Wednesday, 12 October 2011

කතෘ අඥාතයි! - A borrowed joke


අද නිකං පොඩි වෙනසකට වගේ මට හිතුණා මං අහල තියෙන විහිළු කතන්දරයක් දාන්න. මගෙන් කියල වැඩි සම්මාදමක් නෑ මේකට. හැබැයි අර මං කලින් ලියල දාපු කතන්දර දෙකකට

1. මගේ මතය තමයි හරි මතය, හරිද ඩෝ
2. හන්දියෙන් හැරිලා හරියටම කිලෝ මීටරයක් එන්න

මේ අද කතන්දරේ ටිකක් ලඟින් ලඟින් යනවාය කියලා කියන්න පුළුවන්.

ඔන්න එක්තරා පොරක් ගමණක් යන කොට හොඳට හුරු පුරුදු ඩයල් එකක් දැක්කා. හොඳට කල්පනා කළත් කවුද ඒ කියල මුලින් හරියටම මීටර් කරගන්න බැරි වුණා.

ටික වෙලාවට පස්සේ ඔන්න එකපාරටම සිහිය සැපත් වුණා.

බැලින්නම් මේ වීරසිංහ නේ!

වීරසිංහ ඇවිල්ලා කාලෙකට ඉස්සර හොඳට ලඟින් ආස්සරේ කරපු බූවෙක්! අවුරුදු ගණනාවකින් නේ දැක්කේ. වයසට යනකොට දන්නවනේ ඉතිං කාට කාටත් වෙන දේ. වීරසිංහත් ටිකක් විතර හරස් අතට උස ගිහිල්ලා. ඒකයි එකපාරටම අඳුණාගන්න බැරි වුණේ.

ඔන්න ඉතිං අපේ පොර මේ කියන බූවා ලඟට කිට්ටු කරලා හොඳ හිනාවක් දාලා කතාව පටන් ගත්තා!

"හලෝ මචං කොහොමද? කොහොමද? ලෝං ටයිං නෝ සී නෝ? අවුරුදු ගාණකට පස්සේ නේ දැක්කේ, ඉතිං, ඉතිං?"

බූවා බැලුවා අපේ පොර දිහා. එකපාරටම අඳුණාගන්න බැරිවෙන්න ඇති. පොඩි හිනාවක් දැම්මා.

අපේ පොර නොනවත්වා කතාව.

"ඇත්තටම මචං මං හිතන්නේ අපි මේ හම්බ වුනේ අවුරුදු පහකට විතර පස්සේ වෙන්න ඕනෑ නේද? මට උඹව එක පාරටම අඳුණාගන්නත් බැරිවුණා. උඹ මාර විදියට වෙනස් වෙලානේ බං.

මූණ මහත් වෙලා.
යටි රුවුලකුක් වවලා.
ටිකක් මහත් වෙලා.
උස ගිහිල්ලා.
කොණ්ඩෙත් ටිකක් විතර ගිහිල්ලා නේද?

ඇත්තටම වීරසිංහ උඹ නං මචං අඳුනා ගන්න බැරිතරමට වෙනස් වෙලා මචෝ. මට විනාඩි පහක් විතර ගියා කවුද කියල හිතාගන්න."

ඔන්න එතකොට තමයි අනිත් බූවාට කට අරින්න ඉඩ ලැබුණේ.

"අයෑම් සොරි මිස්ට! මගෙ නම වීරසිංහ නෙමේ. මං විජේපාල."

"මලා! යකෝ, උඹ මාර පොරක් නේ බං. මේ අවුරුදු දෙක තුනට උඹ නමත් වෙනස් කළා ද?"

-කතන්දරකාරයා

ප/ලි:
වීරසිංහගෙයි, විජේපාලගෙයි මොන වගේ සමානකම් තිබුණද කියලයි මං මේ හිතන්නේ!

(image: http://www.impawards.com/1988/twins_ver3.html)

18 comments:

  1. හික්ස්...

    ඔය වගේ දේවල් වෙනවට තියෙන බය නිසාම අවුරුදු ගණනාවකට පස්සෙ අහම්බෙන් දැක්ක මිත්‍රයොන්ට කතා නොකර ඉඳල තියෙනවා මං! පස්සෙ හිතෙනව ඒ නම් ෂුවර් එකට ඌම තමා කියලා... සමහරු නම් පස්සෙ මූනු පොතෙන් හොයාගෙන අහල බැලින්නම් ඌම තමා ඉඳලා තියෙන්නෙ :(

    ReplyDelete
  2. ඔය තරම් වයසට ගිහිල්ල නොවුනත්, මටත් ඉතින් ස්කෝල යාළුවො, විවි යාළුවො, කලින් වැඩ කරපු ආයතනයේ යාළුවො , කලින් හිටපු ගමේ යාළුවො එහෙම මුණ ගැහුණම , තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි , මෙයා අයිති වෙන්නේ ඉහත මොන යාළු කාණෟඩෙට ද කියලා. ඇත්තටම මතකයි යාළුවෙක් විත්තිය ,ඒත් කොහේ යාළුවෙක් ද කියල මතක නැහැ... අනිත් කාරණෞ තමයි නම...යාළුවන්ගෙ නම් නම් ගොඩක් වෙලාවට අමතකයි... ඉතින් මොකෝ ආයේ අහල ,ඒ මනුස්සයගෙ හිත රිදවන්න කියලැයැ...

    ReplyDelete
  3. මග තොටදි දකින ගොඩක් අය දැකල හුරු පුරුදු අය..ඒත් කොහෙද කින්ද මන්ද කියල සිහියට නෝන එක තරම් අඩුවක් තවත් නැහැ.

    ReplyDelete
  4. නෑ නෑ.... අර අනිත් බුවාට විජේපාල කියන නම අමතක වෙලා....

    ReplyDelete
  5. මටත් ඔය වැඩේනම් වෙනවා.මං නම් ඒ වගේ වෙලාවට කතා නොකර ඉන්නවා.ඉස්සෙල්ලම මුට්ටිය දානවා වගේ හිනාවක් දාලා බලනවා.ඒකට දෙන රිප්ලයි එක අනුව තමා කතා කරනවාද නැද්ද කියලා තීරනය කරන්නෙ.කොහොමත් ඉස්කෝලෙ යලුවන්ටනම් මාව මතක් කරගන්න වෙලා යනවා.ඉස්සර වගේ නෙවෙයි දැන් මහතයි නෙ....:D

    ReplyDelete
  6. මට තියෙන නම් අමතක වීමේ රෝගය සෑහෙන්න පිරිසකට තියෙනවනෙ, ඉතින් ඉතින් කතන්දර අයියෙ විජේපාලට තරහ ගියාද නම වෙනස් කරාද ඇහුවම?

    ReplyDelete
  7. කාලයත් සමග මේ වගේ දේවල්වලට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා කියලය් මමනම් හිතන්නේ.මමත් වෙලාවකට කතාකරන අතරතුර හිතන්නේ ඇත්තටම මෙයාගේ නම මොකක්ද කියල. වෙලාවකට බොහෝ වේලාවකට පස්සේ තමය් මතක්වෙන්නේ කතාකරේ කා එක්කද කියල . :)
    *වසිලිස්සා*

    ReplyDelete
  8. හිකිස්‌..අනිත් ඒකාට මෑන්ගේ නම අමතක වෙලා ඇති... ;)

    ReplyDelete
  9. //වීරසිංහගෙයි, විජේපාලගෙයි මොන වගේ සමානකම් තිබුණද කියලයි මං මේ හිතන්නේ!//

    මොනවද ඉතින්!!!

    මූණ මහත් වෙලා.
    යටි රුවුලකුක් වවලා.
    ටිකක් මහත් වෙලා.
    උස ගිහිල්ලා.
    කොණ්ඩෙත් ටිකක් විතර ගිහිල්ලා තියෙන්ට ඇති....:D

    ReplyDelete
  10. මට අනන්තවත් ඔය වගේ පෝරියල් සෙට් වෙලා තියනව. ඒ නිසා මම දැං ඉස්සෙල්ලම කියනව . . . අනේ මචෝ මට උඹව මතකයි හැබැයි නම මතක නෑ කියල . . . ඊට පස්සෙ තමයි අනිත් අමතක වෙලා තියන මියුචුවල් කෑලි ටික අහන්නෙ

    ReplyDelete
  11. ඔය වැනිම මිතුරු හමුවක අවසන් දෙබසයි මේ,(කර්තෘ අඥාතයි,මම නොවේ)

    මිතුරා1 - ඇයි බං අපි ගිය අවුරුද්දේ අනුරාධපුරේ දී හම්බ වුණේ
    මිතුරා2 - පිස්සු ද හලෝ මම ජීවිතේට ුනුරාධපුරේ ගිහිං නෑ
    මිතුරා1 - (මදක් ලජ්ජාවෙන්) මම ගිහිල්ලත් නෑ.එහෙනම් ඒ අපි දෙන්නා වගේ වෙන දෙන්නෙක් වෙන්න ඇති නේද බං?

    ReplyDelete
  12. මම නම් දැකලා පුරුදු කෙනෙක් හමු වුනොත් පොඩි හිනාවක් දානවා මුලින්ම ඊටපස්සේ ඒ පුද්ගලයා දක්වන ප්‍රථිචාරෙට අනුව තමයි ඉතිරිය තීරණය වෙන්නේ .

    එකපාරටම ඔහේ අහවලාද කියලා අහද්දී අරූ නෑ කීවොත් එහෙම ටිකක් ලැජ්ජා හිතෙනවානේ ඒකයි ..

    ජයශ්‍රී - ++++++

    ReplyDelete
  13. මේ වගේ බුවාලයි, වීරසිංහලයි විජේපාලලයි ඕන තරම් ඉන්නවා.

    මේක මගේ ක්ලාස්මේට් ගජයෙකුට ලංඩනයේ පෙට්‍රොල් ස්ටේෂන් එකකදී වෙච්ච වැඩක්. පොර දවසක් කාර් එකට පෙට්‍රොල් ගහලා බිල ගෙවන්න ඇතුලට ගොඩවැදුනාලු. මෙන්න එතකොට cashier ඉන්නේ දැකල පුරුදු ඩ්යල් එකක්. පෝලිමේ ඉන්න ගමන් මීටරේ කරකවලා බලන කොට තමයි පොර කවුද කියලා මතක් වෙලා තියෙන්නේ. අපේ පංතියේ හිටපු අති පොරක්. (කතන්දර වගේ පස්චාත් එහෙකට ගිය මැවිසුරුවෙක්). ගජයාට හෙන හැපි. දැන් පොරගේ වාරේ අවා. කවුන්ටරේට ගිය ගමන් ඇහුවා සිංහලෙන්ම 'ඔයා කරුණානායක නේද' කියලා. මෙන්න මෙයා එතකොටම ගත්කටටම මූණවත් නොබලා කියපි 'NO NO NO, I AM NOT KARUNANAYAKE' කියලා . ගජයාට හෙන අප්සැට්. පොරට හොඳටම ෂුවර්ලු මෑන්ස්ම තමයි කියලා.වැඩේ තියෙන්නේ පොරගේ යුනිෆොර්ම් එකේ පොරගේ නමත් දිලිහි දිලිහි තිබ්බලු. ලඟට ගියාම තමයි දකලා තියෙන්නේ. ඊලඟ සතියේ යනකොට පොර නැතිලු. යන්නම ගිහින්.

    ReplyDelete
  14. මටත් ඔය වගේ සීන් නම් වෙලා තියෙනවා බන් . .

    යාලුවෝ බනින්නෙම තෝ ඉතිං හිනා පාල වගේ කොල්ලයි බල්ලයි ඔක්කෝම එක්ක හිනාවෙලා කතා කරන්න යනවට තොට හොඳ වැඩේ කියලා . ..

    ඒත් මම සැලෙන්නේ නෑ .. . හික් හික් හික්

    ReplyDelete
  15. මාරම කේස් එක.. විජේපාල කොහොම ගැලවිලා ගියාද මන්දා.........

    ReplyDelete
  16. සමහර කපටි පොරවල් ඉන්නව බොරුවට අදුරනව කියාගෙන සෙට් වෙන්න බලන. අන්තිමට ගානක් කඩාගන්න වෙන්න පුළුවන් (අහුවෙච්ච අයගෙන තමයි දැනගන්න වෙන්නෙ). හරියටම මතක නැත්තං ඒක කෙළින්ම කියන එකයි ඇඟට ගුණ (මං මේක ඉගෙනගත්තෙත් කතන්දරතුමාගෙන්ම තමයි).

    දවසක් මට පොරක් හම්බවුනා නුගේගොඩදි. “ හා කොහොමද, මතකද මාව?”
    “නෑ. මංනං අඳුරන්නෙ නෑ”
    පොර කියනවා ඒ පාර “ඒ වුනාට මං නං අඳුරනව”.
    මට තේරුණා පොර බොරුවක් කරන බව. “හා ඒකට කමක් නෑ” කියල මං ගියා යන්න. ඇත්තටම අඳුරන එකෙක් වෙන්නත් පුළුවන්, කරන්න දෙයක් නෑ. දන්නවනං කෙළින්ම කියන්න තිබුනනෙ.

    ඔය වගේ මට පෙන්නන්න බැරි දෙයක් තමයි, කෝල් එකක් දීල අඳුරන්න පුළුවන්ද කියල අහන එක. සමහර වෙලාවට ටෙලි‍ෆෝන් එකකින් කටහඬ වෙනස් වෙන්න ඉඩ තියෙනව. අනිත් එක, හදිස්සියකට කතා කරන්න ‍තියෙන ටෙලිෆෝන් වලින් ඔය වගේ ටෙස්ට් කර කර ඉඳල හරියන්නෙ නෑනෙ. හදිස්සියක් නැත්තං ටෙලි‍ෆෝන් කරන්නෙ නැතුව ගිහිල්ල හම්බවෙන්න ඕනැ. ඒකයි මගෙ තියරිය. නැත්තං කෙළින්ම තමන් කවුද කියල අඳුන්වල දීල තමයි කතාව පටන් ගන්න ඕනැ. ඒකයි ශිෂ්ට ගතිය.
    ට්‍රැෆික්

    ReplyDelete
  17. කවුරු අඳුනගත්තෙ නැහැ කියල කිවුවත් පවුලගේ යාළුවො නම් අඳුනාගන්නම ඕනා. මන් සාමාන්‍යයෙන් කාන්තාවක් හිනා උනොත් මගේ මලකඩ කාපු මතකේ නැත්නම් ඔය ඩයල් එක, ටිකක් අප්සෙට් යනවා. ඒ මොකද පවුලගේ යාලුවෙක් වෙන්න පුලුවනිනේ.. එහෙම වෙලා කතා නොකර ගියොත් ගෙදර උසාවියේ නඩුවක් පැවරෙනවා. ඉතින් මට හිනා උනොත් මං හිනාවෙනවා. ඔන්න දවසක් මට එහෙම එක්කෙනෙක් හිනා උනා . මමත් හිනා උනා . දැන් මෙයා මන් ලඟට එනවා. මගේ ඇඟේ ලේ නැහැ. මට කවුද කියල නිච්චියක් නැහැ.. ඔන්න එයා ආවා. මාත් පහුකරගෙන ගිහින් පිටිපස්සෙන් හිටි කෙනෙකු එක්ක හායි කියල කතාව පටන් ගත්තා. මන් හිමීට එතනින් දීරාමාර් උනා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.