Saturday 10 April 2010

මුල්වරට පන්ති නායකයා වුණු කතන්දරේ


මං මුලින්ම පන්ති නායකයා කියන වචන දෙක ඇහැව්වෙ හතරෙ පන්තියෙදි බව ඊයෙ කිව්වනෙ. මං ගිය කණිෂ්ඨ විද්‍යාලෙ නපුරු වේවැල්ධාරී ලොකු මහත්තය නිසා පන්තිය භාර රණසිංහ ටීචර්ගේ "ඒහි භික්‍ෂූ" ආකාරයේ විධානයෙන් නාලන්ද අපේ නායකය වුනා.

පන්තියෙ නායකයා කියන්නෙ පන්තියෙ ටීචර් විසින් ළමයින් පන්තියෙ ඉඳල පෝලිමේ එලියට යන එකයි, ආපහු එන එකයි බලාගන්න පත්කරන කොල්ලෙක් ය කියල මං එදා ඉඳන් හිතං හිටපු එක වෙනස් වුනේ ඊලඟ අවුරුද්දෙ පහේ පන්තියට ගියාමයි.

අද ඒ කතාව සේරම.

අපි පහේ පන්තියට ගිය මුල් සතියෙම වගේ පන්ති භාර මුණසිංහ ටීචර් අපිට කියා දුන්න පන්ති නායකයෙකුයි නායිකාවකුයි පත්කරන බව. පන්ති නායකයගෙ වගකීම් වෙන්නේ පන්තියෙ කාමරෙන් පිට මිදුල හරිය පිරිසිදුව තබා ගැනීම සහ අල්ලපු වත්තේ ළිදෙන් වතුර කළයක් ගෙන ඒම. ඒ පන්තියෙ ළමයින්ට බොන්න. අපේ පාසලේ වතුර ටැප් තිබුනේ නෑ. ළිඳක් තිබුනත් වතුර මහ ජරා රහයි. මේ සඳහා සියළුම පිරිමි ළමයින් ගේ නම් සහිතව කාල සටහනක් සෑදිය යුතුබව ටීචර් අපිට කිව්වා. මීට අමතරව, පන්තියට අයිති විවිධ බඩු දාල තිබුණ ලී කබඩ් එකේ යතුරත් අයිති පන්ති නායකයාටයි.

පන්ති නායිකාවගේ වගකීම වෙන්නේ පන්ති කාමරය පිරිසිදුව තබා ගැනීමයි.

මට අද වගේ මතකයි, මේ සේරම මුණසිංහ ටීචර් අපිට කිව්වෙ කාමරයෙන් පිටත පන්තිය පවත්වමිනුයි. අපි සේරම රවුමක විදියට හිටගෙන ඉන්නවා. ටීචර් පුටුවක වාඩිවෙලා ඒ රවුමේ උඩ කෙලවරේ. සතියකට දෙතුන් පාරක් අපේ පන්තිය කළේ මේ විදියට ගොඩනැගිල්ලෙන් එලියේ.

පන්ති නායකයා පත්වෙන්නේ පිරිමි ළමයින් ගේ රහස් ඡන්දයෙන්. නායිකාව ගැහැණු ළමයින් ගේ රහස් ඡන්දයෙන්.

අපිට තිබුනේ ඇක්සයිස් පොතක අග කොලේකින් කඩාගත්තු හතරුස් කොල කෑල්ලක එක් එක්කෙනා කැමති ළමයෙකුගේ නම ලියල ටීචර් ට දෙන එක විතරයි.

අපි අද කාලෙ දන්න ඡන්දවලට වඩා මේ ඡන්දේ පොඩි වෙනසකට තිබුනේ ඡන්දය ඉල්ලන අපේක්‍ෂකයෝ නොහිටිය එකයි.

තනිකරම රහස් ඡන්දයක්! මාරයි නේද?

ඡන්දෙ ගැන ඉගෙන ගෙන අපි ආපහු පන්තිකාමරේට එනකොට මට ඇහුණ අපේ පන්තියෙ කොල්ලො දෙන්නෙක් වෙන නාලන්දයි, සාමකුමාරයි දෙන්න කතා වෙනව මෙන්න මෙහෙම
.
සාමකුමාරඃ නාලන්ද ඔයා මට ඡන්දෙ දෙන්න, මං ඔයාට ඡන්දෙ දෙන්නං.

නාලන්දඃ හා, එහෙම කරමු.

ඔන්න මගේ හිතේ තිබුණු එක ප්‍රශ්ණයක් විසඳුණා. දැන් ඡන්දය දෙන්න අය ඉන්නවා!

මේ දෙන්නගෙන් මං වඩාත් හිතවත් වුනේ ඒ දවස්වල සාමකුමාර එක්කයි. ඉතිං මං හිතාගත්ත මගේ ඡන්දෙත් පොරට දෙනව කියල.

පහේ පන්තියේ මහා ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය ඔන්න පවත්වලා අහවර වුනා. අපේ ටීචර් හෙවත් මැකෝ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළා.

සාමකුමාර ඡන්ද 2
නාලන්ද ඡන්ද 4
කතන්දරකුමාර ඡන්ද 10

මේ අනුව මනාප 62.5% ගත් කතන්දරකුමාර පහේ පන්තියේ නායකයා විදියට පත්වුණා!

ෂහ්! තුනෙන් දෙකේ බලේ එදා නූලෙන් හගල ගියා නේද? කියලයි මට මේ මොහොතෙ හිතෙන්නේ.

ඉතිං ඡන්ද ප්‍රතිඵල පිළිබද විශ්ලේෂණයක් කළොත් අපිට පේනව, සාමකුමාරට ඔය ඡන්ද දෙක හම්බ වුනේ මගෙනුයි, නාලන්දගෙනුයි බව. ඇයි, සාමකුමාර ඡන්දෙ දුන්නෙ නාලන්දට නේ දෙන්නගෙ ගිවිසුම අනුව!

නාලන්දට කැමති තව තුන්දෙනෙක් ඉඳල තියෙනව සාමකුමාරට අමතරව.

මට තියෙන එකම දුක මේකයි.

මං පන්තිනායක කමට කැමතියිද කියල කිසිසේත්ම නොදැන මට කොල්ලො දහදෙනෙක් ඡන්දය දීල තිබුණ.

ඒ කවුද කියන්න මං අදවත් හරියට දන්නෙ නෑ.

කතන්දරකාරයා
ප/ලිඃ කෙල්ලන් ගේ ඡන්ද ප්‍රතිඵල හෙට බලාපොරොත්තු වෙන්න!

15 comments:

  1. හ්ම් ... හරිම ආදර්ශමත් ජන්දයක්. එතකොට ඔයාට ද වතුර ගේන්න වුනේ දිගටම.
    පන්ති කබඩ් එකේ යතුරත් අයිති වුනේ ඔයාට නේද?

    තමන්ගෙ ජන්දෙ තමන්ටම දෙන්න පුලුවන් කමක් තිබිබෙ නැද්ද ඒ දවස් වල.කෙල්ලන්ගෙ පන්තිනායිකා කතාව නම් මීට ගොඩක් වෙනස් ඈති කියල හිතනව.

    ආහ් ... ඒක නෙමෙයි.. blog මැරතන් එකට දුවනවද නැද්ද?

    ReplyDelete
  2. හා හා ඒක මරු කතාව .... මේ ජිල්මාට් දැම්මේ නැද්ද කවුරුවත් ....

    ReplyDelete
  3. @ වත්
    ඔය වතුර ගැන කියල තියෙන කතාව අනුව මට කියන්න පුළුවන් අපේ කාලෙ කෙල්ලො හිතුවෙත් ඔයා වගෙම තමයි කියල. ෙෑට බල්නකෝ

    ReplyDelete
  4. @ වැප්
    කොම්පීටර් තිබුනෙ නෑ නොවැ! අනික මේ සමාජ දුෂණයට කලින් කතන්දර. අර මහජන සම්පත රුපියල කාලෙ.

    ReplyDelete
  5. අපේ කාලෙ කෙල්ලො ???? අනේ මන්ද ඉතින් ඕව. හෙට කියවලම බලමුකො. මමත් ඉතින් වයස 21 25 කෙල්ලෙක් නම් නෙමෙයි ඉතින්....

    ReplyDelete
  6. මගේ බ්ලොගේ හැක් කරලා කවුරු හරි, නරක වචනෙන් comment කරලා මගේ යාලුවන්ට. සමා වෙන්න ඔයත් එයින් කෙනෙක් නම්. හෙට කොටස ලියනකම් බලාගෙන ඉන්නවා.
    :)

    ReplyDelete
  7. මමත් කීප පාරක්ම පන්ති නායකයා විදියට පත් වෙලා තියනව.හැබැයි ඡන්දෙන් නං නෙවෙයි :)

    ReplyDelete
  8. හා හා කස්ටියගේ හැබෑ වයස අහුවෙන්නයි යන්නේ . . හික් හික්

    ReplyDelete
  9. හෑමදාම වගේ කතන්දරකරයා මොනවා නෑතත් රියල් කතාවක් දෙනවනේ... එකට තෑන්ක්ස්..... ඔහොම යමු දිගටම.................. මම සුබ පතනවා
    මෑරතන් එක තනියම නොදුවා කට්ටියත් එක්කම දුවමු නේද?

    ReplyDelete
  10. මෙහෙම ක්‍රමයකට රටේ නායකයා හෙම තේරුවොත් මොකකින් කෙලවර වේද කියල මම මේ කල්පනා කෙරුවෙ? කවුරු ජනපති වේද? පබා?

    ReplyDelete
  11. මාත් ඔය උත්තරීතර තනතුර නොකඩවා වැඩිම කාලයක් දරපු හාදයෙක් තමා..

    ඒකත් එකම පාසැලක නෙවී...
    පාසැල් දෙකක...
    හිහ් හිහ් හී..
    මටත් මතක් වුණා ඒ කාලේ කාපු කට්ට..
    මගේ දෙවැනි පාසැලෙ දැරිවියො නෑ..
    ඉතින් පන්තිය පිරිසිදුවට තියගැනීම බාර වෙන්නෙත් පන්ති නායකයාට...
    සර්ල මිස්ලගෙන් බැනුම් අහන්න වෙනවට බයේ ගොඩක් දවස්වලට මම ම පන්තිය අතුගාලා සුද්ධ කළා... මොකද අනෙක් ළමයි ඒක මගහැරිය හන්දා...

    ReplyDelete
  12. පංතිනායකතුමාට මගේ සුභ පැතුම්... සෙල්ලම් වැඩක් ද පංතියේ මුළු සේසතම දාලා තියෙන කබඩ් එකේ යතුර හම්බුණා කියන්නේ .....................

    ReplyDelete
  13. ඔයාට තිබුනු වැඩ දෙකට අමතරව මම නායකය උනාම මට තව අමතර වැඩක් යෙදුනා. ඒක තමා හිස් පීරියඩ් ආපුවාම පංතියේ කාගෙත් හිතසුව පිණිස පංතිභාර මිස්ගෙන් සෙල්ලං කරන්න පිට්ටනියට යන්නද කියලා අහන එක.

    ReplyDelete
  14. "බහුජන හිතාය බහුජන හිතාය" සෙල්ලම වැඩක්ද බුද්ධි අයියේ බොහෝ දෙනාගේ හිත පිණිස සුව පිණිස වැඩ කරන එක :) :) :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.