Saturday, 14 September 2013

ජේ.වී.පී. කාලේ ඕස්ට්‍රේලියාවට පැන්න ජෙප්පෙක්, පොලිස්කාරයෙක්, පිම්පියෙක්, කෙල්ලෙක් (සහ කොල්ලෙක්) ගේ කතාවක් - Asura Adaviya by Jagath J Edirisinghe


දැන් කාලෙක ඉඳලා ලංකාවෙන් මිනිස්සු බෝට්ටුවල නැගිලා ඕස්ට්‍රේලියාවට පලා යනවා සරණාගතයින් විදියට. මේ අයගෙන් බහුතරයක් දෙමළ මිනිස්සු.

තමන් ගේ ජීවිතය උගස් කරලා එහෙම අවදානම් ගමනක් යන්න හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ?

දැන් අවුරුදු විසි ගාණකට කලින් ජේවීපී කලබල කාලේ මේ වගේ ඕස්ට්‍රේලියාවට සරණාගතයින් විදියට ගිහින් තියෙන්නේ බහුතරයක් සිංහල මිනිස්සු. ඒ අය ගිහින් තියෙන්නේ අද යන අය වගේ ජීවිතය පරදුවට තියලා බෝට්ටුවල නැගිලා නොවෙයි. බොහෝ විට ප්ලේන් එකේමයි.

ඒ විදියට සරණාගයින් ලෙස ඕස්ට්‍රේලියාව පැන්න චරිත කීපයක් වටා ගෙතුණු නවකතාවක් මට කියවන්න ලැබුණා මීට අවුරුදු හයකට විතර කලින්.

මෙන්න ඒ ගැන සඟරාවක පළවුණු විචාරයක් මං සාහිත්‍ය මාසය වෙනුවෙන් පළකරන පොත්-කතන්දරයක් විදියට.


ජීවිතය ගීතයක් යැයි සමහරු කියති. නමුත් වඩාත් පුළුල් ලෙස අර්ථ දැක්වුවහොත් ජීවිතය මහා සංගීත සංධ්වනියක් හෝ ගීතමය ඔපෙරාවක් යැයි පැවසීම වඩා උචිත වෙනු ඇතැයි මම සිතමි. මේ සංගීත සංධ්වනියේ, අනිවාර්්‍යයෙන් ම පියකරු මෙන්ම බියකරු සංගීත අනුඛණ්ඩ ද, සිතට සතුට දනවන මෙන්ම හදවත දුකට පත් කරවන සංගීත අනුඛණ්ඩ ද, දෙතොලට හසරැල් නංවන මෙන්ම නෙතඟට කඳුලැලි නංවන සංගීත අනුඛණ්ඩ ද, අඩු වැඩි ආකාරයෙන් අඩංගු වී ඇත.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන, පුවත්පත් කලාවේදියෙකු, කවියෙකු, ගීත රචකයෙකු මෙන්ම ගුවන් විදුලි ශිල්පියෙකු ද වන ජගත් ජේ එදිරිසිංහ ගේ අසුර අඩවිය නවකතාව ඉහත සඳහන් ආකාරයේ ජීවිතය පිළිබඳ ගැයෙන සංගීතමය සංධ්වනියක් මෙන් යැයි මට සිතේ. සමහරවිට මෙහි වැඩි වශයෙන් දුක්බර සංගීත අනුඛණ්ඩ අඩංගු වෙනවා විය හැක. එහෙත් මෙම නවකතාව හුදෙක් ම දුක සහ පරාජය දනවන්නක් නොවේ. නවකතාව අවසාන වෙන්නේ පාඨකයා තුළ බලාපොරෙත්තු, අධිෂ්ඨානය සහ සැනසුමක් ද ඉතුරු කරමිනි.

අසුර අඩවිය ගෙතී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට විවිධ හේතු නිසා ඕස්ට්‍රේලියාවට පැමිණ අනේකවිධ කරදර බාධක මැද ජීවිතය ගෙවන පස් දෙනෙකු වටායි. මින් එක් අයෙක් වන සුරංග, නිරපරාදේ පහර දීමකට ලක් වී, දිගු කලක් තිස්සේ රෝහලේ සිහි විරහිතව සිටී. ඔහුගේ මිතුරා වූ සුසන්තත්, ඉහත පහර දීමට මූලික හේතුව වූ කුමාරිත් අතර ඇතිවන, එක්තරා ආකාරයක දුරස්තර වූ පෙම් කතාව අසුර අඩවියේ ප්‍රධාන පුවතයි. පහර දීම සිදුකළ හේමන්ත නමැති මැරයාත්, මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන තරමක වැඩිහිටියෙකු වන වීරසේකරත් මෙහි අනෙකුත් චරිත වේ. කතාව අවසාන වන්නේ සුරංග ගේ මරණයත්, හේමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට පත්වීමත්, කුමාරි ආගමන දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීමට ලක්වීමත් සමගය.

මේ නවකතාවේ සුවිශේෂ වැදගත්කම නම් එහි ප්‍රධාන කතා පුවතට යටින් විහිදෙන ගැඹුරු සමාජමය දෘෂ්ටියයි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු දෙකක් පමණක් විස්තර කර ගැනීමට මම මෙය අවස්ථාව කර ගනිමි.

අප බොහෝ දෙනෙකුට ක්‍රමයෙන් අමතක වී යන්නාවූ, එසේත් නැත්නම් අද පවතින විවිධ දේශපාලන අවශ්‍යතාවයන් මත අමතක කර දැමීමට උත්සාහ කරන්නාවූ, එක් දෙයක් වන්නේ 1987/89 කාලයේ ශ්‍රී ලංකාවේ පැවති භීම සමයයි. තමන් ගේ මතවාදයන් ට වෙනස් වූ මත දරන පිරිස් නුරුස්සීමේ ක්‍රියාවලියේ අන්තයටම යමින් 1986 දෙසැම්බරයේ කොළඹ සරසවියේ දයා පතිරණ මරා දැමීමෙන් ඇරඹුණ ම්ලේච්ඡ සටන, සත්‍යපාල වන්නිගම, විජේදාස ලියනාරච්චි, විජය කුමාරණතුංග, තී්‍රමා විතාන යනාදී ඝාතන හරහා තරුණ ජීවිත දස දහස් ගණනක් විනාශ කරමින් ඇදී ගියේය. ඒ දිනවල ශී්‍ර ලංකාවේ වෙඩි තැබීම්, වධකාගාර සහ ටයර් සෑයේ ආදාහනය යනාදිය සාමාන්‍ය දේවල් බවට පත්විය.

අසුර අඩවිය නවකතාවේ චරිත දෙකක් වන සුරංග සහ වීරසේකර දෙදෙනා ඒ නිෂ්ඵල විනාශකාරී සටනේ විරුද්ධවාදී කඳවුරු දෙකේ ඉත්තන් දෙදෙනෙකු ලෙස ක්‍රියාන්විතව සිට ඉන් කෙසේ හෝ බේරී පලාවිත් ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් ලෙස එකම වහලක් යට ඉඳිමට සිදුවීම හැදින්විය හැක්කේ පරණ සිංහල යෙදුමක් වන දෛවයේ සරදමක් ලෙසින් පමණි. මේ කතාව අවසානයේ සුරංග මැර පහර කා දුක් විඳ මිය යනමුත් වීරසේකර ගේ ප්‍රශ්න ක්‍රමයෙන් නිරාකරණය වී ජීවිතය යහපත්වීම තුළින් කතුවරයා යම් කිසි දෙයක් ව්‍යංගාර්ථයෙන් අදහස් කළේ යැයි මම නොසිතමි. කෙසේ වෙතත් මෙහිදී වීරසේකර තමන්ගේ අතීතය පිළිබඳ කරන පාපෝච්චාරණ මා පෙර කී භීම සමය පිළිබඳව අපේ මතකය අළුත් කරවයි. එය මෙම නවකතාවේ එන ඉතා වැදගත් අංගයක් ලෙස මම සලකමි. 

නමුත් සුරංගව ඔහුගේ අධිමූර්ච්ඡාව තුලම මරා දැමීම තුළින් කතුවරයා සුරංගගේ පාපෝච්චාරණ දැන ගැනීමට පාඨකයාට තිබූ ඉඩකඩ අහුරා ඇති බව පෙනේ. සුළු ධනේශ්වර විප්ලවකාරයෙකු වූ සුරංග සිය අධිමූර්ච්ඡාව තුළදී ද රොමෑන්ටික් සිහින දැකීමේ කිසි වරදක් නොතිබුන ද අඩු වශයෙන් ඔහු ගේ මරණාසන්න මොහොතේ දී හෝ ඒ සිහින අතරට පසුගිය භීම සමය පිළිබඳ ඔහුගේ පාර්ශවයේ අත්දැකීම් කිහිපයක් ඇතුළත් කළ හැකිව තිබුණා යැයි මට හැඟේ.

අප බොහෝ දෙනෙකු නොදන්නා, සමහර විට උනන්දුවක් ද නොදක්වන, මා මෙහිදී සඳහන් කිරීමට අදහස් කරන දෙවන කරුණ නම්, විවිධ හේතූන් මත සරණාගතයන් ලෙසින් හෝ නැතිනම් වෙනත් නීත්‍යානුකූල නොවන මාර්ග වලින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජන කොටසේ ජීවන අරගලයයි. මුලින් සඳහන් කළ පරිදි වීරසේකර සහ සුරංග යුද්ධයෙන් පණ ගලවාගෙන සරණාගතයන් ලෙසින් මෙහි පැමිණි දෙදෙනෙකි. මීට අමතරව, කුමාරි සහ හේමන්තත් තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් සොයා සංචාරකයින් ලෙසින් පැමිණ අනවසරයෙන් මෙහි ජීවත් වන්නන් වේ. ඔවුන් ගේ අතීතය දුක්බර ය. වර්තමානය ව්‍යාකූල ය. අනාගතය අවිනිශ්චිත ය.

පසුගිය දිනවලත් විශාල තරුණයින් පිරිසක් යුද්ධයෙන් මිදී ඕස්ට්‍රේලියාවට පලා ගිය බව අපි අසා ඇත්තෙමු. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතාකරන්නට අපි තැතක් නොදැරුවෙමු. සහෝදර ජන කොටසක් වශයෙන් අප මේ සරණාගත පිරිස් ගැන දක්වන ඒ නොසැලකිල්ල අසුර අඩවිය නවකතාව තුළින් ප්‍රබලව ප්‍රශ්න කරන බව මට පෙනේ.

අසුර අඩවිය කෘතිය තුළින් නවකතාකරුවා අපේ බුද්ධි මණ්ඩලය තුළ ඇතිකරන තවත් කතිකාවතක් නම් සමාජයේ දුරාචාර යැයි සැලකෙන වේශ්‍යා සහ පිම්පි වෘත්තීන්, කප්පම් ගැනීම, රාජ්‍ය ත්‍රස්තවාදය ඇතුළු දාමරික කම් යනාදිය සමාජ ක්‍රියාවලි මගින් ඇතිවන අනිසි ප්‍රතිඵලයන් ම නොවේද යන්නයි.

අසුර අඩවිය රචනා කිරීමේ දී, නවකතාකරුවා විසින් කාව්‍යමය භාෂා විලාසයක්, සරල වදන් වැලක් සහ නිරායාසයෙන් ගලායන ප්‍රකාශන ආකෘතියක් විශිෂ්ට ලෙස උපයෝගී කොට ගෙන තිබේ. මේ අනුව බලන කළ, ජගත් ජේ. එදිරිසිංහ ගේ අසුර අඩවිය නවකතාව එක හුස්මට කියවාගෙන යා හැක්කක් ලෙස විස්තර කළ හැකිය.


මෙන්න ජගත් ලියූ තවත් පොත් දෙකක්.

1. පක්‍ෂ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" : The garbage dump otherwise known as party politics
http://kathandara.blogspot.com.au/2012/08/book-review.html

2. ඉස්කෝලෙ ගිය කාලෙට හිතෙන් ආපහු යන්න අපි කැමති ඇයි? - Nostalgia
http://kathandara.blogspot.com.au/2013/07/kathandara-nostalgia.html

පොර තවත් පොත් පහ හයක් ලියලා තියෙනවා!

-කතන්දරකාරයා

ප/ලි:
හෙට ඉරිදා මගේ ම කතන්දරයකින් ද, යළි සඳුදා පොත්-කතන්දරයකින් ද හමුවෙමු!

26 comments:

  1. එහෙම ගිය අය ගැනත් එහෙනම් පොත් ලියවිලා තියෙනව.

    ReplyDelete
  2. කකා හෙඩිමේ ස්පෙලින් මිස්ටේක් එකක් තියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. // Asura Advaiya//
      asura adaviya නොවෙද විය යුතු

      Delete
  3. ලාල් කාන්ත මරු කතාවක් කිව්වා ඔය බෝට්ටු ගමන ගැන. ඌ කියනවා යකෝ මෙහේ අස්චර්ය තියෙනවනම් අහවල් එකටද මේ අපේ උන් බෝට්ටුවල නැගලා ඔස්ට්‍රේලියා යන්නේ.. ආස්චර්ය මෙහේ නම් ඔස්ට්‍රේලියාවේ උන් එපාය මෙහේ බෝට්ටුවල එන්න.. ඔස්ට්‍රේලියාවේ ටී වී එකේ එපාය ඇඩ් දාන්න වෙන්නේ.. ලංකාවට යන්න එපා.. එහේ රස්සා නෑ.. පදිංචිය නැතෙයිය කියාලා...

    ReplyDelete
    Replies
    1. එක ප්‍රශ්නයක් තමයි එච්චර අවදානම් ගමනක් අද කාලේ යන දෙමල අය යන්නේ ඇයි කියලා එහෙම යන්න නොසිතන අයට නොතේරෙන එක!

      Delete
    2. ලේසියෙන් සල්ලි හම්බකරන්න කියල නොදන්න කකා ඔයා බබා !

      Delete
    3. @ AnonymousSeptember 14, 2013 at 7:06 PM

      මේක ලන්කා ඊ නිව්ස් කියල මාරු වෙලද?

      අපිට හිතෙන විදියටනම් ඒ මිනිස්සු යන්නෙ ලේසියෙන් ජීවත් වෙන්න. සුදු නැති බස් වල යන්න එන්න.

      Delete
    4. ඇත්තටම ඒගොල්ලෝ එන්නේ මොකද කියල මේ SBS එකේ ක්ලිප් ඒකෙන් බලන්න. විශේෂයෙන්ම ගිය අය, යන්න හිතන් ඉන්න අය සහ ටී.එන්.ඒ. දේශපාලකයන්ගේ අදහසුත් බලලම හිතගන්න.

      http://www.youtube.com/watch?v=1o5_hXXnzrY

      Delete
  4. මේ පොත මම බැලුවා මතකයි,සෑහෙන කාලෙකට පෙර පිටවුනු පොතක් නේද?

    ReplyDelete
    Replies
    1. මතක විදියට 2007.

      මෙන්න ජගත් ලියූ තවත් පොත් දෙකක්.

      1. පක්‍ෂ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" : The garbage dump otherwise known as party politics
      http://kathandara.blogspot.com.au/2012/08/book-review.html

      2. ඉස්කෝලෙ ගිය කාලෙට හිතෙන් ආපහු යන්න අපි කැමති ඇයි? - Nostalgia
      http://kathandara.blogspot.com.au/2013/07/kathandara-nostalgia.html

      පොර තවත් පොත් පහ හයක් ලියලා තියෙනවා!

      Delete
  5. මට ඊයේ පෙරේදා හම්බ උනා මෙහෙ පන්සලේදී මෙහෙන් ඕස්ට්‍රේලියා ගිහින් දානවා කියල ඒජන්ට් කෙනෙ ගෙනාපු සිංහල කොල්ලෝ 2න්නෙක් ...මුලුගාන රු ලක්ෂ 18යි...... 3ක් ලංකාවේදී ගෙවල මෙහෙ ඇවිත් මාස 3 යි....... දැන් over stay දඩය ගෙවල ලංකාවට යන්න දගලනවා

    ReplyDelete
    Replies
    1. මෝඩකම ලොකුයි සේරටම වඩා!

      Delete
    2. ලක්ශ 18 කින් බොහොම ලෙසියෙන් ‍යන්න ක්‍රමයක් හදාගන්න තිබුන. . . පොඩි කාලයක් වැය කලා නම්. . .

      Delete
    3. ලක්ශ 18 කින් බොහොම ලෙසියෙන් ‍යන්න ක්‍රමයක් හදාගන්න තිබුන. . . පොඩි කාලයක් වැය කලා නම්. . .

      Delete
  6. මේ වගේ ලේඛකයින් ගැන අහන්න ලැබෙන්නේ මේ වගේ අහම්බෙන්ම තමයි.පොත් ටික ගෙන්න ගන්න මාර්ගයක් කකා දන්නවාද?

    ReplyDelete
  7. හේමන්ත කියන එකා කොහොමත් මැරයෙක් තමා.මේ ළඟදි අවුරුදු 90ක ආච්චි කෙනෙක් රේප් කලෙත් ඕක තමා. සගිස්තුරුතික ඇමැතිගෙ ප්‍රදාන චක්ගෝලය ඕක තමයි. දැදුරු ඔයේ වැලි ගොඩදාන උන්ගෙන් කප්පං ගන්නෙත් ඕකම තමා. හේමන්තය ගැන එක පොතක් නෙවේ පොත් කඩයක් දාන්න උනත් පොත් ලියන්න පුලුවන්. නූරි වත්තෙ අත කොටා මොකෙක්ද කියල හිතනව හේමන්තයත් එක්ක බලද්දි.

    ReplyDelete
  8. kiyawalaa thiyanwaa wage mathakayak thiyanmwaa habyi mata mathaka widihata 2007ta kalin wage.
    itnishantha

    ReplyDelete
  9. බෝට්ටුවේ ආපු අයගෙන් ටිකක් සුවිශේෂී චරිතයක්: වැලන්ටයින් විජේසිංහ

    ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකකි.

    ReplyDelete
  10. මේ කතාව 'සන්නස' පත්තරේ කොටස් වශයෙන් පළ උණාද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.