Friday 15 March 2013

කොලඹ දියකිරි ගමට ගෙනගොස් කැකිරි කරි හදමු! - Random thoughts on school education in Sri Lanka

මේ ලංකාවේ බෞද්ධ මිෂනාරි අධ්‍යාපනයට වසර එකසිය විසිපහක් පිරීම සැමරීම පිණිස 2011 නොවැම්බරයේ දී ලියූ ලිපියකි.
ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට මෑත අතීතය දක්වාම ලංකාවේ අධ්‍යාපනය මූලිකවම කේන්ද්‍ර වී තිබුණේ පන්සල් වටා බව පැහැදිලිය. ගමේ ගුරු ගෙදර යන සංකල්පය ගැන අසා තිබුණද, ඒ සේවය සාමාන්‍ය සාක්‍ෂරතාවය ලබා දීමෙන් ඔබ්බට ගියේ ද යන්න සැක සහිත වේ. වෙදකම, නක්‍ෂත‍්‍රය හැරුණු කොට ඉගෙනීමට තිබුණු එකම විෂයය වූයේ ආගම ධර්මය විය යුතුය. ඒ පන්සල් අධ්‍යාපන ක‍්‍රමයේ වත්මන් ස්වරූපය පිරිවෙන් ලෙසින් අද ද දක්නට ඇත.

පන්සල් ආශ‍්‍රිත පිරිවෙන් අධ්‍යාපනයේ එක් සීමාවක් වනුයේ එහි විෂයය පඨයයි. එය සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන් සහ බුද්ධ ධර්මය ඉගෙනීමෙන් පිට යතැයි මම නොසිතමි.

ඒ ආකාරයේ ම එකල පැවති තවත් සීමාවක් වූයේ මේ අධ්‍යාපනයෙන් ප‍්‍රයෝජන ලැබිය හැකි වූයේ වැඩවසම් සමාජයේ තරමක් හෝ ඉහල පවුල්වල පිරිමින්ට පමණක් වීමයි. පැහැදිලි හේතූන් මත කාන්තා පක්‍ෂයට පිරිවෙන් අධ්‍යාපනය ලබාගත් නොහැකි විය. පැරණි සිංහල පතපොත ලියූ අය අතර කාන්තාවන් නොමැත්තේ ඒ නිසා යැයි සිතමි. භික්‍ෂුණී සසුණ සාපේක්‍ෂකව කෙටි කාලයකින් ම ලංකාවෙන් තුරන් වී තිබීම මේ කාන්තා උගතුන් නොමැති වීමට හේතුව විය හැක.

මෑත අතීතයේ දී විසූ කිවිඳියක වන ගජමන් නෝනා කුඩා කළ පිරිවෙන් අධ්‍යාපනය ලබාගෙන ගත්තේ පිරිමි ළමයෙකු ලෙස වෙස් ගැනීමෙන් පසුව බව කියවේ.

බටහිර ක‍්‍රිස්තියානි සමාජයේ ද අධ්‍යාපනය මුල් බැස්සේ ආගම වට කොට ගෙන පල්ලිය කේන්ද්‍රය කොට ගෙන බව පෙනේ. ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයට නතුවෙන කාලය වන විට එකී පල්ලියේ අධ්‍යාපනය හුදෙක් පූජකයින් ට පමණක් සීමා නොවී විවිධ ජන කොටස්වලටද ප‍්‍රයෝජනවත් වන පාසල් අධ්‍යාපනයක් බවට ක‍්‍රම ක‍්‍රමයෙන් පෙරලී තිබුණු බව කිව හැක. මිෂනාරී අධ්‍යාපනය ලෙසින් හැඳින්වෙන්නේ ඒ වැඩ පිළිවෙලයි. ලංකාවේ කොළඹ, යාපනය, මහනුවර ආදී ප‍්‍රධාන නගරාශ‍්‍රිතව කතෝලික සහ අනෙකුත් ක‍්‍රිස්තියානි නිකායන්ට අනුබද්ධිතව පාසල් ගොඩ නැගුනේ මේ මාර්ගයෙනි.

සෑම ක‍්‍රිස්තියානි නිකායකම පාහේ කාන්තා පූජ්‍ය පක්‍ෂයක් තිබුණු හෙයින් කන්‍යාරාම ආශ‍්‍රිතව ගැහැණු ළමුන් සඳහා ද පාසල් බිහිවිය.

විවිධ විෂයයන් ඉගැන්වීම කෙරුණද, මේ මිෂනාරී අධ්‍යාපනයේ මූලික අරමුණ වූයේ ද, පිරිවෙන් ක‍්‍රමය මෙන්ම ආගම වැඩි දියුණු කිරීම බව පැහැදිලිය.

බටහිර ගොඩ නැගුණු තියෝසොෆිකල් හෙවත් පරමවිඥාර්ථවාදීන් ගේ නායකයින් වන ඕල්කොට් සහ බ්ලැවැස්කි දහනමවන සියවසේ ලංකාවට පැමිණි විට එවකට පැවති ක‍්‍රිස්තියානි මිෂනාරි පාසල් පද්ධතිය සහ ඒවායේ ඉගැන්වීම් හරහා ලංකාවේ බෞද්ධයින් ක‍්‍රිස්තියානිකරණය වන බව පෙනෙන්නට ඇත. එය වැලැක්වීම සඳහා ඔවුන් ගේ උපායයික ක‍්‍රියාමාර්ගය වූයේ ඔවුන් දන්නා බටහිර අධ්‍යාපන රටාව මතම නමුත් බුද්ධාගම සහ ඒ ආශ‍්‍රිත විෂයයන් ද උගන්වන බෞද්ධ මිෂනාරි පාසල් පද්ධතියක් මෙරට ස්ථාපිත කිරීමයි.

ඒ මෙයින් වසර එකසිය විසිපහකට පෙරය.

බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී ඇති කළ ක‍්‍රිස්තියානි මිෂනාරි පාසල් ද ඒ අනුකාරකව බිහි වූ බෞද්ධ පාසල් ද අති බහුතරය කොළඹ සහ ප‍්‍රාදේශිය ප‍්‍රධාන නගරබදව පිහිටවනු ලැබීය. මේ පාසල් බොහොමයක් ක‍්‍රි‍්‍රයාත්මක වූයේ නේවාසික අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස බැවින් රටේ විවිධ පළාත් වල ඇති-හැකි පවුල්වල සිසුන් ට ඒවාට බැඳී නේවාසිකව ඉගෙනුම ලැබිය හැකි විය. නිදහසින් හැට වසරකට පසුව අද ද ලංකාවේ අධ්‍යාපනය වසාගෙන ඔඩු දුවා තිබෙන තිබෙන ”කොළඹට කිරි - ගමට කැකිරි” පිලිළයේ ආරම්භය එයයි.

ලංකාවට අවශ්‍යවන්නේ ප‍්‍රධාන නගරවල තිබෙන සුපිරි පාසල් කිහිපයක් නොව, සෑම තදාසන්න ප‍්‍රදේශයකටම විහිදුණු හොඳ පාසල් ජාලයක් බව මගේ අදහසයි. එවැන්නක ආරම්භය ලෙස විසිවන සියවසේ මුල් අර්ධයේ ඇරඹුණු මධ්‍ය මහා විද්‍යාල ජාලය සැලකිය හැක. මුල් යුගයේ විශාල වර්ධනයක් පෙන්වා ඇති වුවද, පසු කාලීන ව සිදුවූ රාජ්‍ය මට්ටමේ කුඩම්මාගේ සැළකිළි නිසා මධ්‍ය මහා විද්‍යාලවලට සිය උපරිම විභවය කිසි දිනක ලඟා කර ගත නො හැකි විය. ඒවා අද ද ප‍්‍රාදේශීය දරුවන් ගේ තෙවන පෙළ තේරීම් පමණකි.

එක්කෝ මධ්‍ය මහා විද්‍යාල ජාලය පුනරුත්තාපනය කර ගැනීම හෝ නැවතත් එවැනි ප‍්‍රාදේශීය පාසල් ජාලයක් පිහිටුවීම කරනතුරු, අපට කළ හැක්කේ ප‍්‍රාථමික ගෝත‍්‍රවාදී සංකල්පයක් ලෙස මට පෙනෙන ආදී ශිෂ්‍ය සංගම් හරහා ඇති-හැකි අයුරින් පවතින ක‍්‍රමයට ම දර දිය ඇදීමයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ ලංකාවේ බෞද්ධ මිෂනාරි අධ්‍යාපනයට වසර එකසිය විසිපහක් පිරීම සැමරීම පිණිස 2011 නොවැම්බරයේ දී ලියූ ලිපියකි.


(images: http://en.wikipedia.org/)

27 comments:

  1. අද වනවිට පාසල් අධ්‍යාපනයේ මල බෙර වැයිමට පටන් ගෙන ඇත. ඊට මුලින්ම පාර කැපුවේ වත්මන් ආණ්ඩුව වේ. ඔවුන්ගේ අදූරදර්ශි හා වගකීමකින් තොරවූ ක්‍රියාකලාපය මෙයට මුල් වූ බව කියන්නේ ඉතාම කනගාටුවෙනි.

    පෙල පොත් වල අඩුපාඩු, විභාග ක්‍රමයේ දුර්වලතා, ප්‍රශ්නපත්තර කලින් පිටවීම වැනි හේතූන් අද වන විට නිතර දෙවේලේ අහන්න දකින්න ලැබෙන සුලභ කරුණු වලට උදාහරණ වේ.
    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් ද මේ දුක.

    තව කියන්න නම් දේවල් තියෙනවා. ඒත් කොටන්න කම්මැලියි.

    අද මම එක ද ?

    ReplyDelete
    Replies
    1. /* ඊට මුලින්ම පාර කැපුවේ වත්මන් ආණ්ඩුව වේ. */

      මං නං හිතන්නේ දිගු කාලෙක ඉඳලා අවශ්‍ය ප්‍රතිපාදන සහ අනාගත දැක්ම නොතිබුණු නිසා තමයි අද තත්වය උද්ගත වෙලා තියෙන්නේ.

      Delete
  2. ඔබට වැරදුණු හා මඟ හැරුණු තැන් කිහිපයක් නිවැරදි කරමි. (වෙහෙස ගෙන මේ ලියන්නේ මෙය පළ කිරීමට ඔබ කාරුණික වෙතැයි සිතමිනි. දැන් බොහෝ බ්ලොග් රචකයින්ට/රචිකාවියන්ට තමන්ගේ මතයක් විවේචනය කිරීම දරා ගැනීමට තරම් හැකියාවක් නැත. එනිසා ඔවුන් එබඳු කමෙන්ට් පළ කිරීම අත හැර දමා ඇත. නිදසුන් අවශ්‍ය නම් දිය හැකිය.)

    1. මෙහි 'බෞද්ධ මිෂනාරි අධ්‍යාපනය' යන යෙදුම වැරදිය. බෞද්ධ මිෂනාරි අධ්‍යාපනයක් මෙරටට ගෙනා එකම පුද්ගලයා මිහිඳු හාමුදුරුවන්ය. ඕල්කට් හා (ඔහුගේ අනියම් භාර්යාව වූ) බ්ලැවැට්ස්කි ගෙනාවේ 'පරම විඥාර්ථවාදී' (Theosophical) අධ්‍යාපනයකි. පරම විඥාර්ථවාදය යනු බෞද්ධ නොවේ. එය සර්වාගමික පිස්සුවකි. නමුත් මේ තිත්ත බේත දේශීය ජනතාවන්ට එලෙසම පොවන්නට බැරි නිසා එය ලංකාවේදී බෞද්ධ හා ඉන්දියාවේදී හින්දු විය.

    2. ඕල්කට් හා බ්ලැවැස්ට්කි 'බෞද්ධ මිෂනාරි පාසල්' මෙරට ඇති කළහ. (ඔබේ යෙදුම එසේම භාවිතා කරන්නේ එය හා සම්පූර්ණයෙන් එකඟ නිසා නොවේ.) ඒ බොහෝ විට සාපෙක්ෂව ගම්බද ප්‍රදේශ වලය. ආනන්ද-මහින්ද-ධර්මරාජ-මලියදේව ආදී නගරාශ්‍රිත පාසල් බිහි කරන ලද්දේ මිෂනාරි අවශ්‍යතා උදෙසා නොවේ. ඒ යුගයේ මිෂනාරි නොවූ එකම පාසල වූ රාජකීය විද්‍යාලයට විකල්ප වශයෙනි. රාජකීය විද්‍යාලය ආරම්භ කිරීමේ මුඛ්‍ය අරමුණ ආගම පැතිරවීම නොව රටේ පරිපාලනය ගෙන යෑමට සමත් නිලධර පන්තියක් ඇති කිරීමය. (ඉන් පෙර මේ පරිපාලකයින් ගෙන්වා ගන්නා ලද්දේ මදුරාසියෙනි.) රාජකීය විද්‍යාලයෙන් වැඩි අවස්ථා ලැබුණේ කිතුණුවන්ටය. ඉහත කී නගරාශ්‍රිත 'බෞද්ධ පාසල්' ඇති කරන ලද්දේ බෞද්ධයින්ටද ඒ ඉඩ ලබා දීම පිණිසය. එසේම මෙම පාසල් දශක කිහිපයක් පවත්වාගෙන යන ලද්දේ සුළු පරිමාණයෙනි. ඒවා සුපිරි තත්වයට උසස් වූයේ ඕල්කට් මැරුණායිනුත් පසුවය.

    3. බෞද්ධ හා කිතුණු මිෂනාරි පාසල් ගැන කතා කරන ඔබ ඉස්ලාම් මිෂනාරි පාසල් ගැන කතා නොකරන්නේ ඒවායේ පැවැත්ම එතරම්ම රහසක් වන නිසා විය හැකිය. නමුත් අප හිතනවාට වඩා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් අදත් මෙම ඉස්ලාම් මිෂනාරි පාසල් වල අධ්‍යාපනය ලබති. මහරගම නගරයට කිට්ටුවෙන් තරමක විශාල ඉස්ලාම් මිෂනාරි පාසලක් ඇත. (මේවා සහිරා වැනි සාමාන්‍ය මුස්ලිම් පාසල් සමඟ පටලවා නොගන්න.)

    ReplyDelete
    Replies
    1. ඔබ ඔබේ මතය ප්‍රකාශ කිරීමට බිය විය යුතු නැත. තවද පෝස්ටුවේ ඇති දෑ විවේචනය කිරීමද ඔබ සතු අයිතියකි. එම ගෞරවනීය අයිතිය භාවිතා කරන්න. අසභ්‍ය වැකි පමණක්ම හෝ තුන්වෙනි පාර්ශවයකට නිර්දය ලෙස චෝදනා කිරීම හෝ මඩ ගැසීම හෝ ඔවුන්ගේ චරිතයට හානියක් වන අයුරින් හෝ කමෙන්ට් නොකරන තාක් කල් ඔබේ මතය වාරණය නොවේ.

      ඉහත නීති රෙගුලාසි වලට යටත් ව ඔබේ කමෙන්ට් කිරීමේ අයිතිය උපරිම ලෙස භාවිතා කරන මෙන් ඇනෝනිමස් කමෙන්ට් කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

      තවද වසර තුනකට අධික කාලයක් අඛණ්ඩවම කිසිදු වාරණයකින් තොරව ඇනෝ කමෙන්ට් දැමීමට ඇති එකම අඩවිය කතන්දර බ්ලොග් අඩවිය බව ඔබට පවසන්නේ ඉමහත් ආඩම්බරයකිනි.
      ඔබ, එම ආඩම්බරයේ සාඩම්බර කොටස්කරුවෝ ය..

      තවද ඉදිරියටත් (කකා බ්ලොග් එක කරගෙන යනකන්/කකා මැරෙනකන්) ඇනෝ අයිතීන් දිවි හිමියෙන් සුරකින බවට ප්‍රතිඥා දෙන්නෙමු.
      අපි,
      කකා සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
    2. /* දැන් බොහෝ බ්ලොග් රචකයින්ට/රචිකාවියන්ට තමන්ගේ මතයක් විවේචනය කිරීම දරා ගැනීමට තරම් හැකියාවක් නැත. එනිසා ඔවුන් එබඳු කමෙන්ට් පළ කිරීම අත හැර දමා ඇත. නිදසුන් අවශ්‍ය නම් දිය හැකිය. */

      නිදසුන් දෙන්න. මං නං එහෙම කර නැහැ කුණුහරුප පමණයි අනුමත නොකර සිටින්නේ.

      Delete
    3. 1. මෙහි 'බෞද්ධ මිෂනාරි අධ්‍යාපනය' යන යෙදුම වැරදිය.

      මෙය සිතා මතාම කළ යෙදුමක්. මං දන්නා තරමින් ඕල්කොට් ලා ගේ පාසල් ගැන මේ යෙදුම මීට කලින් කිසිවෙකු කර නෑ.

      මා මේ ලිපිය ලිව්වේ 2011 නොවැම්බරයේ තිබුණු ආනන්ද විද්‍යාලයේ 125 සංවත්සරය නිමිත්තෙන් සඟරා අතිරේකයකට ලිපියක් ලියන්නට ලැබුණු ආරාධනයක් මතයි. මේ ලිපිය එහි පලවුණා වෙනත් ලිපියක් ද සමග.

      මේ යෙදුමෙන් මා බලාපොරොත්තු වුනේ ඔබ කියා ඇති දේ ම කියන්න තමයි. මා තියෝසොපිකල් දර්ශනය ගැන සඳහන් කර තියෙනවා නේද?

      ඔබ කියා ඇති පරිදි ඉන්දියාවේදී මේ තියෝසොපිකල් ලා ගත්තේ හින්දු වේශයක්. ඔවුන් තෝරාගත් අළුත් බුදුවරයා තමයි ක්‍රිශ්නමූර්ති!

      Delete
    4. 2. මේ අදහස සමග මගේ අවුලක් නැත. එදා රොයල් එකෙන් තනාගත් ක්ලැරිකල් ඔෆිසරලා පසුව ආනන්දයෙන් ද බිහිවුණි!

      Delete
    5. 3. ඔබ මේ කියන්නේ ආගම පමණක් උගන්වන දහම් පාසල් වැනි ඉස්ලාම් පාසල් ගැන විය යුතුයි. ඉන්දුනීසියාවේ, පක්ස්ථානයේ පවතින මෙවැනි පාසල් ගැන වාර්තා වැඩසටහන් මා දැක තියෙනවා. ලංකාවේ තත්වය මා දැන සිටියේ නෑ.

      ඒ පාසල්වල සිසුන් රජයේ සාමාන්‍ය පෙල වැනි විභාගවලට ඉදිරිපත් නොවන බවද ඔබ කියන්නේ? වෙළදාමට යනවා නම් අඩු වශයෙන් ඇරිත්මැටික්ස් වත් ඉගෙන ගන්නවා ඇති!

      Delete
    6. //නිදසුන් දෙන්න. මං නං එහෙම කර නැහැ කුණුහරුප පමණයි අනුමත නොකර සිටින්නේ.

      කකා නිකන් බබා වෙන්ඩ හදන්නෙපා. මේ ලඟදි කුණුහරුප එකක්වත් නොතිබ්බ පෝස්ට් එකක් එහෙම් පිටින්ම අයින් කරලා තිබ්බේ.
      බූන්දිය ගැන තිබ්බ පෝස්ට් එක !!!

      Delete
    7. @ Anonymous March 15, 2013 at 1:16 PM

      බූන්දිය ගැන තිබ්බ පෝස්ට් එක මේ තියෙන්නේ බබා වගේ!

      http://kathandara.blogspot.com/2013/02/leaf-out-of-akshara-senaga.html

      !

      Delete
    8. ඕක නම් නෙමේ කකා පෝස්ට් එක !
      කලින් පෝස්ට් එක අයින් කලාට පස්සේ දාපු එක තමා ඔය.

      Delete
    9. පොඩි අවුලක් නිසා මුල් පෝස්ටුව නැවත පල කිරීමට සිදු වුනා. අන්තර්ගතය එයමයි. මා බූන්දි පොතෙන් උපුටා පල කළ ලිපියේ කිසිවක් වෙනස් කලේ නෑ.

      එම ලිපියම නැවත පල කළත් පරණ කමෙන්ටු මේ අළුත් ලිපියට ගන්න ක්‍රමය තිබුණේ නෑ.

      දැන් මොකක්ද ඔබ එහි දැමූ හෝ දුටු වැදගත් කමෙන්ටුව. කියන්න. මා එය ඊ-මේලේ‍රන් කොපි කර පල කරන්නම්. නැත්තම් ඔබ ම නැවත එය එකතු කරන්න.

      Delete
  3. What about Islam Missionary Schools then?

    ReplyDelete
    Replies
    1. I am not a racist, and scared to discuss, given the circumstances, but this is a subject we shouldn’t avoid. A large number of Islamic religious schools known as ‘Madrasa’ (http://en.wikipedia.org/wiki/Madrasa) exist in Sri Lanka. (Not to be mistaken with formal Muslim colleges like Zahira) These schools are special as they teach only religion. The students don’t appear for national exams, even O/L. Finally they will not be able to find employment anywhere. Most of them get into business. Should this practice be allowed to continue? I don’t think so. Every child should be given a formal and common education. It is acceptable to teach religion as one subject. Focusing only on religion can be risky.

      Delete
    2. ඉන්දුනීසියාවේ, පක්ස්ථානයේ පවතින මෙවැනි පාසල් ගැන වාර්තා වැඩසටහන් මා දැක තියෙනවා. ලංකාවේ තත්වය මා දැන සිටියේ නෑ.

      ඒ පාසල්වල සිසුන් රජයේ සාමාන්‍ය පෙල වැනි විභාගවලට ඉදිරිපත් නොවන බවද ඔබ කියන්නේ? වෙළදාමට යනවා නම් අඩු වශයෙන් ඇරිත්මැටික්ස් වත් ඉගෙන ගන්නවා ඇති!

      Delete
    3. බලන්න. http://denethharinna.blogspot.com/2013/03/blog-post_579.html

      Delete
  4. මග තොට දී හමුවූ විට සිනාවය
    හදවත ගලව දෙන්නට මෙන් කතාවය
    මේවා නොදන්නා අය වෙන්නේ මුලාවය
    කුහකයි අයියෙ, කුහකයි මේ සමාජය

    -හුරතල් ඇනී-

    ReplyDelete
  5. මම දැනුවත්වම වැහුණ ඉස්කෝල 8 විතර තියෙනවා.
    මීට කලින් ඒ ඉස්කෝල වල ළමයි 300/ 500 විතර ඉන්නත්
    ඇති..ඒ ඉස්කෝල වැහුණට පස්සේ පෙළක් ළමයි ඊට එහායින්
    තියෙන නගරේ ඉස්කෝලෙට ගියා.අනික් ළමයි නැවතුණා
    සම්පූර්ණයෙන්ම ඉස්කෝල ගමන ..

    නගරෙට යාගන්න බැරි ළමයින්ගේ ඉගෙනීම එහෙම-පිටින්ම ඉවරයි.
    ඉස්කෝල වැහුණේ කාගේ අණටද කියන්න මන් දන්නේ නැහැ .
    එක ළමයෙක් ආවත් ඉස්කෝලයක් වහන්න හොඳ නැහැ ..


    ( මොකද මිලියන ගණන් වියදන් කර කර පඩි ගෙව ගෙවා නිෂ්ඵල
    තනතුරු වල මිනිස්සු තියන් ඉන්න රටක ; විදුහල්පති කෙනෙක්ට ,
    ගුරුවරියකට පින් පඩි ගෙව්වට අවුලක් නැ නේද නේද නේද ?)

    ReplyDelete
    Replies
    1. පාසලක් ඇරඹුනාම හිට ගෙයක් වැෙෑනවා කියනවා.

      මෙතන එහි විලෝමය සත්‍යයද?

      Delete
    2. ඔව් කකා දැරිවියෝ අවුරුදු 15 වගේ වෙද්දීම නොගැලපෙන
      දීග වල යනවා, පිරිමි ළමයි 14 වගේ වෙද්දී කරන්න ඕනේ ඔක්කොම
      කරනවා..

      අද බාගෙට බාගයක් ඉන්නේ හිරේ ..සමහරු නෝ ඩේට් ...
      සම්පූර්ණ අපායක් මම ඔය කියන පැත්ත .ඒ මිනිස්සුන්ට ඒ
      නරා වලෙන් ගොඩ එන්න උවමනාවකුත් නැහැ ...අන්න ඒකයි
      ප්‍රධාන ගැටලුව..

      පොඩි කාලෙම ඔලුවට වැටිලා නැහැ මොකක්ද කල යුත්ත
      සහ නොකළ යුත්ත කියල...

      Delete
  6. මධ්‍ය මහා විද්‍යාලයන්හි ඉගෙනගත් බො‍හෝ දෙනකු ඇසුරින් ලබාගත් මගේ අත්දැකීමනම්, ඔවුන්ට හොඳින් උගන්වන්නටද, යහපත් පුරවැසියන් බවට පත්කරන්නටද, ඔවුන්ගේ දක්ෂතාවන් ඔප් නංවන්නටද, එම පාසැල් විසින් ඉමහත් සේවයක් සිදු කර ඇති බවයි. මා ඉගෙනගත්තේ මධ්‍ය මහා විද්‍යාලයක නොව ප්‍රාදේශීය නාගරික විද්‍යාලයක වන අතර එය ද පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් ආරම්භ කරන ලද්දක් බව කියැවේ. එම විද්‍යාලයේ සිසුනට සාපේක්ෂ වශයෙන් හොඳයැයි කිවහැකි මට්ටමේ අධ්‍යාපනයක් ලබා දුන් බව කිවහැකිය.

    හරි හමන් තේරුමක් නොදැන හෝ එකල අප පාසැල් සිසුන් වශයෙන් විරෝධය දැක්වූ අධ්‍යාපන ධවල පත්‍රිකාව නමැති වැඩපිළිවෙල අද ලංකාවේ අධ්‍යාපනය පිරිහීමේ මූලාරම්භය සනිටුහන් කළ බව මගේ පිළිගැනීමයි.

    ReplyDelete
  7. KUNUHARUPA PAMANI ANUMATHA NOKARA SITINNE.= jOKKU, PADA, JEE, CHOO, PUKA, PAKA, SUKRA. MEWA KUNUHARUPA NOWANA NISA DINAPATHAMA ANUMATHA WENAWA.

    ReplyDelete
  8. කොහොමත් සුපිරි පාසල් වලින් සුපිරි වැඩම වෙන්න නෑ කවදාවත්.....

    ReplyDelete
  9. අයියෝ සිංහ පීඩියා, ඔයාගෙ සයිට් එක මාර වදයක් දෙනවානේ. MP3 ඩවුන්ලෝඩ් තමයි වැඩිපුර බලන්න වෙන්නෙ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.