Monday, May 16, 2011

නූතන ජන කවි - කැමති නං කියවන්න, එපා නං (ඒත්) කියවන්න! :: Modern folk poems-To read even if you dont want to


මේ කවි ටික මං ලිවුවේ දැනට අවුරුදු දෙකකට විතර කලින් (ජූලි 2009).

මේක මං මීට කලින් දාපු දිව්‍යලෝකේ ගිය ගමන, කටුබැද්දේ කුකුල්ලු දෙන්නා වගේ කයි කතන්දරයක් නං නෙමේ. ඒ හින්දා රනින් කමෙන්ට්‍රියක් දෙන්නේ නං නෑ.

ඒ එක්කම තට්ටෙන් සොමිය දීම, ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා වගේ පුද්ගලික අත්දැකීමක් ගැන ලියවුණු කවි පන්තියකුත් නෙමේ.

කයි-කතන්දරයක් කෙසේ වෙතත් කවි-ප්‍රහේලිකාවක් කියලා කියන්න පුළුවනි.

ඉස්සර කාලේ එක්තරා ගුරුවරයෙක් කියන්න පුරුදු වෙලා හිටියා වගේ, ඕනැ නං කියවන්න, එපා නං (ඒත්) කියවන්න.

නූතන ජන කවි

මාවිල් ඔයේ වක්කඩ හැංගුව හකුරූ
පුදුමාතලන් වෙරලේ දියවුනු අයුරූ
රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
ලෝ දම් කෙලෙස වලකනු හැකිවෙද, මිතුරූ?

අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?

යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

ගසා දුම් බඹර පරපුර එලවාපං
කඩා ගත් මීය රස කරමින් කාපං
මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
එපා ලෙවකන්න කෑ අත හෝදාපං

මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?


-කතන්දරකාරයා

ප/ලි:
කැමති නං විතරක් මොනව හරි ලියලා යන්න.

27 comments:

  1. කවි ටික ෂෝක්.

    ආයෙමත් ස්ක්රෝලින් අප් ඇන්ඩ් ඩවුන් ෆුල් කචල්.

    ReplyDelete
  2. "අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?"

    Fantastic

    ReplyDelete
  3. ලියූ සැනින් දාන්නේ නැතිව මෙපමණ කලක් ළඟ තියන් හිටි එකනම් ලොකු දෙයක්. දැන් තමා මේ කවි වලට වටිනාකමක් ලැබෙමින් පවතින්නේ....

    ReplyDelete
  4. මට නම් කවි ගැන කිසිදු අදහසක් නැත.

    ReplyDelete
  5. අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?

    ReplyDelete
  6. කතන්දර වලට අතුරු කතන්දරයක්

    එකෝමත් එක රටක කොටියෙක් හිටියලු, මේ කොටියා හැමදාම අසල ගමකට ගිහින් ගමේ හරක් පට්ටියෙන් හරකෙක්ව මරාගෙන කනවලු.. මෙහෙම දවස් ගෙවෙන අතරේ එක දවසක් මේ කොටියට අහුවුනේ පුංචි හරක් පැටියෙක්. ඉතිං කොටියා කල්පනා කරාලු මේ හරක් පැටියව අද මරාගෙන නොකා ලොකුවෙන්න ඉඩ ඇරලා පස්සේ මරාගෙන කනවා කියලා. එහෙම හිතලා කන විතරක් කඩාගෙන පොඩි සළකුණකුත් තිබ්බාලු පස්සේදි හඳුනාගන්න පහසුවෙන්න.

    දැන් කාලය ගෙවිලා ගිහින් අර හරක් පැටියා හොදට පෘෂ්ටිමත්ව හැදිලා..ඉන්න අතරේ කොටියා කල්පනා කලාලු දැන් කාලය හරි.... මේ කාලයක් බලාගෙන හිටපු හරකාව කන්න කියලා. එහෙම හිතලා මඟ ‍රැකගෙන ඉදලා හරකා එනකොට එකපාරටම හරකගේ බෙල්ලටම පැනලා තියෙනවා මරාගන්න.

    නමුත් මේ වෙනකොට හරකා හොද නාම්බා නිසාත් කොටියා වයසට ගොස් සිටි නිසාත් කුරුමානම හරිගියත් මෙල්ල කරගන්න බැරි වුන නිසා කොටියවත් කරේ තියාගෙන හරකා කන් දෙක හොල්ල හොල්ලා කැළයට දුවනවලු..
    එතකොට කොටියා මෙහෙම කියනවාලු

    "පොඩි කොට නොකෑ කොට
    ලොකු කොට කන්න වූ කොට
    මා අත වරද කොට
    ගස්ස ගස්සා නාදු කන් කොට"

    කොටියත් අපිට හිතන්න යමක් ඉතුරු කරලා ගිහිල්ලා......

    අළුත් ජනකවි කියවන අයටhttp://wihagageethaya.blogspot.com/2011/04/blog-post_17.html#links මෙතනින් කියවන්න පුළුවන්.

    ReplyDelete
  7. ඒක හැබෑව ඒ කාලෙට වඩා දැන් තමයි වටින්නේ ඕO.....
    කතන්දර මග හැරිච්චත් සේරෝම කියවලම උන්න පලමුවෙන්ම.....

    ReplyDelete
  8. ඔහෙප්පලයන්.... මසුරං කවි ටිකනෙව.

    ReplyDelete
  9. සිරා කවි ටික නොවෑ............. ඇඩේනවා...........

    ReplyDelete
  10. නූතන ජන කවි ගොතන්න වෙලාව මදි නිසා, මම ටිකක් විතර උපහාසය තියන පුංචි සංවාදයක් කියන්නම් ජන කවියෙ තියෙන......

    ලෙඩා;
    පෙර කාලේ අකුසල් මගෙ ඉතිරිව තව තිබිලා
    රෑ කාලේ තදින් පැවති වැස්සට මම තෙමිලා
    සුණුසාලේ බතුත් සමඟ කොස්ඇටහොඳි කාලා
    වෙද රාලේ ඉන්ට බැරිය බඩේ ගාය හැදිලා

    වෙදමහතා;
    පෙර කාලේ අකුසල් නොව කටේ තියන අවුලා
    දැන් කාලේ මහළු අයට ඔහොම අහර දුබලා
    ජයපාලේ ඇටත් සමඟ අරලුත් ගෙන කිරලා
    ලෙඩ රාලේ බීපන් දෙකොණෙන්ම යන්න ගහලා....

    දන්නව නෙව ජාපාල බිවම වෙන සැන්තැසිය........

    ReplyDelete
  11. අන්තිම පදේ අවුලක්ද මංදා :(

    ReplyDelete
  12. හොඳට තාල එලිසම ඇතිව ලියල තියෙන කවි පෙළක් . .

    ReplyDelete
  13. පෙරලුන ඔරුව තවමත් ඒ විදියම ය
    පුහුලට නොවෙයි බඩටත් අත තැබුවා ය
    වෙහෙර නොවෙයි සාශනයම කනවා ය
    කිරිබත් කාපු උන් දැන් වස බොනවා ය

    එළකිරි කවි ටික බොලං.........

    ReplyDelete
  14. කවි ටික නම් පට්ටයි ඈ . . . මරේ මරු . .

    ReplyDelete
  15. හැබෑට අර අන්තිම පදේ උවමනාවෙන්ම මාරු කරලා දාලද කියලත් හිතෙනවා

    ReplyDelete
  16. යුද්ධය කරන්නෝ යුද්ධයෙ තතු දනිති
    සද්දය දමන්නෝ ඒ ගැන තකන් නැති
    සිද්ධිය නොදැන අවිචාරෙන් මග නටති
    හන්දිය පුරා කිරිබත් මල පහ කරති

    අකාලයේ මළ රණ විරු ගුණ බෝ මා
    ප්‍රචාරයට හඬලන්නට ගත් සේ මා
    විකාරයට සැණකෙළියෙන් කෙලි පෑමා
    නො කාලයේ හැටි වළකන්නේ කෝමා

    එනමුදු හතර පදයේ රැඳී කාරණය
    පුදුමාතලන් මළ කොටි ගැන ගායනය
    නොකළේ නම් එදා උන් රැල ඝාතනය
    තවමත් උන්ඩයයි දෙන්නේ තීරණය

    "මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී"
    හෙටටත් වසුරු ලූ හිස් මතු වනු නියතී
    ජාතිය අනුව වෙන් කල බිම උන් පතතී
    ආයිත් වරක් ඒකට උන් මිනි මරති

    "යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව"
    හෙටටත් තිබිය යුතු මුවහත අඩු නැතුව
    නැවතත් මතු වුනොත් මේ මහ අවනඩුව
    ජිවිත රකින්නට අවැසිය ඒ කඩුව

    යුද්ධෙන් අසරණ ව අවතැන් වූ අයට
    දියයුතු සියලු ඉඩ යලි පන එන ලෙසට
    එය මත තබා පෙර වාඩුව ගෙන අතට
    ගිනි අවුලන්ට ඉඩ දිය යුතු දෝ හෙටට

    ලියනා හැම විටම නිදහස් බමරු ගැන
    පුදුමාතලන් වල මියැදුණු කඳුළු ගැන
    යලි යලි උලුප්පන වෛරයෙ පුලිඟු පැන
    පිබිදෙන උන්ගෙ සිත නොවෙදෝ අඟුරු වන

    ජාතිය අනුව වෙසෙසින් සිරි නොම විඳින
    ප්‍රීතිය මිසක ජාතිය ගැන නොම තකන
    එකමත් එක රටක් ගැන පමණක් සිතන
    දවසක් ගැන ලියමු මේ බිම මල් පිපෙන

    ReplyDelete
  17. එල කිරි කවි ටික ...කතා අයියා ඔයා එදා මගේ කවියේ අඩු පාඩුව හදපු දවසේ මම දැනගත්තා කතන්දරගේ කවිවල ගැම්ම !. සුපර්

    ReplyDelete
  18. මේවනොවැ කවි!

    ReplyDelete
  19. තිස් වසරක සාපය නිමවුණු දවසේ
    කිරිබත් කන්න සිතනා එක ඉඳ සුවසේ
    වරදක් වන්නේ කොහොමෙයි නිදහස් දවසේ
    අයියගේ කතාවට නැහැ මගෙ සන්තෝසේ

    පන්තාලියේ කිඹුලන් දකිනා අයියා
    සම්බෝලේ සූකරයන් දකිනා ගොයියා
    තේ කෝප්පේ කුණාටුවක් පේන නියා
    වෙහෙර ගිලින්නෙක් දැකිනවා නොවෙද ඔයා

    ReplyDelete
  20. හැබෑම දක්ෂයින් නොවැ මේකෙ ඉන්ේ..මාන් try එකක් දෙන්න ඕන.


    කොනරම් දක්ෂයින් සිටියන් ඉභල පෙලේ....
    ගිම්හානි නොවෙද අන්තිම පිට ඉවර කලේ...

    ReplyDelete
  21. @ගිම්හානි;

    වැඩිපුර මත් දෙකක් දාලා දෙවෙනි පෙලේ
    තාලෙට කියෙව්වොත් එය අහු වේවි බොලේ

    ReplyDelete
    Replies
    1. නියමයි අයියෙ නියමයි ඔබෙ ටිකිරි මොළේ
      කවියයි අපට හිමි උරුමය තවම හෙළේ

      Delete
  22. @ All
    මෙත, කරුණාව, අවිහිංසා ගුණ කදිම
    ලොවටම දෙසූ මුනි ලෝ දිනු දිනේ මෙම
    මගෙ කවි බලා පෙන්වා හිත මිතුරු කම
    අදහස් ලියු සැමටම තුති පුදමි මම

    මෝහ ලෝභ අනුවණ කම් දුරුවේවා
    සාමය සමාදානය රට පැතිරේවා
    ජීවිතයක වටිනාකම වැටහේවා
    එක කිරිබතක් කන දිනයක් එළැඹේවා

    ReplyDelete
  23. අහසේ මුදුන් වේය මුදු වෙසක් සඳ
    කවි සිත් පීදේය වැද සුදු රැස් කන්ද
    ගෙයි දොර කතන්දර වැසුවේ මන්ද
    පොඩි තට්ටුවකින් කවි දොර ඇරගන්ද?

    මාවිල් සොරොව්වයි යුද්ධය කනපිට හැරැව්වේ
    පුදුමාතලන් වෙරලයි උන්හට මරු කැඳෙව්වේ
    සිනා නොවෙන් පිස්සු හැදෙන සඳ නිසයි නොවෙයි මෙය ලියැව්වේ
    මල උන්ය හෙල රාජධානිය යලි මාගමටම පැටෙව්වේ

    ලක් දෙශපලු ප්‍රශ්න විසඳන ක්‍රම සහ විදි බෝ තිබේ
    සංඝ,වෙද ගොවි කම්කරු කෑගැසිලිවලට බෙන්ෂ් කාර් එතෙර සවාරි ලැබේ
    ජේ වී පී තොන්ඩමන් චම්පික වැනි අයට දැන් පාර්ලිමේන්තු අසුන් තිබේ
    ඉන් එහා යන්නන් හට උණ්ඩයයි දිවිය ලෝකෙට වරම් ලැබේ


    බලය බෙදීමත් පොඩි එකාව රවටනව මෙනී
    ටොපියක් පෙන්වා ලඟටම ගෙන්වා ගනී
    ලඟට ආවිට සඟවා සාක්කුවේ රුවා ගනී
    ඉල්ලා ඇඬූවිට මරාදමයි බෙල්ල මිරිකමිනී

    ReplyDelete
  24. @ Dhayal Bathee

    දයල් බත් කව් දුටිම් කිව් බස් හඟිම්
    බෝ කව් ලියු එයින් යල් නොලියම්!

    ReplyDelete
  25. උන්නත් මලත් දෙකටම දාහම වෙය් නම්
    උන්නත් එකය් මලත් එකය් මට එහෙනම්
    කවි ලිව්වට ඔහෙලා ගැන මට නෑ කම්
    කුණුහරුපෙකට වැඩි රහ දෙන කවි ලියපන්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය හැකි ඉක්මණින් මෙහි පලකෙරෙනු ඇත. මෙහි කිසිදු අදහස් වාරණයක් සිදු නොවේ. මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. Comments are moderated and with filthy content will be deleted. No other censorship.