Wednesday 7 November 2012

ඔබාමා පෙන්ටගන් එකේ ලොකු පුටුව තමන් ගේ මල්ලීට දුන්නාද? - A page from my January 2009 Diary


එදා 2008 ඡන්දෙන් දිනපු ඔබාමා 2009 ජනවාරියේ දිවුරුම් දුන්නු දවසේ මං ඒ ගැන කයි කීපයක් ලිව්වා.

අද පොර ආපහු දිනපු බව ඇහුණු වෙලේ ඒ කවි ටික නැවත පාරක් කියවන්න හිතුණා. මේවා ලියලා ටික දවසකට පස්සේ ලැබුණ ඉල්ලීමකට අනුව කැනඩාවේ සඟරාවක පලකරන්න යවපු වෙලේ කත්තුරු ලා බය වෙලා පොඩ්ඩක් සැන්සර් කළා. ඒ කතන්දරේට ලින්ක් එකක් යටින් දාලා ඇති.

ඊට කලින් මෙන්න කවි ටික.

ඔබාමා චූන් එකෙන් ඔබ්බට

ඔබමා බරක් එක්සත් ජනපදයේ
ජනපති විලස දිවුරුම් දුන් අද දිනයේ
නෙත නැගි තුටු කඳුළු පිස දා ලහි ලහියේ
මේ කවි ලියමි හිරු නැග එන හිමිදිරියේ

වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී

බලයට එන්න පෙර නිදහස භාෂණයේ
පරමාදර්ශයයි මැතිඳුගෙ චින්තනයේ
තම පණ වුවද දෙන්නයි සැරසී සිටියේ
අමතක වේ ද බලයට පත් වූ හැටියේ

ෆොක්ස් ටෙලිවිෂනයට ගින්දර තැබේවි ද
වොෂින්ටන් පෝස්ට් කතුවර මැරේවි ද
අල්-කයිඩා ව ගැන ලිපියක් ලියන ලද
උප කතුවරුන් හෙට සිරගෙට වැටේවි ද

වදකාගාර ගන්තනමෝ බටලන්ද
වැලලු මිනී අබු-ග්‍රේ සූරියකන්ද
දැම්මත් බලය ගන්නට පෙර මහ සද්ද
කොමිසන් වාර්තාවට සීමා වෙද්ද

සේරු අටක් ඇට හැම ගෙට එවන්නට
නැති බැරි පිරිස ඇති හැකි අය කරන්නට
සමුර්දියක් ජන-සවියක් දෙවන්නට
දුන් සැම පොරොන්දුව අමතක වේද හෙට

බුෂ් ගේ ප්‍රජා අයිතිය හෙට නිමවේද
රට හැම තැනම පෑ තැටි ඉඳි කරවේද
චෞර රජා ලෙස හොඳ නම හිමිවේද
පෙන්ටගනයෙ ජොබ් එක මල්ලිට යා ද

විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ


(ජනවාරි 2009)

මෙන්න උඩින් කියපු කතාවට ලින්ක් එක.
http://kathandara.blogspot.com.au/2011/03/kathandara-kaaraya-learns-lesson-again.html

-කතන්දරකාරයා

ප/ලි
ඇමරිකන් ජනාධිපතිවරණය ගැන ඇහෙන කොට මට මතක් වෙන්නේම අපේ අංකල් කෙනෙක්. ඒ ගැන ලියන්න ගිහින් මං නාගත්තු හැටි මෙතනින් කියවන්න.

අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!
http://kathandara.blogspot.com.au/2012/08/to-aruni-shapiro-with-love.html


20 comments:

  1. පට්ට! ආයෙ කියන්න දෙයක් නෑ මෙන්න මේවනේ කයි කතන්දර කියන්නෙ!

    ReplyDelete
  2. 2016 නම් ඕක ආපහු දාන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
  3. නියම කවියක්.. ගිය අවුරුදු හතරෙ නම් ඔබාම මේ වගේ වෙනස් උනේ නෑ. සමහර රටවල ඔබාමල කරන්නෙ දිනපු ගමන් ජීවිත කාලෙම රජ වෙන්න පුලුවන් විදිහට හැමදෙයක්ම හදා ගන්න එකනෙ.

    ReplyDelete
  4. මේ දැන් ඔබාමාගේ කතාව අහගෙන හිටපු වෙලාවේ මට හිතුනේ ඇමරිකන් කාරයෝ තමන්ගේ ජාතිය ගැන මොන තරම් ආඩම්බරද කියලා. ඒ ජාතියට රටේ හැම මිනිහෙක්ම අයිති වෙනවා. කලු මිනිහෙකුට ජනාධිපතිවෙන්ට පුලුවන් එකම බටහිර රට ඇමරිකාව. ගියවර ඔහු දිනද්දි අපි හිටියේ එහේ. ඒත් එම රටේ කෙනෙකුට තිබුනු උනන්දුවම අපෙත් තිබුනා ඔබාමා දිනවන්ට.:)

    අනෙක බලය හිමි උනු හා අහිමි උනු අය එක්කම රට වැසියන්ගේ හැසිරීමත් විශිෂ්ටයි. හිතෙන් පොඩි සංසන්දනයකුත් සිදු උනා ඉබේටම.

    කවි ටිකත් හරිම අපූරුයි.

    ReplyDelete
  5. කතන්දර තුමා ඔබාමටත් නිකන් ඉන්ඩ දීලා නෑ. ඔබාමාටත් කවි ලියලා.
    ගින්දර කවි සෙට් එක !

    ReplyDelete
  6. පස්ට කවි සෙට් එක!

    ReplyDelete
  7. මේ පාරත් ඔන්න එයාමයි ආවෙ. නියම කවි ටික කාකා.

    ReplyDelete
  8. ඔබාමා දිනපු එකනම් ඇත්තටම හොදයි ,ප්‍රයෝගික නායකයෙක්

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්, කප්පරකට ලොකු කතා කියල පරණ විදිහටම වැඩ කරගෙන් යනවා. ගුවන්ටනමො වහනව කියල, Obama Care කො කෙරුවද? මොනව නැතත් නොබෙල් සාම තැග්ගෙ ගෞරවය තිබ්බා, Drone Attack වැඩි කරලා. අපේ ලොක්ක ඔයිටවඩා ප්‍රායෝගිකයි!

      Delete
  9. අද නම් නියම කයියක්..

    ඔබාමා නම් හිතපු තරම් පෙරළියක් කළේ නෑ කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
  10. ආපහු දාපු එක හොඳයි. 2009 දී මම හිටියේ බ්ලොග් වලට ගන්දබ්බ අවදියක.

    ReplyDelete
  11. දිනලා දෙවෙනි පාරත් ජනපතිවරනේ
    ඉන්නා කලට අපෙ හිතවත් ඔබාමා
    පලවෙනි දිනුම ලැබුදා ලිවු කයි පේලි
    ආයෙත් පලකොරල නොවැ අපෙ කතන්දර....

    කලින් පොරොන්දුව මේ පාරත් දීම
    දේසපාලනෙදි නම් අරුමයක් නැතී
    ඉතිහාසය නැවත නැවත සිදුවීම
    බොග් ලෝකෙටත් බලපානා හැඩයි ඕං....

    ReplyDelete
  12. අරුණි ශපීරෝ නෝනට නම් හරියට රිදිල තිබුණේ. රොම්නිගෙ ගෑනිට වත් රිදෙන්න නැතිව ඇති ඒ තරම් තමන්ගෙ මිනිහ පැරදුණා කියලා.

    ReplyDelete
    Replies
    1. විහිලු කරන්න එපා බං... ගිහින් අරුණිගෙ බ්ලොගේ කියවලා බලපං අරුණි කාටද සපෝට් කියල...

      Delete
    2. අරුණිගේ බ්ලොගේ කියවලා තමයි ආවේ. නාහෙන් අඬලා තිබුණ හැටි දැකලා දුක හිතුණා. ඔය "මම නිවහල්" කියන කතා එච්චර සීරියස් ගන්න එපා. එයාගේ රෙපබ්ලිකන් ආලය කාටවත් රහසක් නෙවෙයි.

      Delete
  13. PISSU NATHNAM HONDAI.

    ReplyDelete
  14. මෙන්න විචාර..... එලම කිරි මල්ලිට දෙන එකක් නැහැ මොකද ඔබාමා මැද මූළන පොරක් නොවන නිසා.

    ReplyDelete
  15. හදවතින්ම,
    සුබ පැතුම් බැරැක් ඔබාමාට..
    විනෝදකාමී මිනිසෙක්..
    www.srisararadio.com

    ReplyDelete
  16. එලම කයිය, කථන්දර ලොක්කා.......

    ReplyDelete
  17. මෙන්න මේ වගේ සරල කවි මිනිස්සු අතරට යනව නම් හොදයි කියල මට හිතෙනවා... ඉස්සර කාලෙ කවි කොල ගමින් ගමට, පොලෙන් පොලට කියෙව්ව වගේ... කැලෑ පත්තර ගම පුරා ඇලෙව්ව වගේ...

    හැබැයි ඉතින් ඒ වැඩේ සුදු වෑන් එකකට ආරාධනාවක් වගේ වෙන්නත් බැරි නැහැ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.