ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 31 October 2013
මෙන්න මෙහෙමයි එදා මං අනාගතේ ප්ලෑන් කෙරුවේ හෙවත් කිරි ඉහිරී යයි! - When I become the General Manager
මව් කිරෙන් ඇරුණ දා ඉඳලා අපි හැමෝම වගේ බොන්නේ කිරි පිටි නේ.
ඔය අතරේ දෙතුන් පාරක්, එක පාරකට මාස කීපය ගානේ එළකිරිත් බීලා තියෙනවා මං. ඒ අල්ලපු ගෙවල්වල එළදෙන්නු හිටිය වකවානුවලයි. එක පාරක් ලඟපාත ගෙදරක එළු දෙනක් පැටවෙක් දාපු කාලේ එළු කිරිත් බීලා තියෙනවා වගේ මතකයි.
නමුත් ජීවිතේ වැඩිකාලයක් බීලා තියෙන්නේ කිරිපිටි දියකරලායි.
අපි පොඩි කාලේ තිබුණු කිරිපිටි තේ වලට දාලා දිය කරන කොට කැට හැදෙනවා. කොච්චර හැඳි ගෑවත් ඒ සමහර කැට දියවෙන්නේ නෑ. ඒ කාලේ කිරි තේ හදලා ඉවර වෙලා පෙරන්නත් ඕනෑ මේ හින්දා.
මේ කිරිපිටි කැටි ගැගෙන එකට තිබුණු එක විසඳුමක් තමයි, තේ වතුරවලට කිරිපිටි දාන්නේ නැතුව කිරිපිරිවලට තේවතුර දාන එක.
ඕක ප්‍රගුණ කළ යුතු එක්තරා විදියක කලාවක්. මං ඉතා පොඩි කාලේම, ඒ කියන්නේ අවුරුදු දහයේ දී විතර ඔය කලාව ප්‍රගුණ කරන්න පටන් ගත්තා!
ඔන්න ඉස්සෙල්ලා කොප්පෙට සීනි හැඳි තුනක් විතරයි (පොඩි කාලේ එහෙම තමයි, දැන්නම් තේවලට සීනි දාන්නේ ඉතා අඩුවෙන්!), පිටි හැඳි දෙකක් විතරයි දානවා. ඊට පස්සේ ඒවා ඉතා හොඳින් මිශ්‍ර කරනවා.
මුලින්ම තේ වතුර දාන්නේ ඉතාම ස්වල්පයයි. ඒ දාපු ගමන් ඉතා තදින් හැඳිගාලා තලපයක් වගේ හදනවා. දැන් ටික ටික තේ වතුර එකතුකරමින් හැඳි ගාමින් තේ එක හදාගන්න ඕනෑ.
මේ ක්‍රමයෙන් කිරිපිටි දිය නොවී කැට හැදීම ඉතා හොඳින් වළක්වා ගන්න පුළුවනි.
නමුත් ප්‍රශ්නේ මෙන්න මේකයි.
අර කිරිපිටි සහ සීනි එකිනෙක මිශ්‍ර කළායින් පස්සේ මට ඒ මිශ්‍රනයෙන් ටිකක් කන්න හිතෙනවා. මේක මාර රහයි. ඉතිං, තවත් ටිකක් කන්න හිතෙනවා. අන්තිමේදී තේ හදන්න දා ගත්තු සීනි සහ කිරිපිටිවලින් බාගයක්ම කැවෙනවා.
මේ වැඩේට අපේ අම්මා හරි ම විරුද්ධයි!
නමුත් මට නං හිතෙන්නේ මුලින් කැවත් පස්සේ දියකරලා බිව්වත් කොහොම වුණත් බඩටනේ යන්නේ කියලයි.
එක දවසක් අපේ අම්මා ඔය සීනි-කිරිපිටි මිශ්‍රනය මං කනවා දැකලා මට හොඳටෝම බැන්නා.
මං ඇඬුම් අතරින්ම කිව්වේ මෙච්චරයි.
"ඉන්න, මං ලොකු වෙලා රස්සාවකට ගිහිල්ලා ඉස්සෙල්ලාම ගන්න පඩියෙන් සීනි රාත්තලකුයි, කිරිපිටි පැකට් එකකුයි ගෙනැල්ලා හොඳට අනලා කාගෙන කාගෙන යනවා!"
-කතන්දරකාරයා
ප/ලි:
ඒ දවස්වල සමහර කඩවල්වල තේ හදන්නේ ටිංකිරි දාලා. මේ තේ මාර රහයි. අපේ අම්මා ඉඳලා හිටලා කිරිටොෆී හදන්න ටිංකිරි ගෙනාපු දවසක හිස් ටින් එක හෝදාගෙන බිව්වොත් මිසක ගෙදරදී අපිට ටිංකිරි දාපු තේ බොන්න ලැබෙන්නේම නෑ.
මං ඒ දවස්වල කරපු තවත් ප්ලෑන් එකක් තමයි, ලොකු වුණාම ටිංකිරි තේ හදාගෙන බොන එක.
පොඩි කාලේ මේ වගේ ප්ලෑන් කළත් කවදාකවත් හරි නොගිය අනිත් දේවල් එක්ක ගත්තාම මේ කිරිපිටි-ටිංකිරි ප්ලෑන් ක්‍රියාත්මක කරන්න බැරිවීම නම් ඉතිං නතිං තමයි!
(image: http://www.whatsonyourwall.com/abstract-art-5/black-white-milk-drop-9166.htm)
Tuesday, 29 October 2013
පාලිත ලංකාගමගේ - අහෝ ඔබ කොහිද? :: My country, my car, my family, my petrol
විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ආස්සරේ කෙරුවේ එකම වර්ගයේ සෙට් එකක් නේ. කොටින්ම ඒ බොහෝ දෙනෙක් අනුකලනය දන්නා අය.
එතැනින් චුතවෙලා එක එක ජොබ් කරන කාලේ විවිධ ආකාරයේ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබුණා.
මං අර ගෑණු බොස් හෙවත් බොසී යටතේ දැහැමෙන් සෙමෙන් රැකියාව කරගෙන ඉන්න කාලේ ඔතන හිටිය එක පොරක් තමයි මේ පාලිත ලංකාගමගේ කියන්නේ.
අපි දෙන්නා වැඩ කෙරුවේ අංශ දෙකක නිසාත්, පොර මට වඩා අවුරුදු හයක් විතර ජ්‍යෙෂ්ඨ සේවකයෙකු නිසාත් රාජකාරී වෙලාවේදී අපි නිතර හමුවුණේ නෑ. පොර බැඳලා නිසා දවල්ට අපි තනිකඩයෝ බත්කාපු තැනට ආවෙත් නෑ.
මාසික ප්‍රගති විමර්ෂණ රැස්වීමේදී විතරයි නිතිපතා හමුවුණේ.
නමුත් ඉඳලා හිටලා දවසක තිබුණු පොඩි පාටි පොජ්ජකදී නම් පාලිත ලංකාගමගේ ව අනිවා මුණ ගැහුණා.
ඔය වගේ පොරව මුණ ගැහිලා හොඳට අඳුණා ගත්තු දවසක් තමයි අපේ මිස්සක රත්නපාල රට ගිය දවස.
මිස්සක ලංකාවේ ඉගෙන ගත්තු එකෙක් නොවෙයි, ඒරොප්පේ රටකට සිස්සස්සයක් හම්බවෙලා ගිහින් එහේ අවුරුදු පහක් විතර ගතකරලා උපාධි අරගෙන ඇවිත් ඒ වෙනකොට අවුරුදු ගාණක්ම මේ කොම්පැණියේ වැඩකරපු තවත් සීනියර් පොරක්.
මිස්සකයා එක පාරටම වගේ ප්‍රකාශ කළා ඔන්න ආපහු රට යනවාය කියලා, යන්නම යන්න, ජොබ් එකෙනුත් අස්වෙලා.
ඉතිං එහෙම නිකං යන්න දෙන්න බෑනේ!
ඔන්න අපි සංවිධානය කළා මහා පාටියක්.
අපේ තනිකඩ ලැයින් කාමරවල කුස්සිය කරපු සෝමපාලට බයිට් එකට මාලු බදින්න, චිකන් ඩෙවල් දාන්න සල්ලි දීලා, ටවුමට ගිහින් පරණ ඒවායින් තුන හතරක් ගෙනැල්ලා, නා කියාගෙන ඔන්න එක සිකුරාදාවක හවස අපි සෙට් වුණා.
මිස්සක රත්නපාල, පාලිත ලංකාගමගේ, කුසුම්සිරි ලියනගේ, අරූ, මූ වගේ කීප දෙනෙක්ම මේ ෆෙයාවෙල් සාදයට සහභාගී වුණා. එකක් කියන්න ඕනෑ අවුරුදු පහ හයක් සීනියර්, ජුනියර් වුණාට අපි එකිනෙකා අමතාගත්තේ නම්වලින් මිසක් අයියා-මල්ලී භාෂාවෙන් නම් නොවෙයි.
ඔන්න බෝතල් එකක් දෙකක් හිස්වෙන කොට, බැදපු මාලු, ඩෙවල් චිකන් දිසි පිටින් අතුරුදහන්වෙන කොට ටික ටික පාටිය උණුසුම් වුනා.
ඔය බයිට්වලට නම් වැඩියෙන්ම වග කිව්වේ අර සින්තටික් සිහින එකේ කේස් එකම තිබුණු අපේ වෙනත් යාළුවෙක්.
"මචං, මිස්සක, අයි විෂ් යූ ඕල් ද බැස්ට් මචං. යූ ගෝ ඇන්ඩ් හෑව් අ නයිස් ලයිෆ්. ඕක හොඳ රටක්. දැන් අපේ එවුන් කී දෙනෙක් නං ගියාද?"
පාලිත ලංකාගමගේ ටිකක් හැඟීම්බර වෙලා!
"ඔව් අර අවුරුදු දෙකකට කලින් ගිය එදිරිය මතකද? අන්න ඌ ඇවිත් ගියා ගිය මාසේ. පොර දැන් එහේ මාස්ටර්ස් එකක් කරනවාලු!" කවුදෝ කිව්වා.
"ඔව්, මචං, එහේ ගියොත් නං යූ විල් හෑව් සෝ මෙනි ඔපොචියුනිටීස්. හැබැයි මං නං කවදාකවත් මේ රට දාලා යන්නේ නෑ මචං, යු හැව් මයි වර්ඩ් ඔන් දැට්."
පාලිත ලංකාගමගේ තවත් ටිකක් හැඟීම්බර වෙලා!
"ඇයි බං මෙතන කඹුරලා ඇති පලක් තියේයැ, ගෙයක් හදාගන්න ලෝන් එකක් ගන්නත් කොච්චර අමාරුද?" ඒ කුසුම්සිරි. පොර මේ දවස්වල ගෙයක් හදන එක ගැනමයි කතාව.
"මං නං යන්නේම නෑ මචං පිටරට" ලංකාගමගේ නැවතත්. "උඹලා දන්නේ නෑ, අපේ පවුලේ සහෝදර සහෝදරියෝ හතරදෙනා කොච්චර ක්ලෝස් ද කියලා. අපි අතරේ තියෙන්නේ මචං පුදුමාකාර සහෝදර බැම්මක් පොඩි කාලේ ඉඳලාම. නන් ඔෆ් අස් විල් එවර් ලිව් දිස් කන්ට්‍රි ඕ ඊච් අදර්. අපි හතරදෙනා කවදාකවත් මේ රට දාලා යන්නේ නෑ."
පාලිත ලංකාගමගේ හොඳටෝම හැඟීම්බර වෙලා! මූ මේසෙට ගහපු පාර තව ඩිංගෙන් ඕල්ඩ් බෝතලේ බිම.
ඔය සිද්ධිය වෙලා දැන් සෑහෙන්න කල්. මාත් ඒ දවස්වලම වගේ හොඳ චරිත සහතිකයක් අරගෙන වෙන තිප්පොලක වැඩට ගියා. කාලෙකින් ඔය විවිධ චරිත ටික ටික මතකයේ යටට ගියා.
ඔන්න දැන් අවුරුදු පහ හයකට කලින් මට ඒ පරණ බජාර් එකේ පොරක් හදිසියේම වගේ හමුවුණා. ආගිය තොරතුරු, පරණ විස්තර හෙම කතා කර කර ඉන්න අතරේ පාලිත ලංකාගමගේ ගැනත් මතක්වුණා.
"දැන් පාලිතයා අතන ලොක්කෙක් වෙන්න ඇති නේද මචං? "
"මොන පිස්සුද බං, ඌ දැන් එතන නෑ."
"ඇයි වෙන කොම්පැනියකට ගියාද?"
"නෑ බං ඌ දැන් රටෙත් නෑ, උඹ ගිහින් අවුරුද්දකට විතර පස්සේ ඌ රට පැන්නානේ."
"ඈ, මොනවා? ඌ අර පාටිය දවසේ පොළොවේ අත ගහලා දිවුරුවා නේද රට යන්නේ නෑ කියලා."
"කාපු බීපු වෙලාවට කියන දේවල් නේ මචං, ඌ දැන් කැනඩාවේ හොඳින් ඉන්නවාය කියලයි ආරංචිය."
එහෙනං මුලු සහෝදර සමාගම ම රට යන්න ඇති, මට හිතුණා!
-කතන්දරකාරයා
ප/ලි
මෙය මා 2011 පෙබරවාරියේ දී ප්‍රසිද්ධ කළ "වෙන්ඩ කතන්දර සීයෙන්" එකකි.
මෙන්න පිටරට පැන්න අයගේ වැඩ ගැන වෙනත් කතන්දර දෙකක්.
1. දේශප්‍රිය පිටරට පනී!
http://kathandara.blogspot.com/2010/10/blog-post_16.html
2. ඕස්ට්‍රේලියාව ට පැන්න අපේ උං ගේ කවි - Australia : Sinhala Poetic Impressions
http://kathandara.blogspot.com/2011/07/australia-sinhala-poetic-impressions.html
(image: http://asikindigitalmedia.blogspot.com.au/)
Sunday, 27 October 2013
ෆේස් බුකියෙන් ඉගෙන ගත්තු වැඩක් මෙන්න බ්ලොග් ලෝකයට - Show and tell
ෆේස් බුකිය කියන්නේ සමාජ සම්බන්ධතා අළුත් කරගන්න, අමතක නොකර පවත්වාගෙන යන්න උදව්වෙන තැනක් වගේම, වෙන කරන්න වැඩක් නැති අයට කාලේ කන්න හොඳ තැනක්.
මව්බිම නැත්තං තොට මරණය කියන කෂ්ටිය, පැණි හැලිවල වැටුණු ඇඹලයෝ වගේම එතන සාහිත්‍යට ඇල්මක් තියෙන අයත් ඉන්නවා.
මේ කියන සාහිත්‍යකාරයොත් බොහෝ විට කරන්නේ තමන් ලඟ තියෙන පොතක ෆොටෝ එකක් දාලා, හා අපි දැන් මේ ගැන කතා කරමු කියන එකයි.
ලස්සන මල්, දියඇලි, දර්ශන පසුබිමේ තමන් ගේ ෆොටෝ අරගෙන ඒවා ලයික් කරන කං බලා ඉන්නවා වගේම මේකත් ජොලි වැඩක්.
මාත් මේ වැඩේට දැන් සම්මාදම් වෙලයි ඉන්නේ.
ඉතිං මට හිතුණා මේ සද්කාර්යය කතන්දර බ්ලොග් එකෙත් පටන් ගන්න.
මේකේ මුල් පියවර තමයි මං ලියපු "පොර ටෝක් දෙන කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ නින්දිත රහස් හෙළිවේ!" කියන කතන්දරේ. ඒක කියෝලා හුඟ දෙනෙක් වලිගේ පාගා ගත්තා.
මෙන්න අද කතාව.
මේ කියන කූප්‍රකට බ්ලොග්කාරයාගේ පොත් රාක්කේ තිබිලා මට තවත් අපූරු පොත් කිහිපයක්ම හමුවුණා.
මෙන්න ඒවා.
පරමේෂ්වරී සහ වෙනම රටක් - ලක්‍ෂ්මන් කොඩිතුවක්කු - සුරස - රු 225
ගමනක මුල - ගුණදාස අමරසේකර - විසිදුනු - රු 330
තාරකා විජිතය - ජගත් ජේ එදිරිසිංහ - දයාවංශ ජයකොඩි සමාගම - රු 280
අත්ත බිදෙයි පය බුරුලෙන් - ඒ වී සුරවීර - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ - රු 250
මුවලින්ද තාප්පය - ඊ ඒ ඩෝසන් ප්‍රීති - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ - රු 200
ඉස්කෝලෙ කාලේ - ජගත් ජේ එදිරිසිංහ - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ - රු 250
අතර මග - ගුණදාස අමරසේකර - විසිදුනු - රු 350
පේරාදෙණි ගුරුකුලය සහ ගුණදාස අමරසේකර - වින්තක රණසිංහ - සූරිය - රු 250
පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක - සරසවි - රු 450
ඉතිං මේ පොත් ටික අපේ බ්ලොග්කාරයා ගේ පොත් රාක්කයේ තිබීම මහ අරුමයක් නොවෙයි. හැබැයි තවත් පොඩ්ඩක් බලන කොට මෙන්න මට අහුවුණු හොරයක්.
තේරුණේ නැතිද? ඊට වඩා පැහැදිලියි මේකෙන්.
මේකෙන්.
මෙන්න තවත් සෙට් එකක්.
දැන් පැහැදිලි නේද?
අපේ මේ බ්ලොග්කාරයා එකම පොතෙන් කොපි දෙක දෙක අරගෙන.
මේ වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමලු.
ඔන්න පොර සෝබනේට හෙවත් ෂෝ එකට වගේ පොත් ගන්නවා. ආයෙත් පාරක් පොත් කඩේට ගියාම තවත් පොත් ගන්නවා. නමුත් පොරම දන්නේ නෑ, ඒ පොත් කලින් දවසේත් ගත්තා නේද කියලා.
එහෙම දැනගෙන ඉන්න පොත් කියවන එකෙක් වෙන්න එපායැ!
බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොණාට දෙන්නෙත් නෑ!
ඒ වගත් මෙසේම.
-කතන්දරකාරයා
ප/ලි:
ෆෙස් බුකියේ කෙසේ වෙතත් බ්ලොග් ලෝකයේ නම් සයිකෝපැත්ලත් ඉන්නවා. බුකියෙත් ඇති, තවම මට නං මුණ ගැසිලා නෑ!
කතන්දරකාරයා ගේ ෆේස් බුක් ගිනුමට තවත් මිතුරන් එකතුකරගත නොහැකි නිසා ඔන්න දැන් දෙවෙනි ගිනුමක් තියෙනවා.
https://www.facebook.com/kathandarakaraya2
Labels:
පොත්-කතන්දර
Friday, 25 October 2013
ජනක මිලාන් ගේ ජී ඇස් කිව් මැතමැටික්ස් - Know your (A) level
මේක මං අර අයිතිකාරයෝ ඉන්න අහවල් ඉස්කෝලේට යන කාලේ වෙච්ච පරණ කතාවක්.
අපේ දහයේ පන්තියේ කෂ්ටිය ඒ පන්තියෙන් එකොලහේ පන්තියට නිකම්ම වගේ පාස් වෙලා උසස් පෙළ කරන්න පටන් ගත්තා.
පොඩි අප්සැට් එකකට තිබුණේ එදා මා එක්ක එකට ඉස්කෝලේ දහයේ පන්තියට ජොයින් වුණු කොල්ලන්ගෙන් බාගයක් විතරක් මැත්ස් පන්තියට එද්දී ඉතුරු අය බයෝ පන්තිවලට ගිය එකයි.
මට අද වගේ මතකයි අපි තුන් මහල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ කෙලවරේ පන්තියේ ඉඳලා දෙකට බෙදිලා දෙමහල් ගොඩනැගිල්ලේ වෙනස් පන්ති දෙකකට ගිය හැටි.
මැත්ස් කරන්න පටන් ගත්තු ගමන්, දෛශික ද, සම්ප්‍රයුක්ත බල පද්ධති ද, වර්ගජ සමීකරණ ද, අරව ද, මේව ද යනාදී වශයෙන් කලින් අහලාවත් තිබුනේ නැති එක එක කෑලි ඇහෙද්දී මුළදී බයක් තමයි දැනුණේ.
ඒක හින්දා නිකමට වගේ මටත් හිතුණා ටියුෂන් පන්තියකට යන්න.
මං ගියේ ටියුෂන් ව්‍යාපාරයේ අගනුවර වෙන ගම්පහ තිබුණු ටියුෂන් ක්ලාස් එකකටයි.
මේ පන්තිය කෙරුවේ අපි ඉස්සර ඉඳලාම දන්නා ගුරුවරයෙක්. නමුත් පොර ඉස්කෝලෙක උසස් පෙළ පන්තිවලට උගන්වන ගුරුවරයෙක් නම් නොවෙයි. නමුත් ඉතිං ඒක මුළදී අපිට එච්චර ප්‍රශ්ණයක් වුනේ නෑ. හැබැයි මාස හය හතකින් විතර මං ඒ පන්තියෙන් හැලුණා!
මේ කාලේ වෙනකොට අපි අවකලනය සමතික්‍රමණය කරලා අනුකලනයටත් සම්ප්‍රාප්ත වෙලයි තිබුණේ.
ඔය අනුකලනය තියෙනවා නේද? ඕක එක විදියක බීස්ට් කෙනෙක්. ලේසියි කියලා පෙණුනට ලේසියෙන් ආම්බාං කරගන්න බෑ.
නමුත් අපේ පන්තියේ එක පොරක් හිටියා, නම ජනක මිලාන් කියමු, අයියෝ ඕවත් වැඩද කියන ආකරයෙන් හැසිරෙන. අපි මේ නිකං දෙකයි පනහේ අනුකලනය කරද්දී මූ පන්තියේ පස්සට වෙලා ඩබල් ඉන්ටිග්‍රේෂන් ද අරව ද මේව ද ගණං හදනවා ඕසෙට.
පස්සේ බැලින්නම් ඒ අමුතු ගණං මූ යන ටියුෂන් පන්තියේ සෑර් දුන්නු ඒවා.
"මේවා කොළඹ යුනිවසිටියේ ෆර්ස්ට් ඉයර් මැත්ස්වලට දෙන අනුකලනය ගණං!" ජනක මිලාන් අපිත් එක්ක ආඩම්බරෙන් කිව්වා. පොර ගේ ටියුෂන් ගුරා ඒ වෙන කොට කොළඹ විශ්ව විද්‍යාලයේ ෆයිනල් ඉයර් එකේ ශිෂයෙක්.
"උඹටත් ඔන්නම් ජොයින් වෙන්න පුළුවන්. සර් ඩබල් මැත්ස්, පිසික්ක්ස් විතරක් නෙමෙයි කෙමිස්ට්‍රිත් උගන්නනවා."
මටත් පොඩි ආසාවක් ඇති වුණා මේ පන්තියට යන්න. නමුත් සතියේ හැමදාම හවස තුනේ ඉඳලා හය වෙනකං පන්ති. ඒ මදිවට ගාණත් සැරයි. මොකද මේ ටියුෂන් පන්තියේ මේ වෙනකොට ඉන්නේ තුන් දෙනයි. මේක ගෲප් ක්ලාස් එකක්. ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන්.
ඉතිං ඒ හින්දා මං අර විස්ස විජ්ජාල අනුකලන ගණං ඉගෙන ගන්න තිබුණු ආසාව අතහැරියා.
කෙමිස්ට්‍රිවලට අවුරුදක් එක දිගට ක්ලාස් ගිහිං, ඒ මදිවාට තව මාස තුනක රිවිෂන් එකකට ගියත් මං අනිත් සබ්ජෙක්ට්ස්වලට එක දිගට ටියුෂන් ගියේ නෑ. ඔය තැනින් තැන එක එක ටොපික් එකක් අල්ල ගන්න ගියා මිසක.
ජනක මිලාන් දිගටම යුනිවසිටි ගණං හැදුවා. පියෝ මැත්ස්, ඇප්ලයිඩ් විතරක් නොවෙයි, පිසික්ස්, කෙමිස්ට්‍රි හෙමත් යුනිවසිටි ලෙවල් එකෙන් ඉගෙන ගන්න ඇති.
පොර හැමදාම පාසල් ආවත් පන්තියේ ගුරුවරු උගන්වන අතරේත් අර ටියුෂන් ක්ලාස් එකේ වැඩ තමයි වැඩියෙන් කෙරුවේ. ඔය අතරේ අපිටත් ඉඳලා හිටලා පොඩි කිණ්ඩියක් දානවා, අපි හිරවෙලා ඉන්න ගණං ගැන.
අපි හිතුවේ ජනක මිලාන් කෙලින්ම ඒ හතරක් අරගෙන කප් එක ගනියි කියලයි. නමුත් අන්තිමේදී විභාග ප්‍රතිපල ආවාම බැලින්නම් පොර යාන්තං ජාම් බේරාගෙන තිබුණා විතරයි.
මං හිතන්නේ වෙන්න ඇත්තේ මේකයි.
ජනක මිලාන් කැම්පස් ටියුට්ස් හදමින් හිටියා මිසක උසස් පෙළ විෂය නිර්දේශයට අඩංගු දේවල් ගැන වැඩි දැණුමක් තියෙන්න නැතුව ඇති.
කාර් එලවන්න පුළුවන් වුණු පළියට බයිසිකල් එකක් පදින්න බෑනේ.
පොරට විභාගෙන් වැලේ වැල් නැතිවෙන්න ඇත්තේ ඒකයි.
ඉස්කෝලෙන් පස්සේ අපි එහෙට මෙහෙට විසිරිලා ගියා නේ. එදායින් පස්සේ මං ජනක මිලාන් කොහේ ඉන්නවාද, මොනවා කරනවාද කියලා දන්නේ නෑ.
-කතන්දරකාරයා
(image: http://www.superbtutors.com/san-diego-math-tutoring.htm)
Wednesday, 23 October 2013
මේ ඇනෝනිමස් පාඨකයා ගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න - Any "Ask Aruni's" or "Aunt Agony's" out there?
කාලෙකට ඉස්සර මට මතකයි සන්ඩේ ඔබ්සවර් එකේ "ආස්ක් අරුණී" වගේ නමක් තියෙන කොලමක් ගියා. විවිධ සමාජීය සහ පුද්ගලික ප්‍රශ්න තියෙන අය මේ කොලම් එකට ඒ ප්‍රශ්නය කෙටියෙන් ලියලා යැව්වාම අරුණී ඒකට පිළිතුරක් දෙනවා.
මේ වගේ පාඨක ප්‍රශ්නවලට විසඳුම් දෙන කොලම් පස්සේ තරුණයා, කුමරී වගේ පත්තරවලත් ගියා. ඒ සමහර ඒවා නම් මට හිතුණේ පත්තරේ අයම ලියලා දානවාද මන්දා කියලයි.
මේ අරුණී ලා වගේ අයට සාමාන්‍යයෙන් කියන්නේ "ඇගනි ආන්ටිලා" කියලයි. ඒක මේ ආන්ටිලා කරන්නේ අනිත් අයගේ ප්‍රශ්න, අසහන, ආතතිවලට විසඳුම් හොයන දේ හින්දා පට බැඳුණු නමක්.
දැන් "ඇගනි ආන්ටිලා" පත්තරවල නැති හින්දා ද, පත්තරවලට වඩා බ්ලොග් කියවන හින්දාද මන්දා එක්තරා නිර්නාමික පාඨකයෙක් කතන්දර බ්ලොග් එකට ප්‍රශ්නයක් එවලා තියෙනවා.
මෙන්න ඒ ප්‍රශ්නය.
කකා, මම යාළුවෙලා ඉන්න කාන්තාව මට වඩා අවුරුදු 7 ක් වැඩිමහල්. එයා කලින් කසාද බැඳලා හිටියේ. ඒත් දැන් ඩිවෝස්.
මට නොසැහෙන්න වියදම් කරනවා එයා. අපේ පවුල ව්‍යාපාරික පවුලක්. සල්ලි තිබ්බට තාත්තා තමයි ඒවා පාලනය කරන්නේ. මගේ බිස්නස් තාම පොඩියට යන්නේ.
මම කැමතියි එයාව කසාද බදින්න කකා, ඒත් එයා කැමති නෑ ඒකට. එයා කියනවා මගේ පවුලේ අය කවදා හරි කියායි ලූ එයා මාව අල්ලා ගත්තා කියලා.
මට එයාව අමතක කරන්න බැහැ කකා. මම දන්නවා විද්‍යාත්මකව ගත්තොත් කාන්තාව ඉක්මනට වයසට යනවා කියලා, ඒ කියන්නේ එයා කොහොමත් මට වඩා වයස නිසා පස්සේ කලෙක අපි දෙන්නගේ වයස පරතරය සෑහෙන්න පෙනෙනවා කියන එකත් මම දන්නවා. තමන්ට වඩා තමුන්ගේ පිරිමියා තරුනව හිටියම කාන්තාව නොරිස්සුම් සහගත වෙන එකත් මම දන්නවා කකා.
ඒත් කකා මට දැන් මොකුත් හිතා ගන්න බැහැ. කකා පිළිතුරක් දෙන්න. මම මොකක්ද කරන්න ඕනි කියලා.
මට එයාව අමතක කරන්න බැහැ කකා.
අදාල නැති කොමෙන්ට් දැම්මට සමාවෙන්න. ඒත් ජිවිතයේ යන්තම් දශක දෙකක් ගෙවා ඇති මට මේ ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න කෙනෙක් නෑ කතන්දර.
මීට කලිනුත් මට මේ වගේ ප්‍රශ්ණයක් ඊ-මේල් එකකින් ඇවිත් තියෙනවා. හරියටම මේ ප්‍රශ්නයේ අනිත් පැත්ත. ඒකට නං මං පුද්ගලිකව උපදෙස් දීලා පිළිතුරක් ඇරියා.
නමුත් මේ ප්‍රශ්නය නිර්නාමික හින්දා මට හිතුනා බ්ලොග් එකේ පලකරලා, මගේ අදහස් වගේම මේක කියවන අනිත් අයගේත් අදහස් සහ අත්දැකීම් එකතුකරලා අපේ ඇනෝනිමස් පාඨකයාට කියවන්න සලස්වන්න.
කරුණාකර සංයමයෙන් ප්‍රතිචාර දක්වන්න.
-කතන්දරකාරයා
පසුව ලියමි.
(මෙය කමෙන්ටුවක් ලෙසින් ද දමා ඇත.)
මෙන්ම මගේ දෙකයි පනහ.
අවුරුදු විස්ස කියන්නේ නං කසාද බඳින්න කල් වැඩියි. මොකද ලව් කරමින් ඉන්නවා වගේ නොවෙයි කසාද බඳිනවා කියන්නේ. ඒක ලොකු වගකීමක් බාර ගැනීමක්.
වයස ප්‍රශ්ණේ ඉස්සර තිබුණාට දැන් ඒක කේස් එකක් නොවෙයි. අන්න සිරාගේ කාමරේත් මේ මාස තුනක කතාවක් නිසා මගුලක් කැබුණු කේස් එකක් දාලා තිබුණා.
පියදාස සිරිසේන ගේ පොතක තියෙනවා මිනිහකේ බඳින්න ඕනෑ තමන්ගේ වයස දෙකෙන් බෙදලා ඒකට හතක් එකතු කළාම එන වයස තිේරන ගෑණු කෙනෙක් කියලා. ඒ න්‍රිමයට අනුව මං බඳින්න තිබුණේ වයස දහ අටේ වෙන්ඩ කතන්දර හාමිනේ ට දාසය කාලේ. නමුත් මං බැන්දේ ඔන්න මෙන්න තිහේ දී.
වයස ප්‍රශ්නය වගේම තවත් කේස් එකක් තමයි බඳින්න යන කෙල්ල තමන්ට වඩා උසද මිටිද කියන එක.
ඒ එක්කම කෙල්ල තමන්ට වඩා උගත්ද නැත්ද කියන එකත් සමහරුන්ට ප්‍රශ්න.
මට නං හිතෙන්නේ ප්‍රශ්නයක් කියා තමන්ට හිතෙනවා නං ඒකම ඉතිං ප්‍රශ්නයක් තමයි!
(image: http://www.ekantipur.com/the-kathmandu-post/2010/04/08/Metro/Agony-Aunt/207003/)
Tuesday, 22 October 2013
වෙඩින් ගොයින් බයි අනුන් ගේ කාර් - What I would do, if I were you?
ඔන්න අපි යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු පහ හයකින් විතර අපේ බැචෙක්ගේ වෙඩිමකට මට ආරාධනාවක් ආවා.
මේ වෙනකොට අපේ බැචාලා තවත් දහ දොළොස් දෙනෙක් ම කසාද බැඳලා, සමහරු තාත්තලා බවට පරිවර්තනය වෙලාත් ඉවරයි.
මං අර පස්තාච්චි කුපාඩි වැඩවලට එහේ මෙහේ ගිහින් හිටිය හින්දා ඔය වෙඩිං ගොඩකට යන්න ලැබුණේ නෑ.
ඒ හින්දා, මේ වෙඩිම තිබුණේ දුර බැහැර පලාතක (මාතර කියමු) වුනත්, මේකට නොවරදවා යන්න ඕනෑ ය කියලා මං හිතා ගත්තා.
දුර බැහැරය කිව්වාට කොහේ වුනත් ලංකාව ඇතුලේ නේ. අනික අපි කොළඹ අවට හිටිය අයට තමයි ඔය දුර. ඒ පලාතේ හිටිය නං වෙඩිම අත ලඟ!
ඉතිං මං ප්ලෑන් කළා උදේම කොළඹ ගිහින් බස් එකක නැගලා මාතර අහ යන්න. පෝරුවේ නැකත තිබුණේ දහයකුත් ගාණටද කොහෙද?
කවදා හරි ඔය පෝරුව කියන අට්ටලමේ නගින්න වෙන හින්දා ඒ පෝරුවේ කරුමාන්තේ වෙන හැටිත් බලා කියා ගන්න මට ඕනෑකම තිබුණා.
ඔන්න වෙඩිමට සතියක් විතර තියලා මගේ වැඩපොළට ආවා කෝල් එකක් මගේ හොඳ මිතුරෙක් වෙන සෙත්සිරි ගෙන්.
"මචං, කතන්දරකාරයා, උඹ ෂෙල්ටා ගේ වෙඩිමට මාතර යනවාද?"
"ඔව් මචං යන්නයි හිතන් ඉන්නේ, උඹ යනවාද?"
"ඔව්, ඔව්, මාත් යනවා. මචං මං මගේ කාරෙකේ යන්නයි ඉන්නේ. උඹටත් එන්න පුළුවන්. අපි පෙට්‍රල්වලට යන ගාණ බෙදා ගම්මු."
මේ කාලේ වෙනකොට සෙත්සිරියා පොඩි පහේ ෆැක්ටරි මැනේජර් කෙනෙක්.
මංතුමා 6% තියා හුලංවත් නැති නිකම්ම නිකං ආණ්ඩුවේ ආධාර සහිත වැඩපොළක කඹුරණ අසරණයෙක්.
ඔය දවස්වල ලිටරේ තිස් පහයිද කොහෙද, ඒත් ඉතිං අපේ පඩිත් ඒ වගේම අඩුයිනේ!
සෙත්සිරියාට පෙට්‍රල් ගහන්න සල්ලි නැත්තං, මා ලඟ කොහෙන්ද ඒකට සල්ලි?
"මචං මං බස් එකේ ගිහින් එන්නයි හිතන් ඉන්නේ!" මං ෂේප් එකේ ෂේප් වුණා එහෙම කියලා.
ඒ කොහොම වුණත්, පහුවදාම තවත් මේ වගේ ෆැක්ටරියක මැනිජර්කමක් කරපු අපේ බැචෙක් වුණු බණ්ඩාර පොරට කොම්පැනියෙන් දීලා තිබුණු කාර් එක මේ මාතර ගමන යන්න ඉල්ලාගෙන මටත් ජොයින් වෙන්න කතා කළා.
හැබැයි බණ්ඩාර ප්ලෑන් කරගෙන හිටියේ මගුල් ගෙදර ගිහින් එතනින්ම බණ්ඩාරවෙල පොරගේ මහ ගෙදරත් යන්නයි. ඉතිං මට ගමණේ මුල් බාගෙට නොමිලේ ප්‍රවාහන සේවාවක් ලැබුණා!
බණ්ඩාර ගේ කාර් එකේ ෆුට් බෝඩ් එකේ නැගිලා ඔන්න මං වෙඩිමට ගියා. අපි ගිහින් ටික වෙලාවකින් සෙත්සිරිත් තම කුඩා පවුල සමග එතනට සම්ප්‍රාප්ත වුණා.
ඉතිං, පෝරුවේ සෙරමනියත් දැක බලාගෙන, පොඩ්ඩක් විතර සප්පායම් වෙලා, බත්, වටලප්පං හෙමත් කාලා ඔන්න අපිට ගෙදර යන්න වෙලාවත් ආවාය කියමුකෝ.
සමහර විට මගේ හිතේ කොණක තියෙන්න ඇති සෙත්සිරියා පොරගේ කාරෙකේ කොළඹ යන්න මට කතා කරාවිය කියලා සිතුවිල්ලක්. කෙළඹ ඉඳන් ආපු කාරෙක කොහොමටත් ආපහු යන්න එපායැ. අනික සෙතා යි වයිෆරෙයි විතරයි කාරෙක් ආවේ.
නමුත් ඒ සිතුවිල්ල තිබුණේ ඉතිං මගේ හිතේ නේ.
සෙත්සිරි ගේ හිතේ එහෙම සිතුවිල්ලක් තිබුණු බවක් පෙණුනේ නෑ.
පොරයි වයිෆරෙයි කාර් එකේ නැගිලා යන්න ගියා.
මං හෝටලේ ඉඳලා පයින්ම බස් නැවතුමට ගිහින් කොලඹ බස් එකක නැගලා ගෙදර ආවා.
මේ කතන්දරේ මතක් වෙච්ච වෙලාවේ ඉඳලාම මං කල්පනා කරන්නේ මං සෙත්සිරි නම්, මං මාතර ඉඳලා ආපහු ගමනට එන්න කියලා කතන්දරකාරයාට කතා කරනවා ද, නැති ද කියලායි!
-කතන්දරකාරයා
(image: insert URL here)
Sunday, 20 October 2013
හා, මෙන්න තවත් එකක් - Yet another one of those!
"ගෑණු විදියට හිතන්න පිරිමන්ට බැරිද?" කියන නමින් සිකුරාදා මං පලකරපු කයි-කතන්දරේට තරමක හොඳ ප්‍රතිචාර ලැබුණා. එහෙම හිතලා, "මම, මගේ, මට" භාෂාවෙන් කවි, කෙටිකතා, නවකතා ලියපු පිරිමි මං හිතුවට වැඩියේ ගොඩක් ඉන්න බවයි කතා බහෙන් පෙණුනේ.
මෙන්න තවත් කාන්තාවකගේ අත්දැකීමක් ගැන, කාන්තාවක් ගේ වචනවලින්ම ලියවුණු කවියක්. මේ කවියේ වස්තු බීජයෙන්ම මං මීට අමතරව වෙනත් නිර්මාණයකුත් කරලා තියෙනවා.
නොපිපි මල
තුන් මසක සිහිනයක් බොඳ වුනා
රතු ලෙයින් සිහිවටන
සිත පුරා ඉතිරි කර
නොපිපි මල් පොහොට්ටුව පරවුනා
ජීවිතය නැවතුනා
තෙවන වරටත් ලොවේ
කුරිරු බව පසක් කර
ජීවිතය නැවතුනා!
රුධිර බිදු එකින් එක එකතු කර
කුස පුරා කළලයක් සැදූයේ
මේ ලෙසින් දුක් සුසුම් හෙලන්නද?
සිහිනයක දුටු බිළිඳු රුව කෙදින
අනේ මා සැබෑ ලොව දකින්නද?
තව කොතෙක් කල් මෙලෙස තැවෙන්නද?
මගේ ඉරණම සදා කඳුළු බිඳු අතර දිවි ගෙවන්නද?
හෙට දිනේ යලිත් හිරු නැගේදෝ?
අඳුරු මා ලොව මිලින මල් අතර
සුදෝ සුදු රෝස මල පිපේ දෝ?
කඳුළු බිඳු මැකේ දෝ?
සුසුම් රුළි නැසේ දෝ?
උපදිනා ආත්මෙන් ආත්මෙට
මෙවැනි දුක් යලිත් ඇති නොවේ දෝ?
(මෙය 2006 දී පමණ ලියූවකි).
ඒ වගත් මෙසේම,
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න අර මේ හා සමාන අදහසක් තියෙන අනිත් නිර්මාණයට පාර.
http://kathandara.blogspot.com/2012/06/blog-post.html
(image: http://fineartamerica.com/featured/abstract-art-original-circle-painting-flaming-desire-by-madart-megan-duncanson.html)
Labels:
කයි-කතන්දර
Friday, 18 October 2013
ගෑණියෙක් විදියට හිතන්න පිරිමින්ට බැරිද? - Cross thinking!
සාමාන්‍යයෙන් පිරිමි ලියන කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිතය වෙන්නේ පිරිමි චරිතයක්මයි. විශේෂයෙන්ම ඒ නිර්මාණවල "මම, මා, මගේ" කියලා කියවෙනවා නම් ඒ පිරිමියෙක් කියන කතාවක්ම තමයි.
ඒ වගේම කාන්තාවන් විසින් ලියන ලද කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිත බොහෝ විට කාන්තා චරිතමයි. ඒවායේ "මම, මා, මගේ" කියලා ලියවෙනවා නම් ඒ කාන්තාවක් ගැනම තමයි.
මේකට හේතුව තමයි බොහෝ දෙනා ලියන්නේ තමන් ගේ අත්දැකීම් වීම.
මේ කතාවට ප්‍රතිවිරුද්ධ උදාහරණ නැතුවාම නොවෙයි.
මා කියවා නැති "පොදු පුරුෂයා" නවකතාව කාන්තාවක් පිරිමි ඇසින් ලියූ එකක් ය කියා මිතුරෙක් කිව්වා. මීට අමතරව ටෝල්ස්ටෝයිි ගේ මුල් කෘතියකුත් තියෙනවාලු ගැහැණු චරිතයක ප්‍රධාන කොට "මම, මා, මගේ" භාෂාවෙන් ලියවුණු.
ඔය සේරම කිව්වේ මෙන්න මේ කවියට හැඳින්වීමක් විදියටයි.
මේක පිරිමියෙක් විසින් ගැහැණියක ගේ අත්දැකීමක් ඒ ගැහැණු ඇසින් බලා "මම, මා, මගේ" භාෂාවෙන් ලියූ එකක්.
සමු ගැනුම
හිමි සඳුනි කිමද ඔබ
වෙනස් වී මේ ලෙසින?
තුන් වසක් පිරූ පෙම අමතකද?
විවාපත් වී පැමිණ
ඔබ සමග ගෙවාලූ
තුන් වසක යුග දිවිය අමතකද?
කිමද ඔබ මේ ලෙසින
මා පෙලන කාරණා?
උපන් බිම හැර දමා
දෙමව්පිය සහෝදර නෑසියන් හැර දමා
නුහුරු නුපුරුදු ලොවක
ඔබේ උණුසුම පතා
ආවෙමිය මා එදින!
මේ සීත සිසිරයේ
ඔබේ උණුසුම් සුවේ මට ඇවැසි මේ පැයේ
පාළු කුටියක අඳුර
පමණි මා නොතනියට
කොතැනකද ඔබ මෙදින?
සමභාහනාගාරයක පුරඟනක තුරුලේද?
පවිටු මිතුරන් සමග දාදු කැට කෙලියේද?
බමන දෙනෙතින් යුතුව මධුවිතක පතුලේද?
ඔබ පැමිනෙනා තෙක් නිවස වෙත
රුය පහන් වෙන තුරා නිදි වරමි
ඔබේ නළලත සිඹිමි
එකම වරයක් යදිමි
නොහැක මට තවත් දුක උහුලන්න
ඉතිං අවසර දෙන්න
මේ බැඳුම හැර යන්න
ඒ වගත් මෙසේම
-කතන්දරකාරයා
(image: http://www.newgrounds.com/art/view/zela/sayonara)
Labels:
කයි-කතන්දර
Wednesday, 16 October 2013
භීෂණයේ මල් පෝච්චි අතර සැඟව ගිය දයාබර මාරේ - No place for Mr Sensitive in this cruel world?
අපේ තාත්තා මං පුංචි කාලේ ඉඳලාම මට මතක සැර පරුෂ පුද්ගලයෙක් විදියටයි. මටයි මල්ලිලා දෙන්නටයි ගෙදරදී වැඩිය කෑ ගහන්න දුන්නේවත් නෑ. නිතරම නොවුණත් ඉඳහිට හෝ අපි ගුටි කාලාත් තියෙනවා.
ඔහොම අවුරුදු ගාණක් ගතවෙලා අපි පොරවල් වුණාට පස්සේ කාලේ එක දවසක් මං දැක්කා අපේ තාත්තා අඬනවා. ඒ ලොකු කේස් එකකට නොවෙයි, මේ ටෙලිවිෂන් එකේ ගිය කතාවක් බලමින් ඉන්න අතරේ. කතාවේ සංවේදී කෑල්ලකට තාත්තාට දුක හිතිලා!
ඒ දවස්වල මං අසාධාරණය දැකලා කේන්තියෙන් පිපිරුණාට, දුක දැනිලා අඬලා නෑ.
පස්සේ ටික ටික තත්වය වෙනස් වුණා. මට මතකයි පිරවී කියන ඉන්දියානු චිත්‍රපටිය, පුරහඳ කළුවර වගේ එකක්, බලන කොට මට කඳුළු ආපු හැටි. ඒ තාත්තා කෙනෙක් පුතෙක් ගැණ දුක් වෙන හැටි දැකලයි!
දැන් නම් තත්වය ඊටත් වඩා දරුණුයි. හිත සංවේදී වුණාම ඇහැට කඳුළු එනවා. ඇඬෙනවා. විශේෂයෙන්ම දෙමව්පියෝ ගැන සඳහන්වෙන කතන්දර අහන කොට, චිත්‍රපටි බලනකොට. ඒ එක්කම දරුවෝ ගැන, යුද්ධවලින් මිය යන අය ගැන විස්තර ආරංචි වෙන කොට තමයි මේ සිදුවීම වැඩියෙන්ම වෙන්නේ.
හිතේ කේන්තිය, වේදනවා හිරකරගෙන ඉන්නවාට වඩා දුක් වී කඳුලක් හෙලා ඒ පීඩනය මුදා හැරීම මානසික සෞඛ්‍යයට වගේම ශාරීරික සෞඛ්‍යටත් හොඳ බව මා අසා තියෙනවා.
ඔය සේරම මතක් වුනේ මෙන්න මේ හින්දායි.
තිලක සිත කියන බ්ලොග් එක කියවලා තියෙනවාද?
මේ බ්ලොග් එක ගැන දැන් සතියකට දෙකකට කලින් කවුදෝ මට කියා තිබුණාට නිදහසේ කියවන්න ලැබුණේ ඊයේයි.
තිලකසිරි ඒකනායක ලියන ඒ බ්ලොග් එකේ පලවෙලා තියෙන "දයාබර මාරේ!" කියන කතාව කියවන විට මගේ දෙනෙත් තෙත් වුණා.
හරිම සංවේදී කතාවක්. සමහර විට ලංකාවේ ලක්‍ෂ ගණනාවක මේ වගේ කතන්දර අතරේ මේක තවත් එක් කතන්දරයක් පමණයි, සරල අත්දැකීමක් පමණයි කියලා කෙනෙකුට පේන්නත් පුළුවන්. ඒත් ඒ කතාව ලියා තිබුණු විලාශය අපූරුයි. හරියට අපේ ම අත්දැකීමක් ඒ මොහොතේම අත්විඳිනවා වගෙයි මට නම් දැණුනේ. සමහර විට ඒ පරිසරය මටත් හුරුපුරුදු එකක් නිසා සංවේදීබව වැඩි වෙන්නත් ඇති.
තිලකසිරි ලියා පලකර තියෙන "භීෂණයේ මල් පෝච්චි" කියන කෙටිකතාවත් ඉතා හොඳ නිර්මාණයක්. හරියටම ලියනගේ අමරකීර්ති ලියූ "අර මිහිරි සීනු නාදය" කියන කෙටිකතාව කියවීමෙන් මා ලැබූ කම්පනයට ඉතා සමීප හැඟීමක් තමයි මට මේ නිර්මාණය කියවීමෙන් ලැබුණේ.
තිලක සිත බ්ලොගයේ තියෙන අනිත් කතා විසි ගණන අතරත් ඉතා සංවේදී මෙන්ම හොඳ වින්දනයක් ගෙන දෙන කතා විශාල ප්‍රමාණයක් තියෙනවා. බාබර් උන්නැහේ ගේ කතාව, ගුරු තරුව, යවුල ගස සත්‍ය අත්දැකීම් මත තිලකසිරි ලියූ මා සිත් ගත් තවත් කතා කීපයක්.
වෘත්තියෙන් මැවිසුරුවෙක් වුණාට තිලකසිරි කාලයක් පත්තරේකත් වැඩ කළාය කියා මා ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ලියා තිබුණා. මං හිතන්නේ විදුසරේ විය යුතුයි.
මේ බ්ලොග්කරුවා ගේ සිතේ තවත් මේ වැනි කතා රාශියක්ම සිරවී තියෙන බව පැහැදිලියි. ඒ සියල්ල අනාගතයේ දී කියවීමටයි මා හිතාගෙන ඉන්නේ.
මෙන්න තිලක සිත බ්ලොගයට පාර නැවතත්.
http://thilakasitha.blogspot.com/
-කතන්දරකාරයා