Tuesday 11 October 2011

ඥාණවතී ද පබාවතී ද? Beauty Vs Brains


දැන් අවුරුදු කීපෙකට කලින් අපේ යාළුවෙක් පොඩි විවාද සම්පන්න මාතෘකාවක් ගැන කවියක් ලියලා එව්වා.

පොර ලිව්වේ දැන් හැදෙන කෙල්ලෝ බුද්ධියට වඩා රූපය ගැන සැළකිළිමත් වෙනවාය, ඒකෙන් මුළු සමාජයම අගතියට යනවාය වගේ කතාවක්.

ඕක බලපු මටත් නිකං ඉන්න වෙලාවක (ඒ දවස්වල කතන්දර බ්ලොග් එක පටන් අරං තිබුනේ නෑනේ) හිතුණා පිළිතුරු කවියක් ලියන්න.

මෙන්න ඒ කවි පන්තිය. රනින් කමෙන්ට්‍රියක් එක්කම දෙන්නං කෝ!

මගේ තර්කය වුනේ රූපය නැත්තං බුද්ධියෙන් වැඩක් නැතිය කියන එකයි.

රූපෙ ද බුද්ධිය ද විමසන කලණ මිත
ඉවතට දමන් ඔය හණමිටි බමුණු මත
ලස්සන වත මිසක නොපතන් මුහුණු කැත
රූපය නොමැති තැන බුද්ධිය පලක් නැත


මේ ගැන දෙන්න තියෙන හොඳම උදාහරණය කුස ජාතකය.

පසේ බුදු කෙනෙකුට පූජා කරපු කැවුමක් උදුරගත්තු පවට මූණ කැත වෙලා ඉපදුනත් කුස ගේ හිත ගියේ හොඳට ඇහැට කණට පේන ගෑණු පරාණයකට නේ.

මහෝෂධ අමරාදේවි දැක්කාම කෙරුවා වගේ බුද්ධි පරීක්‍ෂණයක් කළ බවක් අපි අහලා නෑනේ.

දන් දුන් කැවුම උදුරා කෑ එම පවිනේ
කුස කුමරුගේ වත කැවුමක් ලෙස දිලූනේ
එද සඳවන් පබවත වෙත සිත බැඳුනේ
බුද්ධිය ඇති නිසා දෝ මට කියනු මැනේ


ඒ එක්කම කියවෙන කතාව තමයි කුසගේ මල්ලී ජයම්පතිව පෙන්නට පබා කෙල්ලව රැවැට්ටුව කියන එක.

සොයුරු ජයම්පති කඩවසමින් යුත්ත
පෙන්වා පබවතව රුවටූ බව ඇත්ත
බෝසත් කුස කුමරු පස් පව් දෙක දත්ත
ඇයි ඒ ලෙස කළේ මදකට සිත යුත්ත


දවල්ට ජයම්පතිව පෙන්නුවට රෑට වැඩේ අතේ කෝට් වෙන්න ඇතිනේ. වැඩේ දෙල් වුණාම පබා කෙල්ල කළේ ද්වේෂ සහගත ලෙස කුස කොල්ලව අතහැර යාමයි.

කුස නෙමේ වැඩේ අතහැරියේ. අවුරුදු හතක්ම පබා ගේ ගෙදර බැල මෙහෙවර කළා!

හැබැයි අන්තිමේදී කැවුම් මූණත් සක්‍රයා ගේ පවර් එකෙන් නැති කරගත්තා.

ආපසු ගිය කලේ පබවත ඔහු හැරදා
සත් වස් බැල මෙහෙය කළ බෝසත් සමිදා
සක් දෙව් බලෙන් අවසන සිය පව් පිසදා
රූපය වටින බව පෙන්නුව නොවෙද එදා


රූපසම්පන්න පබාව දිනාගන්න හත් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරපු කුස, පස්සේ සිදුහත් කාලේ බුදුවෙන්න දුෂ්කරක්‍රියා කලේ අවුරුදු හයක් විතරයි!

පසු කල සිදුහත් ව ඉපදී බුදු වෙන්න
උපරිම බුද්ධි මට්ටම ලැබ සැනසෙන්න
සය වසරක් පමණි වුනෙ දුක් විඳගන්න
බුද්ධිය දෙවෙනි වේ රූපෙට පිළිගන්න


රූපෙ ලබාගන්න එකද අමාරු? බුද්ධියද ලබා ගන්න එකද අමාරු?

මං කවි පන්තිය අවසාන කළේ මෙන්න මෙහෙමයි!

කුරුලෑ පිරුණු කළු කැත මූණක් කිසිදා
ලැබුනොත් බොමිය වදකහ මා හිරු නැතිදා
අදහන මුත් නොතිර බව දෙසු බුදු සමිඳා
ඥාණවතී කුමටද මට පබා හොඳා


-කතන්දරකාරයා

ප/ලි:
මගේ තර්කයේ වරදක් තිබේ නම් කෝප නොවී කරුණු පහදා දෙන මෙන් ඇනෝලා ගෙන් ඉල්ලමි.

සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා!

(image: http://www.sundayobserver.lk/2008/11/02/spe06.asp)

42 comments:

  1. බියුටි ඇන්ඩ් ද බීස්ට් කීවෙත් මේ වගේම කතාවක් නෙව....

    ReplyDelete
  2. රූපය මිසක ඥානයෙ උවමනාවක්
    ගැහැණුන් හට කුමටද කල්පනාවක්
    යනවිට උකුළ නලවා පා සිනාවක්
    පිරිමින් වන්නේ ඇයිදෝ මේ මුලාවක්

    අහල නැද්ද, කවුදෝ , කොහෙදී දෝ කියල තියනවා , පිරිමින්ගේ බුද්ධිය බින්දුවට බහිනවලු, උපරිමයෙන් ආදරය කරද්දි....

    අනික පිරිමි කැමැති ලස්සන ගැහැණුන්ට වීම නිසාම වෙන්න ඇති ගැහැණු මේ තරම් ලස්සන වෙන්න දගලන්නේ..

    ReplyDelete
  3. වත්ගේ කතාව ඇත්ත. ඒත් ඔය දෙකම 50% ගානේවත් තිබුනොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. ඔය පබාවතීලාව බඳින්ට කැමතිවෙන පිරිමි දැන් කාලේ අඩුයි.(ආදරය??? කරන්ට විතරක් නම් ප්‍රශ්නයක් නැහැ.)

    ඥානපබා ලා තමයි දැන් කාලෙට හරියන්නේ. පබාවතීලවත්, ඥානවතීලවත් නෙමෙයි.

    ReplyDelete
  4. පළමුව රූපයටයි පිරිමින් තැන දෙන්නේ..
    සිරුරේ උස්මිටි තැන් නියමෙට බලමින්නේ...
    කල්ගතවන විට පිම්බුන තැන් හැකිලෙන්නේ..
    එවිටයි පිරිමින්ට ඥානය ඕනෑ වන්නේ....

    ReplyDelete
  5. "Brain is more important than beauty. Brain is real & tangible, and beauty is imagined, seen, but not tangible"

    මම නෙමේ කියලා තියෙන්නේ....:D

    මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්ට ඕනි පිරිමි. ගෑනු අපි නෙමෙයි.

    ReplyDelete
  6. සුරංගනා කතා වල පවා , ලස්සන කුමාරියො තමයි ඉන්නේ.

    කැත යක්ෂ මෘග මූණු තියෙ කුමාරයො මිසක් කුමාරියො හිටියෙ නැහැ. ගෙඹි කුමාරයො මිසක් , ගෙඹි කුමාරයෝ හිටියේ නැහැ....අන්තිමට මෙයාලත් ලස්සන වෙනව මිසක් ,කවදාවත් එයාල ඒ වගේ කැතට ඉද්දි කතාව ඉවර වෙන්නෙත් නැහැ.

    අර කවුද විද්‍යාඥයෙක් විතරයි මම දන්න තරමින් රූපය ගැන එතරම් තැකීමක් නොකරපු ප්‍රසිද්ධ කෙනා....
    “බැරි වෙලාවත් ඔබේ මොළය සහ මගේ රූපය තියෙන කෙනෙක් ඉපදුනොත්“ කියල කීවේ අන්න එයා........

    ReplyDelete
  7. ලස්සන කියන දේ සාපේක්ෂයිනේ!

    රුවැති ලඳ ළඟ ගුණ නැත
    ගුණැති ලඳ ළඟ රුව නැත

    ReplyDelete
  8. සොඳුරු සිත - ඒ බර්නාඩ් ශෝ මහත්තයා නේද?

    ReplyDelete
  9. මම හිතන්නේ ඔය දෙකම 50:50 වගේ තියෙනවනම් හොඳයි...

    කොච්චර බුද්ධිය තිබුනත් පාරෙ එක්කයන්න බැරිනම් වැඩක් නෑනේ... අනික් අතට කොච්චර ලස්සන වුනත් තේරුමක් නෑ ගොං ගහක් නම්... ලොල්

    මොනව වුනත් කවි ටික නං පංකාදු 5 යි!!!

    ReplyDelete
  10. ඕකට කරන්න තියෙන්නෙ බොහොම සරළ දෙයක්... (මේ මං වගේ) බුද්ධිය තියෙන එක්කෙනෙකුයි - රූපය තියෙන එක්කෙනෙකුයි දෙන්නෙක් තියා ගන්නවා..තමන් බුද්ධිමත් නම් දෙන්නට දෙන්නා මුණ ගැහෙන්නෙ නැති වෙන්න තියා ගන්නවා....
    වැඩේ අහු වුනත් ඉතිං දාලා යන්නේ බුද්ධිය ඇති එක්කෙනා නෙ... රූපය ඇති මැටි කඳ ළඟ ඉඳී නෙ....

    ReplyDelete
  11. ගීතක සමග එකඟය්.

    උඩ පින්තුරෙ ඉන්න දෙන්න, මෙහෙදි දැක්ක අවරුදු 2-3 කට ඉස්සෙල්ල. වයස ගියාට ඒ නෝන නං අවලස්සන වෙලා කියල හිතුන් නැහැ, හැබැය් ෆුල් මේකප් දාල ස්ටේජ් එකේ හිටියෙ, තව ඉතිං කොච්චර මුක්කු, කරු, එහෙම ගහල තිබ්බද කව්ද දන්නෙ?

    ReplyDelete
  12. මම නම් හිතන්නෙ නෑ කතන්දර බුදු හාමුදුරුවොන්ගේ චරිත කථාවෙන් හෝ ජාතක කතාවෙන් ලස්සන ඕන කියලා තර්කයක් ගන්න පුලුවන් කියලා. මොකද බුදු හාමුදුරුවො හැම වෙලේම කීවේ රූපය අනිත්‍යයි කියලනේ. ඒක නිසා ගත්ත උදාහරණයෙන් නම් තර්කය 100%ක්ම ඔප්පු වෙනව කියලා කියන්න අමාරුයි නේද?

    මොනා වුනත් කවි පෙළ නම් නියමයි. :) :D

    ReplyDelete
  13. දරු සම්පත් පතමින් ආ බිසව වෙත
    ඔප්ෂන් දෙකක් දුන්බව මට මතක ඇත
    අයකුන් බුද්ධිමත් එනමුත් රුවක් නැත
    අනෙකා රුවසපිරි උනමුත් මොළය නැත

    පළමුව කුමන පුතු රිසි දැයි ඇසූවාලු
    කුස මව් බිසව මුල් වරණය කීවාලු
    දෙටු පුත් ලෙසට කුස ඒ ලෙස ලැබුණාලු
    ජයම්පතිකුමරු ඉන්පසු උපන්නලු

    කුස මව් බිසව තැන දුන්නේ බුද්ධියට
    කවි ටික ලීවේ ඒබව සිහි කරන්නට
    තව එක දෙයක් ඇ ඔබ හට කියන්නට
    දුෂ්කර ක්‍රියාවෙන් නොහැකිය බුදු වෙන්ට

    ReplyDelete
  14. මෙතෙන්ට බුද්ධත්වයට පත්වෙන්ට අවුරුදු හයක් ගියා කියලා ගත්ත එක වැරදියි.
    කතන්දර මාමා නෙවේද දන් නෑ මේක ලීවේ?
    කවුරු වුනත් දුෂ්කරක්‍රියාව කොච්චර කටුක දෙයක්ද සහ,
    එය කරේ කුමක් නිසාද යන වග සෙවිය යුතුයි.
    ඒ කියවවුවොත් ඕනෑම කුඩා හෝ පැහැදීමක් ඇති කෙනෙක් බෙහෙවින් සංවේගයට පත් වේවි.

    ReplyDelete
  15. අයියෝ ඉස්සර කාලෙට කොහොම උනත්, දැන් නම් මේක හරිම සරලයි.
    වටින්නේ බුද්ධිය. මොකද දන්නවද, බුද්ධිය පාවිච්චි කරොත් කැත කෙනෙක් උනත් ලස්සන කරලා පෙන්නන්න පුළුවන්.
    මේක කිව්වේ මම නෙවෙයි. Miss World හරි Miss Universe තරගෙක අවසන් වටයේ හිටිය සුරුපිනියක් ('if you have brains, you can get both beauty and wealth'). කව්ද කියල මතක නම් නැහැ. අවුරුදු 10 ට විතර කලින්.

    ReplyDelete
  16. රුව කත ගුණ නැත
    ගුණ කත රුව නැත
    මේ දෙක ඇති කත
    ළඟ පතිවත නැත

    ReplyDelete
  17. ඕක මහ පැටලෙන දෙයක්නේ කාකා...

    ලස්සනනං ඔය සාපේක්ෂයි කිව්වට හුග දෙනෙකුගේ මිම්ම සමානයි කියලයි මගේ අදහස.. එහෙමත් එකෙක් දෙන්නෙක් විතරයි ඒ මිම්මෙන් පිටට යන්නේ..

    බුද්ධිය කියලා කිව්ව දේත් මට පැහැදිලි මදි වගේ..සමහර විට ඒ මං ගොං තඩියෙක් වෙන හින්දා වෙන්ට ඇති. සමහරුන්ට හොඳ දැනුමක් අධ්‍යාපනයක් තියෙනවා..ඒත් ජීවත් වෙන්ට දන්නේ නැහැ..සමහරු හොදින් ජීවත් වෙනවා..ඒත් අධ්‍යාපනය බින්දුවයි.. දැන් ඔය බුද්ධිය කොයි වගේ විය යුතුද කියලා මේ අපි වගේ හුදී ජනයින්ගේ ලාම්පු සංවේගය වෙනුවෙන් පැහැදිලි කරලා දෙන්ට..

    ReplyDelete
  18. ඔයාල බුද්ධිය සහ ලස්සන ගැන විතරක් කතා කරන්නෙ ඇයි..? ඔය දෙකම නැති වුනත් ....
    ගෑණියෙක්ව බොහෝ කලක් හෝ ජීවිත කාලෙට ම පිරිමියෙක්ගෙ ලඟ රඳවා තබා ගැනීමට එයාගෙ කාමාසක්තභාවයත් වැදගත්.

    ReplyDelete
  19. පුදුමයි ... කතන්දරට දාපු කමෙන්ට් එක හරි ගියානෙ.....

    ReplyDelete
  20. ඔය දෙකම බාගෙට බාගේ තිබ්බොත් හොඳයි නේද . මේ අපි වගේ..!! වැඩියම මොලේ තිබ්බොත් පිරිමින්ට අපලයි . රූපේ වැඩි වුනොත් හැමදාම බයේ ඉන්න වෙයි. තමන්ගේ කැමැත්ත තමයි ඉතින්. එංගලන්තේ රුප රැජින කාකියලතිබ්බ එයාට පෙම්වතෙක් නැහැ කියල . කාලෙකට කලින්

    ReplyDelete
  21. මොන තරම් කැත පිරිමි සතා වුණත් බලන්නේ ඇහට කණට පේන කෙල්ලෙක්ව අල්ලගන්නනේ කතන්දර.. අහලා නැද්ද ඔය කතාවක් තියෙන්නේ, 'ඇපල් කන්නෙම පණුවො කියලා..'. පුරුෂ ප්‍රාණියෝ කෙල්ලෙක්ගේ මොළේ කියලා බලන්නේ වෙන තැනක් නේ නේද....
    දැන් ඔය නිළියෙකුත් ඉන්නේ අටේ පන්තිය විතරක් පාස් වෙලත් උගත් දොස්තර මහත්තයෙක් බැඳගෙන.. අර ඔඩෙල් එක්කෙනා.. හරියට පාවිච්චි කළා නම් ගැහැණියෙක්ගේ ලස්සනෙන් ගොඩක් වැඩ ගන පුලුවන්..

    ReplyDelete
  22. 50:50 වගේ තිබ්බොත් හොදා මං හිතන්නෙ...

    ReplyDelete
  23. කකා රූපෙ විතරක් තිබ්බම ඇති කියල දොස්තර නෝනෙක්ටම කොක්ක ගැහුවෙ මොකෑ?

    කියනකොට කවුරුත් එහෙමයි කරනකොට මෙහෙමයි.

    රූපෙද නුවණද කිව්වොත් බඳින කෙනා එහෙම සරළ කරුනක් මත ඉරක් ගහල ගන්න මිනිහ බුද්ධිමත්ද කියන එක ගැන ආයෙ හිතන්න වෙනව.

    මොනව උනත් සෙක්සි නැති කෙල්ලෙක්නං වැඩක් නෑ තමයි.

    ReplyDelete
  24. ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන පිරිමි පර්ශවයම තමය්.කොච්චර වුනත් අවලස්සන ගැහැනියක් කසාද බදින්න පිරිමි කැමති වෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක් එත් වත්කමත් හොද වුනොත් තමය්.හැබය් පස්සේ තමය් ගෝරනාඩුව පටන් ගන්නේ අපෝ "මේ ගැනිට මොලේ කළදක්වත් නෑ කියල.එත් තමන්ට වඩා බුද්දියෙන් වැඩි ගැහැනියක් කසාද බඳින්නත් පිරිමි බොහොම අකමතිය්.මේ තමය් සබැ තත්වේ :)
    *වසිලිස්සා*

    ReplyDelete
  25. ඔය දෙකම තියෙනවානම් තමයි වැඩේ ගොඩ. නැත්නම් ඉතින් එහෙන් මෙහෙන් කශිලි යන සම්භාවිතාවය වැඩියි. අපේ හාමිනේ නම් කැතත් නෑ මෝඩත් නෑ..මමත් ඒ වගේනේ :-) ජාඩියට මූඩිය වගේ!

    ReplyDelete
  26. රූපෙයි බුද්ධියයි දෙකම තිබිල වැඩන් නෑ ප්‍රෆෝමන්ස් නැත්තං

    ReplyDelete
  27. මාත් එකග, 50ට 50 - සංකල්පයට තමා.

    ReplyDelete
  28. මගේ අදහස නම් කතන්දර අයියේ ඔය දෙක ප්‍රතිලෝමව සමානුපාතිකයි කියන එක.....

    ඒ වුනාට විශේෂ අවස්ථා පවතිනවා.....

    ReplyDelete
  29. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    කාලය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා එක උත්තරයක් දෙන්න අවසර.

    1. මං ප/ලි කොටසේ ඉල්ලපු විදියට ඇනෝලා නිහඬ වෙලා වගේ. මං සබ්බේ සත්තා ආහාරට්ටිඨිකා කියලා කිව්වේ ඕනෑ පරිප්පුවක් කන්න ලැහැත්ති වෙලයි.

    2. කාන්තා පක්‍ෂයේ ප්‍රතිචාර වැහි වැහැලා. අවංකාව කියනවා නං මාත් අති සුන්දර ලලනාවන්ට වැඩි කැමැත්තක් නෑ. තැඹිලි වලට මොකටද කපුටෝ?

    3. මගේ තර්කය වුනේ කුස කතාව විතරයි. මහෝෂධ කාලේ හෙව්වේ බුද්ධිමත් (සහ ඉවසිලිවන්ත) කාන්තාවක් නේ. මගේ තර්කය ඔප්පු වෙන්නේ අවුරුදු හතක් බැලමෙහෙවර කිරීම නිසයි.

    4. රූපය විතරක් නෙමේ අනිත්‍යය, ඩිමෙන්ෂියා හැදුනොත් බුද්ධියත් ඉවරයි!

    5. දුෂ්කරක්‍රියාවෙන් බුදුවෙන්න බෑ කියලා අද අපිට අපරදෘෂ්ඨියෙන් කියන්න පුළුවන්. නමුත් සිදුහත් තවුසා ඒක දැනගෙන හිටියේ නෑ නේ. ඒ බව තේරෙන්න බුද්ධිය එන්න අවුරුදු හයක්ම දුෂ්කරක්‍රියාකරන්න වුණා.

    6. බුද්ධියේ උපරිමය වන බුදුබව ගන්න අවුරුදු හයයි ගියේ. පබාව ගන්න හතක් ම ගියා.

    7. බුද්ධිය යනු ඉගෙනීම නොවේ. උපාධි නොවේ. මගේ කවියේම ඒ බව කියා ඇත.

    8. බුද්ධියත් රුපයත් දෙකම තිබුණත් පර්ෆෝමන්ස් නැතිනං වැඩක් නැතිබව කියූ ඕනයාට මගේ දවසේ ත්‍යාගය හිමිවේ!

    ReplyDelete
  30. 5. දුෂ්කරක්‍රියාවෙන් බුදුවෙන්න බෑ කියලා අද අපිට අපරදෘෂ්ඨියෙන් කියන්න පුළුවන්. නමුත් සිදුහත් තවුසා ඒක දැනගෙන හිටියේ නෑ නේ. ඒ බව තේරෙන්න බුද්ධිය එන්න අවුරුදු හයක්ම දුෂ්කරක්‍රියාකරන්න වුණා.

    6. බුද්ධියේ උපරිමය වන බුදුබව ගන්න අවුරුදු හයයි ගියේ. පබාව ගන්න හතක් ම ගියා.

    අනේ කතන්දර මාමේ බණ නැතුව කතා විතරක් දාන්න යැයි
    අයදිමී.

    ReplyDelete
  31. @ඕනයා
    නියම උත්තරේ ...

    ReplyDelete
  32. දන්නා හැටියටයි මේ පද ගලපන්නේ
    නොදන්නා නිසයි මේ ගැන විමසන්නේ
    නෙක පෙරුමන් පිරූ සිතකට සංසාරේ
    ගැහැනියකගෙ සිතක් කොහොමද සසඳන්නේ


    සෙලවෙන නිසල හැම ලස්සන රුවක් සතූ
    ඇතිවන හැම දේම නැතිවන දහම පොදූ
    අත් හැර දමා දුක් දෙන පිළිවෙත නිසරූ
    හිමි බුදු උනේ දැනගෙන තුන් ලෝකේ තතූ

    ReplyDelete
  33. හෑම දෙනාටම රෑපයක් තියෙනවනේ ... ඒ වගේම බුද්ධියත් තියෙනවා...
    ඒත ඔවුනොවුන් අතර අවබෝධය නෑත්නම් ඉතින් චුයින්ගම් වගේ තමයි... ( හපලා හපලා විසික් කරන්න තමා වෙන්නේ )

    ReplyDelete
  34. අපි ඕනයගේ input එකත් දාලම ratio එක මෙහෙම හදමු
    රුපය : නුවන : Performance
    30 : 30 : 40
    කොහොමත් performance පැත්තට වැඩි weight එකක් දෙන්න ඕනෙ නෙව.

    ReplyDelete
  35. spelling mistake එකක්
    නුවන කියන්නේ ඇස. හරි වචනේ නුවණ මම හිතන්නේ.

    ReplyDelete
  36. රටේ සමාජයේ ජීවත් වෙලා ඉන්න පුලුවන් තරමට නුවණකුයි . කැත නැතෙයි කියලා කියන්න පුලුවන් පෙනුමකුයි තිබ්බාම මදැයි ..

    ඉතින් ඔවුවා ලැබෙන්නේ පෙර ආත්මේ කල කී දෑ අනුව තමා

    ඒත් රතුම රතු ඇපල් ගෙඩි කන පණුවෝ එහෙමත් ඉන්නවා නේද ?

    ReplyDelete
  37. අපූරු කවි ටික

    ReplyDelete
  38. බොරු කියන්නේ මොකටෙයි.. මන් කැමති ලස්සනට.. මොලේ චුට්ටක් එක්ක තියෙනවානම් හොඳයි ඉතින්..

    ReplyDelete
  39. ඕක අමුතු දෙයක් නෙවෙයි. ක්‍රිකට් ගහන හැමෝම දන්නවා අනාදිමත් කාලයක ඉඳලා ක්‍රිකට් පිතිකරුවෝ ලිංගේන්ද්‍රිය වහගන්න පලඳනාවක් අඳිනවා කියලා. බ්‍රැඩ්මන්ගේ වුනත් පරණ ෆොටෝ දැක්කම පේනවා අසාමාන්‍ය ලෙස ඒ ප්‍රදේශය පිම්බිලා තියන්නේ ස්වභාවික හේතුවක් මත නොවෙයි කියලා.( ඒ සාමාන්‍ය තත්වය කියලා හිතලද දන්නේ නෑ සමහර ගැටිස්සියෝ ක්‍රිකට් ක්‍රීඩකයින්ට වහ වැටිලා ඉන්නේ?! )
    හැබැයි කවුරුත් දන්න දෙයක් තමයි, පිතිකරුවෝ හිස් ආවරණ ( හෙල්මට් ) දමන්න පටන් ගත්තේ හැත්තෑ ගනන් වල සිට කියන එක. මට මතක හැටියට චැට්ෆීල්ඩ් කියන නවසීලන්ත ක්‍රීඩකයකගෙ ඔළුව එංගලන්තේ බොබ් විලිස් ගේ පන්දුවකින් හිල් වෙලා බොහොම අමාරුවෙන් ගොඩ ආවට පස්ස්සෙ තමයි හෙල්මට් පිටියට ආවේ. ක්‍රිකට් ක්‍රීඩකයෝ අතර ආචාර්ය මහාචාර්ය වෛද්‍ය වගේ ක්ෂේත්‍ර වල අය දැනට වඩා ඒ කාලේ නිරත වුන නිසා හෙල්මට් නොදැමීම හුදු නොසලකා හැරීමක් කියලා හිතන්නත් බෑ. ඒ වගේම බවුන්සර් පන්දු එවීම 1930ස් ගනන් වල ඉඳන් ම සිදු වුන හින්දා එහෙම අවදානමක් කලින් නොතිබුනා කියන්නත් බෑ.
    මේකට තියෙන්නේ එකම පැහැදිලි කිරීමයි

    "පිරිමිසතා ට මොලේට වැඩිය වටින්නේ XX තමයි "

    ඒ හින්දා තමයි පිරිමිසතා බඳින්න පබාවතී ම හොයන්නෙ. ඒත් ඉතින් ගෑනුසතා නම් එහෙම නෑ, එයා හොයන්නේ පබා වගේම පබා ගෙ බබා වත් බලා ගන්න පුළුවන් කෙනෙක්. ඊට පරිබාහිර අවශ්‍යතා සපුරන්න බබාගෙ තාත්තිම ඕන නෑනෙ!

    ReplyDelete
  40. aththa thama pabalawa laba ganna amarui ... mage kellagea nik name eakath Paba .. :P

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.