
ටිකක් හිනාවෙන්න බ්ලොගේ ලියන අභීතට මලියදේවෙන් අයින් වෙද්දී හම්බ වුණාලු පිටු දෙකක කැරැක්ටර් සර්ටිෆිකේට් එකක්.
ඉස්කෝලවලින් හම්බවෙන ඔය සැටිෆිකේට් දිග වෙන්නේ තමන් කොරන ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩ ගොඩ හින්දයි.
මං දහයේ පන්තියේ ඉඳලා ස්ටඩි කරපු ඉස්කෝලෙන් ලැබිච්ච සැටිෆිකේට් එකේ නං මගේ ඒ-ලෙවල් රිසල්ට්ස් වලට අමතරව තිබුනේ පේලි දෙකකයි. ඒකට හේතුව තමයි ඉස්කෝලේ හැට-හුටමාරක් සංගම්, සංවිධාන තිබුණට මං හිටියේ සංගම් දෙකෝම දෙකේ වීමයි.
එකක් එනර්ජී කන්සරවේෂන් සොසයිටි. ඒ සංගමෙන් මොනව කළාද කියලා දැන් නං මට මතක නෑ.
අනික තමයි දාම් සංගමය.
දාම් කියන්නේ මං පුංචි කාලේ ඉඳලාම ටික ටික දැන ගෙන හිටිය බෝඩ් ගේම් එකක්.
චෙස් කියන බෝඩ් ගේම් එක දන්නවා නේද? චෙස් තමයි ඉතිං රට ෆොරිජින් පොෂ් ගේම, ඔය මකරා වගේ අය කැමති.
අපි නොදන්න චෙස් කිව්වලු!
දාම් කියන්නේ ගං චෙස්, වල් චෙස් නැත්තං ලෝකල් චෙස් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්.
අපේ ආච්චී ලා ගේ ගෙදර තිබුණා දාම් බෝඩ් එකක්. ඇත්තටම කියනවා නං ඒක ඩුවල් පර්පස් එකක්. ඒකේ එක පැත්තක දාම් පෙත. අනිත් පැත්තේ පංචි පෙත.
දන්නවනේ අර කවඩි බෙල්ලෝ හයදෙනෙක් හොල්ලලා බිමට දාලා එන ලකුණු අනුව කොටුවෙන් කොටුවට පැනලා දිනුම් කණුවට යන ගේම් එක?
අපේ ආච්චී, අම්මා, පුංචි අම්මලා හෙම වැඩියෙන් කැමති පංචි දාන්නයි. මගේ හිත ගියේ නං පංචි සෙල්ලමට නොවෙයි, දාම් අදින්නයි.
අපේ අම්මගේ තාත්තා, අපි එයාට කිව්වේ සීයා කියලා නෙමෙයි ආතා කියලයි, තමයි දාම් වලට සූරයා. දාම් ඇදලා ආතාව පරද්දන්න බැරි හින්දා තමයි ආච්චී, අම්මා, පුංචිලා පංචි දාන්න වැඩියෙන් කැමති.
ඇයි මේ ගේම් දෙකම තියෙන්නේ එක බෝඩ් එකේ දෙපැත්තේ නේ. බහුතරයේ කැමැත්තෙන් පංචි දාද්දී ආතාටත් එන්න වෙනවා ඒකට එකතුවෙන්න.
පංචි කියන්නේ ලක් එක අනුව දිනන ගේමක් නිසා ආතා ට දාම් ඇදිල්ලේ දී වගේ දිනන්න බෑ. ඒ නිසා ආතා වැඩියෙන් කැමති දාං අදින්නයි.
මේ දාම් බෝඩ් එකත් අසමසම එකක්. දාම් ඉත්තෝ සෙට් දෙකක් ඉන්නවානේ ප්ලේයර්ස් ලා දෙන්නට. සාමාන්‍යයෙන් මේ එක සෙට් එකක් සුදු පාටයි, අනික කළු පාටයි. ආතා ගේ සෙට් එකේ සේරම සුදු ඉත්තෝ වෙනුට තිබුණේ මෝර මාළු කටු. ඇත්තම කියනවානම් මොර මාළුවාගේ කොඳු ඇට පෙලේ කටු!
ඔව්, මෝරා කියන්නේ කෙලවල්ලා, ඇටවල්ලා, හුරුල්ලා වගේ නෙමේ කොන්දක් තියෙන මාළුවෙක්!
කොහොම හරි ඉතිං මං ආතා එක්ක දාම් අදින්න පටන් ගත්තා. මේ කාලේ මං පහේ පන්තියේ විතර ඉන්න ඇති.
එදා ඉඳලා, අවුරුද්දකට දෙපාරක්වත් පාසල් නිවාඩු කාලේ අපි ගමේ ගිහින් ඉන්න කොට එක දිගට හැමදාම එක පාරක් හරි දාං ඇදලා, ඇදලා, මං අන්තිමේදී හතේ පන්තියේ විතර ඉඳිද්දී එක දවසක් ආතාව පැරුද්දුවා.
ඒ සංසිද්ධිය සිද්ධ වුනේ මෙහෙමයි.
මං වගේ පොඩි එකෙක් එක්ක දාං අදින එක ආතා වගේ කෙනෙකුට මහ කම්මැලි වැඩක් වෙන්න ඇතිනේ! මේ කියන දවසේ දාං අදින ගමන් ආතා මා එක්ක කතාවට පැටලුනා. එදා ආතා මා එක්ක කිව්වේ කෝට් එක හොයන්න ගිය කතන්දරේ ද, බූරුවා ගහපු කතන්දරේ ද මට මතක නෑ. ආතා ජෝන් මහත්තයාව මට්ටු කරපු කතාව නං මට කිව්වේ අම්මා. ආතා පේන අහපු හැටි මට කිව්වේ පුංචි අම්මා.
ඒ මොකක් වුනත්, කතාවෙන් කතාවෙන් මං ආතාට දාම් පෙතේ හදපු ට්‍රැප් එක ආතා නියම වෙලාවට දැක්කේ නෑ. මං ආතාගේ ඉත්තෝ පහක් එක දිගට කැපුවා.
ඊ ලඟට ආතා ට මගේ මිස්ටේක් එකක් මිස් වුණා. මං දාං ගියා.
ආතා පැරදුණා!
-කතන්දරකාරයා
ප/ලි:
අභීත ගේ කැරැක්ටර් සැටිෆිකේට් කතාව මං දැන ගත්තේ කතාබස් වැඩසටහනේ ඕඩියෝ ට්‍රැක් එක අහන වෙලේයි.
අන්න අහනවනං අන්න ඇසිය යුතුම වැඩසටහනක්.
මං නං ඕඩියෝ ට්‍රැක් එක ඩවුං ලෝඩ් කරලා තියාගත්තා.
මොකද කියනව නං ඒ රේඩියෝ ඉන්ටර්වීව් එකේ අභීතගේ කතාවේ මටත් කැරැක්ටර් සැටිෆිකේට් එකක් තියෙනවා!
ඉස්කෝලෙන් ගත්තු සැටිෆිකේට් එක නං මට කිසිම පල ප්‍රයෝජනයක් ගන්න තියා කවදාකවත් ෆයිල් එකෙන් එලියට ගත්තු එකක් නෙමේ.
බලමු අභීත මට දුන්නු සැටිෆිකේට් එකෙන්වත් ප්‍රයෝජනයක් තියෙයිද, කොහොම වෙයිද කියලා.
ප/ප/ලි
සැප්තැම්බර් මාසයේ සිට මා ඇරඹූ අඟහරුවාදා, බදාදා සහ සෙනසුරාදා කයි-කතන්දර පල කරන වැඩ පිළිවෙල ලබන මස සිට අත් හිටුවන බව කණගාටුවෙන් දැනුම් දෙමි.
සඳුදා, බදාදා සහ සිකුරාදා කතන්දර පල කෙරෙනු ඇත. ඒවා කයි-කතන්දර වීමටද ඉඩ තිබේ. ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ද පල කෙරෙනු ඇත.
මේ දක්වා දැක්වූ ඔබේ සහයෝගයට ස්තුතියි.
(image: http://www.tradgames.org.uk/games/Draughts.htm)