Saturday 7 September 2013

දූරුතු සිහිනයක් කියන්නේ හීතලට පේන හීනයක් ද? - A January Dream?


"සීතල කරයි උඳුවප් මහ දුරුත්තේ!" කියා කියමනක් අහලා ඇති නේද?

ලංකාව තියෙන්නේ උත්තරාර්ධ ගෝලයේ නිසා ශීත කාලය, එනම් සූර්යයා රටෙන් ඈතින්ම තියෙන කාලය, වෙන්නේ දෙසැම්බරයේ සිට පෙබරවාරිය දක්වා කාලයයි. ඒ කියන්නේ යුරෝපයේ, එංගලන්තයේ, ඇමරිකාවේ සුද්දන්ට ශීත සෘතුව ලබන කාලය ම යි.

සීතල කාලෙටනේ හීන පේන්නේ!

දැන් මෙන්න මේ 2013 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් මා පල කරන තුන්වෙනි පොත්-කතන්දරය.


නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන් ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන් ගේ අසාමාන්‍ය ජීවන අරගලයන් ගැන ය. එනමුත්, නවකතාවක අන්තර්ගතය කෙතරම් සංකීර්ණ වුවද නවකතාවේ ආකෘතිය සරල වේ නම් එය පාඨකයාට නීරස කෘතියක් වීමට ඇති ඉඩ කඩ ද බොහෝ ය.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතා කිහිපයකින් ම දායක වී ඇති සමන් මහානාම දිසානායක ඉහත කරුණු හොඳින් වටහා ගත් ලේඛකයෙක් බව මගේ හැඟීමයි.

දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස වසර 2007 දී එළිදැක්වුනු "දුරුතු සිහිනය" සමන් මහානාම දිසානායකයන් ගේ පස්වන නවකතාවයි. ඔහු මීට පෙර බඹරැන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, පුංචි සර් සහ රන්දෙනිගල වලව්ව නමින් සිංහල පාඨකයින් අතර ජනප්‍රිය වූ නවකතා හතරක් රචනා කොට ඇත.

"දුරුතු සිහිනය" සමන් දිසානායක විසින් ලියා අවසාන කර ඇත්තේ වසර කිහිපයකට කලිනි. එය පාඨක ආදරය දිනා ගනිමින් "රැජින" කාන්තා සඟරාවේ සතිපතා කොටස් වශයෙන් පළවී ඇත. "මල් කතා" යන නමින් පොදුවේ හැදින්වෙන සරල පෙම්කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති යුගයක, සිංහල පාඨක රස වින්දනය එයින් ඉහල මට්ටමකට නංවන කෘතියක් ලෙස "දුරුතු සිහිනය" හඳුන්වා දෙනු කැමැත්තෙමි.

නවකතාකරුවෙකු ලෙස සමන් ගේ ප්‍රභලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙල ගස්වා විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට සිය නවකතා මගින් දක්වා ඇති ඔහු ගේ හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල සුදු කළු ඒවා නොව මිනිස් ගති පැවතුම් යථාර්තවාදීව නිරූපනය කරන ඒවා වෙති. මේ විශ්වාසනීය චරිත සහ ඔවුන්ගේ අපූරු අත්දැකීම් ඇතුලත් අන්තර්ගතයට ම අනුකූලවන පරිදි ආකෘතියක් තෝරා ගැනීම ද සමන් හොඳින් සිදු කරයි. "දුරුතු සිහිනය" නවකතාව සමන් දිසානායක සතු ඉහත සඳහන් සියළුම නිර්මාණාත්මක හැකියාවන් හොඳින් විදහා දක්වන කෘතියක් බව පෙනේ.

"දුරුතු සිහිනය" කතාව ගෙතී ඇත්තේ ළදරු සමයේ තම නිවුන් සොහොයුරා සහ මෑණියන් අහිමිව පිය සෙවනේ හැදී වැඩුනු මිහිඳු ගේ ජීවිතය වටා ය. ඔහුගේ පියාණන් වන ආනන්ද හෙවත් වෙස්සන්තර මුදළාලි ද දෛවෝපගත අවාසනාවන්ත සිදුවීම් මාලාවක අවසානයේ තනිවී වෙසෙන්නෙකි. වයස එකොළහක දරුවෙකු ලෙස කෙදිනක හෝ තම මව සහ සොහොයුරා සොයා ගැනීමට හෝ ඔවුන් පිළිබද සත්‍යය එලිදරව් කර ගැනීමට අදිටන් කරන මිහිඳු ගේ එම ප්‍රයත්නය ඔහු ලංකාවේ විවිධ නගරවලට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත් රැගෙන යයි. අවසානයේ තම ප්‍රාර්ථනා සපුරා ගැනීමටත්, සිය පියාගේ අස්ථානගතවූ ඥාතීන් සොයා ගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් සහනයක් ලබාදීමටත් ඒ සමගම තම අනාගත සහකාරිය හඳුනා ගැනීමටත් මිහිඳුට හැකිවේ.

මේ සියල්ල සිදුවන්නේ මනා ලෙස ගලපා ඇති උද්වේගකර සහ නාට්‍යමය සිද්ධීන් මාලාවක් හරහා වන අතර සමන් දිසානායක සරල දෙබස්, කාලානුරූප අතීතාවර්ජන, සිත් ගන්නා ස්වයංභාෂණ සහ හොඳින් පබැඳුණු විස්තරයෙන් යුතු ආකෘතියක් තුලින් පාඨකයා නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.

"දුරුතු සිහිනය" නවකතාව සර්ව සම්පූර්ණ සුඛාන්තයක් නොවේ. නවකතාව අවසානයේ පාඨක හදවත් තුල සතුටක් සමගම ඇතිවන්නේ දැඩි සංවේගයකි. එය කතුවරයා ගේ තවත් දස්කමක් යයි හඟිමි.

මෙම නවකතාවේ එන ආනන්ද මුදලාළි ගේ අනියම් බිරිය වන කුසුමලතා හෙවත් රුවන්පුර රූමතිය ගේ චරිතය අති සංකීර්ණ එකකි. ඇගේ හැසිරීම්, සිතුවිලි සහ ක්‍රියාකාරකම් සීමාසහිත මට්ටමකින් පමණක් විස්තර කරන කතුවරයා එමගින් පාඨකයා නවකතාවේ අන්තර්ගතය පිළිබඳ යම් ආකාරයක පශ්චාත් විශ්ලේෂණයක ට යොමු කරයි.

"දුරුතු සිහිනය" නවකතාවේ අන්තර්ගතව ඇති සුවිශේෂිත කරුණක් නම් සිංහල-දෙමල ජනවාර්ගික දෙපිරිස අතර අද පවතින අනෝන්‍ය අවිශ්වාසයේ ඇති ශූන්‍යතාවයයි. කතුවරයා වරෙක මෙය එක එල්ලේ දෙබස් මගින් ද, තවත් වරෙක සූක්ෂම ලෙස කතාවස්තුව තුල අන්තර්ගත කරමින් ද පාඨකයා ඉදිරියේ ගෙන හැරපායි.

මිහිඳු ගේ ඕස්ට්‍රේලියා ගමන විස්තර කිරීමේදී එහි වෙසෙන ජනයාගේ ජීවන රටාව ගැන, ඉඩ ලැබී ඇති මද ඉඩකඩේ දී වුව, යම් යම් තොරතුරු සහ විවරණයක් ගෙන ඒමට කතුවරයා දරා ඇති උත්සාහය ප්‍රසංශනීය ය. එය ශ්‍රී ලාංකික පාඨකයන් ලබන අතිරේක ප්‍රතිලාභයකි.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස්ථ ව තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසියෙන් දොඩමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරණයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල සමතික්‍රමණය කර මේ වන විට (2013) නවකතා දහයක් පමණ රචනාකර ඇති සමන් දිසානායක සියළු අංකුර නවකතා රචකයන්ට ආදර්ශයක් බව නොපැකිලව පවසමි.

සමන් දිසානායක ගේ නවකතා සියල්ල දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයන් වේ.


ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

16 comments:

  1. ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිද්දීමද ඔය පොත් ලියන්නෙ?

    ReplyDelete
  2. මම ඔය පොත කියවලා නෑ.. හොයාගෙන කියවලා බලන්න ඕන.
    අද මම 1ද මන්දා

    ReplyDelete
  3. මේක නම් වචනයේ පරිසමාප්තියෙන්ම සමන්ගේ පොත ගැන විවෙචනයක්....මං එහෙම කිව්වේ කලින් කකා දාපු එක එහෙම එකක් නොවූ නිසා...:)

    ReplyDelete
  4. බලමු මෙච්චර විස්තරයක් දැනගත්තු එකේ පොත කියවලාම...

    ReplyDelete
  5. /නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන් ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන් ගේ අසාමාන්‍ය ජීවන අරගලයන් ගැන ය. /

    මෙන්න මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. නව කතා ලියැවෙන්න ඕනෑ අසාමාන්‍ය මිනිස්සු ගැන. දෙවෙන්දොරා-සං කියන්නෙ අසාමාන්‍ය චරිතයක්. නොරිකො කියන්නෙ අසාමාන්‍ය චරිතයක්. කුසුම් කියන්නෙ අසාමාන්‍ය චරිතයක්. දෝන කමලාවතී කියන්නෙ අසාමාන්‍ය චරිතයක්. වර්තමානයේ නවකථාකරුවන් වැඩි පිරිසක් හඳුනා නොගන්නා සත්‍යයක් මේ.

    ඒ වගේම තමයි බ්ලොග් ලිවිය යුත්තේ අසාමාන්‍ය අය මිසක සාමාන්‍ය අය නෙවෙයි. මාතලන්, රයිගම, හැලපයා, අරුණි ශපීරෝ, විචාරක, කකා, පැරකුම්, මාරයා, සඳරු, අභීත, ලියන්නා, රාමචන්ද්‍ර, රාජ්, චාර්මි, ඔබා මාමා, රතු රජ රට, බූරු බබා, අටමා, අමිල වගේ ජනප්‍රිය බ්ලොග් ලියන්නන් ගත්තාම මේ හැම දෙනකුගේම සමාජයේ අනෙක් අයට වඩා කැපී පෙනෙන ලක්ෂණ එකක් හෝ කිහිපයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකයි ඔවුන්ගේ ජනප්‍රියත්වයේ රහස. ඒ අතර අන්තිම සමාන්‍ය පුද්ගලයින් ඉස්කෝලේ කාලේ හැම දෙනාම පොදුවේ විඳ ඇති අත්දැකීම් ගැනයි, බඩු දාගන්න ට්‍රයි කරපු හැටි ගැනයි පල් හෑලි කියවන්න ගත්තාම ඔවුන්ගේ බ්ලොග් කියැවීම ඉබේම නීරස වෙනවා. ලකෆ්‍රාන්ස් කාරයා අර්ථ දක්කපු විදියට කබ්බන්ගේ බ්ලොග් බිහි වෙන්නේ එහෙමයි. හැබැයි ඉතින් කබ්බොත් ඉන්න ඕනෑ. නැතුව මරන්නයැ.

    ReplyDelete
  6. \\\දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස්ථ ව තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසියෙන් දොඩමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට\\\

    මොන සම්පත් තිබ්බත් තමන් ඉපදුණ රටේ ජීවත් වෙන්න ලැබීම මට නම් සැනසිල්ලක් . කොහේ රෝන්දේ ගැහුවත් නිදාගන්න ගෙදරට එනවා වගේ මේක දාලා යන්න හිතෙන්නෙම නැහැනේ කකා. කකාටත් එහෙමද ..?


    පොත ගැන

    අමරගේ පොත් විචාර කියවලා මට හොඳ පළපුරුද්දක් තියෙනවා. කකාගේ විචාර කියවද්දී පොත අරන් කියවන්නමයි හිතෙන්නේ. ඒ තරම් ලස්සනට කෘතිය විග්‍රහ කරලා තියෙනවා.. පොත කියවන අපිට පොත ගැන ආසාවකුත් , පොත ලියන මහත්තයට තව තවත් ලියන්න ආසාවකුත් ඇති වෙන විචාරයක්..

    ReplyDelete
  7. පොත 2007 උනාට කවරෙ නම් 60 ගණන්වල ....

    ReplyDelete
  8. කකෝ
    යකෝ
    කමෙන්ට් කෝ?

    ReplyDelete
    Replies
    1. කකා කකා
      මේ අහන්න
      අපේ කමෙන්ට්
      නොකපා ඉන්න !

      Delete
  9. http://sithakakadulu.blogspot.com/2012_02_01_archive.html

    ඔයාලට වෙලාවක් තිබුනොත් මේ බ්ලොග් එක බලන්න.

    ReplyDelete
    Replies
    1. මම ගිහින් බැලුවා බ්ලොග් එක.. ඉවර වෙනකම් කියවන්න බැහැ. ඇස් වලට කඳුළු එනවා.. ඔබේ මවට ඔබ හැකි උපරිමයෙන් සත් කාර කරලා තියෙනවා.. දුක් වෙන්න එපා යාලුවා ඒ නිසා.. වෙන මිනිස්සු අම්මලා තාත්තලට නොබලා ඉද්දි ඔබ වැනි අය හරි උතුම්.. ඔබේ මව ඔබ ගැන ආඩම්බර වෙනවා ඇති මොහොතක් මොහොතක් ගානේ..

      උදව්වක් ඕනේ උණොත් අපිට කියන්න.. බොහෝ දෙනා ඉන්නවා උදව් කරන්න හැකි...

      ඔබේ බ්ලොගයට හොට් ලින්ක් එකක් මගේ බ්ලොගයේත් දමන්නම්...
      http://sithakakadulu.blogspot.fr/?m=1

      Delete
    2. දැන් නම් ටිකක් බිසී... හවස් අතේ එන්නම්කෝ !

      Delete
  10. කකා දන්නවද කියමනක් තිබෙනවා 'හීත දුරුත්තට පැල් කණුවටත් හීන පෙනෙනවා' කියලා.
    මෙයින් කියන්නේ දුරුතු මාසයේ තිබෙනා අධික සීතල නිසා ගුලිවෙලා මනෝබාවයේ කිමිදිලා ඉන්නවායි කියලා.

    ReplyDelete
  11. සොයා ගෙන කියවන්න ඕන.

    ReplyDelete
  12. එකක්වත් කියවලා නෑ නොවැ....කියවන්න වටිනවා වගේ

    ReplyDelete
  13. KK. Any chance of you writing a novel? Or, another memoir (as far as I know you have written only about the time in your last school). Sorry I don't mention your poetry. I'm handicapped - not having a single poetic bone in the body!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.