Wednesday, 16 November 2011
රත්නායක මහත්තයා ගේ අනන්‍යතාව හෙලිවේ! - Mr Ratnayake's identity revealed
කතන්දර බ්ලොග් එක බලන අයට රත්නායක මහත්තයා අමුතුවෙන් අඳුන්වා දෙන්න ඕනෑ නෑනේ? පොර නැත්තං මං තාමත් කතන්දර 500 සැතපුම් කණුවට ඇවිල්ලා නැති වෙන්න ඉඩ තිබුණා.
මට කීප දෙනෙකුනේම දැනගන්න ලැබුණු විදියට පහුගිය කාලේ අපේ බ්ලොග්කරුවන් ගේ විවිධ කණ්ඩායම් අතර මේ රත්නායක මහත්තයා ය කියන්නේ සිහි සටහන් ලියන චානුක වත්තේගම විය යුතුයි කියලා කතාවක් ගිහිල්ලා තියෙනවා.
ඒකට එහ හේතුවක් සිහි සටහන් අඳුන්වා දෙමින් මා ලියූ මෙන්න මේ සටහන ලු!
http://kathandara.blogspot.com/2011/04/blog-post_10.html
අපේ සිංහල කියවා අවබෝධ කර ගැනීමේ හැකියාව ගැනත් ප්‍රශ්ණයක් ආවා ඒ කතාව අහලා!
ඉතිං මට හිතුණා මේ ගැන පොඩි සඳහනක් කරන්න අද කතන්දරේට යන්න කලින්.
මෙන්න රත්නායක ගැන මෙතනට අදාල විස්තරයක්.
රත්නායක මහත්තයා කොළඹින් පිටයි පාසල් ගියේ. සතර පත්තරේ මිස විදුසර බැලුවේ නෑ. ඒ ලෙවල් පාස් වෙලා ලංකාවේ විශ්ව විද්‍යාලයකයි ඉගෙන ගත්තේ. මැවිසුරු උපාධිය ගත්තා. පස්සේ පස්තාච්චි වැඩ සඳහා පිටරට ගියා.
ලේඛණ කටයුතු කියලා පොර කරන්නේ ජොබ් එකේ වැඩට ලියන කියන එක විතරයි. පොර ගේ ප්‍රොෆෙෂනල් වැඩවලට අදාල පොත් පත් හැර පොත් සමග වෙනත් ලොකු ගණුදෙණුවක් කවදාකවත් නෑ. නවකතා අරහං.
මං කුලසේන ෆොන්සේකා ගේ "උඩු බිරුම" කියන නවල් එක බලන්න කියලා ගෙදරටම ගෙනිහිං දීලා තිබිලා අවුරුද්දකට පස්සේ ආපහු ගෙනාවා. පොර එක පිටුවක්වත් කියවලා තිබුණේ නෑ, පොත කියවපං කියලා මං දුන්නු දවසේ ඒකේ අන්තර්ගතය ගැන හොඳට පැහැදිලි කළා වුනත්.
හැබැයි ඔන්න දැන් නං පොර ටිකක් සිංහල, අඩු තරමේ කතන්දර බ්ලොග් එකවත්, කියවනවා වගේ.
අන්තිම කරුණ මෙන්න. රත්නායක මහත්තයා මට නිතරම හමුවෙනවා. කොටින්ම අද කතන්දරෙත් ඒ හමුවීමක් ගැනයි.
වත්තේගම මහත්තයා මා දැක ඇත්තේ දින දෙකයි. මුලින්ම 2009 දෙසැම්බර් සිංහල බ්ලොග් සංගමයේ හමුව දවසේ. එදා වචන කීපයක් කතා කළා. හොඳින් කතාබස් කලේ දෙවෙනියට හමුවුණු මගේ පියා ගේ අවමගුල කාලයේයි. ඒ 2010 දෙසැම්බරයේ.
ඒ සේරම ලිව්වේ රත්නායකයි, වත්තේගමයි දෙන්නා දෙන්නෙක් බව පෙන්නන්නයි.
දැන් මෙන්න අද දවසේ කතන්දරය.
පහුගිය දවසක මං රත්නායක මහත්තය ලා ගේ ගෙදර ගියා. රමණී මැඩම් තමයි ඒ නිවසේ එක්සෙකටිව් චෙෆ්. හැබැයි මෙදා රත්නායකත් හදලා තිබුණා සලාදයක්.
අර කීප් අ සයිඩ් කුළුබඩු ටික දැම්මාද මං මුලින්ම ඇහැව්වා.
මොකද ඔය පරණ කතන්දර මතක් කරනවාට රත්නායක වැඩි කැමැත්තක් නෑ. කබර පෲෆ් මෙතඩ් කතාව නම් අරහං!
ඔන්න කාලා-බීලා ඉවර වෙලා (ඇත්තම කියනවා නං, බීලා-කාලා ඉවර වෙලා) මං රත්නායක ට මෙහෙම කිව්වා.
"මචං, මට කියන්න පුළුවන් ද මේ සැලඩ් එක හදපු ක්‍රමය හරියටම විස්තර ඇතුව?"
රත්නායකට පොඩි හිනාවක් ගියා.
"ඇයි මොකටද? උඹ මේක කතන්දර බ්ලොග් එකේ දාන්නද අර පරිප්පු, මස්, බෝංචි හදපු විදිය හාමිනේ ගෙන් අහගෙන උඹේ වගේ හිතෙන්න දැම්ම විදියට?"
"අපෝ නෑ මචං, එහෙම දාන්න නෙමේ, අර බොම්බිලි කරෝල හදපු හැටි දැම්මා වගේ, මෙන්න මේ විදියට නං සැලඩ් හදන්න එපා කියලා දාන්නයි උඹේ රෙසිපිය මට ඕනෑ!"
-කතන්දරකාරයා
ප/ලි:
හොඳම කුක් මං ද, රත්නායක ද කියන එක නම් අමාරු වැඩක්.
හැබැයි, චානුක වත්තේගම ගේ ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා ලිපිය කියවපු දවසේ මට මොනවට පැහැදිලි වුණා ලංකාවේ ශූරම බ්ලොග්කරුවා කවුද කියන එක.
චානුක ට ජයවේවා!
(image: http://www.lankantunes.com/)
Monday, 14 November 2011
ප්‍රථම ප්‍රේමය කියන්නේ... මොන මගුලක් ද? - What the hell is first love
ලව් ඉස් ෆර්ස්ට් ලව් කියල කිව්වලු මැක්සිම් ගෝර්කි ද කොහෙද!
ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමය නැත්තම් කුළුඳුල් ආදරේ තමයි සැබෑම ප්‍රේමය කියන්නේ.
ඔය කියමන තියෙන්ගේ ගෝර්කි ගේ "ප්‍රථම ප්‍රේමය" නම් වූ කෙටිකතාවේ ම තමයි මං හිතන්නේ.
නමුත් මෙතන මට ඇතිවෙන ප්‍රශ්ණාවලියක්ම තියෙනවා. ඒකෙන් මූලිකම ප්‍රශ්ණය තමයි මොකක්ද මේ කුළුඳුල් ආදරේ කියන්නේ.
පොඩි පන්තිවලදී අර කවට කමට ඔබෙයි මගෙයි නම ලියා යාළු ළමයි විහිළු තහළු මට කියා කේස්වලින් ඇතිවෙන නිකං මොන්ටිසෝරි ලව් එකක්ද?
පස්සේ නැට්ට පොඩ්ඩක් දිග් වෙන කාලේ වෙන කොට කෙල්ලෙක් දැකලා කිං කිං හැඟීමක් ඇතිවෙන මුල්ම කේස් එකද?
ඒ කේස් බේස් අතරේ, සීරීයස්ලි ම ට්‍රයි එකක් දෙන්න ඕනෑ කියලා හිතෙන, කවි ලියවෙන, ඩිප ගහන මුල්ම ෆිෆ්ටි පරසන්ට් ආදරේ කේස් එකද?
කෙල්ලන්ගෙන් අහගෙන ගිහිල්ලා ගිහිල්ලා, මුලින්ම හා කියලා උත්තරේ ලැබෙන කේස් එකද? (ලෝකයේ කෙටිම ලව් අෆෙයාර් එක විදියට වාර්තාව තියලා තියෙන්නේත් මේ වගේ කේස් එකක්!)
ඒ සේරම නොවේ නම්, දෙන්නම දෙන්නට සීරියස් ලි ලව් කරන මුල්ම කේස් එකද?
මේ විදියට බලාගෙන යනකොට එක්කෙනෙකුට ෆර්ස්ට් ලව් පහ හයක් ම තියෙන්න පුළුවන් වගේ නේද?
එතකොට, යම්කිසි ලව් කේස් එකක් කෙල්ලගේත් කොල්ලගේත් දෙන්නගේම ෆර්ස්ට් ලව් නම්, ඒක තුන් කුළුදුල් ලව් කේස් එකක් වෙනවාද?
ප්‍රශ්ණ ගොඩයි!
ඔය ප්‍රශ්ණ ටික තේරුම් බේරුම් කරගන්න උපකාරී වෙන හොඳ උදෘතයක් දෙන්න පුළුවන් මුලින් කියපු රුසියන් ජාතික මහා ලේඛක මැක්සිම් ගෝර්කි වගේම තවත් අතීතයේ සිටි මහා ලේඛකයෙකු වූ ප්‍රංශ ජාතික Victor Hugo ගේ "ල මිසරාබ්ල" කියන නවකතාවෙන්. (Thanks Ano for correcting it. I got the quotation below by Googling Victor Hugo).
මෙන්න ඒකේ ඉංගිරිසි පරිවර්තනය.
"The first symptom of love in a young man is shyness; the first symptom in a woman, it's boldness."
සිංහලෙන් කියනවා නම් මෙහෙමයි.
"තරුණයෙකු ගේ ආලයේ ප්‍රථම ලක්‍ෂණය නම් ඔහු ලැජ්ජා වීමයි. තරුණියකගේ නම් ඉතා එඩිතර බවයි."
-කතන්දරකාරයා
ප/ලි:
අත්දුටුවයි! සත්තකයි!!
කවුරුත් නෑ නේද මේ කියමන වැරදියි කියන?
http://stink-bomb.blogspot.com/2011/08/love-is-love.html)
Sunday, 13 November 2011
මැන්චෝසන් චාරිකා - Baron Munchausen and Kathandara Karaya
අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට පි‍්‍රය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුනේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කලේ අපූරු චමත්කාරයකි.
පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අකුරු ගැට ගසන්නට අපට හැකිවුණු සමයේ දී, "සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි. පාසලේ පහල පන්තිවල දී අමතර කියවීම් ලෙස අභව්‍ය සුරංගනා කතන්දර පොත් කිහිපයක් ද රුසියන් ළමා කතා පරිවර්තන පොතක් ද කියවු බව මගේ මතකයයි. අද තරම් ප‍්‍රමාණයක් ළමා කතා පොත් එකල ලංකාවේ මුදුණය නොවුණු බව පැහැදිලිය.
ළමා පොත් වෙනුවට අපට ලේක් හවුස් ප‍්‍රකාශනයක් වූ "මිහිර" පත්තරය තිබුණි. "ටිකිරි" නමින් ද ළමා පුවත් පතක් ටයිම්ස් ආයතනයෙන් මුද්‍රණය වූ බවක් මතකයේ ඇති නමුත් අප මිළදී ගත්තේ මිහිර පත්තරයයි. මා ප‍්‍රාථමික පාසලේ උගන්නා කාලයේ මිහිර පත්තරයට ලියූ කවියක් එහි පලවීම නිසා අමන්දානන්දයට පත්වූ හැටි තවමත් මගේ සිතේ රැඳී ඇති තවත් එක් සොඳුරු මතකයකි.
මිහිර පත්තරය වසර කිහිපයක් කියවීමෙන් පසු ළමා සිතක් එයින් ඔබ්බට පය තබන්නට සිතනු අපේක්‍ෂා කළ යුතුය. මා එම පිම්ම පැන්නේ පාසලේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙණුම ලබමින් සිටි අවදියේ දී අපේ නිවසේ තිබී හමුවුණු ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම් කොට" නමැති නවකතාව කියවීමෙනි.
මම මිහිරෙන් මිහිරට පත්වූයෙමි.
"අඹ යහළුවෝ" සහ "මඩොල්දූව" ළමා නවකතා මා කියවූයේ ඉන් පසුව පස්වෙනි ශ්‍රේණියේ දී ය.
ද්විතීයික අධ්‍යාපනය සඳහා මධ්‍ය මහා විද්‍යාලයට ගිය පසු අපට ලැබුණු එක් වරප‍්‍රසාදයක් වූයේ පාසල් පුස්තකාලයෙන් පොත් නිවසට රැගෙන ගොස් කියවීමට හැකිවීමයි. නමුත්, මේ කර්තව්‍යය සිදුවුනේ අප අද පුස්තකාලයකින් පොත් ලබා ගන්නා ආකාරයෙන් නම් නොවේ.
මේ වැඩ පිළිවෙල පටන් ගත් දිනයේ දී පුස්තකාලයට ගිය අපේ පන්තිය භාර ගුරු ගුණරත්න පන්තියේ සිටි සිසුන් ගණනට සමාන පොත් සංඛ්‍යාවක් ඔහු විසින් තෝරා ගෙන එන ලදී. මේ පොත් සිසුන් අතර බෙදා දුන් ඔහු ඒ විස්තර පන්ති නායකයා වූ මා ලවා අභ්‍යාස පොතක ඇතුලත් කළේය. අපට උපදෙස් ලැබුනේ තමන් ගේ පොත කියවා ඊලඟ සතියේ නියමිත දිනට පාසලට රැගෙන එන ලෙසයි. එදින තමා ලඟ තිබෙන පොත වෙනත් සිසුවෙකු සමග හුවමාරු කර ගත යුතුය. පොත නියමිත දින පන්තියට නොගෙනාවොත් ශත දහයක දඩයක් හිමිවේ.
මේ වැඩ පිළිවෙල නිසා අපේ පන්තියේ සිසුවන් කියවීමට හුරු වන්නට ඇත. මගේ ප‍්‍රශ්ණය වුයේ, ලැබෙන පොත එදිනම කියවූ පසු, සතියේ ඉතිරි දින හය තුල කුමක් කියවන්නද යන්නයි. පාසල් පුස්තකාලය අප වැනි සිසුන් ට යා හැකි තැනක් නොවුණි. ඒ සඳහා නිර්දේශිත කාල පරිච්ඡේදයක් ද කාල සටහනේ නොවීය.
මගේ කියවීමේ රුචිය වැඩිකර, ලේඛණ කටයුතු කෙරෙහි ඇල්මක් ඇති කිරීමට සමත් වූ එක්තරා සුවිශේෂී සිදුවීමක් වූයේ "ගුණසේන ළමා පොත් සමාජය" ට බැඳීමයි. මේ වනාහී තැපැල් මගින් පොත් ගෙන්වා ගන්නා සේවයක් මිස අන් කිසිවක් නොවේ. අපට එවන පොත් ලයිස්තුවලින් අප කැමති පොත් තෝරා, නියමිත මුදලට මුදල් ඇනවුමක් සමග යැවීමෙන් මේ ආකාරයට පොත් ලබා ගත හැකිවිය. මෙලෙස මා කියවූ බොහෝ පොත් භාෂා විලාසය අතින් අති නීරස ඒවා විය. එයට හේතුව, ගුණසේන සමාගම විසින් අඩු මුදලක් නියම කර ළමා පොත් සමාජයට එක් කරන්නේ විකුණාගත නොහැකි නීරස පොත් නිසා විය යුතු බව මට පසුව වැටහිණි. මෙනිසා දෝ මා මෙලෙස තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගෙන කියවූ එකදු පොතක් පිළිබදව වත් මගේ මතකය අවදිකරගත නොහැක.
මේ සියල්ල වෙනස් වූයේ මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී උදාවුණු සැප්තැම්බරයේ එක් සෙනසුරාදාවක ය. එදා මම ජීවිතයේ මුල්වරට පිටකොටුවේ "ගුණසේන" පොත් සාප්පුවට පිය නැගුවෙමි.
මහල් ගණනාවක පැතිරුණු ඒ විසල් ආයතනය දැක මට "කඩවත" නම් වූ නවදැළි හේනත්, රුපියල් 100 කට වඩා වටිනා පාසල් පොත් මිලදී ගතහොත් පාසල් කාල සටහනක් නොමිලේ දෙන "මහජන පොත්හල" නමැති වැඳිරියත් වහා සිහිවිය.
මගේ ආදරණීය පුංචි අම්මා ගේ අනුග‍්‍රහයෙන් මට එදා ලැබුණු පොත් අතරින් අද ද මගේ මතකයේ රුඳී ඇති සුවිශේෂී කෘති දෙකක් වේ. මේ පොත් දෙකම පරිවර්තන කෘති වීම ද විශේෂයකි. ඉන් පලමුවැන්න නම් "ඇලෙක්සැන්ඩර් ඩූමා" නම් ප‍්‍රංශ ජාතික නවකතාකරුවා ගේ "ද කවුන්ට් ඔෆ් මොන්ට කි‍්‍රස්ටෝ" නවකතාවේ සිංහල පරිවර්තනයවූ මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා නම් වූ කෘතියයි. මෙය, තරමක් කටුක බසකින් යුක්ත වූවද, එහි අන්තර්ගතයේ ඇති රසවත් කම නිසාම, දෙතුන්වරක් කියවා රස විඳීමට තරම් මා සිත ගත් කෘතියක් විය.
මුදල් බලයෙන් මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා කළ කී දේ පිළිබදවා කියවා සිත කුල්මත් වූවද, එය එක්තරා ආකාරය පරාජිත කතාවක් විය. ඒ සිතුවිලිවලින් මා ගලවා වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන්ම මා සිතට වික‍්‍රමාන්විත සිතුවලි ගෙන දුන්නේ එදා මට ලැබුණු දෙවන පොත, එ නම්, "රුඩොල්ෆ් රාස්ප්" ගේ "ද සර්ප‍්‍රයිසින් ඇඞ්වෙන්චර්ස් ඔෆ් බැරන් මැන්චෝසන්" කෘතියේ සිංහල පරිවර්තනය වූ මැංචෝසන් චාරිකා නමැති කෘතියයි.
කතාවේ අන්තර්ගතයටම නිවරුදිව ගැලපෙන පරිදි සැකසුණු බසකින් ලියවී තිබුණු මේ පරිවර්තන කෘතිය අද ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ඞී.බී. කුරුප්පු ගේ හපන්කමක් විය.
මැංචෝසන් සාමි ගේ වික‍්‍රමයන් පිළිබඳව කියවන්නට පටන් ගත් විගසම ඒවා අමූලික බොරු බව හොඳින් තේරුම් ගියද, ඒ කතන්දර ලියා ඇති සරල භාෂා විලාශය සහ අන්තර්ගතයේ ඇති අපූර්වත්වය නිසා පොත දෙතුන් වරක් කිය වූව ද කිසිසේත්ම එය නැවතත් කියවීමේ ආශාව අඩු නොවේ. මේ පොත් පිංච, උපහාසය හා හාස්‍යය කැටිකොට ගත් රචනා විලාශයක් ප‍්‍රිය කරන රචකයෙකුට අත් පොත් ම වන බව පසුගිය දා මෙහි දෙවන මුද්‍රණයේ පිටපත් කියවද්දී මට සිතුණි.
මා කතන්දර නමැති බ්ලොග් අඩවිය වසර දෙක හමාරක් පමණ පෙර අරඹා අද දක්වාම නොකඩවා පවත්වාගෙන යන්නේ ද, මේ බ්ලොග් අඩවිය සඳහා විවිධාකාරයේ කතන්දර පන්සියයක් පමණ කතන්දර කීමේ ශෛලියෙන් ම ලියා ඇත්තේ ද මේ මැන්චෝසන් චාරිකා කියවා එදා මා වින්දනය නිසා යැයි මට සිතේ.
වෙනත් වචන වලින් කිවහොත්, එදා අටේ පන්තියෙන් ඇරඹූ ඒ අපූරු "මැන්චෝසන් චාරිකාවේ" මම අද ද නිරතව සිටිමි.
මැන්චෝසන් සාමි ගේ අන්දර සිංහලෙන් ලියා මගේ සිත උත්තේජනය කළ ඞී.බී. කුරුප්පු ලේඛකයාට මේ ලිපිය උපහාරයක් ම වේවා!
-කතන්දරකාරයා
ප/ලි
මෙය මා මාසික සඟරාවක් සඳහා ලියූ තීරු ලිපියකි. සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා වෙනුවෙන් පළ කෙරේ!
Saturday, 12 November 2011
ලෝකයේ දිගම ලව් ලෙටර් එකේ වාර්තාවත් ලංකාවෙන් ද? Longest love letter world record set in Sri Lanka!
ලෝකයේ කෙටිම ලව් අෆෙයාර් එකේ වාර්තාව තියෙන්නේ ලංකාවේ ද කියලා හිතෙන තරමේ කෙටිම කෙටි ආදර කතාවක් ගැන කතන්දරයක් මං කාලෙකට කලින් ලිව්වා.
ඒ කතාව නම් පේරාදෙනියේ යුනිවසිටියට සම්බන්ධ එකක්.
හැබැයි මේ අද ලියන දිගම ලව් ලෙටර් එකේ වාර්තාව ගැන කතන්දරේ නම් කෙලින්ම විස්ස විජ්ජාලෙකට සම්බන්ධ නෑ.
දිගම ලව් ලෙටර් එකට ගැන විතරක් නෙමේ මේ කතන්දරේ තවත් අසම්මතයක් ගැනත් සඳහනක් තියෙනවා.
මං උසස් පෙල කරන කාලේ මුලින්ම ටියුෂන් ගියේ යාළුවෙක් ඕගනයිස් කරපු පොඩි පන්තියකට. ටියුෂන් දුන්නේ කැලණිය කැම්පස් එකේ කොල්ලෙක්. ඇත්තටම කියනවා නම්, ඒ පන්තියෙ සෙට් කරලා තිබුණේ මගේ යාළුවා ගේ පුද්ගලික කෝචින් එකේ වියදම බෙදාගන්නයි.
විශ්ව විද්‍යාලයේ යන්න කලින්ම සමහරු ටියුෂන් දෙන්න පටන් ගන්නවා. මගේ යාළුවෙක් හිටියා එහෙම පටන් අරගෙන මෙඩිකල් ෆැකල්ටියේ විභාග ෆේල් වෙන එක පවා නොතකා ටියුෂන් කරලා තමයි ජීවන වියදම හොයා ගත්තේ. තව එකෙක් උසස් පෙළ ඒ හතර ගත්තා කියලා පෝස්ටර් පවා ගහලා ටියුෂන් කළා. කැම්පස් එකේ විභාග ෆේල් වෙන එක ගැන නම් දැම්මේ නෑ.
මේ සේරම කොල්ලෝ! ඒක තමයි සම්මතය!!
එන්න එක්තරා නගරාසන්න ගමක හිටියා කෙල්ලෙක්. ලස්සනයි, වගේම බ්‍රයිට් (එ රෙයා කම්බිනේෂන්, හුහ්!) මේ දැරීවී ඉතාමත් හොඳින් ඒ ලෙවල් පාස්වුණාට පස්සේ ලඟපාත ගෙදර කොල්ලෙකුට මැත්ස් ටියුෂන් දෙන්න පුළුවන් ද කියලා ඒ කොල්ලා ගේ අම්මා ගෙන් ආරාධනාවක් ආවා. කැම්පස් යන්න කලින් ගෙදර කල් මරණ කාලේ බෑ කියන්න හේතුවකුත් නෑ නේ.
ඉතිං ටියුෂන් ව්‍යාපාරය ඇරඹුණා.
කොල්ලා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හවසට එනවා කෙල්ල ගේ ගෙදරට. පියෝ මැත්ස් සහ ඇප්ලයිඩ් මැත්ස් අහගන්න.
ඉතිං ඔහොම මාස දෙක තුනක් ගතවුණාය කියමුකෝ.
දවසක් කෙල්ල ටවුමට ගිහින් ආපහු ඇවිත් ගෙදර ලඟින් බස් එකෙන් බහින කොට මෙන්න කොල්ලා එතන ඉන්නවා.
"මං මේ හේවගේ පොතේ තිබුණු සාපේක්‍ෂ ප්‍රවේගය ගණං ටිකක් හැදුවා. හරිද බලන්න පුළුවන්ද?" කොල්ලා ඇක්සයිස් පොතක් දෙන ගමන් කිව්වා.
කෙල්ල පොත අරගෙන බෑග් එකේ දාගෙන ගෙදර ආවා.
එදා රෑ පොත පෙරළලා බලද්දී මේකේ සාපේක්‍ෂ ප්‍රවේගය ගණං වලට උත්තර නෙමෙයි තියෙන්නේ ජීව විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් ගැන වාක්‍ය රචනාවක්!
පිටු හැටහතරක එක්සයිස් පොතේ මුල සිට අගටම තිබුනේ කොල්ලා කෙල්ලට ලියපු දිගම දිග ලව් ලෙටර් එකක්.
ඒක තමයි මං මේ දක්වා අහලා තියෙන ලෝකයේ දිගම ලව් ලෙටර් එක!
දැන් මෙන්න චැලේන්ජ් එකක්. පිටු හැටහතරකට වැඩිය දිග පෙම් හසුන් ගැන දන්නවා නම් ඒ ගැන ලියලා යන්න.
-කතන්දරකාරයා
ප/ලි
පොඩි කාලේ ඉඳලාම කොච්චර ලියන්න කැමති එකෙක් වුණත්, මංතුමා මේ දක්වා ලියලා තියෙන දිගම ලව් ලෙටරය ඔන්නං පිටු හයක් වෙන්න ඇති උපරිමය.
ඉතිං මේ ලෝක වාර්තා ලව් ලෙටර් එක ගැන දැන ගත්තාම ඒක ලියපු එකා මගේ මිම්මෙන් වීරයෙක් වුණා.
මගේ ජීවිතයේ මං ලබපු ලොකුම අභූත චෝදනාව සහ නින්දා අපහාසය මං ලැබුවේත් මේ ලව් ලෙටර් ලියපු වීරයා කවුද බොලේ කියලා ඒ ඇතිවුණු උනන්දුව හින්දයි!
ඒකත් කේස් එකත් නියම කතන්දරයක්.
සමහර විට තව අවුරුද්දකින් විතර ලියවෙන්න ඉඩ තියෙනවා.
(image: http://www.dreamstime.com/stock-image-cartoon-exercise-book-image9475371)
Thursday, 10 November 2011
මුං මේ ලියන්නේ කවි ද? නැත්තං වාක්‍ය රචනා ද? pseudo code of poetry
කතන්දර බ්ලොග් එකේ කයි-කතන්දර දාන්න පටන් අරං දැන් සෑහෙන කාලයක් වෙනවා. මුලින්ම එකක්, දෙකක් දැම්මා නිකං අවාරෙට වගේ.
නමුත්, පහුගිය සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය සමරන්න කියලා පටන් අරං ඔක්තෝබරේ ඉවර වෙනකම්ම දැම්ම පේරාදෙනියේ ගතකරපු මුල් දෙවසරේ ලියපු කවි තමයි හුඟ දෙනෙක් කියවලා තියෙන්නේ.
පාඨක ප්‍රතිචාර අනුව නම් මෙච්චර කල් මං දාපු කවි වලින් හොඳම කවිය තමයි අර "අභිනිෂ්ක්‍රමණය" කියන කවි පන්තිය. ලිව්වේ මොකා වුනත්, හැබැයි මං නං වැඩියෙන්ම කැමති "දේශපාලන විද්‍යා තල කැරළි වෙළඳාම" කියන එකටයි.
සොඳුරු සිත ලියන වත්සලා නම් කැමති "දෙව්ලොව ගමන" කියන සඳැස් කවි පන්තියටයි. මා මිතුරු රත්නායක මහත්තයා නම් කැමති "කටුබැද්දේ කුකුලා" ගේ කතන්දරයටයි!
ඔය කවිවලින් මොකක් හොඳ වුණත්, හොඳම කවිය දැනටම පලකරලා ඉවරයි කියන්නේ මෙතන ඉඳන් ඉතිං ඩවුන් ද පල්ලං තමයි!
ඔන්න නොකිව්වයි කියන්නෙපා.
කවිය යනු රසවත් වැකියකි කියල කවුද පරණ සංස්කෘත පඬියෙක් කියලා තියෙනවා ලු. ඒක නං මහ මෝඩ කතාවක්. ඒ වගේ කියමන්වල තියෙන භයානක පල විපාකය තමයි, ඕක අහපු අපි වගේ උං නිකං වාක්‍ය රචනා ලියලා කවි වගේ පාස් කරන්න හදන එක.
මං පේරාදෙනියේ හිටපු දෙවන අවුරුද්දේ ලියපු මේ කවියත් මට හිතෙන්නේ කවියකට වඩා වාක්‍ය රචනාවක් විදියටයි.
බොරු නං කියවලා බලන්න.
පෙම්වතුන් ගේ ලෝකය
ඔවුන්
ප්‍රේමයේ නමින් හෙලූ
කඳුළු බිඳු එක්වී
මහා ගංගාවක් සේ ගලා ගියේය
ඔවුන්
ප්‍රේමයේ නමින් හෙලූ
දුක් සුසුම් එක්වී
මහා මාරුතයක් සේ හමා ගියේය
ඒ ගංගාවේ ගැලුයේ
ගස සිත සනසන සිසිල් ජලය නොව
උණුසුම් කඳුළු බිඳු ය
ඒ මාරුතයේ හැමූයේ
ගස සිත පිනවන මුදු සුලං රැලි නොව
උණුසුම් සුසුම් ය
දෙගොඩ තලා ගිය ඒ ගංවතුරින්
ඔවුන් ගේ ලෝකය යටවී ගියේය
කුරිරු වෙසින් හැමු ඒ මාරුතයෙන්
ප්‍රේමයේ මන්දිරය වැනසී ගියේය
උණුසුම් කඳුළින් යටවූ ලෝකයෙ
වසන්තයේ උයනේ
පෙම් කුසුමන් සැම මැලවී ගියේය
පෙම් ලොව දස අත ආලෝකය දුන්
ආදර සඳ තරු
උණුසුම් සුළඟින් නිවිලා ගියේය
අවසානය එය විය෴
-කතන්දරකාරයා
ප/ලි:
මට හිතෙනවා මෙන්න මෙහෙම. මේක කවියක් නෙමේ කවි සිතුවිල්ලක් සහ කවියක් අතරමැද තියෙන ටිකක් කලටි පොල් අවස්ථාවක්.
නිකං pseudo code එකක් වගේ කියන්න පුළුවනි.
හරියට අර රිවර්ස් ඉන්ජිනියරිං කරලා කෙටි කවි වලින් මහදිග කතාවක් ලියන්න පුළුවන් වගේ ඕනැ නම් පුළුවන් වෙයි මේකෙන් කවියක් ලියන්න.
(image: http://www.usenix.org/event/nsdi05/tech/full_papers/fonseca/fonseca_html/)
Tuesday, 8 November 2011
කක්ක පාට මොන පාටද? - If its brown, flush it down!
මං පොඩිම පොඩි කාලේ, ඒ කියන්නේ ඉස්කෝලේ හෝඩියේ, දෙකේ පන්තිවල ඉන්න කාලේ, මූදු වෙරලක දර්ශනයක්, චීත්ත මෝස්තරයක් වගේ චිත්‍ර ඇන්දට, ඒවා කළු-සුදු ඒවා විතරයි මට මතක විදියට. වෛවර්ණ චිත්‍ර අඳින්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි.
ඇත්තටම, තුනේ පන්තියේ දී සතියට එක පීරියඩ් එකක් තිබුණා චිත්‍රවලට. වාර විභාගවලට විභාගයකුත් තියලා ලකුණුත් දුන්නා.
අපිට චිත්‍ර අඳින්න කියලා තිබුනේ සුදුපාට කොළ තියෙන චිත්‍ර පොතේ පැන්සලෙනුයි. ඊට පස්සේ තමයි පාට කරන්න ඕනෑ.
මේ චිත්‍ර පාට කරන්න ක්‍රම කීපයක් තිබුණා.
අපිට අමාරුම ක්‍රමය තමයි දිය සායම් වලින් පාට කරන එක. මේ දිය සායම් පොඩිත්තං ටියුබ්වලයි එන්නේ. පොඩ්ඩක් වතුරේ දිය කරගෙන පින්සලෙනුයි පාට කරන්න ඕනෑ. මේක මහා වාතයක්. වතුර හැලෙනවා, හැම තැනම පාට ගෑවෙනවා, මල ජරාවක්.
ඊට වැඩිය ලේසිම ක්‍රමය තමයි පාට පැන්සල්. පාට හයේ, දොලහේ පාට පැන්සල් පෙට්ටි තිබුණා. උල් කරලා අරගෙන සාමාන්‍ය ලියන පැන්සල් වගේ පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි පාට පැන්සල් වැඩේ එච්චර කලර්ෆුල් නෑ!
අපි හුඟ දෙනෙක් ගේ ප්‍රියතම ක්‍රමය වුනේ ඉටි වගේ ජාතියකින් හදල තිබුණ පැස්ටල් කූරු වලින් චිත්‍ර පාට කරන එකයි.
පැස්ටල් කූරු කියන්නේ හුණු කූරු වගේ, හැබැයි ඊට වඩා පොඩි පාට පාට සිලින්ඩිකා-කාර කූරු ජාතියක්. කූරට කවරයක් අන්දෝලා, එක පැත්තක් විතරක් උල් කරලා තිබුණා. ඒ පැත්තෙන් තමයි පාට කරන්නේ.
මං හිතන විදියට ඒ දවස්වල ලංකාවේ තිබුණු එකම පැස්ටල් කූරු ජාතිය හොම්රන් පැස්! ඒ ෆැක්ටරිය තිබුනේ දළුගම කැම්පස් එක පැත්තේ.
අපි දන්නවා නේ මූලික වර්ණ තුනයි තියෙන්නේ කියලා. ඒවා එකිනෙක අඩුවැඩි ප්‍රමාණයෙන් කවලම් කරගෙන තව විවිධ වර්ණ මිලියන් ගාණක් හදාගන්න පුළුවන්.
මිලියන් ගාණක් පාට කෙසේ වෙතත්, ඒ දවස්වල අපේ ප්‍රශ්ණය වුනේ හොම්රන් පැස් පාට විසිහතරේ පෙට්ටියේ තියෙන පැස්ටල් පාට විසි හතරෙන් සුදු, කළු, රතු, නිල්, කොල වගේ කීපය හැරුණ්ම ඉතුරු ඒවා, වචනයෙන් අඳුණාගන්න එකයි.
අපි බොහෝ විට මූලික වර්ණවල විවිධ ප්‍රබේධ අඳුණාගන්නේ අපි දන්නා වෙනත් ස්වභාවික දේවල්වල පාටවලට සාපේක්‍ෂවයි. කෙහෙල් දලු කොල පාට, ස්කයි බ්ලූ ඒ කියන්නේ අහසේ නිල් පාට, ලේ රතු පාට, මඩ පාට වගේ නම්වලින් පාට තියෙන්නේ ඒ අනුවයි.
මේ ලඟදී කිරිකෝපි ගේ බුකියේ දාලා තිබුණා මේකට අදාල මරු කෑල්ලක්.
ඒකේ අහලා තිබුනේ දොඩම්වලට ඔරේන්ජ් කියනවා නම්, ඔරේන්ජ් පාටට තැඹිලි පාට කියනවා නම්, තැඹිලිවලට කිං කොකන්ට් කියනවා නම්, එහෙනං දොඩම් කියන්නේ කිං-කොකනට් ද වගේ කතාවක්.
අපිත් ඉතිං ඔය වගේ තැඹිලි කුරුම්බා නම් වලින් එක එක හොම්රන් පැස් පාට නම් කරලයි තිබුනේ.
හැබැයි හොම්රන් පැස් විසි හතරේ පැක් එකේ කිසිම මලක, පලතුරක අහලින්වත් තියන්න බැරි පාටක් තිබුණා.
මේක දුඹුරු පාටට වඩා රතු පාටයි, හැබැයි රතු පාටට වඩා කහ පාටයි. කහ පාටට වඩා කළු පාටයි. ඔය පාට තුන හතර මැද්දේ තිබුණු මහා විජ්ජුම්බර, අළුගුත්තේරු, මස්තබාල්දු පාටක් මේක.
පලතුරු, මල්, අහස, මුහුද, පොළොව වගේ නොවුණත් වෙනත් ස්වාභාවික දෙයක් හරියටම මේ පාට වගේ නේද කියලා අපි කොයි කාටත් හිතුනේ ස්වභාවිකවමයි.
ඇත්තම කියනවා නම් මේ පාට අපි හොඳ ශරීර සෞඛයෙන් ඉන්නවා නම් අඩු ගානේ දවසට එක පාරක් විතර දකින පාටක්.
අමුතුවෙන් කියන්න ඕනි නෑනේ, මේක තමයි කක්ක පාට!
-කතන්දරකාරයා
ප/ලි:
යුනිවසිටියෙන් අවුට් වෙලා රෙදි මහන පැක්ටේරියක වැඩට ගියවෙලේ ඔන්න ඉගෙන ගත්තා මේ පාටේ ඉංගිරිසි නම බේජ් ය කියලා.
හැබැයි එහෙම නම් ඇයි,
If it's yellow,
Let it mellow
If it's brown,
Flush it down
කියන කවියේ බේජ් කියලා නැත්තේ?
මං චාට් එකක බලද්දී නං ඒකේ හැටියට බේජ් කියන්නේ වෙනිං ලා පාටක් (RBG=#f5f5dc). මට හිතෙන්නේ ඩාක් ඔරේන්ජ් තමයි හොඳම නම. ඒ කියන්නේ තද King Coconut!
ඒ කොහොම වුනත්, ඉංගිරිසි කාරයින් ගේ කක්කා, කක්ක පාට නෙමේ!
(image: http://www.shawwallace.lk/fmcg/index.php)
Sunday, 6 November 2011
පෑන බිම වැටුණා! - Drop the pen moment
කාලෙන් කාලෙට විවිධ කළමණාකරණ වැඩ සටහන්වලට සහභාගීවෙන්න ඉඩ ලැබෙනවා. මේවායේ ජොලිය තියෙන්නේ උදේ හවස තේ සහ දවල් රසවත් කෑම සමට පොඩි සංකල්පයක් දෙකක් අල්ලා ගෙන දවසක්ම, කයිය දෙමින් තෙල බෙදමින් ඉන්න ලැබීමයි.
මේ වාගේ එක වැඩසටහනක දී වෙච්ච සිද්ධියක් තමයි මං කලින් දවසක කිව්වේ අර අනුන් ගේ වැරදි පෙනීම ගැන.
ඊට කලින් මං කිව්වා මතකද කියත මුවහත් කිරීම ගැනත් කතන්දරයක්?
මේ වගේ කතන්දර තවත් රාශියක්ම තියෙනවා ලියන්න සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සීරීස් එකට.
මෙන්න අද පෑන බිම වැටුණා!
මේ කතන්දරේ කතා නායිකාව, ඩිලානි කියලා කියමු, රාජ්‍ය ආයතනයක එක අංශයක් බාර මැනිජර කෙනෙක්. මේ අංශය වෙනත් දෙපාර්තමේන්තුවකට අනුයුක්ත වුනා මොකක්ද මන්දා රීෂෆලින් කේස් එකක් හින්දා.
අළුත් දෙපාර්තමේතුවේ සහකාර ලේකම් හෙවත් පොඩි බොස් ඩිලානි ව කැදෙව්වා ඒ අංශයේ වැඩ කටයුතු ගැන වාර්තාවක් ගන්න.
මනුස්සය මේ මීටිමට ගිහින් තියෙන්නේ සෑහෙන්න හිතේ චකිතයෙන්. සටහන්, වාර්තා, ලිපි ගොනු පුරෝලා අරගෙන, හොඳට කොණ්ඩේ හෙම පීරලා, වතුර වීදුරුවක් බීලා ගියත් බඩේ සමනල්ලු අඩුවෙලා නෑ.
අළුත් ලොක්කා තඩි මේසේ එහා පැත්තේ පුටුවේ වාඩි වෙලා අත් දෙක මේසේ උඩ වැලමිටි දෙකෙන් රඳවාගෙන ඇඟිලි දහය එකිනෙක තට්ටු කරමින් දෙන බොඩි ලැන්ග්වේජ් එකත් එච්චර සුභවාදී බවක් පෙනිලා නෑ.
ලබ් ඩබ්, ලබ් ඩබ්, ලබ් ඩබ්!
වාර්තාව ඉදිරිපත් කරන්න පටන්ගන්න හදන කොටම මොකද දන්වාද වෙලා තියෙන්නේ?
හදිස්සිය නිසාම ඩිලානි ගේ අත පැටලිලා පෑනක් බිම වැටිලා!
ඩිලානි ඔන්න දැන් පෑන ගන්න බිමට නැවුනා පුටුවේ ඉඳගෙනම. තමන්ට පැත්තකින් බිම වැටිලා තිබුණු පෑන ඇහිඳ ගත්තා.
පෑන අහුලාගෙන ආපහු උඩට එන තත්පර කෑල්ල තියෙනවා නේද? ඔන්න ඒ ක්‍ෂණයේදී ඩිලානි ට මෙහෙම හිතුණා!
"දැන් මං මේ අංශයේ අවුරුදු හතක් සේවය කරලා තියෙනවා. අංශ ප්‍රධාන කලමණාකරු විදියටත් අවුරුදු දෙකක්ම. මං තරම් මේ අංශයේ වැඩ ගැන දන්න වෙන කෙනෙක් නෑ මෙතන."
"ලොක්කා මට එන්න කිව්වේ මගෙන් මේ ගැන අහගන්නයි. ඒ එයා දන්නේ නැති හන්දායි. මගේ යුතුකම මට හැකි උපරිම ආකාරයට එයාට මගේ අංශය ගැන පහදලා දීමයි."
පපර පපර පෑං!
පෑන ගන්න බිමට නැමුණු ඩිලානි නෙමේ උඩට මතුවුනේ.
එතන ඉඳන් පැය භාගයක් දීලා තියෙනවා ඇට්ටි හැලෙන්න.
ලොක්කත් හැපි, ඩිලානිත් හැපි.
සභාතොමෝ සතුටින් විසිර ගියහ.
අන්න බලන්න පින්වතුනි, පෑන් බිම වැටීමේ තියෙන ආනිසංශේ. මාත් දැන් නිතරම පෑන් දෙකතුනක් අතේ අරන් තමයි මීටින්වලට යන්නේ!
-කතන්දරකාරයා
ප/ලි:
මේ වගේ සුගුණපාල ධනවර්ධන අත්දැකීම් අපි හැමෝටම ඇති මට හිතෙන්නේ.
(image: http://terrynwilliams.wordpress.com/2011/10/05/positive-thinking-can-set-you-up-to-fail/)
Friday, 4 November 2011
චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
දැන් අවුරුදු දෙකකට විතර කලින් දවසක අපි මාතර පැත්තේ ඇන්ටි කෙනෙකු ගේ ගෙදර නෑගම් ගිහින් ඉන්න වෙලේ ඒ ඇන්ටි පොඩි පොඩි විහිළු කතන්දර දෙක තුනක් කිව්වා, බත් කාලා කෑම දිරවන්න කයියක් ගහං ඉන්න වෙලේ.
මෙයින් කතන්දර තුනක් මං පස්සේ දවසක බ්ලොග් එකේ පල කෙරුවා.
මාස විසි දෙකකට පස්සේ මේක කියෝපු ඇනෝවෙකුට දුක හිතිලා. මටත් ඒ ඇනෝවා ගැන දුකයි. මොකද අපේ සමහරු ලිඳ ඇතුලේම ඉන්නවා මිසක්, ජාතිය සහ ජාතිවාදය අතර වෙනස, ආගම සහ ආගම්වාදය අතර වෙනස, විහිළුව සහ අපහාසය අතර වෙනස අඳුණන්නේ නෑ.
රෝමයේ පෙන්නපු ඩා වින්චි කෝඩ් මූවි එක ලංකාවේ තහනම් වුනේ ඒ වගේ බබා ජෝක් කාරයෝ හින්දයි.
ආගම් දේශණා කරපු අය ඒ දහම මුලු ලෝකෙටම දායාද කළා මිසක්, එක එක පුද්ගලයින් ට හෝ, කණ්ඩායම්වලට හෝ ආණ්ඩුවලට කොපි රයිට්, පේටන්ට් කරලා බාර දුන්නු බවක් නං මං අහලා නෑ.
කොටින්ම හැම ආගමක්ම ඕපන් සෝස්!
මං පේරාදෙනියේ ඉංජිනියරිං ෆැකල්ටියේ දෙවන වසරේ ඉඳිද්දී ලියපු මේ පහත තියෙන කවිය පදනම් වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය මතයි.
චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්. සුවිශේෂී පුද්ගලික අයිතිකාරයෝ නෑ. හැමෝගේම දායාදයක්!
සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත්පට්ටය
දුක දනිමි!
තෙතක් සිසිලක් නැති
වාලුකාවක තැණුනු
කම්මලෙහි ඉගෙනීම දුකක් වේ
ඉඳින්නට තැනක් නැත
හත් දෙනෙකු සිරවෙමින්
පුංචි සිර මැදිරියක
බෝඩිමේ ජීවිතය දුකක් වේ
පර බසැති පොත් බලා
මහ රැයේ නිදි මරා
කෝර්ස්වර්ක් ගැසීමද දුකක් වේ
පෝලිමේ හිරවෙලා
රසය ගුණ නොහිතලා
කැන්ටිමේ බත් කෑම දුකක් වේ
දුකට හේතුව දනිමි
අනඳ විදු පියසෙහි
පස් මහල් ශාලාවෙ
පන්තියක ඉගෙනීම හේතුවය
චැපල් ටෙම්පල් ලේන්
රේල්වේ ඇවනියු
පුද්ගලික පන්තිවල
තෙරපෙමින් ඉගෙනීම හේතුවය
වසර දෙකකට කලින්
උසස් පෙළ විභාගය
උසස් ලෙස දා ගැනුම හේතුවය
මහවැලියෙ ඉවුරු තෙර
මරු කතරෙ කම්මලට
පෙර පවට පැමිණීම හේතුවය
දුක නැසුම මම දනිමි
අම්මගේ අතින් හැදු
රස අහර බුදින සඳ
කැන්ටිමේ අද විඳින දුක නැතිය
ඉස්සරහ කාමරේ
හුරු පුරුදු ඇඳට වී
සිතු ලෙසින් නිදන විට
බෝඩිමේ අද විඳින දුක නැතිය
හැන්දෑවෙ ගම වටේ
සයිකලය පදින විට
කම්මලේ අද විඳින දුක නැතිය
මැජෙස්ටික් එම්පයර්
රියෝ රීගල් තුලදි
කෝස්වර්ක් නැති නිසා දුක නැතිය
දුක නසන මග දනිමි
දේශණාගාරවල
නිදි කිරා වැටෙද්දී
ලියාගත් නෝට්ස් පොදි ඉවත විසිකළ යුතුය
කෝස්වර්ක් ගහන්නට
පුස්තකාලයෙන් ගත්
පොත් ගොන්න එතැනටම දිය යුතුය
ඇඳුම් කඩමාලු ටික
ගමන් මළු තුලට දා
පැනිදෙනිය හන්දියට යා යුතුය
ටිකට් පත මිළට ගෙන
තුනයි විසි පහට එන
කොළඹ යන දුම්රියෙන් යා යුතුය
දනිමි හඳුනමි හොඳින්
දුකෙන් මිදෙනා එමග
නමුදු කෙලෙසක කරම්
අවැසි අභිනික්මන?
දහසකුත් එකක් බැඳුමෙන් බැඳී ඇත
දහසකුත් එකක් නෙත් යොමුව ඇත
පැහැදිලිය චතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය
-කතන්දරකාරයා
ප/ලි:
ආගම්වලට වගේ වගේ ඉස්කෝලවලට නම් අයිතිකාරයෝ ඉන්නවා, දන්නවා නේද?
(image: http://dougal.union.ic.ac.uk/scc/buddhist/buddhist2010/?page_id=75)
Wednesday, 2 November 2011
කඩ්ඩෙන් ලව් කළ හැකිද? - Can you express love in a third language?
වඩාත් සාධාරණීය කරල මේ මාතෘකාව ඇත්තටම කියවෙන්න ඕනෑ, තමන් ගේ මුල් භාෂාවලින් හැර වෙනත් තුන්වන භාෂාවකින් ආදරය කළ හැකිද? කියලයි.
මට මේ ප්‍රශ්ණය ආවේ මීට හරියටම පරම්පරාවකට විතර කලින් මං කැම්පස් එකේ ෆර්ස්ට් ඉයර් එකේ ඉන්න කාලේදීයි.
ඔන්න මේ කියන දවසේ හවස් වරුවේ මං පොඩි උවමනාකවකට කැම්පස් එක මැදින් ආට්ස් ෆැකල්ටිය හරියේ ඉඳලා ගෙම්බා කැන්ටිම ලඟින් වැටිලා තිබුණු අඩි පාරේ ගලහ පාර පැත්තට යනවා.
මා ඉස්සරහට ආවා කපල් එකක්. මේ දෙන්නාම මං හොඳට දන්නවා සිංහල. කපල් එක මාව පහු කරගෙන යන කොට මට තේරුණා මේ දෙන්නා කතා කර කර ගියේ කඩ්ඩෙන් බව.
එතකොටයි මගේ හිතට ඔය උඩින් තියෙන ප්‍රශ්ණයේ එක් උප ප්‍රශ්ණයක් වන සිංහල දෙන්නේකුට කඩ්ඩෙන් ලව් කළ හැකිද? කියන ප්‍රශ්ණය හිතට ආවේ.
ආදරේ වගේ අති සියුම් අදහස් තමන් ගේ මව් භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් ඒ අවශ්‍ය ආකාරයටම ප්‍රකාශ කරන්න පුළුවන්ද කියන එකයි මට එවෙලේ ආපු ගැටළුව වුනේ.
දැන් අවුරුදු කීපෙකට කලින් රාජිනී සහ දයාපාල තිරානගම දෙන්නා ගේ ලව් අෆෙයාර් එක ගැන "නෝ මෝ ටියර්ස් මයි සිස්ටර්!" කියන වාර්තාමය චිත්‍රපටිය බලද්දීත් මට මේ කරුණම තමයි සිහියට ආවේ.
අපේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ, සිංහල, දෙමල භාෂා කතාකරන සිසුන් දෙපිරිසම හිටියත්, අන්තර් භාෂා ආදර සම්බන්ධකම් හෙම තිබුනේම නෑ මං දන්න තරමින් අපේ කාලේ.
අපිට කලින් කාලේ වුනත් දුරාවරේ එකකට දෙකකට වැඩිය තිබිලා නෑ කියලයි ආරංචිය.
xx xxxx වගේ දෙමල කෙල්ලො හිටිය අපේ බැච් එකේ, සිංහල කොල්ලන් අතර නිරතුරු කතාබවට ලක්වෙච්ච. ඒත් මං හිතන්නේ නෑ, සිංහල කොල්ලෙක් ඇතින් ඒ පිච්චමල් දිහා බලමින් සතුටු වුණා මිස, මල් කඩන්න ගියාය කියල.
ඒ වගේම, xxxx වගේ සිංහල කෙල්ලෝ හිටියා, මං හොඳට දන්න විදියට දෙමල කොල්ලන් අතර නිරතුරු කතාබහට ලක්වුණු. නමුත් ඒ රෝසමල් දිහා බලමින් සතුටු වුණා මිස, මං දන්න තරමින් දෙමල කොල්ලෝ කවුරුත් මල් කඩන්න ගියාය කියලා මං හිතන්නේ නෑ.
මේකට හේතුව භාෂාව ද, නැත්තම් බයක් ද මන්දා?
ඒ එක්කම මං පස්තාච්චි කුපාඩියක් කොරන්න ගිය ආසියානු තාක්‍ෂණික ආයතනයේත් විවිධ රටවල්වලින් විවිධ භාෂා කතාකරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හිටියා වුනත් තුන්වෙනි භාෂාවකින් කරගෙන යන අන්තර් භාෂා "සෙම් සබඳතා" තිබුනේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.
ඒ විදියට ලව් කරලා විවාහ වෙච්ච මං දන්න ජෝඩු දෙකක්ම දැන් අවුරුදු කීපෙකට කලින් ඩිවෝස් වෙලා බවත් කණගාටුවෙන් වුණත් මෙතන ලියන්න වෙනවා.
අපේ පොරවල් රුසියාවට හරි වෙනත් බටහිර රටකට හරි ගිහින් එහේ දේශීය කෙල්ලෝ එක්ක සෙට් වුණාම ඒකට තුන්වෙනි භාෂාවක් සම්බන්ධ නැති නිසා ඒ කේස් මේ ගොඩට දාන්න බෑ.
ප්‍රතිවිරුද්ධ නිදර්ශනයක් විදියට මං දන්නේ එකම එක කේස් එකයි. මං දන්න කපල් එකක් ඉන්නවා දෙන්නා හම්බවෙලා තියෙන්නේ නැගෙනගිර ජර්මනිය හරි බල්ගේරියාව වගේ රටක ඉගෙන ගන්න ගිහින් ඉන්දැද්දීයි.
දෙන්නා ලව් කරන්නේ ඒ රටේ භාෂාවෙන්.
මෙන්න මේ ලිපියට අදාල වෙනත් කතන්දර.
1. කඩ්ඩෙන් සිතීම
2. තායි කෙල්ලෙකුට ලව් කිරීම
-කතන්දරකාරයා
ප/ලි:
කොල්ල කාලේ ඕනෑවට වඩා Blue චිත්‍රපටි බලපු සිංහල පොරකට "ලව් මේකින්" වෙලාවේ දී විතරක් සිංහල අමතක වෙනවා කියලා කවුද මන්දා තීරු ලිපියක ලියලා තියෙනවා මං දැක්ක බව මතකයි.
(image: http://www.whitegadget.com/pc-wallpapers/140319-love.html)
Subscribe to:
Posts (Atom)