Wednesday 5 October 2011

දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)


මගේ මතය හරි මතය හරිද ඩෝ? කියන මගේ බදාදා කතන්දරේ මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා.

"පහුවදා අංකල්ට ඕනෑ වුණා පුතා එක්ක නුවර දතේ පන්සලට (ටෙම්පල් ඔෆ් ද ටූත්) ගිහින් වැඳ පුදා ගන්න."

දැන් ඔය වාක්‍යයේ තියෙන "දතේ පන්සල" කියන එක මා අතින් නිකං වැරදිලා වගේ ලියවුණු එකක් හෝ අපහාසයට ලියපු එකක් හෝ නෙමේ.

මං හොඳට හිතලා මතලා බලලා මයි ලිව්වේ. මගේ අදහස වුනේ මේ "දතේ පන්සල" ගැන පොඩ්ඩක් විතර සිංහල බ්ලොග්ස්පියරය අවුස්සන්නයි.

වැඩේ තරමක් සාර්ථකයි...!!!

මේ වෙනකොට ඇවිත් තියෙන ප්‍රතිචාර අතරේ මගේ පොයින්ට් එක ගැන කියවෙන ඒවා මෙන්න මෙහෙමයි.
1.       
Gordonia ceylanica said...
දතේ පන්සලට.............
කැත වචනයක්...
2.       
Anonymous said...
වෙනද වගේ අදත් කතන්දරේ හොඳය.නමුත් දතේ පන්සල කියන එකනම් පවිච්චිකිරිම සුදුසු නෑ කියලය් මගේ අදහස .
*වසිලිස්සා*
3.       
uwiniran said...
දතේ පන්සල.....
ඒක ටිකක් කැත යෙදුමක් කතන්දර.

මගේ උත්සාහයට මුලින්ම අනුග්‍රහය දැක්වූ ඒ තිදෙනාට මගේ ස්තුතිය.

දැන් මේ "දතේ පන්සල" කියන්නේ "ටෙම්පල් ඔෆ් ද ටූත්" කියන ඉංගිරිසි යෙදුමේ අමු ම අමු සිංහල පරිවර්තනයයි.

මං කතන්දරේ ඒ කෑල්ල මෙන්න මෙහෙම ලිව්වා නං මේ ප්‍රශ්ණය එන්නේ නෑ.

වැඩ ටික ඉවරවුණාම අංකල් පුතා ට මෙහෙම කිව්වා.
"පුතා අයි වෝන්ට් ටු ගෝ ටු ද ටෙම්පල් ඔෆ් ද ටූත් ටුමාරෝ විත් යූ. වී කැන් දෙන් ටේක් ද ටේ්‍රන් බැක් ටු කලම්බු ඉන් ද ඊවිනින්."

කතන්දරේ ලියන කොට මට ඇත්තටම ඇතිවුණු ප්‍රශ්ණය තමයි "ටෙම්පල් ඔෆ් ද ටූත්" කියන යෙදුම ඇයි තාමත් භාවිතයෙන් අයින් කරන්න බැරි වුනේ ඇයි? කියන එකයි.

ඔෆීෂියල් වෙබ් එකේ [http://daladamaligawa.org/] නං තියෙන්නේ "ටෙම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටුත් රෙලික්" (පූජනීය නෂ්ඨාවශේෂ දතේ පන්සල) කියලයි.

ඒත් ඉතිං පන්සල නේ. මාලිගාව කියනවා නම් පැලස් කියලා තියෙන්න එපායැ?

ඔතනට මාලිගාව කියන්නේ ශ්‍රී වික්‍රම ලා ඉඳලා තියෙන තැන හින්දා කියලයි මං හිතන්නේ. ග්‍රීව ධාතුව තිබුණාය කියලා මයියංගනේ පන්සලට ග්‍රීව මාලිගාව හරි මයියංගනේ මාලිගාව හරි කියලා කියන්නේ නෑනේ.

කනවා, යනවා, මැරෙනවා වෙනුවට පූජ්‍ය පක්‍ෂයට ගෞරව කරන්න වළඳනවා, වඩිනවා, අපවත් වෙනවා කියනවා වගේ දතකට දළඳාව කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒත්, පන්සලකට ඒ වෙනුවට මාලිගාව කිව්වම වැඩියෙන් ගෞරවයක් එන්නේ කොහොමද?

අනේ මන්දා?

ඉංගිරිසියෙන් ප්‍රෙසිඩන්ට් ට සිංහලෙන් ජනාධිපති කියනවා වෙනුවට ජනාධිපතිතුමා කියනේත්, ඉංගිරිසියෙන් "ටෙම්පල් ට්‍රීස්" සිංහලෙන් "අරලිය ගස්" වෙනුවට "අරලියගහ මන්දිරය" (මැන්ෂන් ඔෆ් ද ටෙම්පල් ට්‍රී ට්‍රී) වෙන්නේත් ඒ විදියටම ද මන්දා?

-කතන්දරකාරයා

ප/ලි:
සුපුරුදු කතන්දර හෙට උදේ සිට.

දැන් ඔක්තෝබරයේ ෂෙඩියුල් එක මෙහෙමයි. සඳුදා, බදාදා, සිකුරාදා සාමාන්‍ය කතන්දර. අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා වෑංජන-කතන්දර, කයි-කතන්දර වගේ විශේෂ කතන්දර.

ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා!

(image: http://daladamaligawa.org/)

34 comments:

  1. ව්‍යංජන කතන්දර? ෂා මරුනෙ. හොඳ රෙසිපි ටිකක් බලගත්තහැකි. හැබැයි පට් පට් ගාල උයන්ඩ පුළුවන් එව්වා දාන්ට!

    ReplyDelete
  2. වැදූ මව මරන,එක කුස උපන් සහෝදරී දූෂ්නය කරන,මිනිස්සුන් බල්ලන් බළලුන් ගානට දමා ක්‍රියාකරන මිනිසුන් සිටින සීහළ දේශයේ හැදී වැඩී,නිදහස් අද්‍යපනයෙන් සංස්කෘතිය උගෙන දළදා මාලිගාවට දතේ පන්සල කීමට එකෙකු බිහිවීම අරුමයක් නොවෙය.වැරැද්ද වන්නේ සුද්දෙකු සිංහල උගෙන එසේකීම නොව සිංහලයෙකු (බාගදා බෞද්ධයෙකු )එසේ කීමයි

    ReplyDelete
  3. මාලිගාව කියන්නේ ඔබ කියූ හේතුවට තමා. කවුරුත් දැක්කද මාලිගාව තුල දන්ත ධාතුව තියෙන්නේ කොතනද කියලා. ඒ හරියටම කිව්වොත් මැද මිදුලක තැනු තාවකාලික මණ්ඩපයක. මෙන්න මගේ කල්පිත පැහැදිලි කිරීම්.

    - දන්ත ධාතුව පෙර කල හුදෙක් ආගමික දෙයක් නොවේ. වඩාත් දේශපාලනික දෙයක්. රජ කම හිමි වන්නේ එය අයිති කෙනාට. ඉතින් එය පන්සලක තබන්න බයයි. එකයි දන්ත ධාතුව "මාලිගාම" ළඟ "පන්සලක" නොතිබ්බේ. මාලිගාව කියන්නේ වැඩි ගෞරවයට නම් නොවේ, ඇත්තටම පන්සලක් නොවූ නිසා කියලයි මට තේරෙන්නේ.

    - මැද මිදුලේ ආරක්ශාව දෙන්න පහසුයි. වටේටම පේනවා.රාජ භාණ්ඩාගාරය උනොත් එකේ සික්කාට ගේම දෙන්න පුළුවන්. අනික තේවාව කරන්නත් ලේසියි.

    - තාවකාලික මණ්ඩපය අරහෙන යන්න පුළුවන් අවශ්‍ය නම්. සතුරු ආක්‍රමණයකින් බේරෙන්න.

    දන්ත ධාතුව අයිති තමන්ට බවත් එබැවින් එය "හොරකම් කරගෙන" ඉන්න මුළු කාලයට [1800 ගණන වල ඉඳං] මෙන්න මෙච්චර වන්දියක් ගෙවන්න ඕනා බවත්, වහාම තමන් ත්‍රි සිංහලේ මහා රජු බව පිළිගත යුතු බවත් කියලා අම්පාර පැත්තේ පාසල් ගුරු තුමෙක් නඩුවක් දැම්මා කාලෙකට කලින්. අවසාන තීන්දුව දැක්කේ නැතුවට ගෙස් කරන්න පුළුවන්. ත්‍රි-රෝහලට [අංගොඩ, මුල්ලේරියාව, උණවටුන] අධිපති කරලා යවන්න ඇති මයේ හිතේ.

    කොහොම උනත් කට්ටිය අවුස්සන්න හරි කතන්දර එහෙම කිව්ව එක නම් මා අනුමත කරන්නේ නැහැ. එය විශේෂයෙන් බුදුන්ට කරන ගෞරවයක් වීම නොවේ ප්‍රශ්නේ. එහෙම ශාස්තෘවරුන් පස්සේ පන්න පන්න වඳින්න ඕනේ නැහැ [මං නම් අදහන්නෙත් නැහැ]. එහෙත් බුදුන් අදහන පාටකයාට කරන ගෞරවයක්. මේ කිව්වේ ආගම විවේචනය කරන්න එපා කියලා නම් නොවේ.

    කවුරුහරි දන්නවද මීගමුවට නිගම්බු කියන හේතුවක්. එක කතාවක් මා දන්නවා. බලමු චාන්ස් එකක් දීලා.

    නිගම්බු කතාව නැතුවට වෙන කතා ගොඩක් මෙන්න මේ සබැඳියේ ඇති. කොටා කියවා යමක් ලියලා එන්න. ඔය මං සිංහලෙන් ටයිප් කරන්න නොදන්නා කාලේ ලිව්ව බ්ලොග් සටහනක්.

    To Colpetty along Cotta Road - Crossing the Lanes - Looking for the TigerLeopard

    ReplyDelete
  4. දතේ පන්සල කිව්වත් Temple of the Tooth කිව්වත් , වචනාර්ථය හරි නැහැ.දළදා මාලිගය/පන්සල ඕන එකක් ඊට වඩා හොඳයි භාෂා දෙකටම.

    ශ්‍රී පාදයට Adam's Peak කියන එක ඊටත් එහා ගිය එකක්.

    සුද්දා කියූ ඕනෑම දෙයක් ඒ හැටියෙන්ම භාවිතාවට ඉඩ හැරීමේ පරාධීනත්වය හැර ඔතන වෙන දෙයක් නැහැ.

    ReplyDelete
  5. මම දැනන උන්නා ඔබතුමා ඒක දැම්මේ අපහාස කිරීමේ අරමුණින් නොවන බව,
    ඒත් දළදා මාළිගාව නොකියා දැන් මාලිගාව යැයි කීමද නොහොබී.
    එහෙයින් අපට මාලිගාව නොකියා දළදා මාලිගාව කියන්න යැයි මගේ ගුරුපියාණන් අපට පැවසුවා.
    මට පෙණුනා උඩ තියනවා මේ ගැන දිග අදහසක්,

    ReplyDelete
  6. මම හිතන්නේ කසු මෙතන වැරදි කීපයක් කරලා තියෙනවා. ප්‍රධානම එක වෙන්නේ දළදා මාලිගාවට යොදපු නම කදු එයාගේ භාවිතාව වගේ ඉදිරිපත් කරපු දෙය. කසු ට ඕනේ උනේ මේ කරුණ විවාදයට ගන්න නම් ඔයිට වඩා වෙනස් ප්‍රවේශයක් ගන්න තිබුන.
    අනික මේ මාලිගාව සහ පන්සල අතර වෙනස. ඉස්සෙල්ල ආවෙ දළදා මාලිගාව නොවැ. ඊට පස්සේ තමයි temple of the tooth ආවෙ. අපි මෙතනට මාලිගාව කියන්නේ අපිට හිටිය ඉහලම කෙනා (සංකේතාත්මකව) ඉන්න තැන හින්ද වෙන්න ඕනේ. රජ්ජුරුවොත් වැඳපු තැන නම් ඉතින් ඊට වඩා ඉහල වෙන්න එපාය. පන්සල කිව්වම ඒ ගතිය එන්න නැතුව ඇති.
    සුද්ද දළදා මාලිගාව කියන වචනේ translate කරනකොට තේරෙන්න ඇති මෙතන මාලිගාවක් තියෙන්න රජ කෙනෙක් නැහැ දැන්, මෙහි අයිතිය තියෙන්නෙත් හාමුදුරු දෙනමකට, මේක ආගමික තැනක්, ඉතින් මේක පන්සලක් වෙන්න ඕනේ කියල.
    කොහොමත් අර ඉහල කොමෙන්ට් එකක තියෙනවා වගේ, සුද්දගේ දේවල් ගෙඩියපිටින් ගන්න එකේ වැරැද්ද තමයි මේ වගේ පලහිලව්.

    ReplyDelete
  7. ගනේමුල්ලේ ඉපදුන පොරක් ඔස්ත්‍රේලියාවට ගිහිං ටික කලක් ගියාම හිතුම් පැතුම් වෙනස් වෙලා ගොඩ සුද්දෙක් වීම හිතා ගන්න පුළුවන්නං ඔය යෙදුමවත්, දුටු ගැමුණු පොරක්ද කියලා අහන එකවත්, ශ්‍රී වික්‍රම හිටිය තැන කියන එකවත් ඒ හැටි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    දැන් අපි මෙහෙම කිව්වත් ඒකේ කේන්ති ගන්න දෙයක් නැහැනේ - සූරිය අච්චිගේ මිනිස්සු නම කොහොම වෙනස් කලත්,මොන අත ගියත් තමුන්ගෙ ජන්මයෙන් ආව අඩුව වහන්න බැහැ-

    තරහා ගන්නවත් මේක මකන්නවත් ඔට්ටු නැහැ රජෝ.
    ඕනනං මේකෙනුත් පොඩි ජොලියක් ගියා කියලා හිත යටින් පුපුරු ගහන්නනං පුලුවං.

    ReplyDelete
  8. සමහර එව්වායේ සිංහල තේරුම් බැළුවම මේක මොකද්ද කියලා හිතෙනවා. එකම සිංහල වචනෙට සමාන තේරුම් ගොඩක් තියෙන එක සහ සමහර සිංහල වචන බලෙන්ම වගේ කුනුහරුප කෙරුවම ඈති වෙන තත්වයක් මේක...

    මං නම් වැරැද්දක් දකින්නේ නෑ....

    ReplyDelete
  9. වෙළඳාමේ යන අයත් ගොඩ වදිනවානේ.

    කතන්දර කාරයා නම් සේරී වාණිජ ජාතකයේ හොඳ වෙළෙන්දා තරම් හොඳ නැතුව ඇති, හැබැයි පොර ඉස්සර ඉඳලා සෙට් වෙලා ඉඳලා තියෙන්නේ ඒකෙ නරක වෙළෙන්දාගේ කට්ටියට. එකනේ පොරා කොච්චර දියේ ඇඳි ඉරාක කියලා හිතුවත්, මේ ඇනෝ රංචුව පස්සෙන් එළවන්නේ.

    ReplyDelete
  10. සුජිව මල්ලි වපුරන දේ හැටියට තමයි අස්වැන්නත්.
    ඇයි ඒ අඹ වලට වඩා මේ අඹ ඇඹුල්ද?

    ReplyDelete
  11. ශ්‍රද්ධාවන්ත කස්සා මහත්තයට මම කලින් ලිපියෙ උත්තරයක් දීල තියෙයි , කතන්දර ආතල් එකක් ගන්න කරපු වැඩෙන් මාත් සැහෙන්න ආතල් එකක් ගත්තා කට්ටියගේ ප්‍රතිචාර දැකල

    මාලිගාවද , පන්සලද , දතද ධාතුවද කියන වචන හරඹ කොරන මහත්තුරු දලදා මාලිගාවේ පැත්තක් කුඩු වෙන්න බෝම්බ ගහපු එකා රජ සැප විඳින්නේ ඇයි කියල හොයල බැලුවද ?
    දියවඩන නිලමේ තනතුර ලබා ගන්න කී ලක්ෂයක් වියදම් කලාද ? කී දෙනෙකුට බෝතල් පාටි දුන්නද ? තවත් සමහර අයට තවත් දේවල් දුන්නද කියල හොයල බැලුවද ?
    ශ්‍රි පාදස්ථානේ නම ගැන වාද කරන වෙලාවේ , ශ්‍රි පාදස්ථානෙන් එක පැත්තක දඩමස් විකුනන හැටි අනෙක් පැත්තේ රා විකුණන හැටි ගැන අවධානය යොමු කලාද ? ශ්‍රි පාද කදුවැටියට සැතපුම් දෙක තුනක් දුරින් ශ්‍රි පාද රක්ෂිතය කපල හඳපු රටේ ම ප්‍රසිද්ද පන්සල ගැන දන්නවද , ඒකේ ලොකු හාමුදුරුවො මේ ඊයෙ පෙරේදා ගෙනාපු බෙන්ස් එකේ ඩැශ් බෝඩ් එකේ කකුල් තියාගෙන ගමන් යනව කියන එක (සොරි සොරි වඩිනව ) දන්නවද්

    බුද්ධාගමට (මගේ අදහට අනුව එහෙම එකක් නැ , බෞද්ධ දර්ශනය්ක් මිසක් ) අගෞරව වෙන්නේ අර මං කිව්ව ඒවයින්ද ධාතුවට දත කිව්වාම හරි මාලිගාවට පන්සල කිව්වාම හරිද

    ReplyDelete
  12. සංවේදි කේස් එකක් නිසා හොට දාන්න අමාරුයි. බුවා කියන දේ හරි. ඔතන පාර වහපු නිසා. නුවර වාතය අපිරිසිඳු වීම ගැන, බැතිමතුන් කන කට්ට ගැනත් කතා කරන්න පින්වතුනි. ඔන්න්z ඔහේ දළදා මාලීගාවම කියල කියමු. මොකෝ ලංකා බැංකුවත් තවම බෑන්ක් ඔෆ් සිලෝන් නේ. ආන්ඩුවෙන් වෙනස් කරනකන් ඔහේ යන්.

    ReplyDelete
  13. හපොයි, මිනි මරා ගන්නේ නැතුව මෙන්න මේකට උත්තරයක්‌ දෙනවාද?

    "කවුරුහරි දන්නවද මීගමුවට නිගම්බු කියන හේතුවක්?"

    මාර ජොලි කතාවක් තිබේ. බලමු කවුද දන්නේ කියල

    ReplyDelete
  14. @බුවා : අර කුප්‍රකට අපහාස පිළිබඳව ඔබ කියන දේ ඇත්ත. විශේෂයෙන් අර ශ්‍රී පාද රක්ෂිත ආශ්‍රිත පන්සල හා එහි ජාවරමුන් ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ.මමත් ඔය ප්‍රදේශයට කිට්ටුව ඉන්නේ.අම්මාන් ලා ගැන හැමෝම දන්නවානේ.. නමුත් මේ කාරණා කොතරම් බරපතල වුනත්, නොගැලපෙන නම් භාවිතය සංවාදයට නොගැනීමට ඒවා හේතුවක් නොවේ. ඒ වගේම මේ වරද්දා ගැනීම් මුලින්ම සිදු වුනේ අම්මාන්ලගේ මුත්තලාගේ කාලේ.

    @සුජීව : මීගමුව් ගැන මම අහල තියෙන්නේ බල්ලෙක් බිරුවේ අයි කියලා සුද්දෙක් ඇහැව්වම අපේ ගොයියෙක් දන්නා ඉංගිරිසියෙන් "නිකම් බුඃ" කියලා ඒ යෙදුම නිගම්බු ලෙස ප්‍රසිද්ධ වුනා කියලා.

    ReplyDelete
  15. @සුජීව ..

    සුද්දෙක් ඇහුවලු පළාතේ නම . ගැමිය හිතුවලු ''බල්ලෝ බුරන්නේ ඇයි'' කියලයි සුද්ද ඇහුවේ කියල . '' නිකන් බුරනවා '' කියල උත්තර දුන්නලු.

    නිකන් බුරනවා = නිකම්බු = නිගම්බු වුනාලු. ඔනොමයි මන් අහලා තියෙන්නේ .

    [දැන් වැඩේ සංවේදී වී ඇති නිසා කතන්දරගේ පොස්ට් එක ගැන මුකුත් කීමට බැරිය ].

    ReplyDelete
  16. කොහොමද බිංදි නංගි පෝස්ට් එක ඔය තරං සංවේදී උනේ. සමස්ථ ජාතියකට ගහනකොට නැති සංවේදී කමක් මේ එක මිනිහෙකුට තමුන්ගේ තත්වේ මතක් කරනකොට විතරද ඔයාලා සංවේදී වෙන්නේ.යසයි.

    ReplyDelete
  17. ඇයි මේවාට හොඳ සිංහල වචන තියෙද්දී ඉංග්‍රීසි යෙදුම් එහෙම පිටින් සිංහල හරවන් දඟලන්නේ?

    ReplyDelete
  18. දළදාව ගැනත් ඒකට මාළිගාව කියන පදය ආපු හැටි ගැනත් සුජීව කොකාවල කියපු දේවල්වලට යමක් එකතු කරන්න කැමතියි.

    කිත්සිරි මෙවන් රජ දවස දළදාව ලංකාවට වැඩම කරවීමත් එක්ක රජවරු තමන්ගේ රාජ්‍යයෙන් දළදාව පිදූ වග තමයි මූලාශ්‍රවල කියවෙන්නේ. ඒ වගේම ඊට පෙරත් ශ්‍රී මහා බෝධියට ලංකා දීපය පූජා කළ බවත් සාහිත්‍ය මූලාශ්‍රවල කියවෙනවා....

    මේ වගේ කරුණුත් එක්කම තමයි මේ රට බුදුන්ගේ රට රජතුමා බෞද්ධයෙක් විය යුතුයි. බුදු දහම සුරැකිය යුතුයි කියන සංකල්ප පෙරට එන්නේ.

    නිශ්ශංකමල්ලගේ ලිපිය එනවා රජුන්ගේ කාර්යය වෙන්නේ "බුදුන්ගේ දළදාව හා පාත්‍ර ධාතුව සුරැකීමයි" කියලා [මට මතක විදිහට මේක ලිව්වේ]

    ඒකේ වර්ධනීය තත්වයක් වෙන්නේ රාජ්‍යත්වය ලබාගන්න නම් දළදාව තමන් සතු කරගත යුතුයි යන මතය පැමිණීම.

    ඒකත් එක්කම තමන්ට රාජ්‍යත්වය ලබාගන්න උපකාරී වන පූජනීය වස්තුව පන වගේ රැකගන්න රජවරු කටයුතු යොදනවා. උදාහරණ විදිහට 1 විජයබාහු රජතුමා වේලයික්කාර සොල්දාදුවන්ට දළදාවේ රැකවරණය බාරදීම ඒ වගේම 1 පැරකුම්බා සුගලා දේවිය පරාජය කොට දලදාව ලබාගැනීම වගේ සිද්ධි දක්වන්න පුලුවන්.

    මේ කරුණුත් එක්ක පන්සලක දළදාව තැන්පත් කරන එක ආරක්ෂාව පිලිබඳ ගැටලුවක් නිසා රජ මාළිගයට ආසන්නයේම දළදාව තැන්පත් කරවන්න රජතුමා කටයුතු කළා.

    දඹදෙණියේ රජවෙන 3 වෙනි විජයබාහු රජතුමා බෙලිගල කරපු දළදා මාළිගාව ගැන මහාවංසයේ කියන්නේ මේ විදිහට " අහසින් දෙවියන්ට විනා පොළවෙන් සතුරු මිනිසුන්ට පිවිසිය නොහැකි වන පරිදි බෙලිගල දළදා ගෘහය කළා" කියලා. ඒකෙන් පවා දළදාවට ලබාදුන්නු ආරක්ෂාව පැහැදිලි වෙනවා.

    ඒ වගේම කලින් කිව්ව විදිහට තමන්ගේ රජකම තහවුරු කරවන්නේ දලදාව නිසා තමන්ට කරන පුද සත්කාර ඒ විදිහටම දළදාවටත් පවත්වන්න රජතුමා නියම කළා.

    දලදා සිරිත වැනි කෘති රචනා වුනේ ඒ පුද සත්කාර නිවැරදි විදිහට කරන අයුරු දක්වන්න

    "ඔතනට මාලිගාව කියන්නේ ශ්‍රී වික්‍රම ලා ඉඳලා තියෙන තැන හින්දා කියලයි මං හිතන්නේ." ඒ වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජවරුන්ගේ කාලෙට කලිනුත් දළදා මාළිගා තිබුණා කියලා තමා මූලාශ්‍ර කියන්නේ

    රජෙක් ඉන්නේ මාළිගාවේ ඒ කාරණෙත් එක්කම දළදාවටත් ජීවමාන රජෙක්ට සිදුකරන සැලකිලි සිදුකරන නිසාම දළදාව තැන්පත් කර ඇති ස්ථානයත් මාළිගාව කියලා හැදින්වූවා

    අනික දළදා මාළිගාවේ ස්ථීරව ඉන්න භික්ෂූන් වහන්සේලා නැහැ. තේවාව භාරවෙන පිළිවෙල අනුව තාවකාලික ලැගුම් ගන්න මල්වතු හෝ අස්ගිරි විහාරවල භික්ෂූන් වහන්සේලායි මාළිගාවේ වැඩ වාසය කරන්නේ.

    මේ වගේ කරුනු එක්කත් දළදා මාළිගාව පන්සලක් නෙමෙයි කියලා හිතන්න පුලුවන්......

    "ග්‍රීව ධාතුව තිබුණාය කියලා මයියංගනේ පන්සලට ග්‍රීව මාලිගාව හරි මයියංගනේ මාලිගාව හරි කියලා කියන්නේ නෑනේ."

    මේක නම් හොඳ තර්කයක්. ඇයි දළදාවට විතරක් මෙතරම් සැලකිලි කියලා. ඒකට මම නම් හිතන්නේ දළදාව අනිත් ශාරීරික ධාතු කොටස්වලට වඩා පූජනීය වෙන්නේ දළදාව බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ රැඳී තිබීමෙන් අසූ හාරදහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශ වුණු නිසා කියන අදහසින් වෙන්න ඕනේ.......

    ReplyDelete
  19. [[නිගම්බු]]

    ඉඳුනිල් බින්දී දෙන්නාට ආසන්න කතාවක් මාත් අහලා තියෙන්නේ. සුදු "මහත්තැන්" කෙනෙක් යනවලු කරත්තෙකින්, එතකොට ආවලු එ කාලේ ප්‍රාදේශීය නගරයක් වූ මීගමුවට. රෑ වෙලාලු එ වෙලාවේ. පොර කරත්තකරුගෙන් ඇහැව්වලු ඉංගිරිසියෙන් මෙතනට කියන නම මොකද්ද කියලා. ඔය ප්‍රශ්නේ අස්සේ එතන උන්නු බල්ලෙක් බුරාගෙන පැන්නලු. කරත්ත කාරයා හිතලා තියෙන්නේ මේක ගැන ඇහුවා කියලා. "මහත්තැන්" ගේ හිත රිද්දන එකත හරි නැති හින්දා කිව්වලු "නිකම් බුක් ගානවා හාන්දුවනේ" කියලා.

    ඇත්ත නැත්ත දන්නේ නැහැ. හැබැයි කැන්ගරුවට නම හැදිචච කතාවත් මේ වගේ. කියන්නේ නම් common myth කියලා.

    A common myth about the kangaroo's English name is that "kangaroo" was a Guugu Yimithirr phrase for "I don't understand you."[10] According to this legend, Lieutenant Cook and naturalist Sir Joseph Banks were exploring the area when they happened upon the animal. They asked a nearby local what the creatures were called. The local responded "Kangaroo", meaning "I don't understand you", which Cook took to be the name of the creature. The Kangaroo myth was debunked in the 1970s by linguist John B. Haviland in his research with the Guugu Yimithirr people.[11]

    ඔය පරංගියා යුද්දෙට දක්ෂ ප්‍රසිද්ධ මංකොල්ල ජාතියක්, ඕලන්දක්කාරයා කපටි කම තියෙන වෙළඳාමට [හා ඇලවල් "අල" කරන්නට] දක්ෂ ජාතියක්. ඉන්ගිරිසියාට එහෙම විශේෂණ නැහැ. මං හිතන්නේ ඉන්ගිරිසියා විහිළු සපයන්නෙක් කියලා. උදාහරණ කෙලෝ කෝටියට දෙන්න පුළුවන්. අපි දෙන ඒවා මදි නම් Asterix in Briton කියවා බලන්න.


    [[ආගම විවේචනය]]

    බුවා ඔබ කරන විවේචනය මාත් වෙනත් තැන්වලදී කරන දෙයක්. මං ආගමික යාන්ත්‍රණ වල ඇති කුණු කන්දල් ගැන ගොඩක් කතා කරන කෙනෙක්. එහි වරදක් නැහැ. එහෙත් කෙලින්ම අපහාස වන ඉහත වචනය වගේ එව්වා පාවිච්චි කිරීම වැරදියි. එතනින් වදින්නේ එම ආගම අදහන මිනිසුන්ගේ ආත්ම ගරුත්වයට. ආගමක අඩුපාඩු හදා ගන්න නිරාගමික අපි ඔවුන්ට බැනලා වැඩක් නැහැ. එ වෙනස එන්න ඕනේ ඔවුන් තුලින්. ඒ සඳහා ඔවුන්ගේ මනසත් එක්ක සන්නිවේදනයක් මිස හැරස්මන්ට් එකක් කලාට වැඩක් නැහැ. ටැබූ තුමා ඉඳලම ඔතන වරද්ද ගත්තා.


    [[සංවේදීතාවය]]

    මගේ මතය නම් කිහිප වරක් ම කිව්වනේ. හැබැයි ඒ හේතුව මත ලේඛකයාගේ පුද්ගලිකත්වයට හානි පමුණුවන වෛරී පුද්ගලික පලිගැනීම් වලට මා සහය දෙන්නේ නැහැ.

    ReplyDelete
  20. බුවා සහ මාතලන් අයියලාගේ කතා නම් හිතට කණගාටුවක්මය. ඔවුන් දෙදෙනා හැම කතාවකටම දේශපාලනය ඈදා ගැනියි. මෙතන කතා විය යුත්තේ දළඳා මාළිගයට වෙනත් නමකින් ආමන්ත්‍රණය කිරීම ගැනය. නමුත් ඔවුන් දේශපාලනයක් ගැන කතා කරයි. අනේ අයියේ මේ ආණ්ඩුව පෙරළුනායැයි කියා රට ස්වණමත් යුගයකට ගමන් කරනු ඇතැයි බලාසිටින අයියලා ගැන ඇත්තටම කණගාටුය. මොන ආණ්ඩුව ආවත් අයියේ මේ තත්වයක් මීට වඩා මහා ලොකු වෙනසක් වෙයි කියලා මට නම් හිතන්නේම නැත.

    මොක උනත් මෙතනදී කතා කරන්නේ වෙන දෙයක් ගැනය. ඒ වාගේම "දියවඩන නිලමේ තනතුර ලබා ගන්න කී ලක්ෂයක් වියදම් කලාද ? කී දෙනෙකුට බෝතල් පාටි දුන්නද ? තවත් සමහර අයට තවත් දේවල් දුන්නද කියල හොයල බැලුවද ?" ආදී වැරදි ගොන්නක් අරගෙන ඒ වැරදි එක්ක තවත් වැරදි සංසන්දනය කර පොඩි වැරැද්ද වරදක් නෑ කියන එක කොයි තරම් සාධාරණද අයියේ?

    මීට පොඩි එකෙක්

    ReplyDelete
  21. මං පෝස්ට් එකයි කොමෙන්ට්ස් ටිකයි කියෙවුව ඔන්න . . . . කියන්න දේවල් තිබුනත් නිකං තියන ** අතිං අරං තියාගන්න ඕනෙ නෑ . . .

    ReplyDelete
  22. සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවොත් ඌ හැරිලා දස්ඨ කොරන බව යලිත් වරක් පසක් කොර ගත්තෙමි.

    ReplyDelete
  23. ඉංගිරිසි කාරයා මොනවා කිව්වත් සිංහල අපි කියනකොට ඒ කියන ආකාරයෙන්ම කිව්වනම් තමයි හොඳ. ඩැන් බලන්න මහනුවරට ඉංගිරිසියෙන් Kandyan කියන්නේ නැතුව Mahanuwara කිව්වා නම් මොකද? නැත්නම් මමත් Kandyan කියන්නේ නෑනේ. මමත් නම වෙනස් කරන්න හිතලා බලන්න ඕන. මහනුවර හාදයා - Mahanuwara Man හරි කියලා.

    ඉන්දියන් කාරයන්ට නම් මොලේ පෑදිලා නම් වෙනස් කර්ගෙන කරගෙන ගියා. Bombay - Mumbai, Bangalore - Bangaluru, Madras - Chennai, Trvandrum, Thiruvanathapuram

    ReplyDelete
  24. සමාවෙන්න, "දැන් බලන්න මහනුවරට ඉංගිරිසියෙන් Kandy කියන්නේ නැතුව Mahanuwara කිව්වා නම් මොකද?" විය යුතුයි

    ReplyDelete
  25. @Ano
    ඕස්ට්‍රේලියා වට ආවත් මම සිංහලය.ගෙදරින් පිනට කකා ඉගෙන ගන්නවාට වඩා කටු කා එගෙන ගත්තෙක් මි.මූන වසාගෙන විත් කතා කියනවාට වඩා මම කෙලින්ම මගේ අදහස ලීවෙමි.එයට කතන්දර කාරයාවත් තව කවුරුවත් තරහ නොවනු ඇතැයි සිතමි.
    @බුවාට
    අනුන් වැරදි කරන නිසා තමන්ද වැරදි කිරිම හරිද? ආතල් එකක් ගැනීමට මෙය කලා නම් තව ටික කලකින් ආතල් එකක් ගැනීමට වැදූ මව සමග නිදාගැනීමටද හැකි වුන් බිහිවනු ඇත.කවුරුත් වැරදි නැත.ඒ තම තමන්ගේ සිතිවිළිය.ඔවුන් වපුරන තරමට අස්වැන්නද නෙලා ගනු ඇත

    ReplyDelete
  26. "නිගම්බු" නම හැදුන හැටි සුජීව සහ බින්ඩි කීව විදියටම, මමත් හුඟාක් ඉස්සර ඉඳල අහල තියෙන්නෙ. "දතේ පන්සල" කියන වචන දෙක කාලෙකට ඉස්සෙල්ල "ජේ. ආර්." පප්පත් පාවිච්චි කොරල තියෙනවා වගේ මතකයක් ඇත.

    ReplyDelete
  27. @ ඇනෝ..
    සංවේදී කිව්වේ කතාව පුද්ගලික පැත්තට යන හින්දයි. මන් ඉතින් කව්ද අනික් අය විවේචනය කරන්න . දතේ පන්සල කියන එක හරි නැහැ කියල මුලදීම කිව්වා . ඉන් එහාට තව මොනවද .

    ReplyDelete
  28. @සුජීව - ඔබේ කථාව හරි , මමත් සාමාන්‍යයෙන් ඔය මාතෘකාව ගැන වැඩි කථාවක් නැ , ටැබූ නිකන්ම ගෞතම , ගංගොඩවිල සෝම කියල ලියත්දී විරෝධය පල කරපු කෙනෙක් තමයි මම , මොකද ටැබූ ඒ යෙදුම් පාවිච්චි කරන්නේ අදාල පුද්ගලයින්ගේ දර්ශනයන් විවේචනය කරන්න නැත්නම් සමාජීය විවේචනයකට , සරල කතන්දරයකදි කරන හාස්‍යයක් කියන්නේ එක්තරා ආකාරයක කලා නිර්මාණයක් විදිහටයි මම නම් දකින්නේ , ඒ නිසා ඒක රසවිඳිනව එච්චරයි , මම නිර් ආගමිකයෙක් නෙවෙයි බෞද්ධයෙක් , හැබැයි පන්සල් දේවාල ගානේ මල් වට්ටි උස්සන් දුවන බෞද්ධයෙක් නම් නෙවෙයි ඒ නිසා තමයි අද රටේ ඇස් පනා විට බෞද්ධයින්ගේම සිද්ධවෙන අපහාස ගැන සටහන් කරේ , විචාරයක් කරන වෙලාවකට ඒක අපහාසාත්මක වීම අනුමත නොකලත් කලාවේදි සටහන් වෙන දෙයක් එතනින් එහාට තැකිය යුතුයි කියල මම නම් හිතන්නේ නැ .

    මතකද , ඉතාලියෙ වත් තහනම් නොකරපු ඩාවින්සි කෝඩ් අපි තහනම් කරා , අපේ අයගේ රසවින්දනය කියන්නේ මහ අමුතුම එකක්

    ReplyDelete
  29. http://www.youtube.com/watch?v=WLKk00OYKhU&feature=related


    කස්ස මහත්තයට නම් සැහෙන අවුලක් තියනව , ඔය වැදූ මව කැල්ල නැතුව මොකුත් ලියවෙන්නෙම නැද්ද හැබැට . යමක් බලල හෝ අහල රසවිඳීම කියල දෙයක් තියනව දන්නේ නැද්ද ? ඔන්න ඔය රසවිඳීම අල්ලල තමයි මහත්තයො මේ ලෝකේ කලාව කියල දෙයක් බිහිවෙලා තියෙන්නේ , ගල් යුගයේ ගුහාවල ඇඳපු චිත්‍ර වල ඉඳන අද දක්වාම මිනිස්සු බලලා හෝ අහල රසවින්දා නොහොත් ආතල් ගත්තා , කැමති නම් ඔය උඩින් තීයන විඩියෝව බලලා ආතල් එකක් ගන්න , ඔබතුමාගේ ආගම නොවෙන නිසා සමහර විට ආතල් එකක් ලැබේවී .

    ReplyDelete
  30. @කස්සා - අමතක වුනු කාරනයක් ,ඔබතුමාගෙ "වපුරන තරමට අස්වැන්න කාරනයට මම සම්පූර්නයෙන්ම එකඟයි කියල කියන්න ඕනි , ඒ නිසා අනුන් වපුරන ඒවා ගැන දුක් වෙන්න ඕනිත් නැනේ .

    @ඇනෝ(පොඩි එකා ) - මේකනේ සහෝ වැඩෙ , ලංකාවේ ආගමයි දේශපාලනයයි එකට ගැවිලා තියෙන්නේ , ඉස්සර රජකාලේ නම් ලෝකේ පුරාම එහෙම තමයි නිසා කමක් නැ කිව්ව හැකි , ඒත් දැන් නම් ලෝකේ ඊට වඩා දියුණුයි , හැබැයි අපි තාම එතන ඒ නිසා දේශපාලනයක් ඔතන තියනව . විශේෂයෙන්ම දලදා මාලිගාවේ ,
    දන්ත ධාතුව භාර ප්‍රධාන ගිහියගේ ක්‍රියා කලාපය ද වඩා වැදගත් , බ්ලොග් කාරයෙක් දතේ පන්සලය කිව්ව එකද ?
    ආණ්ඩුව පෙරලුනා කියල රට ස්වර්ණමය යුගයකට යනවයි කියල මම කොතනක හරි කියල තියනවද? පිස්සුද මල්ලි එහෙම වෙන්නේ නැ කීයටවත් , ඕං අර හාරපු නිදන්වස්තු වල රත්තරං එහෙම භාණ්ඩාගාරෙට දෙනව නම් සමහර විට එහෙම වෙයි හි හි .. ( ආන්ඩු මාරුවෙලා නිදන් හාරපු එකා බලයට ආවොත් )

    @ඔබා ජේආර් ලොක්කත් එහෙම එකක් කිව්වද ? සුවර් එකටම දින්නට පස්සෙ වෙන්න ඇති . ඡ්න්දෙට කලින් කිව්වා නම් පොර දින්න එක සැහෙන්න පුදුමයක්

    බලාගෙන ගියාම ඕනි නැති කථා කියන එක මව් පාර්ශවේ ජානවලින් ලැබුන එකක් වගෙ නේ ,අපේ වි.පස්ස නායක තුමාට

    ReplyDelete
  31. @ buwa ,
    එතකොට "උතුමාණන්" බවට පත් වෙලා

    ReplyDelete
  32. //සුද්දා කියූ ඕනෑම දෙයක් ඒ හැටියෙන්ම භාවිතාවට ඉඩ හැරීමේ පරාධීනත්වය හැර ඔතන වෙන දෙයක් නැහැ.//

    //ඇයි මේවාට හොඳ සිංහල වචන තියෙද්දී ඉංග්‍රීසි යෙදුම් එහෙම පිටින් සිංහල හරවන් දඟලන්නේ?//

    අනේ මන්දා, කතන්දරත් කට්ටියට ඇති තරම් කෙලෝගනිල්ලා කියලා පැත්තකට වෙලා බලාගෙන ආතල් එකක් ගන්නවා මගේ හිතේ... ඕවා හොඳද මං අහන්නේ...

    පෝස්ට් එකට වඩා කමෙන්ට් ටික අගේ බවද, යමක් කමක් දැන කියා ගත් බවද ශෝකයෙන් වුව සටහන් තබමි...

    තව තවත් මේ වැනි වලි අවුලුවන්නට කතන්දර පැස්ටෝල් ලැබේවා !!!

    ReplyDelete
  33. @ All
    මා කළ අපහාසයක් නැත.

    කළත් එය බාර නොගත්තොත් ආපසු යන බව බුදු හාමුදුරුවෝ එක්තරා බමුණුකෙකුට කියා ඇත.

    "මගේ මතය තමයි හරි මතය හරිද ඩෝ?" යන කියමනට සජීව උදාහරණ සැපයූ අයට මගේ ස්තුතිය.

    පිරුණු කලේ දිය නොසැලේ යන්න විදහා පෙන්වමින් කරුණු කාරණා පෙන්වා දුන් අනෙක් පාඨකයින්ට මගේ උපහාරය පුදමි.

    මෙහි තුන!වන ලිපියද ලිව්වෙමී. එය හවස හයට පබ්ලිෂ් වෙනු ඇත.

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  34. http://maruwaxx.wordpress.com/2011/09/12/සීතා-මමයි-ඔබේ-සිංහල-රාමා-sexual-comp/

    ලස්සන කථාවක් තියෙනව පුලුවන්නම් කියවා බලන්න..

    -ටැබූ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.