Friday 14 October 2011

ලස්සෙට කොඩිය නං බිලියනේට දාන්නේ මොකක්ද? - Millions and Billions


ලංකාව අනාදිමත් කාලෙක ඉඳලා පාවිච්චි කරපු පරණ බ්‍රිතාන්‍ය මිණුම් ඒකක ක්‍රමයෙන් ඉවත්වෙලා මෙට්‍රික් ක්‍රමයට හැරුණේ 1972 දී ද කොහෙද මයෙ හිතේ.

මේ වෙනසත් එක්කම යාර, අඩි, අඟල් වෙනුවට මීටර්, සෙන්ටිමීටර්, මිලි මීටර් ආවා. බෝතල්, ගැලුම් වෙනුවට ලීටර් ආවා. හැතැප්ම වෙනුවට කිලෝමීටර් ආවා. රාත්තල් වෙනුවට කිලෝග්‍රෑම් ආවා. අක්කර වෙනුවට හෙක්ටයාර් ආවා!

ඕවා ඉතිං ආවාය කිව්වට හරිම හෙමින් තමයි ජනතා චිත්ත සන්තානයට කා වැදුනේ. ඔයිට ඉස්සර හාල් විකුණලා තියෙන්නේ සේරුව කියන ටින් එකක් වගේ එකකින් මැණලා, පරිමාව අනුව. දැන් ඒ වෙනුවට හාල් විකුණන්නේ බර අනුවයි කිලෝග්‍රෑම් ගාණට.

වෙළඳ නීතිය අනුව බලහත්කාරෙන්ම මිනිස්සුන්ව මේ අළුත් කිරුම් මිණුම් වලට පුරුදු කෙරුණා. නමුත් ඒ පරණ දේවල්වල නෂ්ඨාවශේෂ තාමත් දකින්න තියෙනවා.

පාන් ගෙඩියක් ග්‍රෑම් 450 ක්, දියර වර්ග මිලි ලිටර් 750, කලිසමක් මහන්න රෙදි මීටර් 2.2 ක් වගේ අමුතු අගයන් තාමත් එදිනෙදා පාවිච්චි වෙන්නේ ඒ නිසයි.

කාර්වල කිලෝමීටර් තිබුණට, පෙට්‍රල් ගහන්නේ ලිටර් වලින් වුණාට, කාර්වල පෙට්‍රල් වැඩ කරන ගාන ගැළුමකට හැතැප්ම වලින් හිතන, කියන අය අනූවේ දශකයෙත් හිටියා.

ඉඩකඩම් ගණුදෙනු වලදී නම් ඔය පර්ච් සහ අක්කර කතාව කවදාවත් නැතිවෙන එකක් නෑ වගේ.

කිරුම් මිණුම් මෙට්‍රික් ක්‍රමයට හැරුණට, ගණං කිරීම සඳහා තවත් අවුරුදු ගණනාවක් යනකම්ම පාවිච්චි වුනේ ලක්‍ෂය, කෝටිය වගේ දේවල්.

අය වැය ඉදිරිපත් කිරීමේදී වගේ ඔන්න මිලියන්, බිලියන් කියනවා ඇහෙන්න පටන් ගත්තා.

මිලියන් ගණං ටීවී එකේ මුලින්ම කියන කොට නං මිනිස්සු ඒකට හිණා වුණා. මොකද මිලියන් දෙකට, මිලියන් තුනට ඒ ගොල්ලෝ කිවේ දෙමිලියන, තෙමිලියන වගේ ලොවෙත් නැති වචන.

නිවරදිව කියනවා නම් මිලියනයක් කියන්නේ දාහේ ඒවා දාහක්.

ඒ කියන්නේ මිලියනය = 1,000,000

විද්‍යාත්මක මිණුම් අණුව නම් බිලියනයක් කියන්නේ මිලියන් ඒවා මිලියනයක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ බිලියනය = 1,000,000,000,000 (නිවරදව).

නමුත් අද ප්‍රායෝගිකව මුදල්, ලෝක ජනගහණය වගේ දේවල් ගැන කතාකරන කොට බිලියනයක් කියන්නේ මිලියන් දාහකටයි.

ඒ කියන්නේ බිලියනය = 1,000,000,000 (භාවිතය).

ලෝක ජනගහනය බිලියන් හයයි කියන්නේ මිලියන් හය දාහයි.

ලංකාවේ ලොකු ගණුදෙනුවලදී මිලියන් භාවිතා වුනත්, තාමත් අය ලක්‍ෂය සහ කෝටිය (සියක් ලක්‍ෂය) පාවිච්චියෙන් නැතිවෙලා නෑ.

මේ සේරම කිව්වේ පොඩි කතන්දරයක් කියන්නයි.

ඔන්න මං අඳුණන පොරක් හිටියා පොඩි බිස්නස් එකක් කරන. ඉලෙක්ට්‍රොනික් බඩු, විදුලි උපකරණ වගේ දෙවල් විකුණන කඩයක්. ප්‍රධාන කොම්පැණියක ඒජන්ට්කමකුත් තිබුණා.

පොර දවසක් අපි හම්බවෙච්ච වෙලාවක මෙහෙම කිව්වා.

"දන්නවද මං ගිය අවුරුද්දේ වන් බිලියන් විතර සේල්ස් කරලා තියෙනවා!"

වන් බිලියන් කියන්නේ මිලියන් දාහක් නේ. ඒ කියන්නේ ලක්‍ෂ දහදාහක්. පොරගේ කඩේ තිබුනේ ගම් පලාතක පොඩි කඩ මණ්ඩියකයි. අවට ෆැක්ටරිවල කෙල්ලන්ට, කොල්ලන්ට රයිස් කුකර්, ටේබල් ෆෑන් විකුණන එක තමයි එතන හොඳම බිස්නස් ලයින් එක. වන් බිලියන් කියන්නේ ඉම්පොසිබල් සේල්ස් ෆිගර් එකක් ඒ කඩේට.

අනික, මේ කියන්නේ මීට අවුරුදු පහලොවකටත් ඉස්සර කාලේ!

ඉතිං මං පොඩ්ඩක් විස්තර ඇහැව්වා "අයියා! ඒ කියන්නේ ලක්‍ෂ කීයක්ද?" යනාදී වශයෙන්.

බැලින්නම් කේස් එක මේකයි.

පොර ගිය අවුරුද්ද්දේ ලක්‍ෂ හැට පහක බඩු විකුණලා. ඒ කියන්නේ මිලියන් හයයි දශම පහයි.

පොර හිතලා තියෙන්නේ බිලියනයක් කියන්නේ මිලියන් දහයක් කියලායි. ඉතිං මිලියන් හයයි දශම පහ රවුන්ඩ් ඕෆ් කරලා මිලියන් දහයට.

ඒකයි ඒ බිලියන් එකක් විතර සේල්ස් කළා ය කිව්වේ!

මං ඉතිං පොරට පැහැදිලිකරලා දුන්නා ඇත්ත තත්වය.

දුකයි තමයි, ඒත් ඉතිං මොනවා කරන්නද, නේද?

-කතන්දරකාරයා

ප/ලි:
කතන්දර බ්ලොග් එකේ හිට් කවුන්ටරෙත් දැන් නියර්ලි වන් මිලියන් විතර වෙලා! (ඇත්තම කියනව නං පන්ලක්‍ෂ ගානයි, හැබැයි අපේ අර අයියා ගේ ක්‍රමයට කියනව නං මිලියනයයි)

28 comments:

  1. කොහොම උනත් අර 'මෙට්‍රික්' ක්‍රමය ගැන කරපු විස්තරය නම් හරිම හොඳයි.

    ඔන්න මගේ කමෙන්ට් එකත් එක්ක මිලියනයයි+එකයි. ඒ කියන්නේ කීයද? පන්ලක්ෂයයි. දශම එකයි...:D

    ReplyDelete
  2. අපේ පුංචි කාලේ ඔය මෙට්‍රික් ක්‍රමයට රෙන්න ..සොරි හැරෙන්න වුනේ.. එකම විකාරයයි..රාත්තල් වලට ඉල්ලපුවා කිලෝ වලට ඉල්ලන්නයි.. විභාග ප්‍රශ්න පත්‍ර වල ඉරාගෙන ඔය මිනුම් වල ප්‍රශ්න වලට උත්තර හොයන්නයි ගියහම !

    ReplyDelete
  3. කමෙන්ට් එකක් ලියන්න හිතාන පහලට එනකොට පොඩ්ඩි අක්කාගේ කමෙන්ට් එක දැකලා මිලියන බිලියන සේරම පැටලිලා කමෙන්ට් එකත් අමතක උනා :D

    ReplyDelete
  4. නියම කතාව. දන්නේ නැති එව්වා එක්කා හිනා කතාවකුත් කියෙව්වා

    ReplyDelete
  5. The American system is:
    10^06 = million
    10^09 = billion
    10^12 = trillion
    The European system (formerly used in Britain, still used in Germany) is:
    10^06 = million
    10^09 = thousand million
    10^12 = billion
    10^15 = thousand billion
    10^18 = trillion
    10^21 = thousand trillion
    U.S. system is not as logical as that used in Europe. bi meaning two so European billion has twice as many zeros as a million and tri meaning three so trillion has three times as many zeros as a million, etc. But the scientific community uses the American system for some reason.

    ReplyDelete
  6. මට නම් තාමත් අප්ෂෙට්
    එතකොට ට්‍රිලියන්..

    ReplyDelete
  7. Why America Will NEVER Switch to the Metric System
    One of the more difficult parts of metrication would be changing some of our familiar expressions. Things like "Tons of fun" would become .several hundred kilograms of fun, and somehow that doesn't sound like nearly as much fun. A pounding headache would become a kilogramming headache.

    Footprints would become centimeter prints. Inchworms will have to be called 25.4 millimeter worms. Centipedes would become -- no, I guess they would stay centipedes.
    http://rochelle-frank.hubpages.com/hub/Why-America-Will-NEVER-Embrace-the-Metric-System

    ReplyDelete
  8. ලක්ෂෙට කොඩිය

    බිලියනේට පාලං කොඩිය

    ReplyDelete
  9. ලක්සෙට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ මිලියනය කියල හිතන අය ඕන තරම් ලංකාවෙ ඉන්නවා.

    ReplyDelete
  10. මන් නම් කඩේ යන්නේ මිලියනයක් වත් අරන් හැමදාම . අපි හරි පෝසත් මෙයා . පුළුවන් නම් කියන්නකෝ අපි මෙච්චර පෝසත් එකේ රහස . දන්නෝ දනිති

    ReplyDelete
  11. දන්නෙ නැති දේවල් ටිකකුත් දැන ගත්තා.

    ReplyDelete
  12. @ Bindi,
    ඔයා ඉන්න දිහාව අපි දන්නවෝ....හැබය්, බාලි(ඉන්දුනීසියා) පදිංචියට හරි විසිට් හරි ගියොත් බිලියන් එකක් අරන් තමා ඔයාට කඩේ යන්න වෙන්නෙ

    @ Ano,
    Tons does not make a difference 'cos 1000 K.G.s are called a "Metric Ton"
    Pounding also does not make a diference,again in this saying it means "hammering"
    Footprint is a print of a foot, nothing to do with the measurement called "foot"

    Then again I think you are aware of these facts but just wanted to take the "mickey out of yanks"
    Good on you mate....!!!

    ReplyDelete
  13. මේ පොස්ට් එකනම් ගොඩක් වටිනවා කතන්දර ,ඇත්තටම බිලියනය කියන්නේ නිවැරදිව කියාද කියල අද්ය් දැනගත්තේ.අර මාතලන් ඇහුව වගේ එතකොට ත්‍රිලියනය කියන්නේ කීයටද? ලියන නිවැරදි ක්‍රමේ මොකක්ද්ද? මේ ලොකු ලොකු ගණන් අර පොඩි කලේ වගේ ගණක රාමු වලින් තමය් ඉගෙනගන්න වෙන්නේ :)
    *වසිලිස්සා*

    ReplyDelete
  14. මට නං ඔය මිලියන්, බිලියන් වගේ එවුව ඕනෙ වෙන්නෙම නෑ . . . .වන් හන්ඩ්‍රඩ් තවුසන් එකක් ගනින්නෙත් ඉඳල හිටල අවුරුද්දකට විතර එකපාරක් . . . . එහෙවු අපිට අර මක්කටෙයි මිලියන්ස් ????

    ප.ලි.
    බෝතලේ ඔය තියන මුදලටම 750ml එස් අයි ක්‍රමේට 1L කරල දෙනව නං මරු නේද ???

    ReplyDelete
  15. මෙට්‍රික්???? මතක් කරන්න එපා. ඔය කෙහෙල්මල හින්දා ඉස්කෝලෙදි කාපු කෑම තාම මතකයි.

    මෙහෙ නම් මේ සම්මජ්ජාතියේ ඉලක්කම් හතරෙන් එහා මාසේ ගතමන්ට් හම්බවෙන්නේ නෑ. ඔබා කිව්වා වගේ බාලි වත් යන්න ඕන රස්සාවක් හොයාගන.

    ReplyDelete
  16. @Kevin Perera
    ඔය ක්‍රමය ගැටළුවක් වෙන්නෙ නැද්ද? බිලියනය බින්දු තුනකින්ම වෙනස් .

    ReplyDelete
  17. හන්ඩ්‍රඩ් අතේ නැති අපිට මොන බිලියන්ද කිව්වළු..?

    ReplyDelete
  18. මිලියන් බිලියන් අපෙන් බොහෝ දුරයි....

    ReplyDelete
  19. [[ලෝක ජනගහනය බිලියන් හයයි කියන්නේ මිලියන් හය දාහයි. ]]

    හතයි ඈ. ඔන්න මේ මාසෙට.

    ReplyDelete
  20. බිලියනය = 1,000,000,000,000 (නිවරදව).
    Is it correct? How?

    ReplyDelete
  21. හොඳ පෝස්ට් එකක් බව නොකියම බෑ... Kevin Perera ටත් ස්තුතියි අර බිලියනේ ප්‍රශ්නෙ විසඳලා දුන්නට :)

    ලෝකය විවිධ සම්මත වල අනුව යාම ගැටලුවක් තමා මං හිතන හැටියට නම්. අහලා තියෙනවද කතාවක්, NASA එක එකපාරක් ගුවන්ගතකල යම් වස්තුවක් (මොකද්ද කියල හරියට මතක නෑ) අසාර්ථක වුනාලු. පස්සෙ හොයලා බලද්දි NASA එකේ ඉන්නවනේ එක එක රටවල විද්‍යාඥයො, ඉතින් ඔය එක්කෙනෙක් ගණනය කිරීමක් කරද්දි පාවිච්චි කරල තියෙන්නෙ ඇමරිකන් සම්මතය නෙවෙයිලු. ඒ ප්‍රථිඵලය පාවිච්චි කරපු ඊලඟ කෙනාගෙ උත්තරේට වෙච්ච දේ හිතාගන්න පුලුවන්නෙ!

    ReplyDelete
  22. ලක්ෂ වලින් කත කරන අය සුවිප් ටිකට් විකුණන තැන් වලත් ඉන්නවා.

    ReplyDelete
  23. බින්දි,
    අහවල් දිහා ඉන්නෙ එහෙ මුදලේ වටිනාකම අහවල් ගණන් වලින් යන්නෙ කියලා අහවල් පෝස්ට් එකේ ලියලා තිබිලා අහවල් දවසෙ මම කියෙව්වා......

    ReplyDelete
  24. කතන්දර,
    දැනටත් ලීටරේට බෝතල් කීයද? අඩියට සෙන්ටිමීටර් කීයද වගේ ප්‍රශ්ණ එන්නෙ මිනිස්සු සම්පූර්ණයෙන්ම ඔය ක්‍රමේ බාරගෙන නැති හින්දා වෙන්ඩැති.

    හැබැයි පාං වලට නං ඕක බලපාන්නැ. දැං පාන් රාත්තල් නෙමේ පාං ගෙඩිනෙ තියෙන්නෙ....

    ReplyDelete
  25. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    ශතවලින් ගනං හදනවා නං අපිටත් ලක්‍ෂපතියෝ වෙන්න පුළුවනි! එහෙම නැත්තං සිම්බාබ්වේ යන්න ඕනෑ!

    වියට්නාමෙත් වරදක් නෑ වගේ බින්ඩි කියන විදියට.

    ReplyDelete
  26. එතකොට mileage එක kilometerage වෙන්නෙ කවදද?

    ReplyDelete
  27. ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරුණේ 1980 දී, නීතියෙන් ම. ඊට පසු රාත්තල්, යාර යනාදි බ්‍රිතාන්‍ය මිනුම් ඒකක භාවිතය තහනම් වුණා. කොහොම වුණත් 1974 සිට ම මෙට්‍රික් ක්‍රමය ගැන මහජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වුණා. මේ ලිපියේ මාතෘකාවට අරන් තියෙන "ශ්‍රී ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි" කියන වැකිය සඳහන් සෙ.මී. 25X10 පමණ ප්‍රමාණයේ කුඩා පෝස්ටර් ලංගම බස්වල ඇතුළේ, ජනෙල්වලට උඩින් අලවා තිබුණා.

    වෙළඳසල්වල නීතියට අනුකූලව ම කිරුම් මිණුම් මෙට්‍රික් ක්‍රමයට සිදු කෙරෙනවාදැයි සෙවීමට පරීක්ෂකවරුන් යොදවා තිබුණා. මට මතක යි මාතලේ-දඹුල්ල මහා මාර්ගයේ කවුඩුපැලැල්ල කියන ගම්මානයේ කඩයකට ගොඩ වුණු පරීක්ෂකවරුන් දෙදෙනෙක් එකපාරටම ඇසුවා "මුදලාලි, බණ්ඩක්කා රාත්තලක් කීයද" කියා අසනවා. මුදලාලි ළඟ රාත්තල් පඩි වගේම කිලෝග්‍රෑම් පඩිත් තිබුණා. එයා හඳුනන ගමේ අයට රාත්තල්වලිනුත්, අනිත් අයට කිලෝග්‍රෑම් වලිනුත් තම යි බඩු වික්කේ. කොහොම වුණත් මුදලාලිට තේරුණා මේ ඇවිත් ඉන්නේ පරීක්ෂකවරුන් කියලා. ඒ නිසා එයා ගත් කටට ම කිව්වා "මහත්තයෝ, අපි දැන් රාත්තල් වලින් නම් කිරන්නේ නැහැ. බණ්ඩක්කා ග්‍රෑම් 500 ක් නම් ශත 90* යි" කියලා.

    *ඔව්, ඒ කාලේ (1980) බණ්ඩක්කා ග්‍රෑම් පන්සීයේ මිළ තමයි ඒ...!!

    ReplyDelete
  28. හප්පා ඔව් නේන්නං. හැක්.. මං දැනගෙන හිටියේ නැහැ මේ වගක්...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.