Wednesday 21 September 2011

තේ පැන් සාදයි තම්බි කඩේ - Splitting the bill


ඉස්කෝලේ යන කාලේ, ක්ලාස් යන කාලේ, පස්සේ වැඩිදුර ඉගෙන ගන්න කාලේ, යාළුවෝ එක්ක ගමන් බිමන් ගියාට, කඩවල්වලින් තේ බිව්වට, ඒ වියදම සේරම දෙනා නූලට බෙදා ගන්නවා නේ. මොකද ඒ කාලේ දෙමව්පියන් ගේ සල්ලි නේ අපි වියදම් කලේ!

පස්සේ ජොබ් කරන්න පටන් ගත්තු කාලේ නං ඉතිං පොඩි පොරත්වයක් ගහලා සමහර වෙලාවට හිතෙනවා අනුන්ගේ බිල් පවා ගෙවන්න.

මේ ඒ වගේ සිද්ධියක්.

ඔන්න මං පේරාදෙනිය තිප්පොලෙන් ගැලවිලා සුන්දර සීතල පරිසරයක පිහිටා තියෙන නගරයක තියෙන කම්මලක සේවය කරන්න පටන් ගත්තා. මෙතන කොච්චර වැඩද කියනවා නං ඉරිදට විතරයි නිවාඩු.

ඒ මදිවට සමහර මාසවල ඉරිදා දවස්වලින් දෙක තුනක්මත් වැඩ කරන්න වෙනවා.

සමහරු කැමතියි ඉරිදා වැඩ කරන්න, මොකද, ගෙවීම ඩබල් එදාට!

ඒත් මට නං ඉරිදා වැඩ කරන එකේ තිබුණ අවුල වුනේ ඇඳුම් ටික හෝදාගන්න, නිකං ඇඟේ නාන්නේ නැතුව හොඳට නා කියා ගන්න නැතිවෙන එක විතරක් නෙමේ. කඩේට ගිහින් සන්ඩේ ඔබ්සෝවර් එකක් අරගෙන ජොබ් ගැන හොයලා ඇප්ලිකේෂන් එකක් දාන්න තිබුණ වෙලාවත් ඉරිදා වැඩ කරන එකෙන් ඇහිරුණු එකයි.

ඔන්න එදා මාසෙකට විතර පස්සේ ඉරිදාක නිවාඩුවක් හම්බ වුණු හින්දා අපි කෂ්ටියක් හවස් වරුවේ ටවුන් එකට ගියා. එතනදී හම්බ වුණා තවත් අපේ ෆැක්ටේරියේ ම වැඩ කරන පොරවල් දෙතුන් දෙනෙක්.

ටික වෙලාවක් කයිය ගහං ඉඳලා ඔන්න සෙට් වුණා තේ බොමු කියලා එතන තිබුණු මුස්ලිම් හෝටලයට. ඊට වැඩි දේකට සෙට් වෙන්න බැරිවුනේ මොකද අපේ සමහර වුන් එදා රෑ දහයට වැඩ!

සඳුදා දවසේ වැඩ පටන් ගන්නේ ඉරිදා රාත්‍රී දහයටයි.

ඉතිං කෂ්ටියම තමන් කැමති පරිදි ත්‍රිකෝණාකාර මස් රොටි, චතුරශ්‍රාකාර එළෝළු රොටි, සමචතුරශ්‍රාකාර බිත්තර රොටි කාලා තම්බිගේ කඩේ හදපු කිරි තේ බිව්වා.

මේ කියන කාලේ කිරි තේකක් රුපියක් පහකටත් අඩුයි. රොටී වගේ ජාතිත් එහෙමයි.

ඔන්න ඉතිං වේටර් මල්ලී බිල අරං ආවා. බිල රුපියල් හැත්තෑ පහක් වගේ ගාණක්. අපි සේරම හය දෙනෙක් හිටියා.

ඔන්න එකෙක් රුපියල් විස්සක් දැම්මා. තව පොරක් රුපියල් පනහක් දාලා අර විස්ස අරං තියාගත්තා.

තව එකෙක් රුපියල් සීයේ කොළයක් දාලා කිව්වා මං ගෙවන්නං කියලා. පොර එතන තිබුණු පනහේ කොලේ ගත්තා.

වේටර් මල්ලී සීයේ කොලේ අරං ගිහින් ඉතුරු සල්ලි අරං ආවා.

සීයේ කොලේ දාපු එකා ඒ ඉතුරු සල්ලි ටික ගන්නයි යන්නේ. මොකද උගේ සීයේ කොළෙන් නේ බිල ගෙව්වේ.

දැන් මෙතන පොඩි අවුලක්. කාටද මේ ඉතුරු සල්ලි අයිති?

මුලින් පනහ දාපු එකා ඇහැව්වෙත් ඒකමයි. "කවුද දැන් බිල ගෙව්වේ? කාටද මේ ඉතුරු සල්ලි අයිති?"

-කතන්දරකාරයා

ප/ලි:
අන්තිමේදී හය දෙනාම දොලහයි පනහ ගානේ දාලා හරි ගානට බිල බෙදා ගත්තා!

පොරත්වය පෙන්නන්න යන්නේ නැතුව ඕක මුලින්ම කළා නං ඉවරයිනේ?

ඔන්න, කෙල්ලෝ කට්ටියක් එක්ක ගිහින් බිල ගෙවන එකනං තව කමක් නෑ කිව්වැහැකි.

(image: http://gratrueities.wordpress.com/)

60 comments:

  1. උදේ පාන්දර හෙන ගණිත ප්‍රශ්නයක් ඉදිරිපත් කොරල මගෙ නං මොළෙත් අංජ බජල් කළා......

    ReplyDelete
  2. මාර ගනිත ගැටලුවක්.
    ගොඩක් කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක්.

    ReplyDelete
  3. (තේ) බොන්න වෙන ප්‍රශ්ණයක්නෙ මේක !

    ReplyDelete
  4. හික් මරු පොරවල් නේ...

    ReplyDelete
  5. කඩෙන් එලියට ඇවිත්ද සල්ලි ටික බෙදා ගත්තේ?

    ReplyDelete
  6. 100 දාපු කෙනාට තමයි ඉතුරු සල්ලි ගැනීමේ වැඩි අයිතිය .පළවෙනිය 20 යි . දෙවෙනියා 30 යි .අන්තිමය 50 යි විදිහටනේ දාල තියෙන්නේ . අපි මොකට වැඩ වෙනවද පස්සේ සාධාරණව බිල ගෙවල තියෙන්නේ

    ReplyDelete
  7. මේ කියන හැටියට කතන්දරට දැන් සෑහෙන වයසයි නොවැ! වජිරදේවිට නම් මතක ඇති කාලෙක රුපියල 5ට කිරි තේ තිබුණේ නෑ..

    ReplyDelete
  8. @ වජිරදේවි,
    ප්ලේන්ටිය සත පහට, කිරි තේ එක සත දහයට ඉස්කෝලේ යන කාලේ සහ පස්සෙ අරක්කු බෝතලේ රුපියල් අටට , දහයට, කෝක් බෝතලේ සත විසි පහට බීපු කොල්ලොන්ගේ වයස ගැන මොකද හිතෙන්නෙ?

    ReplyDelete
  9. රුපියල් 100 දාපු එකා හිතා ගන්න පුළුවන්නේ කාටත්..

    ඔය සින්දුව මම මුලින්ම ඇහුවේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ බිග් මැච් එකේ. කන පැලෙන්න ගහපු අයියල නියම තාලේට ඕක කිව්වා. එක සැරයයි ඇහුවේ බොක්කටම වැදුනා. තම්බිට හිටියේ එකම දුවයි. ගෑණු පස් දෙනා එක්ක එකතු වෙන ක්‍රම ගැන තමයි සින්දුව. දැන් බිග් මැච් ගියාම අපි තමයි ඕවා ගායනා කොරන්නේ.. නොමැරෙන ගීත. ට්‍රම්පට් එකෙන් දෙන "හරිම වැඩක් නේද මචන් හරිම වැඩක් නේ", "කුන්ඩුමණී" අනික් ඒවා..

    ReplyDelete
  10. මම නම් ඔය ගණිත ගැටලුවලට පොඩ්ඩක්වත් කැමති නෑ.

    හැබැයි ඔතන ගෑනු ලමයි ටිකක් හිටියා නම් කට්ටිය පොර කකා සල්ලි ගෙවන්ට හදයි එයාලටත් එක්ක...:D

    ReplyDelete
  11. "පොර-කකා"

    ඒ කියන්නෙ කතන්දර කාරයා නම් පොර බිල ගෙවයි කියන එකද?

    ReplyDelete
  12. මටනම් මේ ගැන කියන්න තියෙන්නේ ටිකක් වෙනස් කතාවක්
    අපි යලොවෝ කට්ටිය ඉස්සර බවන් හරි වෙන හෝටලයකට හරි ගියාම
    කොහොමින් කොහොමහරි සල්ලි එකතු කරලා බිල ගෙව්වා කියමුකෝ
    අපේ අය්යා කෙනෙක් හිටියා මහා පිස්සු පොරක් අර වේටර්ට තියන ටිප් එක අන්තිමට
    සාක්කුවට දාගන්නවා.ඒ නිසා අපි එයාව ඉක්මනටම හෝටලෙන් එලියට ඇදගන එනවා.
    *වසිලිස්සා*

    ReplyDelete
  13. ඉස්කෝල පොතක තිබ්බ සිංදුවක් මතක්වුනා.
    යාළුවො දෙන්න තේ බීලා ,බිල ගෙවන්න පොර කනවා.
    බැරි තැන ඔට්ටුවක් තියනවා,වේටර් කොල්ලගේ ඇස් බැඳලා කියනවා මේ දෙන්නව අල්ලන්න කියලා.
    කලින් අහුවෙච්චි එකා දෙකයි හැත්තෑ පහේ බිල ගෙවන්න ඕනේ.
    අන්තිමේදී යාළුවො දෙන්න පුටු මේස පෙරළන් දුවනවා අහු නොවෙන්න,ජරමරේ ඇහිලා එන මුදලාලි තමයි වේටර් කොලුවාට අහුවෙන්නේ.මුදලාලි අල්ලන් වේටර් කොලුවා කියනවා,"අහුවුනා අහුවුනා ,අන්තිමේදී අහුවුනා,දැන් ඉතින් තේ ගාන තමුසේම ගෙවනවා"

    ReplyDelete
  14. කතන්දරගේ නොවිසඳනු ගණිත ගැටළුවක් තාම මගේ බ්ලොග් එකේ තියෙනවා… චාන්ස් එකක් ලැබුණ ගමන් මේක දාන්නේ ඒකේ පලිය ගන්න පුළුවන්ද බලන්න…

    මිනිස්සු දෙන්නෙක් දර කපන්න කැලේට ගියා… දවල් වෙනකල් වැඩ කරලා දැන් දෙන්නා කෑම කන්නයි ලෑස්තිය… එක්කෙනෙක් ගාව තිබුණා රොටී 5 ක් අනිත් කෙනා ගාව තිබුණා රොටී 3 ක්…

    ඔන්න ඒ වෙලාවෙම මෙතනට ආවා බඩගින්නේම කැලේ හරහා යන මගියෙක්… මේ මනුස්සයත් අර දෙන්නා එක්ක කෑම ගන්න සෙට් වුණා… මේගොල්ලෝ කලේ රොටියක් අරන් සමාන කෑලි තුනකට කඩලා කෑලි තුන තුන්දෙනා බෙදාගෙන කාපු එකයි… මේ විදියට වරකට එක බැගින් රොටී අටම තුන්දෙනා කෑවා…

    බඩපුරවා ගත්ත අර මගියා, තමන්ගාව තිබුණ රන්කාසි අටක් බෙදාගන්න කියලා මේ දෙන්නට දීලා ගියා…

    රොටී 5 ක් දාපු මිනිහා කිව්වා මම රන්කාසි 5 ක් ගන්නම් උඹ රන්කාසි 3 ක් ගනින් කියලා…නමුත් රොටී 3 ක් දාපු මිනිහා ඒකට එකග වුණෙ නෑ… එයා කිව්වේ දෙන්නාම රන්කාසි 4 බැගින් බෙදාගන්න ඕනේ කියලයි…

    අන්තිමට මේ ප්රශ්නේ විසඳගන්න නගරේ බුද්ධිමත් කෙනෙක් ගාවට මේ දෙන්නා ගියා… එයා රන්කාසි බෙදුව විදිය සහ ඒකට හේතුව කියන්න…

    හින්ට් : පහයි තුනයි විදියට බෙදුවේ නෑ…

    ReplyDelete
  15. සිම්පල්නේ, ඉතුරු රු 25 තුන්දෙනා අතර බෙදෙන්න ඕ ඒ ඒ අය රු 100 දහා සහභාගී උන අනුපාතයට.(20/100 , 30/100 , සහ 50/100 කියන අනුපාතයට)

    ඒ අනුව බෙදපුවාම 1ට-රු5.00 , 2ට-රු7.50 , 3ට- රු 12.50 දුන්න නම් හරි.

    ReplyDelete
  16. හ්ම්....ඒගොල්ලො සල්ලි දාපු අනුපපාතෙටම තමා ඉතුරු බෙදා ගන්න ඕනෙ.

    ජයශ්‍රී එක්ක මාත් එකඟයි.

    ReplyDelete
  17. @ All
    මාර ජොලි වැඩේ! කට්ටිය මේක ගණිත ගැටළුවකට හරවාගෙන වගෙයි. හොඳයි හොඳයි.

    මං කියන්න ගියේ පොරවල් වෙන්න තමන් ලොකු කොල දාලා ලොකු ගනං ගෙවන්න යනවට වැඩිය බිලේ ගාන සම සමව බෙදාගත්තනං ඉවරයි කියලයි. ඔතන 50 කොලේ දැම්මේ මායි.

    අන්තිමේදී සම සමව බෙදාගත්තා හය දෙනාම බිල.

    ReplyDelete
  18. @ All

    බීට්ල් ගේ ගැටළුවට පිළිතුර මෙන්න.

    රොටී අටක් තුන් දෙනා සම සමව කෑවා කියන්නේ එකෙක් 2 2/3 කට වග කියා ඇත.

    අමුත්තාගේ කොටස දර කපන්නන් දී ඇත්තේ 2 1/3 සහ 1/3 හෙවත් 7:1 අනුපාතයටය.

    සල්ලි බෙදී යා යුත්තේ ද ඒ ආකාරයටමයි!

    ReplyDelete
  19. මගේ අප්පේ අවුරුදු කීයකට කලින් කාපුවද මේ කකා අයිය මතක තියන් ඉන්නේ....

    ReplyDelete
  20. @ Observer
    @ මධුරංග
    @ Weni

    මෙතන කිසි ගනං හිලව් ප්‍රශ්ණයක් නැතෝ!

    ReplyDelete
  21. @ පැණි දොඩම්
    මරු කෙසේ වෙතත් පොරවල් බව නම් ඇත්තයි

    ReplyDelete
  22. @ Prasanna
    එතනම බෙදා හදා ගෙනයි අපි එළියට බැස්සේ!

    ReplyDelete
  23. @ Bindi
    ස්තුතියි.
    මෙතන ඉෂු එක වුනේ සියේ කොලේ දාපු එකා තමන් බිල ගෙවනවා වගේ පෙන්නිමයි. ඇත්තටම පොර ගෙවන්නේ 100-50-25 = 25 ක් විතරයි!

    ReplyDelete
  24. @ වජිරදේවී
    අන්න ඔයාට ඔබ්සෝවර් කොල්ලා උත්තර දීලා.
    අපේ ආච්චිලා ගේ කාලේ තේ එකක් තුට්ටුවයි ලු.
    http://kathandara.blogspot.com/2011/02/blog-post.html

    ReplyDelete
  25. @ මාතලන්
    මාතලන් ගොයියා මේ මොනවා කියනවාද මන්දා?

    අපි තේ බීලා ආවා මිසක් කඩේ මුදලාලි ගේ වැඩ හොයන්න ගියේ නෑ!

    ReplyDelete
  26. @ Podi Kumarihami
    කුමාරිහාමි තේත් බොනවද? අයිස් ටී වෙන්ටැ?

    මං හිතුවේ කුමාරිහාමි කෝපි කාලේ කෝපි කාරියක් කියලයි!

    ReplyDelete
  27. @ ඉන්දික උපශාන්ත
    පොර කකා = කකා පොර!
    ඕක ඉතින් අහන්න දෙයක්ද?

    ReplyDelete
  28. @ ඇනෝ - 10:52 AM
    මට පේන්නේ අයියා වේටර් කෙනෙක් වගේ!

    ReplyDelete
  29. @ Sithuwilimandiya
    මං අහලා තියෙන කතාවක යාළුවෝ දෙන්නා බිල ගෙවන එක තීරණය කරන්න හෝටලය වගේ රේස් එකක් තියෙනවා.

    අන්න මුදළාලි තාම බලන් ඉන්නවලු රේස් එක ඉවර වෙලා දෙන්නා එනකං!

    ReplyDelete
  30. @ ජයශ්‍රී
    බොහොම ස්තුතියි!

    ReplyDelete
  31. @ නිසුපා
    නිසුපා නම් මැවිසුරුවෙක් නේ.
    ජයශ්‍රී ත් ගණං කාරයෙක් වගේ නේද?
    බොහොම ස්තුතියි!

    ReplyDelete
  32. @ Gimhani
    මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ!

    http://kathandara.blogspot.com/2010/03/blog-post_30.html

    මතකද ඒ කතාව?

    ReplyDelete
  33. කියලා වැඩක් නෑ....මරු සංවාදයක්නේ ගිහින් තියෙන්නේ.

    ReplyDelete
  34. තම්බි කඩෙක් කෑම කන්න , සිංහල මිනිස්සු මේ තරම් කැමැති මොක ද ?

    ReplyDelete
  35. මම නං මේ වගෙ සීන් එකක් කවදාවත් අහල නැහැ. මගෙ යාලුවෝ එකෙක්වත් රුපියල් 75 හයට බෙදන්න තරම් ලෝබයොත් නෙවෙයි. මේ විදියට සල්ලි දානව තමයි හැබැයි ඉතුරු ගන්න එකත් ඕනෙ නම් අහල ගන්නවා. නැත්තම් සීය දාපු එකා ගන්නව. අනික් පාර වෙන එකෙක් වැඩි ගානක් ගෙවනවා. ආසියාවේ මිත්‍රත්වය කියන්නෙ ඒකයි. මේක නන්නාඳුනන මිනිස්සු 6 දෙනෙක් එකට වාඩිවෙල තේ බිව්වා වගේනෙ. චැහ් චැහ් මීට පස්සෙ මේ වගෙ ලැජ්ජ හිතෙන කතා ලියන්න එපා.

    ReplyDelete
  36. @ නිල් අහස
    ස්තුතියි කිව්වා

    ReplyDelete
  37. @ සොඳුරු සිත
    ඕක කැත හිතක් තියෙන කෙනෙක් ඇහැව්වා නං කියලා දෙන්න තිබුණා.

    ReplyDelete
  38. @ ඇනෝ 3:08 PM
    අනේ ඇනෝ!

    ඔයාට අමතක වෙලානේ මේ ටයිම් ඩිමෙන්ෂන් එක. මේක අද විදියට බැලුවාම පොඩි ගාණක් වුනාට ඒ කාලේ ලොකු මුදලක්.

    ලැජ්ජ හිතුනට මොකෝ? ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි අවසර ගන්න ඕනැයැ?

    මේ විතරක් නෙමේ, අපි ඒ දවස්වල බොන්න අරක්කු ගේන්නේත් සල්ලි එකතු කරලා. යුනිවසිටියේ ඉන්න කාලේ නං කන්නේ වෙන වෙනම සල්ලි ගෙවලානේ.

    මගේ මේ කතාවේ මූළික අදහසත් තමන්ගේ ගාන තමන් ගෙව්වා නං ඉවරයි පොරත්වයට මුළු බිලම ගෙවන්න යනවට වැඩිය කියන එකයි!

    ReplyDelete
  39. තේ බිල ගෙවලත් පොර වෙන්න පුලුවන්ද? සොරි දැනං හිටියේ නෑ ඒක.

    අපි නම් ක්ලාස් යන කාලෙත්, යුනිවසිටියෙදිත් කලේ මෙහෙමම තමයි. සමහර යාලුවෝ සල්ලිකාරයෙන්ගෙ පුත්තු, උන් කවදාවත් අනුන් බිල ගෙවන කම් බලන් හිටියේ නැහැ, කැම්පස් එකේ බොනකොටත් මුලු මහපොලේම බොන්ඩ පුලුවන් එවුනුත් හිටිය, මහපොල ගෙදරට යවන එවුනුත් හිටිය, හැබැයි කන්ඩ බොන්ඩ ගිහිල්ල මේ වගේ කුනු කම් නම් කලේ නැහැ කවුරුත්, මේක පොරත්වය නෙවෙයි මහත්තයෝ, මේකට කියන්නෙ අපේ සංස්කෘතිය. දානේ ගෙදරට බණ ගෙදරට යන එකාත් එහෙමයි, පුලු පුලුවං විදියට සම්මාදම් වුනා මිසක, දානේ ගෙදර "මගෙ කෑමට මෙච්චරයි" කියල ඒ ගානට හරියන්න අරන් යන්නේ නැහැ. මේක ටයිම් ඩයමෙන්ශන් වල ප්‍රස්නයක් නෙවෙයි, මම ඔයාට වඩා අවුරුදු දහයක් බාල ඇති, ඒත් අද රුපියල් 2000ක බිලක් හම්බුනත් මගේ යාලුවෝ නම් අදත් එහෙමයි. පස්සේ පිට රටක ආවහම සුද්දෝ හරියට ගානට තමන්ට විතරක් ගෙවෙනව දැකල මට උං ගැන දුක හිතුන.

    ReplyDelete
  40. @ ඇනෝ
    ඕක ෂෝට් රන් එකේ කරන්න පුළුවන්. ලොං රන් එකේ සස්ටේනබල් නෑ.

    මෙතනදී වුනේත් ඒකයි. මුලින් හයදෙනාගෙන් තුන් දෙනෙක් හැකි විදියට ගෙව්වා. පස්සේ සිහිය සැපත් වුණා.

    ඇනෝව අඳුණාගන්න පුළුවන් නම් හොඳයි. මං එන්නං හැමදාම වුනත් තේ බොන්න යන්න ඔයා එක්ක!

    ReplyDelete
  41. අනේ ඉතිං ගනංකාරකමකට නොවෙයි ආයුබෝවං. lol

    ReplyDelete
  42. කාට හරි පොර වෙන්න දීලා කොත්තුවක්, කිඹුලෙක් කාලා තේ බීපු, බ්‍රිස්ටල් එකක් ගහපු කාලයක් මටත් තිබුණා.

    කතන්දර කිව්වා වගේම කතාව ගණන් වෙලා පොරකම බිංදුවට ගිහින් කොමෙන්ට් බැළුවාම....

    සුදු ශිෂ්ඨාචාරයේ තමුන්ගේ බිල තමුන්ම ගෙවීමේ පුරුද්ද ඈවිත් තියෙන්නේ හැම එකාම එක සමාන පොරවල්ය කියල හිතන එකෙන් ද?

    -ලොකු

    ReplyDelete
  43. ඒක නෙවේ දැන් කතන්දර අයියා වයසක මනුස්පයෙක් වෙන්ට ඕන මයෙ හිතේ,
    ඔයා ඉංජෙක්ද?

    ReplyDelete
  44. මම නම් රසවින්දේ මාතෘකාව දැක්කාම මතක් වෙච්ච ඉතිරි පද පෙල , කතන්දරත් ඒ ගීතය දන්නවා ඇතිනේ ??

    ReplyDelete
  45. මමත් ජීවිතේට රු.5 කට කිරි තේකක් බීලා නැහැ. කතන්දර නම් සෑහෙන වයස පාටයි ;)

    ReplyDelete
  46. මං ඇවිත් තියෙන්නේ හොඳටම පරක්කු වෙලා වගෙයි!

    ඔය කන්න බොන්න ගිහින් බිල බෙදා ගැනීම ගැන නම් කතා බොහෝයි... එක එකාකාර පොරවල් ඉන්නවා නෙව! වෙලාවකට හිතෙනවා ඒවා කියනවට වඩ නොකියා ඉන්න එක හොඳයි කියලා...

    අපි නම් ඉතිං පුරුද්දක් විදියට හැමෝම සමාන ගානක් සම්මාදම් කරන එක තමා කරන්නේ, ඒ කියන්නේ හරියට සතේට නෙවෙයි ඔන්න... හැබැයි සමහරු නම් ඉන්නවා තමන් කාපු බීපු ඒවත් එක්ක සතේට ගණන් බේරන්න හදන අය, උං එක්ක නම් ඉතිං එපා වෙනවා...

    ReplyDelete
  47. @ Loku
    අම්මප ලොකුටත් හිතෙන ඒවා!

    බටහිර අය බාර් එකේ බොන්නේ කොහොමද? වෙන වෙනමද, බීම එකිනෙකා ට අරන් දෙනවාද?

    ReplyDelete
  48. @ Gordonia ceylanica

    මං ආණ්ඩුවේ ඔෆිසියක ක්ලාක් කෙනෙක්. කොරන ඉංජින්ජිනේරු කමක් නෑ!

    ReplyDelete
  49. @ Buwa
    "අපොහි මොකද මං නොදන්නේ ඒක හරිම හොඳයි නේද?"

    ReplyDelete
  50. @ කින්නරාවී
    අපේ ආච්චිත් කවදාකවත් රුපියල් පහේ කිරි තේ එකක් බීලා නෑ!

    ReplyDelete
  51. @ ගීතක
    එක දවසක එකෙක් වෙයි, ඒත් හැමදාම එකාටම වෙන්න බෑනේ.

    මං කලින් ඇනෝට ලිව්වා වගේ ඒක ලොන්ග් ටර්ම් සස්ටේනබල් නෑ.

    අයියල, මල්ලිල ලෝන් ගහන්නේ එකිනෙකාගෙන්. සහෝදරයෝ කියලා නිකං තිලා දාන්න විදියක් නෑනේ. තෑගි දෙන එක වෙනස්. නිතිපතා වියදම් වෙනස්.

    අපි නෑයෙකුගේ ගෙදර ගිහින් දවසක් දෙකක් දඩේ දුන්නට, එහේ බෝඩ් වෙනවා නං වියදම ගැන හිතන්න ඕනෑ නේද?

    මේක ඒවගේ කේස් එකක්.

    ReplyDelete
  52. හා හා කලාක් මහත්තයා ඔෆීසියේ කතන්දර ලිය ලියද ඉන්නෙ?
    මට මතකයි ඔයගෙ කතන්දරේක ඉන්ජි කතාවක් තිබ්බා...

    ReplyDelete
  53. කකා මේ කියන සුන්දර හීතල පරිසරයේ තිබුණු කම්මල මොකක් වෙන්න ඕනෙද?
    එක්කෝ Bairdware Interfashion එහෙම නෙවෙයි නම් Ceylon Brewery.

    ReplyDelete
  54. ම්ම්ම්ම්ම්.... අඹේවෙල හයිලන්ඩ් වෙන්න බැරිද....

    ReplyDelete
  55. මරුමූස්ගෙ ගෙස් එක හරි මගෙ හිතේ !!!

    ReplyDelete
  56. මේ කතාවට හොට දාන්න පරක්කු වැඩිද මන්ද!

    ඉතිරි සල්ලි ජයශ්‍රී කියපු ක්‍රමයට බෙදුවොත් පලවෙනියා 15 ක් දෙවනියා 22.50ක් ද තුන්වෙනියා 37.50කුත් අතින් ගෙවලා. ඒ ක්‍රමය ටිකක් අසාධාරණ වැඩියි වගේ නේ ද?

    තුන් වැන්නා ඉතිරි සල්ලි 25ම ගැනීම හරි. පලමු වැන්නා දෙවැන්නාට රු 5ක් ණයයි. ඊලඟ දවසෙ කිරි තේකක් අරන් දුන්නානම් ගණුදෙණුව සම්පූර්ණයි.

    හයදෙනෙක් හිටියා කිව්ව නිසා ඉතිරි තුන් දෙනාගෙන් දායකත්වයක් අරගෙන ඊලඟ දවසෙ තේ බොන්න ඕනි.

    ReplyDelete
  57. මට ඉතින් ගණිතය නාම් බෑ ඒත් ඉතින් කස්ටිය එතන වට මේසේ ඉඳන් කරපු දේ මට මැවිලා පේනවා .!

    ReplyDelete
  58. මමත් රැඩිකල් එක්ක එකඟයි. ජය ශ්‍රී සහ නිසුපා කියන දේ මටත් පිළිගන්න අමාරුයි
    අපි මෙහෙම හිතමු, බිල 75 සහ කට්ටිය 6 දෙනා නම්, කට්ටිය සමානව කෑවා කියල assume කරලා 75 / 6 = 12.50
    එතකොට කට්ටිය සල්ලි දාන්න ඕනේ, කාපු ප්‍රමානෙට සමානුපාතිකව. ඒ කියන්නේ 12.50 ගානේ.
    මෙතන පණ්ඩිතයෝ තුන්දෙනා 20 30 50 ගානේ දැම්මා. 25 ඉතුරු ආවා. එක තුන්වෙනියා ගත්ත එක හරි.
    එතකොට සල්ලි දල තියෙනේ, 20 30 25 කියම ගණන් වලින්
    දැන් අර නිකම් උගුඩුවො වගේ බලන් හිටපු උන් තුන්දෙනා 12.50 ගානේ ඇදල ගන්න ඕනේ
    එක්කෙනෙක් එයාගේ 12.50 තුන්වෙනියට දෙනවා එතකොට ඒ දෙන්න හරි.
    අනික් දෙන්න 12.50 ගානේ පලවෙනියටයි දෙවනියටයි දෙනවා. ඊට පස්සේ පළවෙනිය දෙවනියට රු 5 දුන්නම වැඩේ ගොඩේ ගොඩ.
    ටිකක් දිගට ලියවුනට අමාරු ගානක් නෙවෙයි.
    කොහොමත් සල්ලි දාපු ගානට සමානුපාතිකව ඉතුරු බෙදෙන්න ඕනේ කතාවට නම් මම සම්පුර්ණයෙන් ම විරුද්දයි.

    ReplyDelete
  59. @Quitcily
    මම තුනක් guess කරා, ඔයා කියන්නේ කෝක හරි කියලද ??

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.