Saturday, 21 November 2009

[කතන්දර කාරයා] - දිනපොතේ රහස්


අපි හැමෝම වගේ දින පොත් ලියල තියෙනව කෙටි කාලෙකට හරි මගෙ හිතේ. සමහර දිනපොත් ලෝක ප්‍රසිද්ධ කෘති බවට පත්වෙලාත් තියෙනව. හොඳම උදාහරණය තමයිඃ නාට්සි ජර්මනියේ ඇන් ෆ්‍රෑන්ක් ලියූ දිනපොත.

මං ඉස්සෙල්ලාම දිනපොතක් ලියන්න පටන් ගත්තේ හයේ පන්තියෙ ඉඳිද්දී වගෙයි මට මතක. ඒ දිනපොත අඟල් 4*3 විතර කුඩාම කුඩා ප්‍රමාණයේ අර කුඩා සටහන්, ඇපොයින්ට්මන්ට්ස් වගෙ දේවල් ලියන්න ගන්න ජාතියෙ එකක්. ඒ මදිවට ඒක ඊට කලින් අවුරුද්දෙ එකක්. ඉතිං හැම සටහනක් ම ලිව්වෙ දවස වෙනස් කරලායි.

අපි කුලියට හිටපු ගෙදර අයිතිකාරයින් ගේ ගෙදර තිබුනෙත් ඒ අක්කර දෙකක් විතර විශාල වත්තේ ම යි. ගෙවල් දෙක මැද්දෙ හරියෙ තිබුන විශාල වෙරළු ගහක්. මං ඉස්සෙල්ලාම දිනපොතේ සඳහන් කරන්න පටන් ගත්තෙ හැමදාම උදේට නැගිටල ගිහින් ඇහිඳපු වෙරළු ගෙඩි ගණනයි.

වෙරළු අවාරෙ ආවහම ඒ දින පොත ලිවීමත් ටිකෙන් ටික අඩුවෙලා අන්තිමේ දී නතර වෙලා ගියා.

එහෙම වුනත්, ඊලඟ අවුරුද්දෙත් මට පරණ දිනපොතක් හම්බ වුනා. වැඩිහිටියෙක් පාවිච්චි කරපු. ඉඳහිට දවසක ඉලක්කං කීපයක්, වියදම් වුණ ගණන් විය යුතුයි, විතරයි ලියල තිබුනෙ.
ඒව කටු ගාල ආයෙත් මං දිනපොත ලියන්න පටන් ගත්ත. වෙරළු ගැන, අඹ ගැන, පාසල් ගියා, ගියේ නෑ වගේ කෙටි සටහන්.

ඔහොම අවුරුදු කීපයක් ගතවුනා.

මගේ දිනපොත් ලිවීමේ උච්ඡතම අවස්ථාව එළඹුනේ මං ඒ ලෙවල්ස් කලාට පස්සෙ අවුරුද්දෙයි.

විභාගෙන් පස්සෙ අම්මලගෙ ගමේ ගිහින් සැප්තැම්බර්, ඔක්තෝම්බර් කාලෙ ගත කරපු මට ආපහු ගෙදර එන්න කලින්ම ගමේ අංකල් කෙනෙකුගෙන් තෑගි ලැබුනා ඊලඟ අවුරුද්දෙ අළුත් ම අළුත් දිනපොතක්. බී.සී.සී. කියන කොම්පැණියෙ එකක්.

ජීවිතයේ පලමු වතාවට ජනවාරි පලමුවෙනිදා දවසක, ඒ අවුරුද්දේම දින පොතක ලියන්න මට වරම් ලැබුණා.

ඒක එසේ මෙසේ දින පොතක් නෙමේ. විශාල එකක්. සතියේ දිනකට පිටුවයි. ඉරිද සෙනසුරාදට පිටු බාගෙ ගානේ. එක පිටක පේලි 25 ක් රූල් ගහල තිබුනා. මං කොච්චර ලියන්නෙක් වුනාද කියනව නම්, ඒ රූල් අතරත්, මාජින් වලත් ලියල එක පිටක පේලි 55 ක් පිරෙන්න ලිව්ව. වචන 500 ක් විතර එක දවසකට විතරක්.

එදා දවසෙ වුනු දේවල්. කෝච්චියෙදි, ටියුෂන් පන්තියෙදි දැක්ක, නොදැක්ක කෙල්ලො ගැන විස්තර, සිත් තැවුල්, දුක් අඳෝනා විතරක් නෙමේ හැමදාකම මා සිත් ගත් සින්දුවක පදමාලාවත් ලිව්ව.

ඒ දින පොත අද තිබුන නම්, මගේ විශාලතම මැනුස්ක්‍රිප්ට් එක වෙන්නෙ ඒක.

එච්චර ලොකු දිනපොත් ඊට පස්සෙ කාගෙන්වත් හම්බ උනේ නෑ. ඒ නැතිවුනත්, මීට අවුරුද්දකට විතර පස්සෙ වෙන කොට වෙනත් විනෝදාංශවල පැටලීම නිසා තිබුණු පොඩි පහේ දින පොත් වුනත් පිරවුනේ යාන්තමට පේලි දෙක තුනකින් විතරයි.

නමුත් ලියපු දිනපොත් පුච්වන්නයි, අළුතින් ඒ වාගේ පෞද්ගලික විස්තර, සිත් තැවුල්, දුක් වේදනා, සංතාප, අඳෝනා යනාදී මෙකී නොකී දේවල් ආයෙ නොලියන්නයි හේතුව උනේ, අපේ ගෙදර කට්ටිය හොරෙන් මගේ දින පොත බලනව කියල තේරුණාට පස්සෙයි. අම්ම විතරක් නෙමේ මල්ලිලත්!

බුදු අම්මෝ, වස ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.

අර එක එක කෙල්ලො ගැන සිහින මවමින් සිත ඇතුලෙ තියාගෙන ඉඳල අන්තිමේ දී උන් කොල්ලො එක්ක සෙට් වෙලා ඉන්න හැටි දැකල ලියපු දේවල්, පස්සෙ ඇඟ පුරා බූට් කාල දුකෙන් ලියපු අඳෝනා සේරම ගෙදර අය කියෙව්ව කියල දැන ගත්තහම ඇතිවුනේ මහ මුස්පේන්තු හැඟීමක්.

දින පොත් ලිවිල්ල මං අල්ලල දැම්මා සදහටම.

හැබැයි පුච්චපු දිනපොත් ගැන නං මට දැං හොඳටෝම දුකයි.

අපරාදෙ නේද? දවසට එක ගානෙ කතන්දර ලියල බ්ලොග් එකට දාන්න තිබුන ඒව ආශ්‍රයෙන්.

කතන්දර කාරයා
- දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

11 comments:

  1. dina potha nati unath eke liyapu kata mataka athine...


    wisheshayen kellekta line daala eki wena kollek ekka giyama athi unu duka? :P

    ReplyDelete
  2. ඔව්, තමන්ගෙ දිනපොත් පුච්චලා පස්සෙ දුක් වෙන ගොඩක් අය මං දැකල තියෙනවා. පොඩි කාලෙ ලියන මොන පොත වුණත් වීසි නොකර තියාගෙන ඉන්න එකේ වටිනකම පස්සෙ තේරෙන්නෙ.

    ReplyDelete
  3. දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

    උඹවත් එහෙනම් එදාට සෙට් වෙන්න වෙන්නේ නෑ!!!

    ReplyDelete
  4. @ Anjana:

    Ewwa, podi kathandar neme. Maha diga navakatha....!!!

    ReplyDelete
  5. @ තමීරඃ
    දින පොත් විතරයි පිච්චුවේ. කවි පොත් ටික තාම මා ළඟ!

    ReplyDelete
  6. හා... ඩයරි.. මමත් පොඩි කාලේ ඉදන් ඩයරි ලිව්වා.. අපේ ගෙදරට එක එක අය ගෙනත් දෙන එවායෙන් එකක් මට ලැබෙනවා.. කාලයක් පොලිස් ඩයරිත් ලැබුනා... මම එවායේ නියමිත දින නැතත් කවි ලිව්වා පිංතූර ඇන්දා ගණන් හැදුවා.. දාහක් වැඩ කලා.. අපේ පරණ ගේ කැඩුව කාලේ ඒවා සේරම නාස්ති වෙලා ගියා.. ආයේ 8-9 පංති වලදි හරියට දින පොතක් විදියට ලියන්න පටන් ගත්තා ස්කූල් වෑන්‍ එකේ වෙන දේවල් යාළුවන්ගේ ටිං ටිං වගේ දේවල්.. ඒත් මං දැනගත්තා අම්මා ඒවා කියවනවා කියලා.. ඉතිං වැඩි විස්තර ලියන එක නවත්තලා ඉස්කෝලේ ගියාද නැද්ද කියලා විතරක් ලියන්න පටන් ගත්තා.. දිගටම ඒ වගේ ලිව්වා. ඕලෙවල් වලින් පස්සේ ගෙදර ඉන්න දවස් වල බලපු ෆිල්ම් වල නම් ඒ විදියට පේන්න ‍ඩයරි එකේ අදින පිස්සුවකුත් මට තිබ්බා. ඒලෙවල් පටන් ගත්තට පස්සේ තමයි මැනේජ්මන්ට් ඩයරි වලට මාරු උනේ.. ඒ අවුරුද්දේ ඉදන් ලියපු හැම ඩයරි එකක්ම මගේ ළග තියනවා.. හැමදාම නැතත් විශේෂ දෙයක් වුනු දවස් නම් අනිවාර්යෙන්ම ලියනවා.. බස් ටිකට්. චොකලට් කොල.. මේකාලේ ඩයිරි වල නම් ෆිල්ම් හෝල් වල ටිකට් එක පවා මම ක්ලිප් කරලා තියනවා.. මම ‍මගේ ඩයරි වලට ආදරෙයි..!

    ReplyDelete
  7. ආ.. අර බී.සී.සී කියන්නේ සබන් හදපු කම්පණි එකක් නේද? දැන් ඒක වහලා.. අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක් ඒකේ වැඩ කලා.

    ReplyDelete
  8. මමත් A/L කරන කාලෙත් ඊට කලිනුත් , පස්සෙත් ලියපු දිනපොත් 4ක් නැතිනම් 5ක් විතර පිච්චුවා . .

    දැන් මතක් වෙද්දී උඹට වගෙම මාර දුකක් දැනෙන්නේ . . . මගේ දින පොත් පිච්චීමට හේතුව. . . උඹේ හේතුවත් සහ තවත් හේතුත් (අතීතය සදහටම අමතක කරනන් වගේ හේතු . . . )

    උඹේ නම් වාසනාවට කවි පොත් ඉතුරු වෙලා තියෙනවා කිව්වනේ . . මගේ නම් අවසනාවට මම කවි ලිව්වෙත් දිනපොතේ මයි . . . ඉතින් පොතුත් එක්කම කවිත් ගිනි දෙයියට පූජා කලා . . .

    ReplyDelete
  9. මම ලියපු ඩයරිත් අම්මා බලලද දන්නෙ නෑ

    ReplyDelete
  10. මමත් ඔය ගෙදර අය බලන හින්දම තමා දිනපොත් ලියන එක නැවැත්තුවේ....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.