Thursday 22 September 2011

කොට ඒවද හොඳ, දිග ඒවද? - More short poems from my Peradeniya days


මං නං හිතන්නේ ඔය "කවිය කියන්නේ රසවත් වැකියකි!" ද මොකක්ද කියන පරණ සංස්කෘත පඬිවඳන නම් මහ පිස්සු කතාවක් තමයි.

මේක අහල කවි හදන්න හිතන සමහරු වාක්‍යයක් තුනට හතරට කඩල දාන්නත් ඉඩ තියෙනවා. එහෙම කවි ලියන්න පුළුවන් නම් මාසෙකට කවි පොත් දෙකක් විතර ලියන්න පුළුවනිනේ.

මේ පහලින් තියෙන "වෙනස" කියන කවිය ලියන්න මට මාස පහක් හයක් ගියා.

පේරාදෙනියේ දෙවෙනි වාරයේ (ඒ දවස්වල අධ්‍යයන වර්ෂයකට වාර තුනයි) මුලදී හිතට ආපු සිතුවිල්ල ඒ දවස්වල ජනප්‍රිය කෙටි කවි රටාවෙන් කවියක් විදියට ලියවුනේ ෆර්ස්ට් ඉයර් එක්සෑම් එකත් කිට්ටුවෙලා!

වෙනස

වදන් දහසකින්වත්
නොහැකිවිය වටහා දෙන්නට
ඇයට
ආදරයේ මිහිරි බව

නමුදු

එකදු වදනක් නො දොඩා
වටහා දුන්නීය ඇය මට
ආදරයේ කටුක බව෴



ඊලඟට තියෙන "කණපිට" කියන කවියත් ඒ වගේම සෑහෙන්න තටමලා, තටමලා එළියට දාපු එකක්. මාස ගණනක් ගියා මේක ලියන්නත්!

කණපිට

ආදරය යනු
සිසිල සැණසුම සුවය ගෙන දෙන
හදෙහි සොම්නස සතුට පුරවන
සිතෙහි ඇතිවන හැඟීමක් යැයි
අසා තිබුනෙමි පෙර දිනේ

ආදරය යනු
දුක ද කඳුළ ද නිබද හිමිවෙන
හදෙහි දොම්නස සුසුම රඳවන
සිතෙහි නොරුඳෙන සිහිනයක් යැයි
හැඳින ගත්තෙමි අද දිනේ෴


මේ කවි ගැන තව විස්තර කියන්නත් පුළුවනි ඔන්නම්. ඒත් මොකටද, නේද?

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://usbottlesandfriends.wordpress.com/2011/02/10/let-it-burn/)

32 comments:

  1. කියා ගන්නට
    ඇගේ ආලය
    නැතිව ඉන්නට
    ඇති වචන

    වෙනස අගෙයි !!

    ReplyDelete
  2. ඉවසන්න
    බැරිවුණත්
    නැතිදාට
    ආදරේ....

    ඉවසන්න
    හුරු කළෙත්
    ඔබයි, මට
    ආදරේ....

    බොහෝම අගෙයි කසූ අයියේ!

    ReplyDelete
  3. කොට එව්වගෙන් එල්ල වෙන ප්‍රහාරය කාලයක් යනකන් කම්පනය වෙනවා..සමහර දිග එව්ව හනේ..කන්දක් විළි ලා මී පැටවකු වැදූ සේ මැයි !

    ReplyDelete
  4. කොට කොට යනකොට
    බඩු කොට වෙනකොට
    බඩු යනවලු පිට
    කවියත් වෙයි කොට

    ලොහ්..ලොහ්...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්....

    මුලින් මුලින් ඔහොම වුනත් කකා, පස්සෙන් පහු වැඩේ ගොඩ යන්න ඇති නේද?

    ReplyDelete
  6. වෙන මොනවද ඉතින් කොට එව්වම තමයි....

    ReplyDelete
  7. //වෙනස

    වදන් දහසකින්වත්
    නොහැකිවිය වටහා දෙන්නට
    ඇයට
    ආදරයේ මිහිරි බව

    නමුදු

    එකදු වදනක් නො දොඩා
    වටහා දුන්නීය ඇය මට
    ආදරයේ කටුක බව//

    ඉහත කවිය ගැලපෙන්නේ මටම තමයි.
    වෙනසට ඇත්තේ...
    " ඇය" යනු "ඔහු" වෙනු පමණයි.

    ReplyDelete
  8. කියන්නට දෙයක් නැත...
    ඒ සියල්ල මේ පද තුල ගැබ්ව ඇති බැවිනි...

    ReplyDelete
  9. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.>>>>
    Clark mahaththayo

    ReplyDelete
  10. කවි ලිවීමේ හැකියාවක් නැතුවා සේම, කවි වර්ණනා කිරීමේ හැකියාවක්ද නැත.

    //එකදු වදනක් නො දොඩා
    වටහා දුන්නීය ඇය මට
    ආදරයේ කටුක බව//

    ඒත් මේක නම් පව්....:D

    ReplyDelete
  11. @Podi Kumarihami

    කටුකයි පො.කු කටුකයි මේ ආදරේ කටුකයි...
    එන්නේ සිනා වී යන්නේ හඬවාලයි...
    මෙලෙසින් රිද්දුවෙ පෙර ආලය කල සිතටයි....
    හදවත තිබේදෝ මටනම් සැක සහිතයි.....
    ..

    ReplyDelete
  12. ගිම්හාණි නගේ මොකෝ මේ වෙලා තීන්නෙ.. එක්කො කුමාරිහාමිටවත් ලියල යවන්න හිතේ දුක. එතකොට උන්දැ මොකක් හරි පරණ කතාවක් බල වෙලාවකම ඒක් ලැබිල මරු පෝස්ට් එකක් දායි!

    ReplyDelete
  13. //වදන් දහසකින්වත්
    නොහැකිවිය වටහා දෙන්නට
    ඇයට
    ආදරයේ මිහිරි බව

    නමුදු

    එකදු වදනක් නො දොඩා
    වටහා දුන්නීය ඇය මට
    ආදරයේ කටුක බව //

    මේ කයිය නං මටත් ගැලපෙනව..හී
    අර අන්තිම කයිය ගැන කියන්ට තියේ කියපු විස්තරෙත් දාන්ඩකෝ....

    ReplyDelete
  14. @ගිම්හානි,

    අන්න සිංහයාගේ අදහස නම් හොඳයි. මගේ මේල් එක ඕන නම් දෙන්නම්. හැබැයි ඉතින් ඔය පිරිමි ලමයි පොඩ්ඩකට ඇස් වහගන්ට වෙයි.

    අපොයි දැන්වත් තේරෙනවද පොඩ්ඩි මේ හැටි ඔය උත්තමයන්ට බනින්නේ මොකද කියලා...:)

    ReplyDelete
  15. සිංහයා,

    //උන්දැ මොකක් හරි පරණ කතාවක් බල වෙලාවකම ඒක් ලැබිල මරු පෝස්ට් එකක් දායි!//

    ඒ කියන්නේ කොල්ලන්ට බනින පෝස්ට් මරු කියන එකද?...:D:D:D

    ReplyDelete
  16. කොයි කාලෙද අප්පේ අවුරුද්දකට සමාසික තුනක් තිබ්බේ. ඒක නෙමේ සමාසිකයකට සති කීයක් තිබ්බද ඉස්සර ?

    ReplyDelete
  17. ඉතිං කතන්දරට ඔය කොට කවියල ලියවුනේ අර මාතල් කියන්නත් වගේ මාස ගානක් කොට කොට ඉදල බඩු පිට ගියාමනෙ... :D

    එතකොට ඔය කොට එක දිග එකකටත් වඩා දිගයි .. :D :D

    ReplyDelete
  18. මධුරංග,
    සමාසික නෙවෙයි, ඒ කලේ තිබුනේ අධ්‍යයන වාර. සමාසිකයක් අවසන විභාගයක් හෝ ඇගයීමක් තිබුනට වාරයක් අවසන එහෙම මොකුත් නැහැ.
    1993-1997 කාලේ අධ්‍යයන වාරයකට සති 10 යි. අධ්‍යයන වාර දෙකක් අතර සති 3-4 විතර නිවාඩුවක් එනවා. වාර තුනයි සති තිහයි අධ්‍යයන වර්ෂය ඉවරයි. තුන්වෙනි වාරේ අවසන සති 4 ක් අධ්‍යයන නිවාඩු. ඊට පසු එම වසරේ විභාගය.
    ඔය සිස්ටම් එක වෙනස් කරේ කොල්ලෝ අධ්‍යයන කාල සිමාවේ මෙලෝ දෙයක් නොකර කුප්පි වලින් course එක ගොඩ යනවා කියල නේ. කතාවත් බොරු නෙවෙයි බලන් යනකොට.

    ReplyDelete
  19. මෝර මිරිස් වලට වඩා කොච්චි සැරයි වගේ තමා! :)

    ReplyDelete
  20. ගිනි පෙලෙල්ලකට පෙම්බැඳ
    නොදරුවකු විලසින
    පිළිස්සුනු හද මඩල ආලෝකමත් කල
    මහා අකුණු සැරයකට
    යලිදු පෙම් බැන්දෙමි
    *වසිලිස්සා*
    දැන් කාකාගේ කවිවලට පෙම් බඳිමි
    :)
    ඇත්තෙන්ම කෙටි කවි දිග කවි වලට වඩා හොඳය

    ReplyDelete
  21. කවි ලියුමට නැතිව හැකියාවක්

    කෙසේ කරමිද විවේචනයක් ?

    ReplyDelete
  22. වෙනස නං නියමයි... කණපිටත් හොඳයි. ඒත් ඔය දේවල් කවි වලින් ලියලා හිතින් පිටමං කරලා දාන එක තමයි හොඳම දේ.

    මට නං...

    ආලය කරණ කළ එක් වී හැමදාම
    දෙඩුවේ වල්පල්ය වැඩියෙන් බැලුවාම
    බැඳලා වගකීම් ටික ටික දැනුණාම
    පදමට ආව හැටි පුදුමයි හිතුවාම

    ReplyDelete
  23. මුල්ම පද වැල මගේ හිතටත් තදින්ම වැදුනා....
    ආදරය...දුකක්මැයි.........

    ReplyDelete
  24. කාලය කන ආල හැඟුම්
    තාල තියන සොඳුරු දසුන්
    වෙන්න හිතයි මටත් ඉතින්
    නුඹෙ නෙතු අග කෝල බැලුම්

    ReplyDelete
  25. සොඳුරු සිත,
    කතන්දර දරු පවුල් කාරය

    ReplyDelete
  26. කොට කවි නිකම් , මාර හදිස්සියට ,හරිම තකහනියෙන් කියන කතාවක් වගේ. සමහර වෙලාවට තේරෙන්නෙත් නැහැ.
    ඒත් පේළි හතරේ තාල තියන පුංචි කවි නම් හරි ගෙයි.

    සමහරු ලියන පත හෑළි වගේ දිග කවි නම් , මුල කියවන මැද කියවල අගට එන කොට මුල තිබ්බෙ මොන ද කියලවත් මතක නැහැ.

    නමුත් දිග කවි වලට උදාහරණයක් නේද ප්‍රබුද්ධ.ඒක නම් අගේ ඇති කවි ටිකක්...ප්‍රබුද්ධ කියවන්න කලින් මම හිතාන හිටියේ ,කවි කියන්නේ තාල තියෙන හතර පද කියලයි..හරියට පැල් කවි වගේ.

    මීට කලකට කලින් කතන්දර ලීව නේද තුන් පද කවි පන්තියක්. අන්න පුලුවන් නම් ඒකේ දිගුව (ලින්ක් එක ) පොට්ට්ක් කොපි පේස්ට් කරනව ද?
    ආයෙම කියවන්න හිතුනා.
    ආහ් අර දෙව්ලොව ගිය කවි පන්තිය. අන්න නියමයි.

    ඒ වගේම තොරන් බලන්න ගියාම කියන කවි, එතකොට හිඟන මිනිස්සු බස් වලට නැඟල කියන කවි.තව එතකොට චාරයක් නැති හිටිවන කවි.... එතකොට තව ප්‍රශ්ණෙයි උත්තරයි කවි....මේ මොන කවිය උනත් තාල තියල හයියෙන් කට ඇරල කියන නිසා හරිම අව්‍යාජයි කියල මට හිතුනා....

    කතන්දරට සුබ සාහිත්‍ය මාසයක් වේවායි පතන෴
    මම
    ෴ සොඳුර සිත ෴

    ReplyDelete
  27. @ Observer said...
    හෙහ් හෙහ් ... කතන්දර මහත්තයගේ නෝන මහත්තය මාව අඳුරනව.අනික මේ කවිය කතන්දරට නෙමෙයි....

    ReplyDelete
  28. ඔව්..ගොඩක් වෙලවට කෙටි කවියකින් පොතක් තරම් ලොකු අද්හසක් දෙනව.හැබැයි හරියට ලියන්න ඕන...මට බැරිම වැඩේ....

    ReplyDelete
  29. නිසල රැයේ තරු එලියට හිනැහී
    පිණි බිදුවක් වී ඔබ සිටියා
    මදනල හා විත් සිතට කතා කල
    මල් සුවදක් වී ඔබ සිටියා

    කුරිරු වත්මනක මා තනි කර දා
    සොදුරු අතීතය මිය ගිය මොහොතේ.......

    පවස නිවාගනු රිසින් ඇදුනු සඳ
    මිරිඟු දියක් ළෙස ඔබ දකිමී
    සිනහ පොකුරු මල් පරවූ නෙතු අග
    කදුලු බිදක් ලෙස ඔබ දකිමී

    ReplyDelete
  30. මට හැමදාම ප්‍රස්නයක් තිබුන, ආදරේ හොඳ දෙයක් නම් ඇයි දුකක්, මං හිතන්නෙ දුක දැනෙනවනම් එය කෑදරේ විය යුතුයි!

    ReplyDelete
  31. @ All
    මං හිතුව වගේම කෙටි කවි වලට හොඳ කැමැත්තක් තියෙනව. ෂෝට් ඇන්ඩ් ස්වීට් කියනවනේ!
    සියළු දෙනටම ස්තුතියි.

    මේ සාහිත්‍ය මාසයේ කයි-කතන්දර දාන්න හිතුන එක ගැණ මට දැන් හරි සතුටුයි.

    "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයේකවි වලින් තාම බාගයක්වත් ඉවර නෑ.

    මං පේරාදෙනියේ හිටපු තුවන සහ හතරවන අවුරුදු වල ලියපු කවිපොතේ නම "මායාවෝ".

    නැවත සෙනසුරාදා කවි!

    ReplyDelete
  32. supirima supiri kathandara ayye

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.