්තට.

"සාදු තව උදව්වක් ඕනැ."

"මොකක්ද මහත්තයා?"

"සාදු මට පනාවක් දෙන්නකො කොණ්ඩෙ පීරගන්න."

නායක හාමුදුරුවන්ට බකස් ගාල හිනා ගියා.

"මං ලඟ කොයින්ද පනා මහත්තයො?" කියල ඇහුනමයි අපේ පොරට මතක් වුනේ හාමුදුරුවරු කොණ්ඩෙ තට්ටෙටම කොට කරල කපන බව.

නායක හාමුදුරුවො කොහොමටත් කොණ්ඩෙ බූ ගාලයි ඉන්නෙ. හරියට කතන්දරකාරයා වගේ.

ඉතිං මේ කතාවෙ අද තත්වයත් කියන්නංකො. ටියුෂන් ක්ලාස් ව්‍යාපාරයත් කරගෙන, කැම්පස් එකේ ඉගෙනීමෙ වැඩත් හොඳට කරගත්තු අපේ පොර අන්තිමේදි හොඳ "ක්ලාස්" එකක් එක්කයි විභාගෙ පාස් වුනේ.

ඒ හින්දමද කොහෙද තාමත් පොර ක්ලාස් කරන එකනං අත හැරල නෑ.

කතන්දරකාරයා

Thursday, 18 March 2010

තමන්ට තියෙන ක්ලාස් එක කරගෙන ඉන්නවකෝ ඕයි...!!!


රසික සූරියආරච්චි ගේ සිව් සිත් කව් කියන කවිපොත ගැන මං දාපු සටහන මතකයි නේද?

ඒ පොතේ තියෙන මං වඩාත්ම කැමති එක කවියක් තමයි දේශපාලන විද්‍යා තලකැරළි වෙළඳාම කියන කවිය.

ඒ කවියෙන් විස්තර වෙන්නේ දේශපාලන විද්‍යාව පිළිබඳ අවුරුදු හතරක උපාධියක් කරල, ඒකෙන් ගෞරව පන්ති සාමාර්ථයක් (එහෙම නැත්තං, ක්ලාස් එකක්) එක්ක පාස් වෙච්ච කෙනෙක් තමන්ගේ උගත් කමට ගැලපෙන පිළිගත් ආකාරයේ රැකියාවක් නැති නිසා, ගෙදර තලකැරළි හදල, ඒව තමන් ඉගෙන ගත්තු විශ්ව විද්‍යාලයේ කැන්ටින් වල විකුණන්න දාපු එක ගැනයි.

ඒක සත්‍ය කතාවක්. ලංකාවේ පවතින දේශපාලන විජ්ජාවේ ප්‍රායෝගික යෙදුම් ගැන තාත්වික උදාහරණයක්.

ඔය කවිය ටයිප් කරන වෙලේ මට මතක් වුනා මේ වගේම තව කතන්දරයක්.

ඔන්න අපේ පොරක්, ඔය තල කැරලි පොර වගේම යුනිවසිටි එකෙන් අවුට් වුනා. ටිකක් කල් බැළුව ජොබ් කට්ටක් හොයා ගන්න හතර අතේ ඇප්ලිකේෂන් දම දමා.

අන්තිමේදී, ඉතිං එන පොට හොඳ නැති හින්ද පොර තීරණය කළා, තමන්ගෙ ප්‍රතිපත්ති පැත්තකට දාල දෙමව්පියන්ගෙ කීමට අනුව පලාතේ මන්ත්‍රීතුමා හමුවෙන්න යන්න. අවුරුදු විසි පහක් විතර වෙන්නත් ඇවිත්, තව කාලයක් දෙමව්පියන්ගෙ සල්ලි වලින් කාල ඇඳල දෙමව්පියන්ට බරක් වෙලා ඉන්න කැමති කොයි කොල්ලද?

ඉතිං, මන්ත්‍රීතුමා ගමට එන දවසක් බලල, තාත්තත් එක්ක පොර ගියා එතුමා ව හම්බ වෙන්න.

තමන්ගෙ වාරෙ ආවහම දෙන්නම කාමරේ ඇතුලට ගියා. තාත්තව මන්ත්‍රීතුමා ටිකක් අඳුණනව. ඔන්න දෙන්න හිටගෙනම එතුමා එක්ක කතාවට බැස්ස.

තාත්තාඃ "සර්, මේ මගේ ලොකු පුතා, විස්ස විජ්ජාලෙ ඉගෙන ගෙන හොඳට පාස් වෙලා දැන් ගෙදර ඉන්නේ."

මන්ත්‍රීතුමාඃ "බොහොම හොඳයි, බොහොම හොඳයි!"

තාත්තාඃ "රස්සාවක් හොයාගන්න සර්ගෙන් උදව්වක් ඉල්ල ගන්නයි ආවේ."

මන්ත්‍රීතුමාඃ "බොහොම හොඳයි, බොහොම හොඳයි!"

තාත්තාඃ "මොනවද සර් ඉතිං අපි මේ ගැන කරන්න ඕනැ?"

මන්ත්‍රීතුමාඃ "ආණ්ඩවෙ ගැසට් එක බලල ඇප්ලිකේෂන් දාන්න. ඉන්ටර්වීව් එකට ගෙනියන්න මං ලියුමක් දෙන්නං."

මෙතෙන්දි පුතාටත් හිතුන පොඩ්ඩක් කට දාන්න.

පුතාඃ "සර්, මට ක්ලාස් එකකුත් තියෙනව උපාධියට."

මන්ත්‍රීතුමාඃ "බොහොම හොඳයි, බොහොම හොඳයි! ඉතිං එහෙනං ළමයෝ ඒ ක්ලාස් එක කරගෙන ඉන්නවකෝ, ආණ්ඩවෙ ජොබ් ම හොයන්නෙ නැතුව. දැං, අපේ ආණ්ඩුවත් හදන්නේ තරුණ පරපුර වැඩි වැඩියෙන් ස්වයං රැකියා වලට යොමුකරන්න තමයි. ඕක අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමත් නිතරම කියන දෙයක්."

කාලා වරෙංකෝ!

අපි නොදන්න ක්ලාස්!!

කතන්දරකාරයා

Wednesday, 17 March 2010

කයි-කතන්දර : දේශපාලන විද්‍යා තලකැරලි වෙළදාම


මං කැමතිම එක් කවියෙක් වෙන, රසික සූරියආරච්චිගේ "සිව් සිත් කව්" කියන කවි පොත ගැන ඊයෙ ලිව්ව මතකයි නේද?

පොර ලිව්ව ගී පද මාලා කීපයක් මෙන්න මෙතනින් බලන්න පුළුවන්.

අද මට හිතුන රසික ගෙ පොතේ තියෙන මං කැමතිම එක කවියක් උපුටා දක්වන්න. මේ කවියට වස්තු බීජය වෙලා තියෙන්නෙ රැකියා විරහිත උපාධිධාරයෙක්. මෙන්න ඒ කවිය.

දේශපාලන විද්‍යා තලකැරලි වෙළදාම
අඩක් නොවැසුන ළයේ
නැගෙන දාඩිය බිංදු
සුලං පහරට බයේ මැකෙනවා
ගතේ වීරිය අරං
කුසේ ගිනි හිර කරං සයිකලය ඉදිරියට පදිනවා
වසරකට පෙර කලේ
මේ මගේ නිරතුරුව
පා නැගුව අයුරු සිත පෙළනවා
තක්සලා බිම පුරා
කැන්ටිමෙන් කැන්ටිමට
තල බෝල තල කැරලි බෙදනවා

දේශපාලන විෂය සිව් වසක් ප‍්‍රගුණ කල පින මදි ද?
ආංඩුවෙ කරුණාව ලබන්නට
පංති සාමාර්ථය ලබාගත් සහතිකය පල නැති ද?
දිවිය ගැට ගසන මග සොයන්නට

වීදියෙන් වීදියට
පත්තරේ පේලියෙන් පේලියට ජීවිතය දිය වුනා
සිය ගනං ලියූ ලිපි
දිගැති මුද්දර කවර ලියුම් කොළ නිකරුනේ වැයවුනා
ආංඩුවෙ රැකියාව
හිරු උදා කරන'යුරු බලන්නට මවගෙ පින මදි වුනා
පියා නැති සොයුරු කැළ
කුසගින්න කෙසේ හෝ නිවන්නට අදිටනක් ඇතිවුනා

කොටා තල පැණි දමා තල බෝල තල කැරලි සදන ලද
මනා කොට අසුරලා කුඩා පෙට්ටියෙ දමා තදින් බැඳ
දමා කලිසම් කමිස සයිකලෙන් යනෙන පුතු දකින සඳ
සැදූ දහසක් සිහින බොඳ වෙලා
අම්මෙ නුඹ අද කඳුළු සලනවද?

[රචනය-රසික සූරියආරච්චි]

දුකයි නේද? ඔය කවියට වස්තුබීජය දුන්නු උපාධිධාරියා පස්සෙ පුවත්පත් කලාවේදියෙක් වුනා කියලයි ආරංචිය.

මාත් මුලින් ම ගිය ජොබ් එකෙන් පොර සේ අස්වෙලා ඇවිල්ල ජොබ් එකක් නැතුව මාස හයක් විතර කට්ට කාපු පොරක්. ඒ දවස්වල මාත් කලේ සයිකලෙන් ගෙදරත් ලයිබ්‍රියත් අතර පැදපු එක තමයි.

එහෙම වුනත් අන්තිමේදි කලිසම් සයිස් එක අඟල් විසි අටේ ඉඳල තිස් හතර දක්වා වැඩිවුනා!!!

මේ කයි-කතන්දර වැඩි ජොලියක් නෑ නේද? ඊ ලඟට දාන්නං කො හොඳ ජොලි කතාවක්!

කතන්දරකාරයා

Tuesday, 16 March 2010

කයි කතන්දර - කවි පොතක කතන්දරයක්


කතන්දරකාරය ඒ ලෙවල්ස් කරන කාලෙ ලියපු කවියක් ඊයෙ පෙරේද පොස්ට් එකක දැම්ම. තාම ඒක දැක්කෙ නැති අයට මෙතනින් කියවන්න පුළුවනි.

ඉස්සර කවි ලිව්වට කතන්දරකාරය දැන් නම් ඒ නරක වැඩ කරන්නෙ නෑ. ලියන්නේ කතන්දර විතරමයි.

නමුත් කතන්දරකාරයා, කතන්දර ශූරීන්, කතන්දර රජා වගේ ම කයි-කතන්දරකාරයා කියන නමත් මං හොඳට කැමති එකක්. කොහොමටත් බයිල වලට වඩා කවි හොඳයි නේ!

ඉතිං, අද මට හිතුනා (මුහුදු වෙරළ ගැන කවිය, පෙම් කවිය, දුටුගැමුණු ගැන කවිය, අවකලනය-අවනීතිය කවිය වගේ) එක කවි පන්තියක් ගැන නෙමේ කවි පොතක් ම ගැන ලියන්න.

මේ පොත මං ඉස්සෙල්ලාම දැක්කෙ දැන් අවුරුද්දකට විතර කලින්. පොතේ නම, "සිව් සිත් කව්". රචකයා රසික සූරියආරච්චි. මං වඩාත්ම කැමති කවියෙක් කියල කියන්න පුළුවන් කිසි පැකිලීමක් නැතුව!

"සිව් සිත් කව්" ප්‍රකාශනය කරල තියෙන්නේ, විදර්ශන ප්‍රකාශකයෝ. මේ පොත විදර්ශන ල ගෙ කළුබෝවිල පොත් කඩේ, නුගේගොඩ සරසවි පොත්හල වගෙ තැන්වල තියෙනවා.

ඔය තැනකට වැරදිලාවත් ගියහම දැක්කොත් පොඩ්ඩක් පෙරළලා බලන්න.

මාත් විටින් විට ඔය පොත පෙරලනවා.

ඒකෙ තියෙන කවි වලට මං කැමතියි. හැබැයි මං වැඩියෙන් ම කැමති නං, මේ පොතේ පිට කවරයේ චිත්‍රයටයි. පොතේ නමටම ගැලපෙන එකක්.

රසික සූරියආච්චි ලියපු ගී පදමාලා බලන්න පුළුවනි මෙන්න මේ බ්ලොග් එකෙන්. http://pemgee.blogspot.com/. මේ සයිට් එකේ යුනිකෝඩ් නෑ. තියෙන්නෙ රූප විදතරයි. ඒ හින්ද මේ බ්ලොග් එක සින්ඩිකේටර් එකේ නැති එකක්. හැබැයි පොර අවුරුදු ගණනකින් අප්ඩේට් කරල නෑ වගේ!

එහෙනං ඔන්න අදට ආයිබෝං කිව්වා. පස්සෙ ආයෙ කතා කරමුකෝ.

-කතන්දරකාරයා

Monday, 15 March 2010

එදා මහණකම සහ අද දවසේ පල විපාක


මේ පහුගිය සුමානේ කියල අහවර කරපු කතන්දරකාරයා මහණ වුනු කතන්දරේට ඌණ පුර්ණයක්. ඒ කියන්නෙ හිස් තැනක් පිරවීමක්.

පොඩ්ඩක් අතීතයට ගියොත් මේ කතන්දරේ මෙන්න මෙහෙමයි දිග හැරුනේ.

කතන්දරකාරයා මහණ වෙලා සිටි බව මුලින්ම එලිදරව් වුනා. පස්සෙ, ඒ සිද්ධිය පිළිබඳ පොඩි විස්තරයක් ලියවුනා. ඊටත් පස්සෙ ඒ මහණ වීම සිද්ද වෙච්ච තායිලන්තෙදි ගත්තු ෆොටෝ ටිකක් ප්‍රසිද්ධ වුනා. අන්තිමේදි, කතන්දරේ සුලමුල සේරම හතරවන කොටසින් කියවුනා.

මේ කතන්දරේ ට තරම් පාඨක ප්‍රතිචාර ලැබුණු වෙනත් කතන්දරයක් මේ කතන්දර බ්ලොග් එකේ ලියවිලා නෑ. සමහරු මට චෝදනා කළා රුවැට්ටුවා කියල. ඒත් එහෙම රවට්ටන්න හිතාගෙන නෙමේනෙ කතන්දරේ ලිව්වෙ. චේතනාව අනුව කර්මය එන හින්ද, මං හිතන්නෙ නෑ මෙතනදි මගෙ අතින් වරදක් වුනාය කියල.

කොහොමටත් ළමයෙක් මහණ වුනාම හතර වරිගෙම නිවන් යනව කියනවනේ. එහෙව් එකේ ටිකක් වෙලා සිවුර දාගෙන හිටපු මට ඔය වගේ සුළු දෙයකින් පවක් වැරදිලා හරි වුනත් ඒක ෂේප් කරගන්න එක සුළු දෙයක්.

ඉතිං මේ ඌණ පූර්ණය අවසන් කරන්නම් ඔය උඩින් තියෙන ෆොටෝ එක ගැන කියල.

ඕක ගත්තෙ, අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ රැස්වීම තිබුණු දෙසැම්බර් 19 දා ඒකට යන අතරේ බාබර් සාප්පුවකට ගොඩ වැදිලා කොණ්ඩෙ බූ ගෑව දවසේ හවස් වරුවේයි. උදේ වරුවෙ ගත්තු ෆොටෝත් බ්ලොග් කීපෙකම දාල තිබුන ඒ දවස් වල.

පසුගිය සුමාණෙත් මං ගාල දැම්ම තට්ටෙටම. ඒ නං ලියුකේමියා පදනමට සල්ලි හොයන්නයි.

කොහොම වුනත් දැන් නම් මට මහණ වෙන එක ඉස්සරට වඩා හරිම ලේසියි.

කතන්දරකාරයා

ප/ලිඃ ලියුකේමියා පදනමට සල්ලි හොයන්න කැපුවේ ගිය සුමානේ. ටික ටික වැවෙනවා. මෙන්න මේ දැන් රේසර් එකෙන් ගෑවා. කොහොමද ෆ්ලෑෂ් එකට දිලිසෙන හැටි...!!!

Sunday, 14 March 2010

අවකලනය සහ අවනීතිය - A Level කාලේ ලියපු කවියක්


කතන්දරකාරයා අද මේ වගෙ කතන්දර ලිය ලියා හිටියට ඉස්සර කවි පවා ලියපු පොරක්!

කොටින්ම "කයි-කතන්දරකාරයෙක්" කියල වුනත් හඳුන්වන්න පුවළුන්.

මං මුලින්ම මිහිර පත්තරේට කවියක් ලියපු හැටි ගැනයි, පෙම් කවියක් ලියපු හැටි ගැනයි කලින් ලිව්ව, කියෙව්ව නේද?

ඇයි දුටුගැමුණු ගැන කැම්පස් කාලෙ ලියපු කවිය?

අද මං මේ හදන්නේ මං ඒ ලෙවල් කරන කාලෙ ලියපු කවි පුංචක් හැමෝටම කියල දෙන්නයි.

මේක ඒ දවස්වල රටේ තත්වය මං දැකපු හැටි, මං ඉගෙන ගත්තු දේවල් වල අනුසාරයෙන් අර්ථ දැක්වීමට ගත්තු උත්හාසයක්. කියවල බලන්නකෝ.

අවනීතිය-අවකලනය

නිලයට බලයට ධනයට යටවුනු
යුක්තිය අද අතවැසියෙක් ගානයි
අසාධාරණය රජවුණු ලෝකයෙ
නීතිය අද අවකලනය වාගෙයි

දුප්පත් එකාට එක සැලකිල්ලකි
පෝසත් එකාට තව සැලකිල්ලකි
යුක්තිය නැත නිසි ලෙස පසැඳෙන්නේ
අවලකනය මෙනි තීන්දු එන්නේ

eX සහ k ශ්‍රිතයන් ඇත්තේ
මේවා අවකලනය කළ යුත්තේ
k අවකලනය කළ විට බින්දුව
eX එයමය හරිද තීන්දුව?

අසරණ k ලා නීතිය හමුවේ
දඬුවම් ලැබිලා වැනසෙන්නේ
බලගතු eX ල ට නැත දඬුවම්
යහතින් සැමදා වැජඹෙන්නේ

නීතිය සවි නැති මකුළු දැලක් වේ
මැසි මදුරුවෝ ය පැටලෙන්නේ
තෝරුන්, මෝරුන් සහ මහ වවුලන්
දැල බිඳගෙන ඉගිලී යන්නේ

කතන්දරකාරයා (අවුරුදු 17 දී)

ඔහොම මට හිතුන වුනාට, මං කවදාවත් ඇයි මේ වගේ අසාධාරණ විදියට k ට සලකන්නේ කියල හරි, eX ට ඇයි මේ විදියට හොඳට සලකන්නේ කියල හරි ගුරුවරුන් ගෙන් අහන්න ගියේ නෑ.

තුනෙන් දෙකේ බලයෙන් වත් මේ අසාධාරණ වෙනස් කරන්න පුළුවන් නම්...!!!

-කතන්දරකාරයා

Saturday, 13 March 2010

ඇන්ටි ගෙ නුවණ හෙවත් Australia වේ සිට ටෙලිඩ්‍රාමා බැලීම


මතකනේ මං මීට කලින් ලියපු ඇන්ටි ගෙ කතාව. මේකත් ඇන්ටි කෙනෙක් ගැන කතාවක්. නමුත් අර කෘවෙලා ඇන්ටි ගෙ කතාව එක්ක බලන කොට නිකං හුලං විස්කෝතු එකක්.

අපේ ඇන්ටි වයස හැටක විතර පැන්ෂන් ගිය පරණ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්.

මේ සිද්ධිය වුනේ තරමක් ඉස්සර 1997 විතර. ඔන්න අපි දන්න කපල් එකක් ඕස්ටේ්‍රලියාවෙ ඉඳල ලංකාවට ආවා නිවාඩුවට. මේ ඇන්ටි ගෙ ගෙදරටත් දවසක් ගියා නෑගම් ඉරිද දවසක හවස් වෙලා.

ඔන්න ඉතිං කාල බීල ඉවර වුනාට පස්සෙ කෂ්ටියම සැට් වුනා ටෙලි ඩ්‍රාමා බලන්න. නෑ, ඇත්තටම කියනව නං, ටෙලි ඩ්‍රාමා එක පටන්ගන්න කලින් කෂ්ටිය කාල බීල ඉවර කලා.

එදා ගියේ නාලන් මෙන්ඩිස් ගෙ නෑදෑයෝ කියන ටෙලියයි. අපේ ඕස්ටේ්‍රලියන් කාරයෝ මේක බලල තිබුනෙ නෑ. ඒ ගොල්ලො ලංකාවෙන් ගිහින් තිබුනෙ ඊට අවුරුදු දෙකකට විතර කලින් නාලන් මෙන්ඩිස් ගෙම දූ දරවෝ කියන ටෙලිය යන කාලෙයි.

ඉතින් කතාව පටන් අරන් ටික වෙලාවකින් ගෙදර අනෙක් කෂ්ටියට වුනා, ඒකෙ චරිත ගැන විස්තර, මෙතෙක් කතාව ආදිය ඕස්ටේ්‍රලියන් කාර කපල් එකට කියල දෙන්න. මට මතක හැටියට, මේ ඩ්‍රාමා එකේ විජේරත්න වරකගොඩ ප්‍රෙස් එකක් (මුද්‍රණාලයක්) කලා. ඒ චරිතයෙ බිරිඳ ට රඟපෑවෙ දූ දරුවො එකේ ගෙදර මෙහෙකාරිට හිටපු දීපානි ද සිල්වා. එයා ගෙදරම කඩයක් කළා. මනුස්සයගෙ කටේ නිතරම තිබුන කෑල්ල තමයි වැඩ, වැඩ, වැඩ, වැඩ, වැඩ!!! පවුලෙ පුතා අළුත බැඳල ගෙදරට කැඳවාගෙන ඇවිත් හිටියෙ තරමක මන්ද බුද්ධික කෙල්ලෙක්. ඒ චරිතෙ රඟපෑවෙ චාන්දනී සෙනෙවිරත්න.

මේ පැහැදිලි කිරීම් කරනව අහන් හිටපු අපේ ඇන්ටි ට හරි පුදුමයි. ඇයි මේ ළමයි ඕස්ටේ්‍රලියාවෙදි මේ නාට්ටිය බලන්නෙ නැද්ද? ඇන්ටි ඇහැව්ව.

එහෙ අපි බලන්නෙ වීඩියෝ කරල කුළු බඩු විකුණන කඩවල් වලින් ගෙන්නුවහම කුලියට අරං. Australian කාරය කිව්ව. ඉතිං, අපිට මාස දෙක හමාරකට පස්සෙ, එක පාරටම කොටස් නමයක් බලන්න පුළුවන්.

ඇයි එහෙ රූපවාහිනියෙ පෙන්නන්නෙ නැද්ද මේවා?

නෑ, නැන්දෙ, මෙහෙ රූපවාහිනී චැනල් එහෙට පේන්නෙ නෑනෙ.

වෙන්න බෑ. එහෙනං, එහෙ ගහන ක්‍රිකට් මැච්, මෙහෙ රූපවාහිනියෙන් පේන්නෙ.

ඇන්ටි පිළිගත්තෙම නෑ ලංකාවෙ ටෙලි නාට්‍ය Australiaවෙ ටී.වී. වලින් පේන්නෙ නෑ කියන එක.

ඇන්ටි ගෙ නුවණ ගැන අපිට හරිම හිනා.

අද බලාගෙන යන කොට ඇන්ටි ට නෙමේ අපි හිනාවෙලා තියෙන්නෙ, අපිටමයි.

ඉන්ටර්නෙට් එක හරහා දැන් ලංකාවෙ ටෙලි නාට්‍ය Australiaවෙ ඉඳල බලන්න පුළුවනිය කියල අපේ ඕස්ටේ‍ර්ලියා යාළුව කිව්ව.

ඔය යූ ටියුබ් එකෙත් තියෙන්නෙ සිංහල ටෙලි කෑලි ඕනෙ තරම්.

කතන්දරකාරයා

ප/ලිඃ කවුරු හරි unicode කාරයෙක් මට කියල දෙනවද, ඕස්ටේ්‍රලියාව කියල හරියට ලියන හැටි?

Friday, 12 March 2010

කතන්දරකාරයා ගේ මහණ වීම සහ සිවුරු හැරීම - අවසාන කොටස


කතන්දරකාරයා මහණ වෙලා සිටි බව දැන් දින තුන හතරකට කලින් එලිදරව් වුනා. පස්සෙ, ඒ සිද්ධිය පිළිබඳ පොඩි විස්තරයක් මං ලිව්වා. ඊටත් පස්සෙ මං එකතුකරපු තායිලන්තෙදි ගත්තු ෆොටෝ ටිකත් කට්ටිය දකින්න ඇතිනෙ?

ගොඩ දෙනෙකුගේ පුදුමයටත්, කුතුහලයටත්, සැකයටත් හේතුවුණ මේ කතන්දරකාරයා මහණ වුණු කතන්දරේ අදින් ඉවරයක් කරන්නයි යන්නෙ.

ඒ වෙන කාරණයක් හින්ද නෙමේ, තව කතන්දර කන්දරාවක් ලියන්න සැළසුම් කරල තියෙන නිසයි. ඒ මදිවට දවසෙන් දවස තවත් කතන්දර එකතුවෙනව.

පොඩි පස්-තාච්චි වැඩකට සෙට් වෙලා ඉන්න කාලෙ, තායිලන්තෙදි මං රට ජාතිය ආගම ගැන හිතල අමුතු විදියකට මහණ වුණා කියල දැන් කවුරුත් දන්නවනෙ.

මං සිවුර පොරෝගෙන තිබුණු විදියෙ මොකක්දෝ අවුලක් තියෙනව කියල අපේ උපැවිදි දෙපලම කියල තිබුණ. ඒ හරියටම හරි. හේතුව තමයි, ඔය සුදන්ත සාදුලට වගේ උත්සවාකාරයෙන් සිවුරු පොරවන්න කවුරුවත් මට හිටියෙ නෑ. මං, මා ම, මට පොරව ගත්තා. යාළුවෙකු ගෙන් අහල එහෙන් මෙහෙන් හදාගත්තා.

ඒ යාළුවත් මාත් එක්ක පස්-තාච්චි වැඩේට තායිලන්තෙට ගිහින් හිටපු කෙනෙක්!

මොකක්ද මේ පස්-තාච්චි වැඩේ? මතකද මං කියපු දිව උළුක්කු කතාව - චූටි ටීචර් ගෙ චූටි චෝච් එක? මේකත් ඒ වගේ එකක්. හරි වචනය පශ්චාත්. හැබැයි අපි වගේ පොරවල් කියන කොට ඕක ඇහෙන්නේ පස්-තාච්චි කියලයි!

ඉතිං කතන්දරකාරයා තායිලන්තෙට ගියේ පශ්චාත් උපාධියක් හදාරන්නයි. එහෙ තියෙන ආසියානු තාක්‍ෂණික ආයතනය (Asian Institute of Technology) කියන පස්-තාච්චි විස්ස විජ්ජාලෙ. ඒ සඳහා මට සිස්සස්සයක් දුන්නේ ජරුමානු ආණ්ඩුවෙන්.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පකිස්ථානය, නේපාලය, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, චීනය, තායිවානය, හොංකොං වගේ රටවල් රාශියකින් ගැහැණු පිරිමි විශාල පිරිසක් ඔතනට එනව පස්-තාච්චි වැඩ කරන්න.

ඉතිං මේ බහු සංස්කෘතික පරිසරයෙ හිටපු අපේ කට්ටිය හදාගෙන තිබුණ ශ්‍රී ලංකා සංගමය කියල එකක්. ඇත්තටම කියනව නං ඒක ඒ දවස්වල සිංහල සංගමයක්.

විශ්ව විද්‍යාලයෙ වරින් වර තියෙන සංදර්ශණ වලට එක එක රටවලින් තමන් ගෙ සංස්කෘතිය පේන්නල දෙන අයිටම්ස් ඉදිරිපත් කිරීම කාගෙත් සිරිතක්.

ඔන්න එක වතාවක් අපේ සිංහල සංගමයෙන් තීරණය කළා ග්ලිම්ප්සස් ඔෆ් ශ්‍රී ලංකා කියල ලංකාවේ විවිධ ආගමික, සමාජයික පැති නිරූපණය වෙන විදියට අංගයක් ඉදිරිපත් කරන්න. බෙර, ගරා යක් නැටුම්, තොවිල්, ගොවි නැටුම් අතරේ පන්සලක දර්ශනයකුත් සැලසුම් කෙරුණා.

පන්සල් කොයින්ද හාමුදුරුනමක් නැතුව. අනෙක විහිළු කරන්නත් බෑනේ. අපි ඉන්නේ තායිලන්තයේ. ඉතිං රට, ජාතිය, ආගම වෙනුවෙන් මං කහ සිවුරු පොරෝගන්න තීරණය කළා.

නැවතත් කියන්නේ මේක නිකං විහිවට කළ දෙයක් නෙමේ. මං ගිහින් කොණ්ඩෙ කොටට කැපුවා. සිවුර අඳින කොට හිතට ලොකු බරක් වගේ දැනුනා. මං ඔය ෆොටෝ වලත් ටිකක් බයවෙලා වගෙ ඉන්නෙ ඒකයි මයෙ හිතේ. සිවුර ගැලෙව්වෙත් ඒ වගේම පුදුමාකාර දුකක් හිතේ රඳවගෙනයි.

ඉතිං කතන්දරකාරයා, චීවරධාරී කතන්දර වුනෙත්, පැයකට විතර පස්සේ ආපහු කතන්දරකාරයා බවට පත්වුනෙත් ඔන්න ඔහොමයි.





විනාඩි කිහිපයක කොටසකට වුනත්, උතුරේ රාහුල නාට්‍යයේ සුගත් සමරකෝන් වගේ මටත් හාමුදුරුනමක් වීමට ලැබීම මට නම් ඉතාම ආඩම්බර දෙයක්.

අවසාන වශයෙන් මේ ටිකත් කියන්න ඕනෑ නැවතත්. මේ කතාවෙ කිසිම බොරුවක් වංචාවක් තිබුනෙ නෑ. කවුරු හරි ඇත්තටම රැවටුණා නම් සොරි හොඳේ?

සුදන්ත සාදුගේ දිනපොත ලියන හීරළු තරිඳුටත්, මරණාස්මෘති භාවනාවේ නිරත උපැවිදි කුමාරටත් මගේ ස්තුතිය.

හැබැයි මේ කතන්දරේ ගැන පොඩ්ඩක් හරි නිවරැදිව තේරුම් ගත්තෙ අපේ දුකා විතරයි. පොර ඇහැව්ව මේක නාට්‍යයකට කළ එකක් නේද කියල.
යලිත් හමුවෙමු.

-කතන්දරකාරයා
http://kathandara.blogspot.com

ප/ලි
එදා මගේ මහණ දිවියේ අද පලවිපාක මෙන්න.
http://kathandara.blogspot.com.au/2010/03/blog-post_15.html

Thursday, 11 March 2010

කතන්දරකාරයා මහණ වී සිටි තායිලන්තයේ විස්තර සහ ෆොටෝ ටිකක්


මේ කියා ගෙන යන්නෙ කතන්දරකාරයා මහණ වුන, උපැවිදි වුනු එක ගැන කතන්දරේ.

මුල් කොටස් කියවපු නැති අය ඉස්සෙල්ල ඒව කියවල එන්නකෝ.
1. කතන්තරකාරයා මහන වී සිටි බව එලිදරව්වේ!
2. මහන දමට මුල පිරුණු හැටි

මේ එලිදරව්ව ගැන නොයෙකුත් අදහස් දක්වල තියෙනව බ්ලොග් බලන අපේ රසික ජනතාව. සමහරු හිතල මේ ෆොටෝෂොප් වැඩක් ද කියල.

එකක් කියන්නම්. මෙතන එහෙම හොරයක් බොරුවක් නෑ. ඒ ෆොටෝවල ඉන්නෙ මේ කතන්දරකාරයා ම තමයි. ඒ තායිලන්තෙදි ගත්ත ෆොටෝ. ඒ මං පොරවල ඉන්නෙ හොඳ තායි සිවුරක්. අර මාරයාගේ හෝරාව ලියන කුමාරත් කියල තියෙන්නෙ හොඳ සැප සනීප සිවුරු ජාතියක් කියල ඒව. මගේ කෙටි මතකයට අනුව ඒ කතාව ඇත්ත.

හැබැයි ඉතිං මං මේ කියන්නෙ ඇත්ත උනත් මේක කතන්දරයක් බව අමතක කරන්න එපා.

විවිධ කතන්දර ජාති තියෙනවනේ. සුන්දර ආදර කතන්දර, විරහ වේදනාව ගැන කතන්දර, ඒ එක්කම දුක මැදින් පොඩි හිනාවකුත් ගෙන එන කතන්දර.

මං මෙච්චර කල් කිව්වෙ ජීවිතේට හිනාවක් එකතුකර ගන්න පුළුවන් කතන්දර තමා වැඩිපුරම. එකක් දෙකක් විතර දුක්බර ඒව තිබුණ තමයි.

මේ මහණ වෙච්ච කතන්දරේ නං කුතුහලය දනවන එකක්. අපේ තරිඳු උපාසකතුමා ගේ ශෛලියෙන් ටික ටික කියන්නෙ ඒකයි. උන්නැහැ ට යි, කුමාර ට යි දැන් මේ කතන්දරේ පොට දෙපොට ටිකක් තේරිලා තියෙන්නෙ.

අද මට හිතුන වෙනසකටත් එක්ක තායිලන්තෙ ඉඳිද්දි ගත්තු ෆොටෝ ටිකක් දාන්න. මේව කලකට ඉස්සර ඩිජිටල් යුගයට කලින් වකවානුවක ගත්තු ඒව.

තායිලන්තය කියන්නෙ බෞද්ධ රටක්. ඉතා පැරණි ශිෂ්ඨාචාරයක් තියෙනව. මේ කලාපයේ තියෙන අනෙක් රටවල් වගේ කවදාවත් බටහිර රටකට යටත් වෙලා ඉඳල නෑ. හැබැයි සියවස් ගණනාවකට ඉස්සට කාලෙන් කාලෙට උතුරු බටහිරෙන් බුරුම ආක්‍රමණවලටයි, දෙවන ලෝක යුද්දෙ කාලෙ ජපන් බලයටයි රටේ එක එක ප්‍රදේශ යටත් වෙලා තියෙනව. තාමත් රජ කෙනෙක් ඉන්නව. නමුත් පාර්ලිමේන්තු, ඡන්ද, අගමැතිවරු ක්‍රමයෙන් තමයි රට පාලනේ වෙන්නෙ. මිලිටරියත් හරිම බලගතුයි.

රටේ හැම තැනම පන්සල් පිරිල. සමහර පුරාණ නගර තියෙනව, ලොප්බුරි, සාරාබුරි, කන්චනාබුරි, චියන්මායි, චියන්රායි වගේ හරියට අපේ රටේ අනුරාධපුරේ ගියා වගේ තමයි. ඒ තරමට ගඩොල්, වෙහෙර, නටඹුන්.
ඔය උඩින්ම දාල තියෙන ෆොටෝ එක දැවැන්ත බුදු පිළිමෙක එකක්. ඒකෙ සයිස් එක පේනවා නේද සිවුර අන්දවන්න උඩට නැගල ඉන්න පොර දිහා බැළුවහම?

මේ තියෙන්නෙ අගනුවර බැංකොක් වලට කිට්ටුව තියෙන ධම්මකාය විහාරයේ පෝය දිනක භාවනා පූජාවක්. හාමුදූරුවරු 500 ක් විතර අර ඉස්සරහ තියෙන වේදිකාවෙ එරමිණිය ගොතාගෙන, උපාසක උපාසිකාවො ඉස්සරහ තණකොළ ගොල්ලෙ.



රෑ වෙන කොට හැමෝම ඉටිපන්දම් ලාම්පුවක් පත්තුකර ගන්නව. හරිම ලස්සන දර්ශණයක් නේද?



මේ බැංකොක් නගරයේ තියෙන එමරල්ඩ් බුද්ධා පන්සල ඉස්සරහ හිටගෙන ඉන්න කතන්දරකාරයා.



මේ පන්සල ලොප්බුරි වල එකක්.



ඔය ඉස්සරහ ඉන්න හැන්ඩ්සම් පොර කවුද කියල දන්නව නේද?

අදට ඔය ඇතිනෙ. මීලඟ කොටසින් මේ මහණ වෙච්ච කතන්දරේ ඉවර කරනව. අනිව ඩෙෆා!

කතන්දරකාරයා

ප/ලි
මගේ මහණ දිවියට අවසාන වුණු හැටි මෙන්න.
http://kathandara.blogspot.com.au/2010/03/blog-post_12.html

Wednesday, 10 March 2010

මහණ දමට මුල පිරුණු හැටි


කතන්තරකාරයා මහණ වී සිටි බව එලිදරව්වේ! කියන මගේ පෝස්ට් එක බලපු කීප දෙනෙක් ම මගෙන් ඉල්ලල තිබුණ මේ ගැන වැඩි දුරටත් ලියන්න කියල.

හැබැයි "හීරළුවා" කියන නම නං අපේ තරිඳු මලයා බුත්තියට සින්න කරගෙන. මට "උපැවිදි" කියන නම ගන්න කියලයි එතුමා කියා සිටින්නේ. හොඳයි, හොඳයි, වයස කෙසේ වෙතත් සම්ප්‍රදාය රකින්නම්කෝ. "හීරළුවා" කියන නාම විශේෂණය ඔබතුමාම තියාගන්න.

හොඳයි දැන් බහිමු කතන්දරේ ට.

අපි දන්නව රාහුල හාමුදුරුවො මහන වුනේ තාත්ත එක්ක ගිහින් වයස හතේ දි විතර. හැබැයි නන්ද කුමාරය නම් ලොකු මහත් වුනාට පස්සෙ, කොටින්ම වෙඩින් එකට දවසකට කලින්. තරිඳු, කුමාර දෙන්නත් ඔය වගෙ ලොකුම මහත් වෙලා මහන දම පටන්ගත්තු අය. ඊලඟට වැඩි කාලයක් යන්න කලින් මොනයම් හේතුවක් නිසා සිවුර ඇරල, උපැවිදි ඬෙච්ච කට්ටිය.

ජේ.ආර්.ජයවර්දෙන ගෙ පොඩි මල්ලි, සේදවත්තේ ධම්මරුචි නමින් මහණ වුනේ නීති වෘත්තියෙන් විශ්‍රාම ගියාටත් පස්සෙ. මේ වගේම පොලිස් සුපිරින්ටැන්ඩන්ට් කෙනෙකුත් විශ්‍රාම ගිහින් පස්සෙ මහණ වෙලා ලොකු භාවනා මධ්‍යස්ථානයකුත් දාල තිබුණ මහනුවර පැත්තෙ.

ථෙරපුත්තාභය ල වගේ අය මහණ කම අතහැරල තමන්ගෙ රජ්ජුරුවන් ට මුළු රටම අල්ලල දෙන්න යුද්දෙට ගියා. එලාර යි දුටුගැමුණුයි බර අවි යොදා ගෙන ජන ඝාතනයක් කරන්නෙ නැතුව, ඩුවට් එකකින් වැඩේ ෂේප් කල නිසා පණ නල බේරගෙන ඇවිල්ල ආපහු මහණ වුණා. අපේ තරිඳු යි, කුමාර යි හිතන් ඉන්නෙත් එහෙම කරන්න නේ!

දැන් ඉතිං මං මහන දම ආරම්භ කරපු කතාවට එමුකො.

මේ කාලෙ වෙනකොට මං ඉස්කෝලෙ අවුරුදු දාහතරක් තැපල, ඊලඟට තවත් තිප්පොලක අවුරුදු හතරක් තැපල අවසානෙදි ලොකු පොරක් වෙලා තුන්වෙනි රස්සාව කරන කාලෙ.

මහා යකඩ කදන් මැද ඒ රස්සාව කර කර හිටිද්දිම, මට යන්න වුනා පස්-තාච්චි සම්බන්ධ වැඩකට.

ඔන්න ඔය කාලෙදි තමයි මට රටත්, ජාතියත්, ආගමත් වෙනුවෙන් මේ තීරණය ගන්න වුනේ.

ඔතන ඉඳල ඊ ලඟ කොටසෙන් කියන්නම්.

මාත් තරිඳු වගේ උපැවිදි කෙනෙක් හින්දා ඉතිං එක පාරකට පුංචි කොටසක් විතරයි නෙ කියන්න ඕනැ – අර සුදන්ත සාදුගෙ කතාවෙදී වගේ.

එතකං මෙන්න සුදන්ත සාදු මහන වුන හැටි ගැන කියවන්න.

හෙට කොටසෙන් හමුවෙන තුරු මේ ටික විතරක් කියන්නම්. මං සිවුර පෙරෙව්වෙ ඔය සුදන්ත සාදුට වඩා වෙනස් විදියකට.

මං ඒ දවස්වල හිටියෙ තායිලන්තෙ බැංකොක් නුවර....!!!

කතන්දරකාරයා
kathandara@gmail.com

ප/ලි
මගේ මහණ දිවියට අදල ඡායාරූප මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com.au/2010/03/blog-post_11.html

Tuesday, 9 March 2010

කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!







සිංහල බ්ලොග් අවකාශයේ මෙතෙක් සිටි එකම උපැවිදි පුද්ගලයා අච්චාරු බ්ලොග් එක ලියන තරිඳු නේ.

තරිඳු ලියන "සුදන්ත සාදු ගේ දිනපොත" නවකතාවක් වගේ අපි කොටස් වශයෙන් කියවනවා. මේ දවස්වල යන්නේ ඒකෙ 11 වෙනි කොටසයි. එක කොටසක් කියවලා ඊලඟ කොටස එනකං ඉවසිල්ලක් නෑ ගොඩ දෙනෙකුට.

නමුත් තරිඳු විතරක් නෙමේ වගේ බ්ලොග් අවකාශයේ ලිපි ලියන කියවන අය අතර උපැවිදි අය ඉන්නේ. මගේ "ඊ ලඟ ආත්මේ හොඳ තැනක ඉපදෙමු...!!!" කතන්දරේ ට කමෙන්ට් එකක් දැමු මාරයාගේ හෝරාව ලියන කුමාර ද තමන් උපැවිදි කෙනෙක් බව හෙලි කරලා තියෙනවා.

මං මෙතනදි "උපැවිදි" වගේ බර වචනයක් පාවිච්චි කලේ තරිඳු තමන්ට කියා ගන්නවා වගේ "හීරළුවා" යැයි කියන්නට මට නිකං මොකක්ද, මොකක් ද වගේ හින්දයි.

ඒකට හේතුව ඔය උඩින් තියෙන ෆොටෝ දෙකෙන් තේරුම් ගන්න පුළුවන් නේද?

වැඩි විස්තර ඕනැ නම් කියන්න. ඕනැ නං මාත් ලියන්නම් හොඳ හොඳ කතන්දර.

කතන්දරකාරයා

ප/ලි:
මගේ මහණ කම ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/03/blog-post_10.html

Monday, 8 March 2010

තඩි ප්‍රියන්ත, ලොකු අතුල සහ හොඳ සුරන්ජිත්


එක වගේ දේවල් දෙකක් හෝ ඊට වැඩිය තියෙන කොට එහෙම නැත්තං එක වගේ අය දෙන්නෙක් හරි ඊට වඩා හරි ඉන්න කොට මේ අය වෙන්කරල අඳුන ගන්න අපිට ක්‍රමයක් ඕනැ වෙනව.

අපි හැමෝටම නම් දාල තිබුනට එකම නම කී දෙනෙකුට තියෙනව ද? සුද්දන් අතර නම් ජෝන් ල, පීටර් ල, මයිකල් ල වැහි වැහැල. සිංහල නම් නං පරම්පරාවෙන් පරම්පාරාවට වෙනස් වෙන හින්ද වැඩේ නරකම නෑ.

ඒත් ඉතිං නිමල් ල, සරත් ල, සුනිල් ල, රංජනී ල, මල්ලිකා ල කොච්චර ඉන්නවද ලොකු පරම්පරාවල, පොඩි පරම්පරාවල ත් නදුන් ල, සඳුනි ල, රොෂාන් ල, නිලූෂි ල වැහි වැහැල.

එකම මුල් නම තියෙන දෙන්නෙක් හිටියොත් ඒ දෙන්නව වෙන් කරල අඳුනගන්න තව නාම විශේෂණයක් ඕනැ වෙනව.

මේ කතන්දර මාතෘකාවෙ මුල් නම් දෙක, ඒ කියන්නෙ තඩි ප්‍රියන්ත සහ ලොකු අතුල කියන නම් දෙක ඒවගේ හැදිච්ච ඒවා මයෙ හිතේ. ඔය කියන දෙන්නම දැන් ලේඛකයො.

ඒ කාලෙ කෙට්ටු ප්‍රියන්ත කෙනෙක් ඉන්න ඇති ප්‍රියන්තගෙ ක්ලික් එකේ. පොඩි අතුල කෙනෙක් ඉන්න ඇති අතුලගෙ ක්ලික් එකේ.

ඔය සේරම කතා ලිව්වෙ මෙන්න මේ කතන්දරේ කියන්නයි.

ඒ දවස්වල අපේ හොඳ යාළුවෙක් හිටිය නම සුරංජිත්. කාලයක් යන කොට අපිට තව පොරක් සෙට් වුනා. මෑන්ස් ගෙ නමත් සුරංජිත්. ඉතිං මොකද කරන්නෙ? එකෙක් ගැන කතා කරන්න බැහැ අනික කියල පැටලෙනව.

ටික දවසකින් ප්‍රශ්ණෙ විසඳුනා.

එදා ඉඳල පස්සෙ සෙට් වෙච්ච පොරට නම වැටුන හොඳ සුරංජිත් කියල. අනිත් පොරට අමුතුවෙන් විශේෂණ දාන්න මහන්සි වෙන්න ඕනැ වුනේ නෑ.

තාමත් හොඳ සුරංජිත් කිව්වහම කවුරුත් දන්නව මේ කා ගැනද කතා කරන්නෙ කියල. ඒ එක්කම එදා වගේම අපි හැමෝටම හිනා යනව.

අපේ ඔරිජිනල් සුරංජිත්ටත් එදා වගේම අදත් නහුතෙට කේන්ති එනව ඇති.

කතන්දරකාරයා

ප/ලිඃ මේ කතන්දරේ මතක් වුනේ සුදන්ත සාදුගෙ කතාව බලනකොටයි.

Sunday, 7 March 2010

ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!


මේ ලඟදි දවසක බූන්දි ලයිව් ඊ-මේල් ලිස්ට් එකට පරණ ටෙලියක තිබුණු සින්දුවක් ගැන ඔත්තුවක් ඉල්ලල මේල් එකක් එවපු නොදුටු හිතවතෙක් මෙන්න මෙහෙම ලියල තිබුණ.

"බොහෝ කලක් සෙවූ මුත් ගීය හමු නොවුන හෙයින් සොයා දෙන කෙනෙකුට මතු භවයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජුයිලියාර්ඩ් මියුසික් ඇකඩමිය අසළ හෝ ඉන්දියාවේ භාත් ඛන්ඩේ අසළ උපදින්නට පින් අනුමෝදන් කරමි."

වෙනත් හිතවත් යුවලක් ඒක හොයල එව්වහම ආපු උත්තරේ මෙන්න මෙහෙමයි.

"මේ කර ගත්තාවූ කුසල කර්මයේ ආනිසන්සෙන් අක්කාට ලබන ආත්මයේ මැඩෝනාට හිමි තැන හෝ මන්ගේෂ්කාර්ට හිමි තැන ලැබේවා කියල ප්‍රාර්ථනා කරන අතරෙම අයියාට සී.එන්.එන් වැනි දැවැන්ත මාධ්‍ය ජාලයක හිමි කරු වීමට ලැබේවායි ඉත සිතින් පතමි."

මේක දැකපු වෙලේ මට මතක් වුනා හොඳ කතන්දරයක්.

ඩෝල්ටන් ල අමරදේවල කිව්වට සසර වසන තුරුම සිරි ලංකාවෙ ඉපදෙමු කියල, දන්නවනෙ, ඒව ඉතිං දශක ගණනක් පරණ කතා. බෝට්ටුවක නැගල හරි පිට රටකට පැනගන්න ඉන්න අපේ "විදේශප්‍රිය" ල නං අහුවෙයි ඕවට.

ඒ කොහෙම වුනත්, අපේ හාමුදුරුවරු නං පාංශුකූලෙ පින් අනුමෝදනාවෙදි විතරක් නෙමේ හැම තිස්සෙම කියන්නෙ මරණින් පස්සෙ දිව්‍ය සැප සම්පත් සහිතව සුගතියක ඉපදිලා කෙලවර අමා මහ නිවන් සුව අත්පත් කරගන්න කියලනෙ.

මරණින් පස්සෙ සුගතියක ඉපදෙන්න පැතීම තුලින් ම ආපසු ලංකාවෙ ඉපදීමේ option එක exclude කරන්න වෙනව නේද? අනේ මන්දා!

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න මං දන්න පවුලක ඉන්නව අවුරුදු නමයක විතර පොඩි කොළු පැංචෙක්. මේ මුළු පවුලම ටිකක් ආගම දහමට බර, නිතරම පන්සල් යන කට්ටිය.

අනේ ඉතිං ඔන්න එක දවසක අපේ කොළු පැටියගෙ සීය, ඒ කියන්නෙ අම්මගෙ තාත්ත මිය ගියා ය කියන ආරංචිය ආව. හදිසියෙමත් නෙමේ, ටික කලක් අසනීප වෙලයි හිටියෙ සීය.

ඉතිං හිතේ දුකින් අම්ම අඬන්න පටන් ගත්ත ඉකි ගහමින්. අපේ කොළු පැටියටත් හරි දුකයි. කොල්ල ගියා අම්ම ලඟට. අම්මත් ඉතිං පැටියව තුරුළු කරන් තවත් හයියෙන් අඬන්න පටන් ගත්ත.

අම්මට තුරුළු වෙලා ඉන්න ගමං පොඩි එකා කිව්ව මෙන්න මෙහෙම.

අඬන්න එපා අම්මි. සීය මළාට හොඳ තැනක ඉපදෙයි "හොලිවුඩ්" වල වගේ!

හොඳ තැනක ඉපදෙන්න කියල හාමුදුරුවරු ප්‍රාර්ථනා කරන කොට තුසිත දිව්‍ය ලෝකෙ වගේ නොදුටූ නොදන්නා තැන් ගැන අපි හිතාගන්නව. අඩු වශයෙන් මේ පොඩි ළමය තමන් ටෙලිවිෂන් එකෙන්, මූවි වලින් දැකල තියෙන තැනක් ගැනයි හිතාගෙන ඉඳල තියෙන්නෙ.

ඒ මිය පරලොව ගිය සීයා සසර වසනා තුරු සියළු සැප සම්පත් මැද "හොලිවුඩ්" හි ඉපිද අවසානයේ උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගනිත්වා!

සාදු, සාදු, සාදූ!

කතන්දරකාරයා

Saturday, 6 March 2010

කතන්දරකාරයාට තවත් ලොතරැයි දිනුමක්?


මං පොඩි කාලෙ පහේ පන්තියෙ ඉන්න කොට මට ලොතරුයි දිනුමක් ඇදුනොත් කියන මාතෘකාවෙන් රචනාවක් ලිව්ව හැටි ගැන මීට කලින් ලියපු කතන්දරේ බැළුව නේද?

සල්ලි වලින් කරන වැඩ ගැන ලියනව ට වැඩිය හිත හිත හීන බලන එක එදත් අදත් ජොලි වැඩේ.

ජැක්සන් ඇන්තනි ගෙ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න හිතාගෙන ඒ දවස්වල ගත්තු ලොතරැයි ඇදුනෙ නැති හින්ද කාලයක් නොගෙන හිටියත්, තාමත් මං විටින් විට ලොතරැයි ගන්නව. හැබැයි ඒ ජැක්පොට් එක මිලියන් පහක් හෝ ඊට වැඩි වුණහම විතරයි. එතකොට තමයි ලොතරැයිය ලාවට හරි සාධාරණ තරගයක් (a fair game) වෙන්නෙ.

ඒ සාධාරණ තරගය කියන එක ගණිතමය සංකල්පයක්.

ඒ කියන්නෙ ඕනැම ලොතරැයියක් ඇදෙන්න හැකි සම්භාවිතාවයක් තියෙනවනෙ. උදාහරණයක් විදියට අංක හතලිස් පහක් තියෙන ලොතරැයික අපි ලකුණු කරන අංක පහට අයිති පිං-පොං බෝල ටික ගිරා කූඩුවෙන් එලියට එන්න තියෙන සම්භාවිතාවය 5x4x3x2/(45x44x43x42x41). ජැක්පොට් තෑග්ග රුපියල් කෝටියක් නම්, ඒක මගේ ටිකට් එකට ඇදීමේ අපේක්‍ෂාව වෙන්නේ දිනුම x සම්භාවිතාව:

10,000,000 x 5x4x3x2/(45x44x43x42x41)

(වැඩේ සරල වෙන්න ඊලඟ ගිරා කූඩුවයි අනිත් පොඩි පොඩි තෑගි ටිකයි අමතක කලා).

ඒ කියන්නේ දැන් අපි රුපියල් විස්සක් දීල කෝටියක් තෑග්ග තියෙන ලොතරැයි ටිකට් එකක් ගත්තහම ඒකේ අපේක්‍ෂාව රුපියල් අටකුත් ශත ගාණක් විතරයි. ජැක් පොට් එක ලොකු වෙන තරමට තරගය සාධාරණ වෙනව.

මේක සසඳලා බලන්න දෙන්නෙක් එකතු වෙලා බූරුව ගහනව හරි, කාසියක් උඩ දානව හරි කියල රුපියක් විස්ස, විස්ස දෙන්න දාල ඔට්ටුවට. දිනීමේ සම්භාවිතාවය 0.5 යි. දිනුම රුපියල් 40 යි. අපේක්‍ෂාව රුපියල් 20 යි. මේක සාධාරණ තරගයක්.

අමතක වෙන්න කලින් මේකත් කියන්න ඕනැ. මං ගිය සුමානෙත් ගත්ත ලොතරැයියක්. ඒ මොකටද දන්නවද? අර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කරන්න ගිහිල්ල පුදන කොටම කාපි යකා වගේ මුහුරත් උළෙලෙන් පස්සෙ නතර වෙලා තියෙන දුටුගැමුණු චිත්‍රපටියෙ අළුත් නිෂ්පාදකය වෙන්න.

මොකද මාත් ඉතිං දුටුගැමුණු ට කැමති, දුටුගැමුණු ගැන කතන්දර ලියන පොරක් නේ!

තවත එකක්. මං ලොතරැයියක් ගත්තත් ගනනේ එක ම එක ටිකට් එකක් විතරයි. වාසනාව තියෙනව නම් ඇදෙන එක ඇදෙනවමයි. ටිකට් ගොඩක් ගන්නෙ ඇයි?

ලොතරැයි සිහිනය දිගටම.....

කතන්දරකාරයා
(මෙහි වූ ගණිත දෝශයක් facebook එකේ දී පෙන්වා දීම ගැන වසන්ත ට මගේ ස්තුතිය.)

Friday, 5 March 2010

කතන්දරකාරයාට ලොතරැයි දිනුමක්?


ඉස්සර අපි පොඩි කාලෙ පොඩි පන්තිවල ඉන්න කොට අප්‍රියෙල් නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝලෙ පටන් ගත්ත මුල සතියෙම සිංහල විෂයයට අනිවා ඩෙෆා කරන්න වෙන වැඩක් තමයි "මා පාසල් නිවාඩුව ගත කළ අන්දම" කියලා වාක්‍ය රචනාවක් ලියන එක.

මේක කොච්චර හරියන දෙයක්ද කියනව නම්, මං පහේ පන්තියෙදි දෙවන වාරයේ ඉස්කෝලෙ යන්න කලින් නිවාඩු කාලෙදිම රචනාව ලියාගෙනයි ගියේ.

ඔව්, ඔව්, ඒ දවස්වල ඉඳලම මං කතන්දර ලියන්න එච්චර උනන්දුයි!

"මා පාසල් නිවාඩුව ගත කළ අන්දම" වගේම තවත් ටීචර් ලා අතර ජනප්‍රිය මාතෘකාවක් තමා "මට ලොතරුයි දිනුමක් ඇදුනොත්" කියන එක.

හැබැයි මේ මාතෘකාවෙන් ලියද්දි නම් අපිට ඕන හැටියට, ඕනැ තරමට නිර්මාණශීලී වෙන්න පුළුවනි.

දෙමව්පියන් ට සල්ලි දෙන හැටි, නංගිල මල්ලිල පවුලෙ අයට සලකන හැටි, නැති බැරි අයට සල්ලි දෙන හැටි, ලොකු වෙලා කාර් එකක් ගන්න හැටි.. .. ..

ඒ දවස්වල ඔය රචනය ලියනවට වඩා ජොලි වැඩේ තමා ඒ ගැන හිතමින් හීන දකිමින් ඉන්න එක - නේද?

වැඩේ කියන්නෙ මේකයි. පහේ පන්තියෙදි විතරක් නෙමේ, පහලොවෙ, විසි පහේ පන්තිවලදිත් ඔය මාතෘකාවෙන් ලැබෙන වින්දනය නම් අඩුවක් නෑ.

ඔන්න දැන් අවුරුදු හත අටකට කලින් මං අහම්බෙන් වගේ එක්කො සරසවිය පත්තරේ හරි එහෙම නැත්තං සිකුරාදා දිවයින පත්තරේ හරි බලද්දි දැක්ක ජැක්සන් ඇන්තනි එක්ක කරල තිබුණු සම්මුඛ සාකච්ඡාවක්.

පත්තරකාරය ජැකාගෙන් අහනව මෙන්න මෙහෙම.

"ඔබ ජුලියට් ගේ භූමිකාව කළායින් පස්සෙ චිත්‍රපටියක් අධ්‍යක්‍ෂණය කලේ නෑ නේද? මොනවද ඉදිරි බලාපොරොත්තු?"

ජැකා දීල තිබුණු උත්තරේ මෙන්න මේ වගේ එකක්.

"මං තිර රචනයක් ලියලයි තියෙන්නෙ. ඒකට නිෂ්පාදකයෙක් හොයා ගන්නයි මේ දවස්වල මහන්සි වෙන්නෙ."

ඔය කතාව කියවපු මං කෙලින්ම සිහින ලෝකෙන් පහේ පන්තියට ගිහිං මගෙ අර "විෂ් ලිස්ට්" පැතුම් ගොන්න අළුත් කළා.

"මට ලොතරුයි දිනුමක් ඇදුනොත් ජැක්සන් ඇන්තනි ගේ මීලඟ චිත්‍රපටිය නිෂ්පාදනය කරමි!"

එදා ඉඳල සති පහක් හයක් යනකම් හැම සතියෙම වගේ ලොතරැයි ගත්තත් හොඳ වෙලාවට වගේ ඒ එකක්වත් ඇදුනෙ නෑ.

ඇදුන නම් හෙම, බුදු අම්මෝ, අරා "අබා" එකට අපේ කට්ටිය බැන්න බැනුම් ටික මටත් බෙදා ගන්න වෙනව නොවැ.

මගේ පහේ පන්තියෙ වාක්‍ය රචනාවෙ මං ඔය සිහින පැතුම් ගොන්න ගැන ලිව්වට මගේ මල්ලිට තිබුණ මට වඩා මොලේ.

ඌ වාක්‍ය රචනයට ලිව්වෙ එකම එක වාක්‍යයයි.

"මට ලොතරුයි දිනුමක් ඇදුනොත් මම ඒ මුළු මුදලම බැංකු ගිනුමක තැන්පත් කරමි."

(අපේ බ්ලොග් පාඨකයින්ටත් ඇති නේද මේ වගෙ අත්දැකීම්?)

කතන්දරකාරයා
kathandara@gmail.com

Thursday, 4 March 2010

සීයා - හතරවෙන කොටස : ආච්චිගෙනුත් කතාවක්


හැමදාම සීය ගැන ම කතා ලියන්නෙ ඇයි නේද?

මං සීය ජෝන් මහත්තයගෙ හැකර කට වහපු හැටි ගැන ලිව්ව. සීය ගෙ ජීවිතේ දෛවෝපගත දිනයක් ගැන ලිව්ව. සීය ගෙ කෝට් එක නැතිවුණු කතන්දරේ ලිව්ව.

ඉතිං අද ආච්චිගෙ දවස!

අපේ ආච්චි ගෙ තාත්ත වෙද මහත්තයෙක්. ඒ කාලෙ ඉතිං ඉස්පිරිතාලෙ යන එකයි කොටින්ම බටහිර වෙදකමයි ගම්වල වැඩිය කෙරුණු දෙයක් නොවෙයි නෙ.

ඉතිං ආච්චි ගෙ තාත්ත ගෙන් බේත් ගන්න මිනිස්සු පිරිලා ලු උදේ හවස වෙනසක් නැතුව. විවිධාකාර මිනිස්සුන් ගෙ විවිධාකාර කතා අහන්න හැසිරීම් බලන්න ආච්චිලටත් ඒ නිසා ලැබුණා.

එක දවසක් වෙද මහත්තයගෙන් බේත් ගන්න ආපු ගමේ ලොකු පවුලක කාන්තාවක් කතා කරනව ආච්චිට ඇහිල තියෙනව ගේ ඇතුලට.

මෙන්න මෙහෙමයි එයා කතා කරල තියෙන්නෙ.

"ඒඛයෑහ්, වෙධ මහත්ථයෝහ්, මා ඊයේහ් රාඨ්‍රියේ පුධුමාකාර භය වීමඛ් භය වුනාහ්. මා අම්මාථ ඛඨා ඛලාහ්, ඛඨා ඛලාහ්, ඒත් ඇය ඛඨාහ් ඛලේම නෑහ්."

මං හිතන්නෙ අපේ වෙද මුත්තා හොයා ගන්න ඇති මේ ලෙඩාට තියෙන්නෙ මහාප්‍රාණ පිළිබඳ රෝගයක් බව!

මේ කතන්දරේ ලියන කොට මට අපේ නැන්ද කියපු කතන්දරයකුත් මතක් වුනා.

අපේ ගමේ ඉඳල තියෙනව ඒ කාලෙ ඉතා ප්‍රසිද්ධ භාෂා විශාරද පණ්ඩිතයෙක්. හෙළ හවුලෙ සාමාජිකයෙක් සහ කවියෙක්. එයාගෙ දුව අපේ නැන්දගෙ යාළුවෙක්.

ඉතිං මේ භාෂා විශාරදය කලකට පස්සෙ මිය ගියා. අපේ නැන්දත් ගියා අවමගුලට. එදා තාත්තගෙ ශරීරය ආදාහනය කරන වෙලේ චිතකය ගිණි ගනිද්දී එයා ගෙ දුව ඇඬුවෙ මෙහෙමළු.

"පියාණනි, පියාණනි, අහෝ කෙතරම් ඛේද ජනකද?"

"අහෝ! අහෝ!! අහෝ ඇවිලෙන ගිනි ජාලය!!!"

කොහොමද දුවගේ භාෂා විලාශය!

කතන්දරකාරයා

Wednesday, 3 March 2010

සීය ගෙ කෝට් එක


කතන්දරකාරයගෙ ජොලි සීය දැන් සිංහල බ්ලොග් අවකාශයේ ජනප්‍රිය නිසා, මට හිතුන සීය ගැන තවත් කතන්දරයක් ලියන්න.

සීය ගුරුවරයෙක් වුනු දෛවෝපගත දවස ගැන කතන්දරේ කියෙව්ව නේද? කියවන අය අමතක කරන්න එපා ඒ කාලෙ අපේ සීය, සීය කෙනෙක් නෙමේ අවුරුදු දහ අටක විතය කොළු ගැටයෙක් බව.

සීය මුලින් ම ගුරුවරයෙක් විදියට වැඩට ගියේ ට්වීඩ් රෙද්දයි, අත් දිග කමිසයයි ඇඳල උඩින් කෝට් එකක් දාගෙනයි. ඒ සුද්දගෙ කාලෙ. ඒ දවස්වල ලංකාව මෙච්චර රස්නෙ නෑ. හැබැයි මං දන්න කාලෙ නං සීය ඇන්දෙ ජාතික ඇඳුම. ජාතික ඇඳුම බහුතර භාවිතයට ආවෙ ලංකාවට නිදහස ලැබුණයින් පස්සෙනෙ.

ඉතිං දවසක් අපේ සීයගෙ කළු කෝට් එකක් කළුතර යන බස් එකේ දි නැතිවුනා. සීයගෙ කෝට් එක සීය ට ඉතාම වටිනව. ඉතිං සීය විපරම් කරල බැළුව මේ ගැන බස් කොම්පැණියෙන් හෙම.

ඔන්න දවසක් ලැබුණ ආරංචියෙන් කියවුනේ මේ කෝට් එක කළුතර ඉස්කෝලෙක ශිෂ්‍යාවක් ඇහින්දා ය, ඒක ඒ ළමයා ඉස්කෝලෙට බාර දුන්නා ය කියලය.ි

සීයයි තවත් යාළුවෙකුයි පහුවදාම වගේ ගියා මේ කියන ඉස්කෝලෙට. කෙලින්ම දෙන්න ගියේ පාසලේ විදුහල්පති කාර්යාලයටයි. ඒ ඉස්කෝලෙ විදුහල්පති ගෑණු කෙනෙක්.

මෙන්න එතැන ඇතිවූ දෙබස.

විදුහල්පතිණියඃ "යුෂ්මතුන් කොයි පලාතේද?"

සීයාඃ "අපි මේ හොරණ පැත්තේ."

විදුහල්පතිණියඃ "කුමක් නිසා මෙහි පැමිණියේද?"

සීයාඃ "මේ මගේ කොට් එකක් කළුතර යන බස් එකකදි නැතිවුනා. ඒක මේ ඉස්කෝලෙ ළමයෙක් ඇහිඳලා කාර්යාලයට බාර දුන්න කියල ආරංචි වුනා. ඒක බලන්නයි ආවෙ."

විදුහල්පතිණියඃ "එබන්දක් මෙහි සිදුවී නැත."

සීයාඃ "ආ, ඇත්තද?"

විදුහල්පතිණියඃ "මා කියන්නේ සත්‍යයකි. එබන්දක් මෙහි සිදුවී නැත. යුෂ්මතුන්ට දැන් පාසලෙන් පිටවී යා හැක."

පස්සෙ කාලෙක ජෝන් මහත්තයගෙ කට වහන්න පුළුවන් වුනාට සීයට මෙදා පුළුවන් වුනේ තමන් ගෙ කට වහගෙන ආපහු හැරිල එන එක විතරයි.

කතන්දරකාරයා
http://kathandara.blogspot.com/