Friday, 29 April 2011

කටුබැද්දේ කුකුල්ලු දෙන්නා ගේ රහස එළිවෙයි :: Two Cocks of Katubedda - Secret Revealed!


රහස එළිවෙනවා ය කියන්නේ අද දාන කොටසින් මේ කයි-කතන්දරේ අහවරක් වෙනවා කියන එකයි. ඒ හින්දා කවි ටිකයි, මගේ රනින් කමෙන්ට්‍රියයි කියවන්න කතාව කොටස් වශයෙන් දැම්මා කියලා මට බණින්නේ නැතුව!

ඊට කලින් කයි-කතන්දරේ මුල් කොටස් කියවපු නැති අයට මෙන්න ලින්ක්ස්.

1. මුල් කොටස -දෙවන කොටසට ලින්ක් එකක් එහි ඇත.

2. දෙවෙනි කොටස –අද පලවෙන අවසාන කොටසට ලින්ක් එකක් එහි ඇත.

අද එතැන් සිට, හොඳේ?

9. මතකනේ, වෙරි මත හින්දද කොහෙද රතනේ ට හෝටලේ රෝස්ට් කරපු කුකුල්ලු දෙන්නෙක් තියෙනවා ය කියල පෙනුනට, සමරේ කියන්නේ ඒ ඉන්නේ එක කුකුළා ය කියලයි.

ඒ කතාව අහල රතනේ ට ඔන්න තද වුණා!

"මට නැත ඩෝප් ඇස් දෙක පේනව හොඳට
කුකුලන් ජෝඩුවක් බැදලා ඇත යසට
දෙන්නට හිතයි යන්නට දත් ටික බඩට"
රතනෙගේ කතා බහ දැන් නම් ගෝරියට


රතනේ විතරක් නෙමේ, දන්නවනේ, කොහොමටත් මිනිස්සු බීපු වෙලාවට කැමති නෑ, තමන්ට ඩෝප් ය කියල පිළිගන්න.

10. සමරෙයි, රතනෙයි ඉතිං ජාඩියට මූඩිය වගේ හොඳම යාළුවෝ දෙන්නෙක් නේ. ඉතිං, සමරෙට හිතුණා රතනේ එක්ක වලියට යන්නේ නැතුව මේ වැඩේ ගොඩිං ම ෂේප් කරලා දාන්න.

"නොමගන් කෝප මේ ලෙස හිතවත් රත්නේ
මා කියනා කතාවත් දැන් අහපන්නේ
දෙන්නෙක් නොවේ එක කුකුළයි ඔය ඉන්නේ"
සමරේ මේ ලෙසය එය පහදා දුන්නේ


11. මෙන්න සමරේ ගේ පැහැදිලි කිරීම. බලමු ඔහෙලට අපිටත් තේරෙයිද කියලා.

"ජෙම්රෝස් කාරයා නත්තල සමරන්ට
කුකුලෙකු රෝස්ට් කර තැබුවා විකුණන්ට
ඕවට බර නැතිය අපි වගෙ කොල්ලන්ට
කල් ගත වුණත් බැරි විය විකුණාගන්ට"


අහන්නත් දෙයක්ද? ගමෙන් ඇවිල්ලා, දෙමව්පියෝ දෙන තුට්ටු දෙකෙන්, මහපොලෙන්, බර්සරියෙන් ජීවත්වෙන කොල්ලන්ට කොයින්ද, රෝස්ට් චිකන් කන්න සල්ලි.

කොටින්ම මුං අරක්කු බොන්නේත් කෝක් දාල ෂැන්ඩි කරන්නේ නැතුවයි, අපේ චමින්ද ලා ට, දුමින්ද ලා ට තේරෙන්නේ නැතිවුණාට!

12. ඉතිං, ඒ කුකුලා රෝස්ට් කරලා විකුණන්න මාස ගාණක් වේලි, වේලි තියෙන අතරේ මොකද දන්නවද වෙලා තියෙන්නේ?

"මිය ගිය කුකුළා ගේ පණ නල ඔය අතරේ
ඉපදී හැදී යලි ලොකු විය දිවි කතරේ
ඌ යලි රෝස්ට් වී ඇත මේ දුක් සසරේ
දෙන්නෙකු නොවෙයි ඔය එක කුකුළයි මිතුරේ!"


ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ. කුකුල්ලු දෙන්නෙක් වගේ පෙණුනට ඒ ඉඳලා තියෙන්නේ එකම කුකුලා.

ඇත්තටම කියනවනං, මේ සිද්ධිය වෙන කොට අර දෙවෙනි පාරට මැරිච්ච කුකුලාත් ආපහු කුකුළු පැටියෙක් වෙලයි හිටියේ!
තව ටිකක් කල් ගියා නං කුකුල්ලු තුන් දෙනයි එතන.

-කතන්දරකාරයා

ප/ලි:
රෝස්ට් චිකන් ගැන ඔහොම නං, කරෝල ගැන හෙම මොනවා කියන්නද, නේද? එකම මාළුවගේ ආත්ම ගණනාවක කුණු ශරීර කූඩු එකම කරෝල කඩේ, එක ගොඩේ විකුණන්න දාල තියෙන්න ඉඩ තියෙනව!

ඇයි එතකොට උම්බලකඩ? ඒ ඊටත් කලින් ආත්මේ.

(image: http://www.123rf.com/photo_4210067_two-roast-chickens-on-a-bed-of-salad.html)

Wednesday, 27 April 2011

කටුබැද්දේ කැම්පස් කුකුල්ලු දෙන්නා ගේ කතාව ඉදිරියට - Two Cocks of Katubedda Campus (contd/-)





මතකනේ මං සඳුදා පටන් ගත්තු කටුබැද්දේ කුකුල්ලු දෙන්නා ගේ කයි-කතන්දරේ මෙතෙක් කොටස? මෙතනින් බලන්න ඒ මුල් කවි ටිකයි, රනින් කමෙන්ට්‍රියයි!

http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

රනින් කමෙන්ට්‍රිය දාන්නේ කවි තේරෙන්නේ නැති හුදී ජන පාඨකයින් ගේ හිත සුව පිණිසයි.

අද එදා නැවැත්වූ තැන සිට.

5. ඉතිං, රත්නෙයි, සමරෙයි කියන කටුබැද්ද කැම්පස් එකේ යාළුවෝ දෙන්නා එදා විභාග ප්‍රථිපල ආපු දවසේ පොඩ්ඩක් අනුමත වෙලා, මේ ආපහු ගෙදර යන වෙලාව.

මෙන්න යාළුවො දෙන්නා බෝඩිම බලා යන මාර්ග විස්තරයෙන් කොටසක්.

ටැක්නිකලය යාබද හන්දයෙ පිහිටී
ජෙම්රෝසය හෝටලයකි හුරු බුහුටී
පැලහූ කුකුල් මස් තෙල් හොඳ හැටි දැවටී
ෂෝ කේසයේ ඇත මිල නම් බලු නොවටී


6. දැකල තියෙනව නේද රෝස්ට් චිකන් වීදුරු කබඩ්වල දාල තියෙන හැටි? ඕවගේ ගාන කොහොම වුනත් අපි සමහරුන්ට දැක්ක ගමන් කෙල ගිලෙනවා.

මස් කන එකෙකුට අරක්කු බිව්වට පස්සේ, රෝස්ට් චිකන් කනව තරං දෙයක් තියෙනවයැ?

ඔන්න සමරේ හෝටලේ තිබුණු චිකන් මතක් වෙලා මෙන්න මෙහෙම කියපි.

"කෑ බී දේ ගියා වමනය සමග හැපී
මට බඩගිණියි බඩවැල් එයි උඩට පිපී
හන්දියේ හෝටලය වෙත ගොස් කමුද අපී"
සමරේ, මිතුරු රතනෙට ඇරයුම් කරපී


7. ඉබ්බ දියේ දානවාය කිව්වම, ඇන්නෑවේ කිව්වලු. මෙන්න රතනගේ පිලිතුර.

"ඒ අදහස හොඳයි සමරේ මචෝ මගේ"
රතනේ එකඟ වුවා එක පයින් වගේ
"කුකුලන් ජෝඩුවක් බැදලා හරිම අගේ
එල්ලා තිබේ ඉන් ලොකු එක හොඳයි වගේ"


මේ කයි-කතන්දරේ මුල් කොටස කියෝලා කාට හරි වැරදි වැටහීමක් ඇති වුණා නං, මං කුකුල්ලු දෙන්නාය කියලා කිව්වේ රතනේටයි, සමරේටයි කියල, සොරි වෙන්න ඕනැ, හොඳේ! මේ කතාව ඇත්තටම කටුබැද්ද හන්දියේ හෝටලයේ හිටියාය කියන රෝස්ට් කරපු කුකුල්ලු දෙන්නෙක් ගැනයි.

8. රතනේ දැක්කා කුකුල්ලු දෙන්නෙක් ම රෝස්ට් කරලා තියෙනවා හෝටලයේ. මිනිහා යෝජනා කරන්නේ ඒ දෙකෙන් ලොකු රෝස්ට් කුකුලාව අරගනිමු කියලයි.

මේ කතාව සමරේට පොඩ්ඩක් අවුල්. දැන් මෙන්න සමරේ ගේ පිළිතුර.

"එක දෙක වෙලා පේනව වගෙ උඹට!" කියා
රතනෙගෙ බහට සමරේ හට හිනා ගියා
"කුකුළන් ජෝඩුවක් නැත එහි බැදලා තියා
එක කුකුළාය රත්නායක මහත්තයා"


රත්නායක කුකුල්ලු දෙන්නෙක් ගැන කියනව. හැබැයි, සමරේට පේන්න නං ඉන්නේ එක කුකුලයි!

සාමාන්‍යයෙන් නං, මේකට හේතුව ඉතිං බීල හොඳට වැදුනහම, එක දෙක වෙලා පේන එකයි. රතනේ ට පොඩ්ඩක් වැඩි නිසා එක කුකුළා දෙන්නෙක් වෙලා පේනවද?

නමුත් ඉතිං, ඇයි මේ සාමාන්‍ය සිද්ධීන් කතන්දර බ්ලොග් එකේ දාන්නේ නේද? මෙතන කතන්දරේ අනිවා ඩෙෆා අමුතු එකක්!

හැබැයි, ඒ ඉතුරු කෑල්ල බලන්න වෙන්නේ නං ඉතිං සිකුරාදා ට තමයි ඕං! දැන් ළමයි මට බනින්න එපා කතන්දරේ කුට්ටි කරල දානවයි කියල. මෙගා ටෙලි බලන අපිට, කයි කතන්දරයක් කොටස් තුනකින් බලන එකත් වැඩක් ද, නේද?

-කතන්දරකාරයා

ප/ලි:
සිකුරාදා ට පුළුටු හොඳ නැති අය හෙම මේ පැත්තේ නං එන්න ම එපෝ!
http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-secret-revealed.html

(image: http://www.skyscrapercity.com/showthread.php?t=571695&page=4)

Tuesday, 26 April 2011

කටුබැද්ද කැම්පස් එකේ කුකුල්ලු දෙන්නා ගේ කතන්දරය - The tale of two Cocks of Katubedda Campus (posted again)

පොඩි අවුලක් නිසා නැවත පලකරන්නට සිදුවිය. සමාවෙන්න.




බුදු පිළිමයක් ඉස්සරහ බිකිණි ඇඳපු මරඟනන් ව නැටෙව්ව නිසා ගිය අවුරුද්දේ ලංකාවට වීසා කැන්සල් කරගත්තු ඒකෝන් කියන ගායකයා තමන්ගේ ඊලඟ වීඩියෝ ක්ලිප් එක කරන්න ආවේ රත්නපුර කලවානේ පන්සලට බව මතකයි නේද?

ඔය සිද්ධියෙන් පස්සේ මං දිව්‍යලෝකේ ගිහින් දැක්ක සුරසැප විඳින අපේ දෙයි-ගොල්ලෝ ගැන විස්තර මේ බ්ලොග් එකේ ලිව්වා කවියෙන්.

කවියෙන් කවිය, පොඩි සංවාදයක් පවා ඇතිවුණා ඒ කයි-කතන්දරේ නිසා.

ඉතිං, අදත් මට හිතුණා තවත් කයි-කතන්දරයක් පල කරන්න. කවි කියවන්න වැඩි කැමැත්තක් නැති අයගේ ප්‍රයෝජනය පිණිස මං රනින් කමෙන්ට්‍රි එකකුත් දාන්නං.

මේ සිද්ධිය දැන් කාලෙකට කලින් කටුබැද්දේ කැම්පස් එක ආශ්‍රිතව වෙච්ච එකක්. මට කිව්වේ ඒ පැත්තේ අවුරුදු හතරක් රස්තියාදු වෙලා තියෙන රත්නායක මහත්තයා.

1. මුලින්ම පරිසර වර්ණනාව. මේ විස්තර වෙන්නේ සුන්දර කටුබැද්ද ගම්මානයයි.

නෑසෙන ඇසෙන දුර මුහුදේ හෝ සද්ද
පිළියන්දල මොරටු පාරට අනුබද්ද
ටැක්නිකලය ගැන රට තුළ පරසිද්ද
සිරිලක සොඳුරු ගම්මානෙකි කටුබැද්ද


මං රත්නායක මහත්තයා එක්ක වලියක් දා ගන්න ඕනැ වුණාම නං සාමාන්‍යයෙන් කියන්නේ කටුබැද්දේ මාළු ගඳයි, පේරාදෙණියේ මල් සුවඳයි කියලයි. අද මොකටද ඒවා නේද?

අනික ඔය ටැක්නිකල් කතාව කිව්වහමත් කට්ටන්ට මල පනිනවා!

2. දැන් ඔය කටුබැද්ද කියන ගමේ තියෙන කැම්පස් එකේ ඉන්නවය කියන කොලු රැළ වර්ණනා කිරීමයි මේ කවියෙන් කෙරෙන්නේ.

රට හැම දෙස ළමුන් ඇවිදින් මෙම ගමට
ඉගෙනුම ලබති පෙර භවයෙදි කළ පවට
වසරක් නිමා වී ප්‍රතිඵල එන දිනට
කදිමට බීම අවැසිය මෙහි කොලු රැළ ට


අපේ රත්නායක මහත්තයත් ඔයින් එක්කෙනෙක්. හැබැයි මෙයා නං අපරාදේ කියන්න බෑ, බියර් විතරයි බොන්නේ. බියර් වුණත් ඉතිං බොන දවසට පොඩි බෝතල් හයකට වැඩිය කවදාවත් ම බොන්නෙම නෑ.

3. දැන් මෙන්න අපේ කයි-කතන්දරේ මූලික චරිත දෙක හඳුන්වා දෙන්නයි යන්නේ. එකෙක් සමරේ. අනිත් එකා රත්නේ. මුං දෙන්නා ෆර්ස්ට් ඉයර් එකට ආපු කාලේ ඉඳලම හොඳම යාළුවෝ කියලයි කියන්නේ. මේ කාලේ වෙනකොට කැම්පස් එක අවට බෝඩිමකයි පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ.

රට දෙකොනක ඉපිද හැඩි දැඩි වී සුරැකී
සපැමිණ කටුබැද්ද ගම්මානෙට පෙරකී
ගජ යහළුවන් වූ සොමි පොරවල් දෙකකී
සමරේ ජාඩියට රතනේ මූඩියකී


මෙතන ජාඩියට මූඩිය කියන්නේ, මං දන්න තරමින්, අර සඳුන් ගසේ සමන් වැල, රත්තරං කෙංඩියේ සිංහ තෙල්, හඳ පානයි, මද සුළඟයි වගේ හොඳ ගැළපීමක් ගැන කියවෙන උපහැරණයක්!

4. එදා විභාග ප්‍රතිඵල එන දවස. යාළුවෝ දෙන්නා ටිකක් අනුමත වුණා. මං හිතන්නේ හොස්ටල් එකේ දී හරි, කාගේ හරි බෝඩිමකදී හරි වෙන්න ඕනෑ සෙට් වෙන්න ඇත්තේ. ඔන්න ඊට පස්සේ දෙන්නා, ඒ දවස්වල නැවතිලා හිටපු බෝඩිමට පයින් ම යන්න පටන් ගත්තා.

ප්‍රතිඵල බලා සමරෙයි රතනෙයි දෙන්නා
මද පමණින් බොන්න ගොස් රතු ඉර පැන්නා
කබරය ඇද්දමුත් තව හිස කැරකෙන්නා
මිතුරන් දෙදෙන බෝඩිම වෙත ගාටන්නා


අන්න එතන ඉඳල තමයි හොඳ වැඩ ටික පටන් ගන්නේ!

මුං දෙන්නා මොන මරාලයක් කර ගනීද? වලියකට පැටලෙයිද? මොකක්ද මේ කුකුල් කතාව? ප්‍රශ්න වැලයි නේද?

පෝස්ට් එක දිග වැඩියි, වැඩියි, වගේ හින්ද ඒ කෑලි බදාදා ට දාන්නම්.

-කතන්දරකාරයා

ප/ලි:
දෙවන කොටසට ලින්ක් එක මෙන්න.
http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-campus-contd.html

(image: http://www.mrt.ac.lk/)
(definition: http://en.wikipedia.org/wiki/Cock)

Sunday, 24 April 2011

සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා - ටීචිං කතන්දරයක් :: Sunday Extra, Sunday Extra


මේක ලියන්නේ සංජුගේ පවුලේ කතාවක් දැකලයි. සංජු කියනවා එයාගේ ඥාතීන් කොච්චර දෙනෙක් ගුරුවරුද කියනවා නං පවුලේ සුහද හමුවක් නිකං ස්ටාෆ් රූම් එක වගේ වෙනවා කියලා!

මගේ අම්මාගේ දෙමව්පියන් දෙන්නයි, එක පුංචි අම්මා කෙනෙකුයි ගුරුවරු. මගේ තාත්තාත්, බාප්පාත්, නැන්දලා දෙන්නෙකුත් ගුරුවරු. පවුල් දෙකේම බඩ පිස්සෝ විතරයි ගුරු සේවයේ නොවෙන ජොබ් කරන්නේ.

තාත්තාගේ පැත්තෙන් සහ අම්මාගේ පැත්තෙන් නෑයෝ වෙන බාප්පා, මහප්පලා, මාමලා, නැන්දලා ගත්තොත් මුළු අධ්‍යාපන කොට්ඨාශයකම ඉස්කෝල පුරවන්න අය ඉන්නවා.

කතන්දර හාමිනේ ගේ පවුලේත් නැන්දලා, මාමාලා, පුංචි ලා බාප්පලා අති මහත් බහුතරය ගුරු සේවයේ තමයි.

මේ තරම් ගුරුවරු ඉන්න හේතුව දන්නවාද?

ඉස්සර අපේ සීයලා ගේ කාලේ ගම්වල ඉගෙන ගන්න අයට, ඉංගිරිසි ඉගෙන ගන්න ටවුමේ ඉස්කෝලෙකට නොගියොත් කරන්න තිබුනේ මූලිකවම රස්සා දෙකයි. එක්කෝ වෙද මහත්තයෙක් වෙන්න ඕනෑ. නැත්තං, අවසානේ පාස් කරලා, ශිෂ්‍ය ගුරුවරයෙක් විදියට බැඳිලා ගුරුවරයෙක් වෙන්න ඕනෑ. (විභාග පාස් නැති අයට තිබුනේ කම්කරු රැකියා, ගවර්න්මන්ට් ප්‍රෙස් එකේ, මිනින්දෝරු පාටියේ හෙම).

අපේ නැන්දලාගේ කාලේ වෙනකොට ඉංගිරිසියෙන් ඉගෙන ගත්තු අයට තිබිලා තියෙන්නේත් ඔය වගේ චොයිසස් කීපයයි.

ටීචින්, ක්ලැරිකල්, නර්සින්. ඒ විශේෂයෙන් ම ගෑනු අයට.

ටිචින් නැතුව වෙන දෙයකට යන එක ගෑනු කෙනෙකුට ටිකක් අමාරුයි කියලනේ හුඟ දෙනෙක් හිතුවේ, සමතැන දීම කෙසේ වෙතත්.

ඉස්සර කාලේ අවසාන විභාගේ පසු කාලේ සීනියර් විභාගේ, ඊටත් පස්සේ ඕ-ලෙවල් පාස් වුණායින් පස්සේ තිබුණු හොඳම ජොබ් එක කළා මිසක්, වෙන හේතුවක් හින්ද නෙමේ, සංජු ලා ගේ, අපේ නෑ පරපුරම ගුරුවරු වෙලා ඉන්නේ...!!!

මොකද ඒ දවස්වල PHP, ASP ඉගෙන ගෙන වෙබ් ඩිසයින් කරන්න කියලයැ?

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සීරීස් එකේ මුල් එපිසෝඩ් එකයි. මේවා ටිකක් පොඩි අදහසක් විතරක් තියෙන ඒවා. ලොකු කතන්දරයක් නං නෑ, හරිය?

ප්‍රධාන කතන්දර සීරීස් එක යන්නේ සඳුදා, බදාදා සහ සිකුරාදා විතරයි. ආපහු පොඩි කතාවක් ඊලඟ සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා එකෙන්.

(image: http://www.thesun.co.uk/sol/homepage/news/article149538.ece)

Friday, 22 April 2011

වෙඩින් ප්‍රසන්ට් එකේ ප්‍රයිස් ටැග් එක - To remove or not to remove


කාලෙකට කලින් ඔන්න මට ආරාධනාවක් ලැබුණා මගුල් ගෙදරකට. මේක යාළුවෙකුගේ යාළුවෙකු ගේ වෙඩිමක්.

මගුල් ගෙවල්වලට නිකං යන සිරිතක් නෑනේ. ඉතිං මං කල්පනා කර කර හිටියා, මොකක්ද ගන්න හොඳ ප්‍රසන්ට් එක කියලා.

ඔය අතරේ මට මගේ යාළුවාගෙන් දැන ගන්න ලැබුණා අළුත් ජෝඩුවේ ප්ලෑන් එක බැඳලා ටික කාලෙකින් ම පිටරට යන්නය කියලා මුලින් ඉගෙනීමට, පස්සේ අනිවා, ඩෙෆා පදිංචියටත් එක්ක.

පිටරට පදිංචි වෙන්න යන්න ඉන්න උන්ට, වීදුරු-පිඟන් බඩු, ඉලෙක්ට්‍රික් අයන්, බිත්ති ඔර්ලෝසු යනාදී සම්ප්‍රදානුකූල තෑගි ජාති දීලා වැඩක් නැහැ නොවැ.

එක දවසක් සින්දුවක් අහගෙන ආතල් එකේ ඉන්න වෙලාවක දී මට එක පාරටම තේරුණා මොකක්ද දෙන්න හොඳ ප්‍රසන්ට් එක කියලා.

සින්දු කැසට්!

මොකද ඕනෑ තැනක ගෙනියන්න ලේසිනේ.

මේ කාලේ වෙනකොටත් බහුතරයක් කැසට් වල තමයි සිංග්ලන්කා ලා, ටොරානා ලා, නිල්වලා ලා සින්දු රිලීස් කලේ. තාම සී.ඩී. කියන ඒවා නැගලා ගිහිල්ලා තිබුනේ නෑ.

ඉතිං, මං ගියා කැසට් කඩේකට කැසට් කීපයක් ගන්න. තෝරලා බේරලා ගත්තා දිලිප් ගබඩාමුදලිගේ ගේ සහ චන්දිමාල් ෆර්නැන්ඩූ ගේ ගී අනුවාදන මියුසික් කැසට් තුනක් ම සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව. මගේ පඩියෙන් 7% ගියා කියන්නේ ලේසි පාසු නෑනේ!

ගෙදර ගිහින් තෑග්ග පාර්සල් කරන්න ගියාම තමයි මට තේරුනේ කැසට් තුනේම අලවලා තියෙන විකුණුම් මිල ගහපු පොඩි ස්ටිකර් ගලවන්න ඕනෑ බව තෑග්ග රුප් (wrap) කරන්න කලින්.

තෑග්ගක් දෙන කොට ඉතිං ඒකේ ප්‍රයිස් ටැග් එක එක්ක දෙන සිරිතක් නෑ නේ.

ඉතිං මං ඒ කැසට් තුනේම රතු පාට මැෂින් අකුරෙන් මිළ ප්‍රින්ට් කරල තිබුණු සුදු පාට ස්ටිකර් ගලෝලා ආයේ තෑගි පාර්සලේ හදන්න පටන් ගත්තා.

මෙන්න බොලේ එතකොට තමයි මට තේරුනේ, ඒ සුදු පාට ස්ටිකර් වලට යටින්, කැසට් කවරවලම ප්‍රින්ට් කරලා තියෙනවා ඒවායේ මුල් විකුණුම් මිල.

ඒ මිළ දර්ශක මං ගෙවපු ගාණට වඩා සෑහෙන්න අඩුයි.

දැන් ඉතිං මොනවද කරන්නේ? කළු පාට ෆෙල්ට් පෑනක් අරං අර කවරවල ප්‍රින්ට් කරල තිබුණු ඉලක්කං උඩින් ගෑවා. යාන්තමට ඒවා වැහිලා ගියත්, හොඳට බැළුවොත් පේනවා ටොරානා ලා මුලින් දාපු ගාණ කීයද කියලා!

"එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා!"

මටත් වුනේ ඒ ඉඳුරුවේ ආචාරියා ට වුණු දේයි. (මේ කියන්නේ ආචාර්ය ඉඳුරුව ගැන හෙම නං නොවේ!)

-කතන්දරකාරයා

ප/ලි:
කොහොම හරි ඉතිං මේ ජෝඩුව බැඳලා පිටරට ගියා. හැබැයි, ඒ වෙඩින් එකෙන් අවුරුදු දහයකට විතර පස්සේ. ඒ වෙනකොට අර කැසට්වල කෑලිවත් තියෙන්න නැතුව ඇති. අනික දැං කවුද කැසට් අහන්නේ, සීඩී හරි ඇම්.පී.ත්‍රී හරි මිසක්!

මං හරිම ආසා කරපු මනමේ කැසට් දෙකත් මීට අවුරුදු කීපෙකට කලින් කැඩිලා ගියා. හැබැයි හොඳ වෙලාවට දැන් ඒවා ඔන්-ලයින් අහන්න පුළුවන්.

(image: http://pingmag.jp/2008/04/24/origata/)

Wednesday, 20 April 2011

කතන්දරකාරයා ගේ සමාජ සේවය - Blogging as a social service for the international traveller


මේක නං පම්පොරියක් නෙමේ. මං අහපු වෙලේ ඇත්තටම බුදු ජොලියක් ගිය කතාවක්.

අර 2009 තිබුණු සිංහල බ්ලොග්කරුවන් ගේ සංසදයේ ගෙට්ටුගෙදර් එකට ආපු සමහර අයට මතක ඇති මං පොඩි බිස්නස් කාඩ් එකක් ප්‍රින්ට් කරලා තියෙන බව කතන්දර බ්ලොග් එකේ ඇඩ්‍රස් එක දාලා. ඒ මුලින් පාර ගහපු 250 ඉවරවෙලා, දැන් අළුතින් 500 ක් ගහලයි තියෙන්නේ.

මං ඕක දන්න දන්න හම්බ වුණාම ඒ අයට දෙනවා ඉඩ කඩ තියෙන විදියට බලන්න කියලා.

සතිෂ් මගේ හිතවතෙක්. පොර දවසක් මට කෝල් එකක් දාලා මෙහෙම කිව්වා.

"මචං, උඹේ කතන්දර බ්ලොග් එක මගේ ජීවිතේ බේරුවා බං!"

"ඒ ඇයි මොකද උනේ? උඹ මැරෙන්න ගියේ මක්වෙලාද?"

"නෑ මචං, තව පොඩ්ඩෙන් මැරෙන්නේ කම්මැලි කමේ. හොඳ වෙලාවට උඹ හින්දා ගොඩ ගියා!"

අහලා බැලින්නං මෙන්න මේකයි වෙලා තියෙන්නේ.

සතිෂ්කාරයා පොඩි බිස්නස් වැඩක ජාකර්තා ගිහින්. ගිය වැඩ ටික ඉවර කරලා, ආපහු එන ගමන් ට්‍රාන්සිට් තිබිලා තියෙන්නේ සිංගප්පූරු එයාපෝට් එකේ. බැලින්නම්, පැය පහක්ම තියෙනවලු කොළඹට එන ෆ්ලයිට් එකට.

පොර මුලින් හිතල තියෙන්නේ ටිකක් නිදාගන්නව කියල පුටුවක් අල්ලගෙන. ඒත් නිදිමතකුත් තිබිල නෑ, කෝපි ම බීලා. නිකං තියෙන ෆුට් මසාජ් එකක් අරගෙන, ටොයිලට් වන්දනාවත් කරලා එහේ මෙහේ සැරිසරන කොට තමයි පොරට මතක් වෙලා තියෙන්නේ එයාපෝට් එකේ තියෙන ඉන්ටර්නෙට් ටර්මිනල් ටික.

හරියටම ඔය වෙලාවේ පොරට මතක් වෙලා තියෙනවා මං දුන්නු කතන්දර බිස්නස් කාඩ් එක. ඒත තිබිලා තියෙනවා වොලට් එකේ ඒ වෙනකොටත්!

ඉතිං සතිෂ් කරලා තියෙන්නේ පැය හතරක් තිස්සේ කොම්පියුටරයෙන් කොම්පියුරටයට මාරු වෙවී කතන්දර බලන එකයි!

මේ දවස් වෙනකොට මං කතන්දර දෙසිය පනහක් විතර දාල තිබුනේ. ඉතිං, එකකට පස්සේ එකක් වැල වගේ කතන්දර බලන එකෙන් තමයි සතිෂ් කම්මැලි කමෙන් මරණයට පත්වීමේ අවදානමෙන් ගැලවිලා තියෙන්නේ. කොහොමටත් මං එක කතන්දරයකින් තව කතන්දර කීපයකට ලින්ක්ස් දාන නිසා වැඩේ තවත් ලේසියි.

ඒ නැතිවුනත් ආකයිව් එකෙන් ක්‍රෝනෝලොජිකල් ඕඩර් එකටම කතන්දර කියවන්නත් පුළුවන්නේ!

දැක්ක නේද මගේ සමාජ සේවය –ෆෝ ද ඉන්ටර්නැෂනල් ට්‍රැවලර්?

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං කතන්දර තුන්සිය පනහකටත් වඩා තියෙන නිසා මං සතිෂ්ට ලඟදී දවසක කිව්වා ඊට වඩා කල් මරන ට්‍රාන්සිට් එකක් වුනත් කරන්න පුළුවන් කියලා.

හැබැයි මං චුට්ටක් විතර පල්ලං පොල්ලක් දාන්නයි යන්නේ ලබන සතියේ ඉඳලා. මේ අවුරුද්දේ මුල ඉඳලාම මං දවසක් හැර දවසක් කතන්දර පල කළා. ඒ වේගය පොඩ්ඩක් විතර අඩු කරලා -මට හිතුණා, සඳුදා ට, බදාදා ට සහ සිකුරාදා ට විතරක් කතන්දර දාන්න.

මතකනේ මගේ වෙන්ට කතන්දර සීයෙන් තාම දාලා තියෙන්නේ කීපයක් විතරයි. දැන් ලැපේ වෙන්ට කතන්දර ලයිස්තුව 140 ක් වෙලා.

(image: http://www.singapore-culture-and-attractions.com/changi-airport.html)

Monday, 18 April 2011

කතන්දරකාරයා චීන ක්‍රමයෙන් සුගන්ධිකා ගේ XXX හොයපු හැටි - A Chinese method to find XXX of females


චීනකණ්ණාඩිය (චීනක්කණ්ණාඩිය ලෙසින් උච්චාරණය කරන්න) කියන්නේ ඈත තියෙන දේවල් හොයා ගන්න පුළුවන් දුරේක්‍ෂයට.

චීන කටු චිකිත්සාව කියන්නේ නිල අල්ලා ඉඳිකටු ගහලා ලෙඩ සනීප කරන ක්‍රමේකට.

චීන අඩි කියන්නේ පුරාණ සටන් ක්‍රමයකට.

අද මං මේ කියන්න යන්නේ වෙනත් පුරාණ චීන ක්‍රමයක් උපයෝගී කරගෙන කතන්දරකාරයා ගේ සුගන්ධිකා කියන ලේඩීස් නෝනා ගේ XXX හොයපු විදියයි.

මේක අර රත්නායක මහත්තයා ගෑනුන් ගේ XXX හොයන විදියට වඩා සෑහෙන්න වෙනස් එකක්. මගේ පර රස්සා විජාණන ඥාණය වගේ අහම්බෙන් වගේ සෙට් වෙලා ටක්කෙටම හරිගිය දෙයක් කියලා කියන්න පුළුවන්.

සුගන්ධිකා අක්කයි, සුසිල් අයියයි අපි හොඳට දන්න ජෝඩුවක්. සුසිල් අයියා මාර ගිටාරිස්ට්. ඒකට හරියන්න සුගන්ධිකා අක්කා හොඳ වෝකලිස්ට්. සුජාතා අත්තනායක පරාදයි!

ඔන්න දැන් කාලෙකට ඉස්සර දවසක අපි දෙගොල්ලෝ මුණ ගැසුණා ප්‍රදර්ශණ භූමියකදී. ඔතන තිබුණා පොඩි ප්‍රදර්ශක කුටියක් චීන බඩු විසිතුරු බඩු තියෙන. එතෙනදි තමයි අපි දැනගත්තේ චීන කැලැන්ඩරේ ගැන.

චීන කැලැන්ඩරේ කියන්නේ අවුරුදු දොලහක නොනවතින චක්‍රයක්. හරියට අපි සූර්‍යයා වෘශ්චික, ධනු, මකර, කුම්භ වල රවුං ගහනවා වාගේ චීන කැලැන්ඩරේ අවුරුදු දොලහක සයිකල් එකක යනවා.

හැම අවුරුද්දම හැඳින්වෙන්නේ ඒ අවුරුද්ද අයිති සතෙකු ගේ නමින්. මේ සත්තු තමයි අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා, ඌරා, මීයා, හරකා, කොටියා, හාවා, මකරා සහ සර්පයා.

හරකා (වෘෂභ) සහ මකරා විතරයි සමානකමකට තියෙන්නේ චීන රාශිවලයි අපි දන්නා රාශිවලයි.

උදාහරණයක් විදියට ගිය අවුරුද්ද (2010) චීන කැලැන්ඩරේට අනුව කොටියා ගේ අවුරුද්ද. මේ අවුරුද්ද (2011) අයිති හාවාටයි. ලබන අවූරුද්ද මකරා ගේ.

අවුරුදු දොලහේ චක්‍රය ගතවෙලා ආපහු ඒ සත්තුන් ගේ අවුරුද්ද උදාවෙනවා. හරියට හැම මාස දොලහකටම පාරක් රවි මේසෙන් අයින් වෙලා ගොනාට අඳිනවා වාගේ.

ඉතිං මේ චීන කඩේ චීන කැලැන්ඩර් විස්තරේ බල බල ඉන්න කොට අපේ සුගන්ධිකා අක්කා කියපි

"ආනේ! මායි දුයි දෙන්නම ඉපදිලා තියෙන්නේ එකම සතාගේ අවුරුද්දේ නේ!" කියලා.

මං මුවින් නොබැන හිටියා.

හැබැයි මගේ හිත ඇතුලේ කෙලින්ම වැඩ කලේ ඒ කතාවේ හැටියට එක්කෝ දුව ඉපදිලා තියෙන්නේ අම්මාට අවුරුදු විසිහතරේ දී හරි තිස් හයේ දී හරි කියලා. ඒ එක්කම අපි අක්කා ගේ දුවගේ අවුරුදු හතේ උපන් දිනයටත් ගිහින් තිබුණා ඒ වෙනකොට. ඔය සේරම එකතු කරලා, මං රත්නායක මහත්තයට හොයනවාට වඩා ඉතා පහසුවෙන් සුගන්ධිකාගේ XXX හොයා ගත්තා.

හැබැයි මං මුවින් නොබැන හිටියා.

සුළු පටුකාලයක් නෙමෙයි අවුරුදු අටක් ම.

ඔන්න සුගන්ධිකා අක්කගෙයි, සුසිල් අයියගෙයි දුවගේ දාහතරවෙනි බර්ත් ඩේ එකට අපිට ආරාධනා කරන්න කෝල් එකක් ආවා.

"මල්ලී, ලබන සෙනසුරාදා බර්ත් ඩේ එකකට ඉන්වයිට් කරන්නයි කතා කලේ."

"කාගෙද සුගන්ධිකා අක්කගෙද?"

"නෑ අපේ දුවගේ."

"හා අපි එන්නම්, ඇයි මේ අවුරුද්දේ නේද අක්ක ගේ අර ලොකුම ලොකු බර්ත් ඩේ එක තියෙන්නේ?"

"මේ කොල්ලෝ මේ, උඹට ටොකු කන්න ඕනැද ඕවා මතක් කරලා?"

"හිකිස්!"

"ඇත්තටම බං, උඹ කොහොමද සුගන්ධිකා ගේ වයස දන්නේ?"

"මං ඒක චීන ක්‍රමයකින් හොයා ගත්තේ, මෙන්න මෙහෙම... ..."

-කතන්දරකාරයා

ප/ලි
ගෑනුන් ගේ වයසයි, මිනිස්සුන් ගේ පඩියයි අහන්න එපා කියලා පුරාණ සෘෂිවරු කියලා තියෙන බව අමතක කරන්න එපා. මෙතන XXX කියා ලියා තියෙන්නේ ඒ තහනම නිසයි!


(image: http://www.theselfishgene.com/the-12-chinese-zodiac-sign/)

Saturday, 16 April 2011

මැද්දෙන් ඔබන කෑල්ලේ ඒකාකාරීත්වය...!


කාලයක් තිබුණා මං ඡන්ද රැස්වීම් බලන්න යන්න හරිම කැමති. ඒ මට සර්වජන ඡන්ද බලේ හම්බ වුණු මුල් කාලේ. ඒ දවස්වල පටන් ගෙන තිබුණා ජනාධිපතිවරණයකුත් පක්‍ෂ කීපයක් ම තරඟ කරන. වැඩේ කියන්නේ, මං ගිය ගිය රැස්වීමේදී කතා අහපුවාම මට ඒ පැත්තට ඡන්දේ දෙන්න හිතෙනවා.

අන්තිමේදී මට හිතුණා, අපේක්‍ෂකයෝ තුන් දෙනෙකුටම, එක, දෙක, තුන කියලා කැමැත්ත දෙන්න. ඒත් ඉතිං, ඒ මං දෙන ඡන්දෙන් දෙවෙනියා සහ තුන්වෙනියාට වැඩක් නැති නිසා අන්තිමේදී එක විතරයි ගැහැව්වේ. ඒත්, ඒකත් අපතේ ගියා!

දැන් සුමාන දෙක තුනකට කලිනුත් ගෙවල් ලඟ ඉස්කෝලෙට ගිහින් ඡන්දෙ අපතෙ යවල ආව වුණාට, මං නං දැන් ඡන්ද රැස්වීමක් බලන්න ගිය කාලයක් මතක නෑ.

කොහොමටත් ඕවට යන්නේ ඒ ඒ පාක්‍ෂිකයෝ විතරනේ. රැස්වීමක කතාවක් අහල තමන් ඡන්දේ දෙන විදිය වෙනස් කරන අය තව දුරටත් ඉන්නව කියල මං හිතන්නේ නෑ. ඒක තමයි කියන්නේ ඔය ඡන්ද රැස්වීම්වල කරන කතා නිකං ප්‍රීචින් ෆෝ ද කන්වර්ටඩ් ආකාරයේ එවාය කියලා.

ඔය හින්දමද කොහෙද, ඡන්ද රැස්වීම් වල පොලිටික්කලා කරන කතා අහන් ඉන්න උන්ට බෝරිං වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්ද තමයි පොරවල් ඔය දෙපැත්ත කැපෙන කුණුහරපයක් දෙකක් හෙම කියල දාන්නේ. එතකොට තමයි නිදා වැටෙන පොදු ජනතාව අවදි කරගන්න පුළුවන් වෙන්නේ.

මිනිස්සු බෝරින් වෙන එක නවත්තන්න කුණුහරුප කියනවා වගේම තවත් භාවිතා වෙන උපක්‍රමයක් තමයි කතා මැද්දේ ගායක පොරක් ව දාලා සින්දු කීම. නැගලා යන සින්දු නං වඩාත් හොඳයි.

මෙකෙන් අපේක්‍ෂක තුමා ගේ දෑත ශක්තිමත් වෙනවා. ගායක පඩයා ගේ අනාගතය සුභ වෙනවා.

මං හිතන්නේ මේ කතා අතරට සින්දු දාන උපක්‍රමය නැගලා ගියේ අසූ ගනං වල ගම් උදාව වගේ වැඩ කිඩ තිබුණු කාලෙයි.

මේ සේරම මට මතක් වුනේ ලඟදී පොතක් දොරට වැඩීමේ උත්සවයකට සහභාගී වෙන්න ගිය වෙලෙයි.

පොත ලියලා තිබුනේ මගේ හිතවතෙක් හින්දා සතියේ දවසක හවස් වරුවේ තිබුනත් කලින් ඔෆිස් එකෙන් පැනලා ඔන්න පැයක් විතර පරක්කු වෙලා හෝල් එකට ගියා.

මට මිස් වෙලා තිබුනේ මුලින් තිබිල තියෙන රස්තියාදුවයි, චාරිත්‍රාණුකූල තෙල් පහන් දැල්වීමේ සීන් එකයි විතරයි. මුල්ම දේශකයා කතාවේ මැද හරියේ හිටියේ.

ඔන්න පොර ගේ කතාව ඉවර වුණු හැටියේ මයික් එක ගත්තා සභාව මෙහෙයවන බූවා.

"විචාරක කතාවල ඒකාකාරීත්වය මැකීමට දැන් අප ඉදිරිපත් කරන්නේ රසවත් ගීතයක්!" පොර කියපි. "කතා අසා විඩාබර ඔබ සැනසීමට මෙන්න මගේ ආරාධනය අහවලාට".

ඔන්න අහවලා ගේ සින්දුව ඉවර වුණාම දෙවන දේශකයා ගේ කතාව පටන් ගත්තා.

ඒක ඉවර වුණාම තව සින්දු කෑලි දෙකක් ම තිබුණා එක දිගට. එකක් නං මේ පොත ලියපු කවිකාර බූවා ගේ ම කවියක් සින්දුවක් කරපු එකක්.

ඒ දෙකම අපේ නිවේදක බූවා ඉදිරිපත් කලේ දේශණ වල ඒකාකාරීත්වය මැකීමට මෙන්න රසවත් ගීතයක් කියන මන්තරය එක්කයි.

ඒ සින්දු දෙකෙන් පස්සේ ඔන්න ආයෙ කතාවක් තිබුණා.

ඊට පස්සේ කපල් එකක් කවි පොතේ කවි පන්තියක් කියවන්න පටන් ගත්තා. ඒකත් මේ කතාවල ඒකාකාරීත්වය නැතිකරන්න මැද්දට ඔබපු ඒවාලු.

එතනින් පස්සේ ආයේ කතාවක්.

සේරම කතා පහකුයි, ඒව අස්සට ඔබ්බපු සින්දු කවි කරන, කවි සින්දු කරන අංග හත අටකුයි තිබුණා මයෙ හිතේ.

හැම සින්දුවක්ම දාලා තිබුනේ කතාවල ඒකාකාරීත්වය මකන්නලු.

හැබැයි මට නම් ඇත්තටම හිතුනේ, "එතන තිබුණු කතාවලින් අර කියපු සින්දුවල ඒකාකාරීත්වය මැකුණා නේද?" කියලයි!

අපි පොතක් එලි දැක්වීමකට යන්නේ කතා අහන්න බලාගෙන නැතුව වෙන මොනව තියෙයි කියල හිතාගෙනද?

ඔන්න සංගීත සන්දර්ශණයකට ගිහින් කතා අහන්න වුනොත් නං ඉතිං වලි තමා!

-කතන්දරකාරයා

ප/ලි
පොතක් ගැන තව කතන්දරයක් මෙන්න : කයි කතන්දර - කවි පොතක කතන්දරයක්.

මේ තව එකක්: දේශප්‍රිය රට පනී.

ඇයි මේවා?
පොත් දොරට වැඩුමක් ගැන ලියන්න ගිහින් මං කාපු හැටි සහ පස්සේ ඒ පොත ගැන ලියන්න ගිහිං වෙච්ච දේ!
1. W3Lanka ට පොඩි ප්ලග් එකක්

2. W3Lanka ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ

3. අසව්! අසව්!! ශාස්තෲ ආතල් කතන්දරේ පිළිබඳ පැහැදිලි කිරීමයි

Thursday, 14 April 2011

කතන්දරකාරයා ගේ අළුත් අවුරුදු පැතුම - තේරවිල්ලක්මත් නොවේ : My new year wish (not just a riddle)!



සිතෙන් මෝහ අනුවණ කම් දුරුවේවා
ගමන් කළ යුතුවු නිසි මග වැටහේවා
සමන් පිච්ච සුවඳෙන් ලක නැහැවේවා
ලබන්නාවු අවුරුද්දම ජයවේවා!

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න ගිය අවුරුද්දේ අළුත් අවුරුදු ග්‍රීටින් එක.
http://kathandara.blogspot.com/2010/04/blog-post_14.html

(image: http://www.types-of-flowers.org/pictures/jasmine_plant.jpg)

Tuesday, 12 April 2011

පුක යනු කුණුහරුපයක් ද - Is PUKA a four letter word?


මේ ප්‍රශ්ණය අද ඊයේ එකක් නෙමේ. කාලෙකට ඉස්සර මං තනිවමත්, තවත් අය එක්කත්, වාද කරලා කරලා පට්ට ගහපු ප්‍රශ්ණයක්.

ඉස්සෙල්ලාම මේ ප්‍රශ්ණයට මගේ උත්තරෙන් පටන් ගන්නං කෝ.

නැත! පුක යනු කුණුහරුපයක් නොවේ.

පුක යන්නට සමාන තේරුම් ගෙන දෙන ආස් සහ බම් යන වචන දෙකත් ඉංගිරිසියේ ෆිල්ති වර්ඩ්ස් විදියට ගනං ගැනෙන්නේ නෑ.

අනිත් අතින් බැළුවත් මං දන්න විදියට කොහොමටත් සාමාන්‍යයෙන් ඉංගිරිසියේ කුණුහරුප වචන විදියට සැලකෙන්නේ අකුරු හතරේ වචන කීපයක් විතරයි. පුක කියන අර්ථය දෙන වචනයක් ඒ ලිස්ට් එකේ නෑ.

නමුත් පුක කියන වචනය සාමාන්‍යයෙන් එලිපිට කියන එකක් නං නෙමේ. පඩය කියන්නෙත් නැතුව අධෝ වාතය කියන අය, පුක වෙනුවට අධෝ භාගය, පශ්චාත් භාගය, පස්ස පැත්ත, කක්ක පැත්ත, කක්කි පැත්ත වගේ වචන පාවිච්චි කරනවා ඇති.

නමුත්, ඒ එක වචනයකවත් පුක කියන වචනයේ තියෙන සරල, සුගම බව නෑ. ඒ වචනවල තියෙන්නේ මහ කෘතිකම ගතියක්. පුක කියල කියන කොට වගේ ස්වාභාවික ගතියක් නෑ.

අනිත් කාරණය තමයි, පුක කියන තනි වචනය විතරක් නෙමේ, ඕනැ පුකක් වගේ යෙදුමක් වෙනුවට වුනත්, ඕනැ පශ්චාත් භාගයක් කියල කියන එක නම් කීයටවත් ගැලපෙන්නේ නෑ.

පුක වචනෙත් එක්ක තවත් යෙදුම් තියෙනවා. ඒව මේ තර්කයට අදාල නෑ!

මුද්‍රිත මාධ්‍යවල දී නම් අපිට පුක කියන වචනය යොදාගන්න සීමාකම් තියෙනවා. කෙටිකතාවක, නවකතාවක වගේ තැනක දෙබසක වගේ ස්වාභාවික යෙදෙන පරිදි දාන්න පුළුවන්. වේදිකා නාට්‍යවල නං පුක කියලා විතරක් නෙමේ ඇත්තම කුණුහරුප වුනත් කියන්න පුළුවන්නේ.

හැබැයි, බ්ලොග් අවකාශයේ නං, ඒ සීමා නෑ. ඒ වගේ සීමා අපි අමුතුවෙන් දාගන්නත් ඕනෑ නෑ.

ඒ කාරණය සනාථ කරන්නයි මේ සේරම ලිව්වේ!

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න අද කතන්දරේ.

ඔන්න පුන්‍යදාස කියල මනුස්සයෙක් හිටියා. එයාගේ බිරිඳ ගේ නම කරුණාවතී.

මේ ජෝඩුවට ශනිදාවක් ඇදිල, ඒ සල්ලි වලින් ගත්ත බස් එකක්. මේ බස් එකට නම දැම්මේ පුන්‍යදාසගෙයි, කරුණාවතීගෙයි නම් දෙකේ මුලකුරු එකතු කරලායි.

මේ කතාව මුළු ලංකාවම දන්න එකක් නේ.

ඒ නිසා -ඉතුරු හරිය ලියන්නේ නෑ!

(image: http://www.backyardmissionary.com/2011/03/random-reflections-on-not-much-in-particular.html)

Sunday, 10 April 2011

හොඳ පොරක් ගෙන් හොඳ බ්ලොග් එකක් : සිහි සටහන් - Chanuka Wattegama writes his memoirs (Sihi Satahan)


මං නිතරම කතන්දර වල සඳහන් කරන රත්නායක මහත්තයා පාසල් ගිහින් තියෙන්නේ දුෂ්කර පලාතක. පාසල්වල හරියට ගුරු සම්පත් නැති, ටියුෂන් පන්ති නැති පරිසරයක් වුනත් පොර ඉංජිනියරින් කරන්න ගිහින් තියෙන්නේ පලමු පාරමයි.

ඒ හපන්කමට තරමක් හෝ පිහිට වෙලා තියෙන්නේ "සතර" කියන අධ්‍යාපනික පත්තරේ කියලයි රත්නායක මහත්තයා මට කිව්වේ.

ඔය "සතර" වගේම, ඊට පස්සෙ කාලෙක ඉගෙන ගත්තු සිසු සිසුවියන්ට උදව් වෙච්ච පත්තරයක් තමයි "විදුසර පත්තරේ".

ඒ මුල් කාලේ "විදුසර" කියවපු අය හොඳට දන්න නමක් තමයි මං හිතන්නේ "චානුක වත්තේගම".

චානුක වත්තේගම කියන්නේ පොරක්. චා පොරක් නෙමේ හොඳ පොරක්.

ආනන්දේ ඒ-ලෙවල්ස් කරලා, පත්තර කරලා, පස්සේ ඉන්දියාවේ ඉගෙන ගෙන ආපහු ලංකාවට ඇවිත් "විදුසර පත්තරේ" විතරක් නෙමේ, ලංකාවේ පරිඝණක අධ්‍යාපනයේ ලොකු වැඩක් කරපු "විජය පරිඝණක සඟරාව" පටන් ගත්තු දවසේ ඉඳන් සෑහෙන්න කාලයක් වැඩ කරපු පොරක් තමයි චානුක.

පොර අධ්‍යාපනයෙන් විදුලි ඉංජිනේරුවෙක් වෙලා විද්‍යා, පරිඝණක ලේඛකයෙක් විදියට වැඩ කළා වුණාට හොරෙන් හොරෙන් රාවයේ දේශපාලන ලිපිත් පලකරලා තියෙනවා .

ඉතිං චානුක තමන් ගේම බ්ලොග් එකක් පටන් ගත්තා ගිය සතියේ.

මේ ගැන හුඟ දෙනෙක් මේ වෙන කොටත් දන්නවා. ඒත් මේ සටහන දාන්න හිතුවේ, තාමත් නොදන්න අයට ඒ බව කියන්නයි.

බ්ලොග් එකේ නම "සිහි සටහන්". ඒකත් අළුත් වචනයක් වේවි හුඟ දෙනෙකුට. දැනටම දාලා තියෙනවා නිකං වෙඩි වගේ පෝස්ට් පහක් හයක්ම.

යන්න ගිහින් බලන්න. යූ වොන්ට් බී ඩිසැපොයින්ටඩ්!
http://sihisatahan.wordpress.com/

-කතන්දරකාරයා

ප/ලි
මේකේ මට තියෙන ජොලිය තමයි, චානුකට 'අනිවා ඩෙෆා' බ්ලොග් එකක් කරනවා කියලා හිතිලා තියෙන්නේ අපේ ගෙදර ඇවිත් මා එක්ක කතාකර කර ඉඳලා යන ගමනේදීයි.

කාටද ආඩම්බර?

ප/ප/ලි
සමන් පිච්ච සුවඳෙන් ලක නැහැවේවා
ලබන්නාවු අවුරුද්දම ජයවේවා!

(image: http://www.flickr.com/photos/lirneasia/25727443/)

Friday, 8 April 2011

විලිලැජ්ජාව නැතුව හැදෙන දැං කාලේ අවලං කෙල්ලෝ - (මේ කතන්දරේ අහවලා ගැන නෙමේ)


ඉස්සෙල්ලාම කියන්නං, ඔය පින්තුරේ දාල තිබුණට මේ කතන්දරේ පූනම් පාණ්ඩේ ගැන නෙමේ.

කාලයත් සමග ලෝකේ වෙනස් වෙනවානේ. ඒ එක්කම අපිත් වෙනස් වෙනවා.

අද ළමයි හෙට ලොකු වෙනවා. කසාඳ බැඳලා ළමයින් හදනවා. ඒ ළමයින්ටත් ළමයි එනවා. ඔහොම වයසට යනවා.

දැන් ඉතිං පරම්පරා පරතරය හෙවත් ජෙනරේෂන් ගැප් එක ඇති වෙනවා.

එදා අපේ ඇන්ටිලා කෙල්ලෝ කාලේ මිනි ගවුම් ඇන්දා. අද අපේ ඇන්ටිලා අඳින්නේ පොළොව පිහදාන තරමට දිග සායවල්. අද කෙල්ලෝ නං අඳින්න කැමති ටයිට් ජීන්ස් බවයි පේන්නේ. ඒ ජෙනරේෂන් ගැප් එක උඩින් පේන හැටි.

ඊට වඩා දරුණු අදහස් සහ මත ගැටුම්. අද තරුණ පරම්පරාවේ වැරදිමයි පේන්නේ අද නාකි පරම්පරාවට. ඒක සදාකාලික සත්‍යයක් වගේ.

ජෙනරේෂන් ගැප් එක තිබුණට කමක් නෑ කියමු. ඒක වලක්වන්න බෑ වගේ නේ.

වයසට යනකොට ගෑණු මිනිස්සු ටිකක් විතර ග්‍රම්පි වුනාට කමක් නෑ කියමු. ඒකත් ඉතිං ස්වභාවයනේ.

හැබැයි තමන් ගේ තරුණ කාලේ ගැන අමතක කරන එක තමයි වරද!

අද කතන්දරේ මේකයි.

ඔන්න අපි හිච්චි සන්දියේ හිටියේ ආච්චිලයි අහ, හරිය? එක දවසක් අපේ ආච්චී බුලත් විටක් කොටන ගමන් කාටද මන්දා බණිනවා හෝ ගාලා.

"මේ දැන් කාලේ හැදෙන කෙල්ලන් ට අම්මප විලිලැජ්ජාවක් නැති හැටි. මුංගේ අම්මලා මුංට මොනවා උගැන්නුවද මන්දා.
තුහ් නොදකින්, විලි සංගේ නැති උං!"

මට හිතාගන්න බැරිවුනා මොකක්ද කේස් එක කියලා. අපේ නැන්දලා බැඳලා ගෙදරින් ගිහිල්ලා හුඟක් කල්. අපේ ගෙදර කෙල්ලෝ නෑ. අහල පහල ගෙදරකවත් කෙල්ලෝ නෑ. (ශුෂ්ක පලාතක අපි හිටියේ!).

ආච්චි කාටද මේ බණින්නේ?

"මුං ට මේ වගේ දහදුරා දේවල් හිතෙනව මදිවට කට ඇරල මේව කියනවනේ අම්මප, මුළු රටටම ඇහෙන්න!"

බැනුමේ නිමාවක් නෑ. ඒත් එක කොනක්වත් අල්ලගන්න බැරි වුණා මට.

"මේකිලගේ මනමාල විසේ මේකිල ගේ ඉහට ගහල. විලි සංගෙ නැති එවුං!"

ඔය වගේ මහා බැනුම් වරුසාවක් වැහැල වැහැල අහවර වෙන කොට ඔන්න මට තේරුණා මොකක්ද මේ ආච්චි පරල වෙන්ණ හේතු භූත වුණු සීන් කෝන් එක කියල!

වෙළඳ සේවයේ සින්දුවක් යනව.

ගායනා කරන්නේ චන්ද්‍රාණි ගුණවර්ධන. සින්දුව ලියල තියෙන්නේ ඩෝල්ටන් අල්විස්.

"තුං තුඹ මල්, තුඹ මල්,
තුං තුඹ මල්, තුඹ මල් //
තුං තුඹ මල් රෙද්ද ඇඳල
බණ්ඩි වලළු දැතෙ දමාලා
මම දොර ලඟ බලා ඉන්නවා //
අනේ තාම ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා

ගෙදරට එන පාර කිව්ව
පණිවිඩ හත අටක් යැව්ව
අනේ තාම ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා //

රටක් වටින කෙනෙක් එක්ක
මටත් හනික දීග යන්න
උදව් දෙන්න ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා //"

මෙතනින් අහන්න:
http://www.infolanka.com/miyuru_gee/lll/l266.ram

-කතන්දරකාරයා

ප/ලි:
මේ අර මං කලින් කියපු
මහාප්‍රාණ,
පෙට්ටගම,
සීනි බෝතලේ
වගේ කතාවල හිටපු ආච්චි නෙමේ හොඳේ!


(image: http://top5000.blogspot.com/2011/03/poonam-pandey-hot-bikini-thigs-show.html)

Wednesday, 6 April 2011

බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ


මං පොඩි නිවාඩුවක් ලැබුණු වෙලාවක සිංහල බ්ලොග් අවකාශයේ පොඩ්ඩක් සැරි සැරුවා ලඟදි දවසක. ඔන්න ඒ වෙලාවේ තමයි දැක්කේ බුද්ධාගමට කැපවුණු බ්ලොග් මහ විශාල කන්දරාවක් තියෙනව.

මේවයින් සමහරක් ඒවා, ධර්ම කරුණු සිංහල අකුරෙන් බ්ලොග් අවකාශයට එකතු කරන වැදගත් සේවය ඉටු කරන ඒවා.

නමුත් පාඨකයින් ගේ වැඩිය හිත ගිහින් තිබුනේ නං, බුදු බණ මුවාවෙන්, හැබැයි බුදු වදන් අමතරක කරලා, අනික් ආගම්වලට පහර දීම මුඛ්‍ය පරමාර්ථය කරගත්තු බ්ලොග් කීපෙකටයි. මේව ලියන්නේ දේවදත්ත නිකායේ පන්සල්වලින් පන්සිල් ගත්තු අය වෙන්න ඕනෑ.

ඉස්සර මට මතකයි, අපි ආච්චිලා ගේ ගෙදර ඉන්න කාලේ ආච්චී රේඩියෝ එකෙන් බණ අහනවා සතියකට දෙතුන් පාරක් ම. ගමේ පන්සලේ බණ වාරෙට අම්ම අපිත් එක්කං යනව බණ අහන්න.

ඒ අහපු සේරම බණ එකම රටාවක ඒවා. පන්සිල් යනාදියෙන් පස්සේ, ඔන්න ගාථාවක් කියනවා. ඊට පස්සේ, ඒ ගාථාව සිංහලෙන් තේරුම් කරලා, ඒකේ අතීත කතාව, වර්තමාන කතාව ආදී තෝම්බුවත් පහදලා, අදාල ධර්ම කාරණා ටික අපිර තේරෙන සිංහල භාෂාවෙන් කියලා දෙනවා.

තුන් මාසේ දානෙක වගේ විශේෂ අවස්ථාවක් නං ඒ තෝරා ගන්නා ගාථා ධර්මයත් බොහෝ විට අවස්ථාවට අදාල එකක්.

මීට අවුරුදු දහයකට කලින් විතර වගේ තමයි මං මුලින්ම ඒ රටාවෙන් වෙනස් වුණු, ජනප්‍රිය රටාවේ, ඒ කියන්නේ පොපියුලර් නැත්තම් පොප් බණක් ඇහැව්වේ. මේ පොප් බණ වල යටින් ලොකු ගාථා ධර්මයක් හරි, බුදු වදනක් හරි, නිධාන කතාවක් හරි නෑ. විවිධ කාලීන පොඩි පොඩි මාතෘකා යටතේ මිනිස්සුන් ගේ එදිනෙදා ජීවිතයේ කරුණු ඇනලයිස් කරල හාමුදුරුවන් ට හිතෙන විදියට හරි මග කියා දීම තමයි මේ පොප් බණ වල අරමුණ වුනේ. ඒවත් නරක නෑ. ගත යුත්තක් තිබුණා.

නමුත් මොකද වුනේ, වැඩේ තවත් පොපියුලර් කරවන්න ටික ටික ලුණු මිරිස් දෙහි ඇඹුල් යනාදිය එකතු වෙන්න පටන් ගත්තා. මේකට හොඳම උදාහරණය තමයි, අර පිටකොටුවේ විකුණන්න තියෙන වී.සී.ඩී. බණ, උඩින් ඒ.සී., යටින් ඒ.සී., ඩබල් ඒ.සී. කතන්දර කෑලි.

අද මං කියන්න යන්නේ ඒ සේරටම වැඩිය වෙනස්, අනේ අපොයි බණක් ගැණයි. මේ කතන්දරේ ලියන්න හේතුව වුනේ අපේ දුකා සගයා ලඟදි ලියපු බණ කතන්දරේ තමයි.

ඔන්න අපේ තාත්තා ගේ හත් දවසේ දානයට කලින් දා රාත්‍රියේ අපි චාරිත්‍රාණුකූලව සිදු කරන බණ දේශණාව යොදා ගත්තා. වැඩම කලේ සෑහෙන පළපුරුදු හාමුදුරු නමක්.

ඔන්න හාමුදුරුවෝ පන්සිල් දීලා වැඩේ පටන් ගෙන ඉස්සෙල්ලාම ගාථාවක් කිව්වා. මට මතක විදියට ඒ ගාථාව දෙමව්පියන් හා සම්බන්ධ එකක්. මං හිතුවේ, ඒ කරුණු සම්බන්ධ කරගෙන මේ වගේ වෙලාවකට අදාල ගිහි ජීවිතය, ධාර්මිකව ජීවත්වීම වගේ සරල කාරණා කීපයක් එක්ක බණ කියයි කියලයි. ඒ කරුණු අපි ඕනැ තරම් අහල තිබුණත් ආයෙත් ඇහැව්වට පාඩුවක් වෙන්නේ නෑ නේ?

හැබැයි, හාමුදුරුවෝ පටන් ගත්තේම ප්‍රශ්ණයකින්.

මරණෙන් පස්සේ උපදින ලෝක කීයක් තියෙනවද?

උපාසක අම්මල එක එක ඉලක්කං වලින් උත්තර දුන්නා. ඒ සේරම වැරදියි.

ඉතිං ඔන්න හාමුදුරුවෝ විස්තර කරන්න පටන් ගත්තා.

තුසිතය, අරක මේක වශයෙන් දිව්‍යලෝක හයයි.
අවීචිය, අරක මේක වශයෙන් අපාය හතරයි.

දැන් කීයද පින්වතුනි.
දහයයි හාමුදුරුවනේ.

සිත මිස කය නැති බඹ ලොව හතරයි.
කය මිස සිත නැති බඹ ලොව හතරයි.

දැන් කීයද පින්වතුනි.
දහ අටයි හාමුදුරුවනේ.

ඊට පස්සේ ඕකට එකතු කළා, පේරෙත, කුම්භාණ්ඩ ලෝක, තිරිසන් යෝනිය අරක මේක. අන්තිමේදි මුළු ගාණ තිස් එකක් ද කොහෙද වුණා මගෙ හිතේ.

ඔය වෙන කොට මං "කය මිස හිත නැති බඹ ලෝකෙක" හිටපු හින්ද මුළු ලෝක ගාණ කීයද කියල ටක්කෙටම කියන්න නං දැන් මතක නෑ.

ඒ කිව්ඇන්ඒ සෙෂන් එකෙන් පස්සේ ඔන්න හාමුදුරුවෝ බණ කෑල්ල පටන් ගත්තා. මෙන්න මං ඉගෙන ගත්තු වැදගත් ධර්ම කරුණු.

මිනිහෙක් මලාම උඩු හිතටයි, යටි හිතටයි අමතරව තියෙන චිත්තයක් අනුව පෙරේතයෙක් වෙලා ඉපදෙන්න පුළුවනි.
ඒ පෙරේතයා ගේ ඉස්සරහා ගේට්ටුව ගාව පැල් බැඳගෙන ඉන්නවා.
ඒ අහල පහල පාරෙන් යන පෙරේතයින්ටත් කතා කරල එකතු කර ගන්නවා.
සමහර පෙරේතයෝ බඩගින්නේ ඉන්නේ.
සමහර පේරේතයින් ට අඳින්න වස්ත්‍රයක් නෑ.

ඉතිං ඔන්න ඔය ආකාරයට පැයකට කිට්ටු කාලයක් මල පෙරේත වස්තුව දේශණා කළා.

මනුස්සයෙක් මැරිල ඒ උණුසුම යන්න කලින්, නෑයෝ, මිත්‍රයෝ දුකෙන් ඉන්න වෙලාවේ කියන්න ඕනෑ හොඳම ධර්ම කරුණු ටිකක් තමයි ඒ මල පෙරේත කතා!

ඒ ධර්ම දේශණාව අවසානයේ මං කල්පනා කළා මේ ඇහැව්වේ කොයි ආකාරයේ බණක් ද, බුදු බණක් ද, වැදි බණක් ද, පොප් බණක් ද කියලා. එතකොට මට හිතුණා ඇත්තටම ඒ බණ මං කලින් අහලා නොතිබුණ අළුත් ආකාරයක අනේ අපොයි බණක් බව.

ඒත් දැන් මට හිතෙනවා ඒ බණ ඇත්තටම හොම්බට අණින ආකාරයේ බණක් කියලා.

කාගේ හොම්බට ද කියලා අහන්න එපා!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය හත් දවසේ දානේ ප්ලෑන් කරන වෙලේ තමයි මං ඉස්සෙල්ලාම තේරුම් ගත්තේ, නියම දානේ කියන්නේ බණ දවස කියලා. හත් දවසේ දවල් දානේ තියෙන්නේ බොහෝ විට සතියේ වැඩ කරන දවසක නිසා හුඟ දෙනෙක් සහභාගී වෙන්නේ කලින් දා බණ දවසේ රාත්‍රී කෑමටයි.

Monday, 4 April 2011

මටාටා ටිටා - රා බොමු ද?


මේ කතන්දරේ ලියන්න නිමිත්ත වුනේ ආණ්ඩුවෙන් කිතුල් මල් මදින්න පර්මිට් ගන්න ඕනෑය කියලා දාලා තිබුණු නීතිය අහෝසි කරන්න යනවාය කියන ආරංචිය ගැන W3Lanka දාලා තිබුණ ලිපියයි.

කිතුල් මල් කපල, මැදල, තෙලිජ්ජ අරගෙන රා පෙරනවා කියන්නේ හොඳට එලිමහනේ හැමෝටම පේන්න කරන්න සිද්ධ වෙන වැඩක් නේ. රා පෙරීම ගැන රටේ නීති තද කිරීම නිසා, හොර රහසේ කළ හැකි කෂියා නිෂ්පාදනය සහ කෂියා බීම මිනිස්සු අතර වැඩි වුණු බවයි පොදු පිළිගැනීම.

"සීනි කරිඤ්ඤං", "ගල් බමුණා", "අල හොඳි", "දෙංඤං මචං" වගේ අතීත කාල කෂියා වර්ග පරදවලා "කටු කම්බි" බජාර් එකට ඇවිල්ලා රජ කරන්න පටන් ගත්තේ, ඔය රා බිස්නස් බැස්සට පස්සෙලු.

ආයෙ කිතුලක් මදින්න ඉඩ දුන්න වුනත්, කෂියා ගහලා ඇඟ කුරෝලු කර ගත්තු උන් නම් කොච්චර කළත් ආපහු රා කට්ට ගහන්න සෙට් වෙයි ද කියන එක නං සැකයි.

මේ ලඟදි, අපේ රත්නායක මහත්තයා ගේ ගෙදරට ආපු කෂ්ටියකගෙන්, වයින් පොඩ්ඩක් බොමුද කියල ඇහැව්වහම, ඒ නෝන කිව්වලු, අනේ, වයින් නම් බිව්වට වැඩක් නෑ අනේ, කිසි ගතියක් නෑ! කියලා.

වයින් වලට වයින් නොවෙන කෂ්ටිය ගේ කැමැත්ත ජින් වලටයි මයෙ හිතේ!

මාත් එකම එක දවසක් රා බීල තියෙනව. කිතුල් රා. ඒ බිව්වේත් කිතුල්ගල දී. අර ඩේවිඩ් ලීන් ගේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන මූවි එක හදපු තැන, ගං ඉවුරේ වාඩි වෙලා.

එදා රා බොන ගමන්, තම්බපු මයියොක්කා සැර ලුණුමිරිසක් එක්ක කාපු බවත් මතකයි.

ඔය කිතුල්ගල ගිය ගමනේ දී අහපු රා සින්දුවක් තමයි මේක. පොඩ්ඩක් විතර රස්ට් වෙලා දැන්.

(තාලය: මුණී නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ)

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා
සිදුහත් හට බුදු වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

මෛත්‍රිපාල සේනා-නායකලත් බොන රා
සිරිම ට අගමැති වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි


මේ සින්දුව රා බීලා, මයියොක්ක කන ගමන් විතරක් නෙමේ ගල් පොල් බීල උම්බලකඩ කන ගමන් වුනත් කියන්න පුළුවන් එකක්.

එදා කිතුල්ගලදී බිව්වට පස්සේ නං මං රා බීල නෑ, හැබැයි.

බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි මූවි එකේ සෙට් එක හදපු තැනට විතරක් නෙමේ, පස්තාච්චි කුපාඩි කාලේ, මං ඇත්තම ක්වායි ගඟේ පාලම තිබුණු තැනටත් ගිහින් තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි
මත්පැන් ගැන මගේ අවවාදය මෙන්න මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2009/11/blog-post.html

ඩිස්ක්ලේමර්: දිස් බ්ලොග් ඩස් නොට් එන්ඩෝස් ඩ්‍රින්කින් ඇල්කොහොල් - ගල්, පොල්, කෂියා, රා, ඕ රංග මාකටින් බ්‍රෑන්ඩ්ස්. මටාටා ටිටා.

ප/ප/ලි:
මං කලින් දෙපාරම W3Lanka ගැන සඳහන් කරපු කතන්දර දැම්ම වෙලේ W3Lanka එක්ක ඔරොප්පු පොරවල් මාව කන්න සෙට් වුණා.

බලමු n=3 තත්වය...!!!


(image: http://en.wikipedia.org/wiki/File:Kitulgala-bridge.jpg)

Saturday, 2 April 2011

නුවර පැත්තේ අලි ගැට පේර හරීම ලාබයි අනේ - Kandy side Avocado very very cheap, anae...!!!


අලි ගැට පේර හෙවත් ඇවකාඩෝ ගැන ඉතිං අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෑ නෑනේ. නුවර පැත්තේ හැදෙන පලතුරු වලින් මං කැමතිම ජාතියක් තමයි මේවා.

පේරාදෙනිය-නුවර පැත්තේ යන එන කොට පාර දෙපැත්තේ කඩවල පුරෝලා තිබුණත් හොඳට පැහිච්ච, ගෙදර ගිහින් හෙට විතර කන්න පුළුවන් ගෙඩියක් තෝරා ගන්න එක තමයි අපිට නොතේරෙන දේ.

හැබැයි කොළඹ අවට කඩවල නම් සමහර වෙලාවට උදේ බලන කොට කඩේ තියෙන අමු ගෙඩි හවස් වෙන කොට හොඳ ගානට මෙලෙකට ඉදිලා.

ඒ වෙන හේතුවක් හින්දා නෙමේ, දවස තිස්සේම කඩේ ලඟින් යන එන නෝනලා අලි ගැට පේර ගෙඩි ටික චුට්ට චුට්ට වගේ මිරිකලා බලනවානේ ඒවා ඉදිලා ද කියලා. අන්න ඒකයි ඒ.

සමහරු ඉඳුණු අලිගැට පේර, හුරලා අරගෙන ඩෙසරට් එකක් වගේ කෝප්පෙකට දාලා සීනි දාලා කනවා.

ඇත්තටම කියනව නං, කෝප්ප වල ගාන්න ඕනෑ නෑ. තැඹිලි කුරුම්බා බීලා, ලොඳ කනවා වගේ ආණ්ඩුවෙන් දීල තියෙන කෝප්පෙම කන්නත් පුළුවනි.

තවත් සමහරු කැමති, කිරි, අයිස් ක්‍රීම් හෙමත් දාලා, අලිගැට පේර බීමක් වගේ හදාගෙන බොන්න, නිකං අයිස් කෝපි බොනවා වගේ.

සැන්විචස් වල ගාන්නත් හොඳයි ලු. මං නං ට්‍රයි කරලා නෑ.

අද කතන්දරේ, මීට අවුරුදු ගණනාවකට කලින් මං කතන්දර කුමාර කාලේ වෙච්ච එකක්.

ඔන්න මායි, මගේ ඇන්ටි කෙනෙකුයි, තවත් ඇන්ටි කෙනෙකු ගේ ගෙදර ගියා. පහුවදා මගුල් ගෙදරක යන්න සෙට් වෙන්නද කොහෙද වගෙයි මතක.

අපි එහේ ඉන්න අතරේ, තවත් අපේම ඇන්ටි කෙනෙක්, එයා බැඳපු අංකල් කාරයාත් එක්ක ඒ ගෙදරට නෑගම් ආවා.

ඔන්න ඉතිං ගෙට ගොඩ වෙලා කතා බහ පටන් ගෙන ටික වෙලාවක් යන කොට මේ ඇන්ටි තමන් ගේ බෑග් එකෙන් ගත්තා පොඩි පහේ බ්‍රව්න් පේපර් බෑග් එකක්.

"මෙන්න මං ඔයාට ගෙනාවා නංගී හොඳ ගුණදායක බඩුවක්" එයා කිව්වේ ඒ බෑග් එක මේ ගෙදර ඇන්ටි ට දෙන ගමන්.

"මොනවද අක්කී?"

"බලන්නකෝ, ඔය අලි ගැට පේර වගයක්. මං කැමතිම පලතුරු ජාතිය."

"කොහෙන්ද අක්කී මේවා?"

"අපි ඊයේ නුවර ගියා නේ නංගී. එහෙන් ගෙනාවේ. අනේ නුවර පැත්තේ අලි ගැට පේර හරීම ලාබයි නංගී. මට හිතුණා ගෝනියක් ම ගේන්න. ඒ තරමට ලාබයි කොළඹ එක්ක බලන කොට."

ඔය කතාව අහගෙන හිටපු මට හිතුනේ මගුල් ගෙදර ඉවරවෙලා ආපහු යන ගමන් අපිටත් ගෙදර ගෙනියන්න තරමට ඇන්ටි අලි ගැට පේර ගෙනත් ඇති කියලයි.

හැබැයි බ්‍රව්න් පේපර් බෑග් එක නං එච්චර ලොකුවට පෙනුනේ නෑ.

මං කියන්නං කෝ මේව හදන හැටි. ඇන්ටි බෑග් එකත් අරගෙන ගෙදර ඇන්ටිත් එක්ක ගියා කුස්සියට.

පැය කාලකට විතර පස්සේ ඔන්න ඇන්ටිලා දෙන්නා කුස්සියෙන් එලියට ආවා වීදුරු වගයක් අරගෙන. ඒවායේ තිබුනේ අලිගැට පේර බීම!

අලිගැට පේර මදය අරගෙන ක්‍රෂ් කරලා, කිරිපිටි දිය කරලා දාලා, ඊට උඩින් වැනිලා අයිස් ක්‍රීම් දාලා.

හරියට අර පිටකොටුව බස් ස්ටේෂන් එක හරියේ කඩවල්වල තියෙන පලතුරු බීම වගේ. එකම වෙනස ගස් ලබු නෑ!

මං රහ කර කර බිව්වා. හරිම රහයි, වැනිලා අයිස් ක්‍රීම් නේ වැඩි හරිය තිබුනේ. එකම ප්‍රශ්ණය වුනේ මට හම්බ වුනේ එක පොඩි වීදුරුවක් විතරක් වීමයි.

එදා හවස ඇන්ටියි, අංකලුයි ආපහු ගියාම තමයි මං දැන ගත්තේ, හරිම ලාබයි, හරිම ලාබයි කියලා කයිය ගැහැව්වට එයා නුවර ඉඳලා ගෙනත් තියෙන්නේම අලිගැට පේර ගෙඩි දෙකක් විතරයි කියලා.

ඒ ගෙඩි දෙකයි මේ නෑගම් එනකොට අරං ඇවිත් තියෙන්නේ. ඇන්ටිලා තුන් දෙනායි, අංකලුයි, සීයයි, ආච්චියි, ඒ මදිවාට මායි, අපි සේරම වැලඳුවේ ඒ අලිගැට පේර ගෙඩි දෙක තමයි.

වෙරලු ගෙඩියකුත් හත් දෙනෙක් බෙදා ගෙන කෑවයි කියනවනේ. ඉතිං, ඕක මොකක්ද නේද?

ඒත් මට හිතාගන්න බැරිවුනේ, අලි ගැට පේර නුවර හරිම ලාබයි කියලා දහ පාරක් විතර කියපු ඇන්ටි ඇයි එහෙම නං, ගෙඩි දෙකක් විතරක් ගෙනාවේ කියලයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරේ වැඩි ගතියක් නැති හින්දා -කියවන සමහර අයට හිතෙයි මෙලෝ රහක් නෑ කියලා.

අලි ගැට පේර ගැන කතන්දරේ මෙහෙම වුණාට හැබැයි අලි ගැට පේර නං මට හැමදාම මාර රහයි!

කෝකටත් ඉතිං මෙන්න උඩින් දාගන්න වැනිලා අයිස් ක්‍රීම් ටිකක්.

තොටගමුවේ රාහුල ලියපු සැලළිහිණි සන්දේශයේ ද කොහෙද ඒ කාලේ ලංකාවේ උන්නු ගෑනුන් ගේ රූපය විස්තර කරන්නේ "සිසි වන වුවන, ඉඟ සුඟ ගත හැකි මිටින, නිසි පුළුලුකුල රිය සක'යුරු, තිසර තන" කියලයි.

ඒ කියන්නේ ඉඟෙන් පහල කොටස කරත්ත රෝදයක් වගේ!

අද කාලේ නං ගෑනු කෙනෙක් ගේ ඉඟෙන් පහල ටයර් එකක් වගේ කිව්වොත් ගුටි කන්නයි වෙන්නේ. මොකද එදා ටයර් එක තිරසට, අද සිරසට නේ අපේ හිතේ මැවෙන්නේ.

සාමාන්‍යයෙන් කාන්තා රූපය ගැන ඉංගිරිසියෙන් කතා කරන කොට උපයෝගී කර ගන්නා උපමාවක් තමයි -පෙයාර්ස් ගෙඩිය. ඒ පෙයාර්ස් ගෙඩියේ හැඩය නිසායි. ඒ කියන්නේ "ඉඟ සුඟ ගත හැකි මිටින, රිය සක'යුරු නිසි පුළුලුකුල" වගේ කේස් එකක් ම තමයි!

හැත්තෑ ගනං වල ආපු සුළි සුලඟින් පස්සේ ලංකාවේ කාලයක් තිස්සේ පොයාර්ස් හැදුණු නුවර-එලියේ තව දුරටත් පොයාර්ස් හැදෙන්නේ නෑ. හැදෙන ඒවයෙත් මේ කියන නාරී දේහ විලාශය නෑ. නිකං රවුං ඒවා -නාසි පෙයාර්ස්!

මට මේ නිකමට හිතුනේ ඇයි අපි නාරී දේහය අලි ගැට පේර වලට සමාන නොකරන්නේ කියලයි.