Sunday, 21 March 2010

ගන්නකො සර් හෑන්ඩ් ෆෝන් එකක්!


පිරිවෙණක මැත්ස් උගන්නන්න ගිහිං ලොකු හාමුදුරුවන්ගෙන් පනාවක් ඉල්ලපු පොර මතකයිනෙ? අමතක වෙන්න තරම් කාලයක් ගියායැ, මං ඒ කතන්දරේ කිව්වෙ මේ පෙරේද දවල් නෙ. කියවපු නැති අයට මෙන්න ලින්ක් එක ආයෙත්.

ඉතිං අපේ පොර ටියුෂන් වලට කොච්චර ආසයි ද කියනව නං ඔය ලොකුම ලොකු විභාග පාස් කරල පට්ටං ගහ ගත්තට තාමත් ටියුෂන් කරන එක තමයි රස්සාව. උසස් පෙල ළමයින්ගෙ මහාචාර්ය තනතුරක් දරන එකත් ලේසි පාසු වැඩක් යැ?

පොර හැබැයි ඔය මොන මොන විජ්ජා ඉගෙන ගත්තත් ඉලෙක්ට්‍රොනික් ගැජට්, බැජට් එක්ක වැඩි පහිරු පාසානයක් නැති කෙනෙක්. කොටින්ම තාක්‍ෂණ ෆෝබියාවක් තියෙන තරමටම වගෙ ඒවයින් ඈත් වෙලයි ඉන්නෙ.

අද වුනත් අපි ඊ-මේල් එකක් යවල, පස්සෙ ඒක ගැන කෝල් එකක් දාල මතක් කළාම කියන්නෙ "මචං, අපේ ගෙවල් පැත්තෙ ඔය පියුං කාරය එන්නෙ සතියකට එක දවසක් විතර තමයි" කියල.

ඒ කියන්නෙ පොර ඊ-මේල් බලන්නෙ සතියකට එක පාරකටත් අඩුවෙන්. පොරට ඊ-මේල් ගහනවට වැඩිය හොඳයි ඒ පණිවිඩේ ගොළුබෙල්ලෙක් අතේ එහෙට පිටත් කරන එක.

වැඩේ මේකනේ, පොර උගන්නන්නෙ මැත්ස්. ඉතිං, එදා තිබුණ මැත්ස් ම තමයි අද තියෙන්නෙත්, න්‍යාස, සමීකරණ, ඛණ්ඩාංක ජ්‍යාමිතිය, අවකලනය, අනුකලනය ඔය කොයි එකක්වත් මූලික වශයෙන් වෙනස් වෙලා නෑනෙ. ඉතිං, අනිත් දේවල් වෙනස් වෙන්න ඕනියැ?

අනේ අපේ සීයආච්චිල, ඉපදිලා, හැදිල වැඩිල, රස්සාවල් කරල, අවුරුදු අනූ ගණනක් ආයු වලඳල අන්තිමේදි මිය පරලොව ගියේ ඔය කොම්පියුටර්, ඊ-මේල්, අන්තර්ජාල, ජාල සටහන්, ජංගම දුරඛතන, එස්.එම්.එස්, ෆේස්බුක් තිබිලයැ.

අපේ සීයආච්චිලට ජංගම දුරකතන තියා, ජංගම ගිනුමක්වත් තිබුණද මන්ද?

අපේ ටියුෂන්කාර පොරත් ඔන්න ඔහොමයි ජීවිතේ ගෙනිච්චෙ. ජංගම දුරඛතනයක් පාවිච්චි කලේම නෑ ගොඩක් කල් යනකං. හැබැයි කවද හරි සමාජයත් එක්ක අනුවර්තනය වෙන්න වෙනවනේ. මෙන්න මෙහෙමයි ඒ සංසිද්ධිය වුනේ.

ඔන්න එදා අපේ පොර ගෙදරකට ගිහින් ගෑණු ළමයකුට ඒක පුද්ගල ටියුෂන් එකක් දෙන දවසක්. පොර කල් වේලා ඇතිව ගෙදරින් පිටත් වුනා.

ඔය අස්සෙ ගෙදරට ආව කෝල් එකක්.

"අනේ අද වික්‍රම සර්ට අපේ ගෙදර ටියුෂන් වලට එන්න එපා කියන්නයි මේ කතාකරන්නෙ. අපිට හදිසි ගමණක් යන්න වෙලා."

"අනේ දැන් වික්‍රම ගෙදරින් ගිහින් ටිකක් වෙලා. මෙලහකට මග ඇති."

"මට දෙන්නකො එහෙනං වික්‍රම සර් ගෙ හෑන්ඩ් ෆෝන් එකේ අංකය, මං කතාකරල කියන්නං."

"අනේ, වික්‍රමට නෑනේ මොබයිල් ෆෝන් එකක්."

"මොනවා!"

ඉතිං අන්තිමේදි ටියුෂන් සර් එනකං, ගෙදර අයට තමන්ගෙ හදිසි ගමන පැත්තක දාල පැය බාගයක් විතර ඉන්න වුනා. හරි නෑනෙ ගුරුවරයෙකුව රස්තියාදු කරන එක. පණිවිඩේ කල් වේලා ඇතුව දෙන්නත් බැරි වුනානෙ.

පොර ආවට පස්සෙ ශිෂ්‍යාව ගෙ තාත්ත කේන්තිය මැඩගෙන මෙන්න මෙච්චරයි කියල තියෙන්නෙ.

"ගන්නකො සර් හෑන්ඩ් ෆෝන් එකක්! මේ පොඩි ළමයින්ටත් දැන් ෆෝන් තියෙනවනෙ. ලැජ්ජ නැද්ද? අනික අපිටත් කොච්චර ලේසිද සර්ව කන්ටෑක්ට් කරන්න?"

පස්සෙ දවසක අපේ පොර මේ කතාව මට කියපු දවසෙ මෙන්න බොලේ පොර ලඟ මොබයිල් ෆෝන් දෙකක්ම.

එකක් පොර පිටට කෝල් ගන්න එක, අනික අනෙක් අය පොරට කතාකරන එක. දෙවෙනි එකේ නොම්බරය තමා කාට කාටත් දෙන්නෙ පොරව කන්ටෑක්ට් කරන්න.

කතන්දරකාරයා

11 comments:

  1. මා දන්න මහාචාර්යවරයෙක් ඉන්නවා. (හිටපු උප කුලපති කෙනෙක්) කතා කරන කොට මොබයිල් ෆෝන් එක කට ළඟට ගන්නවා. අහන කොට කණ ළඟට ගන්නවා. බලා ඉන්න හරි අපූරු ජවනිකාවක්. මිනිහ සැර වැඩි නිසාද, හැමදෙයක්ම දන්නව කියල හිතන නිසාද මන්ද කවුරුත් "සර් ඔහොම කරන්න ඕනැ නැහැ" කියන්න ගියේ නැහැ. ඉතින් දිගටම මේ විකාරය කළා.

    ReplyDelete
  2. එල බුවෙක්නේ...

    /බිඟුවා...!

    ReplyDelete
  3. ආයේ හම්බවුනොත් ඩුවෙල් සිම් 4න් එක්ක ගන්න කියන්න

    ReplyDelete
  4. ෆෝන් අන්දර නං ඕන තරං. පොඩි කාලේ අපි හිටිය ගමේ කඩේ මුදලාලි, ගම්පහ මහත්තයා ගත්තා මොබයිල් එකක් ගමේම පලමු වැනියා හැටියට. මිනිහා ෆොන් එක කණට ගන්නෙ පුංචි දරුවෙක් වඩා ගන්නවා වගේ ආරස්සාකාරීව වගේම අපිට පේන්න හරි උජාරුවට.
    ඒ කාලේ, ඒ කියන්නෙ 90 ගණන් වල සිරස ප්‍රවෘත්ති වලට අනුග්‍රහය දුන්නෙ සෙල්ටෙල් එකෙන්. උදේ 7 යන නිවුස් වලට ඔය අනුග්‍රාහක දැන්වීම් යද්දි මිනිහා සමහර දවස් වල​ට රැවටෙනවා මං පාං ගන්න ගියාම දැකලා තියෙනවා.

    ReplyDelete
  5. ආහ් :D ඔන්න මටත් කට පාලනය කරගන්න අමාරු වේගන එන්නෙ

    මම දන්න සිනමා විචාරකයෙක් ඉන්නව. පොත් පත් එහෙමත් බොහෝම ලියල තියෙනව. (හත්වලාමේ එයාගේ නම මෙතන කියන්න තිබුනා නං කතාව නැගලා යන්න තිබුනා) එයාත් තරමක් මේ වගේ තමයි. මීට අවුරුදු කීපෙකට ඉස්සර ඔන්න තවත් යාලුවෙක් පාරෙ යද්දී මේ විචාරක තුමා මූන නරක් කරගෙන ජංගම දුරකතනය දිහා බල බල ඉන්නවලු බස් හෝල්ට් එකක.

    "මොකද නිකං... මූන අඳුරු වෙලා" යාලුවා අහනවා.

    "නෑ මම අර ඩයලොග් එකේ උන් කියනවට අලුත් පැකේජ් එකකට මාරු වුනා. වැඩිපුර සල්ලිත් ගෙව්ව. දැන් දවසක් වෙන්න ආව තාමත් වෙනසක් නෑ. මුන්ගෙ සර්විස් එක කිසි කමකට නෑ වගේ."

    "ආ. ඇයි මොකද අලුත් සිම් එක ඇක්ටිවේට් කරල නැද්ද?" යාලුවා අහනවා.

    "නෑ වගේ. උන් කිව්ව එවේලේම ඇක්ටිවේට් කරනව කියල. බලන්නකො මේ තියෙන්නෙ." සිනමා විචාරකයා පර්ස් එකෙන් ගත්ත පැකට් නොකඩපු සිම් පත පෙන්නමින් කිව්වා.

    ReplyDelete
  6. මේ ලිපිය කියවද්දී මටත් හරිම හිනහයි මොකද මමත් දැං මොබයිල් ෆෝන් භාවිතයෙන් ඈත් වෙලා නිසා.

    1996 හරි 97 හරි මට පුදුම කළකිරීමක් ඇති වුනා මොබයිල් ෆෝන් එකක් නැති එක ගැන.

    2000 සහ 2003 කාලේ විතර වෙනකොට චිත්‍රපටිවල කතා පවා එස් එම් එස් කරන්න ගත්තා හරිම අපූරු ආශ්චර්යයක් ‍වගේ.

    2007 හෝ 2008 වෙද්දී පරිගනකයෙන් කාර්යාලය තුළ කළ ගොඩක් වැඩ ගිනි කාෂ්ටක අව්වේ හිට ගෙන කරගන්න පුළුවන් වුනා. වානේ තලාඳෙකට [Steel Beam] දරන්න පුළුවන් උපරිම ආනමය ඝූර්ණය [Bending Moment] හෝ උත්ක්‍රමය [Deflection] සයිට් එකේ පරණ වානේවල මිනුම් අරං එවෙලෙම ගණනය කරල බලාගත්ත ජංගම දුරකතනේ තිබ්බ ගණනය කිරීමේ එක්සෙල් ෂීට් පහසුකම් නිසා. ඒ හින්ද රස්සාවට අනුපමේය සේවයක් වුනා දියුණු ජංගම දුරකතන හින්දා...වැඩ ඉක්මන් වුනා. කාලය ඉතිරි වුනා. ඒ විතරක් නොවෙයි කාර්යක්ෂම ඉංජිනේරුවෙක් විදියට හාම්පුතුන්ගේ නොමද ප්‍රශංසාවට ලක් වුනා.:)

    දැං හිතෙන්නේ පරණ ක්‍රමයටම ඒ සියල්ල වෙනව නම් වඩාත් හිතට නිස්කලංකයි කියලයි.
    :)

    ReplyDelete
  7. ඔය තියෙන්නෙ න්‍රිම කතන්දර, මෙහෙම ගියොත් මගෙ ජොබ් එක ගහල යයි වගේ!

    @ බුද්ධි, ආනන්දවර්ධන, ටැබූ, ඩෝසන් කතා වලට ස්තුතියි.

    @ චතුරංග, බිඟුවා - එවන්නකො ඔය පැත්තෙ මොබයිල් ෆෝන් කතන්දරයක් දෙකක්.

    කතන්දරකාරයා

    ReplyDelete
  8. මාතෘකාවට අදාළ නැති දෙයක් ලියනවට සමා වෙන්න..

    අපේ සහෘදයෙකුට හරිම අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාන්නට සිදුවෙලා..
    ආදරය, විරහව සහ කදුල ලියන චන්දික මලයට...
    හැමොගෙම අවධානය මේකට යොමු වෙනවා නම් හොඳයැයි සිතනවා..
    මේක බලලා ඔබේ අදහසත් ලියල එන්න..
    http://love-hurt-tears.blogspot.com/2010/03/blog-post_6649.html

    ReplyDelete
  9. අපූරු කතාවක්... පළමු වතාවටයි මේ අඩවියට ගොඩවුණේ..
    කතා නම් පංකාදුයි... බිලොග්කරණයට නවකයො වන අපට අයියලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.. මං මේ අඩවිය Bookmark කරගත්තා.. ඉඩ තියෙන වෙලාවට ගොඩ වැදිල යන්න හිතාගෙන..

    ReplyDelete
  10. මාත් අර පන්සලේ උන්න කාලේ මගේ දායකයෙක් වෙන අවුරුදු 24ක විතර කොල්ලෙක් හිටියා, මිනිහා වෘතියෙන් මෙසන් බාස් කෙනෙක්. වැඩිය ඉතින් ලියන්න කියන්න එහෙම බෑ. හොද එකා. මෙකත් ඒ දවස්වල ෆෝන් එකක් පාවිච්චි කලා. මුලින්ම ඩයලොග් සිම් එකක් තියාගෙන ඉදලා පස්සේ මොකක් හරි හේතුවකට මොබිටෙල් වලට බැහැලා හිටියේ. මිනිහගේ පුරුද්දක් වෙලා තිබුනේ පාරිභෝගික සේවා අංශයට කතා කරලා ඒ කතා කරන කෙල්ලෙක්ගෙන් මොනවා හරි අහ අහ කාලේ ගත කරන්න. වැරදිලා හරි කොල්ලෙක් කතා කලොත් කට් කරලා නිකං ඉන්නවා. දවසක් මිනිහා අපිත් ඉන්න තැන කෝල් එකක් ගත්තා. එක පාරටම මෙන්න මෙහෙම කියාපි..
    ඔය අක්කලා හොද නැහැ.. මොබිටෙල් අක්කලා වගේ නෙවෙයි ඩයලොග් අක්කලා හරි හොදයි.. ආයේ මම මෙක පාවිච්චි කරන්නේ නැහැ.. දා ගන්නවා ඩයලොග් එකම..
    කියලා ෆෝන්එක තියපි. පස්සේ බැලින්නම් මිනිහා ගත්ත වෙලාවෙ අක්කා කෙනෙක් මෙහෙම කියලා..
    ඔබ ඇමතූ අංකය භාවිතාවෙ නොමැත කරුණාකර අංකය පරීක්ෂා කර බලා නැවත අමතන්න.

    (මිනිහා එදා උදේ ඉදලා තුන් හතර වතාවක්ම ට්‍රයි කරලා බැරිම තැන තමයි මෙහෙම කියලා තියෙන්නේ)

    ReplyDelete
  11. කාලෙකින් අයියේ එන්න උනේ, දන්නවානේ ඉතින් හේතු.
    හිත එකතැන නොතිබ්බත් කතා ටික නම් එක හුස්මට කියෙව්වා.
    හැමදාම වගේ කියන්න තියෙන්නේ නියමයි කියල තමයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.