Monday, 18 June 2012

ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ - Montessori love affairs


කවට කමට ඔබෙයි මගෙයි නම ලියා
යහළු ළමයි විහිළු තහළු මට කළා
ඔබ ආදරේද ඇ(හැ)ව්වා - මම දන්නෙ නැහැයි කිව්වා


දිගු කලකට ඉහත ජනපි‍්‍රය වී තිබූ ඉහත ගීතයෙන් කියවෙන්නේ පාසැල් යන තරුණ වියේ සිසුවෙකු සහ සිසුවියක අතර ආදර සම්බන්ධයක් ක‍්‍රම-ක‍්‍රමයෙන් ඇතිවූ ආකාරය යි.

කතාවේ හැටියට සියල්ලටම මුලවී ඇත්තේ යහළු යෙහෙලියන් ගේ කවට කතා හෙවත් නම් පට බැඳීම යි. මිශ‍්‍ර පාසැල් හි ඉහල පන්ති වල සිසු සිසුවියන් අතර ආදර සම්බන්ධකම් එදා මෙන්ම අදත් තිබෙන බව පුවත්පත් කියවන විට දකින්නට ලැබෙන කතා වලින් පෙනේ.

නමුත් ඇත්ත වශයෙන් ම මේ ආදර සිතුවිලි ඇතිවන්න ට පටන් ගන්නේ ඉහල පන්ති වලදී නොව සමහර විට ඉතා පහල පන්ති වලදී සිට ය. කොටින් ම කියනවා නම් මොන්ටිසෝරි කාලයේ සිටම ය.

ඒ ප‍්‍රාථමික විදුහල් ආදර සිතුවිලි අනිවාර්යෙන් ම ඉතා ලඳ බොලඳ ඒවා ය. ඉහත සඳහන් ගීයේ විස්තර කෙරෙන පරිදි බොහෝ විට අනෙක් සිසුන් ගේ නම් ලියා කවට කම් කරන්න ට සිතෙන්නේ ද මේ බොලඳ ආදර සිතුවිලි වල එක් අතුරු ඵලයක් ලෙස යැයි මට සිතේ.

මා කණිෂ්ඨ පාඨශාලවේ උගත් සමයේ ප‍්‍රථමයෙන් ම එලෙස නම් පට බැඳීමකට ලක් වූයේ තුන් වන වසරේ දී යැයි සිතමි.

කොයි ලෙසක ඇරඹිණි දැයි දැන ගත නොහැකි වුනත් එක් වරම අප පන්තියේ සිසු සිසුවින් කොළ කැබලි වල ගැහැණු-පිරිමි නම් යුගලයන් ලියා අතිනත යවන්න ට වූහ. මේ සිද්ධිය අවසන් වූයේ මෙයින් කොළ කැබලි කිහිපයක් මිදුළ අමදිමින් සිටි ඉහල පන්තියක සිසුවියන් කිහිප දෙනෙකු අතින් විදුහල්පති තුමා කරා යොමුවී, අපේ පන්තියේ සිටි දඩබ්බරයෙකු වේවැල් පහර කිහිපයක් කෑමෙනි.

මේ කාලය වන විට මගේ සිතේ ද සම වයසේ දැරිවියන් පිළිබඳව යම් යම් පහන් සංවේග මතු නොවී නොතිබුනා නොවේ. එහෙත් ඒවා, කඩදාසි කැබලි වල නොම ලියවී සිතට පමණක් සීමා වූ ඒවා විය.

එසේ වතුදු, එලෙස ප‍්‍රාඨමිකයේ දී ඇරඹි මෙවැනි සිතුවිලි, මධ්‍ය විද්‍යාලය, උසස් විද්‍යාලය සහ විශ්ව විද්‍යාලය හරහා, පසු කාලයක විවාහ සහකාරිය හමු වෙනතුරුම විවිධ කාල වකවානු තුල දී විවිධ ආකාරයෙන් මතුවිය. ඒ බොහොමයක් සිතුවිලි 50% ක් පමණක් සාර්ථක වූ ඒවා ලෙස උපහාසාත්මකව හැඳින්විය හැකිය. මේ කාල පරිච්ඡේදය තුල දී, කෙමෙන් කෙමෙන් මේ සිතුවිලි ධාරාවෝ ගද්‍යයටත්, පද්‍යයටත් නැගෙන්නට ද පටන් ගති.

ගැටවර වියේ දී මේ පද්‍යා රසය දෝරේ ගලා ගියේය.

ඒ කවි වට්ටෝරු පමණක්, කාවුන් කෑ අභ්‍යාස පොත් මැද්දේ, අද ද ඉතිරිව ඇත.

ඒ කෙසේ වෙතත්, මගේ කෝෂ්ඨාගාරයේ මොන්ටිසෝරි ආදරය යන දෙපදයෙන් අර්ථ දැක්වෙන්නේ නම්, ගැහැණු පිරිමි යුවලක් අතර පවතින, හිතින් මිස ගතින් ලං නොවූ ආදර සම්බන්ධයකි. වෙනත් වචන වලින් කිවහොත්, සිප ගැනීමක් කෙසේ වෙතත් අඩු වශයෙන් අතින් ඇල්ලීමකින් හෝ තොරව දෙදෙනෙක් අතර ඇතිවී පැවතෙන ආදර සම්බන්ධයකි.

මෙහි මොන්ටිසෝරි යන පදයෙන් අදහස් වන්නේ, අදාල යුවලගේ වයස් සීමාව නොව, ආදර සම්බන්ධයේ ස්වභාවයයි. මෙවැනි මොන්ටිසෝරි ආදර සංසිද්ධීන් අර්ථ දැක්වීමෙන් ම බාලාංශ මට්ටමේ ඒවා වන බව මෙයින් හැඟේ.

තවදුරටත් මෙම වදනේ මගේ අර්ථය පැහැදිලි කිරීම උදෙසා පහත උදාහරණය ඔබ හමුවේ තබමි.

මා පොඩි අවදියේ සිටම, සිංහල ආදර කතා ඉතිහාසයේ අසිරිමත් මග සළකුණක් ලෙස පතල වී තිබූ, එක්තරා නවකතාවක් ගැන අසා දැන සිටියෙමි. මගේ මතකයේ හැටියට 60 දශකයේ මුල් කාලයේ පමණ ලියවී තිබුනු එම කෘතිය ඉතා සංවේගාත්මක වූ, ශෝකාන්තයක් ලෙස නම් දරා තිබිණි. මා ඇසූ, කියවූ පරිදි මෙම පේ‍්‍රම කතාව ප‍්‍රථම සිංහල ශෝකාන්තය යි. එතෙක් පලවී තිබූ සියළු නවකතාවන් හී පෙම් සටන් සියල්ල ජයග‍්‍රහණයෙන් අවසන් වු, සුඛාන්තයන් වී තිබුණි.

මෙම නවකතාවෙන් ශෝකාන්ත නවකතා රැල්ලක් ඇරඹුනු බව කියනු ලැබේ.

වෙනත් නොයෙකුත් නවකතා, පොත් පත් යනාදිය නිරතුරු කියෙවූවද, අපේ නිවසේ හෝ මා භාවිතා කළ පුස්තකාලයක හෝ මෙම කෘතියේ පිටපතක් නොතිබුනු හෙයින්, උස් මහත් වී වසර ගණනාවක් යන තුරුම මා මෙම කෘතිය කියවා තිබුනේ නැත. කෙසේ වෙතත්, ඒ වන විට මම මේ කෘතියේ දෙවන භාගය යැයි සැලකෙන එම කතුවරයා ගේම වෙනත් නවකතාවක් නම් කියවා තිබුනෙමි.

අවසානයේ අහම්බෙන් මෙන් පිටපතක් ලැබී ඉහත කී අසිරිමත් පෙම් කතාව කියවු පසු, ඒ ගැන ලියවී තිබුණු බොහෝ දේ කියවා, බොහෝ දෙනා ඒ ගැන කී කතා අසා, මහා පේ‍්‍රම වෘතාන්තයක් යැයි එම නවකතාව පිලිබඳව මා එතෙක් සිතා සිටි සියළු දේ හුදු විහිළුවක් ම පමණක් නොවේදෝ යැයි මට සිතිණි.

මෙම නවකතාව නම් කරුණාසේන ජයලත් ලියූ "ගොළු හදවත" යි. කිසි දින ආදරයක් ගැන කතා නොකලා වූ, ආදර බස් නෙම තෙපලූ, සිප ගැනීමක් තබා අතකින් අතවත් ස්පර්ෂ නොකලා වූ, සුගත් සහ දම්මි යුවල ගේ ආදර කතාව යි.

මට නම් සුගත් සහ දම්මි ගේ "ගොළු හදවත" ආදරය වචනයේ අර්ථ පරිසමාප්තයෙන් ම මොන්ටිසෝරි ආදරයක් ම පමණි.

-කතන්දරකාරයා

ප/ලි:
ඉහත ලිපිය මා කලකට ඉහත එක්තරා සඟරාවකට ලියන ලද එකකි. මෙහි සඳහන් වන ගොළු හදවත නම් නවකතාවේ ප්‍රේම වෘතාන්තය මා මොන්ටිසෝරි ආදරයකට කරන සම කිරීම අසා සිත රිදුණු එක්තරා ප්‍රසිද්ධ ගීත රචකයෙකු මගේ ලිපියට පිලිතුරු ලිපියක්ද ලියූ බච ප්‍රීතියෙන් සඳහන් කරමි!

"කවට කමට ඔබෙයි මගෙයි නම ලියා" - සීඩී ෆොන්සේකා ගයන ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ලියූ ගීතය මෙතනින් නරඹන්න.
http://youtu.be/nInPaL5fmXo

(image: http://www.thesundayleader.lk/archive/20060618/arts.htm)

89 comments:

  1. Replies
    1. පුදුම සොඳුරු සිතක් නේ!

      Delete
  2. වර්ණපාල තියරියෙන් හාද වෙලා.... කසාඳ බැදලත් ඉන්න අය කොච්චර නම් ඇති ද? ඒ වගේම ඒ සම්බන්ධකම් ඇති වුනේ අවකයෙන්ම නෙමෙයි කියලා මට හිතෙනවා.
    “වර්ණපාල තියරිය“

    ReplyDelete
    Replies
    1. තියරිය සහ ප්‍රැක්ටිකල් අතර වෙනස්කම් ඇත!

      Delete
  3. ඇත්ත. ගොළු හදවත බොළඳ කතාවකි. ගොළු හදවත ජනප්‍රිය වූයේ සිනමා කෘතියෙන් මිස පොතින් නොවේ. සාමාන්‍යයෙන් කතුවරයකුගේ පළමු කතාවම හොඳ වන්නේ කලාතුරෙකිනි. කතුවරයකුට වැඩෙන්නට ඉඩ අවශ්‍යය.

    කරුණාසේන ජයලත් නවකතාකරුවකු සේ තම හැකියාව පසු පොත් සියල්ලෙන්ම පෙන්නා තිබේ. එනිසා ගොළු හදවතින් ඔහු මැනීම වැරදිය. අවසානාවකට මෙන් ජනප්‍රියතාව හා හොඳ යනු එකක් නොව දෙකකි.

    (ගොළු හදවත නීරස වී ඇත්තේ කතන්දරට පමණක් නොවේ. මටද මේ කතාව බාගයක් කියවා ගෙන යන විට එපාවිය. කාලෝ ෆොන්සේකාද වරෙක සඳහන් කළේ කියවන්නට ගෙන පිටු කිහිපයක් කියවා පැත්තක දමා තිබුණු කතාවේ රසයක් තමන්ටද දැනුණේ චිත්‍රපටය නැරැඹීමෙන් පසු බවයි.)

    ReplyDelete
    Replies
    1. ජයලත්ගෙ නවකතා බොහොමයක් මම කියවා තිබෙනවා.
      ඒවා ඉතා ලස්සනට පටන් ගන්නවා. අන්තිමට කොහේවත්
      නැති විප්ලවයක් ඊට ඔබ්බනවා.

      Delete
    2. ගොළු හදවත යනු බොලඳ නවකතාවකැයි මා එක එල්ලේ කියා නැත. මා කිව්වේ ගොළු හදවතේ එන ආතර කතාව මොන්ටිසෝරි ආදර කතාවක් බවයි. එනම් බාලාංශ මට්ටමේ එකක් බවයි. එය වයස හා බැඳුණු වර්ගීකරණයක් නොවේ!

      Delete
  4. "මොන්ටිසෝරි ආදරය" ඔව් එහෙම ආදරත් ඇතිවෙනව තමයි එත් ඒවා ආදරයම නොවෙන්ඩත් පුළුවන්.නිකම්ම නිකම් ආකර්ශනයක් විතරක් වෙන්ඩත් පුළුවන්.කලක් යද්දී ඔව් තේරෙන්ඩ ගන්නවා. පොතට වඩා ජනප්‍රිය උනේ සිනමා පටය...ඒක නිසා පොතට තවත් පාඨකයෝ පිරිසක් එකතු උනා පොතත් ජනප්‍රිය මට්ටමට ආවා...

    ReplyDelete
    Replies
    1. පොත සහ විත්‍රපටිය දෙකම අපේ පරම්පරාවට උඩ එකේ ඒවා.

      විත්‍රපටිය බලන කොට මට හිතුනේ මේ නැන්දලා මාමලා කොහොමද පාසල් යන්නේ කියලයි.

      Delete
  5. කතාවක් කියවීමේදී හදේ ඇඳෙන චිත්‍රය විචිත්‍රවත් නම් ඒවා බොහේ දෙනා හොඳ යයි පවසති. එසේ හදේ ඇඳෙන චිත්‍රය හොඳ වන්නේ රචකයා බෙදා ගන්නට හදන අත්දැකීම හෝ අනුමානයට බොහේ දෙනෙක් මුහුණ දී ඇත්නම් පමණි. අප මෙතන ලියන දේ වුවද බොහෝ දෙනාට හොඳ වන්නේ සමාන්තර අත්දැකීම් තිබූ විට පමණි. මට පෙනෙන විදියට මෙවැනි මොන්ටිසෝරි අත්දැකීම් බොහෝ දෙනාට නැත. විශේෂයෙන්ම අද ආදර සම්බන්ධතා දවසින් දෙකෙන් හෝටල් කාමරයකට යාම දක්වා වේගවත්ය. අතීතයේ පොත් කියවූ අය දැන් මෙගා සීරීස් නරඹයි. චිත්‍රපටියට නගන කෙනා දකින රූපය මෙම කතාව ජනප්‍රිය වීමට හේතු වන්න්ට ඇත.

    ReplyDelete
    Replies
    1. +1 ආයේ කියන්න දෙයක් ඉතුරු කර නැහැ..

      Delete
    2. ඒක තමයි පරම්පරා පරතරය කියන්නේ! අපේ සීයලාගෙන් තාත්තලාත්, තාත්කලාගෙන් අපිත්, අපෙන් අපේ පුතාලාත් වෙනස් වෙන ආකාරය තමයි එයින් පැහැදිලිවන්නේ.

      Delete
  6. මේ වගේ වර්ගීකරණයක් අඳුන්වා දුන් එකේ කතන්දර ඇයි මොන්ටිසෝරි නොවන ආදර කතා වලටත් උදාහරණ දෙන්නැත්තෙ?
    මේක නම් ගොළු හදවත අළුත් විදිහට දැකීමක්..කියවපු වයස අනුව මේ කතාව දැනෙන විදිහ වෙනස් මම හිතන්නෙ...
    (ඒක ගොළු හදවතට විතරක් නෙවෙයි හැම පොතකටම අදාලයි..මට ඒක විශේෂයෙන් දැනුනෙ මාර්ටින් වික්‍රමසිංහගෙ පොත් කියවද්දි..)

    ගොළු හදවත මතක් වුනේ ළඟදි සාමාවත් හම්බ වුනාද? :D

    ReplyDelete
    Replies
    1. මං ගොළු හදවත කියෙව්වේ කැම්පස් යන කාලේ. ඒ වයසේ හින්දයි මේ කියන ඉච්ඡාභංගත්වය වුනේ.

      සාමා නොවෙයි රානිකා. දැන් දශක දෙකකින් දැකලා නෑ. ඒ දවස්වලම වෙන පාසල්වලට ගියානේ.

      Delete
    2. අයියෝ නෑ අනේ අර කඩේකට ගිහිං මාර්ටින් වික්‍රමසිංහගේ ගොළු හදවත ඉල්ලපු ළමයා ගැන මම ඇහැව්වෙ..එයා සාමා නෙවීද?

      Delete
  7. මටත් තිබුණ 2 වසරෙදි අර කිව්ව වගේ මෙව්ව එකක්. මම ඒ ගෑනු දැරිවි ඉස්කෝලෙ ඇරිල අපේ ගෙදරත් එක්ක ආවා දවසක්. ඒ කාලේ 3 පන්තිය වෙනකන් ඉස්කෝලෙ 11.30 ට ඉවරයි. අපේ අම්ම මාමා කෙනෙක් එක්ක ඒ ළමය ගෙදර පිටත් කළා, පරක්කු වෙනකොට ඒ ගෙදර අය බයවෙයි කියල. කොහොමටත් එයාල ටිකක් දුරින් අපේ නෑයොත් වෙනව. හිටියෙ අල්ලපු ගමේ. ඒ දවස්වල අපි දෙන්න කෑවෙ බිව්වෙ ඉස්කෝලෙ ඇවිද්දෙ ඔක්කොම එකට. පොඩි මේසයක් වගේ ඩෙස්ක් එකක වටේට පුටු තියල තමා අපිට වාඩි වෙන්න තිබුණෙ. ගෑනු පිරිමි වෙන වෙනම ඉන්දන්නෙ නෑ පොඩි දවස්වල. අපි දෙන්න හිටියෙත් පන්තියේ එක ළඟ පුටු දෙකක. පාඩමක් කියල දෙන්න අපි පන්තියෙන් එළියට එක්ක ගියත් මම පිරිමි ළමයි රවුමෙ අන්තිමය. එයා ගෑනු ළමයි රවුමෙ පළවෙනියා. කොහොම කරත් දෙන්න එක ළඟ. අපි 4 වසරෙ ඉඳිද්දි එයාල ගමෙන් ගියා කුරුණෑගලටද කොහෙද. ඊට පස්සෙ මට ඒ දැරිවි හම්බවුණේ නෑ. හැබැයි අවුරුදු ගානක් යනකම් ළමයි මට එයාගෙ නම කියල කවටකම් නම් කළා. ඒක තමා මගේ ප්‍රථම සහ අවසාන ප්‍රේමය. :)
    ගොළු හදවත නරකම පොතක් නෙවෙයිනේ, මම නම් අවුලක් නැතිව කියෙව්ව. මම නම් කියවන්න ගත්තොත් පොතක් කොච්චර කම්මැලි හිතුනත් අන්තිම වෙනම් කියවල තමා පොත ගැන අදහසක් ගන්නෙ. කොහොමටත් කරුණාසේන ජයලත්ගෙ ඔක්කොම වගේ පොත් එකම ටයිප් එකේමනේ. අර සුජීව ප්‍රසන්නආරච්චිගෙ පොත්වලට වඩා නම් ඒව හොඳයි. මට හිතෙන්නෙ ඔය ගොඩටම සන්නගෙ “වස්සාන සිහිනය“ ත් එකතුවෙන්න ඕන කියල. ඕලෙවල් කරන දවස්වල මම ඔය වස්සාන සිහිනය කියෙව්වෙ. පොත කියවල ඉවරවෙල දවස් දෙක-තුනක් යනකම් මාත් ඒ ෂොක් එකෙන් හිටිය මතකයි. :)

    ReplyDelete
    Replies
    1. මළා! කැන්දාගෙනත් ඇවිල්ලා ඇටෙන් පොත්තෙන් ගැලවෙන්නත් කලින්!

      Delete
  8. මොන්ටිසෝරි ආදර කතාවක් වුනත් අද කාලයේ වැසි වසින ආදර කතා වලට වඩා නම් ගොළු හදවත ඉදිරියෙන් සිටී.
    කතාවේ අර්ථයක් තිබුනා හෝ නොතිබුනා කරුණාසේනයන් ගේ රචනා විලාසයට නම් වටිනාකමක් දිය යුතුය. ඉතා සුළු සිදු විමකදී වුවද මිනිස් සිතක සිදු වෙන සිතුවිලි උත්පාදනය ඔහු කලබලයක් නැතිය විස්තර කරයි. එය කෙනෙක්ට නිරස වෙන්නත් තව කෙනෙක් රසවත් වෙන්නත් පුළුවන්.
    රචනා දිවියේ මුල් අවධියේ සිය කෘති රසය පමනක් මුල් කොට ගෙන ලියූවද ඔහුගේ අනෙක් බහුතරයක් පොත් අර්ථය රසය දෙකම අන්තර් ගත වෙන බවත් පිලිගත යුතුය.
    ඉතිං ගොළු හදවතේ කතාන්දරය මොන්ටිසෝරි ප්‍රේමයක් ගැනය, නමුත් එය තරුණ කතුවරයෙකු සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නට ගත් හොඳ උත්සාහයක් ලෙස පැසසිය යුත්තකි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන විවාදයක් නෑ.
      ජයලත් ගේ කතාවට පදනම් වූ තුන් කොන් කේස් එකේ අනිත් කොන නම් මට මුණ ගැසී තියෙනවා.

      Delete
  9. මොන්ටිසෝරි ලව් තමා නියම... උඩින් පල්ලෙන් නෙමේ... ගොඩක් ගැඹුරෙන්...

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට අතින් අල්ලන්නෙත් නැති ලව නිකං ලුනු නැති හොද්දක් වගෙයි නේද?

      Delete
    2. කතන්දර..> එතකොට "ඇටමැස්සා" කෘතියේ එන ජෙම්මා සහ ඇටමැස්සා අතර ආදර කතාව ගැන ඔබේ අදහස කුමක්ද?

      Delete
  10. මටත් ගොළු හදවත මෙලෝ රහක් නැති නවකතාවක්. කියවලා ඉවර කරනකොට ඇතිවෙනවයි කියපු "කම්පනය" පැත්ත පලාතකටවත් ආවෙ නෑ....!

    අද වෙන විට විවේචන කොච්චර තිබුනත් ඒ වගේ ලොකුම කම්පණය ඇති කරපු ආදර කතාව උනේ උපුල් ශාන්ත සන්නස්ගලගේ "වස්සාන සිහිනය" කියවලා. ඒත් ඒ පොත අවුට් වෙන්න ගොඩක් කාලෙකට කලින් "අරලිය" පත්තරේ සති පතා පලවෙච්ච කාලේ. ඒ වෙනකොට මම හිතන්නෙ මම 8 වසරේ හරි 9 වසරේ හරි වෙන්න ඇති....

    පස්සෙ කලෙකද වස්සාන සිහිනය නවකතාව සිනේෂ් බණ්ඩාර දිසානයක රිදී තිරයට අරගෙන ඇවිල්ලා මුළුමනින්ම ඝාථනය කරලා දැම්මා...

    ReplyDelete
    Replies
    1. දුමී . . ඇයි සුළඟ වගේ ඇවිදින් කතාව . .

      Delete
    2. @ දුකා,
      දිනේෂ් කොළඹගේගෙ නේ ද? අර අක්ක කෙනෙක්ට ලව් කරපු සීන් එක. ඒකත් මම ඕලෙවල් කරපු දවස්වල කියෙව්වෙ. මුල ඉඳල ජොලියෙ කියවල අන්තිම ටික කියවනකොට මටත් ඇඬුන.

      Delete
    3. මමත් කියවපු වෙනස් කතාවක්. ඔහුගේ රචනා ශෛලියත් නැවුම්. කියවන අතරේ ඒ කතාව තුල ජීවත් වෙමින් තමයි කියෙව්වේ.

      Delete
    4. මේ දෙකම කියෝලා නෑ.
      සමහර විට මොන්ටිසෝරියෙන් පාස් වෙච්ච ප්‍රයිමරි ලවෙල් එකේ කතා වෙන්න ඇති!

      Delete
  11. මටත් තිබුන 4වසරෙ ලව් එකක්.

    ReplyDelete
  12. විසි තිස් වතාවකට වඩා කියෝපු ගොලු හදවත මට නම් යොවුන් ප්‍රේමය හෙවත් නොහැඟවූ ආදරයේ සුන්දරත්වයත් . . . එහි වේදනාවත් උපරිමයෙන් හිතට දවපු කතාවක් . . .ඕනෑම කතාවට හොඳ නරක ගැන තීරණය කියවපු අයට ඒ පොතේ සිදුවීම් සහ චරිත හැබෑ ලෝකයේදී ඒ ඒ අය අත්විඳපු ඇසුරු කරන්න ලැබුනු අය නිසා වෙනස් වෙන්න පුලුවන් . .

    ReplyDelete
    Replies
    1. දුකා හරි.
      හැඟ දෙයක්ම අපිට සාපේක්‍ෂකව තමයි අපි දකින්නේ!

      Delete
  13. මගෙත් පුංචි කාලේ ඔහොම පලහිලව් එකක් දෙකක් නෙවයි කීපයක්ම තිබුනා. DDT ගේ කමෙන්ට් එක ඒ මතකය අලුත් කළා. ඔය පොත නම් මම ආස නැති පොතක්. ඒත් සුදික ගේ කමෙන්ට් එක හා එකඟයි.

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩරුත් නාකි වේගෙන එනවා වගේ!
      ඒකයි අළුත් පරම්පරාව ගැන පැමිණිලි කරන්න හිතෙන්නේ.

      Delete
  14. පාසැල් ප්‍රේම කතා කීයෙන් කීයද? සාර්තක වෙන්නෙ. අපේ අම්මයි තාත්තයි පාසැලේ අවුරුදු නවය විතර කාලෙ හිටන් යාළුවෙලා හිටියයි කියල තමයි දන්නෙ. අතිසාර්ථක විවාහ දිවියක්. දැනට අවුරුදු පනස් හතරක්. ගොළු හදවත ඒ කාලෙ හද සසල කලාට දැන්නම් මහ බොලඳයි කියල හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දෙමව්පියෝ හයි ස්කුල් ස්වීට් හාට්ස් ලා නම් දුවලාට හොඳයි! සම්බාධක අඩුයි.

      Delete
    2. happoo mona borud.Ape denna ehema sweet heartsla, 10 years love story eka. Apita hela wend dunne nee.

      Delete
  15. matath thibba 4 wasare aadarayak,
    awurudu 7-8kma e kellata hithin love kara, dan nam kasadath badala.
    hari sundarayi mathak wenakotanam

    ReplyDelete
    Replies
    1. හිතන් ලව් කරලා, හිතින්ම බූට් කාලා, හිතින්ම දුක් වෙවී ඉන්න එකත් එක්තරා වින්දනයක් තමයි!

      Delete
  16. කවදාවත් කියෝලා ඉවර කන බැරි කතන්දර ලියන ඔබතුමා ගැන මට තියෙන්නේ පුදුම ගෞරවයක් ඕං.., ඔහේත් අපේ අටපට්ටම කරන හසන්ත මහත්තයා වගේ,
    සෙක්කුව වටේ යන ගොනා වගේ උන්දැත් එකම දේ නොවැ පෙන්නන්නේ..,

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ..... එච්චරයි අඩුවකට හිටියෙ. ඒ පාර සූරියප්පෙරුම උන්නැහෙත් බ්ලොග් කෙරුවාවට බැහැල. ‘ඔරිජිනල් එක‘ වගේ හතර අතේ නෙලනවනම් ‘ඇනොනිමස් ආතල්‘ ගිහිපු එකේ පාඩුවකුත් නැතිවෙයි මගෙ හිතේ.

      Delete
    2. නම නං සූරියප්පෙරුමාල් ගේ දේශීය වර්ෂන් එක, ඒ වුනාට හර්ජේ ගේ ටින්ටින් සීරිස් එකේ රස්ටපොපියුලස්ව නේද ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නේ?

      Delete
  17. මට ගැහැණු ළමයකුගේ නමක් පට බැඳුනේ මා එකේ පන්තියේ දීය.
    නමුත් ඒ නම ඇසුනුවිට මට නහුතෙට තද වූ බවක් මට මතකය.
    මේ ගීතයට සම්බන්ධ අයෙකුගේ දුවකටද පෙම් කලමුත්
    නොගැලපීමක් නිසා (කලාකරුවන්ගේ සිත් බොහෝ සංවේදී බැවින් :-) ) සමුගැනීමට සිදුවිය.

    Dick-son

    ReplyDelete
    Replies
    1. එහෙනං දුක් ගීතයකුත් කියලා තියෙනවා!

      Delete
  18. ගොලු හදවත කියවා නොමැති නිසා... ටක්කෙටම යමක් කීමට බැරිය.....

    ReplyDelete
    Replies
    1. හෙළු හදවතත් නිකං සමනල කන්ද වගේ.
      එකපාරක්වත් නගින්න ඕනෑ!

      Delete
  19. කවුරුත් දන්නැති, කාටවත් කරදරයක් නැති, කාගෙන්වත් කදරයක් නැති ලව----- මොන්ටිසෝරි ලව...

    ReplyDelete
    Replies
    1. අන්න ඔහේට වැටහුණා!

      Delete
  20. මට ගොළු හදවත කියවන්නවත් බලන්නවත් බැරි වුනානේ තාම.

    ReplyDelete
  21. SEKKUWA WATE YANA GONA WAGE - HARIYATA HARI.

    ReplyDelete
    Replies
    1. සෙක්කුව වටේ යන ඇනෝ අනී!

      Delete
  22. කකා, මා ඔබගේ මේ ලිපිය කලින් කියවූවා. ගොළු හදවත නොවේ මොන්ටිසෝරි කතාව. මේකේ දෙවෙනි කොටස "බඹා කෙටු හැටි" මට මතක විදිහට. ගොළු හදවතේ කතාව ඇත්ත ජීවිතයේදී වෙන්න පුළුවන් එකක්. එය මොන්ටිසෝරි වෙන්න පුළුවන්. නමුත් බඹා කොටලා තියෙන්නේ, ජයලත්ට ඕනේ විදිහට. ඒ විදිහට සිද්ධි ගලාගෙන යන්නේ නැහැ සැබෑ ජීවිතයේදී.

    ReplyDelete
    Replies
    1. ඩීබී කුරුප්පුගේ සෑන්දෑවට පායන හිරු පොතේත් මේ ගැණ සඳහන් වෙනවා!
      ඒඩී රංජිත් කුමාරත් ලියා තියෙනවා.

      Delete
    2. මගේ කතාවට තව ටිකක් එකතු කරන්න හිතුනා, නිහාල්ගේ ප්‍රතිචාරය දැකලා. මා ඩී බි කුරුප්පුගේ හෝ රංජිත්ගේ අර පොත් කියවලා නැහැ. එම සිතිවිල්ල ගොළු හදවත රස විඳලා ඉන් පස්සේ බඹා කෙටු හැටි බැලුවොත් පහල වෙනවා (පළමු පොත රස වින්දා නම්). ගොළු හදවත කියවත්දී මට චමත්කාරයක් දැනුනේ, එහි සිද්දි බලෙන් රින්ගපුවා නොවන නිසා. එදා තක්ෂිලාවේ හෝ ශ්‍රීපාලියේ මෙවැනි ආදර කතා ඕනේ තරම් තියෙන්න ඇති කියලා මා හිතනවා. ආදරයක් මිනිසුන් දෙදෙනෙකු තේරුම් ගත්ත හැටි තමයි ජයලත් විස්තර කරන්නේ. එය එහෙම උනේ ඇයිද කියල උත්තර බඳින්න නවකතා කරුවා සුදානම් විය යුතුද? ඒ කාරිය ජයලත්ට හෝ අනික් නවකතා කරුවන්ටත් අයිති කාරියක් නොවේ. පළමු ආදරය බිඳී (දෙමාපියන් විසි බිඳ දැමුව නිසා) ජීවිතේම බොන මනුස්සයෙකු ගැන මා දන්නවා. ඔහුට කළු ලේබල් බොන්න සල්ලි තියනවා (ඔහු බොන්නෙත් ඒවා). නමුත් ජිවිතේ නිකම් විනාශ කර ගත්තා. එහෙම කර ගත්තේ ඇයි? අපට ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න පුලුවන්ද? මා හිතන්නේ එය නිෂ්පල කාරියක්. ජයලත්ගේ මේ නව කතාවට එදා හිටපු විචාරකයෝ බැට දුන්න හින්ද තමයි, ජයලත් බඹා කෙටු හැටි ලියල සුගත්ගේ ජීවිතය /ෆිෂ්/ කළේ. එම කතාව සුදත්ව කරන්න ලියපු එකක් නිසා එහි පුදුම කෘතීම ගතියක් තිබුනා. අපේ ජිවිතේ එහෙම නැහෙනේ. සමහර වෙලාවට බොළඳ වැඩ කරනවා, සමහර වෙලාවට දුෂ්ට වැඩ කරනවා, තවත් සමහර වෙලාවට ගොඩක් හොඳ දේ කරනවා. මේ බොළඳ, දුෂ්ට හෝ හොඳ කියන සේරම සාපෙක්ෂයිනේ. නව කතා කරුවෙක් එය අපට විස්තර කලහම අප සේරම දෙනා එක විඳවන්නේ එකම ආකාරයකට නොවේ. සාහිත්‍ය විචාරය ප්‍රගුණ කළ කෙනෙකුට අප සමහරවිට නොදුටු පැත්තක් අපට පෙන්නලා දෙන්න පුළුවන්. මහාචාර්ය සුචරිත වගේ කෙනෙක් විචාරය කරන්නේ ඔහු අදහන මාක්ස්වාදී විචාර කෝණයෙන්. ඒත් මේ පොතෙන් මට චමත්කාරයක් දැනෙනවා නම්, ඔහුට උනත් කියන්න පුලුවන්ද, නෑ ඕක ජරා පොතක් කියල. මා රුකාන්තගේ ගීත රස විදින්න අමරදේව කියන කල් බලා හිටියේ නැහැ. මා ක්ලරන්ස්ගේ ගීත රස විඳින්න තිස්ස අබේසේකර කියල කල් බලා හිටියේ නැහැ. නමුත් මට මහාචාර්ය සුචරිත කියුවත් සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතා රසවිදින්න බැහැ. ඒ ඔහුගේ චරිත මේ ලෝකයට අයත් නොවන හුළගේ පාවෙන ඒවා නිසා (මා කියවන්න උත්සහ කරලා තියනවා). මේ විචාරකයන් අපේ සමහර දෙනාගේ හිත් වල හීනමානයක් ඇති කළා. ඉතින්, මේවා රස විඳපු කට්ටියත් ඒ බව පිළිගත්තේ නැහැ කියලා මා හිතනවා. එකයි අප අදත් කියන්නේ "ඕක කාලෝ ෆොන්සේකාටත්" එපා උන එකක්. කාලෝට එපා උනාට මට ඇති කාරිය මොකක්ද? මට නම් ජයලත් ගේ හොඳම කෘතිය ගොළු හදවත. තමන්ට ඕනේ එක කල්ලියක් විතරක් උඩ දාගෙන විචාරය කළ "විචාරකයන්" ජයලත්ගේ ප්‍රතිභාව කුරුවලු කළා කියලයි ඔහුගේ පසු කාලින කෘති කියවන විට මගේ සිතට නැගුනේ. මට මේ පොතෙන් ඔබට කිසි රසයක් දැනුනේ නැහැ කියන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ඔබ එය රස විඳින හැටි. ඒ හින්දාම මටත් දැනුනේ ඒ වගෙයි කියන්න මට ඕනේ කමක් නැහැ. හැබැයි ඔබ උනත් ප්රියානන්ද විජේසුන්දරගේ ප්‍රතිචාරය එදා අනික් අය දාපු ප්‍රතිචාරයට වඩා අගේ කරනවා. ඒක, එහෙම විය යුතුම නැහැ නේද?

      Delete
    3. පහත කොටස මේ වගේ වෙන්න ඕනේ
      "ජයලත්ගේ මේ නව කතාවට එදා හිටපු විචාරකයෝ බැට දුන්න හින්ද තමයි, ජයලත් බඹා කෙටු හැටි ලියල සුගත්ගේ ජීවිතය "fix" කළේ. එම කතාව සුදත්ව "resurrect" කරන්න ලියපු එකක් නිසා එහි පුදුම කෘතීම ගතියක් තිබුනා.

      Delete
  23. අනේ මංදා සූටිකාලෙ ලව්.....ඒ කාලෙ කොල්ලෙකුට කෙල්ලෙක් බැලුවත් ඇති...මාර ගටක් එන්නෙ..! හි.. හි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මොන්ටිසෝරි කියන්නේ.

      Delete
  24. ගොළු හදවත මම තාමත් නොකියවූ පොතක්..... ඒ පොත හොයාගන්න නැති එක නොවැ ප්‍රශ්නේ

    ReplyDelete
    Replies
    1. පුස්තකාලවල නැතිද?

      Delete
  25. කතන්දර වැනි පැසුනු අදහස් ඇත්තෙක් " ගොළු හදවත" මොන්ටිසෝරි ආදරයකට
    සමාන කලේ ඇයි ? ඒ කාලයේ හැටියට ඒ තමා නියම ආදරය කියන්නෙ. සුගත්ට
    රඟ පෑ වික්‍රම බෝගොඩ මගේ හිතවතෙක් .ඔහු ලංකා බැංකුවේ සේවය කළ
    ඉතා නිශ්ශබ්ද පුද්ගලයෙක්.මා උගත්තේ මිශ්‍ර පාසළක. බොහෝ විට මා පන්තියේ පළමුවැනියා.
    ප්‍රින්සිපල්ගෙ දුව හිටියෙත් මගේ පන්තියේ. සමහර විට එයා පළමුවැනියා වෙනවා.
    පන්තියෙ අනෙක් කොල්ලො අපේ නම් එකතු කර විහිළු කළා. ඒත් එය ටොෆි කොල, මුද්දර, පාට පින්තූර හුවමාරු කර ගැනීමකට එහා ගියේ නැහැ. එතකොට අපි හතේ පන්තියේ. ඊට පස්සෙ ටිකක් ලොකු උනාම.. මගේ එක පෙම්වතියකට අවුරුද්දක්ම කළේ , මා කෝච්චියේ පාසැල් යන විට ඇයට අත වැනීම පමණයි. ඇගේ නිවස තිබුණේ කෝච්චි පාර අද්දර. එතන සිග්නල් කණුවක් තියෙනවා. සමහරදාට සිග්නල් නැතුව ගියාම කෝච්චිය එතන නවතිනවා. එදාට ඇය නවකතා පොතක් අස්සෙ දාල ලියුමක් එවනවා. ඒ ඒ කාලෙ හැටි මිසක් ඒව " මොන්ටිසෝරි ආදරයක්" හැටියට විග්‍රහ කිරීම හරිද මන්ද ?.......

    ReplyDelete
    Replies
    1. මං මේ නවකතාව කියෙව්වේ එක පාරයි. ඒ කැම්පස් කාලේ. ඊට කලින් බඹා ඛෙටූ හැටි කියවා තිබුණා.

      නවකතාව කියවා ඉච්ඡාබංගත්වයට පත්වුණා. මොන්ටිසෝරි කිව්වේ බාලාංශ ප්‍රේමයටයි.

      ඇඩ්වාන්ස් ලෙවල් ප්‍රේමයක් එතන මට පෙණුනේ නෑ. කොටින්ම ඇයි අර තරම් සුගත් බොන්නේ කියාත් මට හිතාගන්න බැරිවුණුා!

      Delete
    2. මම හිතන්‍‍නෙ කතන්දරට එ‍‍හෙම උ‍‍නේ වයස එක්ක.

      මම ‍‍ගොළු හදවත ,වස්සාන සිහිනය , සුළඟ ව‍ගේ 3ම කි‍‍යෙව්‍‍වෙ අවු 16දි
      ඈනුමක් ගියත් ම‍‍නෝ ගහන කා‍ලෙ. ඒ හන්ද මට ඔය 3ම ‍හොඳට වැදුන

      හැබැයි එක ‍‍දෙයක් ඇත්ත. බඹා ‍‍කෙටූ හැටි බලල ඒක බැලුවහම ටිකක් අවුල් තමා

      Delete
  26. ගොළු හදවත කිසිසේත් බොළඳ නවකතාවක් නොවෙයි. කරුණාසේන ජයලත් කිසිසේත් බොළඳ නවකතා කරුවකු නොවෙයි. ඒ යුගයේ ජනප්‍රිය රැල්ලේ සිටි කුමාර කරුනාරත්නව කියවා තිබෙනවාද ඔබ. ඒ කාලයේ ('විසිතුර' පත්‍රය වගේ මතක) පුවත් පතක පළවුණා කොටස් වශයෙන් යන කතාවක්. කතාවේ නම 'ගිනිදැල්'. කතා නායකයා ජයදේව. ඔහු බස් රියදුරෙක්. (වාසනාවට ඒ කාලේ අද මෙන් තුප්පහි පුද්ගලික බස් රියදුරන් හිටියේ නැහැ) කතා නායිකාව අචලා නමැති පාසල් ශිෂ්‍යාවක්. (මේ කතාව පින්තූරද සහිතයි. ජයදේව රැලි ගැසුණු කොණ්ඩයක් (තරමක් දුරට විජය කුමාරතුංග ගේ වැනි, එකල ඔහු සිනමාවට ඇවිත් නැහැ) සුදු අත් දිග කමිසය, සුදු සරම, කළුපාට ඉන පටිය, සිහින් උඩු රැවුල. (මගේ මතකය නිවැරදිනම් ඒ ජයදේව ලෙස පෙනීසිටියේ අද මහා කලාකරුවකු වී සිටින ජයසිරි සේමගේ මහතා) මේ කතාව එකල පාසල් සිසුන් වූ අපි කියෙව්වේ හරිම පිස්සුවකින්. විශේෂයෙන් ශිෂ්‍යාවන්. මේ නිසා ලංගම රියදුරන් ජයදේවලා වෙන්නත් ශිෂ්‍යාවන් අචලා ලා වෙන්නත් උත්සාහ දැරූ බව නොරහසක්. (රූපවාහිනිය තිබුනේ නැහැ. ගුවන්විදුලි යන්ත්‍ර සීමා සහිතයි දුප්පත්කම නිසා) වැඩිහිටියෝ මේ කතාව මරාගෙන නොකෑවා විතරයි. ආදරයක් ස්පර්ශයෙන් මැනීම බොළඳයි. ආදරය සිතෙන් මනසින් ප්‍රකාශ කරමින් පවත්වාගෙන යාහැකි, වින්දනය කළහැකි, ආස්වාදය ලැබිය හැකි, උතුම් හැඟීමක්. විවාහයෙන් ඒ ආදරයේ කූටප්‍රාප්තිය ලඟා කරගතහොත් එතැන් පටන් ලැබෙන ස්පර්ශය විවාහයේ බැම්ම දැඩි කරනවා. අචලා සහ ජයදේව කිසි දිනක කායික ස්පර්ෂයකට ගියේ නැහැ. සුගත් හා දම්මි එක්වරක් පමණයි ස්පර්ශ්යකට ගියේ (ඉස්කෝලේ වැඩකට බඩු වගයක් අරන් එන්න දම්මිලාගේ ගෙදර ගිහින් එනගමන් රබර් වත්ත මැදින් එද්දී අතින් අල්ලාගෙන ඒම) අද කරුණාසේන ජයලත් තබා, වදරින් හයිට්ස් කියෙව්වත්, එදා ලැබූ පූර්ණ රසය නොවිඳිය හැක්කේ, ඒ යුගය, ඒ පරිසරය, ඒ සමාජ තත්වය, ඒ මානසිකත්වය, අද පරපුර සතුව නැති නිසයි. (වර්තමානයේ ඉපදීම අද පරපුරේ වරදක් නොවෙයි.) සෑම පැරණි කතාවක් සම්බන්ධයෙන්ම එවැනි කිසියම් සත්‍යයක් තිබෙනවා. සුනිල් එදිරිසිංහගේ පාරුපාලමෙන් ගීතය අද බොහෝදෙනා රස විඳින්නේ ඒ පරිසරය නොදැක සුනිලුන්ගේ ඇති මධුර මනෝහර කට හඬ සහ ඒ පදමාලාවේ තිබෙන චිත්තාකර්ශනීය බව නිසයි. නමුත් පාරු පාලම, ට්‍රෑම් කාර් එක, ගැල් වලින් ගමන් කිරීම, වැනි ඒ ගීතයේ සඳහන් යුගයේ සිටි කෙනෙක් එය කොතරම් ඉහලින් වින්දනය කරනවා ඇද්ද. ස්පර්ශයෙන් තොර ප්‍රේමයේ උතුම් බව වෙනම ලිපියකින් කිවයුතු දෙයක්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ගොළු හදවත බොළඳ නවකතාවක් යැයි මා කියා නැත. එම වචන කිහිපය එකම වාක්‍යයක හෝ සඳහන් නොවේ.

      මා කියා ඇත්තේ මෙයයි.

      1. අප කුඩා කල (මොන්ටිසෝරි සමයේ) හිතේ ඇතිවුණු ආදරයන් හුදු බොළද සිතුවිලිය. එහිදී අතින් ඇල්ීමක් හෝ සිදු නොවිණි.

      2. ගොළු හදවත ආදරය මොන්ටිසෝරි වර්ගයේ ආදරයි. ඒ වයස අනුව නොව හැසිරීම අනුවය.

      එය මට සිතුණු දෙයයි.

      එය මගේ දෘෂ්ඨි රාමුවට සාපේක්‍ෂය.

      හෙට (20 බදාදා) ලිපිය බලන්න.

      Delete
    2. විචාරක කියා ඈති දෙත් සමග සම්පුර්නයෙන්ම එකග වෙමි. මෙවෑනි පොතකින් කියවෙන දෙ ඈගට වදින්නෙ ඒ ඒ කාල වලදී අපේ සිත්වල ඈති හෑගීම් වල්ට අනුවයි. O/L A/L කාලවලදී ඉතා ආසවෙන් සුලග වගෙ අවිදින්, වස්සාන සිහිනය වගෙ පොත් කියෙව්වත්, අද අපි ඒවා ඒ මට්ටමින්ම රස විදියි කියල හිතන්න අමාරුයි. අර උඩ කමෙන්ට් එකක තිබබා වගෙ "අනුමක් ගියත් මනො ගහන" කාලයක හිටි අපිට ඒ පොත් වල තිබුන කතාව ඉහටත් උඩින්.

      Delete
  27. සමාවෙන්න..පරිණත බ්ලොග්කරුවාණෙනි..මා ඔබේ අදහස් හා එකග නොවන්නෙමි....
    ආදරය සැම විටම හර-බර වූවක් විය යුතුමද?
    කෙනෙක් සරලව ජීවතය දකිද්දී, තවෙකෙක් ජීවිතය ගැන ගැඹුරින් සිතයි..දෙදෙනාම කරන්නේ ජීවත් වීමය..සොබාදහමට මේ දෙදෙනාම සමානය..
    ආදරයද එසේමයි..එය මතු පිටින් බලා වර්ගීකරණය කළ නොහැකි අපූරු මිනිස් හැගීමකි...මනසෙහි ඉපදී හදවතට දැනෙන්නකි..එම දැනීමෙහි ස්වභාවය අනුව ජීවිතයේ ඉදිරිය පිළිබද තීරණ ගනියි..
    නොදුටු ආදරයක් වෙනුවෙන්..ප්‍රකාශිත නොවූ ආදරයක් වෙනුවෙන් ජීවත් වන... ජීවිතයේ හතරවන දශකය ඉක්මවූ සුගත්ලා, සුගත්මෙන් සිතන දම්මිලා මා හට කොතෙකුත් හමුවී තිබේ....ආදරයේ දැනෙන ස්වභාවය විසින් ඔවුන් තනිකඩයින් කර ඇත...ඔවුන්ගේ ආදරයට බර තැබීම අපට කළ හැකිද??
    71, 77, 83, 89 වැනි ආදරණීය හැගීම් මරා දැමූ හෝ වෙනස් කළ කාල වකවානුවකට පෙර බිහිවූ ගොළු හදවත නවකතාව කෙසේවත් බොළද ආදර කතාවක් නොවේ...( නොකිලිටි සමාජ පසුබිමක තරුණ සිත් ආදරය දකින අයුරු කතාවෙන් විග්‍රහ කෙරෙයි )
    කරුණාසේන ජයලත් මහතා ගොළු හදවතින් දක්නට ඇත්තේ තත්කාලීන සමාජ, සංස්කෘතික පරිසරය අනුව තීරණ ගැනීමට නොහැකි වූ අප්‍රකාශිත ආදරයක් පිළිබදවයි...ඔබතුමා එය ප්‍රාථමිකයටත් පහළ මොන්ටිසෝරි ගණයට දැමීමේ ඇමුණ අපැහැදිළිය....එසේ නම්, ඔබතුමා කියන අභිගමනීය මට්ටමෙන් ලියැවුනු ආදර කතාව කුමක්ද??? විරාගයද??

    ReplyDelete
    Replies
    1. ආ ... මේ දම්මිත් ඇවිත් තියෙන්නෙ. කෝ මේ සුගත් තාම නෑ නේ ..... :)

      Delete
    2. කකා ශූරීන් එයාගෙ ආදරේ මොන්ටිසෝරියි කිව්වා කියලා.. සුගතංට දුක හිතිලා..ඔන්න ගියා ආයි බාර් එක පැත්තේ...:P

      Delete
    3. @ දම්මී,
      මා කියූයේ මෙපමනයි.

      මං මේ පොත බැලුවේ විශ්ව විද්‍යාල කාලයේ. එතකොට මගේ හිතේ තිබුණු මහා ප්‍රතිරූපය බිඳිලා ඉච්ඡාබංගත්වයක් ඇතිවුණා.

      මගේ විචාරය මට සාපේක්‍ෂයි.

      මෙහෙම හිතන්න.

      මං කියුවේ මේක මොන්ටිසෝරි ආදරයක් කියලනේ. ඒකේ වරද කොහේද? මොන්ටිසෝරිවල ඉන්නේ මල් වැනි කුඩා ළමුන්. ඒ අය හරිම අහිංසකයි. බාහිර බෂවේව, දුර්මත, බොරු, පව් වලින් දූෂිත වෙලා නෑ.

      ඉතිං අන්න ඒ වගේ අහිංසක ආදරයක් තමයි මේ ගොලු හදවතේ මොන්ටිසෝරි ආදරේ!

      දැන් සතුටුද?

      හෙට 20 බදාදා ට පලවෙන කතන්දරයත් බලන්න.

      Delete
    4. දැන් සතුටුද.....???????

      හිහි....අර මොකොටෙයි??

      අනේ නෑ....මම කීවෙ මගෙ අදහස විතරයි මහත්මයා......

      Delete
  28. පමාවෙලානෙ මේ පැත්තට එන්ට ලැබුණේ, ඉක්මනට බැලුවා මොකක්ද මේ මොන්ටිසෝරි ආදරේ කියල.

    ගොළු හදවත, ආදණීය වස්සානය, සුළඟ වගේ ඇවිදින් පොත් 3ම කියවල තියෙනවා. ඒ ඒ කාලෙට ගැලපෙන ආදර කතා කියල මට නම් හිතෙන්නේ. දැන් කාලෙ තියෙන අද හම්බවෙලා, අදම හෝටලේකට යනා ආදර (කෑදර ) කතාවලට වඩා මට නම් මේ මොන්ටිසෝරි ආදරේ වටිනවා.අනේ මේ ගොළු හදවත කියවල නැති කට්ටිය ඒකත් කොහොම හරි කියවල බලන්න.

    // ඒ වුනාට අතින් අල්ලන්නෙත් නැති ලව නිකං ලුනු නැති හොද්දක් වගෙයි නේද? //

    ආදරේ කරන්න අතින් අල්ලගන්නම ඕනෙද ? ආදරයට රාගයත් එකතුවෙනවම තමා. ආදරයක් නැති රාගය නම් දැන් හරිම සුලබයි, ඒත් රාගයක් නැති ආදරයකුත් තියෙන්න පුලුවන් කියල මට නම් විශ්වාසයි.
    නන්දා මාලිනියගේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලියසේ අචින්ත්‍යයි සින්දුව අහල ඇතිනේ :-)

    ReplyDelete
  29. අද මට කමන්ට්ස් වැඩි ය කියවන්න කම්මැලි හිතුණා,..

    මගේ ජිවිතෙත් ඔය කියන ආදර කතා පැංචා කාලේ ඉදලාම තියනවා...
    මතක හැටියට 4රෙදි හරි 5හේදි හරි ගෑනු ළමයෙක්ට ලියුමක් ලියලා ගෙදරට මාට්ටු උනා

    ඒ කාලේ මම ස්කෝලේ ගියේ බාප්පගේ බයිසිකලේ නැගලා
    ඉතින් ලියුම අහුවුනේ අම්මා උදේ ස්කෝලේ යන්න කලින් පොත් බලද්දි
    උදේ පාන්දර බැනුම් ලෝකයි මට වස ලැජ්ජාව!
    බාප්පා ඉස්කෝලේ එක්කරන් යන ගමන් බනිනවා

    “අටෙන් පොත්තෙන් එන්න කලින් ලව් කරන්න හදනවා“

    ReplyDelete
    Replies
    1. “අටෙන්“නෙමෙයි “ඇටෙන්‘ පොඩ්ඩක් වැරදුණා

      Delete
    2. “ඇටෙන්“ කිව්වෙ? :)

      Delete
  30. අතීත සිද්දි ටිකක් මේක කිවනකොට හිත ගාව සෙල්ලම් දැම්මා........ ජය වේවා

    ReplyDelete
  31. කව්රු කව්රුත් එක පාරක් හරි මොන්ටිසෝරි ආදරේ කරනවා නෙවැ..

    ReplyDelete
  32. මම කියවපු නවකතා අතරින් කැමතිම නවකතාවක් තමයි ගොලු හදවත. ඒත් මට තාම හිතාගන්න බැරි සුගත් අහවල් දෙයක් හින්දද අච්චර බොන්න පටංගත්තෙ කියල

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් ගන්න නම් ඒ කාලේ කාට හරි සිරා ලව් කරලා බූට් එකක් කාලා තියෙන්නම ඕන . .

      Delete
  33. ඔය ඔක්කොටම වඩා වෙනස් අත්දැකීමක් පුංචි කාලේ ලවක් එක්ක බැඳිලා මට තියෙනවා. මම හය වසරේ ඉන්න කාලේ පහ වසරේ හිටපු දැරිවියෙක්ට කැමැත්තෙන් හිටියා. ඒක මොන්ටිසෝරි ලවකට වඩා ටිකක් එහාට ගිය එකක්. මොකද මම ඒ දැරිවිගේ අතින් අල්ලලා කම්මුල ඉඹල එහෙම තියෙනවා. (මේක උනේ දහම් පාසලේදී). අවරුදු දෙක තුනක් යද්දී අර ළමයාගේ වැඩිවියට පත්වීමත් සමග සිදුවන ශරීර වර්ධනයන් නිසා මට වඩා එයා උස ගියා. මම කොටයි එයාට වඩා කියලා මාව ඇත ඇරියා. සන්තෝසයි නේ...

    ReplyDelete
  34. මොන්ටිසෝරි අත්දැකීමක් මටත් තියෙනව..කොටින්ම කිව්වොත් දැන් මාත් එක්ක යාලු වෙලා ඉන්න,අපි දෙන්නගෙම පලවෙනි සම්බන්දෙ වෙන,අපේ ලව කෙසේ වෙතත් පුංචි කාලෙ ඉඳන්ම මං ගැන මොකක් හරි දෙයක් තිබුනලු.කොටින්ම කිව්වොත් මොන්ටිසෝරි කාලෙ ඉඳන් මාව දකින්න,කතා කරන්න ආසාවක් තිබ්බලු...මටනම් ඒ ගෑණු ළමය ගැන අදහසක් ආවෙ ආදරය කියන එක දේ දැනෙන හෙවත් ද්විතීක අහවල් ලක්ශණ පහල උන කාලෙ.කොහොම උනත් ඔය අතරින් පතර සිද්ද වෙච්ච දේවල් එක්ක මොන්ටිසෝරි ලව නොසලකා හරින්නත් බෑ..

    ReplyDelete
  35. Kathi, You are being a bit too cynical. These are Sirraaaahhhhhh books once upon a time. I agree with you on principal. However, South Asians are a bit more sentimental than the Europeans. Also, it was the time where telephones were inaccessible to normal people. no internet. There was no access to information. therefore, Golu hadavatha is a period piece. Has to be read in that context.

    ReplyDelete
  36. මට තේරුන හැටියට "කතන්දර" කියන්න හදන්නේ ආදරය කියන එක පරිණාමය වෙන සිද්ධියක් නම් :
    (හිනාවෙන > මුකුලුපාන > යාලු වෙමුද කියලා අහන > ලියුම් ලියන > අතින් අල්ලන > සිපගන්න > ෆිල්ම් එකකට යන > කාමරයට යන > බඳින හෝ නොබඳින....)
    ගොලු හදවත ඒ අවස්ථාවල මුල්ම හරියේ තිබිලා ගබ්සා වෙච්ච ආදර කලලයක්.

    ඒ හින්දාම ගොලු හදවත නරකයි කියලා "කතන්දර" කියලත් නෑ. කිව්වත් ඒක එහෙම වෙන්නෙත් නෑ. ඒකෙන් කියවෙන එකම දේ "කතන්දර" ඒ කතන්දරේට අකමැතියි කියන එක විතරයි. ඒකට "කතන්දර"ට පට්ට අයිතියක් තියෙනවා.

    ජයලත් 1960දි ඔය කතාව ලියනකොට ටියුෂන් තිබ්බෙ නෑ, ලංගම බස් විතරයි තිබුනේ, එෆ් එම් නෑ, මෙගා තියා ටීවි එකකවත් නෑ, මේ වගේ බ්ලොග් නෑ, පත්තර පොත් ගැහුවේ ගල් අච්චුවේ අකුරු අමුනලා, මොබයිල් තියා දන්න පැත්තකට ටෙලිෆෝන්වත් නෑ, ඒ කාලේ හින්දි ෆිල්ම් වල නිලියෝ අදවගේ ඇඳුම් නෙමෙයි ඇන්දේ, ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් වල අද තරම්ම සෙක්ස් තිබුනෙත් නෑ....

    ඒ ඔක්කොම දේවල් අදට වඩා අම්බානකට වෙනස් නම්, මෙතන ඉන්න කාටද කියන්න පුලුවන් ඒ කාලේ ආදරේ විතරක් වෙනස් නෑ කියලා...ඒ හින්දා වෙන්න ඇති මේ මොන්ටිසෝරි ආදරය ඒ කාලේ විතරක් නෙමේ ඊටත් දශක ගානක් යනකම් නැඟලා ගියේ. ඒකෙන් කියවෙන්නේ නෑ ඒක තමයි ලංකාවේ හොඳම ආදර කතාව කියලා. ඒකෙන් කියවෙන්නේ දහස් ගානක් කට්ටිය ගොලු හදවත ආසාවෙන් කියවේවා කියන එක විතරයි. ඒ දහස් ගානටත් "කතන්දර"ට වගේම පට්ට අයිතියක් තියෙනවා එහෙම රස විඳින්න. ඒ වගේම අර "කතන්දර"ට වෙනස් මතයක් පලකරපු පොරටත් ඒ වගේම අයිතියක් තියෙනවා ("කතන්දර"ට ඒ ගැන ප්‍රීතියක් ආවේ ඇයි කියලා නම් පැහැදිලි නෑ)

    අතින් ඇල්ලීම දෙන්නෙක් අතර ආදරයට අනිවාර්ය සාධකයක් නොවන අතර අතින් අල්ලන දෙන්නෙක් අතර මොන්ටිසෝරි වලට වඩා ඉහළ මට්ටමේ ආදරයක් තියෙනවා කියලා කියන්නත් බෑ.

    ඒ වගේම අවුරුදු 50තිස්සේ මිනිස්සු කතා කරන (හොඳ නරක දෙකම) පොතක් ලියන එකත් අමාරු වැඩක්.

    අවංකවම මම ගොඩාක් ආසයි "කතන්දර"ගේ වර්ගීකරණය අනුව විශ්ව විද්‍යාල මට්ටමේ තියෙන ආදරකතා මොනවද කියලා දැනගන්න (මේක උපහාසයක් නෙමේ ඇත්තටම දැනගන්න තියෙන ආශාවක්)

    ReplyDelete
  37. කස කසා ඇට දාල සරුවත් බිල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. කොකා කෝලා නොතිබුන කාලෙක තිබුන හොඳ රසක්
      කොකා කෝලා පමනක් බොන අයට දැනේද...?

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.