Thursday, 30 July 2009

පන්සල් යන්න සරොං අඳින්න ඕනැද?


අපේ ගමේ පන්සල පුරාණ රජ මහා විහාරයක්. සියම් නිකායෙ අස්ගිරි පාර්ශවයටයි අයිති. ඒ කියන්නෙ හාමුදුරුවරු එක උරහිස්සක් පේන්න සිවුර අඳින්නෙ, පාත්තර වල නෙමේ සාමාන්‍ය පිඟන් වලයි දන් වළදන්නෙ, සාමනේර හාමුදුරුවරු උපසම්පදාවට යන්නේ අස්ගිරියෙ මහා විහාරයටයි.

පන්සල ලස්සනයි. පරණ බුදු ගේ, අළුත් බුදු ගේ, බෝධිය, දාගැබ, ඝන්ටාරෙ, ආවාස ගෙවල් සහ බණ මඩුව ඇතුළු සියළු අංගෝපාංගවලින් සමන්විතයි. එකම නරක ඔය අස්සෙ දේවාලයකුත් තියෙන එකයි.

පොඩි කාලෙ ඉඳලම මං අම්ම එක්ක පන්සල් ගියා. පෝය දවස් වලට, අවුරුද්දෙ නොනගතේ ට, වස් කාලෙ තියෙන බණ අහන්න, ඒ එක්කම කිහිප දෙනෙක් බාර අරං තිබුණු මල් පුජා දවස් වලදි එහෙම.

තාත්ත නං පන්සල් ගියේම නෑ. එක එක දවසක් පවුලෙ කෙනෙක් මැරුණු කාලෙ හත් දවසේ හීල් දානෙ අරගෙන ගියා මිසක්. තාත්ත ආගමානුකූල ජීවිතයක් තවමත් ගත කරනව. සුරා සූදු පස් පව් නැහැ. මං හිතන්නෙ තරුණ කාලෙ පන්සල් ගිහින් තියෙනව. පස්සෙ නවත්තල. දවසක අහන්න ඕනි ඒ ඇයි කියල.

ටිකක් ලොකු මහත් වුනාට පස්සෙත්, ඒ කියන්නෙ, උසස් පෙල ඉගෙන ගන්න කාලෙත් මං පන්සල් ගියා. නමුත්, ඒ කාලෙ වෙනකොට මං පන්සිල් ගන්න එකත් නවත්තල. පන්සල් යන්න වැඩිපුරම හේතුව වුනේ ගමේ කෙල්ලො බලන්න.

අම්ම පන්සල් ගියේ සුදු සාරියක් ඇඳන්. මං ඇන්දෙ දිග කලිසමයි. කමිසයයි. බොහෝ විට ඉස්කෝලෙ අඳින ඒව. සමහර විට කළු පාට, දුඹුරු පාට කලිසම් උනත් ඇන්ද වෙනසක් නොබල.

මගෙ වයසෙම වගේ ගමේ කොල්ලෙක් හිටිය නාලන්ද කියල. නාලන්ද ගෙ පවුලම පන්සලේ හොඳ දායකයො. නිතරම පන්සලේ. දාන දෙනව. මල් පූජා තියනව. හාමුදුරුවොත් කට්ටියවම හොඳට අඳුනනව.

දවසක් පෝය දාක පන්සල් ගිය වෙලේ නාලන්දයි, තවත් ගමේ පොරවල් දෙතුන් දෙනෙකුයි මට හම්බ වුනා. කෂ්ටිය මොකක් හරි සාකච්ඡාවක් කර කරයි හිටියෙ.

මාව දැක්ක ගමන් මෙන්න බොලේ නාලන්දයි අනිත් උන් දෙන්නයි මට අවවාද දෙන්න පටන් ගත්ත. පන්සල් එනකොට කලිසම් අඳින්න හොඳ නැහැයිලු. අඳින්න ඕනැ සුදු සරමකුයි සුදු කමිසයකුයි ලු.

මේ නිකං විහිළුවට කියන දෙයක් නෙමේ සිරීයස් විදියටයි කතා කලේ.

මං ඉතිං මොකුත් කියන්න ගියේ නෑ. ඒත් කවදාක් වත් සරම් ඇඳන් පන්සල් ගියෙත් නෑ. සුදු සරම් ඇඳල අපි ඝන්ඨාර පෙන්නන්නෙ මොකටද? පන්සලේ හොඳ ඝන්ඨාර කුළුණක් තියෙනවනෙ.

ඇඩ්වාන්ස් ලෙවල් කලායින් පස්සෙ ගමේ ජීවිතේ ටික ටික අඩු වෙලා ගිය හින්ද නාලන්ද ල ගෙ ගමේ කොල්ලන් ට සරං අන්දවන ප්‍රොජෙක්ට් එකේ සාර්ථකත්වය මට විපරම් කරන්න වෙලාවක් ආවෙ නෑ.

පස්සෙ කාලෙක තමයි මට තේරුනේ එදා නාලන්ද ල ගෙ වැඩ පිලිවෙල ගොඩක් දුරට තලිබාන් වර්ගයේ එකක් නේද කියල.

මට හිතෙනව පෝය දවසක ගමේ ගිහින් බලන්න දැන් අවුරුදු ගානකට පස්සෙ තාමත් නාලන්ද පන්සලට අඳින්නෙ සරම ද කියල.

කැමති නම් comment කරන්න.

නැත්නම් ඊ-මේල් එවන්නත් පුළුවනි. kathandara@gmail.com

කතන්දර කාරයා.

Monday, 27 July 2009

සුදා ල ගෙ කඩේ ප්‍රේමේ


පසුගිය දවසක කව්දෝ එවපු ඊ-මේල් එකක තිබුන ලංකාවේ අවුරුදු පහක විතර පොඩි ළමයෙක් කියපු සින්දුවක් ගැන. යූ ටියුබ් ලින්ක් එකකුත් තිබුන. ගිහින් බැලින්නම් අවුරුදු පහක විතර පොඩි කොල්ලෙක් රූපවාහිනී චැනලයක තිබුණු රියලිටි ෂෝ තරගයක ට සින්දුවක් කියනව.

ඒ සින්දුව "සාදු සිරීපා" කියන පරණ බුදු ගුණ ගීතයක්. මං හිතන්නෙ ඒ. ජේ. කරීම් වගේ ගායකයෙකු ගෙ එකක්.

මයික් එක උස්සගන්න බැරි තරමට පොඩි උණාට කොළු පැටිය හොඳට ඇදල පැදල සින්දුව කිව්ව. සමහර වචන උච්චාරණය කරපු විදිය ඇහුණහම මට මතක් උනේ මං පොඩි කාලෙ කියපු සින්දුවක්.

සින්දුව "ආනන්ද සාගරේ". ගායකයා ජෝතිපාල. මුල් පද ටික මෙන්න මෙහෙමයි.

"ආනන්ද සාගරේ, මගේ මැණික් ආකරේ, මගේ මැණික් ආකරේ
උදාරයි ප්‍රියේ ප්‍රේමේ, උදාරයි ප්‍රියේ"

ඔය කාලෙ වෙනකොට මං උදාරයි, ප්‍රියේ වගේ වචන දැන ගෙන හිටියෙ නැහැ. ප්‍රේමේ කියන වචනෙ නම් දන්නව. ඒක ගමේ මිනිහෙකු ගෙ නමක් නෙ. ඉතිං මං ඔය කෝරස් ලයින් එක කිව්වෙ මෙහෙමයි.

"සුදාලගෙ කඩේ ප්‍රේමේ, සුදාලගෙ කඩේ"

මට සින්දුව එහෙම කියවෙන්න මූලික හේතුව වෙන්න ඇත්තෙ මේකයි.

අපේ ගමේ කඩයක් තිබුණ. ඒකෙ අයිතිකාරයගෙ නම විලියොං ද කොහෙද. හොද පැහැපත් පෙනුමැති මිණිහෙක්. ඒ හින්ද මිනිහට කවුරුත් කතා කලේ "සුදා" කියන අන්වර්ථ නාමයෙන්. කවුරුත් ඒ කඩේ ට කිව්වෙ "සුදාලගෙ කඩේ" කියල.

සුදා ට හිටිය දූල දෙන්නෙක්. උන් දෙන්නම මට වැඩිය ලොකු පන්තිවල කෙල්ලො. ඉතිං, සුදාලගෙ කඩේ ප්‍රේමයක් ගැන නම් මට කිසිම අදහසක් තිබුණෙ නෑ.

පොඩි එවුන්ට සිංහල සින්දු වල තියෙන වචන වැරදෙන එක අහන්න දෙයක් ද, ලොකු උනුත් වරද්දන එකේ. මෙන්න උදාහරණ කීපයක්.

මිල්ටන් මල්ලවාරච්චිගෙ ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ කියන සින්දුව මගෙ යාළුවෙක් මෑතක් වෙනම්ම හිතාගෙන ඉඳල තියෙන්නෙ "ඔළුව කපාගෙන" රෑ ඝණ අඳුරේ කියලයි.

මොහිදීන් බෙග් ගෙ සින්දු වල වචන නම් මිනිහගෙ ඉන්දියානු උච්ඡාරණය හින්දම ලංකාවෙන් බාගයක්ම වරද්දගෙනයි තියෙන්නෙ.

ප්‍රේමාලෝකය නිවී ගියා කියන සින්දුවෙ එන මේඝ වලාකුළු දෙස බලනා, ඡාතකයා සේ රැවටීලා කියන කෑල්ල හුඟ දෙනෙක් තවමත් කියන්නෙ "යාචකයා" සේ රැවටීලා කියලයි. (ඡාතකයා කියන්නෙ කෑදැත්තට ලු. ඕක කෑදැත්තා සේ රැවටීලා කියල ලිව්ව නම් ඉවරයි නෙ.)

බෙග් මාස්ටර් ගේ ම පෙම් මල් මාලා සින්දුවෙ එන පියඹා ආවා ප්‍රේම කුරුල්ලා, ස්වප්න පුරේ හී කූඩු තනන්ටා කියන පදේත් හුඟක් දෙනා කියන්නෙ "රත්නපුරේ" හී කූඩු තනන්ටා කියලයි.

ඕව මොනවද? සමහරුන් ට මොහිදීන් බෙග් කියන නම ඇහෙන්නෙත් "මූදෙන් ගෙම්බෙක්" කියලනෙ.

-කතන්දරකාරයා

(image: http://www.dailynews.lk/2010/10/27/art23.asp)

Thursday, 23 July 2009

සුසන්ත සිස්සස්සෙස යනවද?

මේ සටහනේ මාතෘකාවෙ සිස්සස්සෙ කියල වැටිල තියෙන්නෙ යුනිකොඩ් වලට වැරදිලා නෙමේ. ඒ මං ලිව්ව හැටි. සිස්සස්සෙ කියන්නෙ ඇත්තටම ශිෂ්‍යත්වය කියන වචනය පොඩි ළමයෙක් ගෙ කටින් පිටවුනු විදියයි.

සුසන්ත කියන්නෙත් පොඩි ළමයෙක්. පහේ පන්තියෙ හිටියෙ. එයා පහේ පන්තියෙ ශිෂ්‍යත්ව විභාගය ට ලැහැත්ති වෙන්න ක්ලාස් එකකට ද කොහෙද යන වෙලේ, සුසන්ත ගෙ ගමේම ඉන්න ඊටත් වඩා පොඩි ළමයෙක් සුසන්තගෙන් ඒ ගැණ අහපු විදිය තමයි ඒ.
සුසන්ත සිස්සස්සෙස යනවද?

සිස්සස්සෙට ගිය සුසන්ත පාස් උනා ද නැද්ද කියල නම් මට මතක නෑ. හැබැයි ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ සුසන්ත ආපසු නොඑන්නම මේ ලෝකෙ හැර දාල ගියා.

සුසන්ත මැරුණෙ වතුරෙ ගිලිල. කොහේදෝ මන්ද නොදන්න පලාතක ගමණක් ගිය වෙලේ නාන්න ලඟ තිබුණු ගඟට ගිහින් ගග මැද්දෙ තිබුණු වලක වැටිල ගිලිල මලා. හරිම දුක්මුසු පුවතක්. යන්තම් ගැටවර වයසට ආපු ගමන් ඒ දෙමව්පියන් ට පුතා අහිමි වුණා.

සුසන්ත වාගෙ වතුරෙ ගිලිල මැරුණු කී දෙනෙක් ගැන නම් අපි අහල තියෙනවද? බාල, තරුණ, වැඩිහිටි හැම වයසෙම අය. මේ හුඟ දෙනෙක් හැබැයි පිරිමි. හැම මරණෙකම පිටිපස්සෙ තියෙන්නෙ එක වගේ කතාවක්.

යාළුවො දෙතුන් දෙනෙක් හරි නඩයක් හරි එකතු වෙලා ගමණක් ගියා ගමෙන් දුර වැඩිය නොදන්න පලාතක. කොහෙ හරි තියෙන දිය ඇල්ලක්, ජලාශයක්, වැවක්, ගඟක් විතරක් නොවේ යාන්තම් වතුර පාරක්, වේල්ලක් නැත්තං ඇනිකට් එකක් දැක්ක ගමං මේ ගොල්ලන් ට ඕනැ වෙනව නාන්න. හරියට ජීවිතේටම වතුර දැකල නෑ වගේ.

ඕකට ගමේ ගොඩේ කියනව මී හරක් ගිණියම කියල.

ඉතිං ඇහිල්ලක් බැලිල්ලක් නැතුව පණිනව වතුරට කලිසං ගලෝල යට ඇඳුම් පිටින්. අවාසනාවන්ත එකෙක්, ඔළුව පිටුපස්සෙ සුලි තුනක් තියෙන එකෙක් හෙම එතන හිටියොත් ඉතිං බඩු හරි.

ගිය ගමණත් ඉවරයි. නඩේ එකෙකුත් ඉවරයි.

ජීවිතය දුකයි, මරණය නියතයි කියන හොඳටම ඔප්පු වෙලා තියෙන තීසිසය ට තේරුමක් නැති විදියට තව තවත් උදාහරණ සැපයෙනව විතරයි.

සිස්සස්සෙස ගිය සුසන්ත වගෙ පොඩි උං මේ විදියට දියේ ගිලිල මැරෙන්නෙ නම් නිසි පරිදි වැඩිහිටියන් ගෙ අධීක්‍ෂණයක් නැති නිසයි.

ලොකු උං මැරෙන්න නම් ප්‍රධාන හේතුව තමා විනෝද ගමං යන කොට මත්පැන් පානය කරන එක. ටිකක් බිව්ව ගමං නයගරාවත් නිකං ගමේ ඇනිකට් එකක් වගෙ පේනව ඇති.

මේ වගේ අවාසනාවන්ත විදියට ගෑණු මැරෙනව අඩු ඇයි කියල හිතා ගන්න පුළුවන් නේද?

පිරිමින්ට වගෙ එක පාරටම ඇඳගෙන ඉන්න සාරි ගවුම් ගලවලා යට ඇඳුම පිටින් වතුරට බහින්න පුලුවනි යැ ගෑනුන් ට?

නාන්න නන් නාන්න නෝනා, නොනා නොනා නේන්න නෝනා!

නන්දා මාලනී ඕනැ එකක් කියා ගත්තාවෙ.

Tuesday, 21 July 2009

සීලවතී සිල් අරගෙන - මාලවතී මල් අරගෙන


ඔන්න මං දෙකේ පන්තියෙ ඉගෙන ගනිද්දි අපේ පන්ති බාර ගුරුතුමිය වුනේ මාලවතී ටීචර්. ලාබාල කෙල්ලෙක් දැන් හිතල බලන කොට. ඒත්, ඒ දවස්වල නම් අපිට කොයි ටීචරුත් ලොකුම ලොකුයි. දෙකේ පන්ති දෙකෙන් අනිත් පන්තිය බාරව උන්නු ටීචර් නම් ටිකක් වයසක කොණ්ඩෙ සුදු සැර කෙනෙක් බවයි මට මතක.

අපේ මාලවතී ටීචර් නම් හරිම ශාන්ත දාන්ත පාටයි.

ඒ දවස්වල අපේ පන්තියෙ කොල්ලො ටීචර් ට හොරෙන් කියපු කවියක් තමයි මෙන්න මේක.

සීලවතී සිල් අරගෙන,
මාලවතී මල් අරගෙන,
කට්ට කුමංජල් අරගෙන,
පන්සල් යනවා!

පසුකාලෙක දි මං ලීගලි බ්ලොන්ඩ් කියන චිත්‍රපටිය හදපු අධ්‍යක්‍ෂකගෙ ම තත්සියනා බූබරීනි කියන කෙටි චිත්‍රපටිය ඩී.වී.ඩී එකක තිබිල බලන කොට මට මාලවතී ටීචර් ගෙ මූණ මතක් වුනා. ඒ ඇයි කියල දැනගන්න ඕනි නම් පොඩ්ඩක් සර්ච් එකක් කරල බලන්න.

ඉස්කෝලෙ හෝඩියෙ පන්තියයි, දෙකේ පන්තියයි අනිත් පන්තිවලට ඉස්සෙල්ල ඇරෙනවා. පන්තිය ඉවර වෙලා අපි "යෝවද තම්පව" කියන අතරේ මාලවතී ටීචර් හැමදාම කරන්නෙ, ඉක්මන් ගමණින් මහ පාරට යන එකයි. අපේ පාරෙ බස් වැඩ කරන්නෙ පැයකට එක පාරයි එක පැත්තකට. ටීචර් මේ යන්නෙ ඒ බස් එක අල්ල ගන්නයි. ඇයි බස් එක වැරදුනොත් එක්කෝ පැයක් ම ඉන්න ඕනැ, නැත්නම් හැතැප්මකටත් වැඩිය පයින් යන්න ඕනැ.

දවසක් පන්තියෙ හිටපු මං දැක්ක මාලවතී ටීචර් ඉස්කෝලෙ ඉඳල, ගුරු පාර දිගේ, මහපාර දිහාවට දුවනව. බස් එක එන සද්දෙ ඇහෙන්න ඇති. අනේ, එක පාරටම ටීචර් ඇදගෙන වැටුණ. අර සාරියකුත් පටලවගෙන කොහොම දුවන්නද? ගෑණි නැගිට්ට, ලැජ්ජාවෙන් වගෙ වටපිට බැළුව, පොත් පත් බෑග් ටික ඇහිඳගත්ත, ආයෙත් දිව්වෙ නැතිවුනත් හයියෙන් හයියෙන් පාර පැත්තට ගියා.

මාලවතී ටීචර් වැටෙනව දැක්කහම මට ඇතිවුනේ තරමක විනෝදාත්මක හැඟීමක් කියල කියන්න ඕනැ නෑනෙ.

මීට පසු කාලෙක අනූව දශකයේ දි මම දැක්ක ලංකාවෙ ටෙලිවිෂන් එකේ පෙන්නනව "ඇමෙරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" කියල වැඩ සටහනක්. ඒ ප්‍රෝග්‍රැම් එක පුරාම තිබුනෙ මිනිස්සු වැටෙන ඒවට හිනා වෙන එක තමයි.

මං පස්සෙ දවසක තමයි දැනගත්තෙ, මාලවතී ටීචර් ඒ දවස් වල කලබලෙන් දුවල ගිහින් තියෙන්නෙ යුනිවසිටි එකට යන්නයි කියල. අනේ පව්. උදේ වරුව උගන්නල, හවසට විතරක් යුනිවසිටි ගිහින් ඒ මනුස්සය කොච්චර මහන්සි වෙන්න ඇද්ද ඒ දවස් වල.

හැබැයි මාලවතී ටීචර් එදා වැටෙන්න ප්‍රධානම හේතුව තමයි ඇඳන් හිටපු සාරිය. ගවුමක් හරි, කලිසමක් හරි ඇඳල හිටිය නම්, වැටෙන්නෙ නැතිව දුවන්න විතරක් නොවෙයි, එදා බස් එක අල්ලගන්නත් තිබුණ.

ඒත් ටීචර් ල කොහොමද ගවුම් හරි, කලිසම් හරි අඳින්නෙ වැඩට. එක්කො සාරිය, නැත්නම් ඔසරිය. ඒක පත්වීමෙ ලිපියෙ තියෙන කොන්දේසියක් ද නැතිනම් ගෑනුන්ම හදාගත්ත එකක් ද කං දන්නෙ නෑ. සමහර විට නීතිගත කරල ඇති අර පාර්ලිමේන්තුවෙ ඇඳුම වගේ.

පිරිමි ගුරුවරුන් ට නම් කලිසම්, සරං, වේට්ටි, රෙදි එක්ක කොලර් ඇති, කොලර් නැති කමිස ඕනෑම සංයෝජනයකින් අඳින්න පුළුවනි. ඇයි සිවුරු, බුෂ් කෝට්, සෆාරි සූට්. බුදු අම්මෝ මිනිස්සුන් ට තියෙන චොයිසස්.

හරිම අසාධාරණයක් නේද ගුරු සේවයෙ ගෑනුන් ගෙ ඇඳුම සාරියටයි ඔසරියටයි විතරක් සීමා කරල තියෙනව නම්. ගවුමක්, කලිසමක් ඇන්දහම මොකද වෙන්නෙ? ඇයි සල්වාර් කමීස්!

දැන් කියන්නම් හොඳම කතාව. පස්සෙ කාලෙ මං ගිය ඉස්කෝලෙක හිටිය ඉංගිරිසි උගන්වන බර්ගර් ජාතික ටීචර් කෙනෙක්. නම ටානියා වෑන් ඩයික් වගෙයි මතක.

එයත් වැඩට ආවෙ සාරි ඇඳගෙන.

මහ ජාතියෙ ඇඳුම් සුළු ජාතියකට පැටවීමක් ද, ඒ?

මේ කතන්දරේ කියවන කෙනෙකුට පුළුවන් මෙන්න මේ කරුණු ටික හොයල කියන්න.

1. කාන්තා ගුරුවරියන් ට පත්වීමෙ ලිපියෙම කියල තියෙනවද වැඩට අඳින්න ඕනැ ඇඳුම?

2. ගවුම්, ස්කර්ට් සහ බ්ලවුස්, සල්වාර් කමීස් ඇන්දොත් මොකද වෙන්නෙ?

2. අර ඉන්ටර්නැෂනල් ඉස්කොල වල තත්වෙ මෙයිට වෙනස්ද?

තව දින කිහිපයකින් ආයෙත් ලියන්නම්.

- කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ඇත්තටම පස්සේ ලියපු කතාවක්.

මං මාලවතී ටිචර් ගේ දෙකේ පන්තියේ ඉඳලා තුනේ පාන්තියට පාස් වුණු හැටි.
(image: http://lankapura.com/)

Wednesday, 15 July 2009

සුද්ද ට පාර කියපු හැටි - My job as a tourist guide


මේකත් ටිකක් පරණ කතාවක්. මං ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලෙ වෙච්ච සිද්ධියක්.

මං එදා ගොඩගේ පොත් සාප්පුව පැත්තෙ ඉඳල මරදාන ස්ටේෂන් එක දිහාවට ඇවිදගෙන යනව. මෙන්න බොලේ සුද්දෙක්, ටුවරිස්ට් කෙනෙක්, මට කතා කලා.

මිනිහ ඇහෙව්වෙ "මං ටවුන් හෝල් එකට යන්නෙ කොහොමද? " වගෙ සරල ප්‍රශ්ණයක්. මගෙ තරම ගැන හිතල ද කොහෙද ඉතාමත් හෙමින්, පැහැදිලිව කතා කරපු හින්ද ද කොහෙද මට හොඳට තේරුණා අහපු දේ.

මරදානෙ ඉඳල ටවුන් හෝල් එකට යන හැටි නොදන්නෙ කවුද? ඒත් ඉතිං, කොහොමද ඕක මං ඉංගිරිසියෙන් කියන්නෙ.

මගෙ කටට ආවෙ එකම උත්තරයයි.

අයි ඩෝන්ට් නෝ!

සුද්ද කට ඇඹුල් කරගෙන යන්න ගියා.

ඉතිං මෙතන ප්‍රශ්ණෙ මෙන්න මේකයි. මං ඒ දවස්වල ඉස්කෝලෙ දි ඉංගිරිසි ඉගෙන ගත්තට, පන්තියෙ දි තියා වෙන කොහේදිවත්, කා එක්ක වත් ඉංගිරිසියෙන් කතා කරල නෑනෙ.

ඇත්තටම කියනව නං, මට සාමාන්‍ය පෙල ඉංගිරිසි වලට ඩිෂ්ටිංෂන් එකක් තිබුන. අපේ පන්තියෙ හිටපු අනිත් කොල්ලො සේරම ෆේල්. එක කෙල්ලෙකුට ක්‍රෙඩිට් එකක් තිබුන. තව දෙන්නෙක් පාස්. අනිත් උනුත් හැමෝම ෆේල්.

අපේ පන්තියෙ එකම ඩිෂ්ටිංෂන් එක ගත්තු එකාටත් කියන්න පුළුවන් උනේ "අයි ඩෝන්ට් නෝ" කියල විතර නම් ඒ ඉංගිරිසි ඉගෙනීමෙ ඇති වැඩේ මොකක්ද?

ඇඩ්වාන්ස් ලෙවල් කරල රිසල්ට් එනකං ඉන්න කාලෙ ලාල් සර් ගෙ "ස්පෝකන් ඉංග්ලිෂ්" පන්තියට ගියාට පස්සෙ තමයි පොඩ්ඩක් හරි ඉංගිරිසියෙන් කතා කරන්න ගටක් ආවෙ.

අවුරුදු දෙකකට විතර පස්සෙ ඉංගිරිසියෙන් කතා නොකර බැරි තැනකට වැටුණු වෙලේ, ඒ ගට හින්දයි ජාම් බේරගත්තෙ.

අයි ඩෝන්ට් නෝ මෙලෝ දෙයක් සිංහලෙන් නං ඕනැ දෙයක්!

-කතන්දරකාරයා

(image: http://kgsgoodfight.blogspot.com/2011/04/admit-when-you-dont-know.html)

Saturday, 11 July 2009

කාලෝ ට සීට් එක දුන්න දා


මේ කලකට ඉහත වෙච්ච සිද්දියක්.

ඒ කාලෙ මං හිටියෙ ඇතුල් කෝට්ටෙ. ඔන්න එක සති අන්ත දිනයක මං නැග්ග බංගලා හන්දියෙන් බස් එකකට බොරුල්ල ට යන්න. ඉතිරි වෙලා තිබුණු එකම සීට් එකේ මං හොඳට හරි බරි ගැහිල වාඩි වුනා.

ඊළඟට බස් එක නැවැත්තුව කොටු බැම්ම පාර (සිංහලෙන් රැම්පට් රෝඩ්) හොල්ට් එකෙන් නැග්ග කීප දෙනෙක්. එයින් එක මහත්තයෙක් මං හිටපු සීට් එක ලඟින් හිට ගත්ත. ටිකක් දැකල පුරුදු මුහුණක් වගේ පෙණුනට මුලිං මට හිතා ගන්න බැරිවුනා කවුද කියල.

මිනිහ ගෙ ගෙ අතේ තිබුන පොඩි සඟරාවක්. සිලෝන් මෙඩිකල් ජර්නල්. ඔන්න එක පාරටම මීටරේට වැටුන. මේ කවුද දන්නවද? කාලෝ ෆොන්සේකා!

මං ඊට කලින් කාලෝ ව දැකල තිබුන දවස් දෙකක් විතරයි. එක පාරක් විශ්ව විද්‍යාලෙ වැඩකදි. අනික් පාර, 1994 මහ මැතිවරණෙදි පොදු පෙරමුණට සහය දෙන්න පිහිටුවා ගත්තු කලාකරුවන් ගේ සංවිධානෙ කෂ්ටිය නුගේගොඩ දි තියපු රුස්වීමෙදි.

එදා කාලෝ ලස්සන කතාවක් කලා මට මතකයි ගිනි ගන්න ගෙයක් ගැන බුදු හාමුදුරුවො කියපු බණක් උදාහරණයට අරගෙන. කාලෝට යාළුවො කියන්නෙ ධම්මස් සවන කාලෝ කියල ලු. කාලෝ ම තමයි කිව්වෙ එදා රුස්වීමෙදි.

කාලෝ තරම් බණ දහම් දන්නෙ නැතිවුනාට මාත් ටිකක් දැනගෙන හිටිය මංගල සූත්‍රයෙ එන පූජාච පූජනීයං වගෙ කතා. ඉතිං මං සීට් එකෙන් නැගිටල කිව්ව "වාඩි වෙන්න සර්" කියල.

පොර ඒ කාලෙ අද තරම් නාකි නෑනෙ. ලැජ්ජ හිතෙන්න ඇති මං සීට් එක දුන්නහම. කාලෝ වාඩි උනේ නෑ. ඒ පාර ලැජ්ජ හිතුනෙ මටයි. ලැජ්ජාව වහගන්න මං ගියා බස් එකේ ඉස්සරහට. වෙනිං කවුද මනුස්සයෙක් මං හිටපු සීට් එකේ වාඩි වුනා.

ඉතිං බස් එක කොට්ටෙ පාරෙන් පාර්ලිමන්ට් පාරට දාල බොරුල්ල පැත්තට වේගයෙන් යන්න පටන් ගත්ත. ඔන්න එක පාරටම වැදුන ලොකු බ්රේක් පාරක්. කාලෝ ෆොන්සේකා එක අතකින් සීට් ගැට්ටක් අල්ලගෙන අනිත් අතින් සිලෝන් මෙඩිකල් ජර්නල් එක අරං නෙ හිටියෙ. මිනිහ විසිවෙලා ගිහින් කාගෙද ඔඩොක්කුවක ඉන්ද වුනා. අනේ පව්!

පොර වෙන්නෙ නැතුව මං දුන්නු සීට් එකේ වාඩි වුනා නම් ඉවරයි නේද සර් කියල මට හිතුන. පොඩි හිනාවකුත් මගෙ මූණට නාවෙමත් නෑ!

කාලෝ මුලින් වැඩ කලේ කොළඹ විශ්ව විද්‍යාලෙ, වෛද්‍ය පීඨයෙ, භෞතවේදය දෙපාර්තමේන්තුවෙ. අපි දන්න කාලෙ ඉඳලම එයා මහාචාර්ය වරයෙක්. ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් කියල සාමාන්‍යයෙන් හැඳින්වුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට අරගෙන එතන කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් හදපු වෙලේ, කාලෝ ඒකෙ පීඨාධිපති වෙලා ගියා. දැන් නම් පැන්ෂන් ද කොහෙද මගෙ හිතේ.

පැන්ෂන් ගත්තට පස්සෙ වෙන්න ඇති මිනිහ පිලියන්දල පිහිටුවන්න අදහස් කරන වෛද්‍ය විද්‍යාලෙ නියෝජිතයෙක් වුනේ.

ඒ කොයි හැටි වුනත්, කොළඹ ඉඳල කැලණිය ට ගිය තවත් මහාචාර්ය කෙනෙක් වෙන නලින් ද සිල්ව ල එක්ක සංසන්දනය කරන කොට නම් කාලෝ දෙයියෙක්.

පදාර්ථය වගෙ විද්‍යා විෂයය නිර්දේශයේ තියෙන පාරිභාෂික වචනයක් දාල සින්දුවක් ලියපු එකම මදෑ. අම්මා ගැන කියවෙන "පදාර්ථයට" පණ පොවා කියන ඒ සින්දුව තිබුනෙ කාලෝ ලියපු ගී අඩංගු "කාලෝ-චිත" ගී කැසට් එකේ. හැබැයි ඒක සින්දුව වැඩිය ජනප්‍රිය වුනේ නෑ. ඒ ගීත එකතුවෙම තිබුණු "රත්තරං දුවේ" කියන සිංදුව නම් හුඟක් ජනප්‍රිය වුනා.

අද ට මේ ඇති. පස්සෙ හමුවෙමු.

ජාල සටහනක ඇරඹුම - දුවන්නන් වාලෙ කෙට එළදෙනත් දිව්වලු! - Going with the trend?


දුවන්නන් වාලෙ කෙට එළදෙනත් දිව්වලු!

ඒ ප්‍රස්ථා පිරුල අහල නැති, තේරෙන්නෙ නැති අයගෙ ප්‍රයෝජනය පිණිස ඒකෙ තේරුම මුලින් ම කියන්නම්. වෙනිං අය යම් දෙයක් කරනව දැක්ක පලියටම, කිසිම විචාරයක් නැතිව, ඒ දේ තමනුත් කරන්න යෑම ගැනයි ඔය කතාවෙන් කියන්නෙ. අපේ තාත්ත ඔය කතාව කියනව මං අහල තියෙනව පොඩි කාලෙ.

මාත් මේ සැරුසෙන්නෙ ඒ වගෙ වැඩකටයි. සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. යුනිකෝඩ් ආශ්‍රයෙන්. මූලිකම හේතුව විශාල පිරිසක් මේ වෙන කොට සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් අරං නිසයි. මාත් ගොඩාක් බ්ලොග් කියෙව්ව. කීපයකටම නැවත නැවත ගිහින් බැළුව. අන්තිමේ දී මටත් හිතුන මගේ ම කියල බ්ලොග් එකක් පටන් ගන්න, සිංහලෙන්.

හැබැයි මේ මගේ මුල්ම බ්ලොග් එක නම් නෙමේ. මං ඉස්සෙල්ලාම බ්ලොග් එකක් පටන්ගත්තෙ 2005 දී. ඒ මං ලියපු කවි වගයක් දාන්න වෙබ් පේජ් එකක් විදියට පාවිච්චි කරන්නයි. ඒ දවස් වල මේ යුනිකෝඩ් ආදිය පාවිච්චි නොවුනු නිසා මං කළේ කපුටා වලින් ලියල ඉමේජ් විදියට අප්ලෝඩ් කරපු එකයි.

ඊට අමතරව මං ටෙම්ප්ලේට් එකයි, සී.එස්.එස්. ටිකයි පොඩ්ඩක් වෙනස් කලා. එච්චරයි. කවුදෝ වලත්තයෙක් පෝන් (porn) සයිට් එකකට ලින්ක්ස් දාල ගිහින් තිබුණු වෙලාවෙ, ඒව අයින් කරන්න සයිට් එක වෙනස් කලා මිසක්, ඒ බ්ලොග් එකේ අන්තර්ගතය නම් තවමත් ඒ 2005 දී දාපු කවි ටික විතරයි.

දැන් මේ අළුත් බ්ලොග් එක පටන්ගන්නෙ නම්, නිතිපතා අළුතින් දෙයක් එකතු කරන්න හිතාගෙනයි.

කවුරුත් දන්න විදියට බ්ලොග් කියන්නෙ වෙබ් ලොග් කියන එකේ කෙටි යෙදුමයි. එනිසා, මට මුලින් හිතුන මගෙ බ්ලොග් එක "ජාල සටහන්" කියල හඳුන්වන්න. ඒත්, පස්සෙ හිතුන "කතන්දර" කියන නම වඩාත් ගැලපෙනව කියල.

ඉතිං මගේ අරමුණ, මතකයට එන පරණ කතන්දර එකින් එක මේ කතන්දර බ්ලොග් එකට දාන්නයි. සතියකට එකක් දාගත්තොත් ලොකු දෙයක්.

බලමු. බලමු.

-කතන්දරකාරයා

(image: http://www.cartoonstock.com/)