Sunday 9 October 2011

අච්චුවේ සින්දු සහ අච්චුවෙන් පිට සින්දු - "Outcast" songs!


ඉස්සර බජව්, සාජ්ජ කියල හදුන්වපු දැන් පැදුරු පාටි කියන තැන්වලදී අපි හුඟක් දෙනෙක් කරන්නේ අර හොඳට තියෙන සින්දු කවි කරන එකයි.

මීට අවුරුදු ගණනාවකට කලින් මට හිතුණා ඕක අනිත් පැත්තට කරන්න. ඒ කියන්නේ කවි සින්දු කරන්න. ඉතිං මං කෙරුවේ මං ලියලා තිබුණු කව් අරගෙන ඒවා ගී පදමාලා විදියට ආපහු ලියන එකයි.

සාමාන්‍යයෙන් සිංහල සින්දු පදවැල් ලියවිලා තියෙන්නේ එක්තරා අච්වුවකට අනුවයි. ඉස්සෙල්ලාම ස්ථායි (A) එහෙම නැත්තං කෝරස් එක. අන්තරා (B) කොටස් දෙකක් තියෙනවා එකම තාලෙට කියන්න ඕනෑ. ඒ දෙක මැද්දට සහ සින්දුවේ අගට ස්ථායි කොටස නැවත කියනවා. ඒ කියන්නේ මේ සින්දු සේරම ABABA අච්චුවේ.

ඔය ගායනා කරන කොටස් අතරට ආරම්භක සංගීතය සහ අතුරු සංගීතය ආපුවාම තමයි සින්දුව සම්පූර්ණ වෙන්නේ. මේ අච්චුව මට පේන විදියට හින්දුස්ථානි සංගීතයට අනුව ආපු එකක් වගේ.

මේ අච්චුවේ සින්දුවකට උදාහරණයක් තමයි මංතුමා ලියලා ධම්මිකා දේවසුරේන්ද්‍ර ගායනා කරන මෙන්න මේ සින්දුව. මේක අළුත්ම අළුත් සීඩී එකක්.

ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා
මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා

හන්තානේ කඳු පිසගෙන සුසිනිඳු සීතල මද නල හමා ගියා
දෙසවන් මත් කළ සිත සන්සුන් කළ සුන්දර ගී හඬ ගලා ගියා

ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා
මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා

නාදළු පහසක මල් පෙති රහසක රස පිරි සමයයි ගෙවී ගියේ
කොළොම් පුරවරේ ගිනිදැල් අතරේ තවමත් ඒ සුව මතක තියේ

ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා
මහවැලි ඉවුරේ නන්දන උයනේ මතකයි හෙමිහිට පිය නැගුවා

සින්දුව අහන්න.

සින්දුව බාගන්න.
http://www.divshare.com/download/12535548-525

සිංහල සින්දු අති මහත් බහුතරය මේ අච්චුවේ ඒවා වුණාට කලාතුරකින් අපිට අහන්න ලැබෙනවා අච්චුවෙන් පිට ලියවුණු සින්දු.

මං පොඩි කාලේ ඉඳලා කැමති අච්චුවෙන් පිට සින්දු කීපයක් මතක් කරන්නයි අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක ලියන්නේ.

මුලින්ම මේ සින්දුව ගැන බලන්න.

පද රචනය චන්ද්‍රසිරි පල්ලියගුරු. ගායනය සනත් නන්දසිරි. මේක තියෙන්නේ "අහස් ගව්ව" චිත්‍රපටියේ.

ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නීවී යන්ට පෙර
අරුණළු උදයේ දිළිසෙන පිණි මත
පියමං කරමින් අහස් ගව්වටයි ලංවන්නේ
ඉරු රැස් දැඩිවී හැකිලී ගුලිවී
සැඟවී යා දෝ පිණි කැට මිහිතුල
පා පෙරැලී ගොස් රැඳේ ද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ
ඉර හඳ නැති වී සුළඟ සුසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ ප්‍රිය මිතුරෝ
එන්න මගේ ප්‍රිය මිතුරෝ
එන්න මගේ ප්‍රිය මිතුරෝ

තිස්ස දොඩංගොඩ හද ගී පොතේ දාපු ඇම්පීත්‍රී එක මෙන්න.


මේ සනත් නන්දසිරි ගේ ම තව සින්දුවක්. පද රචනය සුගතපාල සෙනරත් යාපා. මේක තියෙන්නේ "හන්තානේ කතාව" චිත්‍රපටියේ.

අනන්ත වූ දෙරණ සරා
දෑස නිවන නිලක් සොයා
අහස් ගව්ව නැග ගත්තේ නිල්ල දකින්නයි
ගලන ගලන සිඟිති දොලක සිහිල විඳින්නයි
ගසක වෙලෙන සිහිනි වැලක පහස ලබන්නයි

වේදනාවෙ තෙත මීදුම දෑත විදා උඩ නැගිලා
එබී බලන සහන් එළිය වසා දිවෙනවා
සදාතනික සිහින ලොවක මා තනි වෙනවා
පැතූ පැතුම් අනන්තයට ඉගිලී යනවා

වහස් බැලුම් අඳු නෙත ගා දහස් සිතුම් මල් ගවසා
මහෝඝයේ කඩුළු දොරින් දොරට වඩින්නේ
මා වට කොට ආදරයේ රටා වියන්නේ
සඳුන් කළල දෙතොල් විතක නුරා පොවන්නේ
සඳුන් කළල දෙතොල් විතක නුරා පොවන්නේ
නුරා පොවන්නේ

මෙතනින් අහන්න.
http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0190087C01

මෙන්න තවත් ඒ වගේ අච්චුවෙන් පිට සින්දු කීපයක්. මේ සින්දු බහුතරයක් ම චිත්‍රපටි ගීත වගෙයි පේන්නේ.

1. හඳුණාගත්තොත් ඔබ මා - සුනිලා අබේසේකර, ටී එම් ජයරත්න, අයිවෝ ඩෙනිස්
2. වක්කඩ ලඟ දිය වැටෙන තාලයට - අමරදේව
3. සිනිදු සුදු මුතු තලාවේ - අමරදේව
4. සඳකත් පිනි දිය - අමරදේව
5. කමලාසනී - පී.වී. නන්දසිරි
6. උඬගු ලියන් - නන්දා මාලිනී

තවත් මේ වගේ සම්ප්‍රදායික අච්චුවෙන් පිට සින්දු හෙම දන්නවාද?

-කතන්දරකාරයා

20 comments:

  1. එකම අච්චුවේ තියෙන සිංදු ගොඩාක් අහනකොට.. හිතේ රැඳිලා තියෙන්නෙ මේ පිට පැනපු එව්ව වගෙයි කශු.

    ReplyDelete
  2. "සඳකඩ පහනක" කියන ගීතය ගැනත් සෑහේන කේස් එකක් යනව නේද කාළයක් තිස්සේ. කතා මාර වැඩ කාරයෙක් නේ...

    ReplyDelete
  3. අපොයි අච්චුවෙන් පිට ගීත නම් ගොඩක් තියනවා කසූ මාමෙ.
    ඒත් අපි සින්දුවට ආදරේ කරන්නේ අච්චුව දිහා බලලා නොවේ කියන හැඟිම්ම මගෙ නම් තියන්නෙ.

    ReplyDelete
  4. දන්නේ සින්දු කවි කිරීමට පමනකි......:D:D:D

    ReplyDelete
  5. අමරදේව - සසරවසන තුරු
    දයාරත්න අමරා - අමරාදේවී
    අමරසිරි පීරිස් - ලඳුනේ
    මොරිස් භානි - දූවිල්ලෙන් වත්සුනු තවරා
    සුසිල් ප්‍රේමරත්න - රූරැසේ අදිනා ලෙසේ

    ReplyDelete
  6. @මාතලන් ,"සඳකඩ පහනක" ගීය රචනා කරල තියෙන්නේ වොලී නානායක්කාර චිතුපටයක් සඳහා.ඒ ඔහුගේ පළමු ගීය.නමුත් චිතුපටය පුදර්ශනය වීමේ දී ඔහු ගේ නම ගීතරචක විදියට ප්‍රචාරය වෙලා නෑ.මේකට ඇතිවූ සිත්වේදනාව නිසා ඔහු මියයනතුරුම නැවත ගීත ලියුවේ නෑලු.

    ReplyDelete
  7. ක.සු ලියපු ගීතය ලස්සනයි !!!

    ReplyDelete
  8. දැන් කාලේ නිතර ඇහෙන ගොඩක් ගීත ,ඔය ස්ථායි අන්තරා අච්චුවෙන් පිට ගීත. මොකද ඒවා නිකම් කොට කතන්දරයක් වගේ..ඔහේ කියවා ගෙන යනවා. කියන කෙනාගේ මූණ දිහා බැලුවම නම් මාර ලස්සන සින්දුවක් විත්තිය පේනවා.හෙහ් හෙහ්........

    රාමුවෙන් පිට ගීත කියන එක මේ කාලේ ජනප්‍රිය වෙන්නයි ගොඩක් අය කරන්නේ.ඒත් ....

    හැබැයි කසුන් කල්හාරගේ , එතකොට නදීක ගුරුගේ වගේ අය ගායනා කරන ගොඩක් ගීත රාමුවෙන් පිට උනත් ලස්සනයි.හැබැයි ඔක්කම නෙමෙයි.

    ස්ථායි අන්තරා නැති උනාම සහ ගලා ගෙන යන තාලය රිද්මය වෙනස් උනාම අපිට කොහොමත් ඒ ගීතය නිකම් අච්චුවෙන් පිට වගේ පෙනුනත් බොහෝමයක් බටහිර ගීත නම් මේ වගේ අච්චුවෙන් පිට ගීත....

    ReplyDelete
  9. අද අච්චුවෙ සින්දු ගැන මේ කොමෙන්ට් එක එවන්නම ඕනැ කියල හිතුන නිසයි ඊයක් එවන්නෙ.මෙන්න මේ “අච්චුවේම සින්දුව” අහල තියෙනවද? මේක මොහිදින් බෙග් කියන්නෙ. මං හිතන්නෙ කරුණාරත්න අබේසේකර ලියපු එකක්.

    සැපවත් පවුලක පරමාර්තේ ප්‍රීතිය හා සොම්නස වන්නේ

    සමස්තයක් වශයෙන් මේකෙ මහා ලොකු ගතයුත්කන් නෑ. ඒ වුනාට ඒකෙ අන්තරා කොටස ඉවර වෙල ආයෙ ස්ථායී කොටස පටන් ගන්න තැන බලන්න. එතන මාර ගැලපිල්ලක් තියෙන්නෙ. ඒ කියන්නෙ ඒ අන්තරා කොටස ඉවර උනාම අනිවාර්යයෙන්ම ස්ථායි කොටස කියන්න වෙනවාමයි. නැත්තං ගීතයේ තේරුමක් නැති වෙනවා.

    මෙතනින් අහන්න බලන්න.

    http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?action=Lyrics&s=A1270132C05

    නැත්තං මෙතනින් බාගන්න පුළුවන්.

    http://sindukade.info/playlist/Mohidin%20beg/mp3/31%20-%20SEPAWATH%20PAWULAKA.mp3

    -ට්‍රැෆීක් ඇනෝ-

    ReplyDelete
  10. කතන්දරත් බලාගෙන ගියාම මල්ටිටැලන්ටඩ් පොරක්නේ හැබෑටම. සිංදුවනම් හොඳා, කියන කෙනත් හොඳට කියනවා.

    සිංදුවක් රස විදින්න පුළුවන්නම් කොයී අච්චුවේ උනත් කමක් නෑ. පොඩි පානයක් දාන වෙලාවට අපි වාගේ ගායකයොන්ටත් කියන්න පුළුවන්නම් තවත් අපූරුයි.

    ReplyDelete
  11. කතන්දර . . . . සිංදුව ඇහුව . . . . නියමයි . . . තව තියනවනං ඔබතුමා ලියපු සිංදු . . . දාන්නකො පැත්තකිං . . .

    ReplyDelete
  12. විකටර් රත්නායකගෙ ඔබෙ දෙතොල් පෙති ලිහී.

    මටත් සිංදුවක් ලියලා දෙන්න බැරිද?

    ReplyDelete
  13. කතන්දර බොස් කවියෙන් විතරක් නෙවේ ගීතයෙනුත් වැඩදාපු පොරක් බව දන්නේ අද !

    ReplyDelete
  14. යකෝ මං අහපු නැති සිංදු එමට තියෙනවා නෙව..!

    ReplyDelete
  15. කතන්දර ලියපු සින්දුවෙ ප්‍රපර්ටීස්වල කතන්දරගෙ නම දාල නැහැ. තව ටිකක් කල් යද්දි වෙන අයිතිකාරයෙක්වත් හැදෙයිද?

    ReplyDelete
  16. මම කිව්වෙ
    http://www.divshare.com/download/12535548-525
    වලින් බාගත්ත ඒම් පී ත්‍රී ෆයිල් ඒක ගැනයි. මෙව්වගෙ ඒකක් සුළු දෙයක් තමයි.

    ReplyDelete
  17. කතන්දරගේ සින්දුව හරිම ලස්සනයි. තනුවයි වචනයි කටඬයි ඔක්කොම හොඳයි.

    ReplyDelete
  18. කසු,
    මම දන්න අසා ඇති තරමින් නම් 'වක්කඩ ලඟ' මහගම සේකර ගෙ කවියක් සිංදුවක් කරපු එකක්.

    -ලොකු

    ReplyDelete
  19. කතන්දර රචනා කල මේ ගීතය ඉතාමත් කන්කලුය
    *වසිලිස්සා*

    ReplyDelete
  20. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.