ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 30 November 2011
සකලදේශවාසී සියළු පුරුෂයිනි එක් වෙයව්! නෑසී යන පුරුෂභාවයේ හඬ : Calling all men - Get up, stand up!
ඇත්තටම කියනවානම්, "කාන්තාවන්ට මේ කතන්දරේ කියවන්න තහනම්!" කියලා දාන්න හිතුනත් පස්සේ හිතුණා කමක් නෑ ඕ.පු. කියවනවානම් කියවපුවාවේ කියලා.
ලංකාවේ ජනප්‍රිය වෙච්ච නාට්‍ය අතරින් දෙකක් තමයි ලුෂන් බුලත්සිංහල ගේ "තාරාවෝ ඉගිළෙති" සහ සෝමරත්න දිසානායක ගේ "මී පුර වැසියෝ".
"තාරාවෝ ඉගිළෙති" එකේ සින්දු ටික ඉතාම ජනප්‍රියයි. ඒ වගේම තමයි "මී පුර වැසියෝ" සින්දුත්. මේ නාට්‍ය දෙකෙන් එකක් වත් මං නරඹලා නෑ. හැබැයි ඉතිං නැරඹුවා වගේ තමයි. ඒකට හේතුව තමයි අයිටීඑන් සහ ජාතික රූපවාහිනී නාලිකා දෙක.
මේ නාට්‍යයන් දෙක මුලින්ම පෙන්නපු කාලේ, ඒවායේ දර්ශන සංවිධානය කරලා තිබුණා මේ රූපවාහිනී නාලිකාවල සේවක සුභ සාධක සංගම්වලට ආධාර පිණිස. මේ ලේබල් එක නිසා ඒ දවස්වල හැම දවසකටම දෙතුන් පාරක් නාට්‍යයේ සින්දු, දෙබස් කෑලි අඩංගු වෙළඳ දැන්වීම් ප්‍රචාරය වුණා.
මං හිතන්නේ සල්ලි ගෙවලා දැම්මා නම් ඒ දැන්වීම්වල වටිනාකම නාට්‍යයේ එක දර්ශනයක ගාස්තුව වගේ දා පාලොස් ගුණයක් විතර වෙන්න තිබුණා.
ඒ තරමට ඇට්ටි හැලෙන පබ්ලිසිටියක් නේ දුන්නේ.
"තාරාවෝ ඉගිලෙති" නාට්‍යයේ සින්දු ටික තමයි වැඩියෙන්ම ප්‍රසිද්ධ වුනේ.
ඒවායිනුත් නැගලාම ගියේ "සෝබාව දේ" කියන සින්දුවයි. මට මතක හැටියට මුලින්ම ඔය සින්දුව කිව්වේ යූ ආරියවිමල් සහ ගාමිණී සමරනායක සමරකෝන් කියන නළුවෝ දෙන්නා. මුලින් හිටිය නළුවෝ සමහර දෙනා අස්වුණාට පස්සේ තමයි ඔය ජැක්සන් ලා ට චාන්ස් එක ආවේ. දැන් නම් හුඟ දෙනෙකුට මතක තියෙනවා ඇත්තේ සෝබාව දේ එකේ ජැකායි, රොඩ්නි වර්ණකුලයි කියන වර්ෂන් එකයි.
ඊට අමතරව "තාරාවෝ ඉගිළෙති" එකේ සින්දුවලින් අපි අහලා තියෙන සින්දු මෙන්න.
1. මඩේ ලගින තාරාවන් නාවන්නද මං? - ගායනය මර්සි එදිරිසිංහ
2. කඩේට පලයං චෑං චූං - ගායනය රොඩ්නි වර්ණකුල
3. තට්ටු කරන්න සෙමින් - අනුලා බුලත්සිංහල
4. ඉගිලී පල කළු තාරාවා - අනුලා සහ ලූෂන් බුලත්සිංහල
ඉතිං ඒ ආකාරය ඔය කඩේ යන තාරාවෙන්ට තට්ටුවෙන අතරේ කවදාවත් රූපවාහිනියේ පෙන්නලා නැති හින්දද කොහෙද අපේ මතකයට එන්නෙම නැති සින්දුවක් ගැන කියන්නයි මේ කතාව ලිව්වේ.
මෙන්න සින්දුවේ පද මාලාව.
රචනය සහ ගායනය ලුෂන් බුලත්සිංහල
සංගීතය ගුණදාස කපුගේ (විය යුතුයි)
සූර විරුවනේ අසව්!
ගෘහ මූලිකයිනේ අසව්!!
පුරුෂ භාවයයි අපේ ආයුදේ
ඔබ නිදා වැටුණොතින් හොරු ගනී ආයුදේ
පිබිදියව් පුරුෂයින් මිහිතලේ
පුරුෂ භාවයයි අපේ ආයුදේ
ඔබ නිදා වැටුණොතින් හොරු ගනී ආයුදේ
පිබිදියව් පුරුෂයින් මිහිතලේ
පුරුෂ ශක්තියෙන් සුගන්ධ
පුෂ්පයෙන් ලොවක් තතන්න
වීදුරු නල වල සිරවී බැරි වෙතේ
පුරුෂ ශක්තියෙන් සුගන්ධ
පුෂ්පයෙන් ලොවක් තතන්න
වීදුරු නල වල සිරවී බැරි වෙතේ
නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හලව් බිමට
කුරුළු වේශයෙන් නැගී යමව් අම්බරේ
නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හලව් බිමට
කුරුළු වේශයෙන් නැගී යමව් අම්බරේ
ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
පුරුෂ ප්‍රතිබිම්භය පුංචි වී තියේ
ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
පුරුෂ ප්‍රතිබිම්භය පුංචි වී තියේ
මෙහෙම ඩිංග ඩිංග පුංචි වී ගියොත් අපේ බලේ
පුරුෂ ප්‍රාණියා පොළෝ තලේ නැතේ අනාගතේ
මෙහෙම ඩිංග ඩිංග පුංචි වී ගියොත් අපේ බලේ
පුරුෂ ප්‍රාණියා පොළෝ තලේ නැතේ අනාගතේ
මෙතනින් අහන්න.
http://www.infolanka.com/miyuru_gee/eee/e158.ram
මේ සින්දුව අද දවසේ දෙතුන්පාරක්ම අහපු මට හිතුනේ මේක රූපවාහිනියේ නොගියේ ස්ත්‍රීන් ගේ කුමන්ත්‍රණයක් නිසාදෝ කියලායි!
-කතන්දරකාරයා
ප/ලි:
තාරාවෝ ඉගිළෙති බලපු පින්වතෙක් ඉන්නව නං කියන්නකෝ මේ සින්දුව තියෙන ජවනිකාව ගැන විස්තරයක්. ඒ කන්ටෙස්ට් එක දැන ගත්තනම් මේ වචනවල අදහස හොඳින් තේරුම් ගන්න පුළුවන් වේවි!
නාට්‍යකාරයෙක් වෙන ආනන්දවර්ධන නම් මේ සරල ජනප්‍රිය නාට්‍ය ගැන උනන්දුවක් නැතුව ඇති.
(image: http://www.dailynews.lk/2010/04/28/art22.asp)
Subscribe to:
Post Comments (Atom)
තාරාවෝ ඉගිලෙති බැලුවෙ බොහෝම පුංචි එකා කාලෙ නෙවැ.. ඔය සින්දුව තියෙන ජවනිකාව තියා ඔහොම සිංදුවක් තියෙනවද කියලාවත් මතකයක් තිබුනෙ නෑ.. හැබැයි අර කතාවනං හරි ඇති, ඕක තනිකර ස්ත්‍රීන්ගේ කුමන්ත්‍රණයක් වියයුතුයි, අනිවා ඩෙෆා.. :D
ReplyDeleteමොනවා උනත් ඉතින් ගෑනියෙක් පිටින් වැරැද්ද ගිහින් ඇති. හහ් ....:D
ReplyDelete'තාරාවෝ ඉගිලෙති' නම් අහලා තියනවා. 'මී පුර වැසියෝ' ඒ මොකක්ද?
'තාරාවෝ ඉගිලෙති..' මාත් බැලුවෙ පුංචි සන්දියේ... ඔය කියපු අනිත් සින්දු ටික මතක උනාට මේ සින්දුව නම් මතකම නෑ.... 'මී පුර වැසියෝ..' ඇඩ් ටික නම් මතකයි.... නාට්‍යය නම් බැලුවෙ නෑ...
ReplyDeleteමේක කියවනකොට මට මතක් උනේ දවසක් මම මෙහේ බස් ටර්මිනල් එකකට යද්දි පොරක් ඉන්නව පාර අයිනෙ බෝඩ් එකක් අල්ලගෙන..... කවුරුවත් යන්නෑ මිනිහ ගාවින්... මට පෙනුනෙත් නෑ මොකක්ද ලියල තියෙන්නෙ කියල.... ඒත් දැන් මට අනිත් පැත්තට යන්න ඕන... යන්න තිබිනු එකම විදිය මිනිහ ළඟින්.... ඕ.පු. කියල මාත් ඇරල දාල ගියා... මේං මිනිහ බෝඩ් එක මං පැත්තට අල්ලනව... ඒකෙ තිබුනෙ "Men, Wake up...! Fight for your rights!..' කියලා.... අනේ පව්.... පොරව උදේ පාන්දරම නෝන බඩු ටිකත් එක්ක එළියට දාන්නැති....
හප්පේ අදමයි මේ සින්දුව ඇහුවේ...සෝබාචදේ සින්දුව අතරේ බ්‍රේක් ගහන සද්දයක් එනවා.පොඩි කාලේ හෙනම ආසයි ඒ කෑල්ල අහන්න....
ReplyDeleteඅනිත් සින්දු ටික අහලා තිබුනත් ඔය කියන සින්දුව අහලම නෑ.. මොකක් හරි කුමන්තණයක් ගිහින් තියෙනවා සුවර් එකටම ඔය සින්දුව හැලෙන්න තරම්..
ReplyDeleteහ්ම්ම හෑම එකට ඉතිං අපි තමයි වෑරදි
ReplyDeleteමාත් තාරාවෝ ඉගිලෙති බලලා තිබුනට ඔය සින්දුව මතකම නෑ නෙ අප්පා... :O අනික් ටිකනම් මතකයි.ඒත් ඉතිං මං නාට්ටිය බැලුවෙ පොඩි කාලෙ නොවැ.බර බර වචන නිසා තේරුනේ නැද්ද දන්නෙ නෑ.
ReplyDeleteමී පුර වැසියෝ එකේ හිට්ම වුන සිංදුව මං හිතන්නෙ අර "කාටත් බැරි කුණු කන්දල් කන මී පුර වැසියෝ" කියන සිංදුව මං හිතන්නෙ..
කකා මීපුර වැසියෝ අපේ ජයලත් මනෝරත්නගේ නාටකයක් නේද? සෝමෙ අයිය ගැන මට මතකයක් නැහැ.
ReplyDeleteමීපුර් වැසියෝ එකේ නියම සින්දුවක් තිය්නවා. මීයෙක් කියන..
පඬි මීයා පොත් තුන හතරක් ඇත ලියලා. මත්තටත් ලියනට ඇත සිතේ ඇදීලා.... වචන හරි හරිද මන්ද එත් තේරුම ඕකයි. ලස්සන ගීයක්. අපේ මිත්‍රයා යූ. ආරියවිමල් කියන්නේ රස සාගරයක්. කොටින්ම එහෙම නළුවො අද නැහැ. ගී ගයන්න, නටන්න, ඕනෙ දෙයක් කියලා වැඩක් නැහැ. බලලා තියනවද "කළුවරේ ජරමරේ" ෆීලික්ස් ප්‍රේමවර්ධන, යූආරියවිමල්, ග්‍රේස්, යූගේ බිරිඳ, අද මෙහෙම නළුවො නැහැ.
තාරවෝ ඉගිලෙති බැලුවෙ 80 දශකයෙ මුල් කාලෙ. ඒ දවස් වල බොහොම පුංචි එකා, කතාව තේරුනෙත් නැහැ.
ReplyDeleteමතකය හරි නම් නීල් අලස් සහ විජය නන්දසිරි දෙන්න තමයි පස්සෙ කාලෙ යු ආරියවිමල් හා ඒටත් පස්සෙ ජැක්සන් කරපු නිවුන් සහෝදරයින් දෙන්නගෙ චරිත කලේ."සෝබාව දේ" සිංදුව කිව්වෙ නීල් අලස් සමග ගාමිණි සමරකෝන් (සමරනායක නෙමෙයි).
මතක විදිහට මේ ලිපියට මාතෘකාව වෙච්ච සිංදුව බොහොම කේන්තියෙන් කිව්වෙ විජය නන්දසිරි... එයා නිතර හම්බ වෙන්න ගිය පුරඟන (අනුලා බුලත්සිංහල තමයි ඒ චරිතය කලේ) එක්ක මොකකට හරි තරහ වෙලා.
යූ ආරියවිමල් එක්ක සින්දුව කිව්වෙ ගාමිණී සමරකෝන් නේද?
ReplyDeleteඔං මචො නාට්‍ය බලනවනං....
ReplyDeleteමම හිතන්නේ තාරාවෝ ඉගිලෙති රූපවාහිනියේ ගියා. මට මතක විදියට ජාතික නාලිකාවේ තමයි පෙන්නුවේ. 1995-1998 වගේ කාලයකදී... ඒකේ හිටියේ ජැක්සන් සමග රොඩ්නි...
ReplyDeleteනාලිකාව හා කාලය හරියටම මතක නැතත් ඒක මම බැළුවේ රූපවාහිනියේ කියලා මතකයි මොකද මම කවදාවත් තාරාවෝ ඉගිලෙති වේදිකාවේ බලලා නෑ...
හැබැයි මට කොච්චර මතත් කරත් මේ සින්දුව නම් මතක් කරගන්න බැරිවුනා... මෙතන නැති තව කෙටි සින්දුවන් නම් මතක් වුනා... කියන්නේ ජැක්සන් වගේ කියලයි මතක
යාලුවෝ මාලුවෝ යාලුවෝ...
මාලු නසි උඩින් වැටෙන ඇම කන හින්දා
යාලු නසී මේ අපි වගෙ යාලුවො හින්දා....
මාත් මී පුර වැසියෝ බලල නම් නැහැ. ඒත් '93 දී වගේ ඒකෙ කැලි ටී වී ඒකෙ හැම තිස්සෙම ගියා මතකයි. අර කට්ටිය ලොකු මී කන් එහෙම දාගෙන හිටි නිසා මන් හිතුවේ ටොම් ඇන්ඩ් ජෙරී වගේ පොඩි ළමයින්ගේ එකක් කියල. හික්ස්. මාත් ඉතින් ඒ දවස් වල පොඩි නේ!
ReplyDeleteමමත් ඔය නාට්‍ය බැලුවේ ස්වාධින රූපවාහිනියෙන්. කාලයක් ස්වාධින රුපවාහිනියේ වේදිකා නාට්‍ය වගයක් ගියා. අන්න ඒකෙන්.
ReplyDeleteඒත් ඒ ගීතය මටත් මතක නැහැ. ඒක ඒ තරම් ලස්සන නැතිව ඇති. ඒකයි මතක නැත්තේ.
ඇත්තටම එය සින්දුව ඒ නාට්‍යයේ තිබ්බ ද?
මම හිතන්නෙ මං බලල තියෙනවා ඔරිමජිනල් "තාරාවෝ ඉගිලෙති". අවාසනාවකට කතන්දර කියන සින්දුව නම් මට මතක නැහැ. ඒත් ඒ නාට්‍ය සුන්දර මතකයක් - මම බලපු මුල්ම වේදිකා නාට්‍යය.
ReplyDeleteඇනෝ සහ චමිල හරි.. ඒ ගාමිනී සමරකෝන් තමයි. කතන්දර 100% නිවැරදි නැහැ. ජැක්සන් ඇන්තනි මුල ඉඳලම නාට්‍යයෙ රඟපෑවා. ඒ ලූශන්ගෙ යාලුවාගෙ චරිතෙ.
ඔරිජිනල් එකේ චරිත මට මතක විදියට මෙහෙමයි. ලූශන් සහ යු ආරියවිමල් උපතෙදිම දෙමව්පියන්ගෙන් මගඇරිලා වෙන් වෙන්ව වැඩුනු නිවුන් සහෝදරයො දෙන්නෙක්. ලූශන්ගෙ යාලුවා ජැක්සන්, ආරියවිමල්ගෙ යාලුවා ගාමිනී. මර්සි, ලූශන්ගෙ බිරිඳ. අනුලා බුලත්සිංහල අභිසාරිකාවක්. රොඩ්නි එයාගෙ කෝකියා... නිවුන්නු දෙන්නාම විටින් විට යනවා අනුලාගෙ පහස විඳින්න. එයා හිතන්නෙ මේ එක්කෙනෙක් කියලා...ඔය පටලැවිල්ල තමයි නාට්‍යයේ කතාව.
ඒකෙ තවත් මරු සින්දුවක් තියෙනවා කතන්දරට මග ඇරුනු.. "යාලුවෝ මාලුවෝ යාලුවෝ" ඒකෙ කියනව මෙහෙම ... "මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා...යාලු නසී මේ මං වගෙ ලනු කන හින්දා..." ගයමින් රඟපාන්නෙ ජැක්සන්.
@මහවෙදනා,
"කරුවලේ ජරමරේ" නම් නොම්මර එකේ නාට්‍යක් තමයි. මම බලල තියෙන්නෙ ජාතික රූපවාහිනියෙ පෙන්නපු එක. ඒකෙ මරු තාක්ශනික ප්‍රයෝගයක් තිබුනා මතකද? "මෙම නාට්‍යයේ අඳුර සඳහා ආලෝකයත්, ආලෝකය සඳහා අඳුරත් භාවිතා කෙරේ" කියලා...
මේ කොමෙන්ටුව අතරේ නාට්‍යලෝලියෙක් ලෙස ඇඩ් එකක් දාන්න අවසර.....
ඉතාම හොඳ නාට්‍යක් වෙයි කියලා හිතන නාට්‍යයක මංගල දර්ශනය තියෙනව හෙට සහ අනිද්දා (1 සහ 2 වැනිදා) 6.45 ට ලයනල් වෙන්ඩ්ට් එකේ. නාට්‍යයේ නම "දොලහක්" අධ්‍යක්ශනය අතුල පතිරන. "Twelve Angry Men" කියන ඇමරිකානු නාට්‍යයේ පරිවර්තනයක්.
- සනාත
මටත් පොඩිකාලෙ මතකයි ඔය සේවක සුභසාධක සංගම් වලට ආධාර පිණිස විකාශය වන හඩ පට රේඩියෝවෙත් ගියා. සිංදුවත් අහල තියනව කොහේදිද කියල මතක නෑ.
ReplyDeleteමමනම් පුංචි කාලේ ආසම සින්දුවක් තමයි "දුටු දුටු තැන කුනුකන්දල් කන....................මීපුර වැසියෝ" ඔය සින්දුව මන් හය්යෙන් කෑගහල කියනවා ගේ දෙක වෙන්න එක කියන්නෙත් අර සමහර හිඟන්නෝ හිඟා කන තාලෙට :D එතකොට අම්ම කෑ ගහනවා කන් කරච්චලේ නවත්තන්න කියල.
ReplyDeleteකොයි එක වෙතත් ඕන වැරද්දක් කාන්තා පාර්ශවයටනේ එල්ල වෙන්නේ
කොහොම හරි කතන්දර මල්ලි, අල්ලගන්නේ අපිවම තමයි. කෝකටත් වැරැද්ද වෙන්නෙ අනිත් පාර්ෂවයම තමයි ඔයාලට. ඇයි හිතන්නෙ, ඕනෙ කුණු කන්දලක් හෝදලා දාන්න පුලුවන් කියලනේ. මේ නාට්‍ය දෙකම හරිම ලස්සනයි. දැන් නම් මට මතකත් නෑ සමහර තැන්. ස්තූතියි! පෝස්ට් එකට. ඇනෝටත් ස්තූතියි දොලහක් ගැන කීවට.
ReplyDeleteමාත් පුංචිකාලෙ තාරාවෝ ඉගිලෙති නම් බලල තියෙනව ඒත් කතාව මතක නැහැ. බුලත්සිංහල කට්ටිය මාර වැඩකාරයොනෙ....
ReplyDeleteතාරාවෝ ඉගිලෙති සින්දු තියෙන කොටස්, හුඟාක් ඉස්සර ජාතික රූපවාහිනියෙ පෙන්නුව මතකයි, හැබැයි ඔය අන්තිමට සඳහන් කල සින්දුව ගැන කිසිම මතකයක් නෑ
ReplyDeleteමම නම් වඩා කැමති තාරාවෝ ඉගිලිති නාට්ටියේ සුළඟින් බිත්ති තැනූ ගීතය . .
ReplyDelete(මේ තියෙන්නේ ඒ සින්දුව ගැන මම ලියපු ලිපියක්)
සුලගින් බිත්ති තැනූ . . .
සුවදින් පිරියම් වූ . . .
මාළිගයකි මගෙ
හද දොරගුලු නැති . .
පිරී තිබේ . . .
තදබද වී . . .
ආදරේ . . .
අහසකි මගෙ හිස . .
සියොතුන් හැසිරෙන . .
සැමරුම් මේකුලු . .
අතර නිරන්තර . . .
නිදහස ඇත . . .
කාටත් පිවිසෙන්නට . . .
ඉන්න එපා එලිපත්තේ . . .
ආදරේ . . .
මුවවිට තෙක් එය . . .
ඔබෙන් පිරී ඇත . .
එනමුදු හැම විට . .
පුංචි ඉඩක් ඇත . .
තව එක් අයෙකුට . . .
පිවිසිය හැකි ලෙස . .
දොරක් වැසී . .
දොරක් ඇරේ . .
ආදරේ . . .
මාත් තාම මේ නාට්‍ය දෙකම බලන්න හම්බුවෙලා නෑ . . පෙරුම් පුරාගෙන ඉන්නවා . . බලමුකෝ තව ටිකක් කල් හරි ජීවත් වෙන්න ලැබුනොත් . .
කොහොමත් තාරාවොව් ඉගිලෙති එක නම් අලුත් නළු නිළියෝ දාලා කරගෙන යනවනේ . .
තාරාවෝ ඉගිලෙති බලල තිබුනට මේ ගීතය මතකම නෑ නොවැ... කුමන්ත්‍රනයක්ම තමා..
ReplyDelete@මහ වෙදනා...
මට මතක හැටියට නම් මී පුර වැසියෝ මනෝරත්නගෙ නෙමෙයි සෝමරත්නගෙ... ග්‍රැන්විල් රොද්‍රගෝ අමතක නොවෙන රංගනයක් ඉදිරිපත් කරපු නාට්‍යයක්...
සුමින්ද සිරිසේන කියන සින්දුව මෙහෙමයි..
පොත් හතක් අටක් දැනටත් ලියා දාලා.. තියෙනව !
මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා... //
කතන්දර ගොය්යාට බොහොම ස්තුතිය් පරණ ලස්සන මතකයක් අලුත් කරාට! මම තාරාවෝ ඉගිලෙති බැලුවේ කුලියාපිටිය මද්දය මහා විද්‍යාලයේ අටේ පන්තියේ ඉගෙනගත්දී සුභසාධක සංගමේට ආධාර පිණිස ඉස්කෝලේ ප්‍රදාන ශාලාවේ වේදිකා ගත කරන විටය්. අපි ශාලාවේ පිටිපස්සට වෙන්න තිබුන පුටු වල හිටගෙන් බලද්දී අපිට ඉහල පන්ති වල එව්වෝ ඒ පුටු වල අඳි වල හිටගෙන තමය් Drama එක බැලුවේ.
ReplyDeleteඅනේ කව්රුහරි පින්වතෙක් හේ වතියක් කියනවද ඔය වගේ පරණ වේදිකා නාට්‍ය බලන්න පුළුවන් විදියක්, සය්බ අවකාශයේ හරි DVD නැත්නම් VCD වලින් හරි. ඒ වගේ නාට්‍ය බලන්න පුදුම පිපාසෙකින් තමය් අපි ඉන්නේ.
-ලංකා වේ ඉපදුනත් අපේ රටේ ඉන්න පින නොලැබුන පිරිසෙන් එකෙක්!
මම ද නාට්‍ය ලෝලියෙක් මි.
ReplyDelete@මහ වෙදනා,
මම ලියන්න හිතපුවා සපතේරු උන්නැහේ ලියල.එක් දෙයක් එකතු කරන්නම්.පොත් හතක් අටක් ගීතයේ තාලය නුවර යුගයේ හටන් ගීයක තාලය (පරංගි හටන).ඒකේ වචන මෙහෙමයි
යුද්දෙටත් ඇවිත් සිදු පිට නැව් නැගලා..... පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා
අන්දමත් හොදයි කිසිබී සී ගාලා.... කොළඹදි
කම්පලක් නැතත් සෙනගක් මරාදාලා
ට්‍රැෆික්
ReplyDeleteමා ඇතුළු තාරාවෝ ඉගිලෙති බැලූ කිසි කෙනකුට ඔය කියන සිංදුව මතක නෑ පේන හැටියට. හැබැයි ඔහොම සිංදුවක් තිබුනනං තියෙන්න ඕනැ ඒ නාට්‍යයේම තමයි. අපි වැඩි දෙනෙක් කුඩා (මං හිතන්නෙ අපේ ඕ ලෙවල් කාලෙ වගේ) කාලයේදී බලපු නාට්‍යක් නිසාත්, ඒ නාට්‍යය මතක හැටියට ටිකක් ඝෝෂාකාරී එකක් නිසාත්, ජනමාධ්‍යවල ප්‍රචාරය නොවුනු (සිංදුවේ පදමාලාව නිසා?) නිසාත්, ඒක මතකයේ නොහිටියා වෙන්නත් පුළුවන්. සමහර විට සෙන්සර් බෝඩ් එකෙන් සිංදුව අයින් කරල තිබුනද කියල හිතෙනව.
@ All
ReplyDeleteගාමිණී සමරකෝන් ගේ නම නිවරද කළෙමි!
ඒ ගැන දැන්වූ සියළු දෙනාටම ස්තුතියි.
@ All
ReplyDeleteසුමින්ද සිරිසේන රඟපා ගැයූ පොත් හතක් අටක් සින්දුවේ පද වලින් පටන්ගත් මගේ වෙනත් කතන්දරයක් මෙන්න.
http://kathandara.blogspot.com/2010/11/w3lanka.html
මාත් පොත් පයක් හයක්ම ලිව්වා ඒ ලෙවල් කරලා කැම්පස් යන්න කලින් ගන්ධබ්බ කාලේ.
@ All
ReplyDeleteමෙන්න මීපුර වැසියෝ පොත් හතක් අටක් සින්දුව.
http://noorthi.blogspot.com/2009/12/blog-post_698.html
අර කිව්වා වගේ කසු ට ගොඩක් පින් පරණ සුන්දර මතකයක් අවදි කරාට,
ReplyDeleteAL කරලා ගෙදර ඉන්න කලේ කුරුණෑගල නගර ශාලාවට ආපු තාරාවෝ ඉගිලෙති සහ මී පුර වැසියෝ නාට්‍ය දෙකම බලන්න තරම් මම වාසනාවන්ත උනා.
ඒ විතරක්ද, පුත්‍ර සමගම, අන්දරේලා, විශ්ව සුන්දරී, (සුවඳ සබන් ඇඟ ගාලා සින්දුව තිබුනේ සුබ සහ යස නාට්‍යයේ නම් ඒක), උක්දඬු ගින්න, උතුරේ රාහුල හිමි, වගේ ගොඩක් නාට්‍ය බැලුව ඒ කාලේ.
ඊට පස්සේ ඒ වාසනාව ලැබුනේ පේරා ඉන්න කාලේ, වලට ශෝක් නාට්‍ය ආවා. යක්ෂාගමනය, ඇන්ටිගනි, මනමේ, දෝර්දණ්ඩා, තව ගොඩයි.
කුරුණෑගලට විශ්ව සුන්දරී ගෙන්නපු කණ්ඩායම එක්ක මම වැඩ කරා. ඒ හින්ද නාට්‍යයෙන් පසු පැවති සුහද හමුවේදී විජය නන්දසිරි නම් සුන්දර කලාකරුවා එක්ක වචන කීපයක් කතා කරන්න තරම් මම වාසනාවන්ත උනා.
නාට්‍යයේ තියෙනවා "සිසි වන වූවන..." කවිය redefine කරලා හදපු උපහාස කවියක්. මම විජය ට කිව්වා ඒක නැවත කියන්න කියල. මගේ ඉල්ලීම ඔහු පිළිගෙන එය නැවත කිව්වා. එකේ රසවත් බවටත් තිබුණු උපහාසාත්මක ගතියටත් මගේ තිබුන උණටත් මට කවිය එකපාරින් (නාට්‍යයේ ගියාට අමතරව) මතක හිටිය. අදටත් මතකයි.
"ගඩු පිරි මුහුණ ඉඟ සුඟ ටයරෙකි පරණ
තඩි පුළුලුකුල මද සුළඟට වැනෙන තැන
දිසි වැඳිරියෙව් රූ සිරි යුත් ඒ අඟන
ඇසිපිය හෙලන පමණින් නොවෙති මල කුණ.."
ප/ලි.. මී පුර වැසියෝ නාට්‍යයේ රොඩ්නි ගේ විපක්ෂ මීයා ගේ චරිතය මට අදටත් මතකයි. පොර හැම එකටම විරුද්ද වෙන එකට හේතු දැක්වීම මරේ මරු..
@ All
ReplyDeleteතාරාවෝ ගීත සමුහයක්:
මෙන්න මෙතන
පෝස්ට් එකට ස්තුතියි. මමත් වේදිකා නාට්‍ය බලන්න හරිම මනාපයි. නමුත් අවාසනාවකට හුඟක් වේදිකා නාට්‍ය බලද්දි ඒවාට අනවශ්‍ය ප්‍රතිචාර දත්වන්න් නිසා නියම රසවින්දනය ලබාගන්න බැරිවුණු අවස්ථා බොහොමයි.
ReplyDeleteමම පොඩි කාලෙ පාසල් නිවාඩු කාල වලදි ජාතික රූපවාහිනියෙ අධ්‍යාපන විකාශය කියලා එකක් තිබුණා. හොඳ වේදිකා නාට්‍ය කීපයක් ඒනිසාම රූපවාහිනියෙන් හරි බලන්න අවස්ථාව ලැබුණා. (කැළණි පාලම, හුනුවටයේ කථාව)
@ මරුමුස් - සුවඳ සබන් ඇඟ ගාලා සින්දුව තියන්නෙ මට මතක විදිහට ජනක් ප්‍රේමලාල්ගේ රාජකපුරු නාට්‍යයේ නේද?
මගේ ළඟ මේ සිංදු සෙට් එකම තියෙනවා...මම මේ සිංදුව අහලා තියෙනවා කසූ...
ReplyDeleteමම රූපවාහිනියෙන් 1998 අවුරුද්දේ තාරාවෝ ඉගිලෙති බැලුවා...හැබැයි මී පුර වැසියෝ බලන්න තාම අවස්ථාවක් හම්බුනේ නෑ...වේදිකා නාට්‍යයක් බලලා ලැබෙන ආතල් එක වෙන මොන දේකින්වත් ගන්න අමාරුයි....ඉස්කෝලේ යනකොට නාට්‍ය බලන්න චෑන්ස් එකක් තිබ්බේ නෑ.හැබැයි දැන් නම් මම පේරාදෙණියේ වළේ නාට්‍යයක් පෙන්නුවොත් මග අරින්නේ නෑ....හි හි
@බුද්ධිෂ, ඔයා හරි, රාජකපුරු තමයි නාට්‍යය.
ReplyDeleteතාරාවෝ බැලුවේ 80 වේ මුල. ඒ උනාට ඔය කියන සිංදුව මතක නෑ. ඒක ප්‍රසිද්ධියේ යන්නෙ නැත්තේ ලූෂන් උන්නැහේගේ petticoat government එකේ නියෝගයක් නිසා ද දන්නෑ.
ReplyDelete$මරුමුස්$ "සුවඳ සබන් ඇඟ ගාලා" රාජකපුරු නාට්‍යයේ සිංදුවක්
මම ලංකාවෙ එකම නාට්‍යයක් වත් දැකල නෑ...අයියෝ...
ReplyDeletemata mathakai oya sinduwa.oka samuuha geeyak mathaka widihata.hasya thibunath tharawo igileti yanu gahanunge manasa hondin wigraha karana natyak
ReplyDeleteකතන්දරේ- හොදයි බං මෙහෙම පෝස්ට් දාන එක.. කවදාවත් වේදිකා නාට්‍යයක් බලපු අපි වගේ ඇච්චන්ට..
ReplyDelete"පුරුෂ භාවයයි අපේ ආයුදේ"
ReplyDelete...ඔය සින්දුව මම ළග තියෙනවා නොවැ පර....ණ කැසට් පටියක. නාට්ය ගී පටියක්. අනේ ඇත්තට ඒවය තියෙන අගේ... අවුරුදු ගනනාවකට ඉස්සර ල0කාවෙන් ගෙනාවේ...
සරෝජා
මීපුරේ ටීවී එකේ බැලුවා. තාරාවෝ කෑලි කෑලි තමා. කොළඹින් පිට උපන් අපිට තිබ්බ ප්‍රශ්නයක් තමා මේ එල කිරි රස වින්දනය නිතර නොලැබීම [අපිට කැකිරි නෙ].
ReplyDeleteකට්ටිය කොරෙක්ෂන් දාලා නෙ. ඒ නිසා ඒ ගැන වෙලාව ගන්නේ නැහැ.
මාත් වතාවක් ලිව්වා
"බ්ලොග් එකක් දෙකක් දැනටත් ලියා දාලා තියෙනව
මත්තටත් දෙකක් ලියනට හිතේ ඇඳිලා "
කියලා.
ඉන් එකක් පෙතට දා ගත්තට අනික තවම සළු උනේ නැහැ.
[ඔන්න මගේ මාකටින් ලින්ක් ඔක්කොම ලීගල් හරිය?]