ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday, 30 November 2010
ණයකාරයා
මතකනේ මං ඒක පුද්ගල බ්ලොග් මැරතන් එකක් කර කර ඉඳලා, පල්ලං පොල්ල දැම්මා. ඒකට එක හේතුවක් වුනේ කතන්දර හාමිනේයි මායි නිවාස ව්‍යාපෘතියක පැටලෙන්නට යෑමයි.
පොඩි ණයක් අරං ඉඩං කැල්ලක් නං අරං දැම්මා. ගෙදර ප්ලෑන් එකත් ඇඳලා ඉවරයි මේ වෙන කොට. හරියටම ඇස්තමේන්තුව දැන ගත්තට පස්සේ ගේ හදන වැඩේටත් ලොකු ණයක් ගන්නයි ඉන්නේ.
ඔය ණය කියන දේ මං පුංචි කාලේ, යාන්තම් බහ තෝරන කාලේ, ඉඳලාම දන්න දෙයක්. ඒ මං උපන්න ණයකාරයෙක් වීම නිසාවත්, මගේ දෙමව්පියෝ ඒ දවස්වල ණය අරගත්තු නිසාවත් නම් නෙමේ. වෙන හේතුවක් හින්දයි.
ඇත්තටම ඔය හේතුව නිසාම තමයි අපි සමහරු ඇණ ගැන දන්නේත් පොඩි කාලේ ඉඳලම.
දැන් දන්නවානේ හේතුව?
ඔව් ඒක තමයි සිංහල හෝඩියේ අකුරු ඉගෙන ගැනීම. ඔය මුර්තජ ණ-යන්නෙන් පටන් ගන්න එකම වචනය තමයි ණය කියන්නේ මගෙ හිතේ!
සමහර චිත්‍ර සහිත හෝඩි පොත්වල ණය කියන එක තේරෙන විදියට අඳින්න ක්‍රමයක් හිතාගන්න බැරි හින්දා වෙන්න ඕනෑ, මූර්තජ ණ-යන්නෙන් ඉවර වෙන ඇණ කියන වචනය යොදාගත්තේ.
අද කතන්දරේ මං හා හා පුරා ණයක් අරං, ණයකාරයෙක් වෙන්න ගිය හැටි ගැණයි.
මේ කාලේ මං වැඩ කලේ එක්තරා ආයතනයක. එතන තිබුණා ආපදා ණය ක්‍රමයක්. තමන් ගේ පඩිය වගේ හය ගුණයක් ණයට ගන්න පුළුවන්. එතන ඉඳන් අවුරුදු තුනක්ද කොහෙද ඇතුලත ගෙවන්න ඕනැ පඩියෙන් කොටස් වශයෙන් පොලියත් එක්ක.
මේ කාලේ තමයි, සිකුරා ලබලා උස්මුරුත්තාවටම ගිහින්, මට කතන්දර කුමාරි එක්ක විවාහ වෙන්න හිතුනේ.
ඉතිං මේ කතන්දරේ බලන බැඳපු කෂ්ටිය දන්නවා ඇතිනේ බඳිනවා කියන එකත් පණ යන වැඩක් බව. ඔය දවස්වල මාසේ විසිවෙනිදා විතර ලැබෙන පඩි පැකට් එක සාක්කුවේ දාගෙන, ගෙදර දොරට, දනට පිනට දීලා ඉවර කරලා දානවා මිසක් ඉතුරු කරන ක්‍රමයක් මට තිබුණේ නෑ.
ඉති ඔන්න මං කෝකටත් කියලා මාස හයේ ආපදා ණයක් ගන්න ඉල්ලුම් කළා.
ඕනෑම ආයතනයක ආපදා ණය දෙන්නේ සීමාසහිත අරමුදලකින්. හැම මාසෙම ආපහු ලැබෙන වාරික මුදල්වලින් තමයි අළුතින් ණය දෙන්නේ. ඒ හින්දා ණය අනුමත වෙන්න පොඩ්ඩක් කල් යනවා. ඒ හින්දා පොඩි පෝලිමකුත් ඇති වෙනවා.
ඇප්ලිකේෂන් එක දාලා මාස දෙක තුනකට විතර පස්සේ මං දැනගත්තු විදියට ඔය කියන පෝලිම ඇත්තටම පෝලිමක් නෙමෙයි. ණය අනුමත කරන අංශයේ ලොක්කා හම්බ වෙන්න ගියාම, ඒ යන යන අයගේ ඉල්ලුම් පත්තරේ උඩට එනවාලු!
ලොක්කා මුණ ගැහෙන්න යන්නේ නැති අයගේ ඇප්ලිකේෂන්ස් ඉතිං හැමදාම යටම තමයි.
කතන්දර කුමාරිව මං කරකාර බැඳපු දවසෙ තේක්ක ගහක් හිටේවනං, අද වෙන කොට ඒක කපල ඉරල අළුත් ගෙදරට ලී බඩු හදන්න ගන්න වුණත් තිබුණ.
මගේ ආපදා ණය ඇල්පිකේෂන් එකත් මං ඒ ආයතනයෙන් ඊට අවුරුදු කීපෙකට පස්සෙ අස්වෙන කොටත් හොඳට මුල් දාලයි තිබුණෙ.
-කතන්දරකාරයා
ප/ලි
කතන්දර කුමාරිව කසාද බඳින වෙඩින් එකට කලින් මං තාත්තගෙන් ලෝන් එකක් ගත්තා. බැන්දට පස්සේ කතන්දර හාමිනේගෙන් ලෝන් එකක් අරං තාත්ත ගේ ලෝන් එක ගෙවල දැම්මා.
සිම්පල්.
එදා ඉඳන් මං ණයකාරයෙක් නෙමෙයි!
Sunday, 28 November 2010
W3Lanka ට පොඩි ප්ලග් එකක්
සෝමරත්න දිසානායක ගේ මීපුර වැසියෝ වේදිකා නාට්‍යයේ මීයෙකු ගේ චරිතයක් රඟපාමින්, මෙන්න මේ සින්දුව කියන්නේ සුමින්ද සිරිසේන නළුවා.
"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව
මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා"
පොත් ලියන්න මීයොත් හරි දක්‍ෂයෝ තමයි. උන්ට තරං ඉක්මණින් පොත් ලියන්න සුජීව ප්‍රසන්න ආරච්චි ල ට වත්, චන්දි කොඩිකාර ල ට වත් පුළුවන් කමක් නෑ මං හිතන විදියට.
කොහෙද මන්ද මං මේ ලඟදි දවසක කියෙව්ව, පුතෙක් හදන්නෙ නැතුව, පොතක් ලියන්නෙ නැතුව, කෙනෙකු ගේ ජීවිතය සම්පූර්ණ වෙන්නෙ නෑ කියලා.
පොතක් ලියන එක පණ යන වැඩක්. පුතෙක් හදන එකත් ඒ වගේම තමයි.
අවුරුදු හතරකට වඩා ඉස්සර එක දවසක, නොසිතූ නොපැතූ විදියට, "ඉන්නව ද?, යනව ද?" කියන වැදගත් තීරණය මට ගන්න වුනා ඉතාම කෙටි කාලයක් ඇතුලත දී. එවෙලෙ හිතට ආවෙ කරුණු දෙකයි.
එකක් පුතා.
මං දැං ම ගියොත්, ඌ ලොකු වෙන කොට, මං කවුද කියල මතක හිටින එකක් නෑ කියල මට එවෙලෙ හිතුන.
අනික පොත.
උපන්න දවසෙ ඉඳලම වගේ කවි ලිව්වට, කවි පොත් හය හතක් "හස්තද්වාරයෙන් "ප්‍රකාශනය කළාට, එක පොතක්වත් මුද්‍රණද්වාරයෙන් එළියට වඩම්මල නෑ නේද කියලත් ඒ මොහොතෙදි ම හිතුණ.
ඔය කරුණු දෙක නිසා ඉන්නවද යනවද කියන තීරණය එදා ගන්න එක නං ලේසි වුණා. මට තිබුණෙ ඇඟ ඇතුලට රිංග ගන්න එක විතරයි.
තිරස් තලයෙන් සිරස් තලයට සංක්‍රමණය වෙලා ගෙදර ආපු ගමන් කලේ පොත හදන්න පටන් ගත්තු එකයි. ඒ වුණාට ඒ පොත පොත මුද්‍රණද්වාරයෙන් එළියට ගන්න නං තවත් අවුරුදු තුනක් විතර ම ගියා.
එදා ඒ හයිලෙවල් පාර කිට්ටුව ප්‍රෙස් එකෙන් ඒ පොතක් අරං සුවඳ බලපු එක වගේ සතුටක් ඊට කලින් දැනුනේ මැටර්නිටි තියටර් එකේ දී දොස්තරල පුතාව උඩට උස්සල පෙන්නුව වෙලේ.
ඊටත් කලින් දවසක "ද සොයිසා එකේ" තියටර් එක ඉස්සරහ කොරිඩෝර් එකේ දී දුවගෙ සුදුමැලි ඇඟිලි තුඩුවලට රෝස පාටට ලේ පිරෙන හැටි දකින කොටත් ඒ වගේම සතුටක් ආව මතකයි.
මේ සේරම කිව්වෙ අපි හුඟ දෙනෙක් දන්න ආරංචියක් නැවත කියන්නයි.
අපේ සහෟද බ්ලොග්කාරයෙක් වෙන w3lanka.blogspot.com ලියන අජිත් පැරකුම් ජයසිංහ නවල් එකක් ලියල. ඒකෙ නම ශාස්තෲ.
පොර මීට කලින් කවි පොතක්, කෙටි කතා සංග්‍රහයක් හෙම පලකරල තිබුණට මේ අවස්ථාව සුවිශේෂී එකක්. නවකතාවක් ලියනව කියන එක ලේසි පාසු වැඩක් නෙමේ මං හිතන විදියට.
අජිත් පැරකුම් ජයසිංහ ගේ w3lanka බ්ලොග් එකට තමයි 2009 අසෙනිය කුසුම උත්සවේදී සමාරම්භක සම්මානය හිමිවුනේ හොඳම කාලීන බ්ලොග් අඩවිය වෙනුවෙන්.
"ශාස්තෲ" නවල් එක දොරට වඩින උත්සවේ තියෙන්නේ නොවැම්බර් 30 දා හවස තුනට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී.
යුනිවසිටි ඩොන් ල ගේ ටෝක්ස් දෙක තුනක් සහ පොඩි පහේ පැදුරකුත් තියෙනවය කියන්නෙ.
ඇහැක් නං යන්න.
මාත් පොත බලපු ගමං විස්තරයක් ලියන්නං කො.
-කතන්දරකාරයා
ප/ලි
උඩ තියෙන සින්දුවෙ තවත් පද දෙකක් මතක් වුණා.
"ඇත්ත නැත්ත ගැන නැහැ මම වෙහෙසෙන්නේ
පත්තරෙන් ඇවිත් මගෙනුයි අහගන්නේ"
Friday, 26 November 2010
උන්මාද චිත්‍රසේනව දැකල තියෙනවද?
ජැක්සන් ඇන්තනි හදපු අබා චිත්‍රපටිය මතකයි නේද? තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නං මායි ඔය චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ. මේ ගැන මං ලියපු කතන්දරේ කියවල නැති අයට මෙන්න මෙතනින් ඒක බලාගන්න ඇහැකි.
අබා ෆිල්ම් එකේ සබීතා පෙරේරා රඟපෑවේ උන්මාද චිත්‍රා ගේ චරිතයයි. පඬුවස්දෙව් රජ්ජුරුවන් ගේ බිසව භද්දකච්ඡායනා ට ලැබුණු දූ කුමාරි චිත්‍රා ට උන්මාද චිත්‍රා කියල කාඩ් එකක් වැදිල තිබුණෙ එයාව දැකපු දැකපු පොරවල් පිස්සු වට්ටන තරම් ලස්සන හින්දලු.
මං හිතන්නෙ අබා ෆිල්ම් එකට කාස්ටින් කරපු අය ඔය කතාව දැනගෙන ඉඳල නෑ!
එදා උන්මාද චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරල තිබුණෙ නං, රටේ තරුණයො චිත්‍රාව දැකල පිස්සු වැටෙන එකෙන් වලක්වන්න නං නෙමේ.
රටේ තරුණයො ගැන හිතන්න කලින් ඕනැ රජෙක් හිතන්න ඕනැ තමන් ගේ පුත්තු ගැන නේ. චිත්‍රා ගේ කුසෙන් උපදින පුතෙකුගෙන්, රජකම හිමි මාමලා දුසිමටම මැරුම් කන්න වෙනව කියල අනාවැකියක් තිබුණු හින්දයි කෙල්ලව එක් ටැම් ගේ හිර කලේ.
දකින දකින අය පිස්සු වට්ටන උන්මාද චිත්‍රා ලා එදා විතරක් නෙමේ අපේ කාලෙත් හිටියා. අදත් ඉන්නවා වෙන්න පුළුවන් මං දන්නේ නැති වුණාට. මේ කතන්දරේ කියවන පිරිමි කෂ්ටිය සාක්‍ෂි දෙයි ඒ බවට.
මගේ ප්‍රශ්ණේ, ඒක නෙමේ, මෙන්න මේකයි.
උන්මාද චිත්‍රා ලා විතරද ලංකාවේ හිටියේ?
ඇයි උන්මාද චිත්‍රසේන ලා නැද්ද අපේ රටේ?
අපොයි හිටියා!
මෙන්න උන්මාද චිත්‍රසේන කෙනෙක් දැක්කොත් අඳුණා ගන්න ක්‍රමය. මේවා අදාල වෙන්නේ කාන්තා පක්‍ෂයට විතරයි, හොඳේ?
1. උන්මාද චිත්‍රසේන ව දැක්කහම කාන්තාවන් ගේ කකුල් ගැහෙනවා.
2. නිකං වතුර තිබහ වගේ ගතියක් දැනෙනවා. තොල් වේලිලා යනවා. දිවෙන් දෙතොල් තෙත් කරගන්න හිතෙනවා.
3. වලාකුලක් මැද්දේ වාඩි වෙලා පාවෙලා යනවා කියලයි හිතෙන්නේ.
4. හිතට නිකං කවි සිතුවිලි පවා පහල වෙනවා.
5. අනේ මට මෙයා එක්ක ලස්සන දිය ඇල්ලක් පාමුල තියෙන පුංචි පිදුරු පැලකට වෙලා ඉන්න ඇත්නං කියල වගේ සුන්දර සිතුවිලි හිතට ගලාගෙන එනවා.
6. අනේ මේ ආත්මේ බැරිනම්, ලබන ආත්මේ දී වත් ඒ වාසනාව උදාවේවා කියල හිතෙනවා.
කොහොමද මං මේව දන්නේ?
ඔය උඩින් තියෙන ෆොටෝ එක ගත්ත කාලෙ තමයි මට ඔය කතා සේරම ආරංචි වුනේ.
-කතන්දරකාරයා
ප/ලි
මේ මුළු කතන්දරේම තමයි අද ප/ලි එකකි!
Wednesday, 24 November 2010
අර ලොකු ලස්සන ගෙදර
කලින් නොදන්න කෙනෙක් ඉස් ඉස්සෙල්ලාම අඳුණාගත්තහම අපි හුඟ දෙනෙක් අහණ ප්‍රශ්ණ ගැන මං ගනේමුල්ලේ කුරුවිට කතන්දරේ ලිව්වා.
නම, ගම, මියුචුවල් යාළුවො, කෙමිස්ට්‍රිවලට කොහෙද ටියුෂන් යන්නේ? වගේම තවත් හුවමාරු වෙන පොදු තොරතුරු ටිකක් තියෙනවා.
අද කතන්දරේ කියවෙන්නේ මෙන්න මේ දෙබසින්.
මම: කොහෙද ඔයාගෙ ගෙවල්?
ඔහු: ගනේමුල්ලේ.
මම: ගනේමුල්ලේ කොයි හරියෙද?
ඔහු: ජා-ඇල පාරේ
මම: ඒ කියන්නේ 276 ද, 266 ද, 278 ද?
ඔහු: 278
මම: කොයි හරියේද?
ඔහු: අර බස් එක හරෝලා ටික දුරක් යනකොට වෙලක් තියෙනව දන්නවද?
මම: ඔව්!
ඔහු: ඒක පහුකරපු ගමන් තුංමං හන්දියක් තියෙන්නේ.
මම: ඔව් මං දන්නවා, එතනින් කොයි පාරේද?
ඔහු: එතනින් වමට හැරෙන පාරේ, අර කළුපාට ගේට්ටුවක් තියෙන ගෙයක් තියෙන්නේ. ඒ පාරේ.
මම: ඔය කියන්නේ අර මිදුලේ අඹ ගහක් තියෙන...?
ඔහු: නෑ, නෑ, අනිත් පැත්තේ. අර තට්ටු දෙකේ ලස්සන ලොකු ලා නිල් පාට ගෙදර. ලොකු තාප්පයක් බැඳලා, කළු ගේට්ටුවක් දාලා, ගේ ඉස්සරහ ලස්සනට මල් වවලා තියෙන ගෙදර.
මම: ඉතිං ඔය ගෙදර තියෙන පාරට හැරිලා හුඟක් දුර යන්න ඕනැද?
ඔහු: නෑ, ඒක තමයි අපේ ගෙදර.
මම: ආ!
එදායින් පස්සේ මං ගියේ නෑ, ඔය වගේ විස්තර අහන්න.
මං වගේ උගත්, කඩවසම්, අවංක, එඩිතර තරුණයෙක් මොකටද හාර හාරා අනුන් ගේ විස්තර අහන්නේ?
-කතන්දරකාරයා
Monday, 22 November 2010
හාමුදුරුවෝ සරෙන්ඩර්!
අපේ සීය ගැන මං කතන්දර කීපයක්ම කියල තියෙනව මතකයි නේද?
සීය කොල්ල කාලෙ බූරුව ගැහැව්ව හැටි, කෝට් එක නැතිවෙලා හොයන්න ගිය කතන්දරේ, ඒ එක්කම සීය විදුහල්පති ජෝන් මහත්තයව නිහඬ කළ හැටි.
මේකත් අපේ සීයගේ තවත් වික්‍රමයක්.
කාල වකවානුව මීට අවුරුදු හතලිහකටත් ඉස්සර. සීය වැඩ කලේ මහා දුෂ්කර පලාතක. ඒ පැත්තට එක බස් එකයි ලු ගියේ. ඒකේ පැයක් විතර ගිහින් ගඟෙනුත් එහොඩ වුනාම තමයි සීය මේ දවස්වල මුල් ගුරුකම කරපු ඉස්කෝලෙ තිබිල තියෙන්නෙ. වැහැල වැහැල කුකුලේ ගඟ පිටාර ගලපු දවසට ඔරුකාරය වැඩ නැවැත්තුවාම, සීය මේ පැත්තෙ ඉඳල හුවක් කියල, ඉස්කෝලෙ කැන්සල් කරල ආපහු එනවලු.
ඔන්න ඉතිං එක දවසක්, ඉස්කෝලෙ ඇරිල සීය ආපහු ගෙදර එන බස් එකට නැගල තියෙනව බඩ දරු අම්ම කෙනෙක්. මේ මනුස්සය මේ යන්නේ බබා හම්බ වෙන වැඩේට ටවුමෙ ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙන්නයි. බස් එක ටිකක් දුර එනකොම මේ මනුස්සයට විළි රුදාව ඇවිල්ලා කෑ ගහන්න පටන්ගත්තලු.
මේ බව දැනගත්තු ඩ්‍රයිවර් කරලා තියෙන්නේ කිසිම තැනක මිනිස්සු ගන්නවත්, බස්සන්නවත් නවත්තන්නේ නැතුව කෙලින්ම ඉස්පිරිතාලෙටම බස් එක අරං යන එකයි.
බස් එකේ ඉස්සරහ සීට් එකේ හිටිය ගරුතර ගමේ පන්සලේ හාමුදුරුවන්ටත් මේ හින්ද ඉස්පිරිතාලෙට කලින් තියෙන ටවුමෙ පන්සල ලගින් බහින්න බැරිවුණා.
බඩ දරු අම්මව ඉස්පිරිතාලෙ ලඟින් බස්සල, ආපහු එන අතරතුරේ, තරමක් තද වෙලා හිටිය හාමුදුරුවෝ කියවන්න පටන් ගත්ත.
"මේ අම්මණ්ඩිල දන්නෙ නැත්ද දරුවො ලැබෙන්න තියෙන කාල වකවානු? බස් එකේ විළි රුදාව එනකං ඉන්නේ නැතුව කලට වෙලාවට ඉස්පිරිතාලෙට ආව නං මේ මිනිස්සුන්ට රස්තියාදු වෙන්න ඕනැ නෑනේ!"
දන්නවනෙ අපේ සීය තුමා?
බස් එකේ පස්සෙ සීට් එකක හිටපු සීය මහ හයියෙන් මෙහෙම කිව්වලු.
"අනේ හාමුදුරුවනේ, අර මහමායා දේවියටත් තිබුණ නේද කලට වෙලාවට කපිලවස්තු පුරේට යන්න. මේ අතරමග ලුම්බිණි වනයෙදි විලි රුදා හදාගන්නේ නැතුව?"
මේ කතාව ඇහිච්ච හාමුදුරුවො, පිටි පස්ස හැරිල බලල මෙන්න මෙච්චරයි කියල තියෙන්නෙ.
"ආ, මේ අපේ ඉස්කෝලෙ මහත්තයනේ!"
-කතන්දරකාරයා
ප/ලි:
අපේ සීය ගේ ඔය ස්ථානෝචිත ප්‍රඥාව මගේ ජාන වලින් සීයට උරුම වුණු එකක්.
Friday, 19 November 2010
බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ
මං ලෝයර්ස් ලා ගැන ලියපු කතන්දරේ කියවපු බැංකුකාරයෝ දුක් වෙන්න ඉඩ තියෙන නිසා මේ කතාවත් ලියල දාන්න ඕනැ කියල හිතුන.
ඔන්න අපේ කතන්දර හාමිනේ ගාව තිබුණ පොඩි කාලෙ ඉඳල එකතු කරගත්තු සල්ලි වගයක්. රුපියල් පනස්දාහක් වගෙයි මට මතක. ඕක නිකං ගෙදර පුස් කකා තියාගන්න ඕනැ නැති හින්ද, අපේ ඇනෙක්සිය ලඟම තිබුණු සෙයිලං බැංකුවෙ ස්ථාවර තැන්පතුවක දාලයි තිබුණෙ.
ඔහොම ඉන්න අතරේ, මං තුමාට අල්ලපු රටේ දවස් හතර පහක අධ්‍යාපන කටයුත්තකට යන්න කාරණා කටයුතු යෙදුණ. ඒ වැඩෙන් පස්සෙ පොඩි ට්‍රිප් එකක් දාන්නත් එක්ක හිතාගෙන හාමිනේත් මේ ගමනට සෙට් වුණා.
ප්ලෑන් කලාට විතරක් මදි, ට්‍රිප් යන්න නං සල්ලිත් ඕනි නේ. ටිකට් එක ගන්න, හෝටලේට වැඩිපුර ගෙවන්න, සාරි ගන්න, එනකොට ඩියුටි පී‍්‍ර එකෙන් බඩු ගන්න.
ඉතිං මේ වෙලාවේ සිහියට ආවේ අර සෙයිලං බැංකුවේ දාල තියෙන පනස්දාහේ ෆික්ස්ඩිපොසිට්ටුවයි.
ඔන්න ඉතිං පහුවදාම හාමිනේ ගියා අල්ලපු වැටේ බැංකුවට තමන් ගේ සල්ලි පොජ්ජ විත්ඩ්‍රෝ කොරං එඤ්ඤං කියල, එදා හවස කොළඹ ගිහින් ටිකට් එක ගන්නයි අපි ප්ලෑන් කලේ.
පැය භාගකට විතර පස්සෙ හාමිනේ ගෙට ගොඩ වැදුණ. මට දුන්න රුපියල් හතලිස් දාහක්.
ඇයි ඔයා ඉතුරු දහදාහෙන් ඩොලර්ස් ගත්තද? මං ඇහැව්ව.
කතා කරල බැලින්නං වෙලා තියෙන්නේ මේකයි.
සෙයිලං බැංකුවේ ෆික්ස්ඩිපොසිට්ටුව ගන්න ගිය වෙලේ එතන හිටිය බැංකුකාරය ගෙ ටෝක් එකට රැවටිලා හාමිනේ ෆික්ස්ඩිපොසිට්ටුව එහෙමම තියෙද්දී ගෙදර ඇවිත් තියෙන්නේ උං ගෙන් ලෝන් එකක් අරං.
ෆික්ස්ඩිපොසිට්ටුවට පොලිය සියේට දහතුනයි. ලෝන් එක අරං තියෙන්නේ සියේට දාසයක පොලියට.
ඒ මදිවට, දැන් මේ ලෝන් එක අරං තියෙන්නේ ෆික්ස්ඩිපොසිට්ටුව ඇපේට තියල නිසා, ලෝන් එකේ උපරිමය ෆික්ස්ඩිපොසිට්ටුවේ ගානෙං කොටසක් විතරයි.
සෙයිලං බැංකුකාරය කරල තියෙන්නේ හාමිනේ ගේ ම රුපියල් පනස්දාහෙන්, හතලිස්දාහක් හාමිනේ ට ම ණයක් විදියට දීල ඒ මදිවට ඒ ණයට සියේට තුනක පොලියක් අය කරන එක බව පහදල දෙන්න අන්තිමේදී මට පුළුවන් වුනා.
අල්ලපු රටේ රස්තියාදුව ගහල ඇවිල්ල පහුවදාම කලේ ෆික්ස්ඩිපොසිට්ටුව දියකරල ඒකෙං බැංකුවෙ ණය බේරපු එකයි.
මේ වැඩෙන් රුපියල් පන්සීයකට විතර කෙලවුණා විතරක් නෙමේ, තව පැයක විතර කාලයකුත් නාස්තිවුණා.
කොහොමද බැංකුකාරයෙන් ගේ වැඩ? බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ
-කතන්දරකාරයා
ප/ලි
අපේ කතන්දර හාමිනේ ගැන කියනවනං, එතුමිය තමන් ගේ ෆීල්ඩ් එකේ විශේෂඥයෙක්.
ඒත් ඉතිං, බැංකුකාරයින් ගේ එක එක විජ්ජාවලින් - ගැලවිජ්ජා වෙන්න ඒවයින් බෑ.
ඒකටත් එක්ක ඉතිං මං තුමා. ජැක් ඔෆ් ඕල් ටේරඩ්ස්!
Wednesday, 17 November 2010
අයි නෝ ද ලෝ පුතා!
ඔය ටයිටල් එක ඉස්සර රූපවාහිනියේ ගිය ජනප්‍රිය ටෙලියක (අසල්වැසියෝ?) තිබුණු කැච් ෆ්‍රේස් එකක්.
ඒකේ ඔය කතාව කිව්වෙ හේමසිරි ලියනගේ රඟපාපු චරිතයයි. ඔය කෑල්ලයි, ඒ චරිතයයි, ඒ ටෙලියයි කොච්චර ජනප්‍රිය වුනාද කියනවනං ඒකේ පාට් ටූ එකත් හැදුවා.
ඒත් සෞම්‍යල ගේ තාත්තා ආවෙ නෑ නොවැ පාට් ටූ එකේ චරිතේ කරන්න. පොර කිව්වේ, දිගටම කොමඩි කලොත් කමීඩියන් කෙනෙක් වෙනවා, පොරට ඕනෑ සිරියස් නළුවෙක් වෙන්න කියලයි.
මට ඔය කතාව මතක් වුනේ ලෝයර්ස් ලා ගැන කතා කිහිපයක් සිහියට ආපු හින්දයි.
අඳුණන ලෝයර්ස් ලා හෙම ඉන්නවද? බුදු අම්මෝ නේද?
මේ ලෝයර්ස් ලා ගැන පොඩි කතන්දර දෙකක්.
ඔන්න මං හොඳට දන්න අඳුණන කියන, කොටින්ම එක කුසේ උපන් සහෝදරයෙක් කියල කියන්න පුළුවන්, පොර ළමයෙක් හිටිය. පොර කාලෙක ඉඳල මට නිව් ඉයර් කාඩ් එකක් එවනවා.
ඔහොම කාලයක් ගියාට පස්සේ මෑන් ඕපන් යුනිවසිටි එකේ ඇල්, ඇල්, බී ද, නීති විද්‍යාලෙද, අරහෙද, මෙහෙද, ඉඳල අන්තිමේදී නීතිඥයෙක් විදියට දිවුරුම් දුන්න.
මෙන්න බොලේ ඒ අවුරුද්දේ අග මට එවපු කාඩ් එකේ පොර අත්සන් කරල තියෙන්නේ නීතිඥ කියලයි. ඒ මදිවට නමට පස්සෙ, ඇල්. ඇල්. බී., ඇටෝර්නි ඇට් ලෝ වගේ කෑලි ගොඩයි.
අනේ මේ යසට හිටපු කොලුවට වුනු දේ!
මෙන්න දෙවෙනි කතා කෑල්ල. මට මතකයි මං පොඩි කාලේ ගියා නෑ කෙනෙකු ගේ ගෙදරක ඇට් හෝම් මගුල් සාදයකට. ඒ කාලේ ඔය වගේ තැන්වලට එන අයට සල්ලි දාල දෙන්න ලියුං කවර මිටියක් තියන එකයි චාලිස්තරේ.
කාල, බීල, පච කෙළ කෙළ ඉඳල, ඔන්න ආපහු යන වෙලාව කිට්ටු වුණාම, අපේ මාම වෙන පොරක් ඒ ලියුම් කවරයක් අරගෙන සල්ලි කොලයක් ඇතුලට දාල, කෙල සීල් එක ගහල, ඉස්සරහ පැත්තේ නම ලියනව මං බලාන හිටිය. පොරගෙ නම සුමනසේන විතානගේ. නම ලිව්වෙ මෙහෙමයි.
නීතිඥ සුමනසේන විතානගේ
ඔතන ඔය නීතිඥ කෑල්ල ඉස්සරහින් ලිව්වේ ඇයි කියල දන්නවද?
එහෙම ලිව්වේ නැත්තං, ඒ මගුල් ගෙදරටම ආපු නීතිඥ සුමනසේන විතානගේ ගේ නිඹුල් සොහොයුරු "නිකංම නිකං සුමනසේන විතානගේ" දෙන ලියුං කවරේ එක්ක පැටලෙයි කියල වෙන්න ඇති මගෙ හිතේ.
-කතන්දරකාරයා
ප/ලි
අර හේමසිිරි කිව්ව වගේ දිගටම කොමිකල් පාට් කර කර හිටියොත් ජෝකර් කෙනෙක් වෙන්න තමයි වෙන්නේ.
ඉතිං, දිගටම ලෝයර් පාට් කර කර හිටියොත්?
ඒක නිසා වෙන්න ඇති ලෝයර් පාට් එක ටිකක් කල් කරල සමහරු දේශපාලනේට යන්නේ!
Monday, 15 November 2010
රාමකුමරා ගේ කපුටුපුක
කළබල වෙන්න කාරියක් නෑ. මේ කුණුහරුප කතන්දරයක් හෙම නෙමේ. මේක අපි හුඟදෙනෙක් පොඩි කාලේ, තුනේ පන්තියේදී විතර, අහල, දැකල, ලියල, බලල, ඉගෙන ගත්තු දෙයක්.
සමමිතිකත්වය ලස්සන බවේ මූලික පදනමනේ. අපි ලස්සනයි කියන හුඟ දෙනෙකුගේ මුහුණ හිතන්න බැරි තරමට සමමිතිකයි. පේනවානේ ඔය ෆොටෝ එක!
ඒ එක්කම, හොඳට බලන්න ඔය උඩ මාතෘකාවේ තියෙන වචන දෙකත් සමමිතික ඒවා.
රාමකුමරා
කපුටුපුක
අන්තිම අකුරේ ඉඳලා ආපස්සට කියවන කොට තියෙන්නෙත් එකම වචනයමයි.
මේ වගේ සිංහල වචන තව තියෙන්නේ කීපයයි. මේ මං දන්න ඒවා.
සවස
තාත්තා
කටක
සරස
වඩුමඩුව
රතුවතුර
තවත් තියෙනව නං ලියල යන්න.
-කතන්දරකාරයා
ඉංගිරිසියෙත් මේ වගේ වචන තියෙනවා. ඒ වගේම දිග වාක්‍යත් හදල තියෙනවා, දෙපැත්තේම ඉඳන් කියවන්න පුළුවන් ආකාරයේ. ඒවට කියන්නේ මං හිතන විදියට පැලින්ඩ්‍රෝම් කියලයි.
මෙන්න ඒවායින් කීපයක්.
eye
racecar
civic
kayak
level
madam
Malayalam
radar
refer
reviver
rotator
rotor
stats
මේ වාක්‍ය කණ්ඩ බලන්න.
Do geese see God
Was it Eliot's toilet I saw
Murder for a jar of red rum
Some men interpret nine memos
Never odd or even.
Saturday, 13 November 2010
සුද්දිට ඉංගිරිසි උගන්නපු හැටි
කඩ්ඩ හොර අයට ශිෂ්‍යත්ව දෙන කතන්දරේ ලියන කොටයි මේ කතාව ක්ලික් වුනේ.
මතක නේද ලංකාවටයි, ඉන්දියාවටයි පොදු ලංකේංඩියා භාෂාව ගැන කතාව. මං පස්සේ ඒකෙ දෙවෙනි කොටසත් ලිව්වනේ මකර ගේ කරදරේ නිසා.
ජාතින් අතර සහයෝගීතාවය වැඩි දියුණු කරන අරමුණෙන් නේ ඔය රුසියාවෙන් ලංකාව වගේ රටවල කොල්ලන්ට, කෙල්ලන්ට එහෙ ගිහිං ඉගෙන ගන්න ශිෂ්‍යත්ව දුන්නේ. එහෙම රුසියාවට ගිය අපේ පොරවල්වලින් සමහරු ඒ සංස්කෘතික එකමුතුකම තවත් වැඩිකරගන්න හිතලා රුසියන් කෙල්ලන්ව කසාදත් බැන්දා. සමහරු එහෙම නතරවුණා. සමහරු ලංකාවට ආව. හුඟ දෙනෙක් හැබැයි දැන් ඉන්නේ එංගලන්තය, ඕස්ටේ්‍රලියාව වගේ තුන්වෙනි රටවල්වල.
ඉතිං අපේ පොරක් තමන් ගේ රුසියානු බිරින්දෑ, ශාෂා ත් එක්ක ලංකාවට ඇවිත් ජීවත්වෙන්න පටන් ගත්තා. දෙන්නම කොළඹ පැත්තේ රැකියාව කලේ.
සාමාන්‍යයෙන් සුද්දෝ කියන්නේ එංගලන්තේ, ඉංගිරිසි ජාතිකයින්ට නේ. නමුත් ඉතිං, හම සුදු නං අපිට කවුරුත් සුද්දෝ. ලේබල් ගහල තියෙනවැයි?
ඉතිං අපේ මේ රුසියන් සුද්දි ශාෂා ට ටිකක් සිංහල තේරෙනවා. ශාෂා බස් එකේ වැඩට යනකොට අපේ සමහර සිංහල පොරවල් කියනවාලු, අනේ මේ සුද්දියොත් එනවනේ හිරවෙලා බස්වල යන්න, කාර් එකක් අරං යන්නේ නැතුව කියලා.
ඉතිං අපිට සුද්දි වුනාට ශාෂා ගේ මව් බස රුසියන් නේ. එයාට ඕනැ වුණා තමන් දන්න ඉංගිරිසිය ටිකක් දියුණු කර ගන්න.
මගේ තව යාළුවෙකු ගේ තාත්තා හොඳ උගත් කඩු කාරයා. ඒ අංකල් ගාවට තමයි ශාෂා යන්න පටන් ගත්තේ ඉංගිරිසි දියුණුකර ගන්න.
දවසක් දෙකක් ශාෂා අංකල්ලා ගේ ගෙදරට එනව දැකපු පාර අයිනේ කඩේ මුදළාලි ඔන්න අංකල්ගෙන් මෙහෙම අහනවා.
"මහත්තයා මං දැක්කා සුද්දියෙක් එනවා දවස් දෙක තුනක් මේ ගෙදර පැත්තේ. ඒ කවුද මහත්තයා."
"ආ, ඒ අර අපේ පුතාගේ යාළුවෙකු ගේ නෝනා, පිටරට ඉගෙන ගන්න ගිහින් ඉඳලා එනකොට බැඳලා ආවේ, මේ ලඟදී."
"ඉතිං මහත්තයා මෙහේ නිතරම එන්නේ ඒ සුද්දී?"
"ආ, ඒ මේ මගෙන් ඉංගිරිසි ඉගෙන ගන්න."
"අනේ මේ, මහත්තයා මට විහිළු නොකර ඉන්න. සුද්දියො එයිද මේ මහත්තයගෙන් ඉංගිරිසි ඉගෙන ගන්න?"
-කතන්දරකාරයා
ප/ලි
ප/ලියක් නැතිවුනාම නිකං මොකක්ද මොකක්ද වගේ දැං!
Thursday, 11 November 2010
ඔබේ කඩ්ඩ හොරද? එහෙනං මෙන්න ශිෂ්‍යත්වයක්!
මේ කතන්දරේ මගේ මතකයේ යට තිබිලා උඩ මතුවුනේ මං ලියපු වී.කේ. විරාජ් ගේ ජරමානු ගමන කතන්දරේට ටැබූ සර් දාපු කොමෙන්ට් එකට ප්‍රති උත්තර ලියන වෙලෙයි.
ටැබූ ගේ කොමෙන්ටුවේ මට සාපේක්‍ෂකව වැරදි දෙකක් තිබුණා.
එක. භාෂාවේ භාවිතය සහ උච්ඡාරණය සමාජ කොටස් අනුව වෙනස් වෙන්නේ ඉංගිරිසියේ පමණක් බව. ඒක ගැන අරුණිත් පිලිතුරක් ලියලා තිබුණා.
දෙක. ඉංගිරිසි දැනුම අඩු අයට සුද්දෝ පහත් විදියට සලකන බවත්, ජර්මානුවෝ සහ වෙනත් ජාතිකයෝ තමන් ගේ භාෂාව නොදන්නා අයට එහෙම කරන්නේ නැති බවත්.
සුද්දන් ගේ සුදු හුණු ගාන්න මට අවශ්‍ය නෑ. නමුත් මං දන්න මේ කතන්දරේ නම් නොකියාම බෑ.
මට මතකයි අපි නුවර තිප්පොලෙන් අවුට් වෙලා ප්‍රතිපල ආපු දවසේ ඉඳලා ක්ලාස් ගහපු පොරවල් වලට අමුතු උණක් හැදිලා තිබුණා. ඒ ටෝෆල් (Test of English as a Foreign Language) එග්සෑම් එක කරන්නයි. අවුරුදු දෙකකට විතර පස්සේ මං තුමාත් යාන්තං ඩොලර් ටිකක් හොයාගෙන විභාග ගාස්තු ගෙවලා, ෆ්ලවර් රෝඩ් එක පැත්තේ බඩ ගාලා, කැසට් අහලා, සී.එන්.එන්. බලලා, ඩික්ෂනරිය කට පාඩම් කරලා, යාන්තං ජාම් බේරගත්තා. ටෝෆල් එකේ අමාරුම හරිය තමයි අර යැන්කී ඇක්සන්ට් එක තේරුම් අරගෙන උත්තර ලියන එක.
ඔය ටෝෆල් වගේම තවත් ඉංගිරිසි විභාගයක් තමයි අයී.ඊ.එල්.ටී.එස්. මේක ලංකාවේ පැවැත්තුවේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන්. මට ඕක කරන්නත් වුණා. ඒත් ඒ, ටෝෆල් කරලා අවුරුදු හතර පහකට පස්සේ නිසා වැඩි කරදරයක් වෙන්න වුනේ නෑ.
ඔය කාලේ මං වැඩ කරපු තැනට ආවා එක්සත් රාජධානියේ ආණ්ඩුවෙන් ස්කොල් එකක්. මාස හයක ටෙක්නිකල් training එකක් කොම්පියුටර් හාඩ්වෙයාර් ගැන. මේක බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් තමයි හැඬල් කලේ.
අපේ ආයතනයෙන් මේ සඳහා නිර්දේශ කළා තරුණ තාක්‍ෂණික නිලධාරියෙක්ව. නොමිනේෂන් එක ප්‍රොසෙස් කරන එකේ එක අවශ්‍යතාවයක් හැටියට එයාට අයී.ඊ.එල්.ටී.එස්. විභාගය කරන්න තිබුණා.
ඒත් ඉතිං අනේ මේ මනුස්සයා අයී.ඊ.එල්.ටී.එස්. විභාගය ෆේල් වුණා. විභාගේ ප්‍රතිපල ආපු දවසේ ඉතිං කාටත් හරි දුකයි මේ වෙච්ච වැඩේට. මොනව කරන්නද?
මෙන්න බොලේ තව දවස් දෙක තුනකින් බ්‍රිටිෂ් කවුසිල් එකෙන් ලියුමක් එනවා. අපේ ටැක්නිකල් ඔෆිසර් ගේ ඉංගිරිසි දැනුම අඩු නිසා, මෙන්න ස්කොල් එක මාස හයකින් දීර්ඝ කරලා.
මුලින් මාස හය ඉංගිරිසි ඉගෙන ගන්න ලන්ඩන්වල භාෂා ආයතනයක. ඊලඟ මාස හය අර මුලින් ලැබුණු ටෙක්නිකල් training එක. පොර අවුරුද්දක් එංගලන්තේ ඉඳලා, ඔරිජිනල් කැඩ්බරි චොකලට් හෙම අරගෙන, ආපහු ලංකාවට ආවා. මායි බොන්ඩ් එකට අත්සන් කලෙත්.
ඔන්න ටැබූ ගේ තර්කය බිඳෙන එක උදාහරණයක්.
Australia වගේ රටවලත් ඉංගිරිසි බැරි අයට නොමිලේ උගන්නනවා කියලා මං අඳුනන පොරක් කිව්වා. ඇමරිකාවෙත් එහෙමද කියලා අරුණි ෂැපිරෝගෙන් අහන්න ඕනැ.
මං පොඩි කාලේ මරදානෙදි සුද්දෙකුට පාර කියල දීලත් තියෙනවා නේ. ඉතිං ඕනෙ සුද්දෙකුට නොමිලේ සිංහල උගන්නන්න කැමතියි මාත්.
-කතන්දරකාරයා
ප/ලි
ඔය අන්තිම ලයින් එක ලියන කොට තවත් කතන්දරයක් මතකයේ යටින් උඩට ආවා. සුද්දියෙකුට ඉංගිරිසි උගන්නපු හැටි ගැන එකක්.
ඒක දාන්නං කෝ හෙට අනිද්දට.
Tuesday, 9 November 2010
වී.කේ. විරාජ් ගේ ජර්මානු ගමන
අපි හුඟ දෙනෙකු ගේ හිත් ක්‍රියාකරන්නේ එකිනෙකට වෙනස් අමුතුම විදිවලටයි.
හොඳට හිතල බලන්න, අවුරුද්දකටත් වඩා කාලයක් බ්ලොග් එකක් ලියන අයත්, ඒ වගේම දිග කාලයක් උදේ හවා බ්ලොග් කියව කියව ඉන්න අයත් ඉතිං එක්තරා ආකාරයකට අමුතු කට්ටියක් කියලයි මට හිතෙන්නේ. එහෙම නේද?
වී.කේ. විරාජ් කියන්නෙත් අමුතුම පොරක් ඒ කාලෙ.
මුලින්ම කියන්න ඕනැ, ඔය වී.කේ. කියන්නේ පොර ගේ ඇත්ත මුලකුරු නෙමේ. ඒවා පාප මිත්‍රයෝ දාපු අකුරු.
විරාජ් ගේ වැඩ හරිම ඉක්මං. එක තැනක ඉඳලා අනිත් තැනට යන්නේ නිකං හන්ඩ්රඩ් මීටර්ස් දුවන්න පුරුදු වෙනවා වගේ. ඒ අතිං හරිම කාර්‍යක්‍ෂමයි. කතාවේ වේගය ඊට එහා. තත්පරේකට වචන හැටක් විතර කතාකරන්න පුළුවන්. ඒක නං හැබැයි එච්චර කාර්‍යක්‍ෂමයි දෙයක් නෙමේ. මොකද පොර අපි එක්ක කතා කරන කොට, එකම දේ දෙතුන් පාරක් කියන්න වෙනවා. ඒ නිසා අන්තිමේදී සාමාන්‍ය වේගයෙන්ම තමයි අදහස් හුවමාරුව වෙන්නේ.
ඒ කියල තමන් ගේ වේගය අඩු කරන පොරක් නෙමේ, වී.කේ. විරාජ්!
ඒක හින්දම තමයි ඔය වී.කේ. කියන මුලකුරු පට බැඳුණෙත්.
වී. කේ. කියන්නේ වෙඩි කෑ කියන එකටයි. ඒක විරාජ් ගේ අධි වේගය ගැන කෙරෙන ප්‍රශස්තියක් කියල කියන්නත් පුළුවන්.
වේගය අතින් විරාජ් ට කිට්ටුවෙන් යන තව පොරක් හිටිය. මිනිහට කොල්ලො කිව්වෙ ඩී.බී. කියලයි. ඒ කියන්නේ දඩි-බිඩි.
වී.කේ. එකක් කියන්නේ දඩි බිඩි දාහකට කියලයි අර්ථ දක්වලා තිබුනේ.
වි.කේ. ගැන හොඳම තමයි කියන්න තියෙන්නේ. කාර්‍යක්‍ෂමකමවිතරක් නෙමේ පුදුම ධෛර්යයකුත් තිබුණ පොරක්. කොටින්ම අපිට පොඩි රිපෝර්ට් එකක් ලියන්න තිබුණ කියල හිතන්න. දැන් තියෙන වර්ඩ් ප්‍රොසෙසර් හොඳ නෑ කියල හිතුනොත්, පොරට පුළුවන්, ඒ වෙනුවෙන් අළුත් වර්ඩ් ප්‍රොසෙසර් එකක් ලියන්න. ඔන්නං, ඒක ලියන්න තමන් දන්න C++ වෙනුවට අළුතින් JADE වගේ එකක් මුල ඉඳලා ඉගෙන ගන්නත්.
ඔන්න මේ කියන කාලේ වී.කේ.ලයි, රත්නායකලයි, අපියි පස්තාච්චි ඇදලා ඉවරවෙන කාලේ. මේක ඉවරකරලා දොස්තර විභාගෙට යන්නයි හුඟ දෙනෙක් ගේ කල්පනාව. මේ කට්ටිය ගේ වැඩේ ඉතිං, USA වල, UK වල, Australia වේ යුනිවසිටි ගැන කතාකරන එකයි.
වී.කේ. ඉතිං ඔය කතාබහට වැඩිය සම්බන්ධ වෙන්නේ නෑ.
"ඈ බං වී. කේ., උඹේ අදහස කොහේ ගිහින් පී.එච්.ඩී. කරන්නද?"
"මචංමංපීඑච්ඩීකරන්නයන්නඉන්නේජර්මනියටයි."
"මොකක්ද වී.කේ. කිව්වෙ?"
"මංපීඑච්ඩීකරන්නයන්නඉන්නේජර්මනියටයිමචං."
"යකෝ අපිට තේරෙන්න හිමිං කියපංකො බං. උඹ කොහේ යන්නද ප්ලෑන් කරන්නේ?"
"ජර්මනියට!"
"ජ ර් ම නි ය ට ?"
"ඔව්බංමංයන්නහිතන්ඉන්නේජර්මනියටතමා."
"ඇයි, ඒ?"
"මේකනේමචංපීඑච්ඩීඑකක්කරන්නතරංමගේඉංග්ලිෂ්දැනුමහොඳමදිමංහොයලාබැලුවාජර්මනියේපීඑච්ඩීකරන්නඉංග්ලිෂ්ඕනෙනෑජර්මන්වලින්පුළුවන්."
"ඉතිං උඹ ජර්මන් දන්නවද?"
"නෑබංහැබැයිමංහෙටඉඳලාජර්මන්ඉගෙනගන්නවා."
-කතන්දරකාරයා
ප/ලි
අළුතින්ම ජර්මන් ඉගෙන ගෙන, ජර්මනියට ගිහිං පී.එච්.ඩී. තීසිස් එකක් ලියන්න ට්‍රයි කරන්නේ නැතුව, ඊට වඩා කෙටි කාලයකින් දන්න ඉංගිරිසි ටික වැඩි දියුණු කරගන්න පුළුවන් බව වී.කේ. ට ම තේරෙන්න ඇති.
ආචාර්ය වී.කේ. විරාජ් ට ජයවේවා!
Saturday, 6 November 2010
ඔය කලිසමේ නම මොකක්ද?
මැදපු කමිස ගැන ලියපු කතන්දරේටත්, මැදපු කමිස මොකුත් නැති එකේ රහස ගැන ලියවුණු දෙවෙනි කොටසටත් හොඳ ප්‍රතිචාරයක් ආපු නිසා, මට හිතුණා අද කලිසං ගැන කතන්දරයක් ලියන්න.
දැන් අපි මුලින්ම දැක අඳුණාගන්න කෙනෙකුගෙන්, අර ගනේමුල්ලේ කුරුවිට ගෙන් වගේ, "ඔයා ගේ නම මොකක්ද"? කියල අහන එක සාමාන්‍ය දෙයක් නේ. කොල්ලන් ට, කෙල්ලන් ට විතරක් නෙමේ බල්ලන්ටත් නම් තියෙනව.
සමහර ගෙවල්වලටත් නං තියෙනව, "ශ්‍රියාවාස", "නවාතැන" වගේ. ඒ වුණාට අපි ගෙදරක ඇඩ්‍රස් එක අහනව මිසක ගෙදර නම මොකක්ද කියල අහන්නේ නෑනේ.
එහෙව් එකේ, "ඔය කලිසමේ නම මොකක්ද?" කියල ප්‍රශ්ණයක් අහන්න වුනොත්?
ඔන්න මං ඒ ලෙවල් කරන කාලේ අපේ ගෙදර මල් පැළයක් තිබුණ අපේ අම්මගේ. මේක මල් බිස්නස් එකක් කරපු නෑයෙක්ගෙන් තෑග්ගකට ලැබුණ පැලයක්. අම්ම කිව්වෙ හරිම වටින එකක් කියලයි. මල් වර්ගයේ නම "ප්‍රයිඩ් ඔෆ් ජැපෑන්".
ඕක අපේ ගෙදර ගෙනැල්ල සාත්තු සප්පායම් කර කර සෑහෙන කාලයක් ගතවුණා. අනේ කොල දෙක තුන හෙමිහිට ඇවිත් මේක බොන්සායි පුවක් ගහක් වගේ කණාටුවට හැදෙනව මිසක් ආපු මලක් නම් නෑ.
අපි අම්මට ඕක ගැන විහිළු කරන්න පටන් ගත්ත.
ඔය දවස්වල, මං මරදානෙං රෙදි අරගෙන ගම්පහ "රෙස්ටන් ටේලර්ස්" එකෙන් මැහැව්ව දුඹුරු පාට කොඩ්රෝයි කලිසමක්. ඒ දවස්වල වීක් එන්ඩ් එකේ ටියුෂන් කඩවලට යන්න මං නිතරම ඇඳපු කලිසමක් තමයි ඒක. ඒ කාලේ මගේ ප්‍රියතම කලිසම ඒක කියල කිව්වොත් නිවරදියි.
ඒත් මොන හේතුවක් නිසා හරි අපේ අම්මා මගේ මේ කොඩ්රෝයි කලිසමට කැමති වුනේ නෑ.
මං මොකද දන්නවද කලේ? මගේ කොඩ්රෝයි කලිසමට නමක් දැම්මා. "ප්‍රයිඩ් ඔෆ් ශ්‍රියාලතා!"
අම්ම ගේ රියැක්ෂන් එක ගැන අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ?
ඉන් පස්සේ මට තේරුණා, කොල්ලන් ට, කෙල්ලන් ට, බල්ලන් ට වගේම කලිසම් වලටත් නං දාන්න පුළුවන් නේද කියලා.
මල්ලිගේ කලිසම් වලට තමයි මං ඊ ලඟට නම් දැම්මේ. මෙන්න ඒවායින් මට මතක කීපයක්.
"බෙල් මාටියා" - මේ නම දැම්මේ කාටූන් කැරුක්ටර් එකක් සිහිවෙන්නයි
"පීචං" - පොර ගේ කලිසම් වලින් සවුත්තුම එක.
"කපුටු කාක්" - අමුතුම කළුපාටකින් යුතු කලිසමක්.
අනේ මන්දා මට විතරද කියලා මෙහෙම කලිසම් වලට නං දානව වගේ පිස්සු කල්පනා ඇවිල්ල තියෙන්නේ?
-කතන්දරකාරයා
ප/ලි
මාස ගාණකට පස්සේ "ප්‍රයිඩ් ඔෆ් ජැපෑන්" මල් ගහේ එකම එක මලක් ආවා!
Thursday, 4 November 2010
කාගෙන කාගෙන කාගෙන යෑම
මං 1994 ඉලෙක්ෂන් එක ගැන කතන්දර දෙක තුනක් ම පල කළා පහුගිය දොහේ. විකල්ප පත්තර නැතිවෙන්න ගිය හැටි. හබරල ගාලේ කබරගොයි විවාදය. රුපියල් විස්සේ පෙට්‍රෝල්.
මේ කතන්දරයත් ඔය කියන ඉලෙක්ෂන් එක ගැනයි.
ඒ දවස්වල, ටෙලිවිෂන් එකේ යන "ජන හඬ" වගේ විවාද බලනව වගේම මං කැමති දෙයක් තමයි, අර විනාඩි පාලහේ පොඩි දේශපාලන කතා බලන එක.
මේ දේශපාලන කතා පැවැත්වුනේ මැතිවරණ නීතියෙම කියල තිබුණ හින්දයි. පස්සෙ, විපස්සෙ හැමෝටම විනාඩි පාලහ ගානෙ ලැබුණ රේඩියෝ එකෙයි, රූපවාහිනියෙයි දෙකේම.
පොඩ්ඩක් අතීතය මතක් කළොත්, මේ මැතිවරණය කියන්නේ ලොකු දේශපාලන පෙරලියක් වුනු එකක්. තිබුණු ආණ්ඩුව අවුරුදු දා හතක් බලයේ ඉඳල රටේ, බහුතරයකට එපා වෙලයි හිටියෙ.
අපි හුඟ දෙනෙක් බලං හිටිය නෝන ආවට පස්සේ දාහත් අවුරුද්දක දුෂණයයි, 1993 මැයි මාසෙ ඉඳන් ටික ටික නැතිවෙලා ගිහින් තිබුණු භීෂණයයි නැත්තටම නැති වෙලා, උතුරේ ප්‍රශ්ණයත් විසඳිලා රටට සාමය උදාවේවි කියල.
ඉතිං මං මේ කියන දවසෙ, රූපවාහිනියේ ඔය කතාව කරන්න ඇවිල්ල හිටියෙ මං කලින් කතන්දරවල කියල තියෙන නුවර පැත්තෙ තිප්පොලක ඉගෙන ගත්තු කෙල්ලෙක්. මෙයා නියෝජනය කලේ, කතුර ප්‍රෝග්‍රෑම් එකේ භාෂාවෙන් කියනව නං, සහෝදර පස්සෙ.
හරිම චතුර කථිකත්වයක් තිබුණු කෙල්ලෙක් වගෙයි මට මතක. මුල් මිනිත්තු කීපය එයා ගත්තේ, ඒ වෙනකොට තිබුණු ආණ්ඩු පස්සේ හම පතුරු අරින්නයි.
ඊ ලඟට එයා මෙන්න මේ මගේ තක්සේරවේ හැටියට ඓතිහාසික ප්‍රකාශය කළා!
"සහෝදරවරුණි, දැන් මේ විපස්සෙ අය මැතිවරණයට ඇවිත් මොකද කියන්නේ දන්නවද?"
"අනේ දැං ආණ්ඩුව කරණ උං රට කාගෙන, කාගෙන, කාගෙන යනව. උං රට කාගෙන, කාගෙන, කාගෙන යන එක නවත්තල, ඒ නවත්තන තැන ඉඳන් රට කාගෙන, කාගෙන, කාගෙන යන්න අපිට බලය දෙන්න කියල තමයි සහෝදරවරුණි මේ විපස්සේ අය චන්දෙ ඉල්ලන්නේ!"
මරු කියමන නේද?
-කතන්දරකාරයා
ප/ලි
මං මේ පරණ ඉලෙක්ෂන් කතන්දර ලියන කොට දේශපාලන පක්‍ෂවල නං දාන්නෙ නැතුව පස්සෙ, විපස්සෙ කියල කියන්නෙ ඇයි කියල දන්නවද?
ඔය දෙගොල්ලො ඉන්ටර්චේන්ජබල් හින්දයි.
මේ කතන්දරවල උං වෙනුවට මුං දැම්මත්, මුං වෙනුවට උං දැම්මත් කිසි වෙනසක් වෙන්නේ නෑ!!!
ප/ප/ලි
ඔය රූපවාහිනී කතාව කරපු කෙනා දැං ලංකාවෙ නෑ මයෙ හිතේ.
Tuesday, 2 November 2010
ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක්!
මං හිතන්නේ සිංහල බ්ලොග් කියවන හැම කෙනෙක් ම දන්න බ්ලොග් එකක් තමයි "ටැබූ හෙවත් ටැබූ සර්" ලියන ටැබූ සබ්ජෙක්ට්ස්.
ටැබූ ගේ බ්ලොග් එක මුළුමනින්ම කියවල නැති අයට මේ ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ ලංකාවේ සමාජ දේශපාලන මාතෘකාය කියල ටැපලෙන්නත් පුළුවන්. නමුත්, ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ සාමාන්‍යයෙන් එළිපිට කතා නොකරන, සමාජ තහංචි පැනවිලා තියෙන විෂයයන් ට නේ.
මං මේ කියන්න යන්නේත්, ඒ වගේ කාරණයක් ගැන ලියවිලා, ගායනා කරල තියෙන සින්දුවක් ගැනයි.
වැඩි විස්තර ලියන්නේ මොටද, මෙන්න සින්දුවේ පද මාලාව හෙවත් ගේය පදවැල. ඉස්සෙල්ලා කියවන්න.
රෝස මලේ නුඹ නාඬන්නේ
රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?
නයන පිනන රුවිනි සපිරි රුසිරූ
නිබඳ සුවඳ දසත විහිදි මියුරූ
මලෙක විලස නුඹ සඳෙකි සරා සොඳුරූ
කිමද රොනට නොම ඇදෙන කරුණ බඹරූ
රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා
වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?
සොඳින සිරුර සුවඳ දියර නහවා
සිනිඳු සළුව කිඳුරු ලෙසින පොරවා
බඹර තුඩග රස විඳින බඹරු පතලා
කුමන පලද නුඹ මෙලෙස කඳුළු සලලා
ගායනය- හේමාල් ජයවික්‍රම
සංගීතය- සිසිල් ෆොන්සේකා
පදවැල- රසික සූරියආරච්චි
දැන් මෙන්න ගායක හේමාල් විසින් සාදන ලද යූ ටියුබ් ක්ලිප් එකක්. හැබැයි මේකෙ ඇති වැඩි විෂුවල් එකක් නං නෑ. ඕඩියෝ විතරයි. ඒ හින්ද මේක ඩවුන් ලොඩ් කරන්න 3 MB ද කොහෙද යන්නේ.
පදමාලාව ගැන අදහස් තියෙනව නං ඔන්න ඔහෙ ලියල දාන්න පල්ලෙහායිං.
-කතන්දරකාරයා
Labels:
Taboo Subject,
Taboo Subjects
Subscribe to:
Posts (Atom)