Thursday 8 April 2010

පන්ති නායකයෝ හෙවත් චෝක් සප්ලයර්ස්ලා - Class Monitors alias Chalk Suppliers


ගිය අවුරුද්දේ දවසක මං ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝද කියන හෙඩිම දාලා කතන්දරයක් ලිව්වා. ඒක කියවපු නැති අයට මෙන්න ලින්ක් එක ආපහු.

ඒ කතන්දරේ තිබුනේ නං මගේ පන්තියේ හිටපු යාළුවෙක්, ශිෂ්‍ය නායක තනතුරක් ලැබුනට පස්සේ වෙනස් වුණු හැටි. නමුත් ඒ අස්සට මං දාපු බයිලා නිසා පොඩි පහේ විවාදයකුත් ඇතිවුනා!

මං හිතන්නේ, අපි වැඩි දෙනෙකුට එකඟ වෙන්න පුළුවන් කාරණයක් තමයි, ශිෂ්‍ය නායකයෝ කියන්නේ පොදු වශයෙන් ශිෂ්‍යයින් ගේ නායකයෝ නම් නෙමේය කියන එක.

ඒ ගොල්ලො, පත්වෙන විදියෙන්, හැසිරෙන විදියෙනුත්, ඒ අයගේ ජොබ් ඩිස්ක්‍රීප්ෂන් එක අනුව බැළුවහමත්, පැහැදිලි වෙන දෙයක් තමයි ශිෂ්‍ය නායකයෝ කියන්නේ පාසැලේ පරිපාලනය කරගෙන යාම සඳහා ප්‍රින්සිපල් ට යි, ළමුන්ගේ විනය බාර ගුරුවරුන්ටයි උදව් වෙන්න ඉන්න පොඩි පහේ සෙකුරිටි කට්ටියක් බව. (වෝකි ටෝකි විතරයි අඩු!)

පන්ති නායකයින් කියන්නේත්, ශිෂ්‍ය නායකයින් වගේම කට්ටියක්.

බොහෝ විට මේ නායකයින්ව පත්කරන්නේ පන්තිබාර ගුරුවරයා ගේ කැමැත්ත අනුව. පන්ති නායකයින් ගේ රාජකාරිය වෙන්නේත්, ඔෆිස් එකෙන් හුණු කුරු ගෙන ඒම, ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් එක එහා මෙහා ගෙනයාම වගේ මැනුවල් ලේබර් වැඩ සහ ෆ්‍රී පීරියඩ් වල පන්තියේ ඝෝෂාව අඩුකරල ආංබාං කිරීම වගේ සෙකුරිටි වැඩ මිස පන්තියේ ළමයින්ට නායකත්වය දීම නම් නෙමේ.

මේ තර්ක නිකංම නිකං බයිල නෙමේ. අත්දැකීමෙන් කියන ඒව.

කතන්දරකාරය පොඩිකාලෙ, ඒ කියන්නෙ කතන්දර කුමාර කාලේ, එක වතාවක් නෙමේ තුන්වතාවක්ම ඔය පන්ති නායක කම කොරල තියෙනව.

මුල් වතාවෙ "පුංචි පහේ මං" කාලෙ නියම ප්‍රජාත්‍රාන්තික විදියට පන්ති නායක කමට පත්වුණා. මේ දවස්වල තමයි මට අර ලඬ්කාංඩුවේ අටපට්ටම් පැන්සල තෑග්ගකට හම්බ වුනේ.

දෙවෙනි පාර පළමුවෙන් පත්වීමක්, ඉන් පස්සෙ නිතරඟයෙන්. පත්වීම දුන්නෙ අර ටියුෂන් පන්තියකුත් කරපු ගුණරත්න සර්. අංශභාර ප්‍රධානී ටර්පන්ටයින් කාරය මගෙ බඩ මිරිකල නිරපරාදෙ දඬුවම් කලේ මේ කාලෙ තමයි.

තුන්වෙනි පාරට බෝට්ටුවෙන්, ඒ කියන්නෙ මනාප ලැයිස්තුවෙ නම නිකම්ම වගේ ඉස්සරහට ආපු නිසා. මේ කාලෙ වුණු දේවල් ගැන කතන්දර මං තව ලියන්න පටන්ගත්තෙත් නෑ.

මගේ පන්ති නායකකම් තුනම හොඳ කතන්දර උල්පත් බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ. දවසට එක ගානෙ ලිව්වත්, ඉවරයක් කරන්න සති ගානක් යයි වගේ.

කමක් නෑ, ලියන්නංකෝ පුළු-පුළුවන් හැටියට.

කුටුම්බයත් රැකගෙන මේ බ්ලොග් කෙරුවාව කරන එකත් ලොකු ප්‍රශ්ණයක් තමයි. ඔය කතන්දර කුට්ටි කරනව කියල ආඩපාලි කියන තනිකඩයන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

"දන්නෝ දනිති. නොදන්නෝ වැඩි දෙනෙක් ද කෙදිනක හෝ දැනගන්නවා ඇත!"

හෙට මං පහේ පන්තියෙ නායකය වුනු හැටි කියන්න ආයිමත් හමුවෙන තුරු පන්ති නායකයො ගැන දන්න දන්න දේවල් ලියල යන්න විනාඩියක් දෙකක් තියෙනව නම්.

කතන්දරකාරයා

ප/ලිඃ
නපුරු ගුරුවරු සීරීස් එක තාම ඉවර නෑ, ලේ හෙලවුන වේවැල් පහර, පස්ස පිච්චීමේ තර්ජනය, ඇඟිලි කැපීමේ තර්ජනය සහ නිකරුණේ දුන් දඬුවම කියන කොටස් විතරනෙ තාම ලිව්වෙ. ඊලඟට දැම්ම රසික නානායක්කාර එවපු දුක හිතෙන කතාව.

මේ පන්ති නායක කතන්දර එන්නේ අතුරු කතා විදියටයි. නපුරු ගුරුවරු ආයෙ පටන් ගන්නම් තව ටික දවසකින්.

11 comments:

  1. අපේ ඉස්කෝලෙ නම් පන්ති නායකය චෝක් අදින වැඩේ කරන්නෙ නෑ. ඒකට ඉන්නවා රෙකෝඩ් මොනිටර් (වාර්තා නායක) කියලා වෙනම එක්කෙනෙක්.
    හුඟක් වෙලාවට නායකයො විදියට පත් වෙන්නෙ ළමයින්ගෙ කැමැත්තෙන්. අහවලාව දාමු කියල කියන්නෙ තමන් ඔය කට්ට කන්න අකමැති නිසයි.

    ReplyDelete
  2. අපේ පංතිවල හිටපු පංති නායකයෝ එක්කෝ අපිටත් වඩා කෑ ගැහුවා ඒ නැත්නම් කොල්ලෝ කෑ ගහන එක බලාගෙන පැත්තකට වෙලා බලන් හිටියා

    ReplyDelete
  3. @Nadee
    @Hasitha
    අපේ කාලෙට වඩා දැන් තත්තෙ වෙනස් වගේ!!!

    ReplyDelete
  4. කුටුම්බය පිළිබඳ ප්‍රශ්නයක් නම් ඉතින් ආඩපාලි කියන එක හරි නැහැනේ... ඔක්කොටම වැඩිය වටින්නේ ඒක. කතන්දර කියන්න ගිහින් ගෙදරින් කන්න නැතිවුනොත් එහෙම! ඉඩක් ඇති වෙලාවක කතා මාලාවම ලියල ඉවරකරන්න...

    පංති නායක, ශිෂ්‍ය නායක වගේ මහා ගරුනම්බු නාම මටත් ලැබිල තියෙනවා..

    එවා ඉතින් ඒ දවස් වල ලොකු ලොකු දේවල්.. දැන් හැරිල බැලුවම නම් ඉතින් අර කිව්වත් වගේ ලේබර් වැඩ සහ සෙකුරිටි වැඩ තමයි.

    නමුත් ඒවායි සුළු සුළුවෙන් හෝ ලැබෙන නායකත්ව පුහුණුව සහ ස්වයං තීරණගැනීමේ හැකියාව වගේ දේවල් පාසලෙන් පසු ජීවිතයට රුකුලක් වෙනවා කියලත් මට හිතෙනවා...

    ReplyDelete
  5. හා පැටික්කිට නම් පුදුම බරක් අදින්න උනා ඔය පට්ටම හන්දා....
    අන්තිමට මගේ හම ගියා මිස් ගේ නම ගියා.....
    දුක හිතුනත් wat 2 doooo..... :(

    ReplyDelete
  6. අපේ පංතියට දැම්මෙ පංතියෙ හිටපු දඩබ්බරම එකා. මිස් වැඩිය හිතන්නෙ නැතුව දැම්මට ඌට පන්තිය නියමෙට ආම්බාම් කරගන්න පුළුවන් උනා. ඌ දැන් හමුදාවෙ ඔෆිසර් කෙනෙක්

    ReplyDelete
  7. දලා තියෙන් පින්තුරය නියමෙට ගෑලපෙනවා.මම අපේ 7 වසර පන්තියේ හිටපු පන්ති නායකයට නම දෑන්මෙත් ඔය පින්තුරේ ඉන්න එකවා තමා.පොරට AL කරනකන්ම ඒ නම තම කීවේ.

    ReplyDelete
  8. මේකෙ කතන්දරේ හොයා ගන්න නම් තාම බැරිවුණා. අර 'ජබා' ලියන්නෙත් ඔයාද?

    කොහොමත් මෙන්න මගෙ සප් එක.
    මම නවවෙනියෙ ඉන්දැද්දි මේ අවලම් තානාන්තරේ මටත් ලැබුණ. අපි හිටියෙ උඩ තට්ටුවෙ පංතියක. පඩිපෙල දෙකට නැවිල බිමට බහින්නෙ. පේන්නෙ නෑ යට ඉන්නෙ කවුද කියල. ඉතිං සයන්ස් ක්ලාස් එකට යන්න පංතියම පෝලිමේ පඩිපෙල බැහැගෙන ආව නියම කෝච්චියක් වගේ සද්දෙ දාගෙන. මම මගේ තනතුර හින්දම ආවෙ අන්තිමටම. කවුද දන්නෙ අපේ අළුත් පිනා පඩිපෙල මුල.

    "කවුද මේ පංතියෙ පංති නායකය? අල්ලනව අත"

    හතරක් වැදුන මට මතක හැටියට.

    හැබැයි ඒ පාරවල් හතරට පංතියෙ කොල්ලො හැමෝටම රිදුණ. ඉන් පස්සෙ ඉස්සරහින් යන එකා හැමදාම ඔත්තු බැළුව.

    අපේ ඉස්කෝලෙදි ඉස්සෙල්ලම එයා ගෙන් ගුටි කෑවෙ මම වුණත් අර 'මනමෙ කුමාරය'ට වගේ සලකන්න එයාට හිතෙන තරමෙ හොඳම ගෝලයෙක් වුණා මම පහු කාලෙ මේ ප්‍රින්සිපල්ගෙ.

    ඒව ඉතින් පරණ කතා...

    ReplyDelete
  9. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    @ලොකු
    ඔබ හරි - ඕක මට හිතුනේ මාස ගානකට කලින්.
    මෙන්න ලින්ක් එක.
    http://kathandara.blogspot.com/2009/09/blog-post_11.html

    ReplyDelete
  10. කතන්දරටත් අනාගතයක්....!

    මා පාර්ලිමේන්තුවට ගියත්
    කලා ජීවිතය අමතක කරන්නේ නෑ
    උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා)


    නෝමන් පලිහවඩන

    තමා පාර්ලිමේන්තුවට ගොස්‌ ජනතාවට සේවය කිරීමට බැඳී සිටින බවත් කලා ජීවිතය අමතක නොකරන බවත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයට එක්‌සත් ජාතික පෙරමුණෙන් පත්වූ උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා) "දිවයින"ට ඊයේ කියා සිටියාය.

    පාර්ලිමේන්තුවට ගොස්‌ ඉතා ආදර්ශවත්ව නිහතමානීව ජනතාවට සේවය කරන බව සඳහන් කළ උපේක්‍ෂා ස්‌වර්ණමාලි පාර්ලිමේන්තුවට ගිය පලියට කලාව අමතක නොකරන බව ද කීවාය.

    මෙවැනි ජයග්‍රහණයක්‌ ලබාදීමට ගම්පහ දිස්‌ත්‍රික්‌ ජනතාව මා කෙරෙහි විශාල විශ්වාසයක්‌ තිබ්බා. ඒ විශ්වාසය කඩකරන්න නරකයි. මා හැම මොහොතේම ජනතාව සමඟයි.

    මගේ ජයග්‍රහණය ගැන මට තවත් කිවයුතු දෑ බොහෝමයක්‌ තිබෙනවා. අපි පසුව කතා කරමු.

    ReplyDelete
  11. අයියගෙ කතන්දරේ දැකල මටත් මගේ අත්දැකීමක් කියන්න හිතුන..

    මමත් ඉතින් ඔය වගේ ප‍ට්ටං ඕනෑ තරම් දරල තියනව. අපොයි ඒව නිසා මම කාල තියෙන චාටර්..

    ඉතින් ඔන්න 5 පන්තියේ මම ඉන්නකොට මටත් ‍තිබුන ඔය කියන පට්ටම. පන්ති නායකය කියන්නෙ හොඳ දක්ස ලමයෙක් කියල ගුරුතුමිය හිතන් ඉන්න බව අමුතුවෙක් කියන්න ඕන නෑනෙ. ඉතින් ඔන්න අපේ ගුරුතුමිය සතියේ දවසක් වෙන් කරල තිබ්බ චක්කරේ පාඩම් කරවීමට.. එයා ‍ගෙදර වැඩ පොත් වල හරි වැරදි බලනකං මට තමයි බාර දීල තිබ්බෙ වැ‍ඩේ කරගෙන යන්න. මමත් ඉතින් වැඩේ අකුරටම කරා.. පාඩම් නැති එවුංව ටීචර් ටත් අල්ලල දුන්න. හැබැයි ටීචර් තාම දන්නෙ නෑ ඒ වෙනකොට මටත් චක්කරේ පාඩම් නැති බව.. හිඃ හිඃ.. දැන් මතක් වෙනකොට හිතෙනව වැඩේ කැතයි නේද කියල..

    කොහොම හරි මම ගණිත විභාගෙදි හොඳ ලකුණු ගත්ත.. ඒකට චක්කරේ පාඩම් තියෙන්න ඕන නෑනෙ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.