Thursday 6 October 2011

"බීෆ් කතන්දර ස්ටයිල්" සමග "පිරිමි මස් උයන්න දක්‍ෂයෝ ද?" - Are men better cooks (Beef KK style: recipe included)


ගෑණු හුඟ දෙනෙක් කියන කතාවක් තමයි පිරිමින්ට පුළුවන් කියලා හරිම රහට මස් උයන්න.

පරිප්පු කාපු හැටි කියලා මං මේ වෑන්ජං-කතන්දර දාන්න පටන් ගෙන, දෙවෙනි රෙසිපිය (බීන්ස් වීත් පීනට්ස් ඇන්ඩ් සෝයි සෝස්) දාපු වෙලේත් සමහරු එහෙම කිව්වා!

මට හිතෙන විදියට මේ කතාවේ ඇත්තක් වගේම පොඩ්ඩක් විතර මුලාවකුත් තියෙනවා.

ඇත්ත මේකයි. පිරිමි තමයි මුළු ලෝකේ හැම තැනකටම වාගේ උයන්න දක්‍ෂ අය. හොඳ ලොකු හෝටල්වල විතරක් නෙමේ පොඩි ටවුන්වල තියෙන මාතර හෝටලයේ පවා චෙෆ් ලා, කෝකියෝ, බක්කරේ ලා සේරම පිරිම මිස ගෑනු නෙමේනේ.

නමුත් ඉතිං සමාජය ගොඩ නැගුනේ බහුතරයක් මිනිස්සු වැඩට යන්නයි, ගෑනු ගෙදර ඉඳන් දරුවන් බලාගන්නයි හින්දා, ගෙවල්වල උයන වැඩේ ගෑනුන්ට බාරවුණා. අපේ තාත්තා රැකියාව කළා. අම්මා නිවසේ වැඩකටයුතු කළා!

දැන් අපේ ගෙදර හාමිනේත් මාත් දෙන්නම පූර්ණකාලීනව රැකියා කළත්, ඉවීමේ වගකීම බොහෝ දුරට අයිති හාමිනේටයි. පැවරෙන පරිදි මංතුමා හැදුවොත් හදන්නේ ඉතිං මස් තමයි.

මට මතකයි අපේ ඇන්ටිලා ගේ, අංකල්ලා ගේ, ගෙවල්වල පවා, මස් කන අය අතර, මේ විදියට පිරිමි තමයි මස් හදන්නේ.

මේකේ තියෙන මුළාව තමයි, පිරිමින්ට හොඳට මස් හදන්න පුළුවන් කියලා නිතරම කිව්වාම, මිනිස්සුත් ඒ වැඩේ ඇඟෙන්ම බාරගන්නවා.

ඒ පංඩිතකම් ඇති.

මෙන්න මගේ බීෆ් කතන්දර ස්ටයිල් රෙසිපිය. මේ රෙසිපිය බීෆ් පමණක් නොව මටන්වලට පවා යෝග්‍ය වේ.

මගේ රෙසිපිවල එක එක අමුද්‍රව්‍යවල ප්‍රමාණයන් සඳහන් කර නොමැත්තේ අතපසුවීමකින් නොවේ. තම තමන්ම ඒවා තීරණය කර, භාවිතාකර රිසි පරිදි සකසාගත යුතු නිසාය.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය

හරක් මස්
ලොකු ලූණු, සුදු ලූණු, කරපිංචා, තක්කාලි
මිරිස්කුඩු, කහ කුඩු, තුනපහ කුඩු
සෝයා සෝස්
අර්තාපල්
තෙල් (මා දාන්නේ කැනෝලා තෙල් ය)

ගෙදර තිබුනොත් දාන්න
කරදමුංගු, කරාබුනැටි
ගම්මිරිස්, අබ
ඉඟුරු

මෙන්න සාදන ක්‍රමය
මස් ටික ඝණ සෙන්ටි මීටරයේ පමන කැබලිවලට කපාගන්න.


මිරිස්, කහ, තුනපහ, ගම්මිරිස් කුඩු, කරපිංචා, කැපූ සුදු ලූණු, කැපූ ලොකු ලූණු එයට එකතු කරන්න. කරදමුංගු, කරාබුනැටි ද එකතු කළ හැක.


දැන් මෙයට සෝයි සෝස් ස්වල්පයක් දමා අනාගන්න.


සාස්පානට තෙල් දමා රත්කර, අබ දමා පදම දැන එයට මස් මිශ්‍රණය දමා හොඳින් තෙම්පරාදු කරන්න.

මස් තරමක් ඉදුණු පසු එයට මස් කැබලිවල ප්‍රමාණයටම කුඩාවට කපා ගත් අල කැබලි දමා වසා තැම්බෙන්න අරින්න.

මස් ඉදී, හොදි සිඳුණු පසු ලිපෙන් බාන්න.


මෙය ඔබේ බිරිඳ ප්‍රියකරන ආහාරයක් වනු ඇත. එලෝළු ජීවිතවලට අදාල නොවේ!

අයිස් ටී අවශ්‍ය අයට පමණක් පානය කළ හැක.


මෙන්න පොඩි උපදෙස් මාලාවක්.
1. සෝයි සෝස්වල ලුනු අඩංගුය. අමතර ලුනු අඩුවෙන් දමන්න.
2. අර්තාපල් කැබලි තැම්බී ඇති නං මස් හොඳින් ඉදී ඇත.
3. අර්තාපල්වලින් මස් හොදිවලට අපූරු උකු බවක් ගෙන දෙයි.
4. සෝයි සෝස් දැමූ මස් මිශ්‍රණය පැය කීපයක් ශීතකරණයේ තබා වඩාත් හොඳින් පදම්කරගත හැක.
5. මස් කැබලි සහ අල කැබලි එක ප්‍රමාණයට කපා ගැනීමෙන් අවසන් නිෂ්පාදනයට හොඳ පෙනුමක් ලැබේ.

-කතන්දරකාරයා

ප/ලි:
එදා මංතුමා අල හොද්දක් ද සෑදූමුත් ඒ ගැන ලිවීමට අදහසක් නැත.

හැබැයි ඊයේ බොම්බිලි කරෝල නං ඉව්වා! ඒ ගැන නම් ලියන්න හිතයි.

(image: http://www.sritv.lk)

43 comments:

  1. මස් එක නම් හෙට අනිද්දම ට්‍රය් කර බලන්න ඕනෙ.

    //මේකේ තියෙන මුළාව තමයි, පිරිමින්ට හොඳට මස් හදන්න පුළුවන් කියලා නිතරම කිව්වාම, මිනිස්සුත් ඒ වැඩේ ඇඟෙන්ම බාරගන්නවා//
    අම්මප අපි වගේ හරක්, ගෑනු හොඳ හින්ද ජීවිත බේරගෙන ඉන්නෙ බලාගෙන ගියාම, නැත්තං මසට මරන්නත් ඉඩ තියෙනව කියල හිතෙනව....හිකිස්...

    ReplyDelete
  2. එපා එපා මස් කන්නට කිරි අම්මාගේ!

    ReplyDelete
  3. අප්පච්චියේ කතන්දරත් දන්න ජාති. මස් දීසිය ලස්සනේ බැරුවා. (මස් කන්නේ නැති උනත්, රහට ඇති කියලා බලපු හැටියේ පේනවා) ලඟක, පාතක හිටියා නම් කතන්දරගෙන් උයන්ට ඉගෙනගන්ට තිබුනා.

    මුලාවක් නෙමෙයි. පිරිමි උයන්ට හරිම දක්ෂයෝ. ඒත් උයන පිරිමි තමා දකින්ට නැත්තේ. ඔයා ඔය මටන් තියෙන්නේ එලු මස්ද? බැටලු මස් (lamb)ඔය විදියට හදන්ට පුලුවනිද? නෑ, මම මේ මස් අනුභව කරන අනෙක් අයගේ යහපත සඳහායි ඇහුවේ.

    බොම්බිලි කරවල උයලා??? ඊඉෂ්හ්හ් :D:D:D

    ReplyDelete
  4. වැඩි හරියක් චෙෆ් ල පිරිමි නේන්නම් .

    ReplyDelete
  5. හැමෝම කියන්නෙ පිරිමි හොඳ කුක් ල කියලයි. අනේ බලන්න පිරිමි මුරුංගා අත්තෙ තිබ්බහම කර ගන්න පුළුවන් වැඩ...
    ඔබ්සර්වර් අයියගෙ කතාව එළම තමයි !

    ReplyDelete
  6. කපීකේකි6 October 2011 at 07:43

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නො දන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ//

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ
    එවන් සතකු අහෝ අකාලයේ කිමද මරන්නේ
    ටිකක් හිතල බලනු ඌ පිරිසුදු තණ කොළ කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් උයලා
    බලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලා
    ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුණා ද ඔබ කළ පව් දුර දිග නොබලා

    මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ
    අහිංසක සතෙකුගෙ ඉරණම ඉන් පසු විසඳෙන්නේ
    යළිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ
    තමන් විකුණපු ගවයාගේ මස් බව නෑ ඔහු දන්නේ

    ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරු වන්නේ
    මෙවන් සතෙකුගෙ මස් නො කන අයට සෙත සැලසෙන්නේ
    එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ”

    ReplyDelete
  7. එහෙනං ඉතින් කුකුලා ගෙන් වැඩ ගන්න බැරි හින්දා. සතා පොඩි හින්දා උෟව මරාගෙන කෑවම අවුලක් නැද්ද මන්ද?

    ReplyDelete
  8. කතන්දර මාමේ,
    දැන් නම් ඔයාගෙ බොලොග් එකට කතන්දර නැතුව
    කුස්සිය කියලවත් දැම්මනම් හොඳයි.
    මොනව වුනත් ඉතින් කෑම උයන්ට කකා මාම දස්සයා වගේ.

    ReplyDelete
  9. ගෙදර උදවියටවත් මේකෙන් පලක් ගන්න පුලුව නෙව . මමනම් ඉතින් කන්න විතරයි කුස්සිය පැත්තට යන්නේ .

    මාතෘකාව දැක්කාම මට එක වරම මෙහෙම හිතුනා

    බීෆ් කතන්දර ස්ටයිල්" සමග "පිරිමි මස් උයන්න දක්‍ෂයෝ ද?

    "පිරිමි මස්"

    ReplyDelete
  10. ‍නෝ ක‍මෙන්ට්....

    ReplyDelete
  11. මට නම් තේරුම් ගන්ට බැරි ගොඩාක් අයට හරක් මස් විතරක් කන්න හොඳ නෑ කියලා හිතෙන්නේ ඇයි කියන එක තමා...

    කලකට කලින් නම් ගම් ගෙවල්වල හරක් ඇතිකරලා, වැඩගත්ත නිසා ඒ අය හරක් මස් නොකා හිටියා කියමු. ඒත් එහෙම කිසිම අදාලත්වයක් නැතුවත් අද සමාජයේ කට්ටිය හරක් මස් වලට විරුද්ධ ඇයි???

    මස් නොකෑ යුතුනම්, එහෙම කල යුත්තේ ඒ සත්වයාගේ ජීවිතය ගැන හිතලා නේ... එතකොට හරකගේ ජීවිතයයි කුකුළගේ ජීවිතයයි අතර මේ අය දකින වෙනස මොකක්ද???

    කකාගෙන් අහන්න ප්‍රශනයක් තියේ... ඔය මිරිස් තුනපහ දානකොට බැදලා නෙවේද දාන්න ඕනෑ?

    අනික බොම්බිලි කරවල උයන්න පුලුවන්ද? බොම්බිලි කරවල හොඳ තෙල් දාලා හරි කරවෙන්න බැදලා හරි නේද? මං නම් හරිම ආසයි බොම්බිලි වලට... ඉස්සර ගෙදරදී අපේ තාත්තයි මායි විතරයි බොම්බිලි කන්නේ. අනික් අය ගඳයි කියලා ආස නෑ... දැන් නම් අවුරුදු 10 කින් වත් බොම්බිලි කන්න බැරි වුනා :( අපේ බිරින්දෑ එලවළු පමණයි නිසා ඉතිං මං ඔය වගේ ජාති ගේන්නේ නෑ...

    ReplyDelete
  12. චෙෆ් කතා......
    ඕකටම මී කිරි මේස හැඳි 4-5 සහ අමු තුනපහ ස්වල්පයක් එක්කාසු කරන්න. විශේෂයෙන් එළු මස් වලට. අර කොල රස ගතිය එන්නෙම නෑ එතකොට. හරක් මස් කෑම හොඳ නැත. මාළුන්ගේ මස් කෑම හොඳය. ඔහොම බැලුවාම කරපුංචා කොලයක්වත් කන්න වෙන්නේ නෑ. ඇටි අප්පා ඒත් පන තියෙන දෙයක් නේ.

    ReplyDelete
  13. සික් . දැන් අපිට තැනක් ඇත්තෙම නෑ වගේ ..

    ReplyDelete
  14. මම නම් හිතන විදියට මස් කෑමෙන් සිද්ද වෙන පවක් නැත.පව් සිද්ද කරගන්නේ කන උන් නොව අහක ඉඳන් හායි හුයි ගාන උන්ය. බීෆ් වලට ගහන්න මසක් ලොවෙත් නැත

    ReplyDelete
  15. හ්ම්.....හරක් මස් නොකන නිසා හදන්න වෙන්නෙ නෑ නෙ.

    ReplyDelete
  16. ලබන සතිඅන්නෙ එන දිග නිවාඩුවට මේ තියෙන්නෙ නියම වැඩ ටිකක් කරනවනම්! පහුගිය පෝස්ට් ටිකත් එක්කහු කරලා හොඳවයින් වැඩක් කරන්නයි හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
  17. අනෙක් හැම මසක්ම (මාළු, කරවල, උම්බලකඩ ඇතුළුව)කන ගමන්, හරක්මස් නොකා සිටීම දැං සිංහලයන්ගේ ඉස්ටැයිල් එකකි.

    @මලික්
    //මම නම් හිතන විදියට මස් කෑමෙන් සිද්ද වෙන පවක් නැත//
    වැරදිය. බුදුහාමුදුරුවො කියල තියන විදියට "තමා වෙනුවෙන් මරණලද මස් කෑමෙන්" පවු සිදුවේ.(මස් කඩවලද ඇත්තේ එවැනි මස්ය).
    හායි හුයි ගාන උන්ගෙන් වැඩක් නැත. තම තමන් කල කී දේ තම තමන් ගෙනයයි.
    //බීෆ් වලට ගහන්න මසක් ලොවෙත් නැත// සහතික ඇත්ත.

    ReplyDelete
  18. හරකුන්ට පමණක් නොව ගස්වැල් වලටද පණ ඇත. ඒ ගැන සිතුවහොත් වෙන්නේ හාමතේ මිය යෑමටය.

    ReplyDelete
    Replies
    1. ගස් වලට ස්නායු පද්දතියක් නැහැ. රිදිල්ල තේරෙන්නෙ නැහැ අපි සත්තුන්ට වගේ.

      Delete
  19. අපේ ගෙදර නම් වෙලා තියෙන්නේ ඔය මුරුංගා අත්තේ කතාව නොව අම්මා සහ ආච්චී මස් කෑම කෙසේ වෙතත් ඒ දිහා බලන්නටවත් අකමැති වීම හේතුවෙන් උද්ගත වූ තත්වයකි.
    එහි ප්‍රතිපලයක් ලෙස මා දන්නා කාලයක සිට අපේ ගෙදර මස් ඉව්වේ තාත්තාය.

    මම හිතෙන විදියට පිරිමි උයන කෑම රස වෙන්න හේතු දෙක තුනක් ඇත හෙවත් (අපේ ගෙදර මම හා අපේ තාත්තා උයන කෑම රස වීමට හේතු.)

    01 ගෑණු උදවිය වගේ ලෝබ කමට පහේ ජාති නොදා හොඳට අත පුරවලා දාන නිසා නියමිත රසය ලැබීම හෙවත් දිය රහ නොවීම.

    02 පුංචි පුංචි experiment කරන්න බය නොවීම.

    03 වත්ත වටේම වැවිලා තිබුනත් ගෑනු උදවිය ජීවිතේට පාවිච්චි නොකරන සේර, කොත්තමල්ලි කොල වගේ දේවල් වලින් ගෑණු උදවියට හොරෙන් පාවිච්චි කිරීම.



    කතන්දර ආතා ගේ මස් දීසිය දැක දැක අහක බලාගෙන යාම අමාරු නිසා දැම්මා කොමෙන්ට් එකක් (අඩුම තරමේ කෙල ලීටරයක් වත් ගිලෙන්න ඇති)

    ReplyDelete
  20. [[එතකොට හරකගේ ජීවිතයයි කුකුළගේ ජීවිතයයි අතර මේ අය දකින වෙනස මොකක්ද???]]

    මේක වසර 993 සිට අපට ඉගෙන ගන්නට බල කල චින්තනයක ශේෂ වූ කොටසකි. 1505 පටන් ගෙන 1796 සිට දැඩි ලෙස පැතිරූ තවත් බලාත්කාර මතවාදයකින් මේක ටිකක් සමනය වී ඇති මුත් මෙය තවමත් ක්‍රියාත්මකයි. ලංකාවේ බුදු දහම තුල 993 බලාත්කාරය, 1505 බලාත්කාරය හා 1796 බලාත්කාරය දක්වන බලපෑම බුදු හාමුදුරුවන්ටත් වඩා ප්‍රබලයි.

    මස්/ගස් කන ගැන මගේ මතය නම්, හැකි තාක් පරිභෝජනය අඩු කරන්න. ඇත්තටම ගසුත් ජීවිත. තනි බෞද්ධ විදිහට හිතුවත් හාල් සේරුවකටත් සෑහෙන සත්ව ජීවිත විනාශයක් වෙනවා.

    කිව්වට ඕක මාත් තවම ට්‍රයි කරනවා. පෙරේත කමත් එක්ක කර ගන්න අමාරුයි.

    කෙසේ වෙතත් නිර්මාන්ශවාදයට වඩා පරිභෝජන විරෝධය විද්‍යාත්මක මෙන් ම වැඩි පලදායි ක්‍රමවේදයකි.

    ReplyDelete
  21. @රාජ් අදහසට බොහොමත් ස්තුතිය .. ඔබේ අදහස ඔබේ පැත්තෙන් හරිය ඒ ඔබ බෞද්ද්යෙක් වන නිසා යයි මම සිතමි. මම නම් කතෝලික කෙනෙක්මි.අපිට ආගමෙන් කෑම බීම ගැන තහංචි පනවා නැති බැවින් ඔවා ගැන වද වෙන්නේ නැත. ඉතින් මම කියන්නේ ඔබත් වැරදි නැත කියා ය.

    ReplyDelete
  22. වැඩේ සෝයි සෝස් වලින්ද එතකොට ගොඩයන්නේ? ට්‍රයි කරන්ඩ ඕනෙ මේක? අනික් මස් වලටත් හරි ඇතිනෙ?

    ReplyDelete
  23. වැඩේ එලටම ඇවිත් තියෙනවා..විශේෂයෙන්ම අර අර්තාපල් දැමිල්ල... ඇත්තටම හරක් මස් වලට විතරක් නෙවෙයි කුකුළු මස් වලටත් අල ගෙඩියක් දැම්මම පුදුම රහක් එනවා...

    මම හරක් මස් කන්න ගත්තේ පොලිසියේ වැඩට ගියාට පස්සේ..ඒ වෙනකල් කාලා තිබුනේ නැහැ වගේම තද අප්පිරියාවකුත් තිබුනා... ඒත් පොලිසියේදී මස් නොකෑවොත් කන්න වෙන්නේ වම්බටු හොදියි බතුයි හරි මාළු මිරිස් හොදියි බතුයි වගේ ජහර කෑම... පොල් සම්බොලේත් නිකංම නිකං කුඩු සම්බෝලයක් විතරයි.. ඒත් අපරාදේ කියන්න බැහැ පොලිසියේ මෙස් එකෙන් තරං රහට හරක් මස් මං වෙන කිසිම තැනකින් කාලා නැහැ...

    දැන් කාට හරි හිතෙයිද දන්නේ නැහැ පොලිසියෙන් කාලා බලන්න...

    ඇත්තටම මස්වලින් රසම හරක් මස්නං තමා.. ඒත් හැකි සෑම වෙලාවකදීම නොකා ඉඳිමට වග බලා ගන්නවා.. හරක් මස් විතරක් නෙවෙයි අනිත් මස් ජාතිත් එහෙමම තමා.. හැබැයි ඒ ආගම දහමක් හින්දාම නෙවෙයි... මට මස් කනකොට සමහර වෙලාවට කල්පනා වෙනවා මේ කන්නේ සතාගේ කොතනක තිබුන කෑල්ලක්ද කියලා.. ඒත් එක්කම එන කාලකණ්නි හැඟීම මාව හරියට රිද්දනවා...

    හරි කතන්ද‍රගෙන් හරක් මස් පාඩම..මං දෙන්නං ඌරු මස් හදන රියල් විදියක්... ආයේ ඉතිං ලොවෙත් නැත... ඒත් ඉතිං රට රටවල්වල ඉන්න ඇත්තන්ට පහේ ජාති හොයා ගැනීම කොහොමද කියලනං මං දන්නේ නැහැ.. මේ දවස්වල ලියන කේන්දර ලිපි ටික අස්සටම හරි..ඒ ටික ඉවර වෙලා හරි මං ඔය ගැන ලියන්නං...

    අයිස් ටී නැගලා යනවා වගේ නේද..?

    ReplyDelete
  24. මුන්නේස්සරම් දේවාලේ බිලි දෙන්න ගෙනාපු එළුවෝ හරක් ටික (පොලෝසියෙන් උන් මරන්න එපා කියලා තහනම් නියෝගයකුත් ඇරන් තියෙද්දී) ලොරියක් අරන් බේරගෙන ගිය සද්ගුණවත් මර්වින් උපාසක මහත්තැන් කියලා දේසනා කොරලා තිබ්බා දැක්කේ නැතෙයි සිංහල බෞද්ධයෝ හරක් මස් එලු මස් නොකා මාලුයින්ගේ මසුයි කුකුලන්ගේ මසුයි කන හේතුව?

    මාලු නොකෑවොත් උන් අම්බානක බෝවෙලා මැරිලා මුහුද අපවිත්‍ර වෙන නිසාලු අපේ අය මාලු කන්නේ . . කුකුල්ලු නොකෑවොත් උන් අම්බාන බෝ වෙලා පාර තොටක යන්න බැරි තරම් කුකුල්ලු ඉඳීලු . . .

    ඒ නිසාලු අපේ අය කුකුලු මස් කන්නේ . . නැතුව පෙරේත කොමකට එහෙම නෙමෙයිලු ඕන් . . . .

    දැන් තේරුනැයි . ..

    අහ් පෝස්ට් එක ගැන කියනවනම් කකා

    මම නම් තුනපහ කලින් බැදලා කපා ගත්තු මස් එක්ක මිශ්‍ර කරලා සෝයි සෝස් ටිකකුත් දාලා තියනවා ටික වෙලාවක්.

    පස්සේ තෙල් රත් වෙන්න තියලා අබ ටිකක් බැදලා අරගෙන ඒකටම තක්කලි කරපින්චා ලූනු සුදු ලූනු දාලා බැදලා අරගෙන ඒක ත් අර මිශ්‍රනේටම දාලා මස් මිශ්‍රනේ ලිපේ තියෙනවා. .

    පස්සෙ ටික වෙලාවකින් සියඹලා ටිකක් වතුර කෝප්ප කාලකට විතර දියකරලා ඒකත් මස් එකට දාලා තැම්බෙන්න තියෙනවා . .

    ටිකකින් තව වතුර කෝප්ප භාගයක් දාලා හොඳින් තැම්බුනාම බා ගන්නවා . ..

    මේ මස් හොද්දයි ෆ්‍රෙන්ච් බෙඩ් එකකුයි තිබ්බොත් ආයි . . .. සුපිරි තමා ඕන් . .

    ReplyDelete
  25. //මට මස් කනකොට සමහර වෙලාවට කල්පනා වෙනවා මේ කන්නේ සතාගේ කොතනක තිබුන කෑල්ලක්ද කියලා.. ඒත් එක්කම එන කාලකණ්නි හැඟීම මාව හරියට රිද්දනවා...//

    මාරයෝ මම කියන්නෙත් ඕක තමයි මම වැරදි ද මම දන්නේ නෑ වැරදි නම් නිවැරදි කරන්න. ඔයාට ඕක කල්පනා වෙන එකයි ඒ රිදිල්ලටට්යි නෙමේද පව් කියන්නේ.මට නම් මස් කනකොට එහෙම එකක් නෑ එකයි.

    ReplyDelete
  26. කකාගේ ඉවීම් ජොබ් එක නැගලා යනවා වගේ.
    කාලයක් තිස්සේ හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරපු මම නම් අදටත් හිතන්නේ පිරිමි තමයි රසටම උයන්නේ කියලා. ඔය ගෙදර කිහිප දෙනෙකුට කෑම එකක් රසට හදාගන්න ගැහැනු කෙනෙකුට පුළුවන් උනාට මහා පරිමාණයෙන් උයන්න නම් ඒ අයට බෑ.
    ඔය ලෝකේ හොඳම කෝකියා වගේ තරඟ වල පැත්තකටවත් ගැහැනියක් දකින්න නෑ. ඒක හින්දා ඔය පිරිමින්ට රසට උයන්න පුළුවන් කියලා අන්දන්න ඕනේ නෑ. කොටින්ම මගේ යාළුවන්ගෙන් සියයට එකකටවත් රහට කෑමක් හදාගන්න බෑ හස්බන්ඩලා නැත්නම්.

    ReplyDelete
  27. මොනවා උනත් තමන්ට හිතෙන විදිහට කන්න නම් ටමන්ටම හදා ගන්න වෙනවා. වාසනාවකට රට හිටියේ ගම්පහ පැත්තේ හිටියනම් හරක් මස් කනවා බොරු.

    ReplyDelete
  28. Lamb & mutton එක්ක ට්‍රයි කරලා බලන්නම්කො. කොහොමටත් ගෑණු උදවිය මස් ජාති ඇල්ලීම කැපීම වගේ දෙවල් වලට අකමැතියි නේ ඒකයි පිරිමිම ඒ වැඩේ කරන්නේ. අපේ හාමිනේත් ඒ වගේ හැබැයි ලුණු බැලීම, මිරිස් තුනපහ පදම වගේ දේවල් වලදී නම් ලොකු සපෝට් එකක් දෙනවා.

    ReplyDelete
  29. ගව මස් අනුභවයට විරුද්ධව කොමෙන්ට් එහෙමත් දැකල, වෙන දේවල් ගන්න කඩේ ගියාම දැක්ක, කැන්ගරු මස්. ලේබල් එක කියවල බැලුවම, මේධය .08% ය්, එහෙමත් කියල ගහල තිබුන නිසා පොඩි ග්රෑම් 400 ක විතර පැකට් එකක් ගත්ත. ඔබී වෙජිටේරියන් හින්ද මොන මසක් ගෙනාවත් එයාට ඒව කපල දෙන්නෙ, ලුණු බලන්නෙ මම හිංද, මස් ගැන සෑහෙන පළපුරුද්දක් තියෙනව මට (කියල තමා මං හිතාගෙන ඉන්නෙ).
    කොහොම හරි, දැන් මස් කපල, කියපු ජාති ඔක්කොමත් දාල, තව වැඩිපුර මගෙ ගානෙ කුරුඳු කෑල්ලකුය්, රම්පෙ කෑලි දෙකකුත් දාල කිව්ව විධියටම අයිස් පෙට්ටියෙ දාල වැඩට ආව. ඉතුරු හරිය, රෑට ගෙදර ගියාම. ගෙදර ඉතුරු වෙච්ච අයිස් තේ ටිකකුත් තිබුන. රිසල්ට් එක හෙට කියන්නං.

    ReplyDelete
  30. රෙඩ් මීට් හාට් එකට හොඳ නැතැයි කියති. රෙඩ් මීට් නොවන මීට් ඇත්තේ කුකුලාගේ පමණි. සියලු කිරි බී වැඩෙන මැමේලියාවන් (තාරාවන් ගේද ඇත)ට ඇත්තේ රෙඩ් මීට්ය.මීට් වලට පැහැය ලැබෙන්නෙ එහි ඇති මයොග්ලොබින් නිසාය.

    අයිස් තේ හාට් එකට හොඳය. අයිස් තේ වලට වඩා වයින් හාට් එකට හොඳය. ඇත්තට මේ අයිස් ටී වල ඇල්කොහොල් ප්‍රතිශතය කීයද?

    ReplyDelete
  31. @ All

    මස් කෑම නොකෑම ගැන

    නොකන අය නොකා ඉන්න. ඒක හොඳ වැඩක්. මං නං අහල නෑ මස් කන කෙනෙක් මස් නොකන කෙනෙකුට ඒ ගැන සරදම් කරනවා, කන්න කියලා බල කරනවා හෙම.

    මගේ දුවත්, අම්මාත් මස් කන්නේ නෑ. හැබැයි නිර්මාංශික, තනිකර එලෝළු ජීවිත.

    http://kathandara.blogspot.com/2011/05/living-with-vegitables.html

    ReplyDelete
  32. @ All
    සතුන් මැරීම ගැන

    සෑම සතෙක්ම මරන එක එක වාගේ නොවේ කියා ටැබූ වරක් තරකයක් ගෙන ආවේය.

    මේ මං ලියූ කතාවක මුල් කොටසයි. ගැරඬි මැරුවොත් පව් සිද්ද වෙනවද?

    http://kathandara.blogspot.com/2010/10/blog-post_19.html

    ටැබූ කියන්නේ සතා ගේ ඉන්ටෙලිජන්ස් ලෙවල් එක අනුව පව වැඩිවෙන බවයි. ඩෙංගු මදුරුවන් සමූල ඹාතනය කරද්දී එළුවන් බේාරාගන්නේ ඒ නිසාය.

    ReplyDelete
  33. නිවාඩු පාඩු වෙලාවක හදලා බලන්න ඕන මේක....

    ReplyDelete
  34. //බීෆ් වලට ගහන්න මසක් ලොවෙත් නැත// ඒ කියන්නෙ තාම ඌරු මස් කෑල්ලක් කාල නෑ වගෙයි!

    පව අඩු වැඩි වෙන්නේ ඉන්ට්ලෙජන්ස් කෙහෙම්මලක් නිසා නොව ආගම අනුවයි. අපි හින්දුනම් හරකා මැරීමෙන් උපරිම පවක්ද මුස්ලිම් නම් අවම පවක්ද වේ.

    මඩේ ලගින කුණු ඌරන් රසකර කන සුද්දන් මඩ නොකන බත් කන බල්ලන් කනවාට කොරියානුවන්ට බනිති. අඬු විහිදවූ ඉස්සා කන අපි තණකොලපෙත්තා රෝස්ට් කර කන තායි කාරයට බනිති.

    අතීත සිංහලයා ඇටි කුකුළාගේ සිට හබං කුකුළා දක්වාද, වඳුරාගේ සිට මී මින්න දක්වාද අහුවෙන දෙපා සිව්පා ඕනෑම එකෙක් මරා කෑ මුත් හරකුන් නොකෑ නිසා අපි ගව මස් නොකෑ ශ්‍රේශ්ඨ ජාතියක් වීමු!

    කන්න රසනම් මේසය සහ පුටුව හැර ඕනෑම කකුල් ඇති ජාතියක් කෑමේ චීන ප්‍රථිපත්තිය අනුව යමින් මමනම් ඔය ඕන මඟුලක් කමි. කරුමෙට අපේ නෝනාට ෆ්ලයින් උන් මිස වෝකින් උන් කෑමට බැරි නිසා (සුවඳටත් පලු දානව ) කන්න ලැබෙන්නේ අඩුවෙන්ය. එය ඔය සත්තුන්ගේ වාසනාව හෝ මගේ අවාසනාව විය හැක!

    මේ රෙසිපියට ස්තූතියි. වෙලාවක ට්‍රයි කරල බලන්න ඕන.

    ReplyDelete
  35. අපේ ගෙදරත් අම්මට වඩා රහට අප්පච්චි උයන්න දන්නව කෑම.

    හරක් මස් කන්න එපා කියන්නෙ ඒවල අනික් මස් වලට වඩා කොලෙස්ටෙරොල් අධික නිසාලු.ඉතින් ලෙඩ තියන අයට හොදනෑනේ.

    මම් නම් හරක් මස් කන්නෙ නෑ.

    ReplyDelete
  36. හරක් මාංශ වෙනුවට, අහිංසක කැන්ගරුවෙකුකෙ මාංශ මේ දැන් කෑවෙමි. ඉතුරු අයිස් ටී ටිකද බීවෙමි. ක.ශු. කී ලෙසම ඉව්වෙමි, කල වෙනස් කම් ඉස්සෙල්ල කොමෙන්ට් එකේ දැම්මෙමි. අලුතෙන්ම කල වෙනස, පොල්කිරි(ටින් වල එන ඒවා) තේ හැඳි දෙකක් අන්තිම හරියේදී දමා, විනාඩියක් පමණ තැම්බෙන්න හැරියෙමි, තවද මුල සිට අගටම, වැඩේ කොලේ මද ගින්නේ බව පවසමි.
    ඔබීද "සුවඳ නම් හොඳය්" කීවාය. (කළාතුරකින් අහන්න ලැබෙන කියමනකි)

    ReplyDelete
  37. මමනම් මස්ගැන හිත්න්නෙ මේ විදිහට:

    අපි සත්තුන්ට වඩා බුද්ධියෙන් ඉහළ නිසානෙ සත්ව මස් කෑම හරියි කියන්නෙ. ඒ හේතුව නිසාමනෙ මිනීමස් නොකන්නෙ. හරි.

    දැන් හිතන්න පිටසක්වල ජීවියෝ එනව අපිට වඩා සියදහස් ගුණයක් evolve වෙච්ච අපිට වඩා බොහෝ බුද්ධිමත්. ඇවිල්ල අපිව කනව. අපිව ගොවිපොලවල් වල තියාගෙන මරන් කනව. අපෙ ඉස්සරහ අපේ අම්මල තාත්තලව මරන් කනව.

    සත්තුන්ටත් ඔය අදහසම එනව ඇති නේද මරනකොට. හරකුන්ටනම් අනිවා තේරෙන්න ඔනෙ, මොකො උන් හරිම බුද්ධිමත් සත්තු.

    ගස් වලට පණ තියෙන බව ඇත්ත, ගස් කපන එක මහ කාලකන්නි වැඩක් වෙන්නෙ ඒක නිසා. ඒත් අඹ ජම්බු වගේ පලතුරු එලවළු රස ඇයි? පරිනාමය. ඒව හැඩ ගැසිල තියෙන්නෙ සතුන්ව ඒව කන්න ආකර්ශනය කරන්න. ඇයි? බීජ ප්‍රවාහනයට. ඉතින් ගසම "ඕං" කියල දෙන දේ කෑමයි, අසරණ සතෙක් මරණ් කෑමයි අතර ලොකු වෙනසක් තියෙනව කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම අැත්ත කතාව. මම සතුටුයි ඔයා ලස්සනට පරිනාමය පාවිච්චි කරපු එක. රිචඩ් ඩවුකින්ස්ගෙ සෙල්ෆිශ් ජීන් කියවල තියනවද?

      Delete
  38. මමත් අන්තිම වතාවෙ මේ ක්‍රමේට තමයි හැදුවේ. හැබැයි අඩුම කුඩුම වැඩිය දැම්මෙ නෑ. ටෙස්ට් කරන්නත් එක්ක ඔයිස්ටර් සෝස් ටිකක් දැම්මා. මිරිස්, ළූණු විතරයි. අල දැම්මෙත් පොඩි තීරු වගේ කපලා. මොකද මට සැක හිතුණා අල ටික තැම්බෙන්නෙ නැති වෙයි කියලා. ආයෙ හදද්දි මේ රෙසිපිය අරගෙන බලන්නම්. මොකද මගේ රෙසිපියෙන් අම්මට රහ වැටිලා... පාපයක් කරගත්තද මන්දා ;-)

    ReplyDelete
  39. මේ ලඟදි එහෙම කිව්වට ලඟදිමත් නොවෙයි තිබුනලු බ්ලොග්කරනය ගැන ගෑනු උදවියට පාඨමාලාවක් .මේක කරල තියෙන්නෙ ස්ත්‍රීවාදී රාජ්‍ය නොවන සංවිධානයක්.කොමෙන්ට් දැමීම ගැනත් දේශන කළාලු.මාධ්‍ය සාමූහිකයද මොකක්ද එකකින් කරල තියෙන්නෙ .අපි ඔක්කොම විස්තර දන්නවා

    ReplyDelete
  40. දේශිකාට බඩු සමග රෙසිපිය ගෙනැත් දිය යුතුය ඉක්මනින්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.