Thursday 6 August 2009

අංකල් ල ගෙ කතා


මාමා ට ඉංගිරිසියෙන් කියන්නෙ අංකල් කියල. බාප්පල ට, මහප්පල ට කියන්නෙත් අංකල් කියල. ඒ වගෙම නැන්දලත්, පුංචි අම්මලත්, ලොකු අම්මලත්, කුඩම්මලත් සේරම ආන්ටි ලා නෙ.

ඉස්සර පොඩි කාලෙ ගමේ ඉන්න කොට වැඩිහිටි අය හැමෝට ම කතා කලේ මාමා හරි නැන්ද හරි කියලයි. නෑකමට මාමා ද, නැන්දා ද කියල බලන්නෙ නැතුව. නෑ කමක් තිබුණ අයට විතරයි බාප්ප, මහප්ප, පුංචි අම්ම, ලොකු අම්ම කියල කිව්වෙ.

ටික ටික නාගරික වෙනකොට මේක පොඩ්ඩක් වෙනස් වුනා. මාමා, නැන්ද කියල දැන් කියන්නෙ නෑ කමක් තියෙනව නං විතරයි. අනිත් සේරම අංකල් ල ආන්ටිල.

එහෙම බැලුවහම මේ අංකල් ල ගෙ කතා මාමා ල ගෙ වෙන්නත් පුළුවන්. බාප්ප ල ගෙ වෙන්නත් පුළුවන්!

අද එක අංකල් කෙනෙක් ගැන ලියන්නම් කෝ

අංකල් නම්බර් වන් පරම්පරාගත වාමාංශිකයෙක්. අංකල් ගෙ අයියල හෙමත් සමසමාජ පක්‍ෂයෙ බල කණු ඒ දවස්වල. ප්‍රාදේශීය සභා, නගර සභා ලයිස්තු වලත් හිටිය මං හිතේ දිනුවෙ නැති උනාට. මං දන්න අංකල් නම් ඡන්දෙ ඉල්ලුවෙ නෑ. හැබැයි මුලං කිව්ව වගේ අරටු බැහැපු වාමාංශිකයෙක්. කොටින් ම මගුලට අත්සන් කරන්න ආවෙත් නව සමසමාජෙ වාසුදේව යි, කොමියුනිස්ට් පක්‍ෂයෙ සරත් මුත්තෙට්ටුවේගම යි ද කොහෙද. (හැබැයි සාමාන්‍ය වාමාංශික සංධාන වලට වෙනව වගේම අංකල් ගෙ මගුලත් මාස දෙක තුනකින් කැඩිල ගියා!)

ඉතිං කතාව මේකයි. අංකල් දවසක් ගියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මොකක් ද පොඩි වැඩකට. අංකල් ජීවත් වුනේ ගමේ කඩ මංඩියෙ පොඩි වෙළදාමක් කරල. පොඩිත් නෑ. ලංකාවෙ හොඳම පාරිභෝගික භාණ්ඩ වර්ගයක් තමයි අංකල් ගෙ කඩේ වික්කෙ. ඒ සම්බන්ධ ලියකියවිලි වැඩකට වෙන්න ඕනැ එදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේ. ඉතිං එදා හවස මං නෑ ගෙදරක ඉන්න කොට ඔන්න අංකල් එහෙට ගොඩ වැදුණ තරහෙන් පිපිරි පිපිරි.

"අම්මප මට නම් දැන් හිතෙන්නෙ, මේ සේරම දේවල් ප්‍රයිවටයිස් කරන්න ඕනැ කියලයි. නැත්තං මුං ගෙං පොඩි වැඩක් වත් කර ගන්න බෑ".

අංකල් මේ යෝජනා කරන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රයිවටයිස් කරන්නයි. මේ රජයේ විවිධ නිෂ්පාදන ආයතන පෞද්ගලික කරණය වෙමින් තිබුණු, වාමාංශිකයො ඒවට විරෝධතා දක්වමින් හිටපු කාලයක්. අංකල් ගෙ යෝජනාව රාජ්‍ය යන්ත්‍රයේ ම යට තට්ටුවෙ පුරුකක් පෞද්ගලිකකරණය කරන්නයි.

ඔන්න අපේ අංකල් ගෙ වාමාංශිකත්වය.

6 comments:

  1. ඉන්දියාවේ ප්‍රකට කොමියුනිස්ට් නායකයකු වූ බටහිර බෙංගාලයේ ජෝති බාසුට තිබුනේ මේ මානසිකත්වයයි. කල්කටාවද ඇතුළත් බටහිර බෙංගාලය දශක ගණනක නමින් කොමියුනිස්ට් පාලනයක් යටතේ ඉතිරි ප්‍රාන්ත වලට නොදෙවෙනි සංවර්ධනයක් ලබා ඇත්තේ එහෙයිනි.

    මීයන් අල්ලයි නම් බළලාගේ පැහැය වැදගත් නැතැයි කීවේ චීන කොමියුනිස්ට් නායකයකු වූ ඩෙන් ෂාඕ පෙන්ග්ය.

    කමෙන්ටයක් දැමීමට ප්‍රමාද වූවාට කමන්න. මේ මා නිතර ආසාවෙන් කියවන බ්ලොගයකි.

    ReplyDelete
  2. අන්කල් වාමාන්ශිකයෙක් වුනාට මොඩයෙක් නම් නොමෙයී වගේ.

    ReplyDelete
  3. වාමාංශික කියල බදාගෙන කොරන . . . අරටු බැහැපු . . ගොඩක් අයට තමන්ට කෙල උනාම තමයි ඇත්ත තේරෙන්නේ . . .

    ReplyDelete
  4. මේ කතවා කියවල නෑ ඔන් එයා - ඒකියන්නෙ මීට කලින් කතාව ලින්ක් එකකින් ඇවිල්ලයි කියවලා තියෙන්නෙ....

    ReplyDelete
  5. paribogika bande arakkuda?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.