ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 6 October 2011
දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
"කෝට්ටේ කළාලේ කිසිල්ලේ දත මැද ගන් රාලේ"
ඔය උඩින් කතාව මං මුලින් දැක්කේ ඓතිහාසික නවකතාවක. ඒ එක්කෝ "දෙගම්බඩ සිංහයා" කියන පොතේ නැත්තම් "සුනේත්‍රා හෙවත් අවිචාර සමය" කියන පොතේ. බොහෝ විට මේ කතාව ඔය කියන පොත් දෙකේම තිබුණා.
ඒ පොත් කියවල නැති අය වුනත් සමහරවිට මේ කතාව අහලා ඇති තේරවිල්ලක් විදියට.
මේ කියන නවකතාවල සඳහන් වෙන ඓතිහාසික පසුබිම මේකයි.
මේ පෘතුගිරිසින් කෝට්ටේ සහ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන කාලේ. හැබැයි ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් තාමත් තිබුනේ කෝට්ටේ රාජධානිය ඇතුලේ. මේ කාලේ කෝට්ටේ රජකම කෙරුවේ හත්වෙන බුවනෙකබාහු. පොර රාජධානිය පෘතුගිරිසින් ට ලියලා දීලයි තිබුණේ.
මේ වෙන කොට ලංකාවේ තිබුණු අනිත් රාජධානි තමයි, සීතාවක, රයිගම සහ යාපනේ.
මෙයින් පස්සේ කාලෙක තමයි කොනප්පු බණ්ඩාරකාරයා රජ පවුලක බඩුවක් වුනු දෝන කතිරිනාව කන්ද උඩරටට උස්සලා විමලධර්මසූරිය නම අරගෙන එහේ රජවුනේ.
බුදු හාමුදුරුවන් දේශණා කරපු ධර්මය, රාජ්‍ය තන්ත්‍රයෙන් පරිබාහිර වුනු, ඒක පුද්ගල විමුක්තියක් හෙවත් නිවන සොයන ජීවන රටාවක් ගැන කියවුනත්, ඒ ධර්මය ආගමක් ලෙස රටේ පැලපදියං වෙද්දීම රාජ්‍යය සහ ආගම එකිනෙක සම්බන්ධ වුනු නිසා, මේ වෙනකොට තිබුණු බුද්ධාගම ට රජ අණින් නොයෙකුත් සිලිං බිලිං කෑලි බෑලි එක්වෙලයි තිබුනේ.
ඊට අමතරව, සේක්‍රඩ් ටූත් රෙලික් එක අයිති එකාට තමයි රජකම අයිති කියන සංකෙප්පයත් පෘතග්ජන ජනතාවගේ වැඩවසම් සිත් සතන්වලට මුල් බස්සවලා තිබුණා.
මේ බව තේරුම් ගත්තු පෘතුගිරිසිකාරයෝ ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් ගොඩනැගිල්ලට ගේම දෙන්න සෙට් වුණා.
මේක දැනගත්තු මෙතන ඕඅයිසී විදියට කටයුතු කරපු හිරිපිටියේ රාළ කෙරුවේ හාමුදුරුවරුන් ගේ ද අනුදැනුම ඇතුව සේක්‍රඩ් ටූත් රෙලික් එක සීතාවක රාජධානියට අරගෙන යන එකයි.
මේ ගැන තියෙන ජනප්‍රවාදයට අනුව දවසක් හිරිපිටියේ රාල නිදා ඉන්න කොට දෙයියෙක් වගේ කෙනෙක් හීනෙන් ඇවිත් කිව්වාලු "කෝට්ටේ කළාලේ කිසිල්ලේ දත මැද ගන් රාලේ!" කියලා.
මේකේ තේරුම තමයි කෝට්ටේ රාජධානියට කළ ආදරය අතහැරලා සේක්‍රඩ් ටූත් රෙලික් එක රටේ මැද්දට ගෙනි යන්න කියන එක.
මෙතන "දත" කියලා කියන්නේ සේක්‍රඩ් ටූත් රෙලික් කියන තේරුමටමයි.
දැන් ඔය හීනෙන් කියපු කතාව නිසා හිරිපිටියේ රාළ, "කවුද ඩෝ මේ අපේ සේක්‍රඩ් ටූත් රෙලික් එකට අපහාස කරන එකා?" කියලා කලබලවෙලා "මං මේ වගේ ජන්මයක් නැති එවුන් කියන දේවල් කරන්නේ නෑ!" කියලා නිකං හිටියේ නෑ.
පොර කලේ සේක්‍රඩ් ටූත් රෙලික් බාරව හිටිය හාමුදුරුවරුන්ගේත් අනුදැනුම ඇතිව "දත මැද ගත්තු" එකයි.
ඒ කියන්නේ ටෙම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කෝට්ටේ ඉදලා මායාදුන්නේ රජකම් කළ සබරගමුවට මාරුවුණා.
මායාදුන්නේ ගේ පුතා රාජසිංහ නමින් රජවෙලා පෙරුමාල් ලා ගේ උපදෙස් මත ශිව දෙයියෝ අදහන්න පටන්ගත්තට පස්සේ තමයි ටෙම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් මහනුවර පිහිටවුනේ.
දැන් ඔය "දත මැදගන් රාලේ" කියන කතාව මං කියපු පොත් දෙකේ ලිව්වාය කියලා ඒ පොත් තහනම් වුණාය කියලවත් කතෘලා බැනුං ඇහැව්වා කියලාවත් මං අහලා නෑ.
ඒ දවස්වල මේ අද වගේ බෞද්ධ තලිබාන් ලා ඉන්න නැතුව ඇති.
-කතන්දරකාරයා
ප/ලි:
"මගේ මතය තමයි හරි මතය, හරිද ඩෝ?" කියන මගේ කතන්දරේ සඳහන් වුනු "ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් මගේ පැත්තය, අනික වැරදි පැත්තය!" කියන මතවාදයට ඒ සමගම සහ මං ඊයේ හවස පල කරපු "දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස්" කියන පෝස්ට් එක හරහා සජීවී උදාහරණ සැපයූ පින්වන්තයින් කිහිප දෙනාට මගේ ස්තුතිය මෙයින් පිරිනැමේ.
ප/ප/ලි:
මේ කතාවේ භාෂා විලාසයට අකමැති අය මගේ දුටුගැමුණු සීරීස් එක කියවන්න.
(image: http://www.bitterrootrestoration.com/dental-care/homemade-toothbrush.html)
Subscribe to:
Post Comments (Atom)
කතන්දර වලියට බර නැත......... කමෙන්ට් කියවීමට මඟ බලමි...
ReplyDeleteමෙව්වට කතා කරලත් බෑ... නොකරත් බෑ... ලොල්
ReplyDeleteකතන්දර,
ReplyDeleteගෑණියෙක්ගෙ කොන්ඩෙ (අපිරිසිදු තැනක් යැයි පොදු ව්‍යවහාරයේ කියන ) හංගං මෙහාට ගෙනාපු දළදාව තීන මාළිගේ පත්තිරිප්පුවට ගෑණියෙක් නැග්ග එක ප්‍රෙමෙයි ඒ කාලෙ රටටයි කෙල වෙන්න මුල කියල කියපු රටක්.
කොටිංම්ම ගෑණියෙක් ගෙනාපු දළදාව අද ගෑණු අතකින්වත් අල්ලන්න තහනං.
කාලෙකට ඉස්සෙල්ල මුවංපැලැස්සෙ ගුරුන්නාන්සෙ ඇතින්නියක් පිට දළදාව වඩම්මන්නෙ නැත කිව්වටත් ලොකු හා හෝවක් ගියාට මොකද තාම ඒක එහෙම තමයි. තව වෙන මොනවද ඉතිං!
මමත් ඔය දත රට මැදගන් රාලේ කියන කතාව අහලා තියෙනවා. :)
ReplyDelete"කෝට්ටේ කළාලේ කිසිල්ලේ දත මැද ගන් රාලේ" යන පාඨය‘පැපිලියානේ කුමාරයා‘ නමැති ඓතිහාසික නවකතාවේද සඳහන් වනවා.
ReplyDeleteඔන්න ඔහොමයි දතේ වරුණේ!
ReplyDeleteකොහොම වෙතත් ටැම්පල් ඔෆ් ද ටූත් රෙලික් එක ඒ කාලේ අම්බානක පිහිට වෙලා තියනවා. කන්ද උඩින් ඉස්කූල් කට් කරලා උඩවත්ත කැලෙන් ආපහු පාරට බහින්නේ ටැම්පල් එක ඇතුලෙන්. මොකද සමහර වෙලාවට වෙන පලාත් වල ඉස්කෝල වලින් ට්‍රිප් එන ලමයි ඉන්නවා. ඉතින් අපිත් ඒ ලම්යි අස්සෙම මාරුව දාගන්නවා. පාරෙන් ආවොත් මාට්ටු වෙනවානේ.
පස්සේ කාලෙක දළදා හාමුදුරුවො අපිට දුන්නා පනිෂ්මන්ට් එක. ගජ රැළ භාර උතුමා ඉස්කෝලේ විනයාචාර්ය බවට පත් කරළා!
උදේ හයටත් එකක් දාල හවස හයටත් තව පෝස්ට් එකක් දැම්මම, කොමෙන්ට් දාන අහිංසක අපිට මොකද වෙන්නෙ කියල හිතන්න බැරිද?
ReplyDelete"දත මැදගන් රාලේ" කතාව ඉස්කෝලෙ යන කාලෙ සාහිත්‍ය පොතක කියවපු මතකෙ තාම තියෙනව
වැඩිදුර කොමෙන්ට් හෙට උදේට....
උදාහරණයක් පමණි :කතන්දරට කතන්දර යැයි නොකියා බ්ලොග්කරුවෙකු යැයි පමණක් කීවොත් එය නිවැරදි මුත් කතන්දරගේ අනන්‍යතාව සුරැකෙන්නේ නැත.
ReplyDeleteදළදාවට දළදාව නොකියා දත යැයි කියන්නේනම් ඉන අර්ථවත් වන්නේ නිකම්ම දතක් පමණයි. එහෙත් දළදාව යනු තවත් එක දතක්ම පමණක් නොවේ. දළදාව වන්දනා කරන්නට බුදු හාමුදුරුවන් කියා නැත. එය වන්දනා කිරීම අපට අනිවාර්ය ද නැත. නමුත් එය බෞද්ධයන්ගේත් ලාංකිකයන්ගේත් සම්ප්‍රදායික උරුමයක්. අද කාලයේ භාරකරුවන් කියන කරන දෑ දළදාවට දත යැයි කියනවාට වඩා බොහෝ දරුණු බව ඇත්තක්. බෞද්ධාගමට එකඟ නොවන ඊනියා වත් පිළිවෙත අද පවත්නා බවත් ඇත්තක්.
යම් හෙයකින් බුදුන්ගේ දතක් වෙනුවට ජේසුස්ගේ හෝ නබිතුමාගේ (මේ තුන් දෙනා සමාන නොවේ..) තිබුනත්, එතනට කවුරුන් හෝ දතේ පල්ලිය යැයි කිවීම ගෝචර නොවේ. ඊට සම්බන්ධිතයින්ගේ ගෞරවය සුරැකෙන අනන්‍ය නාමයක් ඊට තිබිය යුතුය.
මේවා ගැන කතා කිරීම අන්තවාදී යැයි වර්ගීකරණය අන්තවාදී නොවන්නේද ?
කතාව මතක් කලාට පින්. ඔය කතාවල් තියා අපෙ ඉතිහාසයවත් දන්නේ නෑ තලෙයිබාන් බෞද්ධයෝ. නිකන් ඉක පුරාගෙන කෑ ගහනවා. ඊට පස්සෙ දත හංගල තියෙන්නේ වංගෙඩියක්ද මිරිස් ගලක් අස්සෙද කොහෙද වගේ මතක. ලීලවති රෑජින ඕක උස්සන් දුවපු කතාවකුත් මතකයි. අනේ කවුරු හරි ඒ සුන්දර මතකය මතක් කරල දෙනවනම්. ඔය හංගපු තැන අදටත් පූජනීය ස්ථානයක් බව මතකයි.
ReplyDeleteඅනේ සීයේ කතන්දරෝ
ඉතුරු ටිකත් කියන්නකෝ
මාතලන් +
ReplyDeleteඔය දත මැදගන් රාලේ කථාව අහල තිබුනත් පසුබිම් සිද්ධිය දැනගෙන හිටියේ නැනොවැ
@මාතලන් : මේ තියෙන්නේ කුරහන් ගල.. තියෙන්නේ කුරුවිට දෙල්ගමුව විහාරයේ. http://static.panoramio.com/photos/original/40293926.jpg
ReplyDeleteදළදාව හේමමාලාගේ කොණ්ඩයේ සඟවාගෙන ආවේත්, පසු කාලයේ කුරහන් ගලක සැඟවුවෙත් දළදාවේම ආරක්ෂාවට. අර දෙයිය රාළට එහෙම කිව්වෙත් ආරක්ෂාවට. අපි ඉතින් ඕකට දළදාව නොකියා දත කියන එකේ ප්‍රයෝජනය මොකක්ද ? ප්‍රයෝජනයක් තියෙනවානම් ඒ කාටද ? බෞද්ධ නොවන තලේබාන්ලාට නේද (බෞද්ධ තලෙබාන්ලා නැත. බෞද්ධයෙකුට තලේබාන් කෙනෙක් වෙන්නට බැරිය.බෞද්ධ යැයි කියා ගන්නා තලෙබාන්ලානම් සිටී)
[[මේ කාලේ කෝට්ටේ රජකම කෙරුවේ හත්වෙන බුවනෙකබාහු. පොර රාජධානිය පෘතුගිරිසින් ට ලියලා දීලයි තිබුණේ]]
ReplyDeleteපුංචි කොරෙක්ෂන් එකක්. භූ.බාහු නොවේ ඕක කලේ පොරගේ මුණුපුරා වූ ධර්මපාල. කතෝලිකයෙකු හැටියට හිඳිමින් ම රට පාලනය කල එකම රජු ඔහුයි [සමහර කතෝලික ලාංකිකයින් පෘතුගීසි ආණ්ඩුකාරයින් වෙලා ඇති අතර බෞතිෂ්ම ලද අය පසුව බෞද්ධ වී රට පාලනය කර ඇත].
පුතුන් නැති භූ.බාහුට තිබ්බ අවුල නම් මරුසියෙක් තම බෑණනුවන් වීම [ඌ අන්තිමට ඔහුගේ දුවත් මරනවා නේ]. ඉතින් රජකම මුණුපුරාට දීල පොරගේ ආරක්ෂාවට දැම්මලු පරංගි ටික. රෙස්ට් ඉස් හිස්ටරි [ඉන්ඩීඩ්]
ඔය කාලේ වෙද්දී මිනිස්සු දළදාව මත රජා තීන්දු කිරීම ඒ හැටි කරලා නැහැ. උදාහරණයක් හැටියට පරංගින්ගේ රාජ්‍යත්වය ඉස් මුදුනින් බාරගෙන තියෙනවා පහත රැටියෝ. එකම ඒක බරපතල කැරැල්ලක් වත් ගහලා නැහැ. ඔය වීදියේ බණ්ඩාර එදිරිල්ලේ රාල වගේ අතන මෙතන පොඩි පොඩි ෆයිට් මිසක්.
දළදාවේ ඉතිහාසය ගැන ඔය වගේ කතා අහලා තිබ්බට මං ඒක හරි පිළිවෙලට ලියන්න දන්නේ නැහැ.
කතන්දරගේ "ගැටේට අහුවෙලා" අනිත් අය "මගේ මතය තමයි හරි මතය, හරිද ඩෝ?" කියන අදහසට කඩේ යන හැටි පංකාදුයි. ඒ සඳහා එකම දේ නැවත නැවත ලියමින් තමනුත් වෙන පාරකින් ඒ කඩේටම යන හැටි [සමහර විට නොදැන ම] ඊටත් අපුරුයි.
ඔබ සැමට සිග්නල් සිනහ පිරි කාලයක්.
සිග්නල් දැන්වීම සුජීව අතින් ගෙවා ප්‍රචාරණය කරන ලද්දකි .. ඔය බහුජාතික දේවල් නෙවෙයි අපි ගාමු අහවල් වෙද මහත්තයාගේ දන්තාලේපේ ..
ReplyDeleteමා නම් ඒ කඩයට අයත් කෙනෙක් කියල මම ඒ ලිපියට දාපු මුල්ම කමෙන්ටුවෙන් කියල තියෙන්නේ ඕං.
ReplyDeleteඅඩෝ . . . කකා . . . අපිට තව වැඩ තියනව හරිය . . . .!!! මෙහෙම දිගට හරහට පෝස්ට් දැම්මම කියවන්නයි කොමෙන්ට් කොටන්නයි අවුරුදු 18ක විතර ගෑනු ලමයෙක් පඩි ගෙවල ගන්න වෙනව . . . තේරෙන්නෙ නැද්ද ඔහෙට ?????
ReplyDeleteකියවන්න පරක්කු වුණා නොවැ. පොඩි පොඩි නිවැරදි කිරීම් ටිකක් කරන්න ඕනේ.
ReplyDeleteමුල්ම එක සුජිව කොකාවල අයියා කරලා තියෙනවා.
"මේ කාලේ කෝට්ටේ රජකම කෙරුවේ හත්වෙන බුවනෙකබාහු. පොර රාජධානිය පෘතුගිරිසින් ට ලියලා දීලයි තිබුණේ"
කෝට්ටේ රාජධානිය පෘතුගීසින්ට ලියලා දෙන්නේ 7 බුවනෙකබාහු රජතුමා නෙමෙයි. එතුමාගේ මුණුපුරා වුනු ධර්මපාල රජතුමා.
තමන්ගෙන් පස්සේ රාජ්‍යයට උරුමකරුවන් නොහිටපු හින්දා මේ දොන් ජුවන් ධර්මපාල කියන කිතුණු ඒත් කෝට්ටේ රාජ්‍යයේ රජතුමා තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍යය තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍යය 1580 අගෝස්තු 12 පෘතුගාල රජතුමා වුණු දොන් හෙන්ද්‍රික් රජතුමාට ලියලා දෙනවා. ඒක බාරගන්නේ මැනුවෙල් සූසා
"මේ වෙන කොට ලංකාවේ තිබුණු අනිත් රාජධානි තමයි, සීතාවක, රයිගම සහ යාපනේ"
මේ වෙනකොට රයිගම රාජධානියක් තිබුණේ නැහැ. 1539 පමණ වෙද්දී රයිගම පාලකයා වුණු රයිගම් බණ්ඩාර මිය ගිහිල්ලා හිටියේ. සීතාවක රජුවුණු මායාදුන්නේ රයිගමත් සීතාවක පාලනයට ඈඳාගෙන තිබුණේ.
ඒ වගේම ඒ වෙද්දී කන්ද උඩරටත් වීර වික්‍රමබාහු කියන රජතුමා යටතේ ප්‍රාදේශීය රාජ්‍යයක් තිබිලා තියෙනවා
"මෙයින් පස්සේ කාලෙක තමයි කොනප්පු බණ්ඩාරකාරයා රජ පවුලක බඩුවක් වුනු දෝන කතිරිනාව කන්ද උඩරටට උස්සලා විමලධර්මසූරිය නම අරගෙන එහේ රජවුනේ"
මේකත් ටිකක් නිවැරදි වෙන්න ඕනේ. පෘතුගීසි ආධාර ඇතිව රජවුණු කන්ද උඩරට රජෙක් වුණු කරලියැද්දේ බණ්ඩාරගේ බෑණා වුණු යමසිංහ බණ්ඩාරට නැත්නම් දොන් පිලිප්ට කොනප්පු බණ්ඩාර නැත්නම් දොන් ජුවන් උදව් කරලා පස්සේ ඔහුව මරලා දොන් ජුවන් 1 විමලධර්මසූරිය කියලා 1592 දී රජවෙනවා.
මේකට විරුද්ධව උඩරට උරුමක්කාරිය වුණු කරලියැද්දේ රජුගේ දුව දෝන කතිරිනා එහෙමත් නැත්නම් කුසුමාසන දේවියව අරගෙන පේරෝ ලෝපේස් ද සූසා 1594 දී කරපු උඩරට ආක්‍රමණය අසාර්ථක කරලා තමා විමලධර්මසූරිය කුසුමාසන දේවියව ලබාගෙන විවාහ කරගන්නේ.
අමුතුවෙන් කන්ද උඩරටට උස්සන්න දෙයක් තිබ්බේ නැහැ. අත ගාවටම අරගෙන ආවා :))
ඒ වගේම හිරිපිටියේ රාළ දළදාව සීතාවකට වැඩම කරවන්නේ කෝට්ටේ තෑගි ඔප්පුවකින් පවරන්නත් කලින්.
හිරිපිටියේ රාළට පෙනුණා කියන්නේ දෙයියෙක් වගේ කෙනෙක් නෙමේ තාපසයෙක් වගේ කෙනෙක්. සිංහල දෙමළ මිශ්‍ර භාෂාවකින් තමා කිව්වා කියන්නේ "කෝට්ටේ කලාලේ කිසිල්ලෙයි, දත මැදගෙන රාළේ පෝ" කියලා
ඒකෙන් කියපු පණිවුඩේ තේරුම් අරගෙන හිරිපිටියේ රාළ දළදාව සීතාවක මායාදුන්නේ රජතුමාට භාරදෙනවා. එතුමා දළදාව කුරුවිට දෙල්ගමු විහාරයේ තැන්පත් කරනවා
@ All
ReplyDeleteහරිම කාර්ය බහුල කාලයක්.
සියළු දෙනාටම ස්තුතියි ප්‍රතිචාරවලට. විශේෂයෙන්ම මගේ ලිපියේ තිබුණු අඩුපාඩු හරිගැස්සු හසිතට සහ වෙනත් එකතු කිරීම් කල සියළු දෙනාටම මගේ ආදර ගෞරවය හිමිවේ!
ජයවේවා!
වෙළඳ ප්‍රචාරකයෙකු වන නුතන කථාකරුගේ කථා සෘජුවම සටකපට ක්‍රියාවකි. මේ වෙළඳ කථාකරුගේ සුරංගනා කථා දුහුනන් විසින් විශ්වාස කරන තෙක්ම ඔහු එකම කතාව පුනරුච්චාරණය කරයි. ‘අපි වෙනුවෙන් අපි‘ හමුදාවක් හැදුවේ එවැනි පුනරුච්චාරණ කතාවකිනි. ට්‍රයඩ් එකේ පුනරුච්චාරණ කථා නිසා තම “බාල මාක්ස්වාදය“ පවා අතහැරියේ ජවිපේ බාප්පලාය. නටමු නටමු දෙමළු මරමු ! අපි දෙමළු මරමු ! කී නිසා ඉන්දියන් සිද්ධාර්ථගේ ලාංකිකයෝ මිනීමරා පාරේ කිරිබත් කෑය. එ නිසාම පොන්සේකා නම් මිනීමරුවා විමුක්තිකාමි පසේ බුදුවරයෙක් කර ගත්තේය. ජවිපේ ගම් වැද්දන් පොන්සේකාගේ කථාවලට කඩේ දුවන තරමටම ට්‍රයඩ් එකේ පුනරුච්චාරණ ප්‍රචාරණ කතාව නැගලා ගියේය. එය රජය විසින් කල දේශපාලනික වරදකි. එවැනි වැරදි බොහෝ දෙනා කරති.
ReplyDeleteකතන්දර කාරයන්ට ඕනෑම කතාවක් කීමට හැකිය. ඒවා කියවා/අසා අවශ්‍ය ප්‍රමාණය ග්‍රහනය කර, අනවශ්‍ය දේ අතහැරීමට පාඨකයා දැනගත යුතුය.
-ටැබූ
ඒක තිබුනෙ පැපිළියානේ කුමාරයා පොතේ
ReplyDeleteකතන්දරයෝ...උඩ ඇනොනාමස් කෑල්ල මම ලිව්ව එකක් වුනාට ඒක කොමෙන්ට් කලේ මම නොවේ ටැබුවා. මීට මරුවා
ReplyDelete