Wednesday 5 October 2011

මගේ මතය තමයි හරි මතය, හරිද ඩෝ? - My way or no way!


කාලෙකට ඉස්සර ඉඳලා අද දක්වාම මං නිතරෝම වගේ පාවිච්චි කරන ජෝක් එකක් තමයි මෙන්න මේක.

"ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් ඔබේ පැත්තය, අනික හරි පැත්තය!"

මං ජොලියට ඔය කතාව කිව්වට අපේ සමහර ගොයියලා ඉන්නවා, ඇත්තටම හිතන්නේ මෙන්න මෙහෙමයි.

"ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් මගේ පැත්තය, අනික වැරදි පැත්තය!"

මෙන්න ඒ වගේ තමන්ගේ මතයම හරි කියලා හිතපු පොරක් ගැන පොඩි කතාවක්.

ඔන්න මං පේරාදෙනියේ ඉගෙන ගන්න කාලේ කාලයක් තිස්සේ දන්න කියන මගේ යාළුවෙක් පේරාදෙනියට තේරුණා.

මේ කියන දවස්වල අපිට යුනිවසිටියේ ෆර්ස්ට් ඉයර් අවසානයේ තියෙන දිගු නිවාඩුව. ඉතිං, පොර මට එහේ යන්න තියෙන දවස මට දන්නපු නිසා මාත් සෙට් වුණා එදාම පේරාදෙනියේ යන්න.

පොරයි තාත්තයි දෙන්නම ආවා. අපි කොළඹ ඉඳලා කෝච්චියේ යි පේරාදෙනියේ ගියේ.

ඉතිං එදා මං වීරයා සේ අංකල්වයි, ෆ්‍රෙන්තාවයි, පොර ගේ ෆැකල්ටියටයි, රෙසිඩන්ෂල් හෝල් එකටයි, සෙනෙට් එකටයි යනාදී මෙකී නොකී තැන්වලට එක්ක ගෙන ගියා.

එදා අපි එහේ නතර වුණා. ෆ්‍රෙන්තා හිල්ඩා එකේ. මං අක්බාර් එකේ. අංකල් ගියා නුවර නෑදෑ ගෙදරක. පහුවදා අංකල්ට ඕනෑ වුණා පුතා එක්ක නුවර දතේ පන්සලට (=ටෙම්පල් ඔෆ් ද ටූත්) ගිහින් වැඳ පුදා ගන්න.

පහුවදා නුවරින් තුනයි ගානට පිටත්වෙන කෝච්චියේ ආපහු තුන් දෙනාම එකට කොළඹ යන්නයි අපි කතා වුනේ. තාත්තයි පුතයි නුවර ඉඳලා එන කෝච්චියට මං පේරාදෙනියෙන් නගින්න මං පොරොන්දු වුණා.

ඔන්න මං පේරාදෙනිය හන්දිය දුම්රිය ස්ථානයේ ඉන්නවා. මගේ මිත්‍රයා ජනේලෙන් ඔළුව දාලා අත වනාගෙන ආපු නිසා මං දුවලා ගිහින් ඒ පෙට්ටියට ම නැග්ගා.

අපි දෙන්නා ඊයේ කතාව එතන ඉඳන් පටන් අරගෙන ඔන්න කොළඹ යනවා.

කඩුගන්නාව හරියෙදී මෙන්න පොර ඇහැව්වා මෙහෙම.

"මචං කතන්දර, අක්බාර් හෝල් එකේ ඉඳලා සරසවි උයන ස්ටේෂමට එන්න විනාඩි කියක් යනවාද?"

සරසවි උයන කියන්නේ මහනුවර ස්ටේෂමත්, පේරාදෙනිය හන්දිය ස්ටේෂමත් අතර තියෙන එකම ස්ටේෂන් එකයි. මේක තියෙන්නේ විශ්ව විද්‍යාල සීමාව මැද.

"මං නං දන්නේ නෑ මචං!" මං කිව්වා "මං කවදාවත් අක්බාර් එකේ ඉඳලා සරසවි උයන ස්ටේෂන් එකට ගිහිල්ලා නෑ."

"මොනවා? ඇයි බං උඹ අද මේ කොච්චියට නැග්ගේත් සරසවි උයනෙන් නේ!"

"නෑ මචං, මං නැග්ගේ පේරාදෙනිය හන්දිය ස්ටේෂන් එකෙන්."

"අනේ පලයං බං යන්න බොරු කියන්නේ නැතුව! මං ජනේලෙන් බලාගෙන නේ ආවේ. උඹ නැග්ගේ සරසවි උයන ස්ටේෂන් එකෙන්මයි."

"මචං, සරසවි උයන තියෙන්නේ ගලහ පාර කිට්ටුව. අක්බාර් හෝල් එකේ ඉඳලා මාර දුරයි. මං මොකටද ඒකට යන්නේ, මේ විනාඩි දෙක තුනෙන් එන්න පුළුවන් පේරාදෙනිය හන්දිය ස්ටේෂම තියෙද්දී?"

මූ වැඩේ අතහරින්නේම නෑ.

"මට නං හොඳටම ෂුවර් කතන්දර, උඹ අද නං නැග්ගේ සරසවි උයනෙන් බව!"

අන්තිමේ දී මං මෙන්න මෙහෙම කිව්වා.

"මචං මං දැන් පහුගිය අවුරුද්දම හිටියේ පේරාදෙනියේ. සිකුරාදාට ගෙදර යන්න කෝච්චියට නැග්ගේ පේරාදෙනිය හන්දියේ ස්ටේෂන් එකෙන්. නමුත් ඉතිං උඹනේ මට වඩා මං කරන කියන දේවල් දන්නේ! උඹ කියනව නං මං පිළිගන්නම් කෝ මං නැග්ගේ සරසවි උයනෙන් කියලා!"

එච්චරයි ඒ කතාව.

අපි වෙනිං මාතෘකාවක් පටන් ගත්තා.

"මචං අර පේන කන්ද, බතලේගල ද, බයිබල් රොක් ද?"

-කතන්දරකාරයා

ප/ලි:
තවත් මේ වාගේම කතාවක් තියෙනවා කියන්න.

මේ අවූරුදු විස්සේ කොල්ලෙක් ගේ එකක් නෙමේ, ඒ වගේ දෙගුණයක් වයස කාන්තාවක ගේ එකක්. ඒ කතාව මීලඟට.

(image: http://maps.google.lk)

36 comments:

  1. 100% ෂුවර්ද ක. ශු. ට ඉස්ටේසම වැරදුනේ නැහැ කියල? හෙහ්...හෙහ්...හෙහ්...

    මතක නැති හින්දමය් අහන්නෙ? බතලේගල කියන්නෙය් බය්බල් ගල කියන්නෙය් එකක්ම නේද?

    ReplyDelete
  2. ‍ෆ්‍රෙන්තා, කතන්දරගෙ පෙම් කිරීමට උපදෙස් පාඩම් අංක 1 අනුගමනය කරන්න ගියාද කවුද දන්නෙ??

    ප.ලි.
    අද එකම එක link එකයි තියෙන්නෙ. හිතට හරි නෑ වගේ හින්ද මගේ ගානෙ link එකක් දැම්මා...

    ReplyDelete
  3. "අනේ පලයං බං යන්න බොරු කියන්නේ නැතුව! මං ජනේලෙන් බලාගෙන නේ ආවේ. උඹ නැග්ගේ සරසවි උයන ස්ටේෂන් එකෙන්මයි."

    මටත් මේ දවස් වල කතන්දරට වුනා වගේ කේස් එකක් වෙලා තියෙන්නේ. කට්ටියක් කියනවා මගේ නම ලසන්ත පතිරණ කියලා හාදයෙක්ලු.

    මම ඉතින් නෑම කියනවා. ඒ අය ආයෙත් කියනවා මම ලසන්ත පතිරණමලු. මගේ භාශා විලාශයත් ඒ වගේමලු. ඒ අය මටත් වඩා හොඳින් මන් ගැන දන්න නිසා මටත් සමහර වෙලාවට හිතෙනවා මම ඇත්තටම ලසන්ත පතිරණවත්ද කියලා. :)

    ReplyDelete
  4. දතේ පන්සලට.............
    කැත වචනයක්...
    එළ කතාව.

    ReplyDelete
  5. මැප් එකේ හැටියට නම් ලඟ කියලා පේන්නේ 'සරසවි උයන ස්ටේෂන්' එකනේ...:D

    ReplyDelete
  6. අයියා නගෙනද මන්දා...

    අනිත් හෙන පට්ට කතාවක් වෙයි වගේ...

    ReplyDelete
  7. @මාලන් - අඩෝ තෝ ලසන්ත පතිරණම තමයි ,මම අයිපී දෙකත් බැලුව එකම තමයි ,මට දැන් දැන් සැකයක් තියනව ඇට මැස්සා (සි ) කියන්නෙත් මාලන්ම තමයි කියල :D


    ඔය තමන් විතරක්ම හරිය කියන එක අපි කාගෙත් දකින්න තියන රෝගයක් , බොරු මොකටද මටත් ඒ රෝගය ටිකක් තියනව . දැන් නම් අඩුයි ඉස්කෝලේ යන කාලේ සැරටම තිබුනා

    ReplyDelete
  8. කවුද ඩෝ හරි. උඹද, යාළුවද..?

    ReplyDelete
  9. ඔය වෙලාවට තියෙන්නේ නිස්කලංකේ එයා කියන දේ හරි කියල පිළිඅරන් පාඩුවේ ඉන්න. පස්සෙන් පහු ඒ උන්නැහේටම තේරේවි මක් වෙලාද කියල. නොතේරුනත් අපිට මොටෝ..

    සමහරුන්ට ඕක බරපතල ලෙඩක් ....

    ReplyDelete
  10. අපේ ඔෆීස් එකේ සෑම් අයියත් ඔයවගේ. කොච්චර හරිදේ පෙන්නලා දීලා එයාගෙ මතය සුණුවිසුණු කරල දැම්මත් අවසානෙ ආයෙත් මොකක් හරි හේතුවක් ගේනවා.
    @buwa
    කියවන්න ආසාවෙන් හිටියත් ටැබූගෙ බ්ලොග්එක මම කියවලා තිබුනෙ නෑ.දවසක් ඇනෝනිමස් ආතල් එකේ ඇනෝ කොමෙන්ටුවක් තිබුනා "ආ..මේ බුවා නොහොත් ටැබුවාත් ඉන්නෙ" කියලා. එවලේ මම හිතුවෙ ටැබුව කියන්නෙ බුවාද කියලා..:D

    ReplyDelete
  11. මේ ඔයා කෝච්චියට නැග්ගෙ සරසවි උයනෙන් තමයි කළින් අරූ කියපු නිසා පිළිගත්ත එක ඇත්තට නෙවෙයිනෙ. දැන්වත් අවංකව පිළිගන්න ඇත්ත. එදා ඔයා බීල ඉන්න ඇති.

    ReplyDelete
  12. ඌට පැටලුනේ, කෝච්චිය සරසවි උයනේ නැවැත්තුවේ නැද්ද දන්නේ නෑ...

    කෝච්චියේ යන සමහර අය ස්ටේෂම හිතාගන්නේ බෝඩ් එක බලන්නේ නැතුව ප්‍රධාන ස්ටේෂමක ඉඳන් නවත්තන ස්ටේෂන් ගාන හිතින් ගනන් කරලයි...

    ReplyDelete
  13. අද මොකද මේ පිස්සුවෙන් වගේ කතා දාන්නේ. ඔටෝ පබ්ලිෂ් එකට කෙලවෙලාවත් ද?

    ReplyDelete
  14. වෙනද වගේ අදත් කතන්දරේ හොඳය.නමුත් දතේ පන්සල කියන එකනම් පවිච්චිකිරිම සුදුසු නෑ කියලය් මගේ අදහස .
    එහෙම වචනයක් බවිත නොකර අත්විදින්න උන ,අමතක නොවුන සිදුවීමක් තියෙනවා .
    එක දවසක් ඉස්කෝලේ යන කාලේ මන් අපේ අය්යල දෙන්නෙක් එක්ක බස් එකේ යද්දී දළදා මාලිගාව පහුකරද්දිම ඒ දවස්වල අලුතෙන්ම විවුර්ත කරපු පීසා hut එක පෙන්නලා මගේ අයිය කිව්වා "මෙතනදී එදා අපි අර යාළුවගේ දත ගලුව්වනේ" කියල.මේක අහන හිටපු තව මනුස්සයෙක් අපිට මහා ජරා විදිහට බනින්න ගත්තා.උවමනාවෙන්ම අපි දළදා මාලිගාවට අපහස කරපු ආගම කාරයෝ කියල.මොකද අපේ කරේ කුරුස තිබුන නිසා.මගේ නෑදෑ අය්යල දෙන්න වලියට යන ය නෙවිය්.ඒ නිසා එයාල සද්ද නොකර හිටිය. මටනම් 84000 ටම නැගල හිටියේ,මන් අර මිනිහට බන ගෙන බැනගෙන ගියා බොරු කියනවට ,නැති ප්‍රශ්න ඇති කරනවට්ය් පස්සේ මිනිහ බැහැල ගියා.බස් එකේ හිටපු මනුස්සෙක් කිව්වා ඒ දෙමල මනුස්සයෙක්ලු හැබය් ඕන වුනේ ආගම ප්‍රශ්නයක් ලොකුවට ගෙනියන්න කියල.එදා ඉදල අපි ප්‍රසිද්ද තැන්වල විහිලු කරද්දී හරිම සැලකිලිමත් උනා.
    *වසිලිස්සා*

    ReplyDelete
  15. කතන්දරගෙ ගමන ඉවර කරන කොට 'මලට' වෙච්ච දෙයක් නැතුව ඇති නේද? යාළුකම තාමත් තියනවද?
    ඔය පාරේ යන කෝච්චිවලට ස්ටේෂන් ඕන නෑ නවත්තන්න. මගදී උනත් එල්ලෙන්න පුළුවන්.

    ReplyDelete
  16. දතේ පන්සල.....
    ඒක ටිකක් කැත යෙදුමක් කතන්දර.

    ReplyDelete
  17. @රාජ් - ටැබූට අපහාස යක් ඒ ඇනෝ කරල තිබුනේ , භාෂ ශෛලිය අතින් ටැබූ කියන්නේ මට වඩා ගව් ගානක් උඩින් ඉන්න කෙනෙක්

    @කතන්දර - දතේ පන්සල කියන එකට කට්ටියට තද වෙලා වගෙයි
    ලෝකයේ තියන හැම දේම අනිත්‍යයි කියන සර්වකාලීන සත්‍යයත් , වෙන අයගේ පිහිට බලාපොරොත්තු නොවී තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න ඕනි කියන එකත් ලෝකෙට හඳුන්වාදීපු ශේෂ්ඨ මිනිසාගේ ශරීර කොටසකට මහා ලොකු බලයක් තියනවා සහ තමන්ට එයින් පිහිටක් වෙනවාය කියල හිතාගෙන ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්න රටක් නිසා සාමාන්‍ය දේවල් ඔය

    ReplyDelete
  18. මටත් ඉස්සර ඔය මගෙ මතේ තමයි හරිම මතේ කියන ගොං අදහස තිබුන . . .පස්සෙ කාලෙක ඒක මමම හදාගත්ත

    ReplyDelete
  19. මං හිං හිටියේ කතන්දර ගේ මවිබස සිංහල කියල.බැලින්නං ඉංගිරිසි.ඒකනේ ඉංගිරිසියෙන් හිතල සිංහලෙන් ලියල තියෙන්නේ (JR වගේ)

    ReplyDelete
  20. ගොඩක් බොසාලට තියෙන ව්‍යාධියක් තමයි ඔය 'My way or highway!!!'

    ReplyDelete
  21. මගේ යාලුවෙක් උන්නා කතන්දර ලා ට වඩා බැච් දෙකක් විතර සීනියර්. බුවා ට දුර්ලභ අවස්තාවක් ලැබුනලු ඒ කාලේ අනික් කම්මලේ දේශපාලන විද්‍යාව හදාරපු චම්පික රණවක කියන කොලු ගැටයා එක්ක දුම්රියක කෝනර් සීට් එකක එකිනෙකාට මුහුණලා නුවර ඉඳං කොළඹ එන්න. මගේ යාලුවත් තරමක දේශපාලන ජීවියෙක් [ඔය කාලේ උන්ට කැම්පස් වල හරියට උගන්නලා නැහැ, බාගයක් ලෙක්චර් කරලා තියෙන්නේ ගස් යට සීනියර් ලා :)]

    මුළු ගමන පුරාම දෙන්නා නොයෙකුත් දේවල් ගැන කතා වුනා ලු. චම්පිකයා නැහැල්ලූ අපේ බුවාට දෙන්නේ පොඩි චාන්ස් එකක් වත්. මොකක් කිව්වත් ඌ ලු හරි. අපේ එකත් ඇරියේ නැහැල්ලූ [ඌත් හිතන්නේ එහෙම්ම තමයි]. අන්තිමට කොළඹට ලං වෙද්දී එක දේකට දෙන්නා එකඟ වුනා ලු. ඉර බහින්න ළඟ නිසා අහස හරි හැඩයි ලු මේ වෙලාවේ. අපේ එකා කිව්වලු, "ශා මාර සීනරි එක කියලා" චම්පිකයා කිව්වලු. "ඔව්" කියලා.

    තවත් කතාවක් [නාසිස්ට් වර්ගයේ කියලත් කිව හැකි]. ඔන්න ඉතින් මං තුමා උසස් පෙළ [බොහොම හොඳට] සමත් වෙලා, කඩු හරඹ පුරුදු වෙන්න ගියා ඇක්වයිනාස් කියන තැනට. කඩුවට ඩී තිබ්බට එ කාලේ ඇත්තටම බැහැ. සුද්දෙක් හරි පාරක් ඇහුවොත් කියන්නේ "ගෝ ගෝ ගෝ ටර්න් ටර්න් ගෝ ගෝ" වගේ තමයි.

    මං එතනට ගියාම මගේ පන්තියේ උන්නා බො‍හෝ ඇසු පිරු තැන් ඇති අපට වඩා අවුරුද්දකට කලින් විභාගේ කල "අයියා කෙනෙක්". ඉතින් "අයියා" එක්ක ෆිට් වෙලා දවසක මං ඇහුවා, "අයියා එ ලෙවල් වලට මොකද වුනේ" කියලා. පොර කියාපි "බී එකයි" කියලා. මට මේක අහලා හරියට දුක හිතුනා. මොකද එ කාලේ දන්නවා ඔය විභාගෙට මැරෙන තරම්. එකකට බී දාලා ඔක්කොම ෆේල් වෙන එක මොන තරම් කරුමයක් ද? මොකක් හරි දුක්බර කතාවකුත් ඇති කියලා අනේ මං ඇහුවා "එකක් බී නම් අනික්ව ෆේල් උනේ කොහොමද" කියලා.

    ඔන්න මේ "අයියා" කියාපි. "මල්ලි ඕකනේ කියන්නේ ඔයාලා ["අයිය"ලාගේ ලොකු යයි සම්මත පාසලේ නම] සොසයිටි එකත එක්ක ඩීල් කරන කොට [ආයිත් පාසලේ නම] ටර්ම්ස් දැන ගන්න ඕනේ". අපි "ඒ" තියෙන සබ්ජෙක්ට්ස් කියන්නේ නැහැ. අනික් ඒවා විතරයි කියන්නේ" කියලා. [ඒ කියන්නේ මෙයාට ඒ තුනයි බී එකයි]

    මං ඉතින් ඔය ගමේ ගොඩේ ඉස්කෝලෙක එකා වෙච්චි. බිරන් තට්ටු වෙලා ඇහුවා ලකුණු කීයද කියලා [මේ වගේ ඒවා අහන එක මගේ ලෙඩක් ඒ කාලේ, මොකද අපි ඒවා ගැන ගොඩක් හිතු නිසා වෙන්න ඇති]. "අයියා" කියාපි විසි හතක් විසි නමයක් වගේ ගානක්. ඔන්න මට ඒක නම් තේරුනා.

    "අයිය"ට ටික වෙලාවකින් තේරුනේ මේකා බයියා උනත් මාත් මොනවා හරි අහන්න ඕනේ කියලා. ඉතින් ඇහුවා "මල්ලිගේ රිසල්ට්ස් කොහොමද?" කියලා. "අයිය"ගේ කරුමෙට මට නිහඬව ඉන්න සිද්ධ වුනා.

    එදා ඉඳලා ඌ මට මල්ලි කිව්වෙත් නැහැ [කාපු කෑමට] මචන් මිසක්. එතකන් ඌ ම තමා "අයියා" කියලා අමතවාගෙන පොර වගේ උන්නේ. මට මේ කතාව දැක්කම අර කොලිජියේ අයියාව මතක වුනා. මොකද ඌ කිව්වොත් ඒක හරි ම වෙන්න ඕනේ. වැරදි නම් වෙන්න බැහැ. එහෙම උනොත් හරි එක කිව්වා එකාට එපා වෙනකම් තර්ක කරනවා. වලහා උනත් ඌට කියයි මම තමයි හාවා කියලා ඔන්න. වෙලාවට මට ඇක්වයිනාසය එපා වෙලා මාසෙකින් විතර ක්ලාස් නැවැත්තුවා කොහොමත්.

    [[දතේ පන්සල]]

    මං මේක ටැබූ මහත්තයටත් කිව්වා. අපි නොඅදහන පමණින් නොගරහමු. මේ ගරු කිරීම එම ශාස්ත්රුවරයාටම නොවේ. ඔහු ශාස්තෘවරයෙකු කර ගත් අපේ හිතවතුන් ටයි. ඒ මිනිසුන්ට රිදවීමෙන් ලබන ෆන් එක මොකද්ද?

    ඔබට මේ සිද්ධස්ථානය ගැන විවේචන ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. එ ගැන තාර්කික ව විවාද කලාට කමක් නැහැ [මං ඕන තරම් එහෙම කරනවා]. මෙහෙම ඔලොක්කුවට කියන එක මගේ තේරුමෙන් නම් අවලං වැඩක්.



    @මාලන්;

    අඩෝ ලසන්තයා මං තෝ අහුවෙනකම් උන්නේ. බොරු කරනවා නේද මෙතන. හිකි හිකිස්‌.

    [මාලන් ද ලසන්තද හරමානිස් ද විජේපාල ද කියන එකේ වෙනස මොකද්ද බං ඔය කියන එව්වොන්ට. මොකෝ උඹ ලසන්තයා හැටියට උන්ව පුද්ගලිකව අඳුනනවාද?]

    ReplyDelete
  22. අනිත් ඔක්කොමලත් හරි.. සුජීවටත් මෙ දතේ පංසලේ කතාව පැටලුන එක මට හරි පුදුමයි... කකාව කාලයක් කියෝපු මටනම් හිතෙන්නෙ කකා මෙතනදි කියන්නෙත් "දතේ පංසල" (temple of the tooth ) කියන එක වැරදියි කියලම තමා...

    ReplyDelete
  23. ඔව් අපේ රටේ ඉන්න හරක් temple of tooth, adam's peak වගේ වචන යොදනවා, එම්වාට කෙලින්ම සිංහල වචනම ඉංග්‍රීසියෙන් නොයොදා. ඇත්ත.

    කතන්දර කියන්න ගියේ එකයි කියා මට නම් හිතන්න කරුණු මදි. එහෙම නම්, පොඩි පැහැදිලියක් දෙන්න තිබ්බා නේද?

    ReplyDelete
  24. කසු මොකද මේ ඕන නැති term එකක් පාවිච්චි කරලා කතාව රෝං සයිඩ් යවන්නේ? මටත් ඒ දතේ කතාව ඇල්ලුවේ නැහැ.
    @buwa , ඔය කියන දේට මම බාගයක් එකඟයි, නමුත් ඔයා ඔය කියන ශ්‍රේෂ්ඨ මනුස්සය දැන් ජිවතුන් අතර නැහැ, ඉතින් ඒ මනුස්සය තමුන්ගේ ආගමික ශාස්තෘන් කියල පිළිගන්න සාමාන්‍ය මිනිස්සු කැමතියි ඒ උතුම් මනුස්සයාගේ ශාරීරික කොටසකට උනත් ගරු කරන්න. නැතුව ඒ සරීර කොටසේ අනුභාවයෙන් මගේ විභාගේ පාස් කරලා දෙන්න කියල නෙවෙයි. ඉතින් මේ පොස්ට් එකේ තියෙන අර ගරුසරු නැති යෙදුමට මිනිස්සු අකමැති වෙන එක පුදුමයක් නෙවෙයි.
    ඉංග්‍රීසිය අපේ බාසාව නෙවෙයි නේ. ඉතින් සුද්දට ඕනේ උනේ නැහැ දළදා මාලිගාවට අදාල ගෞරවය රැකෙන නමක් දාන්න. ඉතින් ඔන්න දාපු නම. ඉංගිසි යෙදුමක හැර මම නම් කිසිම තැනකදී ඔය යෙදුම පාවිච්චි කරන්නෙත් නැහැ. ඉංග්‍රීසියෙන් උනත් කතා කරද්දී නම් මම Sri Dalada Maligawa කියල කියනවා. තේරෙන්නේ නැති සුද්දෙක් හිටියොත් ඌට වෙනම කියල දෙන්න බැරිය....

    ReplyDelete
  25. කතාව කියවගෙන ආව.එත් එක වචනයක් නිසා කියවිල්ල නැවතුනා "නුවර දතේ පන්සලට".බුදුහාමුදුරුවන්ගෙ දන්ත ධාතුව තියන දළදා මාලිගාවට මෙහෙම නොකියනව නම් හොඳයි.

    ReplyDelete
  26. සපා කිව්වමයි මතක වුනේ. අප්‍රිකාවේ තියෙන චැඩ් වගේ රටක, ලොකුවයින් විලක් තියේලු. සහරා ආසන්නයේ ඇති මේ රටේ ජල අවශ්‍යතා සපිරෙන්නේ මේ විලෙන් ලු. බොහොම ඉස්සර් ඉඳං ම මෙතන ජනාවාස හැදුනෙත් විල නිසාලු.

    හැබැයි දේශ ගවේෂණයේ යෙදෙන සුද්දෙක් මේ විල හොයා ගෙන ඒ ගැන ලියලා තියෙනවලු දහ අට වැනි සියවසේ.

    මේ රටේ සිලබස් වල, මේ විල හොයා ගත්තා කියලා අදටත් කියන්නේ අර සුද්දගේ නම ලු.

    හරියට Colpetty, temple of tooth, adam's peak වගේ.

    ReplyDelete
  27. Temple of the Tooth Relic කියලයි මන් ඉංග්‍රීසි පොත් වල දැක්කේ . සුද්ද තේරුම් ගත්ත විදියටනේ නම දැම්මේ . අපිට තියෙන වටිනාකම අනුව අපි ගරුත්වයෙන් ඇමතීම යුතුකමක්. ඕනෑම ආගමක . ඒක සල්ලි යන වැඩක් නෙමේනේ.
    ඕවගේ දෙයක් වත් නැත්නම් මොකක් ද අපි ලංකාවේ තියෙන දේවල් කියල කියන්නේ . ඊයේ ඉස්කෝලේ උවමනාවකට බැලුව. යුනෙස්කෝ හෙරිටේජ් යටතේ ලංකාවේ ස්ථාන 8 ක් තියෙනවා . එකක් නුවර නගරය . ඉතින් අපි මේ තැන් වලට ගරු කිරීම වරදක් නැහැ . වියට්නාමේ 7 යි . තායිලන්තේ 5 යි. ඔන්න අපි ටිකක් ඉදිරියෙන් .

    ReplyDelete
  28. "TEMPLE OF THE TOOTH"
    KATANDARA DANNAWA EHEMA KIYANA EKA HARI NA KIYALA.NAMUTH EYATA ONI EHEMA DEYAK ADALA ARAN METANA WIWADAYAK HADANNA.MONA UNATH EHEMA KIYANA EKA HARI NA.DANUMA ENNA ENNA MINISSU NIRAHANKARA WENNA ONI.(HAMADAMA KIYAWANA KENEK)

    ReplyDelete
  29. @බුවා
    බුවාට වැරදිලා...මිනිස්සු බුදු පිලිමවලට වඳින්නෙ ඇයි? ඒකට බලයක් තියන නිසාද? නෑ.මිනිස්සු බුදු පිලිමවලට වඳින්නෙ ජීවමාන බුදුහාමුදුරුවො කියල හිතාගෙන.මිනිස්සු දළදාවට වදින්නේ ඇයි?හැමදාම වතාවත් කරන්නේ ඇයි? අන්න ඒ හේතුවම නිසා.බුදුහාමුදුරුවන්ට කරන ගෞරවයට.මිනිස්සු පිහිට හොයාගෙන යනවනම් නුවර පන්සල් කියල නෙමේ යන්න ඔනේ පුජා වට්ටිත් අයගෙන නුවර දේවාලෙට යනව කියල.
    මිනිස්සු පන්සලට යෑමයි දේවාලවලට යෑමයි දෙකක.

    ReplyDelete
  30. @කස්සා - දලදා මාලිගාවට බාර වෙන අය දැකල නැතිද සහෝ , වෙන මොකුත් එපා . අපේ රෝහන ජනරංජන ආචාර්යය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා . මේ සියවසේ රටකට අතිශයින්ම වැදගත් කාරණයක් වෙච්චි බලශක්ති මූලයක් හොයා ගත්ත එක ගැන කිව්වෙත් "අනේ දලදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් ගැස් ටික ගන්න ලැබේවා" කියල

    ඒ පිහිට බලාපොරොත්තු වීමක් නෙවෙයිද , මේ කථාව ඡ්න්ද ගුණ්ඩුවක් තමයි නමුත් , ඉන්දියන් කාරයින්ගේ වශී ගූලි මිරිකරන එතුමා බොක්කෙන්මත් පිහිට බලාපොරොත්තු වෙන්න ඇති

    විහිලුවකට හිනා වෙනකොට මට නම් කතන්දරගේ දතේ පන්සලත් එකයි පහල තියන යූ ටියුබ් විඩියෝ එකත් එකයි ,

    http://www.youtube.com/watch?v=WLKk00OYKhU&feature=related


    සුද්දෙක් එක්ක කථා කරන කොට දතේ පන්සල් කතා කියන්න එපා , දලඳා මාලිගාව කියන නමත් ඒකේ ආගමික සංස්කෘතික වටිනා කමත් කථා කරමු , අපි අපි අතර විහිලුවකට හිනා වෙන්නත් පුරුදු වෙමු

    ReplyDelete
  31. "නුවර දතේ පන්සලට"

    මේ කොටසටනං එකඟවෙන්න බැහැ. මොන පරමාර්ථයෙන් ලිවුව වුනත් කොයිම ආගමක දෙයක් ගැන එහෙම ප්‍රසිද්දියේ ලියන එක ගැන එකඟ නැහැ.

    ReplyDelete
  32. කිත්සිරි මෙවන් රජ දවස දළදාව ලංකාවට වැඩම කරවීමත් එක්ක රජවරු තමන්ගේ රාජ්‍යයෙන් දළදාව පිදූ වග තමයි මූලාශ්‍රවල කියවෙන්නේ. ඒ වගේම ඊට පෙරත් ශ්‍රී මහා බෝධියට ලංකා දීපය පූජා කළ බවත් සාහිත්‍ය මූලාශ්‍රවල කියවෙනවා....

    මේ වගේ කරුණුත් එක්කම තමයි මේ රට බුදුන්ගේ රට රජතුමා බෞද්ධයෙක් විය යුතුයි. බුදු දහම සුරැකිය යුතුයි කියන සංකල්ප පෙරට එන්නේ.

    නිශ්ශංකමල්ලගේ ලිපිය එනවා රජුන්ගේ කාර්යය වෙන්නේ "බුදුන්ගේ දළදාව හා පාත්‍ර ධාතුව සුරැකීමයි" කියලා [මට මතක විදිහට මේක ලිව්වේ]

    ඒකේ වර්ධනීය තත්වයක් වෙන්නේ රාජ්‍යත්වය ලබාගන්න නම් දළදාව තමන් සතු කරගත යුතුයි යන මතය පැමිණීම.

    ඒකත් එක්කම තමන්ට රාජ්‍යත්වය ලබාගන්න උපකාරී වන පූජනීය වස්තුව පන වගේ රැකගන්න රජවරු කටයුතු යොදනවා. උදාහරණ විදිහට 1 විජයබාහු රජතුමා වේලයික්කාර සොල්දාදුවන්ට දළදාවේ රැකවරණය බාරදීම ඒ වගේම 1 පැරකුම්බා සුගලා දේවිය පරාජය කොට දලදාව ලබාගැනීම වගේ සිද්ධි දක්වන්න පුලුවන්.

    මේ කරුණුත් එක්ක පන්සලක දළදාව තැන්පත් කරන එක ආරක්ෂාව පිලිබඳ ගැටලුවක් නිසා රජ මාළිගයට ආසන්නයේම දළදාව තැන්පත් කරවන්න රජතුමා කටයුතු කළා.

    දඹදෙණියේ රජවෙන 3 වෙනි විජයබාහු රජතුමා බෙලිගල කරපු දළදා මාළිගාව ගැන මහාවංසයේ කියන්නේ මේ විදිහට " අහසින් දෙවියන්ට විනා පොළවෙන් සතුරු මිනිසුන්ට පිවිසිය නොහැකි වන පරිදි බෙලිගල දළදා ගෘහය කළා" කියලා. ඒකෙන් පවා දළදාවට ලබාදුන්නු ආරක්ෂාව පැහැදිලි වෙනවා.

    ඒ වගේම කලින් කිව්ව විදිහට තමන්ගේ රජකම තහවුරු කරවන්නේ දලදාව නිසා තමන්ට කරන පුද සත්කාර ඒ විදිහටම දළදාවටත් පවත්වන්න රජතුමා නියම කළා.

    දලදා සිරිත වැනි කෘති රචනා වුනේ ඒ පුද සත්කාර නිවැරදි විදිහට කරන අයුරු දක්වන්න

    රජෙක් ඉන්නේ මාළිගාවේ ඒ කාරණෙත් එක්කම දළදාවටත් ජීවමාන රජෙක්ට සිදුකරන සැලකිලි සිදුකරන නිසාම දළදාව තැන්පත් කර ඇති ස්ථානයත් මාළිගාව කියලා හැදින්වූවා

    අනික දළදා මාළිගාවේ ස්ථීරව ඉන්න භික්ෂූන් වහන්සේලා නැහැ. තේවාව භාරවෙන පිළිවෙල අනුව තාවකාලික ලැගුම් ගන්න මල්වතු හෝ අස්ගිරි විහාරවල භික්ෂූන් වහන්සේලායි මාළිගාවේ වැඩ වාසය කරන්නේ.

    මේ වගේ කරුනු එක්කත් දළදා මාළිගාව පන්සලක් නෙමෙයි කියලා හිතන්න පුලුවන්......

    ReplyDelete
  33. මම බුද්ධාගම් කාරයෙක්.... දතේ පන්සල කියල ලිවුවාම කොහොමද අපහාසයක් වෙන්නෙ.. ???

    කතන්දර ඒක අපහාස කරණ අරමුණින් ලිවුවත් කියවන කට්ටිය ඒක අපහාසයක් විදියට බාර නොගන්නවනම් එතන අපහාසයක් නෑ...

    DALADA MALIGAWA කියල ඉංග්‍රීසියෙන් කියන්න නැතුව අපේ රටේ ඉන්න සුද්දට පුක දීපු නමට විතරක් සිංහල පර හැත්ත temple of tooth කියල කියනවා... අන්ට උන්ට කරපු උපහාසයක් මිස අපහාසයක් මමනම් මෙතන දකින්නෙ නෑ....

    ReplyDelete
  34. "ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත... "

    කතන්දර කතාවෙ මුලම දාල තියෙනවනෙ.... ඒක අමතක වෙලා කතාව කියවපු අයට පට්ට සද්ධාව නිසා :P

    ReplyDelete
  35. @ All
    මා කළ අපහාසයක් නැත.

    කළත් එය බාර නොගත්තොත් ආපසු යන බව බුදු හාමුදුරුවෝ එක්තරා බමුණුකෙකුට කියා ඇත.

    "මගේ මතය තමයි හරි මතය හරිද ඩෝ?" යන කියමනට සජීව උදාහරණ සැපයූ අයට මගේ ස්තුතිය.

    පිරුණු කලේ දිය නොසැලේ යන්න විදහා පෙන්වමින් කරුණු කාරණා පෙන්වා දුන් අනෙක් පාඨකයින්ට මගේ උපහාරය පුදමි.

    ReplyDelete
  36. මං නං කඩිගමුවේ බැහැල පයින් එනවා අපහු නුවරටම........... අය්යෝ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.