ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 30 January 2011
බ්ලොග්කාරයින් ට කෙලවන රයිටර්ස් බ්ලොක් එක - Writer's Block
අපේ ආච්චි ගේ තාත්තාගෙන් බේත් ගන්න ආපු ගමේ ගෑනු කෙනෙක් මහා භයානක භයවීමක් භය වෙච්ච හැටි ගැන මං කතන්දරයක් කිව්ව නේ දැන් ටික කාළෙකට කලින්.
අන්න ඒ වගේ මහා භයානක භයවීමක් භය වුනා මාත් මේ ලඟදි දවසක. ඒ වෙන මොකක්වත් ගැන නෙමේ මේ අපේ කතන්දර බ්ලොග් එක ගැනයි.
ගිය අවුරුද්දේ අග දී, මං පොඩි ස්ටොක් ටේකිං එකක් කරද්දී මගේ ලැප්ටොප් එකේ සම්පූර්ණයෙන් ම ලියල ඉවර කරපු කතන්දර පාලහක් තිබුණ. බාගෙට ලියල ඉවර කරපු කතන්දර පහක් තිබුණ. ලියන්න ප්ලෑන් කරපු කතන්දර ලයිස්තුවේ මාතෘකා හැටක් තිබුණ.
නමුත් පහුගිය සති අන්තයේ බලන කොට මෙන්න බොලේ ලියපු කතන්දර පහයි, අළුතින් බාගෙට ලියපු ඒව දෙකයි. ලිස්ට් එකත් එහෙමමයි. ඒ කියන්නේ මං ලියල තිබුණු කතන්දර බ්ලොග් එකේ පලකරපු වේගෙන් අළුතින් කතන්දර මා අතින් ලියවිලා නෑ.
ඒකම විතරක් නෙමේ මං මේ කියන මහා භයානක භයවීම භය වෙන්න හේතුව. කතන්දර ස්ටොක් එක වැඩි කර ගන්න කියලා වහාම ලැප්ටොප් එක ඕපන් කරල සෙට් වුණාට මට අකුරක්වත් ටයිප් කරන්න හිතුනේ ම නෑ.
පහුවදාත් ඒ සන්තෑසියමයි. අනිත්-පහුවදාත් ඒකමයි වුනේ.
ඉතිං මං මහා භයානක භයවීමක් භයවෙන එක අහන්නත් දෙයක් යැ.
දන්නවාද මොකක්ද කියල මට හැදිල තිබුණු ලෙඩේ?
මේකට කියන්නේ රයිටර්ස් බ්ලොක් කියලයි.
මේ ලෙඩේ හැදුනම එක අකුරක් ටයිප් කරන්න හිතෙන්නේ නෑ. වැඩි විස්තර මෙතනින් බලන්න කෝ.
ඉතිං ලෙඩේට බේත් විදියට මං මොකද දන්නවාද කලේ? තව දවසක් දෙකක් යන්න ඇරල, මෙන්න මේ කතන්දරේ ලියන්න පටන් ගත්තා.
දැන් මට තේරෙනවා ටික ටික ලෙඩේ හොඳ වේගෙන එනවා!
මේ අව්අස්සෙ මට මතක් වුණා තවත් මේ වගේ රයිටර්ස් බ්ලොක් එකක් තියෙන මගේ යාළුවෙක්ව. වෙනිං කවුරුත් නෙමේ, මේ කියන්නේ අර කීප්-අ-සයිඩ් කුකින් කරපු, මී-කිරිවල රස-ගුණ අඳුණන, කාන්තාවන් ගේ xxx හොයපු, රත්නායක ජෝක්ස් නිර්මාතෘවර අපේ සද්ගුණවත් රත්නායක මහත්තයා යි.
මීට අවුරුදු හතරකට, පහකට විතර කලින් දවසක මට ඇහුණා අපේ රත්නායක රේඩියෝ එකක සාකච්ඡාවක් යන වෙලාවේ හොට් නොම්බරේට කෝල් කරලා පරණ කතාවක් කියනවා. මාතෘකාව වුනේ වතුර නාස්තිය. රත්නායක කිව්වේ පොර පොඩි කාලේ ගම් පලාතේ වතුර නැතුව දුක් විඳපු හැටි ගැණයි.
මං ඔය දවස්වල පොඩි සඟරාවක් එඩිට් කළා. ඉතිං, සංස්කාරක හැටියට මං රත්නායක මහත්තයාට ආරාධනා කළා, ඒ අත්දැකීම් සඟරාවට ලියන්න නිකං තීරු ලිපියක් වගේ. මේක අවුරුද්දකට කලාප හතරක් පලකෙරෙන සඟරාවක්.
පොරත් කැමති වුණා -එක පයින් ම.
මාසෙකට විතර පස්සේ මං ඇහැව්වාම කිව්වා, කොටස් අටකින් ලියන්න සැලසුමකුත් හැදුවා කියලා.
හැබැයි ඊට අවුරුදු තුනකට පස්සේ මං සංස්කාරක රාජකාරිය වෙන කෙනෙකුට දෙනතුරුත්, ඒ තියා අද වෙනකනුත්, රත්නායකකාරයා ලියපු තීරු ලිපියක් නං නෑ.
මං හිතන්නේ රත්නායකටත් රයිටර්ස් බ්ලොක් එක හැදිලා. නිකං නෙමේ, එකම එක ලිපියක, එකම එක අකුරක් වත් ලියන්නත් කලින්!
ඒක නං මේ ආත්මේ සනීප වෙන ලෙඩක් නෙමේ වගේ පේන්නේ!!
-කතන්දරකාරයා
ප/ලි
මේ ලිපිය පල කෙරෙන අද දින වෙන විට, කතන්දර ස්ටොක් එක ඉතා සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව සතුටු සිතින් යුතුව මෙයින් දැනුම් දෙමි. ලියන්නට තියෙන ලයිස්තුවේ ප්‍රමාණය ද දැන් සීයකට ආසන්නයි!
Friday, 28 January 2011
කලින් කන්නේ ඇයි? කලින් යන්නද?
ලෝකෙ හුඟක් වැඩ ඉතිං වෙන්නේ අපිට ඕනැ විදියට නෙමේ නේ!
ඒක කමක් නෑ කියමු. ඊලඟට වෙන දෙයයි ඉවසන්න බැරි. ඒ කියන්නේ, එකම හේතුව මත අපිට පිට පිටම කෙලවෙන එක!
මේක පොඩි සරල උදාහරණයකින් විස්තර කරනවා නං මෙන්න මෙහෙමයි.
හිතන්න අපිට බස් එකේ යන්න සල්ලි නැතුව පයින් යනවා කියලා. ඉතිං, පයිං ගිහින් සෙරෙප්පු දෙක ගෙවිල කැඩෙනවා. ඊට පස්සේ පතුලේ කර ගැට, ගල් තැළුම් එනවා. දැං ඉතිං පයින් යන්නත් බෑ. බස් එකේ යන්නත් බෑ. බස් එකේ යන්න සල්ලි නැතුව සෙරෙප්පු ගන්න සල්ලි කොහෙන්ද?
ඇත්තටම මං මේ ලඟදි ලියපු මැදපු කමිස මොකුත් නෑ කතන්දරේත් තියෙන්නේ ඒ වගේ තියරියක් තමයි. කමිස මදින්න මදින්න හේදුවාම පොඩි වෙනවා වැඩියි. තව තව මදින්නම වෙනවා. මහ විෂම චක්‍රයක්.
අද කතන්දරේ පොඩ්ඩක් විතර මේ ලයින් එකේ.
ඔන්න අපි, ඒ කියන්නේ වී.කේ. විරාජ් ලා, රත්නායක ලා හෙම තායිලන්තේ පස්තාච්චි කුපාඩි කරන කාලේ කට්ටියම දවසක් ගියා පිරිත් ගෙදරක. මේ පිරිත තිබුනේ ලංකාණ්ඩුවේ තැනකයි. අපි සිස්සයෝ වගේම තව තව ලොකු ලොක්කොත් ඇවිල්ලා හිටියා. ඒ අය ටවුමේ විවිධ රැකියා, බිස්නස් කරන මහත්තුරු, නෝනලා.
පිරිතක් කියන්නේ ඉතිං, ගිහියන්ට රාත්‍රී ආහාරය දෙන තැනක් නේ. අපි සිස්සයෝ කට්ටිය ගියෙත් අල, පරිප්පු හදාගෙනයි.
ඔන්න හාමුදුරුවරු පිරිත පටන්ගත්තා. සාමාන්‍යයෙන් වෙන්නේ පැයක් විතර, පන්සිල්, ගාථා, මහ පිරිත හෙම කියලා, හාමුදුරුවරු පොඩි ඉන්ටවල් එකක් ගන්න එකනේ. ඒ වෙලාවේ තමයි අපි කන්න ප්ලෑන් කරගෙන හිටියේ.
සියම් නිකායෙ වුණාට තායිලන්තෙ හාමුදුරුවරුන් ගේ වැඩ පිළිවෙළ වෙනස් වගේ. පිරිත් කියනවා, කියනවා, කියනවා නවත්තන පාටක් නෑ.
දැන් ඉතිං, රෑ දහයටත් කිට්ටුයි. වෙනද හත හමාර වෙන්න කලින් කන අපිට හොඳ ගණං.
ඔය අව් අස්සෙ හොරෙන් හොරෙන් කන බොන දේ තිබුණු පැත්ත බලන් හිටපු අපි දැක්ක අර ටවුමෙ මහත්තුරු කීප පොළක් අරහෙන් හාමුදුරු ගොල්ල ආටානාටිය කියන අල්ල-පනල්ලෙ කෑම මේසෙට කිට්ටු කරල වැඩ අල්ලනව.
අපේ පොරක් ගිටිය චානක කියල. පොරත් බය නැතුව ගියා නැගිටල කන්න. ටිකක් වෙලා යන කොට අපිත් ලැජ්ජාව අතහැරල දාල කන්න සෙට් වුණා.
මේ කතන්දරේ ජොලිම කෑල්ල එන්නෙ මෙතනදියි. අර ටවුමෙ මහත්තයෙක් අපෙන් අහනව මෙන්න මෙහෙම.
"මේ අර පස්තාච්චි කුපාඩි සිස්සයෝ නේද? ඇයි ඕගොල්ලොත් ඉක්මනින්ම යනවද පිරිත් අහන්නෙ නැතුව මේ ඉක්මනින්ම කන්නේ?"
මේ මහත්තයගේ තියරිය අනුව, ඒ ගොල්ලෝ රෑ තිස්සේ පිරිත් අහන්න ඉන්නේ නැතුව කලින්ම ගෙදර යන නිසා, ඒ ගොල්ලන් ට කලින් කෑම කැපයි.
අපි ඉතිං සිස්සයෝ කට්ටිය නේ. අපි පහුවදා එලිවෙනතුරු මෙතන ඉන්නත් ඕනෑ. ඒ වරද නිසා කලින් ගෙදර යන්න ඉන්න මහත්තුරු කාල ඉවර වෙනකං කන්නත් බෑ.
-කතන්දරකාරයා
ප/ලි
ලංකාවේ විස්ස විජ්ජාල සිස්සයොත් රටට බරක් නොවී ඉන්න ඕනිය කියල ඔය කියල කියන්නේ!
රටට බරක් වෙලා ජීවත් වෙන්න දේශපාළුවො හැට-හුටහමාරක් ම ඉන්න නිසා ඒ සර්විස් ජොබ් එක කරන්න නම් විස්ස විජ්ජාල සිස්සයින් ට තියා මේ රටේ කාටවත් නෝ වේකන්සීස්.
Labels:
පිරිත්,
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ,
හාමුදුරුවරු
Wednesday, 26 January 2011
දුමින්ද ගේ එයාපෝට් ට්‍රිප් එක
අපේ දුමින්ද කියන්නේ එක විදියක පොරක්, ඒ කියන්නේ මං දන්න අඳුණන බොහෝ දෙනකුට වැඩිය වෙනස් ගති පැවතුම් තියෙන කෙනෙක්. අපිට ඉවෙන් වගේ තේරෙන සමහර දේවල් පොරට මීටර් වෙන්නේ ම නෑ.
ඒකට නම් හේතුව එක්කෝ පොර ඉන්දියාවෙ ඉගෙන ගත්තු නිසා හරි, නැත්තං සමාජ ආර්ථිකමය වශයෙන් දුමින්ද ගේ පවුල අපේ අනිත් කොල්ලන් ගේ පවුල්වලට වඩා පරම්පරාවක් ඉස්සරහින් හිටිය නිසා හරි වෙන්න ඕනෑ. බොහෝවිට ඔය කාරණා දෙකම නිසා, මයෙ හිතේ.
අර අරක්කු වානා කෝක් ඕනා කතන්දරේ, යුග දිවියක ගීතයක් කතන්දරේ හෙම ප්‍රධාන චරිතය වුනේ දුමින්ද තමයි.
ඔන්න අපි සේරම පස්තාච්චි කුපාඩි වැඩ කරන්න තායිලන්තේ ඉන්න කාලේ, විටින් විට ලංකාවට යනවනේ. සමහරු යනවා නිවාඩුවට,
සමහරු යනවා ගොවියන් කැමති කරවන්න (ඒක වෙනම ම කියන්න ඕනැ කතන්දරයක් -පස්සෙ දවසක බලමු), සමහරු යනවා මනමාලියෝ බලන්න, සමහරු යනවා කසාද බඳින්න.
ඔන්න ඉතිං දුමින්දත් ටිකක් මනමාල වැඩකට වගේ ලංකාවට යන්න සෙට් වුණා කියමුකෝ. අපේ කීප දෙනෙකුත් ගියා පොරව එයාපෝට් එකෙන් දාල එන්න. ඒක තමා සාමාන්‍ය සිරිත. ඉතිං ගිය අය කට්ටිය දුමියව එයාපෝට් එකේ දාල, බායි, බායි කියල ආපහු ආව.
ඒ ගිය යාළුවෙක් පහුවෙනිදා හවස කැෆටේරියා එකට යනකොට මෙන්න බොලේ දුමින්දයා ඉන්නවා ලු එතන ලොකූ කේක් කෑල්ලකුත් කකා.
"මින්ද, උඹ ගිහිල්ලත් ආවද බං මේ ඉක්මනට? අපි උඹව එයාපෝට් එකෙන් දාල ආවෙ මේ ඊයෙ රෑ නේද?"
කතාකරල බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ.
දුමින්දය, ලගේජ් චෙක් ඉන් කරල, එයාපෝට් එකේ ඇතුලට ගිහින් බැලින්නං තව පැයක් විතර තියෙනවලු ප්ලේන් එක යන්න. ඉතිං පොර කරල තියෙන්නේ තේ එකක් බොන්න යන එකයි.
සමහර විට තේ බොන අතරේ, ලොකු කේක් කෑල්ලක් කන්නත් ඇති. කොහොම හරි ඉතිං පොරට ඇහිල නෑ, ලාස්ට් කෝල් ෆෝ චෙකින් ඉන් එනවුන්ස් කරනව තියා, ඊලඟට දෙතුන් පාරක් ම පොරගේ නම ම කියල එනවුන්ස් කරනව වත්.
අන්තිමේ දි දුමින්දගේ බෑග් ටික එළියට ඇදල දාල, ප්ලේන් එක ගිහින් එයාගෙ ගමන කොළඹ බලා. බඩු පොදි බැඳගෙන, ඇඳ පැළද ගෙන ලක ලෑස්ති වෙලා ගිය දුමින්ද ගෙ එදා ට්‍රිප් එක එයාපෝට් එකට විතරක් සීමා වුණා.
හැබැයි ඉතිං අර මල් බිස්නස් අත හරින්න පුළුවන් යැ? දුමින්දය කොහොම හරි තව දවස් දෙක තුනකට පස්සේ ගියා ලංකාවට.
මේ පාරනම් ඇත්තටම ගියා...!!!
-කතන්දරකාරයා
ප/ලි
මේකනං ඇත්තටමපසුව ලියූවකි.
අමුතුවෙන් නොකිව්වාට, මේ දුමින්ද කියන නම මං දාපු නමක් මිස පොර ගේ ඇත්ත නම නෙමෙයි.
අනිත් දුමින්ද ලා - සොරි හොඳේ.
Monday, 24 January 2011
පුට් තායි ඩායි මායි? එහෙනම් තායි භාෂාව ඉගෙන ගනිමු!
කතන්දරකාරයා පස්තාච්චි කුපාඩි වැඩේට සෙට් වෙලා හිටිය තායිලන්තේ ජීවිතය ගැන කතන්දර කීපයක් ම කලින් ලියලා තියෙනවා. මෙන්න තවත් එකක්.
ඔය පස්තාච්චි ආයතනය තියෙන්නේ තායිලන්තේ වුණාට ඒකේ අවුරුදු දෙකක් ඉඳලා ගෙදර එන්න පුළුවනි තායි වචනයක්වත් ඉගෙන ගන්නේ නැතුව. හැබැයි ඉතිං, වචනයක් දෙකක් දැන ගත්තොත් වැඩ තරමක් ලේසි වෙනවා ආයතනයෙන් පිට සහ ආයතනය ඇතුලේ අනධ්‍යයන වැඩ කටයුතු සඳහා.
ඒ හින්දා අපි හුඟ දෙනෙක්, ගනං කරන්න, ආචාර කරන්න, චවන කීපයක් කියන්න ඉගෙන ගත්තා.
මුලින්ම ඉගෙන ගත්තේ "පොම් පුට් තායි මායි ඩායි!" කියන්නයි. ඒ කියන්නේ "මං තායි කතාකරන්න දන්නේ නෑ". දන්නෙ නැත්තං කෙහොමද බොලේ එහෙම වාක්‍යයක් කියන්නේ, නේද? ඉතිං එතන ඉඳං තායිවලට කැපෙනවා.
හැබැයි ඉතිං එංගලන්තේ ගිහිං ඉංගිරිසි බැරිවුණොත් වගේ තත්වයක් එන්නේ නෑ, තායිලන්තය සහ තායි භාෂාව සම්බන්ධයෙන්. බඩු ගනු දෙනුවලට නං කැල්කියුලේටරයක් තිබුණාම හොඳටෝම ඇති.
ඔන්න ඉතිං අපි වාගේ ලංකාවෙන් එහෙ ගිය පොරක්, සුදන්ත කියලා කියමු, සති අන්තයේ අතුරුදහන් වෙන්න පටන් ගත්තා. කට්ටිය දැක්කා පොර සෙනසුරාදා උදේම ඇඳ පැලඳගෙන ආයතනයෙන් පිටත යනවා, හවසට ආපහු එනවා.
දවසක් ඔන්න මේ ගමන ගැන හේතුව දැනගන්න ලැබුණා.
"මං යනවා මචං බැංකොක් සිටි එකට තායි භාෂාව ඉගෙන ගන්න" සුදන්ත කිව්වා.
"ඉතිං බං, මෙතන ඉන්න මොකටද තායි? අපි කාටවත් තායි ලොකුවට දැනගන්න ඕනැ වෙලා නෑනේ මෙච්චර කල්!" එකෙක් කිව්වා.
"අනික මේ ඇතුලෙ ඉඳගෙනම වචන දෙක තුන ගැට ගහ ගන්න පුළුවන් නේ, ඕකට ක්ලාස් යන්න ඕනැද?" ඒ තව පොරක ගේ අදහස.
ඔන්න එතකොටයි බළලා මල්ලෙන් පැන්නේ.
"නෑ, මචං, තායි කෙල්ලෙක් දාගන්නයි මට හොඳට තායි ඉගෙන ගන්න ඕනෑ" සුදන්ත කියපි.
මේක අහං හිටපු අයට මැරෙන්න හිනා.
"මචෝ සුදන්ත, දැන් උඹේ වයස කීයද?"
"විසි හයයි බං."
"ඉතිං යකෝ, උඹ දැන් අවුරුදු විසිගානක් ම ලංකාවේ ජීවත්වෙලා, හොඳට සිංහල කතාකරන්න, කියවන්න, ලියන්න දැනගෙන ඉඳලත් සිංහල කෙල්ලෙක් දාගන්න බැරිවුණු එකේ, මේ මාසයක් දෙකක් තායි ඉගෙන ගෙනද උඹ තායි කෙල්ලෙක් දාගන්න යන්නේ?"
අපේ පොරට සිහිකල්පනාව ඇවිත් යතාර්ථය වැටහුනේ අන්න එතකොටයි.
-කතන්දරකාරයා
ප/ලි
මතකනේ වී.කේ.විරාජ් ජර්මනියට යන්න ගිය කතාව. විරාජ්කාරයා තව හොඳයි!
Saturday, 22 January 2011
රත්නායක මහත්තයා ගෑනුන් ගේ xxx හෙව්ව හැටි
මිනිහෙකු ගේ පඩියයි ගෑනියෙකු ගේ වයසයි අහන්න එපා කියලා උපදේශයක් තියෙනවා දන්නවා නේද?
මං ඕක හොඳට පිළිපදින කෙනෙක්. ඒ හින්දා මං පඩිය කීයද කියලා අහන්නේ ගෑනුන්ගෙන් විතරයි. වයස කීයද කියලා අහන්නේ පිරිමින්ගෙන් විතරයි.
අපේ රත්නායක මහත්තයා දන්නවානේ?
ඔව්, එයා තමා රත්නායක ජෝක්ස් වල නිර්මාතෘ, කීප්-අ-සයිඩ් කුකිං කලේ, මී කිරිවල ගුණ අගුණ හොඳින් දන්නේ, මං ලංකාවේ වැඩියෙන්ම භාවිතාවෙන ග්‍රීටින් එකෙන් අවුරුද්දට සුභ පැතුවෙත් එයාටම තමයි.
ආ මට කියන්න අමතක වුණා රත්නායක මහත්තයල ගේ ගෙදර දී තමයි අර තිස්ස ගේ ආගම් මාරුව ගැන කතන්දරේ කිව්වෙත්.
ඉතිං රත්නායක මහත්තයත් ගෑණුන්ගෙන් වයස අහන්නෙ නෑ, ඔය වෙන වෙන ප්‍රශ්ණ අහනව මිසක්.
යුනිවසිටි ගිය ගෑණු කෙනෙක් ගෙන් නං රත්නායක අහන්නේ ඔයා මොන අවුරුද්දෙද යුනිවසිටියට ඇතුල් වුනේ? කියලයි. යුනිවසිටි නොගිය කෙනෙකුගෙන් අහනවා, මොන අවුරුද්දේද ඒ. ලෙවල්ස් කලේ? කියලා. ඒ, එන එන උත්තරේට අනුව හිතෙන් වයස හදාගන්නවා.
සමහර අය කතාව පටන් ගන්නේම අනේ මං යුනිවසිටියෙන් අවුට් වෙලා ඉස්සෙල්ලාම ජොබ් එකට ගිය දවස්වල කියලානේ. එහෙම වෙලාවට, මොන අවුරුද්දෙ ද අවුට් වුනේ, මොන කෝස් එකද කලේ ආදී වශයෙන් ප්‍රශ්ණ අහලා ගනං හදාගන්නවා හිතෙන්.
ඔන්න දවසක් රත්නායක මහත්තයාට අළුත් තත්වයකට මුහුණ දෙන්න වුණා.
එදා පාටි එකකදි හම්බ වුණා යාළුවෙක්. පොර පිටරටක පෝස්ට් ග්‍රැජුවෙට් කරන්න ගිහිං එහේදී හමුවුණු සුන්දර යුවතියක් කරකාර බැඳන් ආපු එකෙක්. (අර ඉංග්‍රීසි ඉගෙන ගන්න ගිය සුද්දි නෙමේ, මේ වෙන කෙනෙක්.) ඉතිං අපේ රත්නායක මහත්තය යාළුවගේ බිරිඳ එක්ක කතාවට වැටුන.
මෙන්න රත්නායක ගේ ප්‍රශ්ණාවලියේ සිංහල පරිවර්තනය.
ඔන්න ඔය හරියේදී අපේ විදේශික කාන්තාවට වැඩේ තේරුණා.
"ඔයා ඔය හදන්නේ මගේ වයස කීයද කියල හොයාගන්න නේද?" එයා කෙලින්ම ඇහැව්වා!
අපේ රත්නායක මහත්තයට කට උත්තරත් නෑ!
-කතන්දරකාරයා
ප/ලි
මේ කතන්දරේ බලන රස්සාවල් කරන නෝනලා තම තමන් ගේ පඩිය කීයද කියලා ලියලා යන්න.
ප/ප/ලි (ටියුබ් ලයිට් අය සඳහා)
කතන්දරේ මාතෘකාවේ xxx කියා දාලා තියෙන්නේ වයස කියන එකටයි.
Thursday, 20 January 2011
ලැට් මී සී ද චැක් - Lat mee see da chack
කතන්දර ජෝඩුව බැඳපු අළුත හොයලා, හොයලා, අන්තිමේ දී හම්බවෙලා, කාලයක් පදිංචි වෙලා හිටිය ඇනෙක්ස් එකේ ආන්ටි තමයි අපිට මේ කතන්දරේ කිව්වෙ.
ඔන්න, මේ පලාතෙ ඉඳල තියෙනව අම්බ හොරෙක්. හොරෙක් කිව්වට ඉතිං ගමේ ගොඩේ කෙහෙල් කැන් කපන එකෙක්වත්, කුඩු ගන්න සල්ලි හොයන්න ටවුන් එකේ ගෙවල්වලින් බඩු හොරකං කරන එකෙක් වත් නෙමේ.
මේකා හොඳ ඉස්තරම් වර්ගයේ වයිට් කොලර් කෘක් කෙනෙක්.
ඒ කියන්නේ පොර කරලා තියෙන්නේ ම ඉහල පෙලේ හොරකම්. විශේෂයෙන් ම හොර චෙක් ලියන එක වගේ ඒවා.
ඔන්න දවසක් පොර ලියල මාරු කර ගත්තු හොර චෙක් එකක වැඩේ මාට්ටු වුණා. පාඩු වෙච්ච ඈයෝ, බැංකුවෙන් රිජෙක්ට් වුණු හොර චෙක් එකත් අරං ගිහිං පොලීසියේ ඇන්ට්‍රියක් දැම්මා.
ගමේ කෙහෙල් කැණක් කපපු, අරක්කු බෝතලයක් හොර පොලක විකුණපු එකෙක් අහුවුනොත් ඉතිං පොලීසිය සාමාන්‍යයෙන් කරන්නේ කුදලාගෙන පොලීසියට ගිහින් කූඩුවට දාලා, නෙලලා, නෙලලා, පස්සේ නඩු දාන එකනේ.
වයිට් කොලර්ස් හොර අංකල් ලා ට සැලකිල්ල වෙනස්.
ඔන්න පණිවිඩයක් යැවුවා, අර හොරා මහත්තයට පොඩ්ඩක් පොලීසියට ඇවිල්ල යන්න එන්න කියල.
මිස්ට හොරා ආව කිසි බයක් සැකක් නැතුව.
"මිස්ට ට විරුද්දව පැමිණිල්ලක් තියෙනව හොර චෙක් එකක් ලිව්වය කියල. ඒක ගැන ස්ටේට්මන්ට් එකක් ගන්නයි එන්න කිවුවෙ". පෙටි ක්‍රයිම් බ්‍රාන්ච් එකේ සාජන් මහත්තය කිව්ව.
"හොඳයි. දැට්ස් ඕ.කේ. සාජන්ට්!" මිස්ට හොරා බය නැතුව වාඩි වුණා.
"බට් ලැට් මී සී දිස් චැක් ෆර්ස්ට්".
කඩ්ඩෙන්නෙ මේ කියන්නෙත්. හොරා වුනත් මහත්තයෙක් නේ. සාජන් රාලහාමි දුන්න මිස්ට හොරා ට චෙක් එක අතටම.
අපේ හොර දෙටු අණ්ඩපාල පොර මොකක්ද දන්නවද කලේ?
ගත්තු ගමන් අර චෙක් එක උණ්ඩි කරල, කටේ දාල හපාගෙන හපාගෙන ගිහින් ගිල්ලා.
කේස් ක්ලෝස්ඩ්!
-කතන්දරකාරයා
ප/ලි
කරුණාකර මේ කතන්දරයට ප/ලි යක් ලියා මට සහය වෙන්න.
Tuesday, 18 January 2011
අපි සර් ලා ගේ උදව්කාරයෝ නේ...!
තාත්ත ගේ මල ගෙදරට ආපු පරණ යාළුවෙක්, නම හේමන්ත කියමුකෝ, මහ රෑ වෙනකං කතා කර කර හිටියා.
ඒ වෙලාවේ පොර කියපු කතන්දරයක් තමයි මේක.
අපේ මිත්‍රයාට ඉස්සර කොල්ල කාලේ තිබුණා මෝටර් සයිකලයක්. මේක ඉතිං පොරගෙ හොඳම යාළුවොත් අරං යනව වෙලාවෙන් වෙලාවට.
ඒ වගේ නිතරම මෝටර් සයිකලේ බරෝ කරපු යාළුවෙක් තමයි සුදේෂ්. සුදේෂ් වැඩ කලේ ආමි එකේ.
සුදේශ් ගමේ ආපුවාම ගහන තරමක් රස්තියාදු ගහන්නේ සාලිය එක්කයි.
ඔන්න එක පාරක් සුදේශ් නිවාඩුවට ගෙදර ආපු කාලෙ තමයි ලඟ ටවුමේ පන්සලේ මහ පෙරහැර තිබුණෙ. සුදේශ්කාරයයි සාලියයි දෙන්න එක්ක මේ පෙරහැර බලන්න යන්න කතා වුණා. යනවත් වෙලා පොරවල් සේ යන්න ඕනැනේ. ඉතිං හේමන්තයා ගේ බයික් එක ඉල්ලගෙන යන්නයි ප්ලෑන් එක.
පෙරහැර දවසේ ටවුමේ පාරවල්වල අතුරු සිදුරු නැතුව සෙනග. පාර අයිනේ විතරක් නෙමේ මැද්දේත්, කාර් බයික් වලට යන්නත් ඉඩ නැතිවෙන තරමට සෙනග පිරිලා.
කරුමෙට වගේ ඔන්න පාරෙ ගිය කෙනෙක්ව මෝටර් සයිකලේ හැපුණා. සුදේශ් කාරයායි, සාලියයි දෙන්නත් බිම. මෝටර් සයිකලෙත් හීරිලා.
ඒ මදිවට පාරෙ ගිය එකා සයිස් එකකුත් දාගෙන එනවා.
"මොනාද ඩෝ, කවුද උඹට ලයිෂන් දුන්නේ? ඔහොමද උඹලා පාරවල් වල යන්නේ?"
සුදේශ්කාරයාට තද වුණා.
"අඩෝ උඹ වැරදියට පාර පැනලා දැන් සයිස් දාන්නත් එනවද? දැන ගනිං මං ආමි එකේ!"
සාලියත් නිකං ෆෝසස් වල වගේ ඉන්නේ කවදත්. දෙන්න සෙට් වුණා බයික් එකේ හැප්පුණු පොරට ගහන්න.
ඔය ආමි කතාව අහපු ගමන් බයික් එකේ හැප්පුණු පොර සරෙන්ඩර් වුණා. දන්නවනේ ඒ කාලේ ආමි, නේවි, එයා ෆෝස්, එස්.ටී.එෆ්. උන් එක්ක වලි දාගන්න යන එක ඉතිං අති භායනකයි නේ! දැනුත් එහෙම වෙන්නැති.
"අයියෝ සර් කියන්න එපායැ, ආමි එකේ කියලා".
චණ්ඩියා දැන් කීකරු පූසෙක් වගේ වෙලා.
ඒත් සුදේශ් ට නං හිතෙන්නේම දෙකක් දීල අදින්නයි. ගත්ත පොරව ඇදල කොලර් එකෙන් ම.
"අනේ සර්, ගහන්න එපා". ගමේ පොර මුළුමණින් ම සරෙන්ඩර්. "අපි ඉතිං ජොබ් එකට කරන්නෙත් සර්ලට උදව් කරන එක නේ".
ඔන්න ඉතිං සුදේශ්්ටත් ටිකක් අප්සෙට්. මේ කෑම්ප් එකකට සප්ලයිස් කරන සිවිලියන් කෙනෙක් ද දන්නේ නැහැනේ.
"ආ ඇත්තද? කොයි කෑම්ප් එකේ ද වැඩ?"
"නෑ, සර්, මං වැඩ කරන්නේ මල් ශාලාවේ. අපි තමයි සර් ල ගේ මිනී ගෙනාපුවාම සේරම කෑලි එකට තියලා හරි ගස්සන්නේ"!
-කතන්දරකාරයා
Sunday, 16 January 2011
ඇන්ටි ගේ ටී.වී. එක සහ මගේ රිමෝට් කොන්ට්‍රොල් එක
මං මීට කලින් ඇන්ටි ල කීප දෙනෙක් ම ගැන කතන්දර කීපයක්ම කියල තියෙනව.
කෘවෙලා ඇන්ටි ගේ කතන්දරේ,
"ඇන්ටි ටින් එකක් දාල පුතේ" කතන්දරේ,
ඇන්ටිගේ ණුවන හෙවත් පිටරට සිට ටෙලි නාට්‍ය බැලීම කතන්දරේ,
පෙට්‍රල් ලීටරේ රුපියල් විස්සට ගන්න හිටිය කතන්දරේ,
ඒ එක්කම, මිසිස් දාබරේ ගේ කතන්දරේ කියන්නෙත් ඉතිං ඇන්ටි කෙනෙකු ගේ දුක්බර කතන්දරයක් තමයි.
හැබැයි අද මේ කතාව නම් අළුත් ම අළුත් ඇන්ටි කෙනෙක් ගැනයි.
කතන්දර ජෝඩුව බැන්දයින් පස්සේ ඇනෙක්සියක් හොයල හොයල, අන්තිමේදී මේ ඇන්ටි ගේ ගෙදර තමයි පදිංචි වුනේ.
මේක හැබැයි ටිපිකල් ඇනෙක්සියක් නෙමෙයි. අපි දෙන්නට තිබුණ සෙපරේට් එන්ට්‍රන්ස් එකක් එක්ක සාලෙකුයි, නිදන කාමරේකුයි. කුස්සියයි, බාත්රූම් එකයි පාවිච්චි කලේ පොදුවේ.
මේ ඇන්ටි තනියම ජීවත් වුනේ. හබියා නෑ. පුතාල ඇමරිකාවේ. ඇන්ටිත් එහේ ගිහින් ඉඳලා ආපු කෙනෙක්. ඕන වෙලාවක ආයෙ එහෙ යන්න පුළුවන් කියලයි එයා පම්පෝරි ගහන්නේ.
මුල් දවස්වල කෙසේ වෙතත් පස්සෙ පස්සෙ අපි ඇන්ටිගෙ සාලෙ තිබුණ ටී.වී. එකත් බලන්න පටන් ගත්ත. හැබැයි එතන පොඩි අප්සෙට් එකක් තිබුණ.
බඳින්න කලින් කතන්දර කුමාර මහගෙදර ඉන්න කාලේ බැලුවේ අපේ අම්ම ගේ ටී.වී. එක නේ. ඒ දවස්වල රූපවාහිනී චැනල් එකේ සිංහල ප්‍රවෟත්ති යන්නේ රෑ අටට. ඊලඟට යනවා ටෙලි ඩ්‍රාමා එකක් හුඟක් දවස්වලට. ඉංගිරිසි ප්‍රවෘත්ති යන්නේ රෑ නමය හමාරට.
අයි.ටී.එන් එකේ තමයි ඉංගිරිසි වැඩ සටහන් යන්නේ වැඩි පුරම. මේවායින් මං හුඟක් බලන්නේ කොමඩි ප්‍රෝග්‍රෑම්ස්. ඔය උඩ ෆොටෝ එකේ තියෙන පර්ෆෙක්ට් ස්ට්‍රේන්ජර්ස් කියන එක ඒවයින් හොඳම එකක්.
ඒ සේරම කොමඩි ප්‍රෝග්‍රෑම්ස් අයි.ටී.එන් එකේ ගියේ රෑ අටට. හරියටම රූපවාහිනියේ සිංහල ප්‍රවෘත්ති යන වෙලාවටමයි. අපේ ගෙදරදී ඒක මට ප්‍රශ්ණයක් වුනේ නෑ. මොකද, ටී.වී. එක අම්ම ගේ වුණාට රිමෝට් එක මා ලඟ නේ!
නමුත් ඇනෙක්සියේ ජීවිතේ පටන් ගත්තට පස්සේ මට ඇතිවුණු ප්‍රශ්ණේ තමයි ඇනෙක්සිය අයිතිකාර ඇන්ටි නොවරදවා ම සිංහල ප්‍රවෘත්ති නරඹන කෙනෙක් වීම. ඉතිං, අයි.ටී.එන්. එකේ ඔය වෙලාවට යන ප්‍රෝග්‍රෑම්ස් බලන්න විදියක් තිබුනේ නෑ ඇනෙක්සියට ආවට පස්සේ. කසාද බඳින්න කලින් ඉල්ලපු ආපදා ණය වත් හම්බ වුණා නම් අපිටම කියලා අළුතින් ටී.වී. එකක් ගන්න තිබුණා.
හැබැයි ඉතිං, දවසක් දෙකක් යනකොට මේ ප්‍රශ්ණය විසඳුණා.
ඔන්න එදා අපි හතහමාරේ වගේ ඉඳලා අයි.ටී.එන් එක බල බල ඉන්නවා. අටට පටන් ගත්තා පර්ෆෙක්ට් ස්ට්‍රේන්ජර්ස්, මට මතක හැටියට. ඔන්න ඇන්ටිත් ඉතින් ඒක බලන්න පටන් ගත්තා. එයා කවදාකවත් බලල නොතිබුණු එකක්. ඒකේ විහිළු ඇන්ටිටත් අල්ලලා ගියා. පොඩි කමෙන්ට් දෙක තුනකුත් කළා.
හැබැයි ඔන්න, ටික වෙලාවකට පස්සේ එයාට මතක් වුණා රූපවාහිනියේ සිංහල නිවුස් යන බව.
"කතන්දර අපි දාමු නේද රූපවාහිනී චැනල් එකට. දැන් නිවුස් යන වෙලාව".
ඇන්ටි මට කිව්ව, එයා අතේ තිබුණ රිමෝට් කොන්ට්‍රොල් එක ඔබන්න කලින්.
"නෑ ඇන්ටි අපි ඔන්න ඔහේ මේක බලමු. මේක යූ.එස්.ඒ. වල ටොප් ෂෝ එකක්. මං නම් හැමදාම මේ වෙලාවට අයි.ටී.එන් එකේ යන වැඩසටහන් තමයි බලන්නේ".
"ඒත් ඉතිං, එතකොට රූපවාහිනී නිවුස් බලන්න වෙන්නේ නෑනේ".
"මෙහෙමයි ඇන්ටි. අයි.ටී.එන් එක බලන කට්ටිය බලන්නේ 9:30 ට යන ඉන්ග්ලිෂ් නිවුස් නේ".
ඇන්ටි සරෙන්ඩර්.
ඔච්චර ඇමරිකාවෙ පවා ගිහින් ආපු ඇන්ටි ඇයි ඉංග්ලිෂ් නිවුස් නොබලා, සිංහල නිවුස් බලන්නේ.
එදා ඉඳල ටී.වී. එක ඇන්ටි ගේ වුණාට රිමෝට් කොන්ට්‍රොල් එක මගේ.
-කතන්දරකාරයා
ප/ලි
මේ වැඩෙන් ඇන්ටි ට කිසි පාඩුවක් වුනේ නෑ. කොමඩි ප්‍රෝගෑම් බලලා, ටිකක් හිනාවෙලා, ලේ පිරිසිදු වුණා මිස!
Labels:
කතන්දර හාමිනේ
Friday, 14 January 2011
අම්මාගෙන් දුවට -මෙන්න නියම උපදෙස්
එදා කහ සාරිය සහ මල් සාරිය කතන්දරේ පටන් ගන්න දාපු අම්මා කෙනෙකුගෙන් දුවෙකුට දෙන උපදෙස් තියෙන විරිදු පෙලේ ෆුල් වර්ෂන් එක අපේ අම්ම ලඟ තිබුණු කැසට් එකකින් අහල පෙරේද පල කළා කියෙව්ව නේද?
ඒ විරිදු පෙල කියෝල බුරාතිනෝ ලිව්ව බ්ලොග්කාරයින් ට බ්ලොග්කාරියන් ට උපදෙස් දෙන විරිදු කිහිපයක්. ඕකට වත්(සලා)ත් එකතු කළා හොඳ උපදෙස් ටිකක්. අන්තිමේදී එතන රස සාගරයක් මැවුනා ය කිව්වොත් යසපාලිත ගේ අයිය වුනත් තරහ වෙන එකක් නැහැ.
කෙල්ලන් ට උදෙස් විරිදු ටික මං කැසට් එකෙන් අහනව දැකපු අපේ අම්ම මට කියල දුන්න, ඒ ගොල්ලො ඉස්කෝලෙ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ අග, අහල තිබුණු තවත් විරිදු පෙලක්.
මේ සෙට් එක මුලින් එකට වඩා ජොලි එකක්. මේක යන්නේ අම්මයි දුවයි අතර සංවාදයක් විදියටයි.
මෙන්න බලන්න.
මගේ එකම දුවේ උඹට මම දෙන මේ අවවාදේ
අගේ සිතින් පිළිපැද්දොත් ඉන් මතු දියුණුව පෑදේ
ලිඳකට පැනපං කිව්වත් පනිනා එය එක පිම්මේ
ඔබ දුන් ඔවදනක් නොපිළිගත්තේ කවදද මම්මේ
කණට නොගෙන හණමිටි කාරයින් කියන බමුණු කතා
හිතට ගනිං මම්මා දෙන මේ ඔවදන් හොදින් ඉතා
පප්ප ගෙ අදහස කවදත් පරණ විදියට ම ඉන්නට
පුප්පයි මොනවා හරි කීවොතින් මාව විසිවෙන්නට
පප්ප නුඹේ තරුණ කාලෙ කොණ්ඩෙ බැඳල හිටියෙ මුලින්
කැප්පෙවුවේ මමයි එදා බඳින්න මාසෙකට කලින්
තාම පේනවා ඒ ගති ඒකයි විටකදි වහින්නෙ
සෝමපාල කෙනෙක් නිසා තමයි පරණ තැටි ගහන්නෙ
ගමණක් ගොස් එනවිට හිමි ගෙට ගන්නලු පය සෝදා
පොතක තිබෙනු දුටුවෙමි මම්මේ එය දෙනවද පහදා
වැඩකට නැති කතා ඕව මගෙ මේ කියමන අහපං
මඩ ගානෙන ගෙට ආවොත් පයිප්පෙ ගාවට ඇරපං
උණ්ඩෙ වගේ බඳිනු එපා කොණ්ඩෙ වවා දිග් ගස්සන
ඩොන්කි තියා කොට කල තරමටයි දුවේ හැඩ ලස්සන
ගෙදර දොරේ වැඩ සමගින් නිතර වවන ඉඟුරු දුරූ
කවරදාකවත් අම්මේ මේවා මට නොමැත හුරූ
පත පොත ලියලා තිබුණට අද රට තොට ගැන හිතපං
ඊට වැඩිය හොඳයි දුවේ නියපොතු උල් කර වවපං
නාඹිය පෙන්වා ඇඳීම දත් පෙනෙන්න සිනාසීම
මේවා මට නොකරම බෑ, මල කෝලං අනේ මෙහෙම
බමුණු කතා ඔය සේරම ඩෝටර් අහකට දාන්න(*)
හිනා වෙයං ඇඟට හොඳයි අල්ලපු වත්තට ඇහෙන්න
(*) මේ පදේ අපේ අම්මට අමතක වෙලා හින්ද මායි ලිව්වේ.
-කතන්දරකාරයා
ප/ලි:
අපේ මහදැනමුත්ත ගේ ගෝලිච්චියෝ මේ අවවාද සෙට් දෙකෙන් මොකක් පිළිපදින අයද මන්දා?
Wednesday, 12 January 2011
කෙල්ලන් ට උපදෙස් - අදටත් මැච් වෙන පරණ රැකෝඩ්
සුදු සාරියේ ශෝකය කතන්දරේ ට පෙරවදනක් විදියට මං ලියපු කහ සාරිය සහ සුදු සාරිය කතන්දරේ පටන්ගත්තෙ විරිදු පද දෙකකින්.
මෙන්න ඒකෙ ෆුල් වර්ෂන් එක.
මේ විරිදු පෙල අපේ අම්මලා ගේ කාලේ දුවකට අවවාද කියන නමින් ප්‍රසිද්ධ වුණු එකක්.
ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියෙ උපන්න
දුවේ උඹට මම දෙන මේ දැනුමැතිකම් සිතට ගන්න
හොඳමයි අම්මේ කියන්න
තරුණ වියට පැමිණිනු උඹ තනි මග බැස එපා යන්න
කරණ කියන හැම කටයුතු මව්පියො අනුදැන කරන්න
මව්පියන්ට ගරු කරණෙමි
කපටි තරුණො සිටිති මූණ පුයර ටිකෙන් ඔපය කරන
රැවටි උන්ගෙ කපටි රුවට එපා දුවේ දෙන්න මුහුණ
සිතට ගතිමි ඒ ඔවදන
බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
සාරිය මිස ගවුං කොටෙන් දුවේ උඹට නැත කාරිය
ඒක සැබැයි සැබැයි සැබැයි
නිවෙස් ඇමද මැහුම් ගෙතුම් ගේ දොර වැඩ මිසක් එහෙම
ටෙනිස් ගැහිලි ඩාන්ස් නැටිලි එපා දුවේ නැටුම් ගැයුම
අපට මොටද රට කෝලං
හොද්දට ලුනු ඇඹුල් දමන පදම ඉගෙන ගනිං දුවේ
මැද්දට පැන වැඩිහිටියන් සමග විහිළු කැතයි දුවේ
මුදුණෙන් පිළි ගත්ත ඒක
හිත් ලොල් වී උදේ හවස දහමෙහි කටයුතු කරන්න
අත් වැල් බැඳ තරුණන් හා හඳපානේ එපා යන්න
එය සිංහල අපට කැතයි
කම් පල නැති කතාවලට ගෑණු ගෑණු එකතු වෙමින
ගෙන් ගෙට හැසිරීම දුවේ නින්දාවට වෙයි කාරණ
ලැජ්ජ නැද්ද එහෙම යන්න
ගෙයින් පිටත සද්දෙ යන්න එපා දුවේ බස් දොඩන්න
කයින් සිතින් වචනෙන් සිදුවිය හැකි පාපෙන් මිදෙන්න
ඉන් දෙලොවට සෙත සැදේවි
බාරිය ඔබෙ අංග පහෙන් එකක් තමයි දුවේ කොණ්ඩෙ
බාලිය වෙයි දඩුවම් ලැබු කැපුවෝතින් උඹේ කොණ්ඩෙ
පඬිවරයෙක් කියා තිබේ
පහදා සිත් සිහල බාසෙ ඉගෙන ගනිං ගොත නොවෙන්න
කවදාවත් එපා දුවේ අම්මට මම්මා කියන්න
කවදාවත් නෑ කියන්නෙ
කිසිවිට මව්පිය ගුරුවර වැඩිහිටියන් කියන බසට
එකටෙක නොකියන්න දුවේ මගෙ ඔවදන ගනිං හිතට
පිං අත්වෙයි මෑණියන්ට
උඹේ රූපෙ ඔප කරන්න එපා දුවේ අමුතු පැෂන්
ඉබේම රුව ලස්සන වෙයි යහපත් කල්කිරියාවෙන්
යහපත් ගුණ තමයි රූපෙ
මට හිතෙන විදියට මේකෙ සමහර තැන්වල එලිවැට වැරදියි. අම්ම ගාව තිබිල පරණ කැසට් එක අහල ලියපු නිසා වෙනස් කරන්නත් බැහැ.
-කතන්දරකාරයා
ප/ලි
දුවෙකුයි අම්මයි අතර සිදුවුණු තවත් උපදේශාත්මක විරිදු පෙලක් තියෙනවා. මේකට වඩා ජොලි එකක්. ඒක දාන්නං කෝ ඊ-ලඟට.
Monday, 10 January 2011
මැනර්ස් ටිකක් කෝප්පේ ඉතුරු කරමු!
මං පොඩි කාලෙ මට හොඳට මතකයි, අපේ සීය කන්න ගියාම මුලින්ම කරන්නේ බත්, මාළුපිනි ටිකක් අනල එක කටක් විතර ප්‍රමාණයක් පිඟානේ පැත්තකට කරන එක. හරියට අර බුද්ධ පූජාව අයින් කරනවා වගේ දානේ ගෙදරක.
ඉතිං ඔය මුල් බත් කට පිඟානේ ඉතුරු කරනවා මිසක් සීයා කවදාකවත් කන්නේ නෑ, පස්සෙ පිඟානට තව බතුයි හොදියි බෙදාගෙන කෑවත්.
මං මුලින් හිතුවේ සීය ඔය විදියට පොඩ්ඩක් පිඟානේ ඉතුරු කරන්නේ කාල ඉවරවෙලා පිඟාන හෝදන වැඩෙන් ෂේප් වෙන්න කියලයි.
මං ඉතිං පොඩි ළමයෙක් හින්ද නොදන්න කමට නේ එහෙම හිතුනේ.
සීය ඒ බත් කටක් ඉතුරු කරන්නේ ඉස්සෙල්ලාම බත් කට දන් දෙන චේතනාවෙන්.
සීය කාල ඉවරවෙලා පිඟාන තියල ගියාට පස්සේ, ඒ බත් කට බල්ල ගේ කෑම එකට එකතු කරලා පිඟාන හෝදනවා කවුරු හරි ගෙදර ඉන්න කෙනෙක්.
තවත් මං පොඩි කාලේ මගේ පොඩි කමට කරපු වැරදි දෙයක් තමයි, කාගේද ගෙදරකට ගිය වෙලේ මට දුන්නු ක්‍රීම් සෝඩා වීදුරුව බින්දුවක්වත් ඉතුරු නොවෙන්නම බීල දාපු එක.
එහෙම නෙමේ ලු කරන්ඩ ඕනේ. වීදුරුවේ අඩියේ චුට්ටක් ඉතුරු කරන්න ඕනෑ ලු.
ඒව තමයි මැනර්ස් කියන්නේ!
ඉතිං, දැනුත් පිට ගෙදරකට ගිහින් තේ එකක් හෙම බොන්න දුන්නහම මං පොඩ්ඩක් ඉතුරු කරනවා. කෝප්පෙ හෝදන කොට ඒ ටික හේදිලා යනව ඇති සින්ක් එකෙන් පහලට.
මේ වැඩේ නාස්තියක් බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ. කොටින්ම තේ දහනමයක් විතර බොන කොට විසිවෙනි තේ එක කෙලින්ම වීසි කරනවා වගේ වැඩක්.
අපේ මැනර්ස් වලින් හොඳම එකක් වෙන මේ තේ මැනර්ස් එකේ වැදගත්කම ගැන කාරණා දෙකක් මට හිතාගන්න පුළුවනි.
මේ ආකාරයට තේ කෝප්පයේ ටිකක් ඉතුරු කීරීම තුලින්:
1. තේ කෝප්පේ අඩියේ තැන්පත් වී තියෙන්නට පුළුවන් තේ මණ්ඩි කටට ඇවිත් කට සවුත්තු වීමෙන් වැලකීමට ලැබෙනවා.
2. තේ කෝප්පේ අඩියේ දිය නොවී තියෙන්නට පුළුවන් සීනි වලින් සහ එනිසාම දියවැඩියාව වැනි රෝගවලින් වැලකෙන්නට ලැබෙනවා.
තවත් හේතු තියෙනවාද මන්දා?
-කතන්දරකාරයා
ප/ලි
රස්පුටින් ගේ වයින් වලට වගේ තේ එකකට වස දැම්මොත් ඒවා තේ එකේ උඩින් පාවෙනවා නේද?
ප/ප/ලි
බ්ලොග් ලියන කොට අනුගමනය කළ යුතු මැනර්ස් වලින් එකක් මෙන්න.
අනෙකුත් බ්ලොග්කාරයින් ගේ බ්ලොග් වල පලවෙන අදහස් ගැන විවේචන ඒ ඒ බ්ලොග්වල මිසක තමන් ගේ බ්ලොග් එකේ නො ලියන්න.
තවත් "බ්ලොගින් මැනර්ස්" තියෙනවාද මන්දා?
Saturday, 8 January 2011
අසව්! අසව්!! ශාස්තෲ ආතල් කතන්දරේ පිළිබඳ පැහැදිලි කිරීමයි
පෙරේදා මං දාපු "W3Lanka එකේ පරා ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ" කියන පොස්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මේ හදන්නේ.
මගේ කතන්දර බ්ලොග් ටෙම්ප්ලේට් එකේ හැටියට ආපු කමෙන්ට්ස් වලට රියල් ටයිම් නොකරොත් වෙන වෙනම උත්තර බඳින්න බෑ. සේරම එක ගොඩටයි යන්නේ. වැඩ කරන දවස් නිසා ඒ විදියට රිප්ලයි කරන්න වෙලා නෑ. ඒ නිසයි මේ වෙනම ලිපියක් ලියන්නේ.
මුලින්ම කියන්න ඕනැ, මං පෙරේදා දාපු පෝස්ට් එකෙන් පොඩි පරීක්‍ෂණ කිහිපයක් කළා ය කියන එක. ටයිටල් එකෙන් පටන් අරගෙන අන්තර්ගතයේ සමහර කොටස් වලින් පවා.
ටයිටල් එක අද කාලෙට ඔබින, නමුත් ඒ පෝස්ට් එකට අදාල, වචන ටිකක් දාලා ඔච්චර දිගට සෙට් කෙරුවේ තනිකරම හොඳින් කැපී පෙනෙන්නටයි. ඒ පරීක්‍ෂණය සාර්ථකයි. මාස පහලොවක මගේ කතන්දර බ්ලොග් ඉතිහාසයේ දවසකට ලැබුණ වැඩිම හිට්ස් ගාන ලැබුණා පෙරේදා.
ආපු කමෙන්ට් වලින් මං දැක්කා සමහරු මගේ උප්පැන්නේ තියෙන නම හොයන්න හදල තියෙන හැටි. හැබැයි, පෙරේද පොස්ට් එකට මං දාපු ටයිටල් එකේම තිබුණ කෑල්ලක් තමයි "ඇනෝනිමස් නැතිය" කියන එක.
මං කවුද කියල දන්නෝ දනිති නේ. ගිය පාර සිංහල බ්ලොග් සංසදයේ සුහද හමුවෙදීත් කීදෙනෙක්ව හම්බ වුනාද? මේ පාර සුහද හමුවට එන්න බැරි වුනත්, ඊට කලින් සුමානෙ අපේ ගෙදරටම ආව බ්ලොග් ලියන, කියවන අර දහ දෙනෙක් විතර.
ඉතිං අහවල් දේකට යැ මගේ නම හොයන්න ඔච්චර මහන්සි වෙන්නේ.
ජොලිම වැඩේ කියන්නෙ මගේ නම ගැන කමෙන්ට්ස් දාපු අය ඒවා දාලා තියෙන්නේ ඇනෝ ලා විදියටයි. ඒ ගොල්ලන්ට ඇනෝනිමස් ආතල්. මට ඇනෝනිමස් නැති ආතල්. දැන් ඔය මගේ නම හොයන්න ලින්ක්ස් එක්ක ඇනෝ කමෙන්ට්ස් දාපු අයගේ නම් හොයන්නේ කවුද මන්දා?
ඊ ලඟට කතන්දර බ්ලොග් එක ගැන කියන්නම්.
එකක් දෙකක් ඇරුනහම, 2009 ජුලි මාසෙ පටන් ගත්තු දවසෙ ඉඳන් මං මේ බ්ලොග් එකේ දාපු හැම පෝස්ට් එකකින් ම උත්සාහ කලේ සරල වින්දනයක් එක්ක පොඩි කතන්දරයක් කියන්නයි.
මං මේ වැඩේට බැනුම් අහන තරම් ලොකු කාලයක් ගත කරනව. නමුත් හිතේ ජොලියක් මිස දුකක් නෑ, ඒ කැපකිරීම ගැන. වෙනදා ස්ට්‍රෝබෙරී ජැම් කාපු හැටි ගැන හරි, ලෝ කට් බ්ලවුස් ගැන හරි, සීය සාස්තර අහපු හැටි ගැන හරි ලියපු කතන්දරවලට වඩා පෙරේද දාපු පෝස්ට් එක වෙනස් වුනේ, ඒකේ මගේ විවිධ බක පණ්ඩිත මත, ආගිය විත්ති, උපුටා ගැනීම් වගේ දේවල් හැර වෙනත් සුවිශේෂී කතන්දරයක් නොතිබීමයි.
=======මගේ අදහස වටහා ගැනීම පහසුවෙනු පිණිස පසුව එකතු කරන ලදී.======
බ්ලොග් කියන වචනේ හැදිලා තියෙන්නේ වෙබ්-ලොග් කියන වචන වලින්. මං දන්න දරමින් ඒ කියන්නේ බ්ලොග් වල ප්‍රථම භාවිතය තමයි තමන් ගේ එදිනෙදා වැඩ කටයුතු පිළිබඳ වාර්තා තැබීම සහ තමන්ට හිතෙන දේවල් ලිවීම. මෙච්චර කල් කතන්දර ලියපු, තාත්ත අසනීප වුණු වෙලාවේත් ඒ ගැන කතා ලියපු, තාත්තා මිය ගිය වෙලාවේ කවියක් දාපු මං, මේ විවදාත්මක බ්ලොග් පෝස්ට් එකෙන් කලේ මගේ, අදහස්, එදිනෙදා ගමන් බිමන් යනාදිය ගැන ලිවීමයි. මීට කලින් මං එගෙම කරල තියෙන්නේ අන්තිම අඩුවෙන්. අර අවමංගල ස්තුතියේ දී විතරයි මට මතක හැටියට.
මාත් ආසයි දින සටහන් ලියන්න මගේ මති මතාන්තරත් එකතු කරලා.
============================================================
ඒ ලියපු ටිකට, එදා ගෙදර එනකොට හවස් වුණා, ගෙදර උයන්න එලවළු තිබුනේ නෑ, වැස්ස නිසා කඩේ යන්න කම්මැලියි, පරිප්පුයි සැමනුයි උයල කෑව, කබඩ් එකේ තිබුණු පරණ "හැනපියර්" බාගයක් තිබිල ඒකටත් වග කිව්ව, ඉන් පස්සෙ ඉහේ ඉඳල පොරවගෙන හොදටම නිදාගත්ත වගේ කෑලි ටිකකුත් දැම්ම නං වචනයේ අර්ථ-පරිසමාප්තාර්ථයෙන් ම මේක වෙබ්-ලොග් එකක් කරන්න තිබුණා.
අනෙක් කාරණය තමයි, මං හැදුවේ ශාස්තෲ පොත ගැන විචාරයක් කරන්න නෙමේ. මං පැහැදිලිවම කියල තිබුණනේ ඒ වැඩේ සමහර විට වෙන කෙනෙක් කරයි කියල.
මං මීට කලිනුත් පොත් ගැන පොඩි හැඳින්වීමක් දීල, ඒවායින් පොඩි පොඩි දේවල් උපුටා දක්වන එක කරල තියෙනව. සිව් සිත් කව් පොත ගැන එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම සහ තිරස තරණ පොත ගැනත් එකපාරක්.
ඒ පෝස්ට් ගැන ආපු නැති විරෝධයක්, මේ ශාස්තෲ ගැන ලියපු වෙලේ එන්නේ, අටවක පුත්තු ගැන හොඳ විචාරක් ලියපු ටැබූ සර්, ශාස්තෲ ගැන දෙඤ්ඤං බැටේ විචාරයක් ලියපු හේතුව වගේ මන් නොදන්න හේතුවක් හින්දයි කියල හිතන එක අසාධාරණයි මගේ හිතේ!
කීප දෙනෙක්අකමැති වෙලා තියෙන්නේ, මං ශාස්තෲ පොතෙන් උපුටලා පෙන්නපු සෘංඝාරාත්මක ඡේද දෙක නිසා වෙන්න ඕනැ. ඒ අයව දාන්න ඕනැ අර ගවුම්වල දිග හොයන කෙමිටියට හරි ඒ වගේ වෙන එකකට හරි.
ඔය අතර ටැබූ ලියල මං මඩ ගහනව කියල.
මගේ නං එහෙම අරමුණක් තිබුනෙ නැහැ කිසි විටකත්. මං මීට කලිනුත් ටැබූ ගැන කියවෙන කතන්දර එකක්, දෙකක් නෙමේ තුනක්, හතරක් විතර ලියල තියෙනව. ඊට අමතරව ටැබූ ගේ පෝස්ට් වල තියෙන නොයෙකුත් දේවල් ගැන විරෝධතා දක්වල තියෙනව.
මේ පෙරේද දාපු පෝස්ට් එකේ මං ටැබූ ගැන ලිව්වේ කාරණා තුනයි. ඒවා මඩ නෙමේ.
එකක් ලව් සහ කසාද ගැන ටැබූ ලියූ "තියරිටිකල්" ලිපිය සහ එයට මා, රංග සහ තවත් කීප දෙනෙක් දැමූ කමෙන්ට් වල සංක්‍ෂිප්තයක්. දෙවැන්න, පොත් ලිවීම නිශ්ඵල වැඩක් යැයි කියන ටැබූ ගේ කතාවට දැඩි විරෝධයක්. තුන්වැන්න, ටැබූ "අටවක පුත්තු" ගැන හොඳ විචාරයක් ලියා "ශාස්තෲ" ට වෙනත් හැන්දකින් බෙදුවේ ඇයි දැයි කියා ඇසූ අවංක ප්‍රශ්ණයක්. නැවතත් මේවා මඩ නෙමේ. මං ටැබූ ලියු ලිපිවල 'ඇන්ටි' වචනයට හෝ 'කටා' නමැති ගුරුවරයා ගේ කේස් එකට පෙන්වූ විරෝධය හා සමාන ඒවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. මං ජීවිතේටම එක දවසක් විතරක් දැකල තියෙන, අජිත් පැරකුම් ජයසිංහ ලියල පල කරපු, මං රුපියල් 250 ක් දීල අරගෙන කියෝපු, ශාස්තෲ කියන නවකතා පොත මගේ සිත ගත්තා. මං ඒ ගැන මගේ බ්ලොග් එකේ ලිව්වේ අජිත් පැරකුම් කියන්නේ අපේම සහෝදර බ්ලොග් කාරයෙක් හින්දයි.
එච්චරයි!
-කතන්දරකාරයා
ප/ලි
මං කලින් දවසක කමෙන්ට් එකක ලිව්ව වගේ මං ලියල ඉවර කරපු කතන්දර දහයක් තව තියෙනව. බාගෙට ලිපු ඒව පහක් විතර තියෙනව. ලියන්න තියෙන ලයිස්තුවේ 60+ තියෙනව.
ඉතිං, මගේ කතන්දර ලෝලීන් ට දුක් වෙන්න දෙයක් නෑ. සඳුද ඉඳන් බිස්නස් ඈස් යූෂුවල්!
Labels:
sasthroo,
Taboo Subjects,
w3Lanka
Thursday, 6 January 2011
W3Lanka ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ
ඔය දිග ටයිටල් එක ඇත්තටම මේ කතන්දරේ මාකටින් වල කොටසක්. ඒකේ තේරුම සහ අරමුණ ඔහොම කියවගෙන යන කොට මීටර් වෙයි.
කාලයක් තිස්සේ W3Lanka බ්ලොග් එකේ ගිය ලිපි බැලුව මිසක් ඒවා ලියන්නේ කවුද කියල මං දැනගෙන හිටියෙ නෑ. දවසක් ඊ-මේල් එකක කූඹියා ද කොහෙද ලියල එව්ව ඒ බ්ලොග් එක කරන්නේ පරා කියල පොරක් කියල. අසෙනිය කුසුම 2009 වීඩියෝ ක්ලිප්ස් බලද්දි තමයි දැක්කේ මේ කවුද කියල හරියටම. එදා පරා ගේ බ්ලොග් එකට හොඳම කාලීන බ්ලොග් අඩවියට ලැබෙන සම්මානය ලැබුණ නේ.
ඔය අතරේ, ගිය අවුරුද්දේ අග හරියේ දවසක ඒ W3Lanka බ්ලොග් එකෙන් ම තමයි දැනගත්තේ මේ පරා නවල් එකක් ලියල කියල. මේක අහපු මට පොඩි පහේ ජොලියක් ගියා. මොකද පොතක් ලියනව කියන්නේ ලෙසි පාසු දෙයක් නෙමේ නේ, ජීවිත කාලයක් පෙරුම් පිරිය යුතු දෙයක්. මැරෙන්න කලින් කරන්න ඕනැ දෙයක්.
ඔය සේරම කතා එක්ක කතන්දර පෝස්ට් එකක් දැම්මේ ඒ ජොලිය නිසායි.
ටැබූ කාරයා නං හිතන්නේ පොත් ලියන එක බොරු වැඩක් කියලා. පොර ඔය කතාව තැන් දෙක-තුනකම ලියල තිබුණ.
ඩෙස්මන්ඩ් මොරිස් ගේ අනුගාමිකයෙක් වෙන ටැබූ ගේ පොඩි තියරියකට අනුව බඳින්න කලින් මොන තරම් ලව් කළත්, අන්තිමේදී ප්‍රපෝසල් එකකින් බඳින එකා තමන්ටම සහකරුවෙක් හොයාගන්න බැරි වුණු පරිනාමිකව දුබලයෙක්. ඒ තියරියේ ම පොත් ලිවීම සඳහා වූ දිගුව තමයි, ටැබූ කියන්නේ පොතක් ලියාගන්න තරම් නිර්මාණ ශක්තියක් නැති, ධෛර්යක් නැති, දුබලයෙක් ය කියන එක. ඇයි පොර කවදාකවත් පොතක් ලියන්නේ නැහැල්ලු නේ!
ඉතිං, පරා ලියපු පොතේ නම ශාස්තෲ. ඒකෙ ප්‍රධාන චරිතය ඉන්ද්‍රනාම. ඉන්ද්‍රනාම කියන්නේ හිටපු ජෙප්පෙක්.
ශාස්තෲ දොරට වැඩීමේ උත්සවයට යන්න වෙන්නේ නැති බව මං කලින් ම දැනගෙන හිටිය. යන කෙනෙකුට කියල පොතක් ගෙන්න ගන්න කියල හිටියත්, එදා මහ අනෝරා වැස්සෙ ඒක කරගන්න බැරිවුණා.
පස්සෙ තමයි දැක්කෙ තැපැල් මගිනුත් ශාස්තෲ පොත ගෙන්න පුළුවන් කියල. මනි ඕඩර් එක තැපැල් කරල පොත තැපෑලෙන් එන්න කලින් මං ගියා මරදානේ ගොඩගේ ල ගෙ, ජයකොඩි ල ගෙ, සුරිය ල ගෙ කඩ ටික වන්දනා කරගෙන එන්න. එදාම තමයි පරා ත් ශාස්තෲ පොත් පිටපත් පොත් කඩවල්වලට දාන්නේ.
බ්ලොග් එකේ තිබුණු මොබයිල් එකට කෝල් එකක් දීල, මරදානෙදි පොර හම්බවෙන්න පුළුවන් වුණා. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ගත්ත තවත් ශාස්තෲ කොපියක්. ආනන්ද මාවතේ තිබුණු පොඩි කඩේකට ගොඩවෙලා පොඩි බීම කුප්පියක් බොන ගමං පරා එක්ක පොඩි පහේ චැට් එකක් දාන්නත් පුළුවන් වුණා.
පොර අර 2009 වීඩියෝ එකේ හිටිය වගේ නෙමෙයි, දැන් පෝනි ටේල් එක කපලා!
එදා ගෙදර ඇවිත් බැලින්නං, තෑපෑලෙනුත් ශාස්තෲ පොතක් ඇවිත්. ඒ වැඩිපුර ශාස්තෲ පිටපත මං දුන්න රසික සුරියආරච්චිට පුළුවන් නං විචාරයක් වගේ එකක් ලියන්න කියල.
මගේ ශාස්තෲ පිටපත ගිය සතියේ කෝච්චියේ යද්දි, එද්දි කියවල ඉවර කළා.
වචන දෙක තුනකින් කියනව නං, ශාස්තෲ කියන්නේ කියවන්න වටින පොතක්. පරා ට හොඳ නිර්මාණ ශක්තියක්, භාෂා පරිචයක් වගේම, ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව ගැන පැහැදිලි අදහසකුත් තියෙන බවයි මට හිතෙන්නේ.
ඒ සේරටමත් වැඩිය, ආදරය කිරීම සහ රමණය ගැන මේ පොතේ තියෙන හොඳ සෘංගාරාත්මක කෑලි ටිකක් තියෙනව. තමන් ගේ හාමිනේට පවා කියවන්න දෙන්න හොඳ පොතක්, ඒ අතින්.
කුලය සහ මව් කෙසේ වෙතත්, කාලය, දීපය, දේශය අතින් ශාස්තෲ නවකතාවට සමාන නවකතාවක් වන ලියනගේ අමරකීර්ති ලියපු අටවක පුත්තු ගැන හොද පොසිටිව් විචාරයක් ලියපු ටැබූ කාරයා, පරා ගේ ශාස්තෲ නවකතාවට නිකං දෙඤ්ඤං බැටේ ආකාරයේ විවේචනයක් කලේ ඇයි ද කියන එක මට සෑහෙන්න ප්‍රශ්ණයක්.
සමහර විට ඩෙස්මන් මොරිස් ගේ හරි, ලියෝන් ට්‍රොට්ස්කි ගේ හරි තියරියකින් ඒ ප්‍රශ්ණයට නිවරදි විශ්ලේෂණයක් හොයා ගන්න පුළුවන් වෙයි.
ඊට මීට වැඩිය හොඳයි මට ආයෙ පාරක් ශාස්තෲ කියවන එක.
-කතන්දරකාරයා
ප/ලි
මෙන්න ශ්‍රාස්තෲ නවකතාවෙන් පොඩි පොඩි ඇපිටයිසර් කෑලි කීපයක්
(පිටු 24, 25 සහ 26)
ලජ්ජාශීලීත්වයට සහ නිදහස් ලිංගිකත්වයට එක ගෙයි විසිය නො හැකිය. මගේ රාගී උමතු දෑස සතු දිව්‍යමය බලය හැර යාමේ සමත් කමක් නෙළුම් තුල තවමත් ඇතැයි මට සැක සිතිණි. එහෙත් මගේ ගුප්ත බලය පිළිබඳව මා තුල ඇති විශ්වාසය තහවුරු කරමින්, මොහොතකට පසුව, ඇය මද සිනා පා දෙපයම මා දෙස දිගු කළා ය.
මම බංකුව පාමුලට ඇදී ගොස් .. .. ඇගේ පා මගේ උරහිස් මතින් පහතට ඇද දමා කලවා යුග්මය මැදින් මුහුණ හොවා ගතිමි. මුදු උණුසුම්, තුනී කපු කලිසමට යටින් ඇගේ වසා රොද අග්ගිස්ස මගේ මුහුණෙහි තැවරිණි.
මම ඇය වෙනුවෙන් ප්‍රේමයේ පුජාව පැවැත්වීමි. සත්තකින්ම ඇයට සිහි නැති විය. ඇය දෙවියන් දකින්නට ඇත. සුරාන්තය අපේ ආගම අනුව දෙවියන්ට සමීප ම මොහොතකි. ඒ නිමේෂයේදී පෙම්වත්තු සියලු ලෞකික බැඳීම්වලින් විනිර්මුක්ත ව දෙවියන් සමග සරති. ඇතමෙක් දෙවියන් දුන් බිජුවට ද ගැබෙහි පැළ කර ගනිති.
ප/ප/ලි:
මං ලියපු මේ කතන්දරේ නොතේරුණු අය සඳහා මෙන්න පැහැදිලි කිරීම.
http://kathandara.blogspot.com/2011/01/blog-post_08.html
Tuesday, 4 January 2011
සුද්දා එනතුරු කට ඇරගෙන බලා සිටියෙමු!
හබරල ගාලේ කබරගොයි විවාදය ගැන කතන්දරේ කියන වෙලේ මං මතක් කරපු පිස්සා ගේ පලාමල්ල කියන පරණ පත්තර තීරු ලිපිය මතකද? ඒකේ ලියල තිබුණු තව හොඳ ජොලි කතාවක් මතක් වුණා. විකල්ප පත්තරවල අවසානය කතන්දරේ වගේ, එහෙමත් නැත්තං රුපියල් විස්සේ පෙට්‍රෝල් කතන්දරේ වගේ 1994 ඉලෙක්‍ෂන් එකට සම්බන්ධ නැති වුණාට මේ කතන්දරයත් අනූවේ දශකයේ මැද භාගයේ එකක්.
මේ ලඟදිත් සාහිත්‍ය සම්මාන දිනපු සුමිත්‍රා රාහුබද්ද ඒ දවස්වල ලියල තිබුණ නවකතාවක් ඉටි පහන් කියල. මේ නවල් එකේ තිබුණෙ පියා නැති පොඩි ගැහැණු ළමයෙක් එක්ක ගමක ජීවත්වෙන අම්ම කෙනෙක් ගැනයි, ඒ ළමයා ලොකු වෙලා විශ්ව විද්‍යාලයට යන හැටි, එතෙනදි ජවිපෙ 1971 කැරැල්ලට සම්බන්ධවෙන හැටි සහ අවුරුදු ගානකට පස්සේ ඇගේ මරණය සිදුවෙන හැටි. කතාවෙ විදියට මේ දුව, කවුරුත් සුද්දි කියල හඳුන්නපු, ඉතා පැහැපත් ඡවි කළ්‍යාණයක් තිබුණු, ළමයෙක්.
මේ කතාවෙන් ටෙලිනාට්‍යයක් හදන්න ගත්තා අපේ සෝමරත්න අංකල්. පොර ඉස්සෙල්ලාම කලේ ඉටිපහන් කතාවට පෙර කතාවක්, ඒ කියන්නේ ප්‍රීකුවෙල් එකක්, ලිවීමයි. ඉතිං ඉස්සෙල්ලාම ඉටි පහන් කියලා අපි බලන්න ගත්තේ සුමිත්‍රා ගේ කතාව නෙමේ, සෝමා ලියපු පෙර කතාවයි.
මේ සෝමා මාමා ලියපු "පෙර කතාවේ" තිබුනේ මෙන්න මෙහෙමයි. ගමේ වලව්වක හැදුණු වැඩුණු, දෙමව්පියන් නැති අනාථ තරුණියක් ඉංගිරිසි ආණ්ඩුවේ අන්තිම කාලයේ, සුදු ජාතික ඒජන්ත කෙනෙකුගේ ලෙඩ වෙච්ච නෝනව බලාගන්න යනව. නෝන මළාට පස්සෙ සුද්ද එකක ඉඳල ළමයෙකුත් ලැබෙනව. මේක ආණ්ඩුවට ආරංචි වෙලා, ඒ විෂමාචාරය ගැන වරදකරු වුණු සුද්දට ආපහු තනියම එංගලන්තෙට යන්න වෙනව. අනාථ වෙච්ච අම්මයි, සුදු හම තියෙන පොඩි කෙල්ලයි ගමට එන එකෙයි කතන්දරේ.
ඔය පොඩි කෙල්ල ගේ චරිතය රඟ පෑ ළමය දැන් හොඳ කැරැක්ටර් එකක්! කවුද කියල දන්නව නේද?
කොහොමින් හරි මේ කතාව ඉටිපහන් කියන නමින් පෙන්නල ඉවරවෙලා ටික කාලෙකට පස්සෙ ඔරිජිනල් කතන්දරේ අනුසාරයෙන් හදපු ටෙලිය පෙන්නුවෙ ඉටිපහන් 2 කියලයි!
කොහොමද වැඩේ? සුමිත්‍රා රාහුබද්ද ගේ ඔරිජිනල් ඉටිපහන් කතාව, සෝමෙ අංකල් ගෙ ප්‍රීකුවෙල් එකට හදපු සීකුවෙල් එකක් වුණා!
ඉතිං ඔය කියන ඔරිජිනල් ඉටිපහන් කතාවෙ, අර පස්සෙ කතන්දරේ හිටිය සුද්ද ගැන කිසිම විස්තරයක් තිබුනෙ නෑ. ඒකෙ තිබුණෙ, ගමේ අයගේ විදියට වඩා පැහැපත් හමක් තියෙන, පියා නැති දරුවෙක් එක්ක ජීවත්වෙන කෙල්ලෙකු ගේ ජීවිත කතන්දරේ. මේ කෙල්ල ජේවීපී කරල අන්තිමේදි මැරෙනව. හිටපු ජේවීපී ලේකම් කෙනෙක් වුණු ලයනල් බෝපගේ යි, පස්සෙ එයාගෙ බිරිඳ වුණු, ඒ දවස්වල චිත්‍රා කන්‍යා සොහොයුරිය යි හෙමත් මේ ඔරිජිනල් ඉටිපහනේ චරිත.
නමුත් ඉතිං, ප්‍රේක්‍ෂක අපි ටෙලියේ මේ හරියට එන කොට අපේ හිතේ තියෙන්නෙම අර පිටරට යන්න වුණු සුද්දාට මොකද වුනේ කියන එකයි.
නමුත් ඉතිං, ඉටිපහන් 2 ටෙලිය ඉවර වෙලා, ඩේසි කියන කෙල්ල මැරිල (බෝපගෙයි, චිත්‍රයි කසාද බඳින ඒව හෙම පෙන්නුවෙ නෑ, මයෙ හිතේ!) පරලොව යනකම්ම සුද්ද නම් ආපහු ආවෙ නෑ.
මේ අසාධාරනේ දැකල හොඳටම කේන්ති ගිය කෙනෙක් තමයි මං මුලින් කියපු පිස්සා ගේ පලාමල්ල තීරුව ලියපු පොර. ඒ තීරු ලිපියේ ලියල තිබුණු සුද්ද ආපහු එයි කියල හිත හිත අන්තිම කොටස වෙනකම්ම අපි පේ්‍රක්‍ෂකයෝ කට ඇරං හිටිය හැටි ගැන විශ්ලේෂණය දැකල තමයි මට තේරුනේ අපි අහුවුණු ගැටේ.
සමහර විට චාමී (Rear Gate) ට මතක ඇති මේ කියන ලිපිය.
-කතන්දරකාරයා
ප/ලි
ඔය වගේම කේස් එකක් තමයි තිබුනේ පස්සෙ කාලෙක පෙන්නපු තිස්ස අබේසේකර ගේ පිටගම් කාරයෝ ටෙලියේ. කතාව පටන් ගන්න කොටම වගේ එළවළු කොටුවක මරල දාල හිටපු ළමයින් ගේ තාත්ත, මේ ළමයා සීයෙක් වෙනතුරුම, විටින් විට අවතාරයක් වගේ පෙනී නොපෙනී ගියත්, මාස හය හතක් ගිහින් ටෙලිය ඉවර වෙනතුරු ම කවුද ඒ තාත්තව මැරුවේ කියන එක තිස්ස අපිට කිව්වෙ නෑ.
මැජික් රියලිසම් ද, මාකටින් ට්‍රික්ස් ද, අනේ මන්දා?
Sunday, 2 January 2011
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්
ඔන්න කතන්දර කුමාරයි, කතන්දර කුමාරියි බඳින්න කලින් කතා වෙච්ච එක දෙයක් තමයි බැන්දයින් පස්සේ ජෝඩුව කොහෙද පදිංචි වෙන්නෙ කියන එක.
මොකද ඒ දවස්වල මංතුමා හිටියේ තාත්ත යි, අම්ම යි, මල්ලිල යි එක්ක අපේ පවුලේ නිවසේ. ගෙදර ඉඳලා, වැඩට යන්න බස් තුනක ගමනට දවසකට පැය හතරක් විතර යනවා.
වෙන්ඩ කතන්දර හාමිනේ නං හිටියේ ගෙදරින් පිට. මොකද එයා ල ගේ මහගෙදර ඉඳලා එයා වැඩ කරපු තැනට එන්නම පැය පහකට වඩා යාවි. ඉතිං එයා හිටියේ කැම්පස් යාළුවෙකු ගේ අම්ම ගේ යාළුවෙකු වෙන ඇන්ටි කෙනෙකු ගේ ගෙදර බෝඩ් වෙලයි. ඒ ගෙදර තිබුනේ වෙන්ඩ කතන්දර හාමිනේ ගේ වැඩපොල කිට්ටුවෙන් ටවුන් එකේම වගේ.
මගේ මහගෙදර ඉඳලා හාමිනේ ගේ වැඩපොලට යන්න තියෙන්නේ මගේ වැඩපොලත් පාස් කරලා. ඉතිං, බැන්දයින් පස්සේ අපි දෙන්නා මගේ මහගෙදර නතර වීම කියන්නේ හාමිනේ කබලෙන් ලිපට වැටීමක්. බස් තුනක ගමනට පැය පහකටත් වඩා යාවි දවසකට.
මැත්ස් වලට ඔප්ටිමයිශේෂන් ඉගෙන ගෙන තියෙන අය දන්නව ඇති ඕනෑම කන්වෙක්ස් සෙට් එකක මැක්සිමම් වැලියුව්ස් තියෙන්නේ වර්ටිසස් වල බව.
තේරෙන භාෂාවෙන් මේ කියන්නේ අපි දෙන්නා ගේ එදිනෙදා රැකියාව සඳහා කරන මුළු ගමන් කාලය අවම කරගන්න නම් එක්කෝ දෙන්නාම මංතුමා ගේ වැඩපොළ ලඟ නැත්නම් හාමිනේ ගේ වැඩපොළ ලඟ දෙකෙන් එකක පදිංචි වෙන්න ඕනෑ.
අපි දෙන්නා මුලින්ම හිතුවා මගේ සේවාස්ථානය ලඟ තැනක් හොයා ගන්න.
මේ සඳහා ඒ දවස්වල තිබුණු සාමාන්‍ය ක්‍රමය තමයි ඉරිදා පත්තරයක් අරගෙන ඒකේ ලුහුඬු දැන්වීම් බලලා ඒ අනුව හොයා බලන එක.
හැබැයි ඊට වඩා හොඳ ක්‍රමයක් මං අනුගමනය කලේ. ඒ තමයි ගෙවල් තියෙන අය දැන්වීම් දානකං ඉන්නේ නැතුව අපි සල්ලි ගෙවලා අපේ ම දැන්වීමක් දැමීම.
රැකියාවැති තරුණ යුවලක් අහවල් ප්‍රදේශයෙන් ඇනෙක්සියයක් සොයයි - කියල සිළුමිණ පත්තරේ මං දැම්ම දැන්වීමක්. ඒක හරියටම පලවුනේ කතන්දර ජෝඩුව බැන්ද සතියේ අග ඉරිදාමයි.
දැන්වීමට ප්‍රතිචාර විදියට ආපු උත්තර කිහිපයෙන් මගේ හිත ගත්තු හොඳම ලිපිය එවල තිබුනේ මෙන්න මෙයා.
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්
හොඳ උගත් මහත්තයෙක් ගේ ඇනෙක්සියක් නේ කියල ඔන්න ඒ සතියේම ගියා මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් හමුවෙන්න.
"මං මේ හොයන්නේ හොඳම කපල් එකක් මේ ඇනෙක්සිය දෙන්න". මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් කිව්ව.
"ඒක හින්දම තමයි අපි මේ ආවෙ". මාත් අත හැරියේ නෑ.
ඉතිං ඔන්න ගේ පෙන්නන්නත් කලින් මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්, අපි දෙන්නගේ නම්, ජොබ්ස්, වැඩ කරන තැන් සේරම විස්තර ඇහැව්ව. මං අහවල් තිප්පොලේ ඉගෙන ගෙන දැන් අහවල් තිප්පොලේ වැඩ කරන බව, හාමිනේ අහවල් වැඩපොලේ සේවය කරන බව වගේ දේවල්. පොර ඒ කරුණු වලින් සෑහීමකට පත්වුණා වාගෙයි මට පෙනුනේ.
"ඉතිං ඩොක්ටර් කතන්දර ගේ ගම කොහේද?" මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් මගෙන් ඊ ලඟට ඇහැව්ව.
හැබැයි ඇහැව්ව සැනෙකින් ම ඒක නිවරැදි කළා. "ඕහ්, අයෑම් සොරි, යූ හැවන්ට් ගොට් යුවර් ඩොක්ටරෙට් යෙට් නෝ? ඉතිං මිස්ටර් කතන්දර ගේ ගම කොහේද?"
"මං කොළඹ පැත්තේ."
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ඔන්න කතන්දර හාමිනේ පැත්තර හැරුණා.
"ඩොක්ටර් මිසිස් කතන්දර කොයි පලාතෙද?"
මේ ආකාරයෙන් ප්‍රශ්ණ අහල අහල මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් තාමත් මේ බලන්නේ අපි දෙන්නා මේ ඇනෙක්සිය කුලියට දෙන්න තරම් වටිනා ජෝඩුවක් ද කියලයි.
මට නං ඒ වෙනකෙටත් හිතිල තිබුනේ බුදු අම්මෝ මේ මනුස්සය ගේ බිත්තියෙන් එහා පැත්තේ, එකම වහල යට, එකම මිදුල ෂෙයාර් කරගෙන මං කොහොම ඉන්නද කියල.
හොඳ වෙලාවට කතන්දර හාමිනේ ඒ ඇනෙක්සිය නොගන්න තීරණය කළා.
ඒකට හේතුව මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්ගේ ප්‍රශ්ණ කිරීම් මාලාව නං නෙමේ. මෙන්න මේකයි.
මේ ඇනෙක්සියේ සාලෙන් නිදන කාමරේටයි, කුස්සි කෑල්ලටයි දොරවල් දෙකක් තිබුණා. අනිත් පැත්තෙන්, නිදන කාමරේ ට මූණ දාලා තව දොරක්. මං ඒ ඇරල බැලුව. මෙන්න බොලේ කක්කුස්සියක් සාලෙ මැද්දේ!
පස්සෙ බැලින්නං වෙලා තියෙන්නේ මේකයි. මේ කක්කුස්සිය මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්ගේ ප්‍රධාන ගෙදර පිටතින් තිබුණු වැසිකිලිය. ගෙට අල්ලල මේ ඇනෙක්සිය හදන කොට ඒක අළුත් කෑල්ලේ සාලේ මැද්දට ඇවිත්.
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ වැඩ ගැන හිනා වෙවී ගෙදර ආපු අපිට තව සති දෙකක් විතර ඇතුලත වෙන තැනක් සෙට් වුණා.
ඒ විස්තර වෙනිං කතන්දරයකින් කියන්නම්.
-කතන්දරකාරයා
ප/ලි
හෝව්, හෝව් වැරදුණා!
කතන්දරකාරයා, බී.එස්.සී.ඉන්ජිනියරින් ඔනර්ස්, එම්. ඉන්ජිනියරින්, එම්. ඒ.
Labels:
ඇනෙක්සිය,
කතන්දර හාමිනේ
Subscribe to:
Posts (Atom)