Friday, 30 August 2013

සමලිංගික ("ගේ" සහ "ලෙස්බියන්" ලා ගේ) අයිතිවාසිකම් ගැන මගේ අදහස් - My two cents worth about the rights of Homosexuals


සමලිංගිකත්වය ගැන අන්තර්ජාලයේ සිංහලෙන් කතා බහ කෙරෙන තැන්වලදී දකින්නට ලැබෙන දේ අනුව අපට පෙනී යන්නේ අද ලංකාව පසුවන්නේ ඉතා පසුගාමී තත්වයක බවයි. අප යාන්තමින් හෝ ඉදිරියෙන් සිටින්නේ අරාබිකරයට සහ පූටින් ගේ රුසියාවට පමණි!

සමාජයක තිබිය හැකි සෑම බෙදීමකදීම සිදුවෙන්නාක් මෙන් මෙහිදී ද බහුතරය වන විෂමලිංගිකයින් ගේ හෝමෝපෝබියා කෙනෙහිලිවලට මුහුණ දීමට සුලුතරය වන සමලිංගික "ගේ" සහ "ලෙස්බියන්" ලා ට සිදුවී ඇති බව පෙනේ.

මේ හෝමෝපෝබියා තත්වයට එක් හේතුවක් නම් සමහර විෂමලිංගිකයින් තුල පැලපදියම් වී ඇති "මා මිස අන් අය වැරදිය!" යන ෂෝවිනිස්ටික් (අවිචාරාත්මක භේදවාදී) හැඟීමයි.

ඊට අමතරව නොදන්නාකමද, අණුවනකමද මේ විෂමලිංගිකයින් විසින් සමලිංගිකයින් කෙරෙහි දක්වන විරුද්ධත්වයට හේතු වෙන බව මගේ අදහසයි.

මට වැටහී ඇති පරිදි සමලිංගිකයින් පිළිබඳව හෝමෝපෝබියාවෙන් පෙළෙන විෂමලිංගිකයින් තුල ඇති වැරදි අදහස් කිහිපයක් මෙසේය. මේවා බොහෝවිට කියවෙන්නේ පිරිමි සමලිංගිකයින් සම්බන්ධයෙනි.

1. සමලිංගිකත්වය මානසික රෝගයකි.
සැබෑ මානසික රෝගය නම් එලෙස සමලිංගිකයින් රෝගීන් යැයි සිතීමයි. සංඛ්‍යාත්මකව මානසික රෝගීන්ගෙන් බහුතරය විෂමලිංගිකයෝය.

2. සමලිංගිකයෝ නපුංසකයෝය.
නපුංසකයන් යනු ලිංගිකත්වයක් නැති ලිංගික ක්‍රියාවක නොයෙදෙන්නෝය. නමුත් සමලිංගිකයන් යනු ප්‍රායෝගිකව ලිංගිකව හැසිරෙන්නෝ වෙති.

3. සමලිංගිකයෝ කෞමාරකාමය (පෙඩොප්හීලියා) ඇත්තෝය.
කෞමාරකාමයේ හැසිරීම හෙවත් බාලවයස්කරුවන් සමග ලිංගික ක්‍රියාවන් හි යෙදීම යනු සාපරාධී ක්‍රියාවකි. එලෙස හැසිරෙන්නන් ගෙන් යම් ප්‍රතිශතයක් ඒ සඳහා ගොදුරු කරගන්නේ තමන් හා සමාන ලිංගික දරුවන් විය හැක. එසේ වූ පමණින්, කෞමාරකාමයේ හැසිරීම සමලිංගිකත්වය ලෙස සැලකිය නොහැක. බාලාපරාධකාරයන් අතර බහුතරයක් විෂමලිංගිකයින් යැයි මට සිතේ.

4. සමලිංගිකයෝ බහු-ආදර සම්බන්ධතාවල (පොලිඇමරි) බැඳෙන්නෝය.
සමලිංගිකයින් අතර බහු-ආදර සම්බන්ධතා තිබෙනවා විය හැක. නමුත් ඒ සමාජයේ ම බහු-ස්ත්‍රී සේවනය මෙන්ම බහු-පුරුෂ සේවනය ද නො-අඩුවම ඇත.

මීට අමතරව සමලිංගිකත්වය පුනරුත්පත්තිය හා සම්බන්ධ කරමින් ග්‍රැන්විල් ධර්මවර්ධන වැන්නෝ ද ලිපි ලියා තිබේ.

ඉහත කරුණු අනුව වැටහෙන්නේ පෙර කී කිසිවක් සමලිංගිකයින්ට පමණක් සුවිශේෂී වූ දේ යැයි වෙන් කළ නොහැකි බවයි. ඒ සියළු දේ සමලිංගික හෝ විෂමලිංගික වෙනසකින් තොරව පොදුවේ මුළු මිනිස් සංහතියටම අදාල දේ වේ.

ලිංගිකත්වයේ ඇති වෙනසට අමතරව සමලිංගිකයින් සහ විෂමලිංගිකයින් අතර කිසිදු වෙනසක් මට නම් නොපෙනේ.

සමලිංගිකයෝ ද මනුෂ්‍යයෝ ය!

අන් අයසේ සමාජයේ ජීවත්වීමේ සමාන අයිතිය සමලිංගිකයින්ට ද හිමිය.

මානබව හිමිකම් සැමට පොදුය. ඒවා එක් එක් කණ්ඩායම්වලට වෙනස් වශයෙන් නොයෙදේ!

සමාජයක අසාධාරණයට ලක්වෙන සුළුතරයේ අයිතිවාසිකම් පිළිබඳව කතා කළ යුත්තේ ඒ සුළුතරයේ අය පමණක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එය බහුතරයේ ප්‍රගතිශීලී අදහස් දරණ අය ගේ යුතුකමද වෙයි. වර්ණබේදවාදය, සුළු ජාතීන් ට කෙරෙන අකටයුතුකම්, කුල බේදය, ආගම් බේදය වැනි ලෝකයේ විවිධ ස්ථානවල විවිධ කාලවකවානුවල දක්නට ලැබුණු අසාධාරණකම් හමුවේ ඒවාට විරුද්ධව සටන් කලේ ඒ අසාධාරණකම්වලින් පීඩා ලැබුවන් පමණක් නොවේ.

සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම ප්‍රගතිශීලි අදහස් දරන, සමාජ අසාධාරණය නොඉවසන, සමානාත්මතාවය අගයන විෂමලිංගික අපේ ද වගකීමක් බව මම සිතමි.

විෂමලිංගිකයින් පෙළන හෝමෝපෝබියාව නම් මානසික තත්වය නැතිවේවා, ලංකාවේ සමලිංගික අයිතීන්ට එරෙහිව සම්පාදනය වී ඇති මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන අසාධාරණ නීති අහෝසි වී ගොස් "ගේ" සහ "ලෙස්බියන්" විවාහ නීතිගත කෙරෙන දිනයක් නුදුරේදී ම උදාවේවා යැයි මම ප්‍රාර්තනා කරමි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ අදහස් කිහිපය මෙසේ ලියා තැබීමට සිත්වූයේ ඊයේ W3Lanka අඩවියේ පලවූ "සමලිංගික විවාහය හා ද්වි ලිංගිකයන්ගේ ආශා" නම් ලිපියට ලැබී තිබුණු ප්‍රතිචාර සහ මා ඒ ලිපියට දැමූ ප්‍රතිචාරයට ඇතමුන් දක්වා තිබූ අදහස් කියවීමෙන් පසුවය.

ප/ප/ලි:
කලින් ලියූ ලිපියක්.
බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!
http://kathandara.blogspot.com/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html


(image: http://www.bubblews.com/news/715868-human-rights-not-quotgayquot-rights)

Wednesday, 28 August 2013

මෙදා සැරේ කලින්ම බඩු ඇවිල්ලා - September come early!


දවස ගානේ එන දේවල් තියෙනවා, ඒ කියන්නේ ඉර පායනවා, සඳ පායනවා වගේ කේස්.

සතිය ගානේ එන දේවල් තියෙනවා. ඒ කියන්නේ නිකං ඉරිදා පත්තර සැට් එක වගේ දේවල්.

මාසෙ ගානේ එන දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ මාසෙ පඩිය වගේ දේවල්.

නමුත් සමහර දේවල් එන්නේ අවුරුද්දකට එක පාරයි.

හොඳම උදාහරණය තමයි සාහිත්‍ය මාසය!

සාහිත්‍ය මාසය කියන්නේ මොකක්ද කියලා අපේ බ්ලොග් කියවන ඈයොන්ට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනැ නෑ නේ?

මේ 2013 අවුරුද්දේ මා අටක්ම දැන් ගෙවිලා ඉවරවෙන්න ඔන්න, මෙන්න තියෙන්නේ. මේ ඉරිදා උදාවෙන්නේ සාහිත්‍ය මාසය වන සැප්තැම්බරයයි.

මට මේ සිද්ධිය මතක් කරලා දුන්නේ හිතවත් ඇනෝ නෝනා කෙනෙක්.

මං කතන්දර බ්ලොග් එක 2009 ජූලි මාසයේ ඇරඹුවා වුණාට මේ සාහිත්‍ය මාසය සමරන්න පටන් ගත්තේ 2011 වසරේ දී කයි-කතන්දර පලකරමිනුයි.

ඊළඟට ඒක පසුගිය 2012 අවුරුද්දේත් ඉදිරියට අරගෙන ගියා.

මේ පාර නම් පොඩි වෙනස් කමක් කරන්නයි ඉන්නේ.

ඒ ගැන විස්තර පසුවට.

ඒ කොයි හැටි වෙතත්, ඇනෝ නෝනා ගේ සිහි කැඳවීම සහ ඒකට උත්තර දාපු රාජ්, ඉන්දික උපශාන්ත ඇතුළු සියළු දෙනාගේ ඉල්ලීම් නිසා මට හිතුණා මෙදා පාර සාහිත්‍ය මාසය සැමරීම කලින්ම පටන් ගන්න.

මෙන්න අද කතන්දරයක්, ඉන්ට්‍රෝ එකක්, රනින් කමෙන්ට්‍රියක්, පසුවදනක් කිසිම දෙයක් නැතුව කවියක් විතරක්.

මේක ඇත්තටම සින්දුවක් විදියට කියන්නත් පුළුවන් එකක්. සංගීතඥයෙක් සහ ගායකයෙක් විතරයි අඩු!

සිසිර සිහිනය

ලොවට හොරෙන් මා එන්නම් දිනයක
ඔබේ යහන් ගැබ සුවඳ විඳින්නට
ලොවට හොරෙන් සිප ගන්නම් සඳවත
පෙර දින සිසිලස යලිත් ලබන්නට

අතැඟිලි තුඩඟින් මුදා දමන්නම්
ඔබ මුදු ගත වැසු දුහුලැල් සළු පට
නිමේෂයක් මා නෙත සනසන්නම්
පෙර නොම දුටු රුව අසිරිය අභියස

සීත සිසිරයේ සිසිල මකන්නම්
ඔබ මුදු පහසේ උණුසුම කැටි කොට
සිහින විජිතයේ මා සැනසෙන්නම්
ඔබ ගත මා ගත එක්වූ සැන සිට


-කතන්දරකාරයා

(image: http://www.redletterchristians.org/certainty-accuracy-and-seeking-to-follow-jesus/)

Monday, 26 August 2013

ඩ්‍රැකියුලාවියක් සමග ගත කළ මොහොතක් - A close encounter with Countess Dracula!


ඩ්‍රැකියුලා කිව්වාම මතක් වෙන්නේ අර යුරෝපයේ හිටියාය කියන සිටුවරයා හා සම්බන්ධ කතන්දර නේද?

ඒ විතරක් නෙමෙයි. සිරිලංකා ඩ්‍රැකියුලා ලා ත් ඉඳලා තියෙනවාලු!

"මහ හේනේ ඊරි යකා" කියලා කතන්දරයක් ගැන අහලා තියෙනවද? අන්න ඒක ලෝකල් ඩ්‍රැකියුලා කෙනෙක් ගේ කතාවක්. ලියලා තියෙන්නේ විමුක්ති කුමාරතුංග ගේ මව් පාර්ශවයේ සීයා හෙවත් හිටපු අගමැති සොලමන් බණ්ඩාරණායක. මං හිතන්නේ චිත්‍රපටියකුත් තිබුණා ඒ කතාවෙන් හදපු!

තවත් "ලෝකල්" ඩ්‍රැකියුලා ලා ඉන්නවා ඇති, ඒ අය ගැන කතන්දර ලියවිලා නොතිබුණාට!

මටත් මේ සෙනසුරාදා ඩ්‍රැකියුලාවෙක් එක්ක පොඩි ගණුදෙනුවක් කරන්න වුණා. ඒ හින්දා තමයි මං පලකරපු "කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?" කියන කතන්දරේ පැය දොළහක් විතර ප්‍රමාද වුණෙත්.

මට ඩ්‍රැකියුලාව මුණ ගැහෙන්න යන්න කියලා අණ ලැබුණේ දැන් කාලෙකට කලින්. නමුත් ඕකට තියෙන අකමැත්ත නිසාම කල් දම-දම හිටියා.

මේකට එක හේතුවක් තමයි, මේ සුවිශේෂී ඩ්‍රැකියුලාව හම්බවෙන්න යන්න අර නිකං එක එකාව හම්බ වෙන්න යනවා වගේ ආවට ගියාට යන්න බෑ. ඒ සඳහා සුවිශේෂී විදියට පේවෙන්න ඕනෑ!

රාත්‍රී අටට විතර කෑම අරගෙන එතැන ඉඳන් නොකා නොබී ඉන්න ඕනෑ. වතුර බොන්න පුළුවනි, නමුත් තේ, කෝපි බෑ!

පහුවදා උදේ නැගිටලා හිස් බඩට වතුර විතරක් බීලා තමයි ඩ්‍රැකියුලාව මුණ ගැහෙන්න යන්න ඕනෑ.

කොච්චර බඩගිණි තිබුණත් තේ එකක්වත් බොන්න බෑ. බිව්වොත් කිලි! කෙම හරියන්නේ නෑ.

මට මතකයි මීට මාස කිහිපයකට කලින් මං ඔය වගේ රෑ තිස්සේ නොකා ඉඳලා කුස ගින්නේම ගියා ඩ්‍රැකියුලා ගේ කන්තෝරුවට.

මෙන්න මට කියපි, පැය බාගයක් විතර යයි කියලා පෝලිමේ මගේ වාරය එන්න.

මගේ බඩගින්න ඉහටත් උඩින්. තව පැය බාගයක් කොහොම ඉන්නද?

උන්ට බම්බු ගහගන්න කියලා මං ආපහු හැරිලා ගිහින් උදේට කෑවා!

නමුත් මේ පාර එහෙම කට් එක දාන්න ලැබුණේ නෑ.

හාමිනේගෙනුත් ඕඩර්ස් එකක් ආවා වැඩේ තවත් කල් දාන්න එපාය කියලා.

ඒ නිසා කලින් කියපු විදියට සිකුරාදා රාත්‍රියේ ඉඳලා පේවෙලා ඉදලා, සෙනසුරාදා උදේ හිස් බඩින්ම ගියා ඩ්‍රැකියුලා මුණ ගැගෙන්න.

එතනට ගිහින් බැලින්නම් පෝලිමේ කවුරුත් නෑ.

ඔන්න මං ඩ්‍රැකියුලා ගේ කාමරේ ඇතුලට ගියා.

බැලින්නම් මේ ඩ්‍රැකියුලා කියන්නේ ගෑණු කෙනෙක් නේ...!!!

කමිසේ අත උඩට කරලා වැලමිට හරියට කටුවකින් ඇණලා තමයි ඩ්‍රැකියුලාවිය ලේ ගත්තේ. මං ඇස් දෙක පියාගෙන දැක්කා නොදැක්කා විදියට හිටියා.

පොඩි පර්යේෂණ නල දෙකක්ම පිරෙන්න ඩ්‍රැකියුලාවිය ලේ අරං තිබුණා.



මට ඉතුරු වුණේ අතේ පැච් එකක් විතරයි.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය ලේ ටෙස්ට් කරන වැඩේට මං අකමැති වෙන කිසිම දෙයක් හින්දා නොවෙයි.

රිසල්ට් ආපුවාම ටෙස්ට් රිසල්ට්ස් නෙගටිව් වෙලා තිබුණාම "අයියෝ අපරාදේ නේ මෙච්චර මහන්සි වෙලා මේ ටෙස්ට් එක කෙරුවේ!" කියලා හිතට නැගෙන දුක හින්දාමයි.

ඒත් මට හිතාගන්න බැරි අර දුවන, පණින, බර උස්සන, සයිකල් පදින සෙල්ලං කරන කෂ්ටිය ඇයි ඒ ටෙස්ට් රිසල්ට්ස් පොසිටිව් වුණාමත් විස්සොප වෙන්නේ ඇයි කියලයි!

බලමු මේ පාරවත් මට පොසිටිව් රිසල්ට් එකක් ඒවිද කියලා!

(image:http://www.novamagazine.com.au/article_archive/2009/2009-11-reclaimingcholesterol.htm)

Saturday, 24 August 2013

කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?


මෙය කාන්තාවන්ට පමණක් අදාල සනීපාරකක්‍ෂක තුවා ගැන කතන්දරයකි. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම වැදගත් කෙන්ඩොම් ගැන ද ඉතා වැදගත් සඳහනක් ඇත!

මාවලස් නමින් අප සැම හැඳින්වූ චරිතය මට හමුවූයේ සෑහෙන කාලයකට කලින් මා රජයේ සේවා ස්ථානයක මාස තුනක පුහුණු වැඩසටහනකට සහභාගීවෙමින් සිටි කාලයක දී ය.

රජයේ රැකියාවට අමතරව මාවලස් ග්‍රොසරියක් ද රන් කළේය. දිවා කළ එහි වැඩ කළේ ඔහු ගේ ප්‍රිය බිරිඳයි. සැමියා ගේ වැඩ මුරය යෙදෙන්නේ සතියේ දිනවල සවස් කාලයේ සහ සති අන්තවලදී ය.

සේවා ස්ථානයේ දී විවේක වේවාවල කැරම් ගසමින් විනෝදවෙන අතරතුර දී ග්‍රොසරියේ රසකතා අප හා පැවසීම මාවලස් මහතා නිතිපතා කළ කාර්යයකි.

ඔහු රසකරමින් පැවසූ එක් කතාවක් වූයේ ග්‍රොසරියට බඩු ගන්නට එන කාන්තාවන් එවකට කෝටෙක්ස් නම් වූ වෙළඳනාමයෙන් පොදුවේ හැඳින්වූ සනීපාරක්‍ෂක තුවා ඉල්ලන ආකාරයයි.

වෙනත් බඩු භාණ්ඩ දෙස බලමින් සිට එක්වරම "අන්න අරකක් දෙන්න!" යනුවෙන් ඔවුන් පවසන බවත්, ඒ හැසිරීමෙන්ම මේ ඉල්ලන්නේ මොනවාද යන්න ඔහු වටහා ගන්නා බවත්, ඉන්පසු අදාල භාණ්ඩය ගෙන එය මනාව පත්තර පිටුවකින් ඔතා සකසා පාරිභෝගිකයා අතට ලබා දෙන බවත් මාවලස් අප සමග පැවසීය.

පාරිභෝගික භාණ්ඩයක් මිළට ගැනීම මෙතරම් ප්‍රශ්නයක් වෙන්නේ ඇයිදැයි මට එදා නොවැටහිණි.

මට එය මුල්වරට වැටහුණේ මින් වසර එකොලහකට පමණ පසු විවාහකයෙකු ලෙස කොණ්ඩම් මිලට ගැනීමට යාමේ දී ය.

මේ සිදුවීම් මගේ සිහියට නැගුණේ මිතුරෙකු විසින් එවන ලද සබැඳියක් ඔස්සේ යමින් පහත දක්වා ඇති වීඩියෝව නැරඹීමෙන් පසුවය.

කාන්තා සනීපාරක්‍ෂ තුවා නිපදවීම පිළිබඳ මහා පෙරළියක් කළ ඉන්දියානු ජාතික අරුනාචලම් මුරුගනාන්දන් ගේ මේ කතාව පොඩ්ඩක් අහන්න.



http://www.ted.com/talks/arunachalam_muruganantham_how_i_started_a_sanitary_napkin_revolution.html

මේ වීඩියෝ එකේ සෑහෙන්න හිනායන කතා තිබේ. නමුත් ඊටත් වඩා වැදගත් කරුණු කාරණා රාශියක්ද ඇත.

මේ අරුනාචලම් මුරුගනාන්දන් කියන මනුස්සයා අදහන්න වටින පුද්ගලයෙක් කියායි මට හිතෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
පොඩි සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා අද කතන්දරය ලියා ප්‍රසිද්ධ කිරීම දවස් බාගයකින් පමණ ප්‍රමාද විය. ඒ පිළිබඳ මගේ කණගාටුව.


(image: http://advice.uk.match.com/sites/default/files/styles/large/public/Shy%20Single%2083812873.jpeg?itok=4sPDjzis)

Thursday, 22 August 2013

ඌ මොන බල්ලෙක් ද? මූ නේ බල්ලා! - Believable? Unbelievable?


මං පෙරේදා ලියා පළකරපු අන්විශ්වාසබල් කතන්දරේ හුඟ දෙනෙකුට විශ්වාසබල් එකක් බව පෙණුනා.

ඒකේ කිසිම අවුලක් නෑ!

කොහොමටත් විශ්වාශබල් සහ අන්විශ්වාසබල් අතර තියෙන වෙනස නිකං හරියට අර බාගෙට පිරුණු අසෝක වීදුරුව සහ බාගෙට හිස් අසෝක වීදුරුව අතර තියෙන වෙනසට සමානයි.

ඒ කියන්නේ දෙකේම තියෙන්නේ බාගයයි නිසා කොයික බිව්වත් එකයි කියන එක හෙම නොවෙයි!

මේ කියන්නේ, බාගෙට හිස් එකේ බාගයක් හිස් වෙලා තියෙන්නේ ඒ ටික දැනටම බීලා නිසා ඉතුරුවෙලා තියෙන බාගේත් ගැහුවොත්, අර බාගෙට පිරුණු එක විතරක් බොනවාට වඩා දෙගුණයක් ඩෝප් වෙන්න ඉඩ තියෙන නිසයි.

කලින් දාපු අයියගෙයි මල්ලිගෙයි කතන්දරේ අන්විශ්වාසබල් නොවුණු අය බලන්න මේ අද කතන්දරේ කොහොමද කියලා.

මේක පොඩ්ඩක් විතර ලූ කතන්දරයක්. නමුත් විශ්වාසවන්තිස්ට් මූලාශ්‍රයකින් ආපු එකක්.

ඔන්න එක ගමක හිටියා පවුලක්. මේ කියන්නේ හැත්තෑව දශකයේ මුල හරියේ විතර.

තාත්තා විශ්‍රාමිකයි. පුතා බැඳලා බිරිඳත් පොඩි ළමයි දෙන්නාත් එක්ක ඒ මහ ගෙදරමයි හිටියේ. පවුලේ බාල දුව සාමාන්‍යයෙන් බඳින වයස පසුකරමින් වගේ තමයි හිටියේ.

මහ දෙන්නා සෑහෙන්න උත්සාහ ගන්නවා දුවට විවාහයක් කරලා දෙන්න. නමුත් වැඩේ එන්න එන්නම අමාරු වුණා මිස ලේසි වුනේ නෑ.

විවාහපේක්‍ෂිකාව රැකියාවක් කළේ නෑ. එච්චර ඉගෙනගෙන තිබුණේත් නෑ කොහොමටත්. ඕලෙවල් කරලා තියෙන්න ඇති ඒ කාලේ හැටියට. එච්චරම හැඩරුවකුත් තිබිලා නෑ.

නමුත් ඉඩකඩම්, කුඹුරු වගේ දේපල හෙම තිබුණ නිසා ඒ කාලේ හැටියට ප්‍රශ්නයක් තිබුණු පවුලක් නොවෙයි. මහ ගෙදර විශාල එකක්. අක්කර තුනක විතර පොල් වත්තකයි ගෙදර පිහිටලා තිබුණේ.

ඊටත් වැඩිය විශාල තවත් පොල් වත්තක් තිබුණා. ඒකේ පාර අයිනේ පොඩි ගෙයකුත් තිබුණා. නංගිට අයිතිවෙන්න තිබුණේ ඒ ඉඩමයි. පවුලේ වැඩිමහල් පුතාට කුඹුරුයි, මහ ගෙයයි ලියලා දීලා තමයි තිබිලා තියෙන්නේ!

පුතා තමයි මේ වතුපිටිවල, කුඹුරුවල වැඩ බලාගත්තේ. පොර ජොබ් එකක් කරලා නෑ මේ කාලේ වෙනකොට.

ඉතිං ඔන්න දුවට මනමාලයෝ හොයනවා. පත්තර දැන්වීම් වලට දාන උත්තර අනුව වෙන්ඩ මනමාලයෝ එනවා. කපුවෝ කේන්දර ගැලපෙන පොටෙන්ෂල් අයව ගෙදරට එක්කරගෙන එනවා. කෂ්ටිය හොඳට කතා බහ කරලා යනවා.

නමුත් එච්චරයි. එතනින් එහාට වැඩක් සිද්ධවෙන්නේ නෑ.

ඔහොම ඔහොම අවුරුදු කීපයක්ම ගියාට පස්සේ තමයි මෙතන සිද්ධවෙන වැඩේ එළිවෙලා තියෙන්නේ.

එන එන වෙන්ඩ මනමාලයෝ අකමැති වෙලා තියෙන්නේ වෙන්ඩ මනමාලිට පොඩි සිහිමද ගතියක්, ඒ කියන්නේ පිස්සුවක් තියෙනවා කියලා ආරංචිවුණු නිසයි.

කවුද කැමති වෙන්නේ පිස්සු කෙල්ලෙක් බඳින්න?

වැඩේ කියන්නේ දන්නවද කොහොමද මේ පිස්සුය කන කතාව මනමාලයින්ට ආරංචි වෙලා තියෙන්නේ?

මේ අයියාකාරයා තමයි වෙන්ඩ මනමාලයින් හැමෝටම මේ බොරු කතාව කියලා තියෙන්නේ!

එක වෙන්ඩ මනමාලයෙක් තමන්ට ආරංචිවුණු ඒ කතාව කපුවාට කියලා, කපුවා පස්සෙන් පහු ඇවිල්ලා තාත්තාට කිව්වාම තමයි වැඩේ පත්තු වුණේ.

පස්සේ මේ කෙල්ල බැන්දා. කොහොමටත් ඒ වෙනකොට අයියාකාරයා තමන්ගේ දෙමව්පියන්වයි, නංගීවයි මහගෙදරින් පන්නලා දාලායි තිබුණේ.

කොහොමද කතන්දරේ? විශ්වාසබල් ද? අන්විශ්වාසබල් ද?

-කතන්දරකාරයා


(image: http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2012/10/05&id=2012/10/05/b12100515)

Tuesday, 20 August 2013

අන්විශ්වාසබල් කේස් එකක් - Family Feud


අන්විශ්වාසබල් කියන්නේ මං හදපු අළුත් වචනයක් නොවෙයි. හැබැයි මේක මුලින්ම අද මෙතනින් දැනගන්න අයට ඕන්නං කතන්දර බ්ලොග් එකේ දැක්කාය කියලා කියන්න මං අවසර දෙනවා!

අන්විශ්වාසබල් කියන්නේ හොස්පිටිතාලේ වගේ ද්විභාෂාසංඝථක වචනයක්. විශ්වාස කරන්න බැරි (ඒත් සත්‍යමය) කියන තේරුම තමයි මේකෙන් දෙන්නේ. මේකේ විරුද්ධ පදය, එනම්, විශ්වාසබල් කියන්නේ විශ්වාසකරන්න පුළුවන් කියන අදහසටයි.

මේ කියන්න යන කේස් එක මට නං මුලින් අහපු දවසේ අන්ම-අන්විශ්වාසබල් එකක් වුණා. ඒ කියන්නේ අන්විශ්වාසබල් එකෙත් හොඳම එක!

බලන්න ඔහේලට කොහොමද හිතෙන්නේ කියලා?

මගේ හිතවතෙක් හිටියා (දැනුත් ඉන්නවා මුණු පොතේ, හැබැයි හමුවුණේ නෑ අවුරුදු දෙකකින් විතර) කාලයක් තිස්සේ දන්නා කියන.

සාමාන්‍යයෙන් මහේ ස්කේල් එකට අනුව හොඳ පොරක්!

දවසක් ඌයි, මායි තවත් යාළුවෙකුයි පොඩි කයියක් දාන් ඉන්න අතරේ අපේ පවුල්වල විස්තර කතා කරන්න පටන් ගත්තා.

එතකොට තමයි අපි දැනගත්තේ, මෙච්චර දවසක් අපි පවුලේ එකම ළමයා කියලා හිතන් හිටපු එකාට අයියා කෙනෙක් ඉන්නවාය කියලා. හැබැයි මේ අයියා අපේ පොරට වඩා අවුරුදු දහයක් විතර වැඩිමහල් ලු.

"ඉතිං අයියා කොහෙද වැඩ කරන්නේ? මොනවද ඌ කරන්නේ?" මං ඇහැව්වා.

"මං හිතන්නේ පොර කොළඹ පැත්තේ මොකක් හරි කම්පැනියක යි වැඩ!" මු කියපි.

"ඉතිං බං උඹ දන්නේ නැද්ද උඹේ අයියා ගේ ජොබ් එක?"

"නෑ බං! ඌ අපේ ගෙදර නෙමෙයි ඉන්නේ. බැඳලා වෙනිං ගෙදරක. අපි එක්ක ආශ්‍රයක් නෑ."

පස්සේ කතාවෙන් දැන ගත්තු විදියට මේකයි කේස් එක.

අපේ කතානායකයා ගේ අයියා ගමේ කෙල්ලෙක් එක්ක යාළුවෙලා. කුලමල කේස් එකක් නිසා ඒකට ගෙදරින් විරුද්ධ වුණත් අයියා ඒවා ගණං ගන්නේ නැතුව ඒ කෙල්ලව බැඳලා.

එදා ඉඳං අර ඉස්සර කාලේ නවකතා පොත්වල තියෙනවා වාගේ මුංගේ පවුලෙන් අයියාව අයින් කරලා!

මේ කේස් එක වෙලා තියෙන්නේ අපේ හිතවතාට අවුරුදු දහයක් දොළහක් කාලේ. ගෙදරින් මූට තහනම් කරලා අයියා එක්ක කතා කරන්න එපා කියලා.

එදා ඉඳලා අයියා මහගෙදරට ඇවිල්ලා නෑ. දැන් ඒ සිදුවීම්වලින් අවුරුදු දහයකටත් වඩා කාලයක් ගතවෙලා වුණත් තාම කේස් එක එහෙමමයි.

"ඉතිං උඹට අයියාව නිකමටවත් මුණ ගැහෙන්නේ නැද්ද?" අපි ඇහැව්වා.

"සමහර දවස්වලට අයියා වැඩට යන එනකොට මං දකිනවා."

"ඉතිං එතකොට උඹ ඌ එක්ක කතා කරන්නේ නැද්ද?"

"නෑ, බං, මං කරන්නේ ඌව පාස් වෙනකං බිම බලාගෙන යන එකයි!"

"යකෝ, උඹ නං මහ ජරා යකෙක් නේ බං!"

"නෑ මචං, පොඩි කාලේ ඉඳලාම එහෙම නිසා දැන් අවුලක් නෑ!"

මේ කේස් එකේ මට අන්විශ්වාසබල් සීන් එක තමයි මෙච්චර සමාජ අසාධාරණකම් ගැන කරුණු කාරණා දන්න අපේ යාළුවා ඒ වෙනකොට අවුරුදු විසි තුනක හතරක තරුණයෙක් වුණත්, මූට කවදාකවත් හීනෙකින්වත් හිතිලා නොතිබිච්ච එක තමන්ගේම එක බඩවැල කඩාගෙන ආපු අයියා එක්ක වචනයක් කතාබහ කරන්න!

-කතන්දරකාරයා

ප/ලි:
දැන්නං වලි ෂේප් මගෙ හිතේ!

(image: http://www.telegraph.co.uk/news/politics/labour/7728542/Labour-leadership-10-differences-between-David-Miliband-and-brother-Ed.html)

Sunday, 18 August 2013

පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද? - Watch out when you are walking along with your girlfriend!


මේ කතන්දරේ මං පෙරේදා ලියපු "ගණිකාවක් කියන්නේ මොකක්ද?" කියන කතන්දරේට සම්බන්ධයි වගේ පෙණුනට ඇත්තටම මට මතක් වුනේ ඊට කලින් ලියපු "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ ලියන වෙලාවෙයි.

ඔන්න මට මතකයි මං උසස්පෙළ කරන කාලේ මගේ ෆ්‍රෙන්තෙකුයි, මායි සෙනසුරාදා දවසක වගේ හවසක ක්ලාස් ඇරිලා බස් එකකට නගින්න බම්බලපිටියේ ඔය යුනිටි ප්ලාසා එක හරියේ හෝල්ට් එකක ඉන්නවා.

බස් හෝල්ට් එකේ මහා ගොඩක් නොවුණත් සෑහෙන් පිරිසක් හිටියා. එක පාරටම වගේ මං දැක්කා කවුදෝ මන්දා ගෑණියෙක් අපි දෙන්නා දිහා බලමින් අමුතු හිනාවක් දානවා.

මේ මනුස්සයා බැලු බැල්මට අවුරුදු තිස් ගාණක් විතර වයස කෙනෙක්. ලා රෝස පාට වගේ ඔඩ් පාටකින් සාරියක් ඇඳලා, එල්ලෙන කරාබු වගේ ඒවා දාලා බැලු බැල්මට සාමාන්‍යයෙන් බස්වල යන ගෑණුන්ට වඩා වෙනස් පෙනුමක් තමයි තිබුණේ.

"අන්න මචං ගොනෙක්!"

ඒ කියන්නේ ගණිකාවට සාමාන්‍ය ජනවහරේ භාවිතා වුණු වචනය.

මා එක්ක හිටපු ෆ්‍රෙන්තා මට කිව්වා.

එතකොට තමයි මට ඒ මනුස්සයගේ ඇඳුමේ, ස්වරූපයේ සහ හැසිරීමේ වෙනස තේරුණේ.

ඔය සිද්ධියෙන් අවුරුදු හතරකට විතර පස්සේ දවසක මං මහනුවර නගරයේ පාරක පදික වේදිකාවේ ඇවිදිනවා. අර "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ දී වගේ මගේ අතේ එල්ලිලා වගේ ගෑල්ළමයෙක් එනවා.

ඔන්න මං දැක්කා අපේ ඉස්සරහින් පාර අයිනේ වට පිට බල බල ඉන්නවා රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්.

"අන්න ප්‍රොස්ටිටියුට් කෙනෙකේ!" මං මා එක්ක යන ගෑල්ළමයාට කිව්වා.

"කෝ කවුද?"

"අර ඉන්නේ අර රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්. අන්න එයා!"

"අනේ ඉන්න බොරු නොකියා. එයා මේ කොහෙ හරි ගමණක් යන ගෑණු කෙනෙක් වෙන්න ඇති. අර හෑන්ඩ් බෑග් එකකුත් අරගෙන නේ ඉන්නේ."

"එහෙම පේනාව වෙන්න පුළුවන්. නමුත් එයා නං ප්‍රොස්ටිටියුට් කෙනෙකේ ම තමයි!"

"කොහොමද ඔයා ඔච්චර හොඳට දන්නේ? ඔයා එයාව අඳුණණවාද?"

"මං ඒ ගෑණිව අඳුණන්නේ නෑ. ඒත් දැක්ක ගමන් කියන්න පුළුවනි."

"ඒ කොහොමද කාව හරි දැක්ක ගමන් එහෙම කියන්නේ? ඉතිං මාත් දැක්කා නේ ඒ ගෑණු කෙනාව. මට නං එහෙම කියන්න බෑ."

කොහොමින් කොහොම හරි වුනේ මේ අහක යන ගෑණු කෙනෙක් හින්දා අපි දෙන්නා අතර නිකං බොරුවට ආගියුමන්ට් එකක් ඇතිවීමයි!

පාර දිගේ.. බස් හෝල්ට් එකේ.. බස් එකේ යන අතරේ.

මළ වාතයක් වුණා ඒ කේස් එක!

අන්තිමේදී මං මෙන්න මෙහෙම කියලායි ගැලවුණේ.

"ළමයෝ, ඒ මනුස්සයා ගේ කස්ටර්මර්ස් ලා පිරිමි. ඉතිං එයා ඇඳ පැළඳගෙන ඉන්නේ පිරිමින්ට තමන් කවුද කියන එක පෙන්නයි. ඒ මිසක් ගැණුන්ට මොනවා හරි මාකට් කරන්න නොවෙයි."

"ඒකයි ඒ මනුස්සයා කවුද කියලා මට තේරෙන්නේත්, ඒ බව ඔයාට නොතේරෙන්නේත්!"

"ඒ කවුද කියලා මට තේරෙන්නේ නැත්තං මං පිරිමියෙක් නොවෙයි!"

එතනින්ම ඒ ප්‍රශ්නය විසඳුණා!

-කතන්දරකාරයා


(image: http://www.toutlecine.com/images/film/0011/00117799-pretty-woman.html)

Friday, 16 August 2013

ගණිකාවක් කියන්නේ මොකක්ද? - Lessons that help you grow up


මට මතක විදියට මං තුනේ පන්තියෙන් හතරේ පන්තියට පාස් වෙච්ච කාලේ වෙනකොට මට හොඳට පොත්, පත්තර කියවන්න පුළුවනි. ඒ කාලේ ඔය කොම්පියුටර් ගේම්, ඉන්ටර්නෙට් කෙසේ වෙතත් ටෙලිවිෂන්වත් නැති වීම නිසා තමයි ඒ විදියට කියවීමට පුරුදු වුනේ.

තුනේ පන්තියේ දී තාත්තා මට මිහිර පත්තරේ ගෙනත් දෙනවා. මං ඊට අමතරව සිළුමිණේ ළමා පිටුව සහ බන්දුල හරිශ්චන්ද්‍ර ගේ චිත්‍රකතාව හෙමත් කියවනවා.

ඊට අමතරව කියවන්න අපිට ළමා පොත් කියලා වැඩි දෙයක් තිබුණේ නෑ.

ඊළඟට මට අහුවුනේ අපේ අම්මා එකතු කරලා තිබුණු රසකතා පත්තර සහ ශ්‍රී සඟරා.

රසකතා කියන්නේ ඒ දවස්වල තිබුණු දවස කියන පත්තර සමාගමෙන් ගහපු සතිපතා පත්තරයක්. ඒකේ තිබුනේ කෙටිකතා සහ කොටස් වශයෙන් පලවෙන නවකතා පමණයි. සමහර විට කවිත් තියෙන්න ඇති. විහිළු කතන්දර නම් තිබුණා.

ඉතිං මාත් පටන් ගත්තා මේ රසකතා පත්තරේ පුළු-පුළුවන් විදියට කියවන්න.

පුළු-පුළුවන් විදියට කිව්වේ, කියවා ගන්න පුළුවන් වුණාට තේරුම දන්නේ නැති වචන තියෙන නිසයි. ඒවට අපි කියන්නේ අමාරු වචන කියලනේ!

ඉංගිරිසි අමාරු වචනයක් හම්බවුණාම නම් කරන්න තියෙන්නේ ඩික්ෂනරිය බලන එකයි. මට පහේ පන්තියේදී විතර කාලේ නම් තාත්තා ගෙනත් දුන්නා සක්‍ෂිප්ත ගුණසේන ශබ්දකෝෂය කියලා පොඩි පොතක්.

නමුත් සිංහල වචනවල තේරුම තියෙන ශබ්දකෝෂයක් මට මේ මෑතක් වෙනතුරුම තිබුණේ නෑ.

ඉතිං ඒ දවස්වල අපි කරන්නේ ඉස්කෝලේදී නම් පන්තිය බාර ටීචර් ගෙන් අහනවා. ගෙදරදී නම් තාත්තාගෙන් අහනවා.

ඔන්න එක දවසක් මං රසකතා පත්තරේ තිබුණු කෙටිකතාවක් කියවන කොට අමාරු වචනයක් දැක්කා. දෙතුන් පාරක් ඒ වාක්‍යය කියෙව්වාට මේ වචනේ තේරුම නම් වැටහුණේම නෑ.

ඉතිං මං කෙරුවේ අවුරුදු අටක නමයක ළමයෙක් කරන දේ ම තමයි.

මං ගිහිං තාත්තගෙන් ඇහැව්වා!

"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"

තාත්තා උත්තරයක් දුන්නේ නෑ.

මං ආයෙත් ඇහැව්වා!

"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"

"මොකක්ද උඹ ඔය කියවන්නේ?"

"මේ අම්ම ගේ රසකතා පත්තරයක්!"

"කෝ දීපන් ඕක මෙහාට!"

තාත්තා මගෙන් පත්තෙරේ උදුරාගෙන කෙලින්ම ගියේ කුස්සියේ මොකක්ද වැඩක් කරමින් හිටිය අම්මා ලඟටයි.

"ඇයි ඕයි මේ කුණුහරුප පත්තර ගේන්නේ? ළමයි නරක් වෙනවා නේද?"

"අනේ මහත්තයා, ඕක කුණුහරුප පත්තරයක් යැ. මේ රසකතා පත්තරේ නේ!"

"ඒව වැඩක් නෑ, ආයෙ හෙම මේ කුණුහරුප පත්තරෙ හෙම ගේනව නෙමෙයි."

ඔය කතාව සාලේ ඉඳලා අහං හිටපු මං නොවෙයි කටක් ඇරියේ.

අර මඩොල්දුව පොතේ උපාලි ගිණිවැල්ල කාමේසු මිච්ඡාචාරා කියන එක කුණුහරුපයක් කියලා ඉගෙන ගත්තා වගේ ගණිකාව කියන්නේත් කුණුහරුපයක් කියලා හිතා ගත්තා.

හැබැයි ඔය කාලේ මං මඩොල්දූව පොත කියවලා තිබුණේ නෑ. ගෙදර තියෙන පොත් නේ ළමයි කියවන්නේ.

මං හා හා පුරා කියලා කියෝපු නවකතාව ගැන සඳහනක් මං ලියපු මැංචෝසන් චාරිකා කතන්දරේ සහ කණ්ණාඩි පොළඟා කතන්දරවල ලිව්වා මතකයි.

ඒ කොහොම වුනත් මං ඔය ගණිකාව කේස් එකට පස්සේ කවදාවත් කුණුහරුපයක් කියලා සැක හිතෙන වචන තාත්තාගෙන් අහන්න ගියේ නෑ.

ඒ වගේ කාගෙන්වත් අහපු නැති එක අමාරු වචනයක් ගැන තමයි "ඔසප්, ඔසප්, ඔසප්" කියන කතන්දරේ කියවෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
මගේ පුතාට දැන් වයස දොළහයි. ඒත් තාමත් පුතා මගෙන් කිසිම "අමාරු වචනයක්" ගැන අහලා නෑ. ඒ කියන්නේ කවදාකවත් අහන එකකුත් නෑ!

ප/ප/ලි:
මේ කතන්දරේ කියෝලා තියෙනවාද?
සංගීත් ඔස්තාද් අහවලා නොහොත් ගණිකාවකට බැඳි පෙම - How long is too long?


(image: http://www.dvdbeaver.com/film2/dvdreviews44/pretty_woman_blu-ray.htm)

Wednesday, 14 August 2013

ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වැරදි නමෙන් කතා කලොත්? - There are certain things you should never get mixed up!


අද අපේ ඔෆීසියේ පොඩි තේ පැන් සංග්‍රහයක් තිබුණා හවස් වරුවේ. සල්ලි එකතු කරලා, කේක් ගෙඩියක් ගෙනැල්ලා කෂ්ටිය සැට් වුනේ ෆෙයාවෙල් දෙකකුයි, වෙල්කම් එකකුයි, අවස්ථා තුනක්ම, එක දවසේ සමරන්නයි.

අපේ ඔෆීසියෙන් අස්වෙලා ලබන සඳුදා ඉඳලා අල්ලපු අමාත්‍යාංශයේ වැඩට යන අරවින්ද සුදසිංහ කියන හාදයා අපේ ඔෆීසියට ආවේ මීට මාස අටකට විතර කලින්.

පොරට දැන් කරන ජොබ් එකට වඩා තරමක පඩි වැඩි, ඒ එක්කම කරන්න වැඩියෙන් කැමති ජොබ් එකක් ලැබුණු නිසා අස්වෙලා යන බවයි කිව්වේ.

සාමාන්‍යයෙන් එකෙක් අස්වෙලා යන කොට උගේ මැනේජර් පොඩි කතාවක් කරන එක තමයි සිරිත. ඉතිං මේ කියන මැනේජර් කතාවක් කරලා සුභ පැතුවා අස්වෙලා යන පොරට.

"අරවින්ද මුණසිංහ මෙතන හිටි ටික කාලයේ සෑහෙන වැදගත් වැඩ කොටසක් කළා!" මැනේජර් කිව්වා.

මං අරවින්දයා දිහා බලලා ඇහැක් ගැහැව්වා. පොරටත් හිනා!

මොකද අරවින්ද ගේ නම සුදසිංහ මිසක් මුණසිංහ නොවෙයි!

මේ මැනේජර්කාරයා අරවින්ද වැඩට ආපු සතියේ වෙල්කම් ටී පාටි එක දවසේත් කතා කරන ගමන් අපිට අරවින්දව හඳුන්වලා දුන්නේ මුණසිංහ කියලායි.

හැබැයි එදා නම් අරවින්ද ඒක නිවැරදි කළා වහාම. ඒත් අද නම් පොර කට වහගෙන හිටියා පොඩි හිනාවක් දාලා.

ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ මට මතක් වුණා ඔය වගේ වැඩක් මටත් වෙලා තියෙනවා නේද කාලෙකට කලින් කියලා.

ඇත්තටම ඒක මීට වඩා භයානක කේස් එකක්!

ඔන්න මංතුමා අවුරුදු විසි දෙකේ කොල්ල කාලේ එක්තරා මාර්ගයක ඇවිද ගෙන යනවා. මගේ අතේ එල්ලීගෙන වගේ ගෑල්ළමයෙකුත් එනවා.

ඒ ළමයා මගෙන් මොකක්ද අහනවා. මට ඒක ඇහෙන්නේ නෑ.

මොකද දන්නවද? මගේ හිතේ වැඩ කරන්නේ මෙන්න මේ සින්දුවයි.



ඒ සින්දුව මට ඇහුණට, මේ ගෑල්ළමයාට ඇහෙන්නේ නෑ නොවැ! ඉතිං එයා ආපහු මා එක්ක ඒ මොකක් හරි කාරණේ ආයෙත් කියනවා.

ඔන්න මගේ සිහිය සැපත් වෙනවා.

එත් මට අර දෙපාරක් හෝ තුන්පාරක් ම කියපු දේ ඇහිලා නෑ.

"මොකක්ද ඔයා කිව්වේ අනුෂා?" මං එයා ගෙන් අහනවා.

උත්තරයක් නෑ!

මං ගෑල්ළමයා ගේ මූණ දිහා බලනවා.

මෙන්න බොලේ මූණ දික්වෙලා!

ඔන්න එතකොටම මට වැඩේ තේරෙනවා.

මළ කෙලියයි! මං වැරදි නමකින් නේ මේ ගෑල්ළමයාට කතා කරලා තියෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
වසන්ත ඔබේසේකර අධ්‍යක්‍ෂණය කළ, ධර්මසිරි බණ්ඩාරනායක, දමයන්ති ෆොන්සේකා සහ රන්ජන් මෙන්ඩිර් රඟපෑ පළගැටියෝ චිත්‍රපටිය නරඹලා තියෙනවාද? මේක එක අවුරුද්දක හොඳම විත්‍රපටිය විදියට සම්මාන දිනපු සම්භාව්‍ය මෙව්ව එකක්!

ඒකේත් එක සීන් එකක ප්‍රධාන නිළිය නළුවාට වැරදි නමකින් කතා කරනවා!

ඒ කේස් මං මුලින් කියපු කේස් දෙකටම වඩා අති භයංකාරයි.

මොකද දන්නවද?

මේ කියන සීන් එක ඇඩල්ට්ස් ඔන්ලි සීන් එකක්! ඒ වැඩිහිටියන්ට පමණයි ක්‍රියාව කරන වෙලාවේ තමයි මේ කාන්තාව තමන් ගේ මිනිහාට වැරදි නමකින් කතා කරන්නේ!

(මෙය මා 2011 පෙබරවාරියේ පල කළ "වෙන්ඩ කතන්දර 100" ලයිස්තුවේ කතන්දරයකි. අද නැවත සිහිවිය.)

(image: http://perezhilton.com/2012-05-08-gossip-girl-hardly-made-ratings-the-voice-is-up)

Monday, 12 August 2013

කිරිපනු ගායට පරිප්පු බේතක් ද? - Piperazine Phosphate


අපේ පොල්වත්තේ ගෙදර ඇන්ටි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ විතර, පාසල් ළමයි කියපු සින්දුවක් ලු මෙන්න මේක.

එන සිකුරාදා
කොකු පණු දොස්තර
එනවලු ළමයිනි
ඩුං, ඩුං, ඩුං!

එදාට නෑවිත්
සිටියොත් ළමයිනි
දඬුවම් දෙනවලු
ඩුං, ඩුං, ඩුං!


ඒ කවියෙන් කියවෙන්නේ ඒ දවස්වල ලංකාවේ ළමයින් අතර පැතිරිලා ගිහින් තිබුණු කොකු පණු රෝගය සඳහා බේත් දෙන්නට පාසල්වලට පී.ඇච්.අයි මහත්තයා හෙවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එනවාය කියන කතාවයි.

ඒ කොකු පණු රෝගයට දීලා තියෙන්නේ කටින් බොන සැර බේතක්. තිත්තම තිත්තයි ලු. ඒ නිසා, ළමයි කොකු පණු බේත් දෙන දවසක පාසල් එන්නේ නැතුව මග හරිනවා ලු.

පස්සෙන් පහු ඒ තිත්ත බේත වෙනුවට ඇන්ටිපා කියන එච්චරම තිත්ත නැති බේතක් ආවාය කියලයි කියන්නේ!

ඒ කොහෙම වුණත් අපේ කාලේ වෙනකොට නම් කොකු පණුගාය නොවෙයි ඒකටත් එක්ක කොල්ලෝ කුරුට්ටෝ හුඟ දෙනෙකුට තිබුණේ කිරිපණුගාය යි!

කිරිපණුවා ය කියන්නේ මිනිස් සිරුර ඇතුලේ හැදෙන වැඩෙන ඊට පස්සේ එක් මිනිස් සිරුරකින් තවත් සිරුරකට බිත්තර මගින් බෝ්වෙන කුඩා පණුවෙක්.

සාමාන්‍යයෙන් කිරිපණුගාය හැදිලා වගේය කියන්නේ එක තැන ඉන්න බැරුව දඟලන කොටනේ.

කිරිපණුගායට එහෙම දඟලන්න හිතෙන්නේ මේ කියන කිරිපණුවෝ ඉන්නේ ළමයින් ගේ බඩ ඇතුලේ ඉඳන් මේ කිරි පණු ගෑණු සත්තු බිත්තර දාන්න එළියට එන කොටයි.

ඒ එළියට එන්නේ ළමයා පස්ස පැත්තෙන් නිසා පස්ස පැත්ත කහන්න පටන් ගන්නවා. එතකොට තමයි අර දැඟලිල්ල එන්නේ. ඒ දැඟලිල්ල හින්දා තමයි කිරිපණුගාය හැදිලා වගේ කියන යෙදුම ඇවිල්ලා තියෙන්නේ.

කිරිපණුවන්ගෙන් අපිට බේරා ගන්න ඒ කාලේ අපේ තාත්තා ෆාමසියෙන් අපට ගෙනැල්ලා දෙනවා බේතක්.

ඒකේ නම ප්‍රිප්සන්. ඖෂධ නාමය පිපරසීන් ප්‍රොස්පේට්.

ඒ බේත නිකම්ම නිකං පෙත්තක් නිසා, පොල්වත්තේ ගෙදර ඇන්ටිලා ගේ කාලේ කොකුපණු ගායට බිව්වාය කියන බේත් වගේ බොන්න අප්සෙට් එකක් වුනේ නෑ.

ඩිස්ප්‍රින් වගේ අහල පුරුදු සද්දයක් තිබුණත් අපිට ප්‍රිපස්න් කියන නම ඒ කාලේ අල්ලලා ගියා. ඒ හින්දාම අපි උයලා කන පරිප්පුවලට නම දැම්මා ප්‍රිප්සන් කියලා.

* දවල්ට රෑට අපි කෑවේ එක්කො ප්‍රිපස්න් උයලා තෙම්පරාදු කරලා.
* උදේට පාන් කන්න නම් ප්‍රිපස්න් හොද්ද තරම් නැගලා යන වෙනත් දෙයක් නෑ.
* ප්‍රිප්සන් දාලා නිවිති මාලුවත් හරිම රසයි.
* ඇයි හාල්මැස්සෝ දාලා ප්‍රිප්සන් උයලා තෙම්පරාදු කළාම? දිව්‍යලෝක රහයි නේද?

ලොකු කාලේ වෙනතුරුම අපි පරිප්පුවලට ප්‍රිප්සන් කියලා කිව්වාට පස්සෙන් පහු ඒ කතාව අපිට අමතක වෙලා ගියා.

ඔන්න දැන් අවුරුදු කීපයකට කලින් අපේ ගෙදර ආවා හිතවත් ජෝඩුවක්. එදා රාත්‍රියේ කෑමටත් නතර වුණා.

මංතුමා ඉතිං බීෆ් කතන්දර ස්ටයිල්, බීන්ස් විත් පීනට්ස් වගේම පරිප්පු හදන්නත් හරිම දක්‍ෂයෙක් නේ. ඉතිං එදාත් මං පරිප්පුවක් හැදුවා.

කෑම කන්න මේසෙට ගියාම පරිප්පුව දැකලා මෙන්න අපේ හිතවතිය කියපි:

"ආ ප්‍රිප්සන් හෙමත් හදලා තියෙන්නේ!"

කියලා.

මට ටක් ගාලා වැඩේ තේරුණා.

"නිශා, ඔයා ඒ ප්‍රිප්සන් කිව්වේ පරිප්පුවලටද?"

"ඔව්!"

"ඒ කියන්නේ ඔයාත් පොඩි කාලේ ප්‍රිපසන් බීලා තියෙනවාද කිරිපණු ගායට?"

"ඔව් අනේ, අපි පොඩි කාලේ අපේ අම්මා අපිට දීලා තියෙනවා ඔය ප්‍රිප්සන් කියන බේත. ඒ කාලේ ඉඳලා අපි පරිප්පුවලට කියන්නේ ප්‍රිප්සන් කියලායි!"

"අපිත් ඒ දවස්වල පරිප්පුවලට කියන්නේ ප්‍රිප්සන් කියලා තමයි. හැබැයි ඔයා කියපු හින්දයි මට ඒක මතක් වුනේ මෙච්චර කාළෙකට පස්සේ!" මං කිව්වා.

නිශා ගේ අම්මයි, තාත්තයි දෙන්නම දොස්තරලා.

ඒ හින්දා කිරිපණුගායට හොඳම බේත ප්‍රිප්සන් ය කියන එක ගැන මට කිසි සැකයක් නෑ.

-කතන්දරකාරයා


(image: http://www.chemistdirect.co.uk/pripsen_v_135.html)

Saturday, 10 August 2013

හන්තානට පායන සඳ - රිවර්ස් ඇක්ෂන් කේස් එකක් :: A loser with a big L...!


අමරසිරි පීරිස් ගායනා කරන හන්තානට පායන සඳ කියන සින්දුව ඉතිං නොදන්න කෙනෙක් නෑ නේ?

මං මේ කියන්න යන්නේ ඒකේ රිවර්ස් ඇක්ෂන් එක විදියට සලකන්න පුළුවන් කතන්දරයක්.

ඊට ඉස්සෙල්ලා බලමු මේ කියන සින්දුවේ පද මාලාව.

හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න


මේක ලියලා තියෙන්නේ ධම්මික බණ්ඩාර. සංගීතය ඩෙනිස්ටර් පෙරේරා.

මේ සින්දුවේ කේස් එක ඉතාම කෙටියෙන් කියනවා නම් එකට උසස් පෙළ කරපු තමන්ගේ පෙම්වතිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යද්දී, විභාගෙන් ෆේල් වෙච්ච අසරණ පෙම්වතෙක් ලව් එකෙනුත් තමන් ම පරාජය බාරගන්නා සිද්ධියක් තමයි මේකේ තියෙන්නේ.

කෙල්ලට විශ්ව විද්‍යාලයේ දී කුඩේ යටින් යන්න පොරක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනය කරන ගමන්, ඒ අළුත් කොල්ලා එක්ක ලවර්ස් ලේන් එකෙන් ගිහින් මහවැලි ගඟ අයිනේ ගස් යට තුරුළු වෙන කොට තමන් ගැන අමතක කරලා දාන්න කියලත් මේ පරාජිතයා කියනවා.



මීට සමාන අදහසක් තියෙන සින්දුවක් කාලෙකට ඉස්සර සනත් නන්දසිරිත් කියලා තියෙනවා. ඒ තමයි නවාතැනෙන් ඇය යනවා කියන සුනිල් සරත් පෙරේරා ලියපු සින්දුව.

හැබැයි ඒක නම් මෙච්චර පරාජිත සින්දුවක් නොවෙයි.

නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන් කිරිත්තෝ

භද්‍ර යොවුන් විය සපැමිණ
සක්මන් මළුවල පෙම් බැඳ
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්

ඇසුර පතන දූත හසුන්
අවට මැවෙන නවක දසුන්
කුමර වියේ කුමර විකුම්
සසල කරයි සිතුම්

මතක විමන් කවුළු දොරින්
හිස පීරන උදෑසනින්
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ

සිල්ප සතර දැන එන තුරු
කල්පකාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්




ඒ සංසන්දනය කෙසේ වෙතත් මං කියන්න යන හන්තානට පායන සඳ රිවර්ස් ඇක්ෂන් කේස් එක මෙන්න මෙහෙමයි.

ඔන්න එක්තරා කාලෙක එක්තරා විද්‍යාලයක උසස් පෙල පන්තියක හිටියාලු පෙම්වතුන් යුවලක්.

කොල්ලා හොඳට විභාගේ පාස් වෙලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට තේරුණා. ඒත් කෙල්ල විභාගේ ෆේල් වෙලා වැඩේ අල්ලලා දැම්මා.

දැන් කොල්ලා හිතනවා:

මං පේරාදෙනියේ ගිහිල්ලා එහෙන් කෙල්ලෙක් සෙට් කරගෙන හන්තානේ හඳ බලඤ්ඤං;
කුඩේ යටින් නොතෙමී යඤ්ඤං;
ලවර්ස් ලේන් එක පල්ලෙහා මහවැලි ගඟ අයිනේ ලතා මඩුල්ලේ පෙම් කෙලිඤ්ඤං;

යනාදී වශයෙන්.

එහෙම හිතලා මූ මොකද දන්නවද කෙරුවේ? අර කෙල්ලට බූට් එක දුන්නා.

හැබැයි පොරට වැරදුණ තැන තමයි පොර ආවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලේ කියන මල් උයනෙන් අනිත් පැත්තේ වැලිකතරක තියෙන කම්මල නම් සුරතල් නමින් හැඳින්වෙන ඉංජිනේරු පීඨයට කියන එක.

අන්තිමේදී පොර අවුරුදු හතරක්ම වේලි වේලි ඉඳලා විශ්ව විද්‍යාලෙට ආපු විදියටම තනිකඩයෙක් විදියට අවුට් වෙලා යන්න ගියා!

මේ කේස් එක ගැන ඇත්තටම සින්දු දෙකක් ලියන්න පුළුවනි.

එකක් පොර යුනිවසිටි එකකොට කෙල්ලට බූට් එක දීලා කියපු සින්දුව. ඒක ජොලි බීට් එකකින් කියවෙන ප්‍රීතිජනක ගීයක්. අමරසිරි පීරසිත් ගේ සින්දුවේ රිවර්ස් එක.

අනික අවුරුදු හතරක් ම වේලි වේලී ඉඳලා අවුට් වෙලා යන කොට කියපු සින්දුව. මේ දෙවෙනි එක ගැණ නං ඉතිං කියලා වැඩක් නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න පේරාදෙනියේ ලව් එකක් ගැන රසවතිය බ්ලොග් එක කරන හෂිත ලියපු කතන්දරයක්.
http://rasawathiya.blogspot.com/2010/07/blog-post_11.html

Thursday, 8 August 2013

උංගු පුතා සහ ගංගි බේබි - Not grown up yet?


අප්‍රිකාවේ එක්තරා ට්‍රයිබ් එකක බබෙක් ඉපදුණාම ඒ බබා ගේ තාත්තා පවුලේ තවත් වැඩිහිටියෙක් එක්ක බබාවත් වඩාගෙන යනවා ලු කැලේ මැද්දට. ගිහින්, බබාව අහසට උස්සලා බබා ට දාන නම කියලා කෑ ගහනවා ලු.

ඒ චාරිත්‍රය ඉටු කරලා බබාවත් අරං ආපහු ගමට එන ඒ දෙන්නා වෙන කාටවත් ඒ බබාට දාපු නම නොකියා රහසක් විදියට රැකගන්නවා ලු.

මේ බබා ට අර නමෙන් නැතුව වෙනත් නමකින් ලු කතා කරන්නේ.

කැලේ දී දාපු නම දන්නේ වැඩිහිටියෝ දෙන්නයි, කෑ ගැහිල්ල අහං හිටපු දෙයියයි විතරයි!

අපි දන්න කී දෙනෙකුට ඔය අප්‍රිකා නං දැමිල්ල දාලා තියෙනවා ද? අපි ඒ අයව දන්නේ උප්පැන්නේ තියෙන නමින් නොවෙයි වෙනත් නමකින්.

පර්සි මහේන්ද්‍ර, නන්දසිරි විජේවීර හොඳම උදාහරණ දෙකක්.

සමහරු උප්පැන්නේ නම වෙනුවට වෙනත් සම්ප්‍රදානුකූල නමක් පාවිච්චි කරනවා. සමහරුන් ගේ නම්වලට මං කලින් දවසක තඩි ප්‍රියන්ත ලොකු අතුල සහ හොඳ සුරන්ජිත් කතන්දරේ දී කියුවා වගේ විශේෂණ පද එකතුවෙනවා.

තවත් සමහරුන්ට ලොවෙත් නැති නම් පටබැඳෙනවා.

ඒ විදියට පටබැඳෙන නම් සමහර වෙලාවට ඇරඹෙන්නේ තමන් ගේ ගෙදරින්මයි.

මට මතකයි මං පොඩි කාලේ අපේ තාත්ත ගේ මහ ගෙදර ඉන්න කාලේ මං පවුලේ ලොකු ළමයා හින්දා අපේ බාප්පා මට ලොක්කෝ කියලා කතා කරන්න පටන් ගත්තා.

ඒක බාප්පාට ප්‍රශ්ණයක් නොවුණේ පොරට පවුලේ අනිත් අය කිව්වේ පොඩි කොලුවා කියලයි. ඒ පවුලේ බාලයා නිසයි. මතකද අර පරණ ටෙලියකත් හිටියේ පොඩි මෑන් කියලා ළමා චරිතයක්?

කතන්දර කුමාර වගේ හොඳ නමක් තියෙන මං කැමති වුනේ නෑ මට ලොක්කා කියලා කියන එකට. මං අපේ බාප්පාට එහෙම කියන්න එපා කියලා කිව්වාම පොර කියපි එහෙම නම් ගෙදරට කියන්න වෙනත් නමක් දා ගන්න, නිකං මංජුල වගේ එකක්, කියලා!

මං නෙමෙයි ඒවට අහුවුනේ!

ඔය සේරම කිව්වේ පොඩි කතන්දර දෙකක් කියන්නයි.

ඔන්න අපේ කාලේ කැම්පස් හිටිය කෙල්ලෙක් පස්සේ කළුබෝවිල හොස්පිටිතාලේ ඉන්ටර්න් කෙනෙක් විදියට හිටියා. ඒ දවස්වල එයා නතරවෙලා හිටියේ හොස්පිටිතාලේ ඇතුලේම තිබුණු නේවාසිකාගාරයකි.

දවසක් සෙකුරිටි පෝස්ට් එකෙන් මෙතනට කෝල් එකක් එනවා.

"ඔතන ඉන්නවද ගංගි බේබි කියලා කෙනෙක්. මේ කවුද ඇවිල්ලා ඉන්නවා හම්බ වෙන්න".

පස්සේ බැලින්නම් මේ ගංගි බේබි කියලා හොයන්නේ අපේ මේ අවුරුදු විසිපහක ගෑල්ළමයාවයි. මේ ඇවිත් තියෙන්නේ මේ ගොල්ලෝ පොඩි කාලේ ඉඳලාම දන්න කියන හිතවත් පවුලක කෙනෙක්. මේ වෙනකොට ගංගි බේබිටත් අමතක වෙලයි තිබුණේ තමන්ගේ ඒ නම!

දෙවෙනි කේස් එක වුනේ බංකියකයි. (බැංකුව කියන එකට හොස්පිටිතාලේ නමේ අච්චුවෙන් කියන්න පුළුවන් බංකිය කියලා. මට මතක විදියට සරච්චන්ද්‍ර ගේ මළගිය ඇත්තෝ නවකතාවේ බංකිය, තලදසුන වගේ වචන භාවිතා කරනවා).

මේ බංකියට දවසක් අමුත්තෙක් ඇවිත් බංකියේ වැඩ කරන කෙනෙකුට දවල්ට කෑම එකක් අරගෙන. කෑම එක සෙකුරිටි එකට දීලා ගිහිල්ලා. දැන් ඉතිං සෙකුරිටි එකෙන් මේ දවල් කෑම එකේ අයිතිකාරයා හොයනවා.

හොඳ වෙලාවට ගෙදරින් බත් එක එවන කොට අම්මා ඒකේ නම ලියලා තිබුණා.

පොඩි ප්‍රශ්නයක් වුනේ ඒ "උංගු පුතා" කියන්නේ බංකියේ වැඩකරන මිස් ලා ගෙන් කොයි එක්කෙනාද කියලා හොයා ගන්න එක විතරයි!

-කතන්දරකාරයා

ප/ලි:
බබා ලා ගේ නම් ගැන මං 2009 දී ලියපු කතන්දර කිහිපයකට මෙන්න පාර.

1. පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කිහිපයක්

2. බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස

3. අම්ම ගෙ නම දුවට - බබා ල ගෙ පබා ල ගෙ නම් ගැන කතන්දර

4. ආච්චි ලා ගේ බබා ලා ගේ නම්


http://themadadr.wordpress.com/2010/04/26/do-nicknames-count/

Tuesday, 6 August 2013

පොඩි එකෙකු ගේ පොඩි සිතුවිල්ක් ගැන ලොකු කතන්දරයක් - My innocent little flower, I love you!


අපේ නිවසට කිලෝමීටර් තුනක් පමණ දුරින් ඇති කඩමණ්ඩියේ පිහිටා තිබූ එක් සාප්පුවක් පසුගිය දිනයක ගින්නෙන් පිලිස්සී විනාශ වී ගියේය.

ඒ සාප්පුව විදුලි උපකරණ යනාදිය විකුණන තරමක විශාල ප්‍රමාණයයේ එකකි. ංප ද විටින් විට එතැනින් පාරිභාගික භාණ්ඩ මිළ දී ගෙන තිබේ.

ඒ ගින්නෙන් සතියකට පමණ පසු මගේ පුතා සමග මම ඒ අසල මාර්ගයේ යමින් සිටියෙමි.

කඩයේ පිටුවපස කොටසට සහ එක් පැත්තකට සිදුවී තිබුණු මහත් වූ විනාශය අපට හොඳින් පෙනුණි. සේවකයන් කිහිප දෙනෙකු ඒ සුන්බුන් අස්කරමින් සිටියහ.

"අපරාදේ, කඩෙන් බාගයක් ම විනාසයි!" යනුවෙන් වදන් කිහිපයක් මගේ මුවින් පිටවුනේ දුක්මුසු ස්වරයකිනි.

"තාත්තේ!" පුතා මා ඇමතීය.

"ඇයි?"

"අපි මේ සාප්පුවට ආධාරයක් කරන්න ඕනෑ නේද?"

මගේ මුවට මුලින්ම නැගුනේ සිනාවකි.

ව්‍යාපාරික ස්ථානයක් ගිණිගත් විට පාරිබෝගිකයින් ඒ සඳහා මුදලින් ආධාර කිරීමේ සිරිතක් නැත. සාමාන්‍යයෙන් මේ ව්‍යාපර රක්‍ෂණය කරනු ලබන හෙයින් සිදුවන අලාබය රක්‍ෂණ වන්දියෙන් පියවා ගැනීමට හැකිය.

ව්‍යාපර හිමියා විසින් රක්‍ෂණ වාරික ගෙවන්නේ පාරිබෝගික අප මිළට ගන්නා භාණ්ඩ සඳහා ගෙවන මුදලින් එක් කොටසකින් නිසා, ඇත්තටම, ඒ වන්දිය ගෙවන්නේ ද අප ම ය.

අවුරුදු දොළහක් වයැසැති මගේ පුතා ඒ කරුණු නොදනී. ගිණිගත් සාප්පුවට මුදලින් ආධාරයක් කරමුය කියා ඔහු යෝජනා කලේ එබැවිණි.

මගේ මුවට සිනාවක් ගෙන ආවේ ඒ කරුණයි.

නමුත් මම වහාම ඒ සිනහව නවතා ගත්තෙමි.

ඒ පුතා ගේ කතාවට පසුබිම් වූ සිදුවීම සිහිවීම නිසාය.

මීට වසරකට පමණ පෙර එක් දිනක අපට දැනගන්නට ලැබුණේ මගේ පුතා ඉගෙනුම ලබන අපේ ගමේ කණිෂ්ඨ විද්‍යාලයේ සේවය කරන ගුරුවරියක ගේ නිවස ගිණිගෙන ඇය සතුව තිබූ සියළු දේ විනාස වී ඇති බවයි. කොටින්ම ඇයට ඉතිරී වී තිබුණේ ඒ මොහොතේ ඇඳගෙන සිටි ඇඳුම් පමණි.

පාසලේ ගුරු-දෙගුරු සංගමයේ මෙහෙයවීමෙන් යම් අරමුදලක් එකතුකර ඇයට උපකාර කරණ ලදී. අපට ද ඒ සද්ක්‍රියාවට සම්මාදම් වීමට හැකිවිය.

මගේ පුතා ගිණිගත් සාප්පුවට ආධාර කරමුය කීවේ ඒ අත්දැකීම මත පදනම්වය.

වසර දොළහක කුඩා දරුවෙකුවන ඔහු ගේ සිත තවමත් බාහිර සමාජයේ බලපෑමෙන් දූෂණය වී නැති බව මට වැටහිණි.

කුඩා දරුවන් මල් මෙන් යැයි කියන්නේ ඒ නිසාය.

මම මා අසල සිටි මගේ මල් කැකුලේ පිටට තට්ටුවක් දැමීමි.

"හොඳ අදහස පුතා! අපි මේ කඩේ හදලා ආපහු වෙළදාම පටන් ගත්තාම ගිහින් එතැණින් බඩු ගනිමු. ඒක තමයි අපට කරන්න පුළුවන් හොඳම ආධාරය!"

-කතන්දරකාරයා

ප/ලි:
නිරායුධ මිනිසුන්ට ගිණි බිඳින සිත් පිත් නැති රොබෝ මුරබල්ලන්ට නම් මේ පාසල් යන වයසේ පසුවන මල් කැකුළු වනාහී ඉතා පහසු ඉලක්ක බව පසුගිය සතියේ දී අපට වැටහිණි.

ඒ අපරාධය හා සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් අපි සියළු දෙනාම මහත් සේ කම්පාවට පත් වීමු.

අර කලින් වතාවල අප දුටු ඡායාරූප සහ වීඩියෝ මෙන් නොව මේවා නම් ඇත්තම ඇත්ත ඒවාය.


(image: http://kinooze.com/2013/01/27/trees-and-you/)

Sunday, 4 August 2013

කාලකණ්ණි සතුට සහ මාටින් නීමොලර් - Evil happiness and Martin Nemoller


කාලකණ්ණි සතුට කියන යෙදුම මං මුලින්ම අහලා දැන් අවුරුදු කීපයක් වෙනවා. මං හිතන්නේ මේ කතන්දරේ කියවන බහුතර පිරිසක් ඒ යෙදුම කලින් අහලා ඇති.

නොදන්නා අයගේ ප්‍රයෝජනය සඳහා කියනවා නම්, කාලකණ්ණි සතුට කියන ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ එකක්.

හිතන්න ඔබ හොඳ සිතින් කාට හරි උපදෙසක් දෙනවා අනේ ඔහොම කරන්න නම් එපා, එහෙම කළොත් මෙන්න මේ වගේ නරක තත්වයක් උදාවේවි කියලා.

නමුත් ඒ අය ඒ උපදෙස නොබලා වැඩ කරනවා.

අන්තිමේ දී ඔබ කියූ අභාග්‍ය සම්පන්න දේ සිදු වෙනවා.

දැන් ඔබට ඔබේ ඒ අනාවැකිය ඒ ආකාරයට සැබෑ වීම ගැන සතුටු විය හැකියි. අන්න ඒ වගේ සතුටක් තමයි කාලකණ්ණි සතුටක් කියලා හැඳින්වෙන්නේ.

මොකද ඒ සතුටට පාදක වුනේ ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම නිසයි.

පොඩි සරල උදාහරණයක් ගම්මු.

මේ මංතුමා 2009 ජූලි මාසයේ දී විතර ලියපු නූතන ජන කවි කියන කවි පන්තියේ කොටසක්.

අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?

සම්පූර්ණ කවි පන්තියට මෙතනින් යන්න.
http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html

ඒ කවිවලින් මං කියන්න උත්සාහ කළ දේ අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ?

වෙළඳ කලාපයේ අර්ථ සාධක හොරකමට විරුද්ධව කළ අරගලයේ දී සිදුවුණු කම්කරු මරණය, වයඹ ධීවර කලාපයේ භූමිතෙල් මිල ඉහළ යාමට විරුද්ධව කළ අරගලයේ දී සිදුවුණු ධීවර මරණය වගේ තැන්වලදී වගේම පහුගිය සතියේ වැලිවේරියේ පරිසර දුෂණයට විරුද්ධව කළ අරගලයේ දී සිදුවුණු මරණ රාශිය ගැන හිතෙන හැම වෙලාවකදීම ඕන්නං ඒ වගේ කාලකණ්ණි සතුටක් ලබන්න පුළුවනි.

මං මේ වැලිවේරියේ මරණවලින් පස්සේ ෆේස් බුක් එකේ, බ්ලොග් ලෝකයේ සහ පත්තරවලවල කියවපු දැකපු දේවල්වලින් වඩාත්ම කම්පනයක් ඇති කලේ මෙන්න මේ කතාවයි.

අප නායකත්ව පුහුණුවට එක වරක් හමුදා පුහුණු පාසැලකට යැවූ විට එහි ප්ර්දාන පාලකයා වරයා කිවේ.....

"අපිට උබල වගේ ඉගෙන ගත්තු උන් වැඩක් නැහැ. අපිට ඕනේ අණක් දුන්න ගමන් හරිද වැරදිද කියල බලන් නැතිව ඒ අණ ක්රිායාත්මක කරන්න පුළුවන් ඉගෙනගත්තු නැති උන්....උබලට මොනහරි අණක් දුන්නම උබල හිතනවා ඒ නිසා ඉගෙන ගත්ත උන්ගෙන් හමුදවකට වැඩක් නැහැ"

ඒ බව රතුපස්වල ප්රැහාරයෙන් මොනවට පැහැදිලි විය. මේ වන්නි මානුෂිය මෙහෙයුමේදී ලොව විශලතම මානුෂිය මෙහෙයුම දියත් කල වීර හමුදා සෙබලුද?

flying fish අපට රුප රාමුවල දැකීමට අවශ්යද නැත මින්ස්සු ඒක සජීවීව රතුපස්වලදී ඉතා හොදට නරබන ලදී.......සිංහල මිනිසුන් වතුර වෙනුවෙන් උද්ගෝෂණය කලවිට මෙහෙම් සැලකුවෙනම්, දෙමල මිනිසුන් තම රටත් වෙනුවෙන් සටන් කරද්දී මොඋන් කොහොම සලකන්න ඇත්ද?

උපුටා ගත්තේ: http://maathalan.blogspot.com/2013/08/blood-aginst-water.html?showComment=1375505094902#c2933660704618653920
මේ ගැන හිතන කොට ඇති වුණු එකම ප්‍රශ්නය තමයි ඇයි වැලිවේරිය කේස් එකෙන් පස්සේ අපිට ආපු වැටහීම ඒ ආකාරයෙන් ඊට කලින් කම්කරු මරණය නැත්තං ධීවර මරණය වෙලාවේ ආවෙ නැත්තේ? කියන එක.

ඒකට හේතුව එදා වුණු එක්වරකට එක් පුද්ගලයෙකු ගේ මරණ දෙකට වඩා මෙවර සිදුවුණු මරණ කිහිපය අපේ සිත් වඩාත් කම්පා කරලා, අපිට සත්‍යය හොඳින් අවබෝධ කළ නිසාද?

නැතිනම් මේ පාර කෙලින්ම බහුතරයක් සිංහල බෞද්ධයින් ඉන්න කේන්ද්‍රස්ථානෙකට බැෂ්ටිය වැදුණු නිසාද?
මතකනේ මාටින් නීමොලර් එදා හිට්ලර් ගේ නාසි හමුදාව ගැන කියූ කවිය?

First they came for the communists,
and I didn't speak out because I wasn't a communist.

Then they came for the mentally ill
and I didn't speak out because I wasn't insane.

Then they came for the Jews,
and I didn't speak out because I wasn't a Jew.

Then they came for the Catholics,
and I didn't speak out because I wasn't a Catholic.

Then they came for me,
and there was no one left to speak for me.
මෙන්න ඒ කවියේ සිංහල අනුවර්තනයක් W3Lanka බ්ලොග් එකෙන්.
http://www.w3lanka.com/2010/02/blog-post_1844.html

දැන් මෙන්න නීමොලර් ගේ කවියේ ලෝකල් වර්ෂන් එකක් ලියන්න මං ගත්තු උත්සාහයක්.
පළමුව ඔව්හූ ජෙප්පන්ව මැරූහ
අපි නිහඬව සිටියෙමු
ඒ අප ජෙප්පන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හූ දෙමලුන්ව මැරූහ
අපි නිහඬව සිටියෙමු
ඒ අප දෙමලුන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හු මාධ්‍යවේදීන් මැරූහ
අප නිහඬව සිටියෙමු
ඒ අප මාධ්‍යවේදීන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හූ කම්කරුවෙක් මැරූහ
අප නිහඬව සිටියෙමු
ඒ අප කම්කරුවන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හූ ධීවරයෙක් මැරූහ
අප නිහඬව සිටියෙමු
ඒ අප ධීවරයන් නොවන බැවිනි

මේ අතර ආයුධ පෙන්වන්න ගිය
අත්අඩංගුවේ පසුවුණු අයද වෙඩි වැදී මිය ගියහ
අප නිහඬව සිටියෙමු
ඒ අප අයිආර්සීකාරයින් නොවන බැවිනි

අවසානයේ ඔව්හූ අප කරා ආහ!

-කතන්දරකාරයා

ප/ලි:
කියවා නැති අය මේ කතන්දරයත් කියවන්න - පොලිසිය එනු දැක දුවපු කොල්ලා

(image: http://en.wikipedia.org/wiki/File:Timbre_Allemagne_1992_Martin_Niemoller_obl.jpg)

Friday, 2 August 2013

අම්මා ඩුබායි ගිය පසු තාත්තා ගේ ජීවිතය දුවක ගේ ඇසින්! - With tears in my eye


ජැකෝනිස් අන්තෝනියස් සහ අනුලා බුලත්සිංහල රඟපාමින් ගායනා කරන "නෙයිනගේ සූදුව" කියන සින්දුව දන්නවා නේද?

ඒකේ තියෙන්නේ හිටපු අගමැති ජෝන් කොතලාවල (1954-1956) ගේ තාත්තා 'ජෝන් ජ්‍යෙෂ්ඨ කොතලාවල' පොලිස්කාරයෙක් වෙලා හිටිය කාලේ නෙයිනා කියන මදාවියා මරදානේ පවත්වාගෙන ගිය කැසිනෝ එකක් අල්ලපු විස්තරයයි.

ඒ සින්දු ජවනිකාව තිබුණේ දයානන්ද ගුණවර්ධන නිෂ්පාදනය කරපු "මධුර ජවනිකා" කියන වේදිකා නාට්‍යයේ යි.

"මධුර ජවනිකා" නාට්‍යයේ අරමුණ වුණේ රවණා ගේ යුගයේ සිට වත්මන් කාලය දක්වා ලංකා ඉතිහාසයේ එක් එක් අවස්ථාවන් නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි.

නෙයිනගේ සූදුව සින්දුව එවැනි එක් ඓතිහාසික ජවනිකාවක්.

ඒ නාට්‍යයේම තිබුණු අවසාන ජවනිකාවක් තමයි ඩුබායි රටට රැකියාවක් සඳහා ගොස් කාන්තාවක් ආපසු ලංකාවට පැමිණෙන දර්ශනය.

අපේ රටේ කාන්තාවන් වෙනත් රටවල රැකියා සඳහා යාමත් ලංකා ඉතිහාසයේ වැදගත් සංසිද්ධියක් ලෙසට තමයි අද අපි සලකන්නේ.

මේ මැද පෙරදිග සේවය කරන කාන්තාවන් උපයන දේ අද ලංකාවේ විදේශ විණිමයෙන් විශාල ප්‍රතිශතයක් වෙනවා.

ඒ විදේශ විණිමය කතාව එහෙම වුණාට, කාන්තාවන්, බිරින්දෑවරුන්, අම්මලා ඒ ආකාරයට තමන්ගේ පවුල්, ස්වාමි පුරුෂයින්, දරුවන් ලංකාවේ දාලා රටින් පිට යෑම නිසා ලංකාවේ සමාජයට වුණු හානිය නම් කියා නිමකරන්න බෑ.

මගේ ළමා කාලයේ මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට හැමදාම වගේ අම්මා ගෙදර හිටියා. මට අද වගේ මතකයි, මං අටේ පන්තියේ ඉඳිද්දී එක දවසක් අම්මටයි තාත්තටයි දුර පළාතක මගුල් ගෙදරක යන්න තිබුණු නිසා එදා අපි ගෙදර එනකොට ගෙදර කවුරුවත් හිටියේ නෑ.

එදා අපිට හරිම දුක දවසක් වුණා!

එතකොට තමන් ගේ අම්මලා අවුරුදු දෙක තුනකට පිටරට ගිය නිසා ඒ මුළු කාලයම එක්කෝ තාත්තා එක්ක නැතිනම් ආච්චිලා ලඟ ඉන්න වෙන ළමයි?

පත්තරවල, චතුශ කුමාර ගේ බ්ලොග් එකේ සහ තවත් විවිධ තැන්වල ඒ වගේ කාරණා විටින් විට සඳහන් වෙලා තිබුණා මට මතකයි. ඒවා කියවන විට මට හැමදාම ඇතිවුනේ හරිම කණගාටුවක්.

පෙරේදා අපුර්වී ඔමායා බ්ලොග්කාරිය ලියලා තිබුණ කතාව කියවන කොට ඒ හැම දේකටම වඩා මගේ හිත සැලුණා.

ඒකට වැඩියෙන්ම හේතු වුණේ, අම්මා එක් වරකට අවුරුදු දෙක ගානේ කීප සැරයක්ම නොරටක රැකියාව කරන අතරේ ලංකාවේ තමන් ගේ තාත්තා ලඟ හැදුණු වැඩුණු ඔමායා ඒ කතාව ලියලා තිබුණේ තමන් ගේ අම්මා ගැන නොව තාත්තා ගැන වීමයි.

තම බිරිඳ රටින් පිට ගිය පසු සැමියෙක්, පියෙක් අත්විඳින සියළු ප්‍රශ්න කුඩා දැරියක් දකින ආකාරය ඔමායා ගේ කතාවේ අපුරුවට පෙළ ගස්වලා තිබුණා. ඒ දෘෂ්ථිකෝණය අපි සාමානයෙන් අහලා තියෙන, කියවලා තියෙන දේවල්වලට වඩා වෙනස් ආකාරයක එකක්!

මේ ලිපිය බලන ඔබ අතරින් සමහරු තාමත් ඒ කතාව කියවා නැතුව ඇති.

මෙන්න සබැඳිය නැවතත්. ගිහින් කියවන්න.
http://omageheena.blogspot.com/2013/07/blog-post_31.html

-කතන්දරකාරයා

ප/ලි:
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී


(image: http://www.dayanandagunawardena.org/work/madhura-javanika)