Monday 15 October 2012

පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)


මට මේ කතන්දරේ කිව්වේ අපේ පොල්වත්තේ ගෙදර ඇන්ටි. මේක එයා ඉස්කෝලේ ගිය කාලේ කතාවක්. මං හිතන විදියට 1958, 59 කාලේ වෙන්න ඕනෑ.

ඇන්ටිලා ගේ ඇච්.ඇස්.සී. පන්තියේ ඉඳලා තියෙන්නේ ළමයි කීප දෙනයි. ඒ ඉස්කෝලේ මධ්‍ය විද්‍යාලයක් වුණාට කොඹලට දුර ගම්බද පළාතක නිසාත්, ඒ කාල වකවානුවේ අධ්‍යාපන තත්වය අනුවත් ඒ විදියට කීප දෙනෙක් ඉඳීම පුදුමයක් නොවෙයි.

අනික ඉස්කෝලේ ඉගැන්වීම සිංහළෙන්. එනිසා ඉගෙන ගන්න තිබුණෙත් කලා විෂයන් විතරයි. මේ කියන කාලේ විද්‍යාව උගන්නලා තියෙන්නේ ඉංගිරිසි මාධ්‍යයෙන් නගරබද පුද්ගලික පාසල්වල විතරයි. අද තියෙන ලොකු ලොකු රජයේ පාසල් ඒ දවස්වල පුද්ගලිකව රන් කෙරෙන, මුදල් අයකරන ඒවා.

ඉතිං මේ ඉස්කෝලේ උගන්නපු එක ගුරුවරයෙක් තමයි පොඩි සාදු හාමුදුරුවෝ. පොඩි සාදු කිව්වට පොර සාමනේර නමක් නොවෙයි ලොකු මනුස්සයෙක්. මං හිතන්නේ ඉස්කෝලේ වෙන ලොකු සාදු කෙනෙක් ඉන්න ඇති මේ සාදුට පොඩි සාදු කිව්වේ. අර ලොකු අතුල, තඩි ප්‍රියන්ත සහ හොඳ රංජිත් කේස් එකේ වගේ.

අපේ හාමුදුරුවරු මුලින් පිරිවෙන්වලයි, පස්සේ විස්ස විජ්ජාලවලයි විවිධ විෂයන් ඉගෙන ගත්තට අවසානේ දී කරන්න තියෙන්නේ එකම එක ජොබ් එකයි.

ඒක තමයි ගුරු වෘත්තිය. එක්කෝ පාසලක, නැත්තං පිරිවෙණක. ඒ කියන්නේ රැකියාකරන හාමුදුරුවරු 100% ක් ම රජයේ සේවකයෝ.

පුද්ගලික අංශයේ රැකියාවලට ආණ්ඩුවේ ඒවාට වඩා පඩි වැඩි වුණත් ගිහියන් අතරත් අද පවා රජයේ රැකියාවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒකට හේතුව තමයි රැකියාවේ ස්ථිරකම, නිවාඩු පහසුකම්, රේල්වේ වොරන්ට් සහ ඒ මොනවා නැතිවුණත් විශ්‍රාම වැටුප හෙවත් පැන්ෂන් එක!

රජයේ සේවකයෙක් විශ්‍රාම ගත්තට පස්සේ ඔහු හෝ ඇය මිය යන තෙක්ම ඒ විශ්‍රාම වැටුප ලැබෙන බව අපි දන්නවානේ.

රජයේ සේවයේ අනිත් ප්‍රතිලාභය තමයි සේවකයා විශ්‍රාම ගැනීමට පෙර හෝ පසු හෝ මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයාට ඒ කියන්නේ දැන් වැන්දඹු වී සිටින සැමියාට හෝ බිරිඳට සහ වයස 18 ට අඩු ළමුන් සඳහා වැන්දඹු සහ අනත්දරු දීමනාව ලැබීම.

හැබැයි මේවා නිකං දෙන පිං පඩි නොවෙයි.

රජයේ රැකියාව පටන් ගත්තු දවසේ ඉඳලා හැම පඩියකින්ම වාරිකයක් ගානේ ගෙවන්න ඕනෑ අනිවාර්යෙන්ම. හරියට ජීවිත රක්‍ෂණයක් වගේ.

ඔන්න එක දවසක් පොල්වත්තේ ඇන්ටි ලා ට පන්තිකාමරයේ දී මේ බව විස්තර කරපු පොඩි සාදු (ප්‍රජාචාරය වෙන්න ඕනෑ උගන්නපු විෂයය!) මෙන්න මෙහෙමත් කිව්වාලු

"බලන්න මගෙනුත් කපනවා නේ වැන්දඹු අරමුදලට සල්ලි මාස් පතා!..."

හරි අවුල නේද?

සුද්දා ගේ කාලේ රජයේ සේවකයින් සඳහා ඔය විවිධ විශ්‍රාම වැටුප් සහ දීමනා ස්කීම් හදන කොට එක්කෝ හාමුදුරුවරු රජයේ සේවයේ නොඉන්න ඇති, කොහොමටත් එංගලන්ත සභාවේ පූජ්‍ය පක්‍ෂය නම් විවාහ වෙනවානේ, නැත්තං, සුද්දෝ තර්කාණුකුලව හිතලා මතලා මේ ස්කීම් එක හදන්න ඇති.

මොකද කියනවා නං පොඩි සාදුගේ ඒ ප්‍රකාශය මුළුමණින්ම මෙන්න මෙහෙමයි.

"බලන්න මගෙනුත් කපනවා නේ වැන්දඹු අරමුදලට සල්ලි මාස් පතා,....
.....කවුද ..... ඒකට ..... හිමිකාරයා...?"


පොඩි සාදු ඔය අන්තිම කෑල්ල කියලා තියෙන්නේ පන්තියේ හිටපු කෙල්ලෝ දෙතුන් දෙනා දිහා බලමිනුයි!

-කතන්දරකාරයා

ප/ලි:
මං අහල තියෙන විදියට ඔය කේස් එක වුණාට පස්සේ තමයි සොලමන් බණ්ඩාරණායක අගමැතිවරයා තල්දූවේ සෝමාරාම කියන ශ්‍රමන වේශධාරියා ගේ වෙඩි පහරකින් මැරිලා තියෙන්නේ.

ඒ සිද්ධියෙන් පස්සේ සමාජයේ ඇතැම් කොටස් හාමුදුරුවරුන්ට නොයෙක් කෙණෙහිලි, සරදම්, අපහාස කරන්න පටන් අරං තියෙනවා.

ඒ පිට දාලා සමහර හාමුදුරුවරු උපැවිදි වුණාය කියලා මං අහලා තියෙනවා.

(image: http://authorjoyceoroz.blogspot.com.au/2011_03_01_archive.html)

43 comments:

  1. ඉතින් ඒ පන්තියේ හිටපු ගෑනු ලමයෙක් ඒ මුදල පස්සේ කාලෙකදි ගත්තලුද?:)

    ReplyDelete
    Replies

    1. නරක කතා කියන්න එපා අනේ :හිකිස්

      Delete
  2. ගුරු වෘත්තියේ සිටින ස්වාමීන් වහන්සේලාගෙන් වැන්දඹු සහ අනත්දරු අරමුදල් කපා ගැනීමේ ගොන්පාට් එක තවමත් සිදුවෙනවා. එයින් හාමුදුරුවරුන් සිවුරු හැර යාමට අනුබලයකුත් ලැබෙනවාද මන්දා. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නියෝජ්‍ය විදුහල්පති වරයකු වශයෙන් සේවය කර විශ්‍රාම ගත්තේ දැනට වසරකට පමණ පෙර. විශ්‍රාම පාරිතෝෂිකය යොදවලා පන්සල හැදුවා. ඉතුරු වැඩ ටිකක් කරන්න වැන්දඹු අනත් දරු මුදල් ගන්න තවම සටන් කරනවා.

    බණ්ඩාරනායක ඝාතනයෙන් පස්සේ ස්වාමීන් වහන්සේලාට පාරේ තොටේ යන්න බැරි තත්වයක් උදාවුනා. නිතර මිනිස්සුන්ගේ උසුළු විසුළු වලට ලක්වුනා. එක සුප්‍රසිද්ධ හාමුදුරු නමක්, බස් එකක වඩිද්දී, කටකාර කෙල්ලෝ ටිකක් ඇහුවලු, කෝ පිස්තෝලේ කියලා. හාමුදුරුවෝ උත්තර දුන්නලු තියනවා, හැබැයි ඒකෙන් වෙඩි තිබ්බොත් මැරෙන්නේ නෑ, උපදිනවා කියලා. කෙල්ලොටික බස් ඒකෙන් බැහැලා ගියාලු.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. වෙඩි වදියි කියල වෙන්නැති

      Delete
  3. අයියෝ කතන්දර බ්ලොගර් පිස්සු කෙලිනවා, කතන්දර බ්ලොග් එකේ හිට්ස් මිලියනය කෝ?

    ReplyDelete
    Replies
    1. හැම බ්ලොග් එහෙකටම මේ සිද්ධිය වෙලා

      Delete
    2. ඒකට බ්ලොගර් ලම කෙලලා ඇරලා වගේ..

      Delete
    3. උඹ නාඩන්
      උඹ නාඩන්
      උඹට මේවා
      හොඳ පාඩං

      Delete
    4. අම්මටසිරි. කතන්දර අද සිය දිවි නසා ගන්නවා. ඕකනෙ අපි කිව්වෙ වර්ඩ්ප්‍රෙස් පාවිච්චි කරන්න කියලා. ඔය හෙළයෝ හදපු බ්ලොග්ස්පොට් ෂුවර් නෑ.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. බ්ලොගර් වගේම උඹටත් අද අවුල්ද?

      Delete
    7. කතන්දර ට මගෙන් සුභ පැතුම්....ඔන්න ෆලෝවර්ස්ලා 1000. 1000 වෙනියා මං තුමා.

      Delete
  4. ශ්‍රමන වෙශධාරියා හරි ලේසී වචනේ. හොරෙක් සිවුරක් දාගෙන එහෙම දැම්මට අවුලක් නෑ. මේ ඇවිත් රටේ ප්‍රසිද්ධ නායක හාමුදුරුවරු. අර බේරුවල පැත්තේ ගෙම් දීපි එකාටත් මේ නම දාලා ශේප් වෙනවා. ඒ උනාට උන්නාන්සේ අධිකරණ සංඝ නායක.

    ReplyDelete
  5. ඈ යකඩෝ කෝ මේ හිට් කවුන්ටරේ රීසෙට් වෙලානේ.මොකද මේ . මගෙත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ලඟදි බ්ලොගර් අලුත් interface එකට මාරු උනානේ බං. එවෙලේ තමයි ඔක්කොම කචල්. සමහර බ්ලොග් වැඩ කලෙත් නැහැ ටික දවසක්.

      Delete
  6. අපේ යල් පැනපු නීති වල හැටි තමයි.

    ReplyDelete
  7. ඔය 'වැන්දඹු අනත්දරු ප්‍රතිලාභය' නිසා වාසියක් වුණු අය බොහෝයි. එක්කෙනෙක් තමයි 'තත් තත් තත් තාර පැටියා' ගීතය ගයන හෙන්රි කල්දේරා අන්ධ ගායකයා. (මතක හැටියට ඔහු තවම ජීවතුන් අතර - වැරදි නම් නිවැරදි කරන්න.) දැනට වසර අසූවක් පමණ වන ඔහු ජීවිත කාලයේ වැඩි හරියක් මේ දීමනාව ලැබුවා - පියා රජයේ සේවකයකු වීම නිසා.

    හැබියි ලොකුවට කෑගැහුවට මොනවද මේ දීමනා? ලංකාවේ රජයේ සේවකයින්ගෙන් 90%කගේ පෙන්ෂන් එක මාසෙකට රුපියල් 3,000 කට අඩුයි. දේශපාලකයන්ගේ භාර්යාවන් අතුරින් වැඩිම පෙන්ෂන් එක ලබන්නේ හේමා ප්‍රේමදාස. එය රුපියල් 32,000ක්, මතක හැටියට.

    ReplyDelete
    Replies
    1. කල්දේර මැරුන නේද? මතක විදියට නං මැරුන. කොහොම උනත් අවුරුදු 80ක් විතර පෙන්ෂන් එක ගන්න ඇති. හේතුව ආබාධිතයෙක් වීම. සාමාන්‍ය ළමයෙකුට නං අවුරුදු 18ක් වෙනකල් විතරයි ලැබෙන්නෙ.

      Delete
    2. හෙන් රි කල්දේරා අන්ධ ඇත්තියක් බැඳල පුතෙක් උන්න. ඉතින් කොහෙද මිනිහට අනත්දරු හම්බවෙන්නෙ?

      Delete
    3. ඉන්දික මහත්තයෝ, හෙන්රි කල්දේරා මහත්මයාගේ පියා මැරුණායින් පස්සෙ තමයි එයාට පියාගේ නමින් ඔය පෙන්ශන් එක ලැබුනේ. අනත්දරු දෙන්නේ දරුවො මැරුණ පියාට නෙවෙයි පියා මැරුණ දරුවන්ට.

      විමසිල්ලෙන් කියවන්න

      Delete
    4. ඒක තමයි. මෙයා බ්ලොග් කියවන එකත් ණය දෙනවා වගේ ලේසියි කියලා හිතාන ඉන්නෙ. :-)

      Delete
    5. කසාද බැඳපු දරුවොන්ට අනත්දරු ගෙවනව කියල මේ ඇහුවමයි!

      Delete
    6. ඒක තමයි. මෙයා බ්ලොග් කියවන එකත් ණය දෙනවා වගේ ලේසියි කියලා හිතාන ඉන්නෙ. :-)

      hik hik heee

      mama abeetha

      Delete
    7. මචන් අන්ද නිසා එයාට ඒක ලැබෙන්නේ ,
      කසාද බැන්ඳ කියල ඇස් පෙනීම ලැබෙනවා කියලයි ...

      Delete
    8. මචං දන්න විදිහට නම්, අනත් දරු කියලා සඳහන් කරලා තියෙන්නේ 18ට අඩු පිරිමි දරුවන් හා 21ට අඩු ගැහැණු දරුවන්. විශේෂ අවස්ථාවක් තමයි ආබාධිත දරුවන්.
      නමුත් මෙම වයස් සීමාවන් හා අවස්ථාවන් සියල්ල විවාහයත් සමග නැති වෙනවා.
      ආබාධිත වුණත් විවාහයක් වෙන්නේ තමන්ට හා කලත්‍රයාට යැපෙන්නට පුළුවන් ජීවිකාවක් තියෙන අය නේද?
      එහෙම බැලුවම කල්දේරා තාත්තගේ පෙන්ෂන් එකෙන් තමන්ගේ පවුල නඩත්තු කරන්නද විවාහ වෙලා තියෙන්නේ?

      Delete
  8. මොකද්ද මේ? එක වෙලාවක බලන කොට කතන්දර කියවපු වාර ගණන 1,083,85 යි. තව වෙලාවක බලන කොට 309යි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕක මොකක්ද? 1,083,85 ට 309 ක් එකතු කරන්නකො. කතාව ඉවරයිනෙ.

      - සනාත

      Delete
  9. අද කතන්දරේ නං නියමයි. මටත් ඔළුව දාන්න පුළුවන්.
    කතාව දැක්ක ගමන් මාත් පොඩ්ඩක් හොයල බැලුව සීන්එක. ඕක වෙන්නෙ මෙහෙමයි. කලින් තිබුන නීතියෙ හැටියට ගැහැණු කෙනෙකුට පුළුවන් වැන්දඹු අනත්දරු ක්‍රමයට දායක නොවී ඉන්න. පිරිමින්ට අනිවාර්ය උනා. දැන් ක්‍රමයේ හැටියට හැමෝම මේකට දායක වෙන්න ඕන. මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ මුදල් කපන්නෙ "තමන්ට" පැන්ෂන් එක දෙන්න නෙවේ, නිලධාරියාගෙ මරණින් පස්සෙ ළමයින්ට-බිරිඳට දෙන්න. එතකොට මතුවෙන අවුල තමයි හාමුදුරුවන්ගෙන්, අවිවාහකයන්ගෙන් කපන්නෙ ඇයි කියන කාරණාව. එහෙම කරන්නෙ හොඳ හේතුවක් ඇතිව. හාමුදුරුවො සිවුර ගලවල කසාදයක් බැඳනොගනී කියල කාටවත් සහතික වෙන්න බෑනේ. නැත්තං බැඳල නැති කෙනෙක් දිගටම අවිවාහකව ඉඳීවි කියල කියන්න බෑනේ. අන්න ඒකයි පඩියෙන් කපන්නෙ. පැන්ෂන් යන වෙලාවෙ එයා බැඳල හිටියෙ නැත්නම් කපාගත්ත මුදල් පොලියත් එක්කම ලැබෙනව. ඒක හාමුදුරුවන්ට වගේම අවිවාහක ඕන කෙනෙකුට ලැබෙනව. හරිම සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇත්ත බං . මගේ තාත්තා මැරුනේ 1996 තමත් අම්මට තාත්තගේ වැටුප ලැබෙනවා .

      Delete
    3. රාජ් උඹ කටපියන් උන්නනං පවතින ක්‍රමේට පලු යන්න තව ටිකක් බනින්න තිබ්බ. අපරාදෙ චෑන්ස් එක.

      Delete
    4. රාජ් 100% හරි.... ඒ විතරක් නෙමේ දැන් නම් රු 3000.00 ට අඩු පෙන්ෂන් ගන්න කවුරුත් නෑ වගේ... කොහොමත් හැමෝටම වගේ 5000.00කට එහා හම්බවෙනවා...

      Delete
    5. තාරක
      ඒක හරි. උඩ ඇනෝ කියල තියන විදියට 90%කට 3000ට අඩුයි කියන එක වැරදියි. මම කොළඹ වැඩකරන කාලෙ ඒ ඔපීසියෙන් එක්තරා හමුදා නිලධාරියෙකුගෙ පෙන්ෂන්එක හැදුව. 50000කට වැඩියි. ඊට පස්සෙ එයා ත්‍රිකුණාමලයෙද කොහෙද දිසිත්‍රික් ලේකම් කලා.

      Delete
  10. ඔය අහුවෙන්නේ හොර :)

    ReplyDelete
  11. අද නම් ලොලේ ලොල් කතාවක්.
    පස්සේ කාලේ ඔය හාමුදුරුවොත් උපැවිදි වෙලා විවාහ වෙලාද?.

    ReplyDelete
  12. monawada me liyala thiyenne. Pissuda.

    ReplyDelete
  13. අර හිට් කවුන්ටර් අප්සට් ගිය වෙලාවේ මම මේ බ්ලොග් එකට ඇවිත් බැලුවා. යහතින් තිබ්බ. එකෙන් මට හිතා ගන්න පුළුවන් වුනා මේක ගුගල් සර්වර් වල අවුලක් කියලා. අද අපේ ඔෆිස් එකෙත් ඔය වැන්දබු අනත්දරු කේස් එක කතා කළා.

    ReplyDelete
  14. ඉතිං ඊට පස්සේ!!!!

    ReplyDelete
  15. හැන්ඩියන්ට බඩු නෑ ක්‍රෑමන්ට ක්ලාස් නෑ වගේ තමා... කැම්පස් එකේ හොදම කෑලි උස්සන්නෙ හාමුදුරුවරු තමා...

    ReplyDelete
  16. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    මේ සාදු ඒ දිනවල නං සිවුර නොඇරිය බව මා කළ විමසුමේදී ඇන්ටී පැවසුවාය.

    ReplyDelete
  17. රාජ් කියල තියෙන කතාව ඇත්ත ආයේ කතා කරන්න දෙයක් නැහැ ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.