ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday 3 October 2011
කොහෙද යන්නේ? ක්ලාස් යනවද? - Conversation starters
අපේ කෂ්ටියගේ ප්‍රියතම ප්‍රශ්ණයක් වෙන "කොහෙද යන්නේ?" කියල අහන එක ගැන කතා කීපයක් තමයි මේ ලියාගෙන යන්නේ.
සමහරු ඉන්නවා "කොහෙද යන්නේ?" කියලා නෙමේ අහන්නේ, ඒ ප්‍රශ්ණයට තමන්ම උත්තරයකුත් හිතලා, ඒ උත්තරේ ප්‍රශ්ණයක් විදියට අහනවා.
මෙන්න මේ වගේ.
"ආ, කඩේ යනවා වගේ?"
"ආ, උදේම වැඩට යනවා වගේ?"
මේ වැඩේ දෙපාරක් විතර මට වෙලා තියෙනවා. දෙපාරම මට මල පනින්න කේන්ති ආවා.
මං පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ දවසක් පොඩි වැඩකට ටවුමට යන්න පාරට වෙලා ඉන්නවා බස් එක එනකං.
ආපහු ගෙදර එන ගමන ප්‍රාදේශිය සභා ලයිබ්‍රියට ගිහින් පොත් දෙක මාරු කරගන්නත් තිබුණු නිසා ඒකත් කිහිල්ලේ ගහගෙනයි හිටියේ.
ඔන්න ඔතනට ආපු බවලතෙක් අහනවා
"ආ මල්ලී කොහේද මේ උදෙන්ම, ක්ලාස් යනවද?"
මං ක්ලාස් යනවනං ඉතිං ඒ ජනප්‍රිය පස්වෙනි පාරට විතර A/L විභාගේ කරන්න වෙන්න ඕනැ!
ඒක කමක් නෑ කියමු. ඊටත් අවුරුද්දකට, එකහමාරකට විතර පස්සේ දවසක මං ඔය විදියටම බස් එකක් එනකං ඉන්න කොට ගමේ පොරක් අහනවා මගෙන්.
"ආ මල්ලී විභාගෙට යනවා වගේ."
බැලින්නම්, ඒ උසස් පෙල විභාගේ තියෙන කාලේ.
මෙන්න අද අන්තිම කතන්දරේ.
කාලෙකට ඉස්සර රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් ගියා දූ දරුවෝ කියලා. රචනය සෝමවීර සේනානායක අධ්‍යක්‍ෂණය නාලන් මෙන්ඩිස්.
මේක දැකලා තියෙන අයට මතක ඇති, දූවරු හතර දෙනෙක්, ඒ අයගේ අම්මා (අයිරාංගනී සේරසිංහ) ඇතුළු පවුලේ කතාවක් මේක. මෙගා කියන වචනය භාවිතයේ නොතිබුණාට මේක මුල්ම මෙගා-ටෙලිය විදියට සලකන්න පුළුවන්.
කසාඳ බැඳලා හිටිය ලොකු දූවරු දෙන්නාගේම (වීනා ජයකොඩි සහ නීල් අලස් ජෝඩුව සහ පුතා, සුනේත්‍රා සරච්චන්ද්‍ර සහ එච් ඒ පෙරේරා ජෝඩුව සහ දුව) පවුල් ඉන්නේත් මේ මහ ගෙදරයි.
ගෙදර හිටිය බාලම දුව (චාන්දනී සෙනෙවිරත්න) බඳින පොර පුන්සිරිත් (ජයලත් මනෝරත්න) මේ ගෙදරම පදිංචි වෙනවා.
ආණ්ඩුවේ ලිපිකරු රැකියාවක් කළ පුන්සිරි පරිපාලන සේවා විභාගය (SLAS) පාස් වෙනවා.
මේ ගැන ගෙදර ලොකු අක්කා තමන්ගේ මිනිහා වෙන ඩයස් මහත්තයා ට කියනවා මෙන්න මෙහෙම.
"අන්න පුන්සිරි ලොකු විභාගයක් පාස් වෙලා ය කියන්නේ!"
ඩයස් මහත්තයා ගේ උත්තරේ වුනේ මේකයි.
"මොනව මේ හාදයා කසාද බැඳලා වෙලත් තාමත් ඉස්කෝලේ යනවද?"
-කතන්දරකාරයා
ප/ලි
තව කතාවක් මතක්වුනා! සීයලා දෙන්නෙක් අතර වෙච්ච කතාවක්. (මේ කතාව කීප දෙනෙක්ම කමෙන්ට් ගැටියට දාලා තිබුණත් ඒවායේ පොඩි අඩුපාඩුවක් තිබුණා)
එක සීයා කෙනෙක් තුවායකුයි, බාල්දියකුයි, සරමකුයි අරගෙන වෙල අයිනේ තියෙන ලිඳ පැත්තට යනවාලු.
ඕක දැකපු අනිත් සීයා අහනවාලු මෙහෙම.
"කොහෙද මචං යන්නේ, නා ගන්න යනවද?"
"නෑ, මචං මේ නා ගන්න යනවා!"
"ආ, ඇත්තද මචං? ඒත් මං හිතුවේ උඹ මේ බාල්දියකුයි, තුවායකුයි අරං යනකොට නා ගන්න යනවා කියලයි."
පස්සේ බැලින්නං සීයලා දෙන්නටම කන් ඇසීම අඩුයි!
(image: http://jaymckinnon.com/)
Labels:
අපේ සිරිත්,
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ
Subscribe to:
Post Comments (Atom)
ඔය කකා අයියා කියන්න හදන්නේ ඔයා කැම්පස් එකේ සෙකන් ඉයර්, තර්ඩ් ඉයර් ඉන්නකොටත් ඔයාගේ පෙනුම ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ කියලනේ! :D
ReplyDeleteඇයි හවසට අහන ප්‍රශ්නය ,
ReplyDeleteආ... මල්ලි දැන්ද වැඩ ඇරිලා / ඉස්කෝලේ ගිහින් එන්නේ?
දැන් සයිබර් අවකාශයේදී ඔන්ලයින් මුන ගැහුනහම ඕකම කොහොම අහයිද කියල්යි මන් කල්පනා කලේ !
ReplyDeleteඋදේම ඉස්සරහට හම්බුවෙලා වැඩට නේද යන්නේ කියලා ඇහුවම මට එන කේන්තිය... %(@(#%^@
ReplyDeleteමමත් ඔය සමහරු කැන්ටිමට යනකොට ආ... නාන්න යනවා වගේ කියලා අහගෙන තියෙනවා හොඳට.
කතන්දර වැඩ නේද?...:D
ReplyDeleteඔය අපේ සංස්කෘතිය නේ .මුනට හම්බවුනාම බුම්මන් යනවට වැඩිය මොකක් හරි අහන එකත් හොඳයි. ක්ලාස් යනවද ඇහුවේ කකාගේ ලපටි පෙනුම හින්ද වෙන්ට ඇති. සන්තෝෂ වෙන්ට එපාය . හැබැයි අනවශ්‍යවිදියට හාර හාර අහන එක නම් එච්චර හොඳ නැහැ . මන් නම් පුද්ගලිකව කැමතියි මුනට හම්බ වුනහම අඩු ගානේ හිනා වෙනවනම් . සුද්දගේ ක්‍රමේට හායි කියන්න වත් බැරුවය .සුද්ද කිව්වට සමහර සුද්දෝ ඉන්නවා නිකන් මෝල්ගස් ගිල්ල වගේ . ඒ ඉතින් එලිසබත් රැජිනගේ ආච්චි අඳුරන අයගේ නැයෝ වෙන්ට ඇති .
ReplyDelete“ උදේම බෑරුක් වෙන්නෑ“
ReplyDelete“ ඔවු මේ කතන්දර බ්ලොග් එක බලන්න කියලා“
“ හැබෑට මං හිතුවෙ කතන්දර බලන්න වෙන්ටැ කියලා“
“ කමෙන්ටුවකුත් දාලාම එන්නකො හේනම් “
“ හොඳා හොඳා , ඔහෙ කොයි යන්නේ “
“ මාත් මේ ඒ අහම තමයි යන්නේ “
“ ඇයි අද වැඩට යන්නෙ නැතෙයි “
“ යනෝ යනෝ කතන්දරේ බලලම යනෝ “
“ හරි හේනම් අපි ගියා “
ගොවි මහතා කුඹුර කොටනව. ලංගම ලිපිකරු මහත්තයෙක් වැඩට යන්න නියර දිගේ එනව.
ReplyDeleteගොවියා "මහත්තය වැඩට යනව වගේ"
ලිපිකරු (උදාසීන ලෙස) "ඔව්"
ගොවියා "අද මේ ඉරිදා වෙලත්"
ලිපිකරු (මල පැන) "ඇය් @#$%^ පුතෝ, තොට ඉරිදට කුඹුරු කොටන්න හොඳ නං, මං ඕ.ටී. එකක් කොරල කීයක් හරි හොයා ගත්තම තොට @කේ අමාරුවද?"
මා අලව්ව ඩිපෝවේ සේවය කරන සමයේදී, එම ඩිපොවේම සේවය කල ලිපිකරු මහතෙක් මුහුණ දුන් සත්‍ය සිද්ධියක්, ඔහුම පැවසු අයුරින්
Bindi සමඟ සම්පූර්ණයෙන් එකඟයි.
ReplyDeleteතවත් පරණ ටෙලියක(කන්දෙ ගෙදර?) ජැක්සන් නානකොට ගැමියෙක් අහනව "මහත්තය නානවද" කියල.එකකොට ජැක්සන් උත්තර දෙනවා "නෑ මේ බස් එකේ යනවා" කියල.
දූදරුවෝ නම් නියම ටෙලිනාට්‍යයක්, හැබැයි මට මතක හැටැයට දූවරු හිටියේ 3දෙනයි.
අපේ රටේ කාකා ( විශේෂයෙන්ම ගමේ අය ) පුරුද්දක් විදියට ඕය වගේ අහනවා...
ReplyDeleteඉස්සරහට මුණ ගැහුනම සද්ද නැතුව යන එක එතරම්ම හොඳ නෑ වගේනෙ... යුරෝපයේනම් මූණට මූණ හම්බ උන්නම සුබාශීංශණයක් කලත් අපේ රටේදී අපි පුරුදුවෙලා ඉන්නෙ ඔය වගේනෙ...
හේතුවක් නැතුව අහද්දී මළ පැන්නත්...ඒක සාමාන්‍යය දෙයක් නෙ
"රතු රෝස" ටෙලි නාට්‍යයෙත් ඔය වගේම නෑමක් තිබ්බ නේද?
ReplyDeleteආ . . . කතන්දර . . . කොහේද මේ උදේම . . . ????
ReplyDeleteමම ගෙදර ඉන්න දවසට ගමේ පාරක ඇවිදිද්දි දකින හැමෝම අහන්නේ "ආහ් , නිවාඩුද?" කියල
ReplyDeleteඅර බවලත් කෙනෙක්ගේ කතාව මට නම් ඇල්ලුවේ නෑ. මම නම් හිතන්නේ අපේ සංස්කෘතියේ තියෙන අහින්සකම ලක්ෂනයක් කියලයි. අර ඔබා පිළිතුරු දීපූ විදියට හරි පිළිතුරක් දීල ගියහම වැඩේ අහවරනේ. බවලත් උදවිය කතාකලානම් මමනම් පැනලා කතා කොරන්නේ.
ReplyDeleteපරණ සින්දුවක් මතක් උනා!
ReplyDelete"කොහෙද යන්නෙ රුක්මණී"
@ මාතලන්,
ReplyDelete"අර ඔබා පිළිතුරු දීපූ විදියට"
මං නෙමේ බොලේ, මං එහෙම අසභ්‍ය වචන කියනවද?
ඔය ප්‍රශ්ණේ නම් මහා එපම කරපු ප්‍රශ්ණයක්...
ReplyDeleteඅර කිව්වා වගේ බුම්මන් යනවට වැඩිය ඔය වගේ වැදගැම්මකට නැති ප්‍රශ්ණයක් වත් අහන එක කොච්චර එකක්ද? ඉස්සර කාලේ අහන්නේ 'බෑරක්ද?' කියලානේ.
ReplyDeleteඔබා බබා වෙන්න හදනවා . . අපිට ඊමේල් වලින් එවන ඒවා ගැන හිතුවාම මට නම් ටක්කෙටම කියන්න ඇහැකි අර ගොවියට සුද්ද සිංහලෙන් උත්තර දුන්නේ ඔබා මාමා අයියම තමයු කියලා . . හික්ස්
ReplyDeleteකකා ෂේප් එකෙන් පාරෙන් වයසට ගියත් ළපටි පාටට පෙනුනු බව කිව්ව නේද?
ආ කතන්දර කතාවක් ලියන්න යනවද?
ReplyDeleteඅර ඔබා අයිය කියල තියෙන දේනං හරියට හරි. යකෝ වැඩක් කරනවනං මොකටද වෙලාවක්.
මමනං පස් පාරක් ඒ ලෙවල් නොකලට ඕ ලෙවල් කරල තීනව. දෙපාරක් මට. තුන් පාරක් යාළුවන්ට. ඔය පින්තූරෙ විරුද්ධ එකක් නෙ කතාව. ගැලපෙන්නෙ නෑ වගේ!
ReplyDeleteඅර අන්දරේගේ නෝනයි රජ බිසවයි අතරේ දෙබස වගේම තමා නේද?
ReplyDeleteපුදුම මිනිස්සු !!
ReplyDeleteපින්තූරෙ හරියට හරි මගේ හිතේ. දැං ඔය ළමයි එක්ක ඉඳගෙන ඉන්නෙ ගුරුතුමා කියලා හිතමු. උදේක ඔය දෙගොල්ලන්ගෙන්ම එකම ප්‍රශ්නෙට එකම උත්තරේ ලැබෙන්න පුළුවන්, කොහෙද යන්නෙ?
ReplyDeleteඉස්කෝලෙ !
ඕක ගැන රොබට් නොක්ස් ගොයියත් අපිට හිනාවෙලා තියෙනව නේද?
මේකට වඩා ආතල් කොටසක් මම ආයෙත් අරණකට පෙම් බැඳ කියවනකොට හම්බුනා.
ReplyDeleteඒකේ කතා නායකයා යනවා ටිකක ඈත තියන සැණකෙලියකට,
එකපාරටම ගෑනු දෙන්නෙක් මහ හයියෙන් අඬනවා ඇහෙනවා.
බලනකොට දෙන්නා සෙට් වෙලා හතර වරිගෙම මතක් කර කර අඬනවලු.
ඉතින් මෙයා හිතුවලු කවුරුහරි සෙත්තපෝච්චි තමා කියලා.
ඒත් ඇහුවමළු දැනගත්තේ ඒ පලාතේ කෙල්ලෙක් වෙන පලාතකට බැඳලා ගිහින් මෙහෙම මුලිච්චි වුනාම බදාගෙන ඇඩුවෙ නැත්තං හෙන චාටර්ලු.
එතකොට හිතනවලු මිනිහගෙ ගෙදර ආතල් එකේ ඉන්නව ගම අමතක කරල කියලා...
@ ඔබා
ReplyDeleteමම දෙන්න ඕන උත්තරේ. දුකා ඕන් දීලා තියෙනවා. ආරන්චිය ඇත්තක් නම් එ පිළිබඳ උපාධියකුත් තියෙනවයි කියන්නේ...
ඉගෙන ගන්නේ අහවල් වයසේ අය විතරක් වගේ සීන් එකක්ද?
ReplyDeleteමං නිවාඩුවට ගෙදර ගියාම ආහ් කවදද ආවේ? ලඟදි යනවද කියල එකම එකා හම්බෙන හම්බෙන පාරට අහද්දි තමා මල විකසිත වෙන්නේ!ඒ යකො තොට කීපාරක් කියන්නද කියල කියන්න පුලුවන් නම් මුනටම කියනවා!
ReplyDeleteඅවුරුදු 18ක්ම ගමේ හිටි නිසාමද කොහෙද, මටත් දන්න අඳුරන කෙකෙක් හම්බ උනහම ඔහොම ඇහෙනවා නිකම්ම.. ගමට ගියහමත් මගෙන් හැමෝම ඔහොමම අහනවා.. මොකද මන්දා මට නම් වෙන ඕපදූපයක් නොඅහා ආ නිවාඩුද..ගමේ ආවා නේද කියල අහනකොට..කේන්ති නම් එන්නෙ නැහැ.. නැතුව, කොඹල තියෙන එව්ව පත්තරවලින් කියවල..එව්ව ගැන අහනකොට නම් ටිකක් අප්‍රසන්නයි!
ReplyDelete@ All
ReplyDeleteමේ පින්තූරය ඇඩම් සැන්ඩ්ලර් රඟපෑ බිලී මැඩිසන් චිත්‍රපටියේය.
මෙහි ඉගෙනීම අතහැර පිස්සු කෙලමින් සිටි තරුණයෙකුවන බීලීට පොඩි පන්තියේ සිට කෙටි කාලයකදී ඉගෙන පාසල් සහතිකය ගැණීමට සිදුවේ. හරියට පස්වෙනි පාරට උසස් ඵෙල කරනවා වගේ හෝ ඊටත් අන්තය.
ගමේ අයගේ ප්‍රශ්ණවලින් මට මල පැන්නාය කිව්වේ අද කාලේ භාෂාවෙනි. එකල එහෙම දෙයක් තිබුණේ නෑ නොවැ? මට තරමක ලැජ්ජාවක් සහ දුකක් ඇති වුනේ මං ගමේ සිට "කොඹල" ඉස්කෝලේට ගොස් පොර සේ පේරා ගියද මුං එය නොදන්නා සේ සිටීම නිසාය.
සියළු දෙනාටම ස්තුතියි.
වීනා ජයකොඩි සහ නීල් අලස් ජෝඩුව වෙනම ගෙයක් හදාගෙන ඒකේ හිටියේ
ReplyDelete@ All
ReplyDeleteදූ දරුවෝ ටෙලිය ගැන වචන කිහිපයක්.
මේක ඒ දවස්වල හැටියට මෙගා එකක්. සතියකට එක දවසයි. මං හිතන්නේ අවුරුද්දකටත් වැඩිය ගියා කියලයි. එයිට කලින් සෝමවීර සේනානායක ලියපු කතා මුලින් නවකතා පස්සෙ ටෙලි වුනාට මේක ටෙලියක් විතරයි. ඉතිං දැන් අපේ මතකය විතරයි තියෙන්නේ කතාව ගැන.
බින්දි කියපු විදියට දූලා තුන්දෙනයි තමයි. හතරවැනියා දීප්ති ගේ චරිතය (නිල්මණි තෙන්නකෝන්) දුවෙකුගේ දුවෙක්.
කතාව දිගටම ගිය නිසා කාලයක් වීනා ජයකොඩි / නීල් අලස් යුවල වෙනම ගෙයක හිටියට, තව කාලයක් මහගෙදරම හිටියා.
ඩයස් මහත්තයා ලෙස එච්ඒ පෙරේරා, දීපානි සිල්වා, හෙන්රි ජයසේන - හොඳ රඟපෑම්. නියම ටෙලිය.