Sunday 4 August 2013

කාලකණ්ණි සතුට සහ මාටින් නීමොලර් - Evil happiness and Martin Nemoller


කාලකණ්ණි සතුට කියන යෙදුම මං මුලින්ම අහලා දැන් අවුරුදු කීපයක් වෙනවා. මං හිතන්නේ මේ කතන්දරේ කියවන බහුතර පිරිසක් ඒ යෙදුම කලින් අහලා ඇති.

නොදන්නා අයගේ ප්‍රයෝජනය සඳහා කියනවා නම්, කාලකණ්ණි සතුට කියන ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ එකක්.

හිතන්න ඔබ හොඳ සිතින් කාට හරි උපදෙසක් දෙනවා අනේ ඔහොම කරන්න නම් එපා, එහෙම කළොත් මෙන්න මේ වගේ නරක තත්වයක් උදාවේවි කියලා.

නමුත් ඒ අය ඒ උපදෙස නොබලා වැඩ කරනවා.

අන්තිමේ දී ඔබ කියූ අභාග්‍ය සම්පන්න දේ සිදු වෙනවා.

දැන් ඔබට ඔබේ ඒ අනාවැකිය ඒ ආකාරයට සැබෑ වීම ගැන සතුටු විය හැකියි. අන්න ඒ වගේ සතුටක් තමයි කාලකණ්ණි සතුටක් කියලා හැඳින්වෙන්නේ.

මොකද ඒ සතුටට පාදක වුනේ ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම නිසයි.

පොඩි සරල උදාහරණයක් ගම්මු.

මේ මංතුමා 2009 ජූලි මාසයේ දී විතර ලියපු නූතන ජන කවි කියන කවි පන්තියේ කොටසක්.

අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?

සම්පූර්ණ කවි පන්තියට මෙතනින් යන්න.
http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html

ඒ කවිවලින් මං කියන්න උත්සාහ කළ දේ අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ?

වෙළඳ කලාපයේ අර්ථ සාධක හොරකමට විරුද්ධව කළ අරගලයේ දී සිදුවුණු කම්කරු මරණය, වයඹ ධීවර කලාපයේ භූමිතෙල් මිල ඉහළ යාමට විරුද්ධව කළ අරගලයේ දී සිදුවුණු ධීවර මරණය වගේ තැන්වලදී වගේම පහුගිය සතියේ වැලිවේරියේ පරිසර දුෂණයට විරුද්ධව කළ අරගලයේ දී සිදුවුණු මරණ රාශිය ගැන හිතෙන හැම වෙලාවකදීම ඕන්නං ඒ වගේ කාලකණ්ණි සතුටක් ලබන්න පුළුවනි.

මං මේ වැලිවේරියේ මරණවලින් පස්සේ ෆේස් බුක් එකේ, බ්ලොග් ලෝකයේ සහ පත්තරවලවල කියවපු දැකපු දේවල්වලින් වඩාත්ම කම්පනයක් ඇති කලේ මෙන්න මේ කතාවයි.

අප නායකත්ව පුහුණුවට එක වරක් හමුදා පුහුණු පාසැලකට යැවූ විට එහි ප්ර්දාන පාලකයා වරයා කිවේ.....

"අපිට උබල වගේ ඉගෙන ගත්තු උන් වැඩක් නැහැ. අපිට ඕනේ අණක් දුන්න ගමන් හරිද වැරදිද කියල බලන් නැතිව ඒ අණ ක්රිායාත්මක කරන්න පුළුවන් ඉගෙනගත්තු නැති උන්....උබලට මොනහරි අණක් දුන්නම උබල හිතනවා ඒ නිසා ඉගෙන ගත්ත උන්ගෙන් හමුදවකට වැඩක් නැහැ"

ඒ බව රතුපස්වල ප්රැහාරයෙන් මොනවට පැහැදිලි විය. මේ වන්නි මානුෂිය මෙහෙයුමේදී ලොව විශලතම මානුෂිය මෙහෙයුම දියත් කල වීර හමුදා සෙබලුද?

flying fish අපට රුප රාමුවල දැකීමට අවශ්යද නැත මින්ස්සු ඒක සජීවීව රතුපස්වලදී ඉතා හොදට නරබන ලදී.......සිංහල මිනිසුන් වතුර වෙනුවෙන් උද්ගෝෂණය කලවිට මෙහෙම් සැලකුවෙනම්, දෙමල මිනිසුන් තම රටත් වෙනුවෙන් සටන් කරද්දී මොඋන් කොහොම සලකන්න ඇත්ද?

උපුටා ගත්තේ: http://maathalan.blogspot.com/2013/08/blood-aginst-water.html?showComment=1375505094902#c2933660704618653920
මේ ගැන හිතන කොට ඇති වුණු එකම ප්‍රශ්නය තමයි ඇයි වැලිවේරිය කේස් එකෙන් පස්සේ අපිට ආපු වැටහීම ඒ ආකාරයෙන් ඊට කලින් කම්කරු මරණය නැත්තං ධීවර මරණය වෙලාවේ ආවෙ නැත්තේ? කියන එක.

ඒකට හේතුව එදා වුණු එක්වරකට එක් පුද්ගලයෙකු ගේ මරණ දෙකට වඩා මෙවර සිදුවුණු මරණ කිහිපය අපේ සිත් වඩාත් කම්පා කරලා, අපිට සත්‍යය හොඳින් අවබෝධ කළ නිසාද?

නැතිනම් මේ පාර කෙලින්ම බහුතරයක් සිංහල බෞද්ධයින් ඉන්න කේන්ද්‍රස්ථානෙකට බැෂ්ටිය වැදුණු නිසාද?
මතකනේ මාටින් නීමොලර් එදා හිට්ලර් ගේ නාසි හමුදාව ගැන කියූ කවිය?

First they came for the communists,
and I didn't speak out because I wasn't a communist.

Then they came for the mentally ill
and I didn't speak out because I wasn't insane.

Then they came for the Jews,
and I didn't speak out because I wasn't a Jew.

Then they came for the Catholics,
and I didn't speak out because I wasn't a Catholic.

Then they came for me,
and there was no one left to speak for me.
මෙන්න ඒ කවියේ සිංහල අනුවර්තනයක් W3Lanka බ්ලොග් එකෙන්.
http://www.w3lanka.com/2010/02/blog-post_1844.html

දැන් මෙන්න නීමොලර් ගේ කවියේ ලෝකල් වර්ෂන් එකක් ලියන්න මං ගත්තු උත්සාහයක්.
පළමුව ඔව්හූ ජෙප්පන්ව මැරූහ
අපි නිහඬව සිටියෙමු
ඒ අප ජෙප්පන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හූ දෙමලුන්ව මැරූහ
අපි නිහඬව සිටියෙමු
ඒ අප දෙමලුන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හු මාධ්‍යවේදීන් මැරූහ
අප නිහඬව සිටියෙමු
ඒ අප මාධ්‍යවේදීන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හූ කම්කරුවෙක් මැරූහ
අප නිහඬව සිටියෙමු
ඒ අප කම්කරුවන් නොවන බැවිනි

ඉන්පසු ඔව්හූ ධීවරයෙක් මැරූහ
අප නිහඬව සිටියෙමු
ඒ අප ධීවරයන් නොවන බැවිනි

මේ අතර ආයුධ පෙන්වන්න ගිය
අත්අඩංගුවේ පසුවුණු අයද වෙඩි වැදී මිය ගියහ
අප නිහඬව සිටියෙමු
ඒ අප අයිආර්සීකාරයින් නොවන බැවිනි

අවසානයේ ඔව්හූ අප කරා ආහ!

-කතන්දරකාරයා

ප/ලි:
කියවා නැති අය මේ කතන්දරයත් කියවන්න - පොලිසිය එනු දැක දුවපු කොල්ලා

(image: http://en.wikipedia.org/wiki/File:Timbre_Allemagne_1992_Martin_Niemoller_obl.jpg)

84 comments:

  1. පාලකයින්ට මෙවැනි පිස්සු කෙළින්නට ඉඩ ලැබී ඇත්තේ පාලකයින් මොන තරම් දුර්දාන්ත ක්‍රියාවක් කළත් ඒවා අනුමත කිරීමට ජනගහණයෙන් යම් කොටසක් නිවට වන නිසාය. මේ නිවටවීම සමහරවිට පෞද්ගලික ලාභ ප්‍රයෝජන නිසා හෝ සහජයෙන් උරුම නිවටකම නිසා විය හැකිය. බ්ලොග් අවකාශය ගත්තොත් මිගාර වීරක්කොඩි හා චතුශ කුමාර වැන්නන් මෙවන් නිවටයන්ට හොඳ උදාහරණ සපයයි. මෙවන් නිවටයින් වෙනුවට කොන්දා පණ ඇති මින්සුන්ගෙන් පමණක් අප සමාජය සමන්විත වී නම් මේ අවාසනාවන්ත සිදුවීම් අපට අසන්නට නොලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. මාරයියා තාම නැහැ. මහ රජතුමාට කක්කා ගිය සරම හෝදන්න ගොඩක් වෙලා යනව වගේ.

      Delete
    2. මේ ලෝකයේ කිසිම කලක කොන්ද පන ඇති මිනිසුන්ගෙන් "පමණක්" යුතු වූ සමාජයක් තිබ්බ්බෙත් නැත , ඇත්තෙත් නැත අනාගතයේ ඇතිවෙන්නෙත් නැත.

      කොන්ද පන ඇති මිනිසුන් ගෙන් පමණක් යුතු සමාජයක් බිහිවෙන තුරු අනුන්ට බැන බැන තමන්ගේ වගකීම කල්දමමින් සිටින ඔබ වැනි පුස්සන් ගෙන් නම් ලංකා සමාජය පිරි ඉතිරි ගොස් ඇත.

      Delete
    3. එය නිවටකම ම නොවේ.

      ඕනෑම අයෙක් යම් දේශපාලන මතයකට පක්‍ෂග්‍රාහීත්වයක් දක්වන විට තමන්ගේ නිදහස් චින්තනය අතහැර දැමීමට සිදුවේ.

      එය දක්‍ෂිණාංශිකයින්ට පමණක් සිදුවන සංසිද්ධියක් නොවේ!

      Delete
    4. මේ කතාවේ වස්තු බීජය සාභියාගේ බ්ලොග් පෝස්ට් එක නේද කක්ක කකා? එහෙව් එකේ අසරණයට පොඩි ලින්ක් එකක් දැම්ම නම් මොකද වෙන්නේ? ඌ පිට කසන්නේ නැති නිසාද ඌට ලින්ක් නැත්තේ!

      Delete
    5. @ Anonymous August 4, 2013 at 3:39 PM

      කවුද සාභියා කියන්නේ? සාබිත් ද?

      මේ පෝස්ට් එකේ බීජය මෙන්න මෙයයි.
      http://www.w3lanka.com/2010/02/blog-post_1844.html

      එය වසර 2008 දී පල කෙරුණු සිව් සිත් කව් නමැති කවි පොතේ තිබුණු අනුවර්තන කවියකි.

      Delete
    6. කකා, කවරකු හෝ යම් මතයකට කොන්දේසි විරහිතව පක්ෂපාතී වන්නේ මන්ද? නිවටකම නිසා නොවේද?

      Delete
  2. Replies
    1. කෙන්ජී ට උත්තරයක් නැති වෙලා?

      Delete
  3. වැලිවේරියේ ගැටුමෙන් තවත් සිසුවෙකු මරුට

    වැලිවේරියේදී පසුගිය බ්‍රහස්පතින්දා ගැමියන් සහ යුධ හමුදාව අතර සිදුවූ ගැටුමෙන් තවත් පාසැල් සිසුවෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය අද උදේ තහවුරු කළේය.

    ගැටුමේදී වෙඩි වැදී තුවාල ලැබූ මෙම සිසුවා වතුපිටවල රෝහලෙන් කොළඹ මහ රෝහල වෙත වෙත මාරු කෙරිණි.

    කොළඹ ජාතික රෝහලේ අධයක්ෂක වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ඊයේ පැවසුවේ බරපතල තුවාල ලැබූ තරුණයන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකවේ ප්‍රථිකාර ලබන බවයි.

    තම ළිං වල ජලයේ පී.එච් අගය අඩු වී ඇතැයි කියමින් උද්ඝෝෂණය කළ ගැමියන් සහ යුධ හමුදාව අතර පසුගිය බ්‍රහස්පතින්දා මෙම ගැටුම ඇති විය.

    http://www.lankadeepa.lk/index.php/top_story/158302

    ReplyDelete
    Replies
    1. වසර 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ වෙලාවේ පිටකොටුවේ පැවති උද්ඝෝෂණයට කළ වෙඩි තැබීමෙන් මං හිතන්නේ එකසිය පනස් දෙනෙක් විතර මිය ගියා!

      Delete
    2. Really? I havent heard of this before

      Delete
  4. කකා,
    මට මෙව්වා දකිද්දී කල්පනා වෙන්නේ එක දෙයයි.
    අනේ අපේ රට බේරා ගන්න පැමිණි රණවිරුවා යැයි කියමින් බෝධි පුජා තබමින් හමුදාව කරේ තබාන් ගිය දකුණේ සහෝදර ජනයාට හමුදාව සලකන්නේ මෙහම නං, උතුරේ දෙමළාට මේ හමුදාව මොනවා නොකරන්නට ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මීට කලින් 1988-89 කාලවලදීත් මිනිස්සු කියලා තියෙනවා!

      http://kathandara.blogspot.com/2010/06/blog-post_21.html

      !!!

      Delete
  5. හමුදා වෙඩි පහරින් මිය ගිය පුද්ගලයා ගැන අතිශයින් කණගාටු වෙමි. සිවිල් උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට රබර් උණ්ඩ සහිත සන්නද්ධ යුධ හමුදාව කැඳවන එක අතිශය මෝඩ තීරණයකි. කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර මගින් මෙය පාලනය කිරීමට තිබුණි.

    කිසියම් උද්ඝෝෂණයක් ඇති වූ විට එය පාලනය කිරීමට ආරක්ෂක අංශ යෙදවීම භාර වන්නේ අදාල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස් පති තුමාටයි. මෙය එතුමාගේ පරිපාලන දුර්වලත්වය මත සිදුවූවක් බව සිතේ. කෙසේ නමුත් ඒ අවස්ථාවේ තත්ත්වය ගැන අපට සිතා ගැනීමට නොහැකියි.

    නමුත් ප්‍රචණ්ඩත්වය අවිය කර ගත් උන්ට ප්‍රචණ්ඩත්වයෙන්ම මතක හිටින පාඩමක් (රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින් ගේ න්‍යාය අනුව) ඉගැන්වීමට බලධාරීන්ට අවශ්‍ය වූවානම් එහි වාසිය මෙන්ම, විපාක්ෂිකයින් ඇතිකරගන්නා වෛරයේ අවාසියත් ගැනීමට බලධාරීන්ට සිදුවේවි.

    සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තියෙන දෙයක් ප්‍රචණ්ඩකාරීත්වය යොදවා විසඳා ගැනීමට යාමෙන් නැති ප්‍රශ්න ඇති කර ගනී. මෙම වීඩියෝවේ පෙනෙන පරිදි සාමකාමීව පැමිණෙන හමුදාවට ගල් ගසන්නේ එහි සිටින දාමරිකයින් විසිනුයි. එනම් දාමරිකයින් පළමුව යුද්ධය ප්‍රකාශ කරයි.

    සන්නද්ධ හමුදා බලකායකට ගල් මුගුරු වලින් දමා ගැසීමට තරම් ප්‍රචණ්ඩ උදවිය, සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දෙන ආකාරය සිතා ගත නොහැකිය. දාමරිකයින් ගල් මුගුරු වලින් දමා ගසද්දී, පුටු පහරවල් වැදුන හමුදා භටයින්ගේ ඔළු පැලී ලේ ගලා යද්දී තුවක්කු දමා දිවීම ඔවුන් කළ යුත්තක් නොවේ.

    රනිල්ගේ ඊනියා සාම කාලයේදී හමුදා බංකර් අසළටම පැමිණි කොටි සාමාජිකයින් ගල් මුගුරු වලින් ගැසූහ. ඊනියා සාමය නිසා, ඊට හමුදාව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිටි විට කොටි කළේ බංකර් ඇතුළටම වැටෙන පරිදි සොපින් බෑග් වල දැමූ අශූචි වලින් ගැසීමයි. මිනිස් අශූචි ප්‍රහාරයන් ඉවසා ගැනීමට නොහැකි කළ, කොටියාගේ කකුලකට ඉලක්ක කර වෙඩි තැබූ විට, වෙඩි කෑ කොටි රතුකුරුස කාර්යාලයට ගොස් කියන්නේ "අනේ අහිංසක අපිට හමුදාව වෙඩි තිබ්බා, හමුදාව දෙමළ වර්ග සංහාරයක් කරනවා" ආදියයි. මෙතනදීත් සමහරක් අය කියන්නේ, "වතුර බිංදුව ඉල්ලන් ආපු අහිංසකයින්ට හමුදාව වෙඩි පිට වෙඩි තිබ්බා" කියලයි. මුන්ගේ අහිංසක කම මේ වීඩියෝවෙන් බලන්න. http://www.youtube.com/watch?v=0YGh-CCUOHY (ෆේස්බුකියේ පළ විය යුත්තේ එජාපයේ අදහස් පමණක් යැයි සිතා සිටින, මේ කතාවෙන් රිදුන අය ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තාමත් සිටීනම් මාව් අන්ෆ්‍රෙන්ඩ් කර, කලින් පන්නා දැමූ පොන්සි සෙට් එකත් එක්ක නාහෙන් අඬන්න.)

    පානීය ජල ප්‍රශ්නයක් මෙතරම් දුර දිග යාමට පෙර විසඳුමක් ලබා දීම බලධාරීන් කළ යුතුව තිබුණකි. මෙය පැහැදිළිවම ඔවුන්ගේ අකාර්යක්ෂමතාවයයි. නමුත් මෙය ප්‍රශ්නය අධිකරණ මාර්ගයෙන් හෝ විපක්ෂය දේශපාලන තීරණයක් ගෙන විසඳා ගනනවා විනා ප්‍රචණ්ඩතවයෙන් විසඳා ගැනීමට ගිය නිසා, ඊටත් ප්‍රචණ්ඩත්වයෙන්ම පිළිතුරු ලැබී ඇති බව පෙනෙයි.

    සන්නද්ධ හමුදාවට ගල් මුල් වලින් ගහන්න තරම් නිර්භීත "විරුවන්" මරණය ඉදිරියේ හඬා නොවැටිය යුතුය.

    හමුදා සෙබළෙකුට පහරදුන් මාලකට හමුදාවෙන් ගැසූ එක ගැන ආතල් ගත්තානම්, එලෙසින්ම හමුදා සෙබළුන්ට පහර දෙන දාමරිකයින්ටත් හමුදාවෙන් ගැසීම නිසා ආතල් කුඩු කර ගත යුතු නැත. හමුදා සෙබළෙකුට ගැසූ මාලකව හමුදාවෙන් මැරුවානම් හොඳයි කී අය, හමුදා සෙබළුන්ට ගැසූ දාමරිකයෙක්ට හමුදාවෙන් වෙඩි තැබූ කල හොටු සහ චූ පෙරාගත යුතු නැත.

    ReplyDelete
    Replies
    1. ඔබ කතා කරන්නේ හමුදා සෙබළුන් වෙනුවෙන් බව හැඟී යයි. හමුදා සෙබළුන් පුද්ගලිකව වැරදි කරුවන් යැයි කිසිවකු සිතන්නේ නැත. හමුදා සෙබළු අණ පිළිපදිති. පිළිපැද ඇත. එහෙත් හමුදාව යනු සෙබළු නොවේ. හමුදාව වනු රාජ්‍යයේ උපකරණයක් පමණකි.

      පොදුජනයාගේ (හෝ සමහර ජනයාගේ)විරෝධය හමුදාව කෙරෙහි මිස සෙබළා කෙරෙහි නොවේ.

      හමුදා සෙබළෙකුට රාජකාරි වේලාවේදී අනන්‍යතාවක් නැත.

      Delete
    2. ඔබ හමුදා සෙබලෙක් ලෙස දෙමළ ජනතාව සමඟ ගැටුනා නම් කිසි විටෙකත් ඔහොම ප්‍රකාශ සිදු කරන්නේ නැත.හමුදා සෙබලාට රාජකාරි වේලාවේදී අනන්‍යතාවයක් ගැන මම දන්නේ නැ...ඒත් ඔහුටත් ඒ මොහොතේ වුවද හදවතක් තියෙනවා කියලා මම දන්නවා.

      Delete
    3. මේ වෙඩි තැබිමට අණ ලබාදුන් නිළධාරියා කවුද?

      Delete
    4. Ana dunne kawru wunath, ana dee aththe idiriyata mewan wiroda tha nokarana lesta padamak iganweemataya.

      Delete
    5. මාරයියගේ ගුරා .. ඔයා එක්ක මාත් එකගයි ,, වෙලදකලාපේ සිද්දීයේදීත් පොලිසිය හැසිරුණු විදියට මිනිස්සු කොච්චර මේ වගේ පෝස්ට් දැම්මත් ,,මාධ්‍ය HARAHAAA මොනා කීවත් ,අපි ඇස් වලින් දැක්කා වෙච්ච දේ . ,, ගොඩක් හොද පෝස්ට් එකක් @කතන්දර ආතේ

      Delete
    6. "හමුදා සෙබළෙකුට පහරදුන් මාලකට හමුදාවෙන් ගැසූ එක ගැන..."

      මෙයින් පෙනෙන්නේ අද ලංකාවේ සිදුවන දේ ගැන ඔබේ නොදැනුවත් කමයි. හමුදා සෙබලාට පහරදීම හේතුවෙන් මාලකගේ කෙස් ගසකටවත් හානියක් සිදුවූයේ නැත. අපේ විරෝධාර හමුදාව, තම සගයාට පහරදී, ඉනුත් නොනැවතී ඔහුව පාච්චල් කර, 'පහර කෑමේ වරදට' දඬුවම් ද ලබාදුන් මාලකට අදත් බයය.

      ළඟදී මාලකට ගැහුවේ නමින් හමුදාවේ උවත් කිසිදා යුද්දයකට සහභාගී නොවූ පිරිසකි. එයද ඒ සඳහා ඔවුන්ට ඉහලින් අණක් ලැබුන බැවිණි. ඒත් වැඩේ කිව් විදියට කරන්න අසමත් පිරිසකි.

      තනි සෙබළෙකුට දහ දොළොස් දෙනෙක් වට කර පහරදී ප්‍රසිද්දියේම ඒ බව කිව් මාලක ඉදිරියේ නොතිබුන හමුදාවේ නිර්බීතකම නිරායුධ මිනිසුන් ඉදිරියේ පෙන්වීම ඔබ අගය කරන්නේ නොතේරුම් කම නිසාම යයි සිතමි.

      Delete
  6. මූලික අවශ්‍යතාවයක් වෙචචි වතුර ටික ඉල්ලල මැරෙන්න වුන නිසා වෙන්න ඇති මේක මේ තරම් සංවේදි.ඒත් ඔය සංවේදිකම තියෙන්නේ ෆේස් බුක් පිටු වලයි, වෙබ් වලයි ,බ්ලොග් වලයි විතරයි.සාමාන්‍ය ජනතාව ඔය ගැන වචනයක් වත් කඩේ පිළේ ගමේ ගෙදර කතා කරනව මේ වෙනකම් මගෙ කණට ඇහිල නැහැ.........

    ReplyDelete
    Replies
    1. ඉන්න පෙරහැර දෙනියාය පැත්තට එනකං!

      Delete
    2. Meka Bihirek wenna athi

      Delete
  7. "අපේ එකෙක් මැරුණේ නෑනෙ" කියල හිතන්න පුරුදු වෙලා ඉන්න අපේ වගේ සමාජෙකට 'අවසානයේ ඔව්හූ අප කරා ආහ!' කියන්ටවත් වෙලාවක් ඉතිරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. කියන්න කට අරින කොටම බුලට් එක කට අස්සෙන් බඩට යයි!

      Delete
  8. කකා.....මම හිතන්නේ මේ විරෝධය මෙතනින් අහවර වෙයි.විපක්ෂයේ හැමෝටම මේ සිද්ධිය පලාත් සභා ඡන්දෙට තවත් බයිට් එකක් වෙයි.රතුපස්වල අහිංසකයින්ට ජලනල පද්ධතියකට අවශ්‍ය බඩු ටික ගිහිල්ලා බායි.
    උඹේ නීමොලර් ලෝකල් වර්ෂන් එක හරිම අගෙයි,

    ReplyDelete
    Replies
    1. මේකට තව් කොටසක් එකතු කරන්න ඕනෑ!!!

      ඒ තමයි අර ආයුධ පෙන්නන්න යන අත්අඩංගුවේ පසුවෙන්නෝ.

      Delete
    2. අවසානයේ වෙන්නේ aru කියන දේ තමයි..

      Delete
  9. අපේ ආඩම්බරකාර තාත්ත ඉන්නව නෙවෑ .අපි එයාට කියමු අපෙ දුක.එය පිහියි අපෙ කදුලු

    ReplyDelete
  10. ආඩම්බර තාත්තට කියමු අපෙ ඔලුව අත ගාන්න කියල

    ReplyDelete
  11. කාළකණ්ණි සතුට ගැන ඔබේ නිර්වචනය අසම්පූර්ණයි වගේ. ඔබ කියන අවස්ථාවේදී ලැබෙන්නේ කාලකණ්ණි සතුටක එක් පැතිකඩක් බව ඇත්ත.

    ඒත් කාළකණ්ණි සතුට කියන්නෙ තවත් කෙනෙක් විපතට 'හෙළලා' ඒ විපත දැකීමෙන් ලබාගන්නා සතුටයි.

    දෙවැනි (නෑ පළමුවැනි) කාරණය නම්, "අවසාන‍යේදී ඔවුහු අප වෙතට ආහ" කියන එක සහ මාටින් නිමොලර්ගේ කවිය විකල්ප පත්තර සඟරා වල පළ වුනේ, ඔවුන් අප වෙතට එන්නට පෙරදී ය. එහෙත් අප එය ගණන් ගත්තේ නැත. දැන් ඔවුන් අප වෙත පැමිණ ඇත. ඔබ නැවත කවිය කියයි. අප එය ගණන් ගන්නේ ද නැත. අපි, "අපි" කියන කුලකය තව තවත් කුඩා කර ගැනීමට දක්ෂය. අපි රතුපස්වල පදිංචිකාරයො නෙවෙයි.

    (විකල්ප පත්තර වල කවිය පළ වූ බව මතක් කළ විට ඒ විකල්ප පත්තරකාරයන්ට එක්තරා කාලකණ්ණි සතුටක් ලැබෙනු ඇත. එනමුත් එසේ සිතීමට මා අකමැතිය.)

    ReplyDelete
  12. කතන්දරකාරයා ගේ කථාව හරි අසාධරණයි.සියල්ල එකක් සේ දැකිම ගැන මම කණාගාටු වෙනවා..(සිංහල මිනිසුන් වතුර වෙනුවෙන් උද්ගෝෂණය කලවිට මෙහෙම් සැලකුවෙනම්, දෙමල මිනිසුන් තම රටත් වෙනුවෙන් සටන් කරද්දී මොඋන් කොහොම සලකන්න ඇත්ද?).ඔබ උගත් පුද්ගලයෙකු විදියට මම දකිනවා.ඒ නිසා මෙවැනි විචාරයක් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැ.එයට උදාහරන දෙන්න යන්නේ නැ මම.අපි එයට ප්‍රයෝගීක ව මුහුණ දිපු නිසා ඔබලා මේ වගේ කථා කිරීම ගැන කළකිරිමක් ඇතිවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. 1
      මුලින්ම පෝස්ට් එක හරියට කියවන්න.

      "සිංහල මිනිසුන් වතුර වෙනුවෙන් උද්ගෝෂණය කලවිට මෙහෙම් සැලකුවෙනම්, දෙමල මිනිසුන් තම රටත් වෙනුවෙන් සටන් කරද්දී මොඋන් කොහොම සලකන්න ඇත්ද?" යන්න මා කියූ දෙයක් නොව මාතලන් ගේ බ්ලොග් එකේ රස්තියාදුකාරයා තැබූ කමෙන්ටුවකි. එය මා සිත් ගත් නිසා මෙහි පළ කළෙමි. මම එය අනුමත කරමි.

      මා පමණක් නොව අද ලංකාවේ බොහෝ දෙණෙකුට ඒ සත්‍යය වැටහි ඇති බව අන්තර්ජාලයේ ඇති ලිපි සහ වීඩියෝ මගින් පෙනේ.

      2.
      මා උගතෙක් යැයි කීමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඔබ නූගතෙක් කියාද? නිකමට හෝ ඔබ එයින් රස්තියාදුකාරයාට ඔහු සහභාගී වූ නායකත්ව පුහුණුවේ දී හමුදා නිලධාරියෙක් කියා ඇති දේ සැබෑ යැයි කියන එකද කරන්නේ?

      3.
      කලකිරීමක් ඇති වීම හොඳ දෙයක් වෙන්න පුළුවනි. එයට පිළියම අභිනිෂ්ක්‍රමණය විය හැකියි. මා අසා ඇති පරිදි එක්තරා පුද්ගලයෙක් කලකිරීමක් ඇතිවීම නිසා අභිනිෂ්ක්‍රමණය කළා. එයින් ලොවට සිදුවුණේ යහපතක්. ඔහුගේ නම සිදුහත්.

      4.
      බලන්න මේ මිහිඳු-තිස්ස ආකාරයේ තර්කය ඔබට තේරෙනවාද කියා?

      මා බ්ලොග් ලියන්නෙක්මි. නමුත් මා බ්ලොග් ලියන අනිත් අයගේ ලිපිවල ඇති අන්තර්ගතය ගැන මට වගකීමක් නැත. මගේ වගකීම මා ලියන දේ ගැන පමණි. මා බ්ලොග් ලියන්නෙක් වූ පලියටම අනිත් බ්ලොග් ලියන්නන් ගේ වැරදි වෙනත් අය කරන දොස් අසා මා ඒවා බාර ගෙන එසේ බණින අය ගැන කලකිරෙන්නේ නැත!

      එසේම, මා රජයේ අධිකාරියක සේවය කරන්නෙක්මි. මා වැනි තවත් රජයේ සේවකයන් ඇත. ඔවුන් ගේ වැරදි ගැන මට වගකීමක් නැත. ඒ ගැණ ඔවුන්ට බණින අය ගැන මා කලකිරෙන්නේ ඇයි. මා කළකිරෙන්නේ වැරදි කරන්නන් කෙරෙහිය.

      !

      Delete
    2. නායකත්ව පුහුණුවකදි එහෙම දෙයක් කිය වි ඇත්නම් එය බරපතල වරදකි.එහෙත් මම මේ දක්වා සියළුම නායකත්ව පුහුණු පාඨමාලවන් සඳහා සහබාගි වි ඇත.එහෙත් ඒ කිසිදු අවස්ථාවක අප ආයතනයේ කිසිදු නිළධාරියෙකු එවැනි කථා නොකියු බව මම දන්නා කරණක් වෙමි.අපි හැකි උපරිම අයුරින් බින්දුවට බැස ඔවුන් හා සිටියෙමු.නායකත්ව පුහුණුව ගැන මම අදත් ගුණදොස් නොකියමි.එහෙත් අපේ රාජකාරිය අදත් සාධාරණ විදියට කරනවා.යුද්ධය කාලේ අපේ මැරුණු මිනිසුන් අනේ අපරාදේ කියන තත්ත්වය වැඩ සිද්ධ වෙනවා.ඒ තරම් ජරා ජාතියක් කියලත් හිතෙනවා සිංහලයා.ප්‍රභාකරන් කියු දේ නැවත නැවත මතකයට නැඟේ.සිංහලයා යනු කෙටි කලක් යාමේදී සිදු වු සියළු දේ අමතක කරන ජාතීයකි.එබැවින් අපේ මෙහෙයුම් සිදුවිමක් වී ටික කලක් ගත වු පසු නැවත ක්‍රියාත්මක වෙමු.

      Delete
    3. මා කළකිරෙන්නේ වැරදි කරන්නන් කෙරෙහිය.මේ ටික නම් මම අගය කරමි!

      Delete
  13. මේකට 6% කැම්පේන් එකේදි වක්‍රව මරපු විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාත් ඇතුලත් විය යුතුය් නේද?


    -I'm a frequent visitor to your blog, this is my first comment :).Sorry for being anonymous. I don't own a blog.

    ReplyDelete
    Replies
    1. නිර්නාමිකව සිටීමේ ප්‍රශ්නයක් නැත. බ්ලොග් අවකාශය එබඳු තැනකි.

      සිසුන් දෙදෙනා ගැන මතක් කර දීඟ ගැන ස්තුතියි!

      Delete


  14. අවසානයේ ඔව්හූ අප කරා ආහ!

    නියමෙනුත් නියමයි කකා!!!!!!!!.....

    ReplyDelete
    Replies
    1. කාලකණ්ණි සතුටක් ලබනවා වගේ!

      Delete
    2. අනේ අම්මෝ නෑ..ඒත් මේ වැකියෙන් ලොකු දෙයක් කියවෙනවා.....

      Delete
  15. සංවේදී නායකයා, මේ ඇත්තටම අහිංසක මිනිස්සු, මම අද ගියා වැලිවේරියේ මළගෙදරක (මේ සිද්ධියට සම්බන්ධ මළගෙයක් නෙවේ) එත් හ්මදෙනාම කතාව ඒ ගැන ,මොනවද දන්නවද මිනිස්සු කියන්නේ. (මේ හදලා කියන කතා නෙවෙයි ඇත්තටම ඇහුනු කතා )

    "ජනාධිපතිතුමා තාම මේ ගැන වචනයක් නොකීව එකනේ පුදුමේ"
    "මහින්ද මහත්තයාගේ නමත් කැත වෙන්නේ මේ යක්කු නිසා තමයි"
    "බැසිල් මහත්තයා දන්නෙත් නැතිලු හමුදාව වෙඩි තියලා යනකම්ම"
    "ෆැක්ටරි කාරයෝ හමුදාවේ ලොක්කන්ට පගාව දීල"

    ..................
    ඔය වගේ දාහක් දේ. ඇත්ත තත්වය තේරුම් ගත්ත කීප දෙනෙකුත් ඒ අතර හිටියා , එත් කතා කරන්නේ බොහොම විමසිල්ලෙන්,
    මේ ටික ඇහුණාම නම අර කාලකන්ණි සතුට ආවා කකා.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේකට තමයි ධවල භීෂණය කියන්නේ!

      Delete
  16. ප්‍රකාශිත යුද්ධයක් තියෙන අවස්ථාවක, අවි ගත් ත්‍රස්තවාදීන්ට පහරදීම සහ රතුපස්වල නිරායුධ උද්ඝෝශකයන්ට පහරදීම සන්සංදනය කරන්න එපා. ඒ දෙක සිද්ධි දෙකක්.
    (සමහරු බොරදියේ මාලුබාන්න හදනවා.ඒකයි මෙහෙම ලියුවේ)

    ReplyDelete
    Replies
    1. ජයශ්‍රී,
      නිරායුධ සිංහලයන්ට (තමන් වෙනුවෙන් ලේ දන් දීල, බෝධි පූජා කරල බව දැනදැනම ) මෙහෙම නම්, නිරායුධ දෙමළ අයට කොහොම සලකන්න ඇතිදැයි ඇසීම යුක්ති සහගත ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයේ ඇති වැරැද්ද මොකක්ද?

      Delete
    2. ජය භ්‍රී ඔබට මෙය තුන් තේරවිල්ලක් ද? නැතිනම් ප්‍රහේලිකාවක් ද?

      ඔබ ක්‍රින දේ මට නම් තේරෙන්නේ නෑ.

      ඒ දෙක සමාන කරන්න බෑ නේන්නම්. ඒකමනේ හැමෝම කියන්නේ!

      අර උද්ඝෝෂකයොත් අහන්නේ අපි කොටි ද සර් කිලා වීඩියෝවල?

      Delete
    3. බබා හුකුන් කියන්නෙ මේවට තමා.

      Delete
    4. පැහැදිලි කිරීම- වැලිවේරිය සිද්ධිය (නිරායුධ ජනතාවට වෙඩි තැබීම) සම්පූර්ණ වැරදියි ඒ ගැන විවාදයක් නෑ.එය පැහැදිලිවම හෙලා දකිනවා.(රොශේන් චානක ඝාතනයත් ධීවර සොයුරු ඇන්ටන් ගේ ඝාතනයත් මම මීට පෙර මෙලෙසින් ම හෙලා දැක ඇත්තෙමි)
      නමුත් සමහරු මේ වැලිවේරිය සිද්ධියට මුවාවෙලා කියන්න හදනවා එදා එල්ටීටීය සමූලඝාතනය කරපු එකත් වැරදියි කියල (මට එවැන්නක් පේනවා).ඒ අවිගත් අලුගෝසු ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධ කිරීම ඉතාම සාධාරණයි , නිවැරදියි.එය හා මේ සිද්ධීය සංසන්දනය කරන්න බෑ කොහොමත්.

      අමතර කරුණක්, යුද්ධයෙන් පසු කාළය ගැන මට ද විවේචන ඇත.

      එහෙත් යුධ ක්‍රියාදාමයකින් තොරව කොටි පරාජය කිරීමේ හැකියාවක් නොතිබිණි.

      Delete
    5. ත්‍රස්තවාදය සමූලඝාතනය ගැන ගැටළුවක් නැත. නමුත් ඊට මුවා වී නිරායුධ අහිංසක දෙමළ වැසියන් මරා දැමීම ගැනයි ගැටළුව. දෙක පටළවා ගන්න එපා.

      Delete
  17. වඳ පීදුනු මොටයි තුනක් ගැලෙව්වා

    - මීට ඇලා

    ReplyDelete
    Replies
    1. වඳ පීදුණු මොටයි යනු වඳ පිදුණු ගස්වල කුඩා අංකුර පැලෑටි වේ. මෙතනට ගැලපේ යැයි නොසිතමි.

      Delete
    2. ඔන්න දුකත් රොටියක් පුච්චගෙන

      Delete
    3. මිය ගොස් ඇත්තෙ තරුණයොය. ඔවුන් තවමත් අංකුර ලෙස සැලකිය හැකිය. දරුවකු මැරිම මොටයි ගැලවීමට සමාන කල සමහරු බ්ලොග් අවකාශයේ සිටිති. කකා, මෙය කාලකණ්ණි සතුටට දැමු කමෙන්ට් එකකැයි සිතාගන්න.

      Delete
  18. සිද්ධිය සාධාරණීකරණය කරවන කමෙන්ට් කීපයක් දුටු නිසා මෙසේ ලියමි. මේවා ඇසින් දුටුවන් විසින් කියූ කතා ය. මාරයියගේ ගුරා හෙවත් රංග ජේ සහ GM- Have a nice day විසින් කමෙන්ට් කර ඇති ආකාරය අනුව මෙය හමුදා සාමාජිකයන්ට ගම් වැසියන්ගෙන් එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඔවුන් සළකා ඇතැයි පෙනේ.
    1. මෙහෙයුමට සොල්දාදුවන් 1,000ක් පමණ යොදවා ඇත.
    2. ඔවුන් ටී පනස් හය ගිනි අවි වලින් සන්නද්ධව සිටි බව පෙනී යයි.
    3. මෝටර් සයිකල් බ්‍රිගේඩය සවස 2ට පමණ බැලුම්මහර හන්දියේදී උද්ඝෝෂකයන්ට විසිර යන ලෙස අණ දී ඇත.
    4. කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර අතරදී ජීව උණ්ඩ මුදා හැර ඇත්තේද හමුදාව විසින්මය.
    5. හමුදාව ගෙවල් ඇතුළු ගොඩනැගිලි තුළට කඩා වැදී සෝදිසි කර තිබේ.
    6. රැකවරණය පතා පල්ලිය තුළට වැදුණු පිරිස හඹා ගොස් ප්‍රහාරයක් මුදා හැර ඇත්තේ හමුදාවයි. පල්ලිය තුළ ලේ සළකුණු දක්නට තිබී ඇත. එහි බිත්තිවල වෙඩි වැදුණු ලකුණු තවමත් දැකිය හැකියැයි සිතමි.
    මේ අනුව, මෙහෙයුම සිදු කර ඇත්තේ උද්ඝෝෂණයක් මැඩ පවත්වන ආකාරයට නොව ගරිල්ලා සටනක් මැඩපවත්වන ආකාරයකටය. සමහරවිට උතුරේ යුද්ධයේ ආභාෂය වන්නට ඉඩ තිබේ.

    ReplyDelete
    Replies
    1. යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
      ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
      හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
      පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

      Delete
  19. අන්න තුන් වෙනියත් මැරිල. රතුපස්වල දැන් මලගමක් වෙලා. ඉතිරි උන්ටත් වෙඩි තියල දැම්මනම් වතුර ප්‍රශ්නයත් අහවරයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා මියගොස් ඇතිබව සමහරු කියනවා. අත්අඩංගුවට ගත් අය කොහේද ඉන්නේ?

      Delete
  20. හදිසි නිතියත් නැත්නම්.උද්ඝොෂණ මැඩ පවත්වන්න පොලීසියත් ඉන්නවානම්,ඒ පොලිසීය උදව්වට ආමි එකට කථා කරලත් නැත්තම්....ආමි එකට ආවට ගියාවට සිවිල් ජනතාවට වෙඩි තියන්න නිතීයෙන් බලයකුත් නැත්නම්....වෙඩි වැදිලා තියෙන්නේ වැඩිහිටියෙකුටත් නෙමෙයි පාසල් ළමයෙකුට....(සමහර මාධ්‍ය "පාසල් ශිෂ්‍යයෙක්2 කියන් නැතිව"තරුණයෙක්" කියලා කියන)
    මේක කොහොම කල්පනා කලත්,බරපතල දෙයක්...
    අඩුම තරමින් මේ සිද්දියේ වගකීම බාර ගන්න කෙනෙක් නැත්තේ ඇයි?
    නිකන් විහිළුවටවත් කාටවත් ඉල්ලා අස්වෙන්න එහෙම හිතෙන් නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. /* කාටවත් ඉල්ලා අස්වෙන්න එහෙම හිතෙන් නැත්තේ ඇයි? */

      ඔයා ඉන්නේ පිට රටක නේද?

      අද නොවෙයි 1980 දශකයේත් මේ වගේ දේ වුනා. ඒවා කරපු අයට ප්‍රමෝෂන් ලැබුණා! ආඥාපතියෝ නිවන් ගියා!

      Delete
    2. EHETH, CHANDRIKA HONDIN INNAWA, ROOKANTHA,CHANDRALEKHA TA HIRIHERA KALA WUN HIREGIYA.

      Delete
    3. KALAKANNI SATHUTA KIYANNE, MONAWAGE EKA KATADA, MAMA OBE SAMAHARA TOPICS YALI YALI MATHAK KIREEMADA, NATHNAM OBA EVA PUBLISH NOKARA SITEEMA WENI EKA KATADA.

      Delete
    4. ADA POST EKA HONDAI, MAGE GAMATH BELUMMAHARAI.

      Delete
    5. ඔන්න ඔහොම එන්නකෝ කැපිටල් අංකල්!

      බලාගෙන ගියාම අපි දෙන්නම එකම "සිය-නෑ" කෝරළේ කට්ටිය නේ.

      Delete
  21. Replies
    1. හය දෙනෙක් මියගොස් ඇත. අද (අගෝ 5) වන විටත් මිනී ලබා දී නොමැති ඉතිරි තුන් දෙනාගේ නම් අද වෙබ් අඩවීවල පල වී තියෙනවා.

      විසි දෙනෙක් අතුරුදහන් වී ඇති බවද කියවේ.

      Delete
  22. "බහුතරයක් සිංහල බෞද්ධයින් ඉන්න කේන්ද්‍රස්ථානෙකට බැෂ්ටිය වැදුණු නිසාද?"

    වැලිවේරිය කියන්නෙ කතෝලික බහුතරය ඉන්න සිංහල ගමක්. ඒකනෙ බො බ සේ එකෙන් කට හොල්ලන්නෙ නැත්තෙ ( උන් කෑ ගහන්නෙ තමන්ගෙ නෑයො වෙච්චි හරක් මරණවට මිසක් නිකං අහක ඉන්න මිනිස්සු මරනවට නෙමෙයි කොහොමත් ).

    ReplyDelete
    Replies
    1. වැලිවේරියේ පල්ලියක් සහ පල්ලියේ ඉස්කෝලයක් ද තියෙනවා. මගේ නැන්දාද එහි සේවය කළා. ඇගේ දරු දෙදෙනාද කුඩා කාලයේ ඉගෙන ගත්තේ එහියි.

      නමුත් ගම්පහ ප්‍රදේශය යනු බහුතර සිංහල බෞද්ධ ජනකොටසේ කේන්ද්‍රස්ථානයක්. මා අදහස් කලේ එයයි.

      අද වෙනකොට බොබසේ නානසාර කියා තියෙනවා එයා තමයි හමුදාව එතනට ඇරියේ කියලා!

      Delete
  23. මා මෙය දකින්නේ පරිණත නොවූ චරිත දේශපාලනය තුල ඉහලට ගැන්මේ විපාකයක් ලෙසයි.. කටුනායක, මීගමුව වගේ පැතිවලට අරක් ගත්ත දෙවියා කවුද කියලා නැවත කියන්න අවශ්‍ය නැහැ.
    මෙතනදි වෙල තියෙන්නෙ කෙලින්ම අමරිකන් ගිහිපු බත් බැලයො දෙන්නෙක් මෙහෙ ලොකු පුටුවලට කොපි පේස්ට් කරාම තියෙන අවුලක්..
    අනුරාධපුර පොලොන්නරුවෙ මිනිස්සු වකුගඩු රෝගයෙන් මාසෙට විසිහතරක් විතර මැරෙනවාලු.. ඩෙංගු වලිනුත් ලොකු ගානක් මාසෙකට මැරෙනවා. නුමුත් ඒවා උඩ එන්නෙ නැහැ යටම තියෙනවා..
    මේ විදියට ලංකාවෙ සද්ගුණවත් සංග්‍රහසීලි සිස්ටම් එකෙන් වහගත් අසාධාරන ගොඩක් තියෙනවා. ඒවා වලට ලක්වෙන අය පවා ඒක තමුන්ගේ කරුමෙ කියලා හිතන තැනට ඇවිත්.
    නමුත් වැලිවේරිය හරහා ඉස්මතු වෙන්නෙ කෙලින්ම දේශපාලනික නොදැනුව්ත් කම..
    පහුගිය දවසක ෆ්ලයිං ෆිෂ් වගේ නාට්ටි බොලු බල සේනා වගේ නාට්ටි හරහාත් පැන්නෙ ඒක.

    එච්චර හොද දෙයක් නමෛයි මේ වැඩ නම්. ඕනිම සමාජයක ආසාධාරනයට ලක්වෙන අය ඉන්නවා. නමුත් ඔවුන්වත් දන්නෙ නැහැ සමහර වෙලාවට ඔවුන් අසාධාරනයට ලක් වෙනවා කියලා..

    ReplyDelete
    Replies
    1. අන්ධානුකරණය නායකයින් කෙරෙහි ඇති දීන බලුගැත්තරකම, නිදහස් චින්තනයක් නොමැතිකම, ආත්මාරථකාමීත්වය යනාදී රෝග ව්‍යාධි තමයි මේ තත්වයට පැවතීමට ප්‍රධාන හේතු.

      Delete
  24. අපි කොච්චර බැන්නත් ඩයස්පෝරාවයි යූ.එන් එකයි නොහිටින්න දෙමළ මිනිස්සු පණපිටින් ඉද්දී ඇටත් ගලවන්න ඉඩ තිබුනා.උන් දඩ බල්ලෝ වගේ ඇහැ ගහන් ඉදපු නිසා ටිකක් මානූසීය වුනා.88,89දකුණෙ කොහොමද කලේ,වීරවංශ මහත්තයා කියන විදියට 88,89 මිනීමරු හමුදාවම තමයි දේශප්‍රේමී හමුදාව වුනේ.ආයිත් ඒ වගේ වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත! ඔය ජයශ්‍රීලා වගේ කට්ටිය විතරක් හිටිය නම් මේ රටේ දෙමළ නාමයක් හොයා ගන්න බැහැ අද!

      Delete
  25. කකා මටනම් හිතෙන්නෙ බහුතරයක් සිංහල බෞද්ධයින් ඉන්න කේන්ද්‍රස්ථානෙකට බැෂ්ටිය වැදුණු නිසා වෙන්න ඇති මේක ගොඩක් දැනුනෙ

    ReplyDelete
  26. ඉස්සෙල්ලාම මේක මේ තත්වයට වර්ධනය වෙන්න ඉඩ දීපු දේශපාලඥයෝ මේකට් වග කියන්න ඕනේ. හරි නම් මේවා මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණ කරන්න අවශ්‍ය දේවල් නෙවෙයි. මේ පළාත්වල ලිං වල වතුර ගැන ප්‍රශ්නයක් තියනවා නම්, ඊට අදාල සෞඛ්‍ය බලධාරීන් මාර්ගයෙන් ඒවාට නිසි විසඳුම් ලැබිය යුතුයි. නමුත් ආණ්ඩුව ඒ කිසිම ඉල්ලීමකට කන්දෙන්නේ නෑ, තත්වය ඔඩු දුවන්න දීලා තමන්ගේ බලය ප්‍රදර්ශනය කරන්න තමයි හදන්නේ. ඒකනේ මේවා කෙළින්ම හමුදාවට බාර දෙන්නේ.

    මාධ්‍ය ආවරණයක් ඇති, දකුණේ ජනාකීර්ණ ප්‍රදේශයක, ගල්මුල් වලින් සන්නද්ධ කලහකාරී සිවිල් ජනතාව සමග ආයුධ සහිත හමුදාවක් ගැටෙන්නේ මෙහෙම නම්, උතුරේ මෙහෙයුමේ 'මානුෂීය' බව ගැන ප්‍රශ්න ඇසීමට සිදුවීම අනිවාර්යයි. මේ ගල් මුල් අරන් එළියට බැස්සේ, මේ හමුදාවට බෝධිපූජා තියපු, සුභ පතලා බැනර් දාපු, ගමේ ගොඩේ මිනිස්සු ටිකක් බවත් මතක තියාගන්න ඕනේ. ජනතාව කලහකාරී ලෙස හැසිරුණා කියලා ඔවුන්ට වෙඩි තැබීම, මැරයන් මිසක් විනය ගරුක හමුදාවක් නොකරන වැඩක්.

    ReplyDelete
  27. හමුදාවේ සාවද්‍ය නිරවද්‍යතාවය ගැනත් කතා වෙලා තියෙන නිසා බුකියේ මං දාපු එකක් මෙතන දාන්නම්:

    හමුදාව අණ පිලිපැද්දා කියන තර්කය කියල බලපල්ලා මචං වැලිවේරියෙ මිනිස්සුන්ට.

    නීති විරෝධී අණක් පිලිපදින්න හමුදා පුද්ගලයෙක් බැඳිල නෑ කියන තර්කය දාමුකො පැත්තකටම...

    අණ පිලිපදින්නම වෙනවා නම් දණිස්සෙන් පල්ලෙහාට වෙඩි තියන්න තිබ්බා. එහෙමත් බැරි නම් වෙඩි තියලා එකෙක් මලාට පස්සෙවත් නිකං ඉන්න තිබ්බා. අත දරුවො වඩාගෙන ඉන්න අම්මලාට, වයසක උදවියට ගහන්නේ ඇයි?

    හරි, මිනිස්සු ගල්-පොලු වලින් ගහපු මලට එහෙම ගැහුවා කියමුකො. සිද්ධියෙන් පැය ගානකට පස්සෙත් ගෙවල්වල ඉන්න උන් ඇදන් ගිහින් ගහන්නෙ ඇයි? පලාතම කලුවර වෙන්න ලයිට් වලට වෙඩි තියලා ගෙවල්, තාප්ප, ගේට්ටු වලට වෙඩි තියාගෙන යන්නේ ඇයි?

    තුවාලකාරයෙක්වත් ඉස්පිරිතාලෙට ගෙනියන්න ඉඩ නොදෙන්නෙ ඇයි?

    පැහැදිලිව මේක අණ පිලිපැදීමක් පමණක් නොවේ. ක්ෂණික කෝපය නිසා ඇතිවෙච්ච ප්‍රතික්‍රියාවක් පමණකුත් නොවේ. ඔවුන්ගෙ ක්‍රියා වලින් පේනවා කිසිම අනුකම්පාවක්, මානුෂික හැඟීමක් ඔවුන් ලඟ නැති බව.

    ඔවුන් ගන්නේ ඇරියස් එකක්!

    කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ, හමුදාවේ ඉන්නෙ යුද්ධය නිසා විකෘති වූ මානසිකත්වයක් සහිත ලේ පිපාසිතයෝ. ඒක තමා තිත්ත ඇත්ත. වීරයෝ නොවේ. ලේ ඉල්ලන රෝගීන්. ඒකයි වෙඩි තියලා තමන්ගෙ තරහ නවත්තගන්න බැරි. මිනිස්සු පරාද වෙලා දිව්වට පස්සෙත් තව තවත් නෙලන්න හිතෙන්නෙ ඒකයි.

    අපට කරන්න වැඩ දෙකක් තියෙනවා.

    1. නිරායුධ මිනිසුන්, ගැහැණුන්, අතදරුවන් සිටින මව්වරු, වයසක උදවිය සිටින උද්ඝෝෂණයක් විසුරුවන්න කැරලි මර්ධන පොලීසිය නො එවා, ආයුධ සන්නද්ධ, බොඩි ආමර් පැළැඳි විශේෂ හමුදා ඒකක වලට අයත් භටයින් එවන්නට අණ දුන්නේ කවුද කියලා හොයා ගැනීම.
    2. මිලිටරි පුද්ගලයින් වහාම පුනරුත්ථාපනය කිරීම සහ රටේ ශ්‍රම බලකායේ අග්‍ර කොටස වන ඔවුන් හැකි ඉක්මනින් රටේ නිෂ්පාදනයට දායක කරගැනීම. (දැනටමත් අවුරුදු තුන හතරක්ම පරක්කුයි.)

    https://www.facebook.com/sampath.sitinamaluwa/posts/10151752745909162

    ReplyDelete
  28. මේ ගැන කියන්න තියෙන ඔක්කෝම කිව්ව වගේ හිතුනට තව ඩෙක තුනක් ලියන්න තරම් කතා ඊට පස්සෙ තියෙනවා. හාමුදුරුවන්ට සෝවාන් ඵල ලැබීම, ගරු ඩලස් මහත්තයගෙ කතාව. ගරු විමල් වීරවංශගේ කතාව. තුන්වන පාර්ෂවය වගේ ඒවා.

    නීමොලර් ගේ ලෝකල් වර්ෂන් එක නම් පට්ට...

    ReplyDelete
  29. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 69
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 0
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 19
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 20
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 30

    විශේෂ - පිට පිට දෙවරක් ස්පෑම් වාර්තාව නොලැබිම නිසා ස්පෑම් කමෙන්ටු නොලැබී ඇත යන උපකල්පනය සිදු කලෙමි.

    ReplyDelete
  30. ඔව්හූ සිරකරුවන් මැරූහ
    අප නිහඬව සිටියෙමු
    ඒ අප සිරකරුවන් නොවන බැවිනි

    ඔව්හූ විශ්ව විද්‍යාල ශිශ්‍යයන් මැරූහ
    අප නිහඬව සිටියෙමු
    ඒ අප විශ්ව විද්‍යාල ශිශ්‍යයන් නොවන (/නොවූ) බැවිනි

    ඔබ අතින් ලියවුනු ඉතා අනගි ලිපියක්!

    මා කලින් දවසකත් කියන්න හැදුවා වගේ ඔබේ ඇති ඉතා සරලව, කාවදින අන්දමින් ලිවීමේ හැකියාව අපතේ යවන්න එපා.

    - Dimithri

    ReplyDelete
  31. කකා සහන් රංවලට පොලු තිබ්බේ කවුද?

    ReplyDelete
  32. කකා බොහොම ස්තූතියි මේ පෝස්ට් එකට....

    සබෑ ජනතා ප්‍රශ්ණයක් ඇදි ඇදී යන්නට ඉඩ හැර එය උච්ච ස්ථනයයක්ට පත්වෙලා මිනිස්සු පාරට බහින කම් ඉදලා , කැරලි මැර්ධන හමුදාවක් වෙනුවට යුධ හමුදාවක් දාලා ජනතා උද්ගෝශනයක් මැඩ පවත්පු කාලකණ්නි ඉන්න රටක රටවැසියෙක් ලෙස මා ඉන්නේ ඉතා කලකිරීමෙන්..

    ReplyDelete
  33. මේ වගේ කාලීන ප්‍රස්න කතා කරන්න ඔබේ බ්ලොගය යොදා ගැනීම ගැන ස්තූතියි.හමුදාව තමුන් ප්‍රකෝප කරන්නන්ට ගැලවී යාමට ඉඩ දෙන්නේ නැත.කොයි පැත්තෙන් බැලුවත් වැඩි වාසිය හමුදාවටය.මිනිසුන් කොපමන ප්‍රකෝප වුනත්, හමුදාවට පහර දුන්නත්, ඔවුන් ආයුද යොදා ගත්තත්, ඒවා හමුදාවේ ආයුද සමග සම කල නොහැක.

    අනික, මුලු ගමක්ම පාරට බහින්නේ(වයසක අය හා ගැහැනුන් ඇතුලුව) ඔවුන් ඉතමත් අසරන වී ඇති නිසාය.බොන්න වතුර නැතිවීම, මිනිසා තිරිසනෙක් ගේ තත්වයට පත් කරයි. අපි කොපමන කෑගැහැහුවත්, මෙය කියවන අපි කිසිවෙක් ඒ අමානුශික ප්‍රශ්නය අත්විඳ නැත. අපිට කිසි දිනක බොන්න වතුර නැති වී නැත. (වතුර කැපූ දිනක ඇරෙන්න) අපේ දරුවන්ට ජරා වතුර බොන්න දීමට සිදු වීනැත.

    සෙබලා යන්ත්‍රයක් නම් ඔවුන් මෙහෙයවන්නා නිසි වෙලාවට නිසි ක්‍රියා මාර්ග ගත යුතුය.

    මේ ගැන කිසි කෙනෙක් නිසි ප්‍රකශයක් නොකරන්නේ ඉහල තැන්වල කිසි කෙනෙක් නොමැරුන නිසය.

    ReplyDelete
  34. ඔය 88 89 සමයේ හමුදාව හැසුරුණු ආකාරය මතක ඇත්නම් මේක සුලු දෙයක්ය.වෙනත් වචන වලින් මේකට කියන්නේ ආසියාවේ ආශ්චර්යය කියාය.

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.