
මේක මං අටේ පන්තියෙ ඉගෙන ගන්න කාලෙ ගැන කියවෙන පරණ කතාවක්.
අපිට ගණිතය ඉගැන්නුවෙ ගුණරත්න සර්. පොර තමයි හයේ පන්තියෙ ලොකු ඉස්කෝලෙට ගිය දා ඉඳල අපේ පන්තිබාර ගුරුතුමා උනෙත්. හොඳ මනුස්සය.
අපේ පන්තියෙ හිටිය රෝහණ කියල කොල්ලෙක්. රෝහණ ගෙ අක්ක හිටිය අපිට ඉහල පන්තියෙ. ඒ දෙන්නම ගුණරත්න සර්ගෙ ටියුෂන් පන්තියට යනව කියල මිනිහ මට දවසක් කිව්ව. ගණිතය සහ ඉංග්‍රීසි.
එතෙනට ගොඩක් ළමයි එනවළු. එක එක පන්ති වල. ඇත්තටම කියනව නං ඒක ටියුෂන් ඉස්කෝලයක්. හය, හත, අට, නමය හැම පන්තියක්ම තියෙනව. සතියෙ දවස් පහේම. හැබැයි එකම ගුරුවරය තමයි ගුණරත්න සර්.
රෝහණ කිව්ව මට හැම දාම කොල්ලො ටික එකතු වෙලා ක්‍රිකට් ගහනව කියල. මට මාර උනන්දුවක් ඇතිවුනා ඒක අහල. ඒත් ඉතිං මට එච්චර ටියුෂන් යන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ. ගණිතය මට අවුලක් තිබුනෙ නෑ. මතකනෙ අල්ලපු පන්තියෙ පබසරා ට ත් ඕනැ වුනු හැටි මගෙන් ගණං අහගන්න. ඉංග්‍රීසි නං ඕනි වුනොත් ගෙදර තාත්ත හිටියනෙ.
ඉතිං මාස දෙක තුනක් ඔහොම ගතවෙලා ගියා. එක දවසක් මට ඉස්කෝලෙදි පන්තියෙන් පිටත දි කතා කරපු ගුණරත්න සර්, එයා හවස පන්තියක් දාල තියෙන බවත්, ළමයි ගොඩක් එන බවත් කියල මටත් කැමති නං එන්නැයි කිව්ව. ගාස්තුව සුළු ගාණක්.
මං ගෙදර ගිහිං කිව්ව මේ කතාව. අම්මයි තාත්තයි දෙන්නම කැමති වුනා, කිසිම ප්‍රශ්ණයක් නැතුව. පහුවදා ඉඳලම මං හවස පන්තියට යන්න පටන් ගත්ත. අපේ ඉස්කෝලෙ එක හමාරට ඇරිල මං ගෙදතර එන කොට එකයි හතලිස් පහ විතර එනවා. කාපු ගමං මං කරන්නේ විනාඩි පහලොවක් විතර ඇවිදගෙන යන දුරින් තියෙන ගුණරත්න සර් ගෙ පන්තියට යනව. රෝහණ ල හෙම බස් එකෙන් යන දුර ඉන්න අයනෙ. උං, ගෙදරින් ගේන කෑම ඉස්කෝලෙදි කාල හෙමින් සීරුවෙන පන්තියට සෙට් වෙනව.
පන්තියක් කිව්වට මේක නිකං ටකරං මඩුවක්. ඒ වත්ත අයිති ගුණරත්න සර් ට වගෙයි පෙනුනෙ. මිනිහ පවුල එක්කම හිටියෙ ලඟ ගෙයක කුලියට. මේ වත්තෙ තමයි පොර ගෙයක් හදමින් හිටියෙ. ඒ වෙන කොට තිබුනෙ පරණ වෙච්ච අත්තිවාරමක් විතරයි. මාස ගාණක් මං එතන පන්තියට ගියත් ඒක උඩට ඉස්සුනනේ නං නෑ. පව්!
දෙකට විතර එතනට සෙට් වෙච්ච වෙලේ ඉඳන් අපි කරන්නෙ ක්‍රිකට් ගහන එකයි. මං මුලින් කිව්වනෙ හයේ පන්තියෙ ඉඳල නමයෙ දහයෙ පන්තිය වෙනකං ගණනුයි, ඉංග්‍රීසියි දෙකම උගන්නන්නෙ ගුණරත්න සර් ම යි කියල.
මෙහෙමයි ඒක කරන්නෙ.
ඔන්න අපි පැය බාගයක් විතර ක්‍රිකට් ගහන කොට පොර එනව අල්ලපු වත්තෙ ගෙදර ඉඳල පන්තිය තියෙන තැනට. සතියෙ දින පහෙන් සඳුදා, අගහරුවාදා, සිකුරාදා ට ගණං, අනිත් දවස් දෙකට ඉංගී්‍රසි. මුලින් ම හයේ පන්තියෙ ළමයින් ව ගන්නව පන්තිය අස්සට. පාඩමක් කියල දීල කරන්න වැඩ බාර දෙනව, ඊලඟට හතේ පන්තියෙ ළමයින් ව ගන්නව. මං හිටියෙ අටේ. අපේ ටර්න් එක එනකොට හවස හතරත් පහුවෙලා, ක්‍රිකට් ගහල අපි ට හොඳටම හති.
මං පන්තියට ගිය මාස හතර පහේ කාලයෙදී දවස් දෙක තුනක දී ම අපි කිසිම පාඩං වැඩක් කලේ නෑ, ක්‍රිකට් මිස.
නමේ පන්තියට ගියාම අපේ පන්ති බාර ගුරුවරයා විදියට ආවෙ නුගේරා සර්. ඒ මදිවට මිනිහ ගෙත් විෂයය ගණිතය. ඉතිං ගුණරත්න සර් ගෙ ටියුෂන් පන්තියට යෑම අටේ පන්තියේ අවසානයෙන් ම නතර වුනා.
එදා ගුණරත්න සර් තමන් ගෙ ටියුෂන් පන්තියට මට එන්න කීම කිසිසේත් ම සදාචාරාත්මක දෙයක් නෙමේ.
මට අමතර ටියුෂන් වල කිසි අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. ඒක පොරත් හොදට දන්නව හයේ පන්තියෙ ඉඳලම මං හිටපු පන්ති බාර සහ ගණිත ගුරුවරයා විදියට.
නමුත් එකක් කියන්න ඕනැ. පන්තියට එන්න ලැබුණු ආරාධනය මට ඉබ්බ දියේ දැමීමම වගෙ එකක්. හවසට එතන ක්‍රිකට් ගහන්න සෙට් වෙන්නෙ කොහෙමද කියල මං දුක් වෙවී යි හිටියෙ. තාත්තත් ඇහැව්ව ගමං ෆස් නොකර කැමති උනා. වැඩි මුදලක් වියදම් කරගන්නෙ නැතුව, සතියෙ දවස් පහේම හවස් වරුවෙ මාව ගෙදරින් පිටත් කරල තියන්න පුළුවන් හින්දද මන්ද ඒ?
කොහෙම උනත් මෙතන ඉල්ලුම සැපයුම සමපාත වීම හැර අන් කිසි වරදක් නෑ කියලයි මගේ අදටත් හැඟීම.
කතන්දර කාරයා