Monday, 30 January 2012

හාමිනේ ගේ බඩු ලයිස්තුව හෙවත් අපි නොදන්න ස්ප්‍රැට්ස්! - What on earth are Sprats?


මේ සිද්ධිය වුනේ කතන්දර ජෝඩුව බැඳලා අවුරුදු එකහමාරකට විතර පස්සේ අපේ රෝස බබා උපන්න කාලයේ.

මුල් කාලේ කතන්දර ජෝඩුව ගෙදරට අවශ්‍ය බඩු ගත්තේ හන්දියේ රාජා ගේ කඩෙන් එහෙම නැත්තං ගෑණිගේ කඩෙන්. පස්සෙන් පහු රතු කොරොල්ලා එකක් ගත්තු නිසා නුගේගොඩට ගිහින් පොළෙන් එළවළුයි, සතොසෙන් ගෙදරට අවශ්‍ය ග්‍රොසරීස් ටිකයි ගේන්න පුළුවන් වුණා.

සාමාන්‍යයෙන් කඩේ යනකොට ගේන්න ඕනෑ බඩු ලයිස්තුවක් ලියන පුරුද්දක් මට නෑ. ඔය ලයිස්තු හදන එක හාමිනේ නම් හරිම කැමති දෙයක්. මුල් කාලේ කඩේ ගියේ දෙන්නා ජෝඩු දාලා නිසා මට ඒ හදපු ලයිස්තු බල බල ෆලෝ කරන එක කවදාකවත් ප්‍රශ්ණයක් වුනේ නෑ.

දැන් ඉතිං මේ කියන දවස වෙනකොට රෝස බබා ගෙදර ඇවිත් නිසා මට තනියමයි නුගේගොඩ යන්න වුනේ.

ඔන්න මං නුගේගොඩ සුපර්මාකට් කාර් පාක් එකේ කාර් එක දාලා, පොළට ගියා. එළවළු ටික අරං ඇවිත් ඩිකියට දැම්මා.

ඊට පස්සේ නාවල පාරේ තියෙන සතොස එක ලඟට ගිහින් එතන පාක් කළා.

ඇතුලට ගිහින් සාමාන්‍යයෙන් ගන්න ලට්ට ලොට්ට ටික අරං එළියට ආවා.

එතකොටයි මතක් වුනේ හාමිනේ දුන්නු බඩු ලයිස්තුව!

කෝකටත් කියලා ලයිස්තුව චෙක් කරන්න පටන් ගත්තා.

Vegies ටික් ü
Dhal ටික් ü
Sugar ටික් ü
Lakspray ටික් ü
Sprats වට් ?
Tea ටික් ü
Coils ටික් ü

ලයිස්තුවේ තිබුණු දේවල්වලට වඩා තව එක එක ජාති දහයක් විතර අරගෙන තිබුණත්, ලයිස්තුවේ තිබුණු මේ ස්ප්‍රැට්ස් කියන ජාතිය නං අරගෙන තිබුණේ නෑ.

ඒකට හේතුව බඩු ලයිස්තුව මීට කලින් බලපු නැති එක නෙමේ. පොළේ දී හරි සතොස ඇතුලේ දී හරි ලයිස්තුව බැලුවා වුනත්, කවුද මේ ස්ප්‍රැට්ස් කියන්නේ මොන මගුලක්ද කියලා දන්නේ.

මේ කාලේ මට මොබයිල් ෆෝන් එකක් තිබුණේ නෑ. ලඟපාතක පේන්න අර කාඩ් දාන කහපාට ෆෝන් බූත් එකක් තිබුණෙත් නෑ. ඉතිං ඔන්න ඔහේ ගෙදර ගියා.

බඩු ටික සද්ද නැතුව කුස්සියෙන් දාලා මං ගියා ඇඟ හෝදා ගන්න.

ආපහු එනකොට හාමිනේ තේ එකකුත් හදලා!

"කෝ කතී ඔයා හාල්මැස්සෝ ගෙනල්ලා නෑනේ!"

"හාල්මැස්සෝ? ඔයා ගේ ලයිස්තුවට නේ මං බඩු ගෙනාවේ. මං දැක්කේ නෑ, හාල්මැස්සෝ තියෙනවා. මං සතොසෙන් එන්න කලිනුත් චෙක් කළා."

"ඇයි අනේ ඔයාට ඇස් පේන්නේ නැද්ද, නැත්තං අකුරු කියවන්න බැරිද?" හාමිනේ ලයිස්තුව මට දීලා ඇහැව්වා.

ෂිහ්, මං ලයිස්තුව බඩු මල්ලක් ඇතුලේ දාගෙන ඇවිත්. මෝඩකම තමා. අපරාදේ ඒක විසිකරන්න අමතක වෙලානේ!

"මේ තියෙන්නේ මං ලියලා හොඳ පැහැදිලි අකුරෙන් Sprats කියලා!" හාමිනේ මට ලයිස්තුව පෙන්නනවා.

මං නේද, සද්ද බද්ද නැතුව නිකං මීයා වගේ හිටියා.

කවුද හලෝ දන්නේ මේ ස්ප්‍රැට්ස් කියන්නේ හාල්මැස්සන්ට කියලා?

එතකොට "රයිස් ෆ්ලයිස්" කියන්නේ අහවල් එකටද?

-කතන්දරකාරයා

ප/ලි:
කැන්ඩි ලයිට් රයිස් ෆ්ලයිස් වෙරි ඇරිත්මැටික්!


(image: http://news.bbcimg.co.uk/media/images/51478000/jpg/_51478869_51468750.jpg)

Sunday, 29 January 2012

"බිජා" අසල "ජරා" - කතන්දර දැනුම් සාගරේ : To Jarrah via Bija

ආ කොහොමද කෂ්ටිය?

ඔන්න මං අද ඔයාලට ගෙනාවා අළුත්ම අළුත් පින්තුර දෙකක් හොඳේ. මේක කතන්දර කතා ගංගාව දැනුම් සාගරයක් බවට හරවන මහා ප්‍රයත්නයේ තවත් එකමත් එක ෂෝට් කට් එකක්.

මේවා මට එව්වේ මගේ හොඳම යාළුවෙක් ඊයක. මේ ෆොටෝ දෙක දැක්ක ගමන්ම මට මුලින් හිතුණේ "චිකේයියා, මහ කැතම කැත දෙයක්!" කියලයි. ඇයි අනේ "බිජා හරියේ ජරා!" කිව්වාම කාටද ඊයා කියලා නොකියවෙන්නේ?

හරිම කැත් හිත් නේද?

මෙන්න එහෙනම් ඕගොල්ලොම බලා ගන්නකෝ.




ලැජ්ජා වෙන්න හෙම දෙයක් නෑ. මේවා මේ කොහේදෝ රටක පාරවල් දෙකක නාම පුවරු. මගේ යාළුවා නං කිව්වේ ඔය පාරවල් දෙකම එක හරියේ තියෙන්නේ, කොටින්ම, "ජරා ක්‍රෙසන්ට්" එකට යන්නේ "බිජා ඩ්‍රයිව්" එකෙන් ගිහින් හැරිලාය කියලයි.

අපේ රටේ නං මේ වගේ පාරවල් නෑ මං හිතේ. තනමල්විල පාර, ගලේවෙල පාර, පයාගල පාර වගේ ඒවා මිස.

-කතන්දරකාරයා

ප/ලි:
අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක මේ දැනුම් සාගරේ කෑල්ලක් දාන්න ලැබුණු එක ලොකු දෙයක්. එක කුරුල්ලෙක්ගෙන් ගල් දෙකක්ම මරා ගන්න පුළුවන් වුණා!

මෙන්න කතන්දර දැනුම් සාගරේ මීට කලින් ගිය දැනම වැඩුම ලිපි.

1. මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද? - How many times a day does a man think about SEX?

2. වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනි - ඔබේ පරම්පරාව රැකගන්න : Wi-Fi Laptops nuke Sperms?

Saturday, 28 January 2012

බූට් එකෙන් ඔබ්බට - Is love blind?


ආලය අන්ධයි කියලා කිව්වේ කවුද 'විලියොං සකුරුපිය' ද නැත්තං ස්ටීව් වොන්ඩර් ද?

මොකා කිව්වත් කතාව ඇත්තයි!

ඕකට විද්‍යාත්මක හේතුව මගේ හිතේ, ඇහැට වැටෙන ආලෝක කදම්භ විශ්ලේෂණය කරලා අතාත්වික ප්‍රතිබිම්භ ඇහැ ඉස්සරහ මවන්න අවශ්‍ය මොලේ ශෛල ටික, මොලේ අයිතිකාරයා ලව් කේස්වල පැටලුනාම කරන්න සිද්ධ වෙන අමතර වැඩවලට යොදවන්න වෙන එක වෙන්න ඕනෑ.

හිටපු බ්ලොග්කරු ටැබූකාරයා හිටියා නම් පැහැදිලි කරලා අහගන්න තිබුණා!

"ආලය අන්ධයි!" කියන කතාව, කවියකින් කියන්න පුළුවන් මෙන්න මේ විදියට. මේ කවියේත් හඳ ගැන සඳහනක් තියෙන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?

පියවි ලොව

දෙසිත එකසිත වූ සඳෙහි
ලෝකයම සොඳුරු විය
බැලු බැලූ හැම අතම
සුන්දරත්වය
වැපිරී තිබුණි
එක සිත දෙසිත වුවහොත්
ලෝකය
කටුක වෙතැයි සිතුවෙමි

එනමුදු
අද ද ලෝකය
පෙර සේම සුන්දරය

එදා බැසයන හිරු
නැග එන සඳු
රෝසමල් සොඳුරු විය
අද නැග එන හිරු
බැස යන සඳු
නිදිකුම්බා මල් ඊට වඩා සොඳුරුය!

අරුමයක් නොවේ

ආදරය යනු
ලොව අඩක් වැසෙන
අර්ධ පාරදෘෂ්‍ය
උපැස් යුවලකි


-කතන්දරකාරයා

ප/ලි:
මේ කවිය මං පේරාදෙනිය යුනිවසිටියේ දෙවන වසරේ කල්මරන කාලේ ලිව්වට, ඇත්තටම කණ්ණාඩි දෙකක් නං දැම්මේ සිව්වන වසරේදීයි.

ඒ කණ්ණාඩි දෙකක් දාපු කේස් එකත් හොඳ කතන්දරේ. දවසක ලියලා දාන්න ඕනෑ!

(මේ කවිය පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)

(image: http://e-shirt.com/item/Love-is-Blind-+_0_AT-LoveisBlind)

Friday, 27 January 2012

අමාවක සහ පසලොස්වක නොහොත් පිස්සු ඩබල් - Lunacy and the full moon


හඳ නගින බහින විදිය අනුව මුහුදේ වඩදිය බාදිය ඇතිවෙන එක අපිට නිරීක්‍ෂණයෙන් නිගමනයට එන්න පුළුවන් ස්වභාවික සංසිද්ධියක්.

ඒ වගේම කතාවක් තමයි ඔය හඳ මෝරන කාලෙට පිස්සන් ගේ පිස්සුව තදවෙනවා කියන එකත්.

පිස්සෝ බහුතරයක් කවිවලට කැමතියි. ඒ වගේම කවි ලියන උන් බහුතරයක් එක්තරා ආකාරයක පිස්සන් ය කියලා කියන්නත් පුළුවනි.

ඉතිං, එහෙව් එකේ අපිට අහන්න කියවන්න දකින්න ලැබෙන කවිවල නිතරම හඳ ගැන සඳහන් වෙන එක අහන්නත් දෙයක්ද?

පෙම් කවි ලියන පිස්සෝ හඳ සමාන කරන්නේ පෙම්වතියගේ මූණටයි.

ඇගේ ආදරය හරියට හඳේ කිරණ වගේ සෞම්‍යයයි.
ඇයට තරහා ගියාම නිකං හඳ වළාකුලකින් වැහුණ වගේ.
අනේ මට ඇය නමැති හඳ ලඟ චූට්ටංම චුට්ටං තරුවක් වෙලා ඉන්න ඇත්තං!

ඔන්න ඔය වගේ සිලිං-බිලිං කතා කවි වල තියෙනවා අපි දැකලා තියෙනවා.

ඉතිං ඔහොම ඔහොම ගිහින් බූට් එක වැදුණායින් පස්සේ හූල්ල හූල්ලා ඉන්න කොට ලියවෙන කවිවලටත් හඳ ගාවා ගන්න පුළුවනි.

මෙන්න ඒ ආකාරයේ කවියක්.

සැනසුම

පසලොස්වක ලැබුමටත් පෙර
හදිසියේ
උදාවිය අමාවක!

දසත රජයයි ගණඳුර
කෑලි කැපිය හැකි

මැකී ගිය සඳමඬල
යලිත්
මෝදු වී ටික ටික
උදාවෙයිද පසලොස්වක?


-කතන්දරකාරයා

ප/ලි:
මට නං මේ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි.
"අනේ පව්!"

ප/ප/ලි:
ලියා මාසයක් පමණ හමස් පෙට්ටියේ තිබුණු මේ කයි-කතන්දරය එලියට ගත්තේ බුද්ධි ගේ මෙන්න මේ පෝස්ටුව බැලීමෙන් පසුවය.
http://cyberyaya.blogspot.com/2012/01/blog-post_24.html


(ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)

(image: http://www.squidoo.com/moon-magic)

Wednesday, 25 January 2012

රත්නායක මහත්තයාගෙන් රමණී නෝනා ට වැදගත් උපදෙසක් - Ramani gets an important advice


අර තිලොවට තිලක වූ, ශාඛ්‍ය සිංහ වූ, සමන්ත භද්‍ර වූ, කරුණා නිධාන වූ, මෛත්‍රී නිවාස වූ, ත්‍රිභූවන චුඩා මාණික්‍යයක් බඳු වූ අප මහා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කාලේ ඒ පළාතේ හිටිය එක්තරා කෙල්ලෙකුට කසාද බඳින්න කලින් දවසේ තමන්ගේ තාත්තණ්ඩිගෙන් "ඇතුලත ගිනි පිටත නොදෙනු, පිටත ගිනි ඇතුලත නොදෙනු!" කියලා මොලේ කොලොප්පං වෙන ක්‍රිප්ටික් උපදෙසක් ලැබුණු බව කියවෙන පුරාණ කතන්දරේ බුද්ධාගම පාඩමක දී වගේ අහලා තියෙනවාමතකද?

මතක නං කියන්න බලන්න, කවුද එහෙම ඒ උපදෙස් ලැබූ කෙල්ල?

විශාකා ද,
නැත්තං බන්දුල මල්ලිකා ද?

ඔය දෙන්න ගෙන් කෙනෙක් මිස අපි අඳුණන රමණී නෝනා නම් නෙවෙයි.

මොකද රමණී නෝනාට ඕකම නොවුණත් ඔයිට ලඟින් වගේ යන ජාතියේ උපදෙසක් දුන්නේ ඇත්තටම ඇගේ පෙම්බර රත්නායක මහත්තයා යි. ඒ මොහොතේ මේ ලියන මාත් එතන හිටියා.

මෙන්න මේකයි සීන් එක.

ඔන්න දැන් කාලෙකට ඉස්සර දවසක හවස් වරුවේ ගෙවල් ලඟ කඩමණ්ඩිය පැත්තට ගියා හාමිනේයි, අපේ දෝණියි, මායි. හරියටම ඒ වෙලාවේම රත්නායක පවුලත් කඩේ ඇවිල්ලා. ඒ මදිවට අපි දෙගොල්ලම අඳුණන දම්මිත් ඇවිත් හිටියා.

ටවුමේ සතොසේ හරියේමයි දම්මි ලා ගේ ගෙදර තිබුණේ. යන ගමන් තේකක් බීලා යන්න කියලා එයාගෙන් ආරාධනාවක් ලැබුණා.

"ඇනි ටයිම් ටී ටයිම්!" කියල කිව්වනේ ඩිල්මා-මා. ඉතිං ඔන්න අපි දෙගොල්ලොම ගොඩ වැදුණා දම්මි ගේ ගෙදරට.

ඉස්සෙල්ලාම මාරී බිස්කට්. ටිකිරි එක නෙමේ හොඳ ලොකු සයිස් එක.

ඊට පස්සේ නයිස් බිස්කට්. ඇතුලේ සීනි මදිවට උඩිනුත් සීනි දාලා තියෙන නිසා කන කොට හරිම නයිස්.

දැන් ඔන්න තේ හදන වෙලාව ආවා.

"ඕගොල්ලෝ සීනි කොහොමද බොන්නේ අඩු සීනි ද, සාමාන්‍යද, වැඩි සීනි ද?" දම්මි ඇහැව්වා. අපේ කාල් අංකල් වගේ තමයි දම්මි ගේ කතාව.

අපි සේරටමත් එක්ක උත්තර දුන්නේ රමණී නෝනා.

"රත්නෙටයි මටයි සීනි හැඳි එක ගානේ දාන්න දම්මි. කතන්දර ජෝඩුවට නම් දෙකහමාර ගානේ දාන්න."

කතන්දර හාමිනේට මොනවා හිතුනද මන්දා. මට නම් හිත යටින් හොඳටෝම හිනා ගියා. ඒත් අපි මොකුත් කීවේ නෑ.

කතා කළේ රත්නායක මහත්තයා විතරයි.

"මේ රමණී, අනුන්ගේ සීනි ගණං බලන්නේ නැතුව ඉන්නවද ඔයා?"

රමණී නෝනා ඊට පස්සේ කට ඇරියේ තේ එක බොන්න විතරයි!

-කතන්දරකාරයා

ප/ලි:
මං නං රමණීගේ වැඩේ දැන් ඇනෝනිමස් ලා ට දීලයි තියෙන්නේ!

(image: http://gordonbruce-modernartwork.com/ANITA-INVERARITY-ARTIST)

Monday, 23 January 2012

ඉඳල වැඩක් නැතෝ! මගේ දුව ආට්ස් සබ්ජෙක්ට්ස් කරන්න යනෝ!! A disaster strikes Kathandara household!!!


මගේ හදවත බරයි බරයි වගේ. සිත දුකෙන් පිරිලා. වෙලාවෙන් වෙලාවට හෝස් ගාලා හුස්මක් යනවා. මුළු ඇඟම කඩා වැටෙන්න යනවා වගේ.

ඒ මදිවට ඇස් තෙත් වෙලා!

අනේ ඇයි මේ වගේ දුක්බර දෙයක් සිද්ධ වුනේ?

මගේ දුවට එච්එස්සී වලට ආට්ස් කරන්න ඕනෑ ලු.

විද්‍යා විෂයද කලාවද?
කලාව කිව්වොත් මළා වගේ!
චී, චී, චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න?
කවුද උඹ දිහා බලන්නේ?
විද්‍යාවයි ගණං ගන්නෙ
අඩු තරමේ වාණිජවත්?
(ඉතිං පුතේ නම්බුවක් නේ
ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කරළා!)


සෝමලතා සුබසිංහ වටහාගෙන හිටි ඔය සත්‍යය, හාමිනේයි මායි දෙන්නම හොඳින් පිළිපැදපු ඔය සත්‍යය, අනේ අපිට බැරි වුණානේ අපේ දුවගේ හිතට කා-වද්දන්න.

අනේ දුවේ මේ මොකක්ද ඔයා කරගන්න යන්නේ?

පොඩි කාලේම අම්මා ඔයාට සෙල්ලම් කරන්න මෙව්වා එකක් අරං දුන්නා ඔයාට මතකද?

සීයාගේ වයස මගේ වයස වගේ දෙගුණයයි. ඔයා ගේ වයස මගේ වයසෙන් හතරෙන් එකයි. තව අවුරුදු දහයකින් සීයා ගේ වයස ඔයාගේ වයස වගේ කී ගුණයක්ද? වගේ ගණං ප්‍රශ්ණ අහලා මං ඔයා ගේ හිතේ ගණිතයට තියෙන උනන්දුව වැඩි කරන්න හැදුවා මතකද?

මෙගා ෆැන්ටා බෝතලේ දාන්න ඕනෑ, ෆ්‍රිජ් එකේ දොරේ කොයි කෙලවරේද, හැන්ඩ්ල් එක තියෙන පැත්තේද, සරනේරුව තියෙන පැත්තේද? වගේ එදිනෙදා සරල ගැටළු ගැන කතා කරලා මං ගූර්ණය වගේ භෞතික විද්‍යා සංකල්ප ඔයාට වටහලා දෙන්න හැදුවා මතකද?

ඉස්සෙල්ලා තාත්තා වගේ කැම්පස් යනවා, ඊට පස්සේ අම්මා වගේ හොස්පිටිතාලේ යනවා කියලා ඔයා පොඩි කාලේ කියනවා අහලා අපේ රෝස බබාත් අපි වගේමයි හිතන්නේ පතන්නේ කියලා ඔයාගේ අම්මත් මාත් කොච්චරක් කියලා සතුටු වුණාද?

"තාත්තේ, මට ජර්නලිස්ට් කෙනෙක් වෙන්න ඕනෑ!" ය කියලා මේ ලඟදී දවසක ඔයා කිව්වහම මං මුලින්ම හිතුවේ ඔයා නිකං විහිළුවක් කරනවා කියලයි.

ඒත් අවස්ථාව ලැබුණු ගමන් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ විෂයයන් ඔයා අළුයම ඉවත ලූ කෙල පොදක් වගේ බැහැර කරද්දී මට තේරුණා වැඩේ කපෝතියි කියලා.

මේ සුව පහසු කොට්ටේ ඉන්නේ නැතුව කූඩැල්ලෙක් වගේ ඉවතට ඇදිලා යන්නේ ඇයි දුවේ?

අඩු තරමේ වාණිජවත්?

-කතන්දරකාරයා

ප/ලි
සෝමලතා සුබසිංහ එයාගේ සින්දුවේ කොහොම ලිව්වත් අන්තිමේදී එයා ගේ දුව කෞශල්‍යා ෆර්නැන්ඩු කළේ ආට්ස්. ඒ මදිවට නියමිත අවුරුද්දේ එච්එස්සී නොකර සුගතපාල ද සිල්වා ගේ මරාසාද් එකේ රඟපාන්න ගියා. පස්සේ කොළඹ විස්ස විජ්ජාලේ ද කොහෙද ආට්ස් ඩිග්‍ර්‍රියක් කළා මයෙ හිතේ! ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම එකේ දැක්කට පස්සේ දැක්කේ නෑ.

ප/ප/ලි
මගේ තාත්තා හිටියා නම් ඔන්න සතුටු වෙයි, ලොකු මිණිපිරී සීයා වගේම ඉතිහාසය, භාෂාව වගේ ආට්ස් සබ්ජෙක්ට්ස් කරන්න යන එක ගැන.

(image: http://en.wikipedia.org/wiki/Lisa_Simpson)

Sunday, 22 January 2012

උගත් පාඩම් අංක එක හෙවත් ගෙට් යුවර් ප්රයොරීටීස් ඉන් ඕඩර් - Get your priorities in order


මොකක් හරි හොඳයි කියලා අපිට හිතෙන, නැත්තං වෙනත් එකෙකුට යහපතක් වෙයි කියලා හිතෙන වැඩක් කරන්න ගිහින් එක්කෝ සම්පූර්ණයෙන්ම වැඩේ අල කරගත්තාම හරි, එහෙම නැත්තං ඒ වැඩේ ගැන හොඳක් අහනවා වෙනුවට බැණුම් විතරක්ම අහන්න වුණාම හරි, අපිට හිතෙනවා, "ඔන්න හොඳ පාඩමක් ඉගෙන ගත්තා!" ය කියලා!

ජීප්සීස් ලා ගේ "නුඹ නාඩන් හොඳ පාඩම්" සින්දුවෙත් මේ ගැන වෙනත් ආකාරවල උදාහරණ කීපයක්ම තියෙනවා.

නමුත් ඇත්තටම අපි හොඳ පාඩම් ඉගෙනගත්තු බොහොමයක් වෙලාවල්වල දී ඒ බව අපිට කෙලින්ම තේරෙන්නේ නෑ. සමහරවිට මාස ගණනක්, අවුරුදු ගණනක් ගිහින් ආපහු හැරිල බලන කොටයි ඒ උගත් පාඩම් ගැන තේරෙන්නේ.

ඒ වෙන කොට නොදැනුවත්වම වගේ අපි ඒ උගත් පාඩම නැවත නැවත පාවිච්චි කරලා ඒකෙන් ප්‍රයෝජන අරගෙන ඇති පදම්.

අද සන්ඩේ සැපැෂල් ඇක්ස්ට්‍රා එකට මට හිතුණා මංතුමා ඒ වගේ උගත් පාඩමක් ගැන ලියන්න.

ඇත්තටම මේක මට පොරක් දුන්නු ඇඩ්වයිස් එකක්. අද බලනකොට මේක මං ජීවිතේ ඉගෙන ගත්තු හොඳ පාඩමක්.

මං පස්තාච්චි ඇදල අහවර කරළා ආපහු ලංකාවට ආවට පස්සේ හරියටම අවුරුද්දක් විතර මැවිසුරු රැකියාව කළා බොසී එක්ක. එතනින් චරිත සහතිකයක් අරගෙන ඊලඟට පැන්නේ අර කඩෙන් කන්න ගිහින් මාට්ටු වෙච්ච පොට් එකේ අංඩර දෙන්නයි. මැවිසුරු කමෙන් අස්වෙලා ඔය කියන තිප්පොලට සෙට් වෙන්න මූලික හේතුව තමයි එක්තරා මෝඩ හීනයක් දකිමින් සිටීම.

ඔය තිප්පොලේ තිබුණා වෘත්තීය සමිතියක්. මං ගිහින් අවුරුද්දකින් දෙකකින් වගේ තිබුණු ඒජීඑම් එකේ දී මාව යෝජනා ස්ථිරත්වයෙන් පත් කෙරුණා ඒ යූනියන් එකේ සම-ලේකම් තනතුරකට.

ඉන්ෆියුෂන් ඔෆ් යංග් බ්ලඩ්!

ඒ කාලය ගැනත් කතන්දර දෙක තුනක් ම තියෙනවා. ඒ කොහොම වුණත්, ඔන්න අවුරුද්දක් ගෙවිලා ගිහින් ඊලඟ ඒජීඑම් එකත් ආවා.

නමුත් මළ කෙලියයි කියන්නේ හාමිනේ ට පොඩි වෛද්‍ය පරීක්‍ෂණයක් කරන්න ජයවර්දෙනෙපුරෙ හොස්පිටිතාලෙට යන්න දිනය වැටුනෙත් එදාටමයි.

දැන් මං මුහුණ දුන්නේ මහා උභතෝකෝටිකයකටයි.

ඒජීඑම් එකට යනවාද?
හාමිනේ එක්ක හොස්පිටිතාලේ යනවාද?

ලේකම් නැති ඒජීඑම් එක නිකං මනමාලි නැති මගුල් ගෙදරක් වගේ වෙයි! අනික, කැම්පස් කාලේ දී ආට්ස් සර්කල් එකේ, සෝෂල් සයන්ස් සොසයිටි එකේ, ඊඑස්යූ එකේ, ඒසී එකේ, අයියූඑස්එෆ් එකේ වැඩ කරන්න ගියාම මං කවදාකවත් පෞද්ගලික වැඩ ගැන හිතුවේ නෑ. පලමුව බාටා දෙවනුව පාසලට!

ඒ පුරුද්දට, යූනියන් මීටිමට යන්නමයි හිත දෙන්නේ.

නමුත්, හාමිනේව ජයවර්දෙනෙපුරෙ එක්කරං යන එකත් ඉතාමත් වැදගත් කාරණයක්.

හොස්පිටිතාලවලට යන එක නං හාමිනේට නුහුරු නුපුරුදු දෙයක් නෙමේ. ඒ වුනත් හබියා එක්ක ජෝඩු දාලා යන්න අකමැති කොයි තරුණ බිරින්දෑ ද?

මේ ගැන කතා කරන්න මං ගියා අපේ යූනියන් එකේ සභාපතිකාරයා හම්බ වෙන්න.

"ඒජීඑම් එකට එන එක ගැන මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා!" මං කිව්වා, "අයි හැව් ටු ටේක් මයි වයිෆ් ටු සී එ ස්පෙෂලිස්ට් ඇට් ජයෙවර්දෙනෙපුරෙ හොස්පිටල් ඔන් ද සේම් ඩේ."

සභාපතිකාරයා රුවුල අතගෑවා.

"රිමෙම්බර් කතන්දර, දෙයා රා සර්ටන් තින්ග්ස් ඉන් යුව ලයිෆ් දැට් යූ ෂුඩ් ඕල්වේස් ගිව් ප්‍රයොරිටි ටු ඇන්ඩ් නෙවර් කොම්ප්‍රොමයිස්. දිස් ඉස් වන් ඔෆ් දෙම්."

තත්පරයක විතර නිහැඬියාවේදී මං හිතුවේ පොර මට ඒජීඑම් එකට එන්න කියන්නයි යන්නේ කියලා.

"ටේක් යුවර් වයිෆ් ටු ද හොස්පිටල්. වී විල් ට්‍රයි ටු මැනේජ් විතවුට් යූ!"

එදා නොතේරුණාට, මං ජීවිතයේ ඉගෙන ගත්තු එක හොඳ පාඩමක් තමයි ඒ අවවාදය.

මර්සි මොන්සුවා සරත්. මර්සි පො ලෙ කොන්සේයි!

තෑන්ක්ස් එ ලොට් මේට්. තෑන්ක්ස් ෆො ද ඇඩ්වයිස්.


-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාව සිහියට ආවේ, මේ බ්ලොග් අටමගලය නිසා පවුලේ වැඩවලට මගේ තියෙන උනන්දුව සහ පුතා එක්ක මං ගත කරන කාලය අඩුවෙලා ගිහින්දෝ කියලා හිතුණ නිසයි!

තාම පවුල් පන්සල් වෙලා නැති වැප් නිශාන්තත් මේ වගේ කතාවක් කියලා තිබුණා. ඉතිං, බැඳපු අපි ගැන කවර කතාද?

ඉතිං, බැඳපු, නොබැඳපු හැමෝටම මෙන්න මගෙන් අවවාදයක්.

"ළමයිනේ, රිමෙම්බර්, දෙයා රා සර්ටන් තින්ග්ස් ඉන් යුව ලයිෆ් දැට් යූ ෂුඩ් ඕල්වේස් ගිව් ප්‍රයොරිටි ටු ඇන්ඩ් නෙවර් කොම්ප්‍රොමයිස්. ෆැමිලි ෂුඩ් ඕල්වේස් කම් ෆස්ට්, බ්ලොගින් ෂුඩ් ඕල්වේස් බී එ ඩිස්ටන්ට් සෙකන්ඩ්."

(image: http://www.moppingupmillions.com/blog/make-your-marketing-plan-work-for-you/)

Friday, 20 January 2012

ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල නොවේ, මෙන්න මේකය! දැවෙන ප්‍රශ්ණයකට කතන්දරකාරයා ගෙන් පිදුරු ගොඩක්!! - Private money for higher education industry


මං මුදළාලි ගේ මෝඩ පුතුට සල්ලිවලට උපාධියක් කියන අපේ කාලේ කැම්පස් කතාව ලිව්වේ මහා ලොකු පොලිටික්ස් කතා කරන්න නෙමේ වුනත්, කතන්දරේ බලපු අය විවිධ මත පලකරන්න පටන් ගත්තු නිසා මේ ලිපිය ලියන්න හිතිලා පටන් ගත්තා.

මේකේ මුල් කොටස ප්‍රීති සහ සැලසුම්කිරීම විදියට පළ කළත් පස්සේ ඉතුරු හරිය විවිධ හේතු මත කල් ගිහින් අන්තිමේදී අමතක වෙලාම ගියා.

පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ සරසවි උද්ඝෝෂණය ගැන රත්ගමයා ලියපු විස්තරය සහ බ්ලොග් ගඩොල් එකේ ගිය මතය ගැන අද කෙරීගෙන යන විවාදයට කොනකින් සම්බන්ධ වෙච්ච හින්දයි මගේ අත්දැකීම් අනුව අද තියෙන ප්‍රශ්ණය ගැන මගේ විශ්ලේෂණය සහ විසඳුම ඉදිරිපත් කෙරෙන මේ ලිපිය හමස් පෙට්ටියෙන් අරගෙන මේ විදියට සංස්කරණය කරලා දාන්න හිතුනේ!

මෙතන මගේ අත්දැකීම් කියන්නේ රටවල් තුනක විශ්ව විද්‍යාල හයකින් ශිෂ්‍යයෙක් විදියට ලබපු අත්දැකීම් විතරක් නෙමේ, රටවල් දෙකක විශ්ව විද්‍යාල අටක දේශකයෙක් විදියට ලබපු අත්දැකීම් ගොන්නත් ඒකට ඇතුලත්. දේශණාගාරයේත්, කම්පියුටර් ලැබ් එකේත් ශිෂ්‍ය, දේශක දෙපැත්තේදීම ලැබුණු මගේ අත්දැකීම් අවුරුදු විස්සකට වඩා වැඩි බවත් කියන්න ඕනෑ.

මෙන්න දැන් මගේ ශත දෙකේ මතය.

මොකක්ද මෙතන කේස් එක?

ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි උසස් පෙල සමත් වෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න ඕනෑකම තියෙන හැමෝටම විශ්ව විද්‍යාලවල ඉඩ නැති වීම.

ඒකට හේතුව මොකක්ද?

හේතුව තමයි විශ්ව විද්‍යාල සඳහා රජයෙන් දෙන ප්‍රතිපාදන උසස් පෙල පාස් හැමෝටම විශ්ව විද්‍යාලවල නොමිලේ උගන්වන පහසුකම් සපයන්න ප්‍රමාණවත් නැති වීම

ඇයි ඉතිං ආණ්ඩුව එහෙම නොකරන්නේ? වෙන අපේම ආණ්ඩුවක් ගෙනාවොත් වැඩේ ෂේප් නේද?

ආණ්ඩුවලට සල්ලිවලින් කරන්න වෙනත් වැඩ ඇති පදං තියෙනවා හලෝ. අනික මුං ගිහින් අරුං ආවත් ඕවායේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.

ලෝකේ අනිත් රටවල වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මම වැඩේ ෂේප් වෙයි නේද?

ලෝකේ ඔය කියන තරමට පෞද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන විශ්ව විද්‍යාල සංඛ්‍යාවක් නෑ මං දන්න තරමට නං.

එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ.

ශතවර්ෂ හතක් අටක් පරණ විශ්ව විද්‍යාල තියෙන මුළු බ්‍රිතාන්‍යටම තියෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල දෙකයි. බකින්හැම් සහ බීපීපී. මුළු ඕස්ටේ‍ර්ලියාවේම තියෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල දෙකයි. බොන්ඩ් සහ නොට්‍රඩාම්. ඒවා කවුරුත් අහල පුරුදු නම් නෙමේ!

ඕස්ටේ‍ර්ලියාවට, එංගලන්තයට යන අපේ රටේ කොල්ලො කෙල්ලෝ හැමෝම වගේ ඉගෙන ගන්නේ රජයේ විශ්ව විද්‍යාලවලයි!

මං වැරදි වෙන්න පුළුවනි, නමුත් ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල්වලත් තියෙන පුද්ගලික විශ්ව විද්‍යාල මහා දානපතින්ගේ අරමුදල්වලින් ඇරඹුණු ඒවා මිසක මේ ටියුෂන් මුදළාලි ලා සල්ලි දාලා පටන් ගත්තඵ ඒවා නොවෙයි!

සල්ලි කෝටි ගණං ආයෝජනය කරලා, ඒකෙන් වාර්ෂික ප්‍රතිලාභ ගන්න අරමුණෙන් විශ්ව විද්‍යාල අරඹනවාට වඩා වෙන කොච්චර හොඳ බිස්නස් තියෙනවාද?

පුද්ගලික සමාගම් ලෙස අරඹන විශ්ව විද්‍යාල ලංකාවේ සැබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම නොවෙන්නේ අන්න ඒ නිසයි.

එහෙනං සෑබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම මොකක්ද?

ඒකට එන්න කලින් මේක කියන්නම්. ලංකාවේ අපි හුඟක් වෙලාවට කරන වැඩක් තමයි ප්‍රශ්ණය වැරදි විදියට තේරුම් අරගෙන වැරදි විසඳුමක් ක්‍රියාත්මක කිරීම.

උදාහරණයක් විදියට ඉංගිරිසි දැනුම අඩු එකට දුන්නු විසඳුම ඉංගිරිසි විෂයය ඉගැන්වීම ක්‍රමවත් කරන එක නෙමේ මුළු සබ්බ සකලමනා විෂයයන්ම ඉංගිරිසියෙන් උගන්වන්න පටන් ගත්තු එකයි. ඉංගිරිසි විෂයය උග්නවන්න අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් නැති රටේ, සියළුවම විෂයයන් ඉංගිරිසියෙන් උගන්වන්න අය ඉන්නවද කියල බලන්නෙත් නැතුව තමයි වැඩේ ඇරබුවේ!

ලංකාවේ විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයට අද අවශ්‍ය දැනට වඩා විශාල වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන. ඒකට ආණ්ඩුවේ සල්ලි මීට වඩා නැති නිසා, සැබෑ විසඳුම පෞද්ගලික ව්‍යවසායකත්වය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල නොවෙයි. අවශ්‍ය පෞද්ගලික ධනය උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට යොදා ගැනීමයි.

කා ගාවද ඒ පෞද්ගලික ධනය තියෙන්නේ. කොහොමද ඒවා රජයේ විශ්ව විද්‍යාලවලට යොදාගන්නේ.

ඒ පෞද්ගලික ධනය තියෙන්නේ විශ්ව විද්‍යාලවලින් නොමිලේ උපාධි අරගෙන දැන් රැකියා කරන අය ලඟයි. ඒ මුදල් ලබාගන්න නම් විශ්ව විද්‍යාලවල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගන්න ඕනෑ, පාඨමාලාව සඳහා යන වියදමෙන් කොටසක් ඔවුනුත් පසුකාලෙක (ඒ කියන්නේ තමන්ගේ ආදායම යම් මට්ටමකට පත්වුණාට පස්සේ) රජයට ගෙවන පදනම මතයි.

උදාහරණයකින් පැහැදිලි කළොත්?

හිතන්න දැන් ක්‍රමය යටතේ ආණ්ඩුවට පුළුවන් වසරකට වෛද්‍ය සිසුන් 1,000 ක් සඳහා ප්‍රතිපාදන සපයන්න විතරයි කියලා. රජයේ මහජන සෞඛ්‍යය ප්‍රතිපත්තිය මත ජනගනණයෙන් සෑම දහ දාහකටම එක දොස්තර කෙනෙක් ඕනෑය කියලා හිතන්න. ඒ ටාර්ගට් එක තව අවුරුදු පහකින් සම්පුර්ණ කරගන්න නම් වසරකට ගන්න වෛද්‍ය සිසුන් ගාන 1,500 ක් කරන්න ඕනෑ. ඒ කියන්නේ රජයට අවශ්‍යයි දැනට වඩා 50%ක අමතර මුදලක්. මේ මුදල වෛද්‍ය උපාධිය සඳහා බඳවා ගන්න 1,500 දෙනා උපාධිය අරගෙන ජොබ්කරන කාලේ ආපහු ගෙව්වා නම් වැඩේ ෂේප්.

උසස් අධ්‍යාපන සම්මාදම් ක්‍රමය කියලා හැඳින්වෙන මේ ආකාරයේ ක්‍රමයක් සාර්ථකව භාවිතාවෙන රජයේ විශ්ව විද්‍යාල පද්ධතියක් ගැන විස්තර මෙතනින් කියවන්න.
http://en.wikipedia.org/wiki/HECS#HECS

මේ ක්‍රමයේ තියෙන හොඳම වාසිය මොකක්ද?

හොඳම වාසිය තමයි රට ජාතිය වෙනුවෙන් පණ වුනත් දෙන්න බලාගෙන නිෂ්මි ලා, බාලේ ලා, වෙනුර ලා ගිය පාරේ යන්න බලන්න ඉන්න අයට වුනත් මේකට එකඟ වෙන්න පුළුවන් වීම.

ජීවිතේ කැපකරන්න ඉන්න අයට ජොබ් එකක් කරන ගමන් තමන්ට උගන්වන්න වැයවුණු මුදලින් තුනෙන් එකක් විතර ආපහු ගෙවන එක මහ කජ්ජක්ද?

සල්ලි ගෙවල ඉගෙන හරි ගන්න බලන් ඉන්න අයට නං මේකේ කිසි අවුලක් තියෙන්න විදියක් නෑ.

පුද්ගලික විශ්ව විද්‍යාල නිසා මුදළාලි ගේ මෝඩ පුතාට සල්ලිවලට උපාධියක් ගන්න පුළුවන් කියලා කෑ ගහන අයගේ සාධාරණ ප්‍රශ්ණයටත් මේකෙන් විසඳුම ලැබෙනවා

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි තව එකක් කියන්න ඕනෑ. එක එක ක්‍ෂේත්‍රවල උපාධිධාරියෝ රටට අවශ්‍ය ඒ ඒ ප්‍රමාණයක් විතරයි.

හැමෝම දොස්තරලා වුනොත් ඉතිං හැමදාම තමන් ලෙඩ වෙලා තමන්ටම බේත් කරගන්න වෙනවා. හැමෝම විද්‍යා උපාධිධාරියෝ වෙලත් බෑ. අනිත් ක්‍ෂේත්‍රවලත් එහෙමයි.

රටේ මධ්‍යම සැලසුම්වලින් මේ දේවල් තීරණය කරන්න ඕනෑ.

ඒ නැතිවුනත් රැකියා ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අනුව එක් එක් පාඨමාලාවලට තියෙන ඉල්ලුම තීරණය වේවි දීර්ඝකාලීනව.

ප/ප/ලි
සෙනසුරාදා සවස ලියමි.

මේ මං කියපු මුල්ම කතන්දරයකින් තොර දේශපාලන ලිපියයි. ආයේ කතන්දර පමණක් ලියන්නට හිතී ඇත!

(image: http://www.webe.com.au/hecs-help/hecs-help-paying-your-university-degree)

Wednesday, 18 January 2012

රමණී නෝනා හොඳ වැඩක් කරපු හැටි - Ramani method of conflict resolution


හාමිනේ පොඩි චීනේ ගිය දවස්වල මටයි පුතු පැටියටයි කෑම හදල දුන්නු නිසා කියනවා නෙමේ, රමණී නෝනා කියන්නේ ආදර්ශයට ගත යුතු හොඳ ගුණ යහපත් කෙනෙක්.

මෙන්න ඒ ගැන හොඳම උදාහරණයක් සපයන මට මතක් වුණු තරමක් පරණ පොඩි පහේ කතන්දරයක්.

ඔන්න රමණී නෝනා තමන්ගේ දෙවෙනි ජොබ් එකට ගිය අළුත එක සති අන්තයේ දවසක අපි ඒ පැත්තේ ගියා.

"කොහොමද රමණී අළුත් ජොබ් එක?"

"කියන්න නං වරදක් නෑ කතන්දර."

"කොහොමද එතැන වැඩ කරන අනිත් උං? හොඳයිද? අපි අඳුණන පොරවල් හෙම ඉන්නවද?"

"සේරම වගේ හොඳ කට්ටිය වගෙයි පේන්නේ. ඒත් එක මනුස්සයෙක් නං ඉන්නවා අනේ මං ගිය දවසේ ඉඳලා මා එක්ක නයි වෛරයක් තියෙන විදියටයි හැසිරෙන්නේ."

"ඇයි ඔයා එක්ක රංඩුවට ආවාද? නැත්තං බැන්නද?"

"රණ්ඩුවට එනවා තියා මේ මනුස්සයා මා දිහා බලන්නේවත් නෑ. මාව දැක්කාම රවලා වගේ අහක බලාගන්නවා. මිනිහා එක්ක මට වැඩපොළේ කෙලින්ම ගණුදෙණුවක් නැති හින්දා හොඳයි."

"ඔන්න ඔහේ අල්ලල දාන්න රමණී."

"නෑ, නෑ, මං මේක එහෙම ලේසියෙන් අත අරින්නේ නෑ. හොඳ වැඩක් කරන්න ඕනෑ!"

රමණී කිව්වේ ස්ථිරසාර කටහඬකින්. මට පොඩ්ඩක් විතර බයක් වගේත් ආවා ඒ කතාවට. මේ මනුස්සයා මොනවා කරගනීවිද, මන්දා?

රත්නායක මහත්තයා නං ඔහේ ගාණක් නෑ වගේ හිටියා.

තව සතියකින් විතර ඔන්න ආයෙත් රත්නායක ජෝඩුව මට මුණ ගැහුණා. මට කෙලින්ම සිහියට ආවේ රමණී නෝනා ගේ වැඩපොළේ වලිය.

"කොහොමද රමණී වැඩපොලේ කටයුතු?"

"හොඳයි කතන්දර. හොඳට කරගෙන යනවා."

"දැන් ඉතිං මාසයක් විතර වුණානේ නේද?"

"ඔව් මේ දෙවෙනි මාසේ යන්නේ. දන්නනෙම නැතුව කාලේ යනවා."

ඔන්න මං ඇහැව්වා අර කේස් එක ගැන.

"කොහොමද අර ඔයා එක්ක වලියට බර පොර දැන්?"

"ආ! මනුස්සයා හොඳයි වරදක් නෑ."

"දැන් කතාබහ කරනවාද?"

"තරමක් විතර."

"ආ, ඇත්තද? කොහොමද ඉතිං මිනිහා ෂේප් වුනේ? රමණී එදා කිව්වේ නං හොඳ වැඩක් කරනවා කියලනේ!"

"මං කෙරුවේ කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි. හැමදාම උදේට වැඩට ගිය ගමන් ගුඩ් මෝනින් කිව්වා. හවසට ගුඩ් ඊවිනින් කිව්වා. දැක්ක දැක්ක තැන කොහොමද කියලා අහලා පොඩි හිනාවක් දැම්මා. ඒත් මුලින් මුලින් මේ මනුස්සයා රවන එක නැවැත්තුවේ නෑ. හැබැයි ඉතිං මාත් නැවැත්තුවේ නෑනේ. හැමදාම, ගුඩ් මෝනින්, ගුඩ් ඊවිනින් කියන එක අතහැරියේම නෑ. අන්තිමේදී මිනිහා ගේ මූඩ් එක ටික ටික වෙනස් වුණා. දැන් යාන්තං විතර හිනාවකුත් දානවා. මෝනිං කියන ගමන්."

කොහොමද රමණී නෝනා ගේ හොඳ වැඩේ? වෛරයට වෛරයෙන් ප්‍රතිචාර දැක්වීම වෙනුවට කරුණාව සහ මෛත්‍රිය පෙන්නීම.

නාලාගිරි ඇතා දමනය වුනෙත් ඔහොම තමයි!

-කතන්දරකාරයා

ප/ලි:
නහී වේරේන වේරානී
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්පත්තී
ඒස ධම්මෝ සනන්තනෝ

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති
වේරං තේසූපසම්මති

මං මේ ගාථා දන්නේ කොහොමද කියලා මෙන්න මේ කතන්දරේ තියෙනවා.
http://kathandara.blogspot.com/2010/05/blog-post_26.html

(image: http://www.projecthappilyeverafter.com/2010/07/compassion-is-the-antidote-to-everything/)

Monday, 16 January 2012

කතන්දර බ්ලොගයට සයිබර් ප්‍රහාරයක් - 网络攻击在说书人的博客 - Cyber attack on Kathandara blog


කතන්දර බ්ලොග් එකට මේ දවස්වල හිට්ස් එන්නේ සාමාන්‍යයෙන් දවසකට 1,500 ක් විතර. කතන්දර දාන සඳුදා, බදාදා, සිකුරාදාට ටිකක් වැඩියි. ඊලඟ දවසේ අඩුවෙනවා.



සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයක් දැම්මත් ඉරිදාට අමුතු වෙනසක් නෑ. සෙනඟ අඩුයි, නිවාඩු නිසා. ඇඳුම් හෝදන්න හෙමත් තියෙනවානේ. බ්ලොග් කියව කියව හිටියාම ඇතියැ?

මං කතන්දර ඔටෝ පලවෙන්න සෙට් කරන්නේ උදේ හයට. මුල් පැය දෙක තුනේ සෙනග අඩුයි. ටික ටික කෂ්ටිය එන්න පටන් අරං උදේ දහය විතර වෙනකොට තමයි උපරිමය එන්නේ. මේ දවස්වල ඒ උපරිමය පැයකට හිට්ස් එකසිය පනහක් විතර තියෙනවා.

ඇතුලේ තියෙන ලින්ක්ස්විතින් එකෙන් එන හිට්ස් අතහැරියම වැඩිපුර හිට්ස් එන තැන් ගත්තොත් සිංහල බ්ලොග් සංසදය, ගූගල් රීඩරය, ලාංකීය සින්ඩිය, කොත්තු, ෆේස් බුකිය සහ අඹ ගහ සින්ඩිය කැපී පේනවා.

ඔය සේරම කතා අවුල් වෙන වැඩක් තමයි අද වුනේ.

ඔන්න අද සන්ඩේ ස්පැෂල් එක පලවුණා උදේ හයට. මුල් පැය තුන ඇතුලත හෝ ගාලා හිට්ස් ඇවිත්. උපරිමය උදේ හයේ පැයේ 260 ක් එක්ක සේරම 650 ක්.



මං බ්ලොගර් ස්ටැට්ස් චෙක් කරලා බැලින්නං මෙන්න තත්වය.



ජීවිතේට අහලාවත් නැති තැන් තුනකිනුයි මේ හිට්ස් ඇවිත් තියෙන්නේ.

1. http://www.googlecorrection.com/
2. http://www.justforlaughsgags.tv/
3. http://www.777seo.com/

ඒ සයිට්ස් වලට ගියාම තියෙන්නේ නිකං දැන්වීම් විතරයි.

ගරිල්ලා මාකටින් කාරයෝ කරපු සයිබර් ඇටැක් එකක් කියලයි මට හිතෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
වෙනත් බ්ලොග්වලටත් මෙහෙම වෙලා තියෙනවද?

(image: http://www.net-security.org/)

Sunday, 15 January 2012

කවුද ඩෝ කතන්දරකාරයා ගැන කතන්දර ලියන්නේ? When the "Story-Teller" becomes a source for stories


කතන්දරකාරයා ගැන එක එකා, එක එක විදියේ කතන්දර ලියනවා තමයි මේ කාලේ. වැඩියෙන්ම මේකට වග කියන්න ඕනෑ අර ඇනෝනිමසයා කියන ගොබිලායි.

පොර කාලෙකට ඉස්සෙල්ලා ලියපු පොරමඩලාව වැඩසටහන් පිටපතේ සාකච්ඡාව මෙහෙයවන්න අරං තිබුණේ කතන්දරකාරයාවයි.

ඊලඟට, 2011 මහා කක්කා සම්මාන උළෙලක් තියලා, ඒකේ මහා කක්කා සම්මානය කතන්දර බ්ලොගයට දුන්නා.

තව සතියක් යන්නත් කලින් මේකා කළේ, මං ගැනයි මගේ බ්ලොග් එක ගැණයි වර්ණනා කරලා සිංහල බ්ලොග් අවකාශයේ කතන්දරකරුවාගේ භූමිකාව කියලා ලිපියක් දාන එක.

එතනින් ඇරියේ නෑ, ඊලඟට මූ මගේ ඇස්බීයූ ටී-ෂර්ට් එක ගැන මහා මුසාවාදයක් පතුරවන පෝස්ටයක් දැම්මා.

ඉවරයි කියලද හිතේ?

ඊලඟට, මංතුමා ඇතුලු බ්ලොග්කාරයෝ, බ්ලොග්කාරියෝ පිරිසක් ගැන සරදම් කරන්න පරණ කාටූන් ඈඳාගෙන පෝස්ට් එකක් දැම්මා. ඒක දාලා නිකං හිටියේ නෑ, කතන්දරකාරයා නිරූපනය කරන්න අරං තිබුණු ෆ්‍රෙඩ් ෆ්ලින්ස්ටෝන් වෙනුවට ඩැග්වුඩ් බම්ස්ටෙඩ් වඩා ගැලපෙනවා කියලා මං දාපු කමෙන්ට් එක කෙලින්ම ඊලඟ පෝස්ටුවට පරිවර්තනය කළා.

මේ කියන පෝස්ට් එක එකක් පාසා පලවුණාට පස්සේ මොකද දන්නවද වුනේ. ඒව කියවන එක එකා කියනවා ඒ කතන්දර මංතුමා ම ලිව්ලා මංතුමාම දාගත්තාලූ!!!

අවුලක් නෑ, ඔව්වට සැලෙන්නේ නෑ මං වගේ රියල් පොරවල්.

ඉතිං වැරදිලාවත් හිතන්න එපා මං ඔය උඩ ටයිටලේ දැම්මේ වලියටයි කියලා. නෑ, නෑ, වලියට නෙමේ, සොමියටයි ඒ ටයිටලේ දැම්මේ.

මං මේ කතන්දර ලියන්න පටන් අරං දැං හරියටම අවුරුදු දෙකහමාරක් වෙනවා. මේ කාලය ඇතුලත මං බ්ලොග්කරණය ගැන විවිධාකාරයේ අත්හදා බැලීම් රාශියක් කළා. ඒවා බොහොමයක් මට හිතෙන විදියට සාර්ථකයි. අනිත් ඒවාත් අසාර්ථකමය කියලා කියන්නත් බෑ.

ඒ ඉතිං මට හිතෙන හැටිනේ. මට හිතවත් කියලා පෙනෙන කීප දෙනෙකුටම හිතිලා තියෙන්නේ මං මේ විවිධාකාරයේ බ්ලොග් ලෝකය ගැන කරන පරීක්‍ෂණ වලින් මංතුමාව මංතුමා විසින්ම සවුත්තු කරගන්නවා කියලයි.

ඒකට කමක් නෑ, මගේ අරමුණ දන්නේ මම නේ!

මේ වැඩේ මං කරගෙන යන්නේ කතන්දර කියවන්න පිරිසක් ඉන්න නිසයි. ඔබ සැමට මගේ නොවක් ස්තුතිය හිමිවෙනවා.

කියවලා නතර නොවී කමෙන්ට් කරන අයටත් විශේෂයෙන්ම මට ඇති ආදරේ නිසාම මාව නිසි මගට ගන්න කමෙන්ට් කරන ඇනෝනිමස් ලාටත්, මඩ යැයි සම්මත දේ ලියමින් සිට පසුව තමන්ගේ ගමන් මග මා නිසා වෙනස් කළ ඇනෝනිමස් ආතල්කාරයාටත් මගේ ස්තුතිය!

ඊලඟට, බ්ලොගර් ෆලෝවර්ස් ලා හත්සිය පනස් දෙනාටත්, ෆේස්බුක් එකේ මිතුරෝ 5,000 දෙනාටත් ස්තුතියි. ෆේස්බුක් මිතුරන් සීමාව පැනලා නිසා ලඟදීම අළුත් මූණකුත් අරඹන්නයි ඉන්නේ.

ඒ එක්කම මට මේ කර්තව්‍යය කතන්දර හාමිනේ ගේ සපෝර්ට් එක නැත්තං කරගන්න වෙන්නේ නෑ. ඇයටත් ස්තුතියි.

-කතන්දරකාරයා

ප/ලි
ඒක නෙමේ මං මේ කල්පනා කළේ.

අද මේකත් එක්ක කතන්දර "පන්සිය පනහකුත්" ලිව්වා.

සූ ගාලා ඇනෝලා කීප දෙනෙකුගෙන් විසි වෙන්න බැට කාලා "සූ-විසි විවරනෙත්" ලැබුණා.

බුදු වෙන්න කාලේ හරිද මන්දා?

බුදු වුනත් දැම්ම පිරිණිවන් පාන්න නම් බෑ ගොයියෝ. අනාගතයේ දී "ඒවං මේ සුතං" වෙන්නේ නෑ නේ වෙන්ඩ කතන්දර ලයිස්තුවල කතන්දර තියාගෙන හිටියට.

ප/ප/ලි - Jan 15, 2012 3:50 PM
මේ ලිපිය සුභපැතුම් ගන්න ලියපු එකක් නම් නොවේ!

Friday, 13 January 2012

හොට් ගොසිප් නිවුස් - කතන්දරකාරයා අමරදේව ගේ නිවස මිල දී ගැනීමට යයි - Hot gossip about Amaradeva


රටේ ලෝකේ කීර්තිය ඉතිරිලා පැතිරිලා ගිය අයට තමයි සෙලිබ්‍රිටීස් එහෙම නැත්තං කීර්තිමත් පුද්ගලයෝ කියන්නේ. මේ සෙලිබ්‍රිටි ලා ගැන නොවැදගත් විස්තර පවා, ඒ කියන්නේ සෙලිබ්‍රිටි ගොසිප් අහන්න, කියවන්න, දැකගන්න කැමති ඈයෝ කොට්ඨාශයකුත් ඉන්නවා.

ඒ අයගේ අවශ්‍යතාවය සපුරන්න පත්තරවල පිටු ගණන්, වෙබ් සයිට්ස් විතරක් නෙමේ මුළුමණින්ම සතිපතා හෝ මාසිකව පලවෙන සඟරා පවා තියෙනවා.

පිපා ගේ තොප්පිය, කේට් ගේ යට සාය, සින්ටා ගේ කිස් එක වගේම රායි-බච්චන් ගේ සාරිය ගැනත් අපි දන්නේ ඔය මාකට් එකේ පවර් එකට අහක ඉඳල වුනත් ගොදුරු වෙන නිසයි. පැපරාට්සි කියන වෘත්තියක්ම ඇතිවෙලා තියෙන්නෙත් මේ හා සමගාමීවයි.

මාත් මේ යන්නේ ඒ වගේ සෙලිබ්‍රිටි ගොසිප් එකක් ලියන්නයි.

මූලික අරමුණ පැහැදිලියි නේ? සමහරු කියලා තිබුණු විදියට අඩුවෙලා ගිහින් තියෙන කතන්දර බ්ලොග් එකේ ජනප්‍රියතාවය වැඩි කරගන්නයි මේ වෑයම.

ඒකේ මුල් පියවර වුනේ පිරිමි සෙක්ස් ගැන හිතන වාර ගණන, වයි-ෆයි මගින් ශුක්‍රාණු මැරෙනවද හොයපු හැටි වගේ දැනුම් සාගර වර්ගයේ ලිපි පල කිරීමයි. දෙවන පියවර සෙලිබ්‍රිටි ගොසිප්.

කතන්දර ජෝඩුව බැඳපු අළුත ඇනෙක්සි හොයලා හොයලා, අන්තිමේදී ඇන්ටිගේ ඇනෙක්සියට පදිංචියට ගියා. නමුත් ඉතිං හැම ජෝඩුවේ ම වගේ අපේ හිතේ වැඩ කළෙත් අපේම කියලා කූඩුවකට යන එකයි.

දෙමව්පියන් ගේ පිහිටෙන් උරුම වුණු ඉඩං කෑලි දෙකක් ගං පලාත් දෙකේ තිබුණු නිසා, ඒකෙන් එකක් විකුණලා "කොඹළ හරියෙන්" ගෙයක් ගන්නයි අදහස් කළේ.

ඉතිං කාලයක් තිබුණා, මං හැම ඉරිදාම සන්ඩේ ඔබ්සෝවර් එකේ ක්ලැසිෆයිඩ් ඇඩ්වටීස්මන්ට් කියවලා අයිතිකාරයින්ට කෝල් කරන.

ඔන්න එක ඉරිදාවක බැලින්නම් තිබුණා නුගේගොඩ හරියේ ගෙයක් ඇඩ්වර්ටයිස් කරලා. පරචස් මෙච්චරයි, ගේ මෙහෙමයි, අනුලා එක මෙච්චර ලඟයි යනාදී වශයෙන් විස්තර ගොඩයි.

හිතට අල්ලා ගිය හින්දා මං දැම්ම කෝල් එකක්. ගෑනු කෙනෙක් තමයි අනිත් පැත්තෙන් උත්තර දුන්නේ.

විකුණන්න තියෙන ගේ ගැන කතාබහ කරන අතරේ මෙන්න බොලේ මේ මනුස්සයා එක පාරට කියපි "මේක මේ අමරදේව මාස්ටර් ගේ ගෙදර!" කියලා.

"තන්ඩරින් ටයිපුන්ස් ඇන්ඩ් බ්‍රිස්ටරින් බානකල්ස්!" කිව්වලු. මං මේ කතාකරලා තියෙන්නේ විමලා අමරදේව එක්ක.

"ආ ඇත්තද?" මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.

"අපි මේ හදන්නේ මේ ගේ විකුණලා ටිකක් ඈතින් ගෙයක් ගන්නයි", විමලා පෙරේරා කිව්වා.

"ආ ඇත්තද?" මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.

වයසට යනකොට කලාකාරයින්ට ඕනෑ වෙනවා වගේ නගරයේ කළබලෙන් පලා යන්න. අතීත කාලෙක චිත්‍රසේන සහ වජිරා කොල්ලුපිටියේ ගෙදර විකුණලා කිරිබත්ගොඩ පැත්තට ගිය බව මං පත්තරේක කියවලා තියෙනවා. මේ මෑත කාලෙක වික්ටර් රත්නායකත් නාවින්නේ ගෙදර විකුණලා කඩුවෙල පැත්තට පසුබැස්සා මයෙ හිතේ.

"කොහෙද මේ මාස්ටර් කැමති නෑනේ, දේශපාලකයින්ගෙන් උදව් ගන්න, නැත්තං මේ ගේ විකුණන්න නෙමෙයි මං හිටියේ." විමලාවෝ එහෙමත් කිව්වා මට මතකයි.

"ආ ඇත්තද?" මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.

දැන් නං හිතෙනවා වෙලාවක් කතා කරගෙන ගිහින් ගෙදර බැලුවා නම් හොඳයි කියලා. නමුත් ඉතිං අමරදේවලා ගෙදර විකුණන්න හිතාගෙන හිටපු ගාණ අපි ගාව තිබුණු ගාණට වඩා දෙගුනයක් විතර වුණු නිසා මට හිතුනේ නෑ එහෙම බොරුවට ඒ මනුස්සයින් ගේ කාලය නාස්ති කරන්න.

ඔන්න ඔහොමයි මගේ සෙලිබ්‍රිටි ගොසිප් කතාව!

-කතන්දරකාරයා

තවත් ඕන්නං ලියන්නං මේ වගේ ගොසිප් ඕනෑ තරම්.

හැබැයි මෙන්න මේවා නං ගොසිප් කියලා සලකන්න එපා.

1. කැසට් මුදළාලි මාව රවට්ටලා මගේ සින්දු රැප් කළා - රෝහණ බැද්දගේ කියයි

2. භාතිය-සන්තූෂ් ලා ව මල්මාලා දාලා පිළිගන්න ඕනෑ - ජැක්සන් ඇන්තනි

3. පවතින රජයෙන් හෝ එහි නායකත්වයෙන් හෝ රටට, ජනතාවට, අපේ කමට, මහා විනාශයක් සිදුවේ යැයි ඉදිරියේ දී මට වැටහුණොත්, ඉදිරියේ දී මා එයට විරුද්ධව කතා කරනවා - සෝමරත්න දිසානායක

4. මල්ලී මං අද වෙන කොට ගායකයෙකුත් නෙමේ, සිනමා නළුවෙකුත් නෙමේ, වේදිකා නළුවෙකුත් නෙමේ! - කමල් අද්දරආරච්චි

පොඩ්ඩක් හෝව්, ඔය අන්තිම සෙලිබ්‍රිටි ගොසිප් නිවුස් එක වගේ එක තාම ලියලා නෑනේ.

දැන් ඉතිං කම්මැලිකම අතහැරලා ඒක ලියන්න වෙනවා!

(image: http://www.dailynews.lk/2011/07/06/art02.asp)

Wednesday, 11 January 2012

වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනි - ඔබේ පරම්පරාව රැකගන්න : Wi-Fi Laptops nuke Sperms?


අද මේ දාන්නේ කතන්දර බ්ලොග් එක දැනුම් සාගරයක් කරන අරමුණින් පල කෙරෙන දෙවෙනි ලිපියයි. (මුල් ලිපිය ගියේ සෙක්ස් ගැන එක දවසකට පිරිමි හිතන වාර ගණන ගැනයි).

මුලින්ම මෙන්න ප්‍රශ්ණ කීපයක්.

ඔබ තාම අවිවාහකයෙක් ද? නැතිනම් තවමත් දරුවන් නොමැති තරුණ සැමියෙක්ද?

ඔබ ලැප්ටොප් වර්ගයේ පරිගනකයක් නිතරම උකුල උඩ තියාගෙන පාවිච්චි කරනවාද?

ඒ පරිගනකයට අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ වයි-ෆයි සම්බන්ධයක් හරහාද?

ඉහත ප්‍රශ්ණ සියල්ලටම පිළිතුර ඔව් යන්න නම් පුතෝ, බුදු අම්මෝ!

මෙනිසා ඔබේ සරුබවට හානි වෙන්න පුළුවන් ලු!

වයි-ෆයි නිසා ඇතිවෙන විද්‍යුත්චුම්භක විකිරණය නිසා ශුක්‍රාණු විනාශ වෙන්න ඉඩ තියෙනවාය කියලා අන්න විද්‍යාඥයින් පිරිසක් අනතුරු හඟවලා.

මේ ආර්ජන්ටියානු විද්‍යාඥයින් කණ්ඩායම කරලා තියෙන පරීක්‍ෂණය ඉතාව සරල දෙයක්. ඉන්ටර්නෙට් එකට වයි-ෆයි මගින් සම්බන්ධ කරපු ලැප්ටොප් කම්පියුටරයක් යටින් හොඳ නීරෝගී සම්පන්න මිනිසුන් 29 දෙනෙකුගෙන් ගත්තු ශුක්‍රාණු සාම්පල් තියලා ඩවුන්ලෝඩ් බට්න් එකක් ප්‍රෙස් කරලා.

පැය හතරකට පස්සේ බලනකොට ශුක්‍රාණුවලින් කොටසක් අකර්මන්‍ය වෙලා බවයි පෙනිලා තියෙන්නේ.

සියයට විසිපහක් පමණ ශුක්‍රාණු තරලයේ පීනන එක අතහැරලා. ලැප්ටොප් කම්පිටුටරේට දුරින් තියල තිබුණු සමාන සාම්පල්වල මේ ප්‍රතිශතය වෙලා තියෙන්නේ 14% ක් විතරයි.

ඒ මදිවට ලැප්ටොප් එක යට තිබුණු ශුක්‍රාණුවලින් 9%ක ඩී.එන්.ඒ වලට හානිවෙලා බව පෙනිලා. මේක ඈතින් තිබුණු සාම්පල්වල ප්‍රතිශතය වගේ තුන් ගුණයක් ලු!

පර්යේෂණය කල කණ්ඩායමේ ලොක්කා කියලා තියෙනවා මේ ශුක්‍රාණු විනාශය හැම වයි-ෆයි ලැප්ටොප් පරිගනකයක් නිසාම ඇතිවෙනවාද යන්න ස්ථිරවම කියන්න බැරිය කියලා. ඒ එක්කම මොන මොන වෙනත් සාධක මේ කේස් එකට බලපානවද කියන එකත්් තවම දන්නේ නැති වග පොර කියනවා.

හැබැයි ගිය අවුරුද්දේ යුරොලොජි පර්යේෂකයින් හොයාගත්තලූ, ලැප්-ටොප් කම්පියුටරයක් දණහිස උඩ දිගුවෙලාවක් තියාගෙන ඉන්න කොට අණ්ඩකෝෂවල උෂ්ණත්වය ශුක්‍රාණුවලට හානිවෙන තරමට ඉහල යන බව.

ඒ මොනව වුනත් පිරිමින් ගේ ප්‍රජනන පද්ධතිය සහ මෞතික රෝග පිළිබඳ ආයතනයේ ලොක්කා නම් කියන්නේ පිරිමි ප්‍රජනන සෞඛ්‍යයට ලැප්-ටොප් කම්පියුටර්වලින් සැලකිය යුතු තරමේ හානියක් නම් සිද්ධ වෙන්නේ නෑ කියලයි.

අදාල විස්තරාත්මක පුවත්පත් වාර්තාවට සබැඳියක් මෙන්න.

http://www.dailymail.co.uk/sciencetech/article-2067515/Using-Wi-Fi-laptop-damages-sperm-reduce-activity-study-finds.html

මෙන්න මං බලපු මුද්‍රිත පිටපතේ ඡායාරූපයක්.



ඒ ඇසුරෙන් වාර්තා කළේ

-කතන්දරකාරයා

ප/ලි
දැන් අවුරුදු තුනක් විතර කාලයක් තිස්සේ මාත් උදේ පැයක් විතර කාලයක් සහ හවසත් තව පැයක් විතර කාලයක් මගේ ලැප මගේ ම ලැප උඩ තියාගෙන තමයි කතන්දර ලියන්නේ.

නමුත් දැන් මං මගේ පරම්පරාව හදලා ඉවරයිනේ. ඒ හින්දා ඔය පර්යේෂණේ ප්‍රතිඵල මුළුමනින්ම ඇත්ත වුනත් මට නම් අවුලක් නෑ.

නමුත්, තවම පරම්පරා කුට්ටමෙන් ප්‍රයෝජනයක් නොගත්තු කොල්ලෝ කුරුට්ටෝ නං ටිකක් ප්‍රවේසම් වුණොත් හොඳයි!

ප/ප/ලි
මේ දැනුම් සාගර නැගලා යනවා. මේවා ලියන එක හරි ලේසියි. මගේම කතන්දර ලියනවා තරම් මහන්සියක් නෑ. පත්තරයක් බැලුවා. කෑල්ලක් අල්ලා ගත්තා, සිංහලට පරිවර්තනය කරමින් ටයිප් කළා. බඩු හෑව්!

බයි බායි ඔරිජිනල් කතන්දර, වෙල්කම් දැනුම් සාගර!

(image: http://www.dailyclipart.net/)

Monday, 9 January 2012

මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද? - How many times a day does a man think about SEX?


බොරු කියන්නේ මොකටද, මං නම් සිංහල බ්ලොග්වලින් කියවන්න වැඩියෙන්ම කැමති විවිධාකාරයේ කතන්දර තියෙන බ්ලොග් තමයි. කාලීන දේශපාලන කරුණු ගැන සාකච්ඡා කෙරෙන ලිපි කියවන්නේ ඊ-ලඟටයි. කවි කෙසේ වෙතත්, කයි-කතන්දර කියවීම මගේ දුරස්ත වූ තුන්වැනි මනාපය කියලා කියන්න පුළුවනි.

කොච්චර වැදගත් වගේ පෙණුනත් ලෝකය ගැන දැනුම ලබා දෙන බ්ලොග් ලිපි නං මං කියවන්නේ ඉතාමත් අඩුවෙන් බව පැහැදිලියි.

මේකට හේතුව ඒ දැනුම සපිරි බ්ලොග්චල අන්තර්ගතයේ තියෙන වරදක් හෙම නං නෙමේ. බ්ලොග් කියවන්න ගතකරන හැම විනාඩියෙන්ම උපරිම ආතල් එක ගැනීමේ අරමුණ නිසයි ඒ දැනුම වඩන බ්ලොග් කියවෙන්නේ නැත්තේ.

ඒ මිසක් ඔය කියන නවීන විද්‍යාත්මක පරීක්‍ෂණ, සමාජ අධ්‍යයන සමීක්‍ෂණ, පුරා විද්‍යාත්මක ගවේෂණ ඇතුලු විවිධ අරළු බුලු කටුකරෝසන ගැන මගේ හිතේ තියෙන සාමාන්‍ය කැමැත්තේ අනිත් අයට වඩා තියෙන අඩුවක් නම් නැතිව ඒ එක්කම කියන්න ඕනෑ.

ඒ හින්දම තමයි, වැදගත් කාරණයක් ගැන කෙරුණු එක්තරා සමාජ සමීක්‍ෂණයක් ගැන ප්‍රවෘත්තියක් පත්තරේකින් දැකල කියෙව්වට පස්සේ මට වහාම ඒ ගැන (href="http://www.telegraph.co.uk/health/healthnews/8924988/Men-think-about-sex-just-19-times-a-day-nearly-as-much-as-food.html) කතන්දර බ්ලොග් එකට ලියල දාන්න හිතුනේ.

* * * *

මේ පුවත්පත් වාර්තාවේ කියවෙන විදියට මේ සමාජ සමීක්‍ෂණය පවත්වලා තියෙන්නේ මිනිස් මොලයේ සිතුවිලි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයින් පිරිසක්. මේ සඳහා සහභාගී වෙලා තියෙනවා විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සහ 25 අතර සිසුන් 300 දෙනෙක්.

පර්යේෂකයෝ මේ සිසුන්ට කියලා තියෙනවා තමන් ගේ සිතට ආහාර ගැන, නින්ද ගැන සහ සෙක්ස් ගැන සිතුවිලි දවස පුරා එන වාර ගණන සටහන් තියා ගන්න කියලා.

සමීක්‍ෂණයේ මූලිකම හොයා ගැනීම තමයි පිරිමින් ගැහැණුන් ට වඩා මූලික භෞතික අවශ්‍යතා ගැන හිතන බව.

මේ අතරින් මුල් තැන ගන්නේ සෙක්ස් (Sex) ගැන සිතීමයි.

හරි පුදුමයි නේද? මට නං විශ්වාස කරන්නත් අමාරුයි අමාරුයි වගේ.

සාමාන්‍යයෙන් පිරිමියෙක් දවසකට 19 පාරක් සෙක්ස් ගැන හිතනවාලු!

හැබැයි පිරිමින් සාමාන්‍යයෙන් කෑම ගැනත් හිතනවාලු 18 පාරක්.

ලේඩීස් කට්ටිය ගේ සිතුවිලිවල බ්රේක් ඩවුන් එක නං මීට වඩා ටිකාක් විතර වෙනස්.

ඒ ගොල්ලෝ සාමාන්‍යයෙන් දවසකට 15 පාරක් නින්ද ගැන, 10 පාරක් සෙක්ස් ගැන සහ නම පාරක් කෑම ගැන හිතනවලු!

-කතන්දරකාරයා

ප/ලි:
මම නං අද දවසේ වැඩිපුරම පාරක් හිතුවේ මේ වගේ වැදගත් සමාජ සමීක්‍ෂණ ගැන හොයලා බලලා, ඒවා කියෝලා, පස්සේ ඒවා ගැන බ්ලොග් එකට ලියන එක ගැනයි.

මගේ මේ සැලසුම් සාර්ථක වුනොත් කතන්දර බ්ලොග් එක ටික ටික මහා දැනුම් සාගරයක් බවට පත්වෙයිද මන්දා? මල කෙලියයි!



(image: http://www.telegraph.co.uk/health/healthnews/8924988/Men-think-about-sex-just-19-times-a-day-nearly-as-much-as-food.html)

Sunday, 8 January 2012

මං කැමතිම පැරණි රසාංගයක් - We got a groovy kind of love


පෙරේදා සිකුරාදා ඇනෝනිමස් ආතල් බ්ලොග් එකේ ඇනෝනිමසයා මංතුමා ගැන ලියලා පල කරපු ලිපියට උඩින් පැය කීපෙකට පස්සේ තවත් එකක් දාලා තියෙන නිසා සමහර විට වැඩි දෙනා මගේ ටී-ෂර්ට් එකක් ගැන ලියවිලා තිබුණු ඒ "අපහාසාත්මක" මුල් ලිපිය දකින්න නැතුව ඇති.

මට ඒක කියෝලා ඇතිවුනේ පොඩි ජොලියක්.

ඊට පස්සේ බීට්ල් ගේ පෝස්ට් එකේ තියෙන සින්දුව අහන වෙලේ ඊට වඩා ජොලියක් ගියා.

ඒ මං කැමතිම පැරණි රසාංගයක් හදිසියේම මතක් වීම නිසයි. ඒ තමයි "ෆිල් කොලින්ස්" (Phil Collins) ගයන "ගෲවී කයින්ඩ් ඔෆ් ලව්" (Groovy kind of love) කියන සින්දුව.

අද සන්ඩේ ස්පැෂල් එක සඳහා මං දාන්න හිතුවා ඒ සින්දුවේ යුටියුබ් සබැඳියක්.

මේ සින්දුව මං දැන් අවුරුදු විස්සක් විතර වගේ රස විඳලා තියෙනවා. මේකේ තියෙනවා අමුතුම රසයක්. සින්දුවේ වචනත් තේරෙන නිසා රස විඳීම ඉහලයි.

මේ ලින්ක් කරලා තියෙන ක්ලිප් එකේ නං කැරෝකි එකක් වගේ වචන යනවා වීඩියෝ එකේම. අවාසනාවට මේ ක්ලිප් එක එම්බෙඩ් කරන්න අවසර නෑ. පහල ලින්ක් එකෙන් ගිහින් යූ ටියුබයේම බලන්න.

http://youtu.be/IWsBF_DftlE

එහෙම නැත්තං, මෙතනම මේ ඔෆීෂියල් ක්ලිප් එක රස විඳින්න.



මෙන්න සින්දුවේ පදවැල.

When I am feeling blue,
All I have to do
Is take a look at you
Then I am not so blue
When you're close to me
I can feel your heart beat
I can hear you breathing
In my ear
Wouldn't you agree
Baby you and me
We got a groovy kind of love
Any time you want to
You can turn me onto
Anything you want to
Anytime at all
When I kiss your lips
Oh, I start to shiver
Can't control
The quivering inside
Wouldn't you agree
Baby you and me
We got a groovy kind of love

When I am feeling blue
All I have to do
Is take a look at you
Then I am not so blue
When I am in your arms
Nothing seems to matter
My whole world
Could shatter
I don't care
Wouldn't you agree
Baby you and me
We got a groovy kind of love
We got a groovy kind of love
We got a groovy kind of love

-කතන්දරකාරයා

ප/ලි:
මං මේ වගේම කැමති සින්දුවක් තමයි, "ස්ටීව් වොන්ඩර්" ගේ "අයි ජස්ට් කෝල් ටු සේ" සින්දුව.



(image: http://www.wallpapersonly.net/view/a-groovy-kind-of-love-1920x1080.html)

Friday, 6 January 2012

සිගරැට් බීම ගැන මං අහලා තියෙන හොඳම කතන්දරේ මෙන්න - The best story about smoking!


සිගරැට් බීම ගැන මේ අති වැදගත් කතන්දරේ මට මතක් වුනේ ඔබා-මා ගේ කාල බොන්න සිගරට් එකක් දුන්නු කතාව කියවපු වෙලේයි. ඔබා-මා ගේ කතන්දරේ ඇත්ත නම් ගම් එක්ක පටලෝලා ඇත්ත වගේ නිර්මාණය කරලා ලියලා තිබුණත් මං නං ඒ කතාව අහලා තිබුනේ අමුවෙන්ම තමයි.

ඒ මොනවා වුනත් මෙන්න මේ පහලින් දාලා තියෙන කතන්දරේ තමයි මට හිතෙන විදියට සිගරැට් බීම ගැන ලෝකේ තියෙන හොඳම කතන්දරේ.

* * * *

ඔන්න මිනිස්සු දෙන්නෙක් මග රෑක වැස්සට කොටු වෙලා හිටියා කඩ මංඩියක අගු පිලක. නිකං 2011 උදුවප්-දුරුත්තේ වගේ මාර සීතලයි.

එක පොරක් සාක්කුවෙන් ඩන්හිල් සිගරැට් පැකට් එකකුයි, ලයිටරේකුයි අරගත්තා. සිගරැට් එකක් පත්තු කරගෙන දුම් අරින්න පටන් ගත්තා.

එතන හිටිය අනිත් පොරට ඉවසන්න බැරි වුණා.

"මහත්තයා මටත් දෙනවද සිගරැට් එකක්?" පොර ඉල්ලුවා. ඉල්ලපු පරක්කුවෙන් සිගරැට් එකකුයි ලයිටරෙයි ලැබුණා.

සිගරැට් ඇද ඇද දුම් අරින ගමන් දෙන්නා කතාවටත් වැටුණා.

ඔන්න පළමුවෙනි පොර ගේ සිගරැට් එක ඉවර වුණා. පොර පැකට් එක සාක්කුවෙන් ගන්න කොටම දෙවෙනි පොරත් එක හුස්මට පොර ගේ සිගරැට් එක ඇදල දැම්මා.

"මටත් තව එකක් ගන්න පුළුවන්ද මහත්තයා?"

බැලින්නම් සිගරැට් පැකට් එක ඇතුලේ තිබුනේ එකම එක සිගරැට් එකයි. මහත්තයා ඒක පත්තු කර ගත්තා. උරහිසේ තිබුණු බෑග් එක ඇරලා අළුත්ම ඩන්හිල් පැකට් දෙකක් එළියට අරං, එකක් තමන්ගේ සාක්කුවට දාගෙන අනික දෙවෙනි පොරට දුන්නා.

"ආ, තියා ගන්නව දැන් බීල ගෙදරත් ගිහින් බොන්න."

දෙවෙනි පොරට හරිම පුදුමයි. මාර සල්ලිකාරයෙක් වෙන්න එපායැ එහෙම ඩන්හිල් සිගරැට් පැකට් එකක්ම දීලා දාන්න.

"මහත්තයා හොඳ සල්ලි කාරයෙක් වගේ? පොර ඇහැව්වා. හොඳ බිස්නස් එකක් තියෙනවා ඇති?"

"හොඳ බිස්නස් එකක් නෙමෙයි ඕයි මට තියෙන්නේ."

"එහෙනං?"

"හොඳ පිළිකාවක්. පෙනහැල්ලේ!"

-කතන්දරකාරයා

ප/ලි:
ළමයිනේ සිගරැට් නං කට හරියේ තියන්න එපා!

(image from: http://www.prlog.org/11334155-4th-stage-of-lung-cancer.html)

Thursday, 5 January 2012

තේරවිල්ලකි - ඔහෙලාට ඇහැක් නම් තෝරන්න : An original riddle from KK


මෙන්න කතන්දරකාරයා ගේ ඔරිජිනල් තේරවිල්ලක්. හැමදාම නෑ, හැම තැනම නෑ!

ඇහැක් නම් තෝරන්න.

ඇස් දෙකක් නම්, ඒත් තෝරන්න.

* * * *

අපේ සීයා ට එයාගේ තාත්තා මේක කියලා දෙන්න ඇති.

අපේ තාත්තාට අපේ සීයා මේක කියලා දෙන්න ඇති.

අපේ තාත්තා මට මේක කියලා දුන්නා මට තාම මතකයි.

මම මගේ පුතාටත් කියලා දුන්නා.

මගේ පුතාත් දවසක එයා ගේ දරුවෙකුට මේක කියලා දේවි.

ඒ මගේ අනාගත මුණුබුරාත් දවසක එයා ගේ දරුවෙකුට මේක කියලා දේවි.

මේ මොකක්ද?

* * * *

නිවරදි උත්තරේ ඉහත විස්තරයේම කෙලින්ම නොවුනත් වක්‍රාකාරව අඩංගු වෙලා තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි
මේ තේරවිල්ල තෝරන්න සෙට්වෙන අයගේ ජොලිය උපරිම කරණු පිණිස අද මධ්‍යම රාත්‍රිය පසු වෙනතුරු කතන්දර බ්ලොගයේ කමෙන්ට්ස් එකෙනෙහිම පලවීම අත්හිටුවා ඇත.

ප/ප/ලි
මේ තේරවිල්ලේ විස්තරයේ සීයා, තාත්තා, මම, පුතා වගේ වචන යොදා ගත්තේ මේක මගේ අනාගත කතන්දරයක කොටසක් නිසයි. අම්මා, දුව වගේ වචන දාන්නත් පුළුවන් වෙනසක් වෙන්නේ නෑ.

(image: http://www.forbes.com/sites/daviddisalvo/2011/11/22/whats-your-dna-worth/)

Tuesday, 3 January 2012

සමාවෙන්න කුරුළු අම්මේ - පින්තූර කතන්දරයක් : A picture story


මනුස්සයෝ ශිෂ්ඨාචාර පිහිටුවාගන්න කලින් ගල්ගුහා කාලේ ඉඳලාම සිතුවම්වලින් කතන්දර ලිව්වාය කියලානේ කියන්නේ. ඊට පස්සේ වුනත් ඔය පිරමීඩ්ස් වල වගේ දිග කතන්දර තියෙනවාලු ලියලා රූප මගින්. චීන භාෂාවේ අකුරක් අකුරක් පාසා චිත්‍රයක්.

දැන් ඉතිං ඩිජිටල් යුගයේ අපි යන යන තැන ෆොටෝ කොටනවා.

පින්තූරයක් වචන 1000ක් වටිනවා කියලා කතාවක් අහලා තියෙනවා නේද? එහෙම බැලුවොතින් මං මේ කතන්දර බ්ලොග් එකේ ලියන දිගම කතාවක් තමයි මේක.

ඒත් වචන පොඩ්ඩක් විතර දාන්නං කෝකටත් කියලා.

* * * *

"කතී, කතී, බලන්න අර වත්ත පල්ලෙහා හොඳටම කැලේ වැවිලා. අළුත් අවුරුද්දේ වැඩ අල්ලන්නත් එක්ක ටිකක් එළිපෙහෙලි කරලා දාන්නකෝ අනේ!"



අත් කියතක් අතින් ගත් මිනිහෙක් දිගට හරහට ගස් අතු කපනු පෙනේ.



තවත් අත්තක් කපන විට මහා කළබළ හඬක් ඇසුණි. ඔහු නොම දුටු අමුත්තෙක් ද ඒ ගස් අතරේ සිට ඇත.



ඉනිමගක් සෙට් කරගෙන බැලූ විට අන්තිමට කැපූ අත්තේ දෙබලක කුඩා කූඩුවක් තිබෙන බව පෙනුණි.



එතුල දර්ශනය දැඩි සිතක් වුවද කළඹන සුළු විය. කුරුලු කූඩුවේ බිත්තර දෙකකි.



කැපූ අත්ත වහාම තාවකාලිකව පිළිසකර කෙරිණි. මේ සඳහා යොදා ගත්තේ ඉන්සියුලේෂන් ටේප් බව හොඳින් බැලුවොත් පෙනෙනු ඇත!



කෙමෙන් කෙමෙන් වැඩ අවසාන විය. මෙන්න පලදාව.



මෙන්න ඉතිරි කොටස. සුලඟට පෙරලුනු ගසක කොටස්.



පැයකට පමණ පසු කුරුළු අම්මා ආපසු ඇවිත් බිත්තර රකින්න පටන්ගත්තා!



සමාවෙන්න කුරුළු අම්මේ...!!!

-කතන්දරකාරයා

ප/ලි

හාමිනේ සහ දරු දෙදෙනා ද සමග කතන්දරකාරයා ද ලඟඳීම අළුතින් සෑදූ කූඩුවකට යාමට නියමිත බව සතුටින් දැනුම් දෙමි!

මේ පහත සබැඳියේ ඇති කතන්දරයේ ප/ලි කෑල්ල කියවූහොත් ඒ සඳහා කෙතරම් දිගු කාලයක් ගතවූයේදැයි සොයා ගත හැකිවෙනු ඇත.

http://kathandara.blogspot.com/2010/06/blog-post_16.html

සැමට ජයවේවා!

(Cave art photo: http://caitlinnicoll.wordpress.com/2011/08/05/storytelling-through-art/)

Sunday, 1 January 2012

වසරේ මහා උභතෝකොටිකයට කතන්දරකාරයා ගේ විසඳුම - How to greet issue solved!


ලංකාවේ තියා ලෝකේ කොතැන හිටියත් සිංහල උංට සමරන්නට අවුරුදු උදාවන් දෙකක් ඇත.

එකක් අප්‍රියෙල් මැද එළැඹෙන සංස්කුරුතිමය එකය. අනික බටහිර කුමන්ත්‍රණයක් වන ජනවාරි පළමුවෙනිදා ට යෙදෙන ජනේරුවය.

දැන් මේ දෙකෙන්ම ගැලවී සිටිමට සිතීම නම් විහිළුවකි. පත්තරෙන්, රේදෙව්වෙන්, තලදසුනෙන් නොව බ්ලෝග්කාරී-විකාරරූපී ලෝකයෙන්ම මේ ඩබලම අපේ ඇස්, කන්, නාසා තුලින් අනුමස්තික්‍ෂ්කයටම කවයි. අපට කළ හැක්කේ යන්තම් ජාම් බේරා ගැනීමට සැලසුම්කර, ඒවා ක්‍රියාත්මක වේයැයි ඇඟිලි බැඳගෙන සිටීම පමණි.

අවුරුද්ද උදාවූ පසු ඒ වෙනුවෙන් සුභ පැතීම සාමාන්‍ය සිරිතයි. කොටින්ම ඊයේ රාත්‍රියේ මගේ අල්ලපු මේසේ හිඳ අවුරුදු සමරපු එකාද හරියට මධ්‍යම රාත්‍රී දොලහට මට ඇස්ඇම්ඇස් එකක් එවීය.

හැම අතින්ම පැහැදිළි වෙනස්කම් ඇති අවුරුදු දෙකක් ඇති නිසා ඒ දෙක වෙනුවෙන් සුභ පැතීමද පැහැදිලි වෙනස්කම් සහිතව කළ යුතුයි.

මං දන්නා පරිදි ජනවාරි පළමුවෙනිදා අප වැඩි දෙනා සුභ පතන්නේ Happy New Year කියා සුද්දන්ගේ භාෂාවෙනි. අප්‍රියෙල් වල එන සිංහල අවුරුද්දේ දී "සුභ අළුත් අවුරුද්දක් වේවා!" යැයි කියමු. සිංහල අවුරුද්දට Happy New Year කියන සිංහල උන් ගැන නම් මට ඇතිවෙන්නේ මහත් කේන්තියකි.

සිංහල භාෂාවෙන් ජනවාරි පළමුවෙනිදා සුභ පතන විට අප කිව යුත්තේ කුමක්ද යන්න නම් පැහැදිලි උභතෝකෝටිකයකි.

1. "සුභ අළුත් අවුරුද්දක් වේවා!" යැයි කිව යුතුද?
2. "සුභ නව වසරක් වේවා!" යැයි කිව යුතුද?

මට හිතෙන පරිදි මේ සඳහා වඩාත් සුදුසු "සුභ නව වසරක් වේවා!" යන්නයි. එය "හැපි නිව් ඉයර්" යන්නේ කෙලින්ම පරිවර්තනයකි.

එනිසාම ටිකක් අමු ගතියක් දැනේ.

එනිසාම එය මේ ජනවාරි පළමුවෙනිදා අවුරුද්දට මනාව ගැලපේ.

එසේ නම්, "සුභ නව වසරක් වේවා!"

"සුභ අළුත් අවුරුද්දක් වේවා!" යන්න අප්‍රියෙල් මාසයට තබා ගනිමු.

ඔය මොනවා වුනත් මංතුමා නම් වැඩිපුරම පාවිච්චි කරන සුභපැතුම මෙන්න මේකයි.
http://kathandara.blogspot.com/2010/04/blog-post_14.html



-කතන්දරකාරයා

ප/ලි:
දැක්ක නේද ෆොටෝ ෂොප් මැජික් වැඩ!

ප/ප/ලි
(2012 ජනවාරි 2 දින එකතු කළෙමි).

ඔය ෆොටෝවල කතන්දරය මෙසේය.

බලන්න බෝතලේ කඳට සාපේක්‍ෂව මූඩියේ සහ කටේ ප්‍රමාණය! ටිකක් අවුල් නේද?

ඔය සේරම බෝතල් 200ml ඒවාය. කඳේ වටප්‍රමාණය සහ උස වෙනස් වුවද, කට එක ප්‍රමාණයේය.

ඕවා මං අවුරුදු දෙකකට පමණ පෙර රට ගිහින් එන වෙලාවකදී ගෙනැවිත් ආපු ගමන් කබඩයේ දමා වසා දුම් ඇල්ලූ සෙට් එකක ඒවාය. කසායට අනුපාන ලෙස හාවා හඳ දකින්නාක් සේ වසර දෙකක් තුල ආගන්තුක සත්කාරයට යොදා ගත්තද ආදරේ වැඩිකමට හිස් 200 බෝතල් වීසි නොකළෙමි.

මෙන්න අද තත්වය. මේ ෆොටෝ එකෙන් 200ml සයිස් එකේ කතාව තේරෙනු ඇත.



දෙසැම්බර් 31 වෙනිදා මා මේ කිසිවක් නොබිව් බව කරුණාවෙන් සලකන්න.