Tuesday 4 October 2011

වෑංජන් කතන්දර - සෝයි, රටකජු සමග බෝන්චි : Beans with peanuts and soy souce


මේ වැංජන් කතන්දරේ මං කාලෙකට ඉස්සෙල්ලා ලියාපු බෝංචි ඇටේ කතන්දරයට වැඩි සම්බන්ධයක් නෑ.

මේක ලියන්න මූලික හේතුව වුනේ සුනිල් එදිරිසිංහ ට වෙච්ච බිරින්දෑ නෑගං ගිය අකලංචිය පහුගිය දාක මටත් වෙච්ච වෙලේ මං කාපූ පරිප්පුව ගැන ලියපු කතන්දරේ අවසානයේ දී දුන්නු පොරොන්දුවයි. මං එදා හදපු අනිත් වෑංජන ජාති දෙකක් ගැන විස්තර දාන්න කියලා ඉල්ලීම් ඇවිල්ලා තියෙනවා.

අද එයින් මුල් වෑංජන් කතන්දරේ -බීන්ස් විත් පීනට්ස් ඇන්ඩ් සෝයි සෝස්.

මේ රෙසිපියේ සම්පූර්ණ අයිතිය හිමි මට නෙමේ හාමිනේටයි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය
බෝංචි
සෝයා සෝස් (මේක චීන සෝස් එකක්. විවිධ වෙළද නාම යටතේ වර්ග දෙකක් තියෙනවා, ලයිට් සහ ඩාර්ක්. මං ගන්නේ ලයිට් එක)
රටකජු (බැදලා සුද්ද කරපු ඒවා)
ලොකු ලූණු
තෙල්

තියෙනවනං අවශ්‍ය පරිදි දාන්න
මිරිස් කුඩු
කරපිංච
අමුමිරිස්

මෙන්න හදන ක්‍රමය
බෝංචි සෝදා, නැටි කඩා, කැබලි කඩාගන්න.


මෙයට කෑලි කැපූ ලූණු, මිරිස් කුඩු යනාදිය දාන්න.


සාස්පානකට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු බෝංචි මිශ්‍රණය එයට දමා උයන්න.


මද වේලාවකින් රටකජු ටික එකතු කරන්න.


බෝංචි බාගෙට තැම්බුණු පසු සෝයි සෝස් එකතු කරන්න. විනාඩියකට පමණ පසු ලිපෙන් බා ගන්න.


මගේ කැමැත්ත නම් බාගෙට වඩා පොඩ්ඩක් විතර පමණක් ඉඳුණු බෝංචිවලටයි. හොඳටම තැම්බීමෙන් රසත් ගුණත් නැතිවේ.

අයිස් ටී අවශ්‍ය අයට පමණක් පානය කළ හැක.


දැන් මේ සෝයි සෝස්, මිරිස්, ලූණු, රටකජු යනාදී එක එක අඩුමකුඩුම එකතු කරන ප්‍රමාණයන් තම තම නැණ පමණින් සිතා, ට්‍රයල් ඇන්ඩ් එරර් (trial and error) ක්‍රමයෙන් විසඳාගත යුතුය.

-කතන්දරකාරයා

ප/ලි:
හාමිනේ ඉරිදා රාත්‍රීයේ ගෙදර පැමිණියාය. සඳුදා දෙදෙනාම නිවාඩු නිසා දවාලට කෑම මා ඉවූ ඒවාය.

මෙන්න සඳුදා සවස් කාලයේ දෙබසක්.

මංතුමා: මං එහෙනං අදත් උයන්නං. ඔයාට මහන්සිත් ඇතිනේ.
හාමිනේ: කමක් නෑ, කතී මං උයන්නම්, පොඩි වෙනසක් තියෙන්නත් ඕනෑනේ නේ? ඔයා ගේ අස්කරන වැඩ ටික කරන්න.

37 comments:

  1. මමත් මේ විදියට හදපුව හොටෙල් වලින් නම් කාලා තියෙනවා. රසයි ! ඒත් ම්ගේ නම් ඇස සහ දිව හුරු වෙලා තියෙන්නෙ.. කහ, මිරිස් , තුනපහ කුඩු ටික දමලා එන පාටත් සමග හැදෙන එලවළු වලටයි. ඒ පාටයි රසයි නැත්නම් ටිකක් අප්සට් වගෙයි.. බලන්නකෝ අපි පුරුදු වෙලා තියෙන හැටි !

    ReplyDelete
  2. මන් නම් දැනන් හිටියා හාමිනේ ඔය ටික කියන බව . මොනවා වුනත් සිම්පල් රෙසිපිය . හදල බලන්න ඕන . කතන්දරට මේ වියට්නාම් කෑම කන්න පුළුවන් වෙයි. ඔය වගේ කෑම මෙහෙ තියෙනවා . රස ගන්නේ සෝයා සෝස් .. ෆිෂ් සෝස් වගේ ඒවායින් තමයි

    ReplyDelete
  3. ෂික් කවුද බන් ඔය ලූනු කැපුවෙ, හරියට ත්‍රපීසියමක් වගේ...හෙහ් හෙහ්.. . ඔය කරි එක කන්න සුදුසු මොන වගේ කෑම එක්කද?

    ReplyDelete
  4. ඔය ක්‍රමේටම කං කුං... මාර රසයි.. අපි නොදන්න කුකින්...

    ReplyDelete
  5. දැන් මේකේ නම කතන්දර සරණියද?

    ReplyDelete
  6. අයියාගේ කෑම රහ වැඩි නිසා වෙන්න ඇති හාමිනේ මහන්සි නොබලම උයන්න ඇත්තේ :D

    මොන මොන කෑම ජාති හැදුවත් අයිස් ටී එකනම් වරදින්නේ නෑ නේද? :D

    ReplyDelete
  7. තෑන්කිව් වේවා රෙසිපියට, මං වැඩියෙන්ම බලා උන්නෙ බීෆ් රෙසිපිය එනකම්, කමක් නැහැ, ඔබී එහෙට මෙහෙට වුන වෙලාවක මේක ට්‍රය් කරලා බලන්නන්, බීෆ් රෙසිපිය ලැබෙනකන්.

    දැන් කතී ගිහින් ගිහිං හාමිනේ නැති ටිකේ යකා නටල තිබ්බ ගේ දොර අස් පස් කරලා දාන්න හොඳ ළමය වගේ.

    ReplyDelete
  8. උඩම තියෙන්නෙ කකා හදපු එකද? බෝංචිඑහෙම වැඩිය තම්බන්නෙ නැතිව හදන කෑමවලට මාත් මනාපයි. මේක හදලා බලනවා.

    ReplyDelete
  9. හොඳ වැඩේ. කතී තාම ගේ අස් කරනවද මන්දා, ඔය සෝයා සෝස් එක්ක ට්‍රයල් පරිස්සමින් කරන්න ඕනා නේද? චුට්ටක් වැඩි උනත් කාල හමාරයි

    ReplyDelete
  10. මේ මාර සරණියද ? කතන්දර සරණියද?

    ReplyDelete
  11. මම නම් නිතරම හදන කෑමක්...ඕකටම ලූණු කොල ටිකක් ව්‍යාංජනය බාපු ගමන් දාපුවාම තවත් රසයි....අනික මේ පීනට්ස් ෆයිඩ් රයිස් වලට දාපුවාමත් හරිම රසයි...

    ReplyDelete
  12. කතන්දර හදපු කෑම කාල හාමිනේට බඩේ අමාරුවක් එහෙම හැදුනෙ නෑ නේ. කතන්දරටනං අයිස් ටී බොන හින්ද ප්‍රශ්නයක් වෙන්න නැතිව ඇති.

    ReplyDelete
  13. //හාමිනේ: කමක් නෑ, කතී මං උයන්නම්, පොඩි වෙනසක් තියෙන්නත් ඕනෑනේ නේ? ඔයා ගේ අස්කරන වැඩ ටික කරන්න.//

    කතන්දර! හාමිනේට, පොඩ්ඩි දුන්නා කියලා මේ පහ දෙන්ට...:D

    හපොයි!!! උයන්ට දන්නෙත්, ලස්සන කටහඬවල් තියෙන්නෙත්,ඔක්කොම බැඳපු පිරිමින්ටනේ....:D:D

    ReplyDelete
  14. බෝංචි .... මතක් කරත් ආස නැති කෑමක්. ඒත් කතන්දර , එයා හරි ලස්ස8නට බෝංචි වල පාට රැකගෙන උයල තියෙනවා.(රසනම් අනේ මන් ද)

    සුවඳත් එනවා...

    අම්මප කතන්දර වෙනසකටත් එක්ක කතන්දර හාමිනේ උයන්නම් කීවේ ? මක්කැයි මේ ...ගෘහස්ත ප්‍රචන්ඩත්වය ද? නැත්තම් සහජීවනය ද?

    මොනා උනත් බෝංචි ටිකේ පාට නම් නියමයි...

    ReplyDelete
  15. අයිස් කොපී නම් ය “මඟුල් ගෙවල්“ වලදි අන්තිම වෙනකම් හිටියොත් බොන්න ඇහැකි... මොනවැයි මේ “අයිස් තේ“. තේ හදල අයිස් කැට දාලැයි....

    ReplyDelete
  16. පී නට්ස් උයලා කනවා කියලා ඇහැව්වාමයි. පොඩි කාලේ නම් පොතු පිටින් කාලා තියෙනවා. මට මතකයි ඇඹිලිපිටියේ තාම එහෙම විකුනනවා. හැබැයි ගොඩක් වෙලාවට ඇතුල හිස්.
    මම බබා නම් තෙල් හින්දා ඒවා කන්නේ නෑ.

    ReplyDelete
  17. කෝකටත් ගේ අස් කරන වැඩේ කතන්දරට පැවරිච්චි එක හොඳයි. නැත්තං හාමිනේ නැති අල්ලපනල්ලෙ ඔය අත් උදවුවට වගේ එක්කං ආපු ගෑනුලමයි වරදිලාවත් දාල ගිය ඇඳුමක්වත් තිබිල හාමිනේට හම්බ උනොත් . . . . ඇඳක් යටිං වගේ . . . .

    ප.ලි.
    දෙවනි පාරටත් . . . . මම අයිස් ටී බීමට ඉතා ප්‍රිය කරමි . . . . .

    ReplyDelete
  18. පොඩි වෙනසකටත් එක්ක කලාතුරකින් හාමිනේටත් උයන්න දුන්නට කමක් නෑ හැබැයි ඕව හැමදාම කරන්නනම් දෙන්න එපා...

    ReplyDelete
  19. කතන්දර පාට රැකගෙන බෝංචි ඉව්ව විදිහනම් පැසසිය යුතුය්..ගෙදර ඉන්න දවස් වලනම් ඔය පොඩි පොඩි අත්හදා බැලීම් කරලා තියනවා :)
    අර බීෆ් උයන ක්‍රමෙත් ඉක්මනින් පල කරනු මැනවි.
    අයිස් ටී එකනම් මට මාර ප්‍රශ්නයකි.
    *වසිලිස්සා*

    ReplyDelete
  20. අර පලියෙන් හිතාගන්න ඇහැකි රහේ තරම.

    ReplyDelete
  21. පොඩ්ඩෝ දෙන්න බඩගින්නේද මන්ද හාමිනේ නැති දවස් ටිකේ? "ජින්ජර් මෙග්ස්" ගෙ තාත්තගෙ ඉවිලි, විශේෂෙන් බාර්බෙකියු සහ අවර්න් රෝස්ට් මතක් වෙනව.

    ReplyDelete
  22. මට බෝංචි බඩගිනියෝ!!

    ReplyDelete
  23. සෝය් සෝස් 'කෝකටත් තෛලය' වගේ.

    ReplyDelete
  24. මේවගේ පෝස්ට් තියෙනවනම් තනි පංගලමේ ඉන්න එක මහ කජ්ජක්ද . .

    ReplyDelete
  25. මේක බත් එක්කනම් යන එකක් නැහැ වගේ..ඒත් පිරිසියකට දාගෙන පුංචි හැන්දකින් කෑල්ල කෑල්ල අරගෙන හප හප ඉන්නනං හොඳයි වගේ.. මම කරවිල මාළුව කන විදියට...

    බීමටනං අයිස් ටී හරියන්නේ නැහැ ඒ වගේ වෙලාවට..:D

    ReplyDelete
  26. කකා ගොඩක් කැම තෙලෙන් උයන බව පේන හින්දයි අහන්නෙ, පාවිච්චි කරණ තෙල් වර්ගය මොකක්ද? ඔලිව් තෙල්ද?

    ReplyDelete
  27. කකාත් තේ බොන්නෙ on the rocks වගේ :D. ඔය දාල තියෙන තේ වැඩියි..
    මෙහෙම ට්‍රයි කරන්න... වීදුරුව තුන්කාලක් පමන පිරෙන සේ අයිස් පලමුව දමා ඊට උඩින් ස්විප් තුනකට පමන සෑහෙන ප්‍රමාණයක් දමාගන්න. ඒ ස්විප් තුන අවසන් වූ පසු අයිස් විසි කර ( තේ සෑහෙන්න බොනවානම්..) නැවත අලුතින් පටන් ගන්න...

    ReplyDelete
  28. නම නං (ඉංග්‍රීසියෙන් කියනකොට ) හොඳයි, ඒත් ඔව්ව කන්න පුළුවන්ද අප්ප බත් එක්ක?

    අපේ හාමිනේ පළවෙනි බබා හබ්බුවෙලා එනකොට මම දවසක් කට්ට කාල ගේ අස්කරල තිබ්බ. උන්දැ දවස් දෙකක් තිස්සෙ ආයි අස් කර. මේ ගෑණු ඔක්කොම එකයි!

    ReplyDelete
  29. රෙසපි එක මාත් ලියාගත්තා.. කියන්නත් වගේ කෑමේ හොදකම නිසාද කොහේද හාමිනේ අයියට ගේ අස්කරන්න කියලා උයන්න ගියේ...

    ReplyDelete
  30. උයන ශිල්පයේ අනිවාර්ය සාධකයක් තමයි අත්හදා බැලීම් කරන්න බය නැති වීම. මම ජිවිතේ පලවෙනි වතාවට උයන්න ගත්තේ මිට අවුරුද්දකට විතර පෙර. ඒ දවස් වල ඉව්වේ තනිකර පොතේ හැටියට. මෙලෝ රහක් නැහැ (පොතේ වැරැද්ද නෙවෙයි මම පොතේ විදිහ කියල කරන ඒවායේ වැරැද්ද) පස්සේ පස්සේ එක එක experiment කර කර ඉව්ව. මුලින් මුලින් හට්ටි පිටින් විසික්කරා. නමුත් අත ඇරියේ නැහැ. පස්සේ පස්සේ මට ඉවිල්ල ගැන සැහෙන්න පුළුවන් විදිහට රසට පාටට ආවා. රහස තනිකරම අර කසු කිව්වා වගේ තම තම නැණ පමණින් හිතල කරපු ට්‍රයල්ස් තමයි.

    ReplyDelete
  31. බෝංචි කියන්නේ මගෙත් එච්චර කැමති කෑමක් නෙවෙයි. හැබැයි ඉතින් රටකජු නම් මගේ favourite. දවසක රටකජු දාල වෙනමොනවා හරි හදන්න ඕනේ. කසු, යෝජනා කරන්නකෝ මොනවා හරි වෙන දෙයක්, රටකජු දාල උයන්න.

    ReplyDelete
  32. කසු ගේ කෑම වල වෙනස තමයි අපි වගේ විදෙස්ගත අය‍ට උයන්න ලේසි (comparatively) වීම. දාන්න තියෙන ජාති අඩුයි සහ මෙහෙ හොයාගන්නත් එච්චර අමාරු නැහැ....
    හරි හරි ඉතින් මාර තුමා ඕකට දුම්මල වරම ගන්න ඕනේ නැහැ, ඔබතුමාගේ කෑම පින්තුරයක් දැක්කත්, විස්තරය කියෙව්වත් කටට කෙල උනනවා. වැඩේ කියන්නේ ඕවට දාන අඩුම කුඩුම මේ රටවල් වල හොයාගන්න ගිහාමනෙ පන යන්නේ. ඒ අතින් කසු ගේ recipe simple and easy to cook.

    ReplyDelete
  33. ඔය Ice tea එක හදන හැටිත් කියලම දාමු ද?


    හැබැයි ආයෙත් ජීවිතේට කතන්දර හාමිනේ , කතන්දර අයියට උයන්න නම් දෙන එකක් නෑ.. :-P

    ReplyDelete
  34. @ ඉන්දික ..

    අපේ දිහාත් ඔය දේම විය . මේ සේරම පිරිමි අස් කරන්නේ එකම විදියටද හැබෑට

    ReplyDelete
  35. හපෝ අපි නම් වෙජිටේරියන්

    ReplyDelete
  36. @බින්දි . . .

    අපේ දිහා නම් මම අස් කලාම ගෙදර උන්දැට අස් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ . . ඕන ඒවයි එපා ඒවයි ඔක්කෝම කුනුබක්කියේ නිසා ගිහින් පාර අයිනේ තියෙන කුනු බක්කිය අවුස්සන කියලැයි . . හික්ස්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.