Tuesday 6 September 2011

පේරාදෙනියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ සිට ලියමි : Homesickness


මේ කවියත් මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ගතකළ මුල් සති දෙක ඇතුලත ලියපු එකක්.

මං හිටියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේයි. එතන ඉඳන් ගඟෙන් එගොඩ ෆැකල්ටියට යනවා කියන්නේම මාර රැග් එකක්.

ඇයි ඕයි, අක්බාර් එකේ ඉන්න වුන්ට විනාඩි දෙකක්වත් යන්නේ නැති ගමනට අපිට විනාඩි විස්සක් යනවා. තද වෙනවා, නේද?

ඒ මදිවට මාකස් ප්‍රනාන්දු ශාලාවේ කැෆටේරියා එක නොහොත් භෝජනාගාරය වහලා එලියේ පොඩි කඩ කෑල්ලක් විතරයි තිබුනේ. කියල වැඩක් නෑ.

ඉතිං ළමයි, ඔය හේතු නිසාද මන්දා මං ගිය බ්‍රහස්පතින්දා දාපු කවිය වගේම මේ කවියත් ටිකක් දුකෙන් ලියපු එකක්. හැබැයි හැමදාම ඔහොම ඔය දුක තිබුනේ නෑ. එක්කෝ මං දුකට හුරු වුණා, නැත්තං අට්ට ලෝක චක්කරේ කැරකුණා අනිත් පැත්තට.

දැන් කියවන්න කෝ පදවැල.

ජීවිතය

භෝජනාගාරයේ පෝලිමේ හිරවෙලා
ලැබගන්න බත්පතින් කුසගින්න නිවෙනවා
රස නහර පිනා යන ගෙදර බත සිහිවෙලා
නොදැනුවත්වම වගේ නෙත කඳුළු පිරෙනවා

කඳු නැගල, කඳු බැහැල ගත වෙහෙස දැඩි කරන්
උදයෙන්ම පෝලිමේ කම්මලට ඇදෙනවා
පරබසින් උගැන්වෙන දෙසුම් සවනෙහි හෙලන්
දේශණාගාරයේ නිදිකිරා වැටෙනවා

ඇල්මැරුණු තේ එකෙන් ගත වෙහෙස නිවාගෙන
හිරු බසින සැඳෑවේ කුටිය වෙත ඇදෙනවා
හිත වෙහෙස කෙසේ හෝ නිවන්නට සිතා ගෙන
හැකිතරම් ඉක්මනින් ගුලිවෙලා නිදනවා

සීතලේ මිරිකෙමින් රෑ කලේ නිදන විට
සිහිනයෙන් ගෙදර ගොස් ඉන්න හැටි පෙනෙනවා
පූරුවේ පවක් යැයි සිතාගෙන සැනසිලා
ජීවිතය දුකක් බව පසක්කර ගන්නවා෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
සාහිත්‍ය මාසය පිටින් දාලා මං ලියපු කවි විතරක් පල කර කර ඉන්නේ නැතුව පොත් ගැනත්, පොත්වල කවි ගැනත් ලියන්නට හිතී ඇති බව සතුටින් දන්වමි.

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.dailynews.lk/2010/03/27/fea60.asp)

20 comments:

  1. හස්තද්වාරයෙන් කියන්නේ මොකක්ද..? සාහිත්‍ය මාසයේ හින්ද අපේ ආතල් ඉවරයි වගේ...

    ReplyDelete
  2. මුල් මාස කීපය දුක සහ සතුට අතරේ ගෙවිල ගිහින් ..ඊට පස්සෙ ගෙදර යනව කියන්නෙ මරන්න ඇද ගෙන යන හරකෙක් සේ අමාරුවෙන් යන ලෙසක් තමයි වෙන්නෙ.

    ReplyDelete
  3. @ මාතලන්,
    හස්තද්වාරය කියන්නේ අතින් ලියල ප්‍රසිද්ධ කරන එක වෙන්නැති, මුද්‍රණද්වාරය වගේ.

    කවි ටික පන්කාදුය්, ක. ශු.

    ReplyDelete
  4. නියමයිනේ...

    ReplyDelete
  5. nice verses... at our time most of the 1st years got Akbar.

    ReplyDelete
  6. සතුටින් ලියපු කවි එනකම් බලන් ඉන්නව....

    ReplyDelete
  7. //භෝජනාගාරයේ පෝලිමේ හිරවෙලා
    ලැබගන්න බත්පතින් කුසගින්න නිවෙනවා
    රස නහර පිනා යන ගෙදර බත සිහිවෙලා
    නොදැනුවත්වම වගේ නෙත කඳුළු පිරෙනවා//

    ‍මේක දැක්කහම මතක් වුනේ...
    අපි ගම්පහ පැත්තේ ‍බෝඩිමක ඉන්න කාලේ අපිත් එක්ක හිටපු යාළුවෙක් දවසක් කෑම පිඟාන අතේ තියාගෙන බිත්තියට හේත්තු වෙලා බිම වාඩිවෙලා " අම්මේ මට මේ කෑම කන්න බැරියෝ" කියලා ඔහේ බලාගෙන ඉන්නවා... ටිකක් වෙලා එහෙම ඉඳලා එකපාරටම මෙන්න මූ කන්න ගත්තා...
    අපි ඇහුවා මොකද දැන් හොඳ නෑ කියලා ආපහු කන්නේ කියලා... ඌ කියනවා
    "දෙන දෙයක් කාලා හිටපන්" කියලා අම්ම කිව්වළු...

    කවි ටික නම් ෂෝර්ක්... මටත් ඔය වගේ හිතිලා තියෙනවා පොඩිම පොඩි කාලේ පළවෙනි සැරේට කැඩෙටින් කෑම්ප් ගියපු මුල් දවස් වල.. ඒත් ඉතින් මට කවි ලියන්න බෑ නොවැ..

    ReplyDelete
  8. කකා ඒ කාලේ කම්මලේ හිටපු ලීඩින් කලාකාරයෙක් වගේ! කම්මල වුනාට ඒක කවදත් කලාවට ‍තෝතැන්නක්...

    මේ පැදි පෙළ ගැන කිව්වොත් කැන්ටිමේ කෑම ගැන කියලා තියෙන කතාව හරියටම හරි! දුකක්ම තමා... ඒත් ටික කාලයක් යද්දි ඕකට හුරු වෙනවා... (ඒ ටික මඟ එනවා ඇති මයෙ හිතේ...) පස්සෙන් පහු අපේ සමහර එවුන්ට ඕක පත්තියම් වෙලා, ගෙදර ගිහින් බත් කෑවම අජීර්ණ වෙන්න ගත්තා... බි.පෙ.සි.

    අපේ කාලෙ වෙනකොට කම්මලේ අයට හම්බුනේ අක්බාර් - නෙල් ශාලාවයි, නිශ්මි ශාලාවයි විතරයි. හැබැයි අපි 3 වන වසරට එද්දී මේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා අනිත් ශාලා එක්ක කලවමට දාන්න පටන් ගත්තා... මං හිතන්නේ ඒක ඉතාම හොඳයි! ඒකෙන් අනිත් පීඨ එක්ක මුහුවීම වැඩිවෙනවනේ... මමත් ගජයක් ගහලා හිල්ඩා එකේ හිටියේ... ටික දුරක් ඇවිත් ගඟ තරණය කරන්න වුනාට මට නම් එපා වුනේ නෑ...

    ReplyDelete
  9. අපොයි කඩ කෑම ගැනනම් කියලා වැඩක් නෑ. කැම්පස් යන කට්ටියට වෙන වැඩේ ඕක තමා...:((((

    ReplyDelete
  10. අපොයි විද්යෝදේ හිටි අපිට කෝ ඔහොම සොමි.. ජීවිතේ වැඩි කාලයක් හිටිය බෝඩිම් වල තමයි.. අවුරුදු හතරයි බෝඩිම් දොළහයි

    ReplyDelete
  11. පොඩි දුරක් නෙවේනේ කතන්දර ඇවිදලා තියෙන්නේ. කොච්චර කාලයක් මාකස් එකේ හිටියද?
    කවි ටිකෙන් නම් හෙඳට විඳපු දුක දැනෙනවා..

    ReplyDelete
  12. දවසට විනාඩි 40ක් අප් අන්ඩ් ඩවුන් කඳු නැගලා බැහැලා, කසු ෆුල් ෆිට් එකේ ඉන්න ඇති නේද ඒ දවස්වල....?

    ReplyDelete
  13. කසු ට දුක හිතෙන්න ඇත්තේ පළමු වසරේ දී ම marcus කන්ද නගින්න වෙච්ච එක වෙන්නැති. මම නම් අවුරුදු හතර හිටියේ හොස්ටල් හතරක.

    1. අක්බර්
    2 හිල්ඩා (ගජයක්)
    3. James Pieris
    4. නිෂ්මි

    අපි තමයි JP හිටපු අන්තිම කොල්ලෝ ටික (JP girls hostal එකක් කලා අපෙන් පස්සේ. අපිට පට්ට මල ඒකට) සහ නිෂ්මි first batch එක.

    (Inta ඉන්නකොටත් හිටියේ නිෂ්මි තමයි)

    JP කලේ තමයි පිස්සුවෙ උපරිමය. 3rd year subjects 3 ක් ඇන ගත්තේ ඒ හින්ද තමයි.

    කොහොමත් අවුරුදු හතර හොස්ටල් හතරක හිටපු එක PR ඒකට නම් හොඳයි. නමුත් මම හිතන්නේ ඉන්ජෝ අක්බාර් ඉන්න එක හොඳයි studies වලට.

    මාකස් හොස්ටල් ඒකට විතරයි ඒ දවස් වල (1995-96) ITN channel එක අහුවෙන්නේ. ඉතින් ෆිල්ම් එකක් බලන්න ඕනේ නම් හිල්ඩා ඉඳල මාක්ස් නගිනවා මහ රෑ. LOLzzzz.

    ReplyDelete
  14. අනේ පව් ... කසු

    ReplyDelete
  15. රුහුණ වි.වි. යේ Agri faculty එක ඒ අතින් සුපිරි. දෙයියනේ කියලා farm එකේ ගහකින් යමක් කඩාගෙන හොස්ටල් එකේදි උයාගෙන තුන් වේලටම කාපු එක ජීවිතේට අමතක වෙන්නෙ නෑ. අපි මුලු කාලෙටම කන්ටිමාගෙ මූණ දැකලා නැතිව ඇති දින 100 කට වඩා.

    ReplyDelete
  16. @ All
    අදහස් දැක්වූ සියළු දෙනාටමත්, ඇවිත් ගිය සැමටත්, ඊමේල් එවූ අයටත් ස්තුතියි.

    සාහිත්‍ය මාසය කියලා අල්ල ගත්තේ කොටි වලිගයක් ද, මන්දා?

    දැන් ආපහු හෙට කතන්දරයක් දාන්න වෙනවා. ආයේ බ්‍රහස්පතින්දා කයි-කතන්දර!

    ReplyDelete
  17. ....
    ....
    ....
    උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.

    ReplyDelete
  18. කසු ට දුක හිතෙන්න ඇත්තේ පළමු වසරේ දී ම marcus කන්ද නගින්න වෙච්ච එක වෙන්නැති. මම නම් අවුරුදු හතර හිටියේ හොස්ටල් හතරක.
    1. අක්බර් 2 හිල්ඩා (ගජයක්) 3. James Pieris 4. නිෂ්මි
    අපි තමයි JP හිටපු අන්තිම කොල්ලෝ ටික (JP girls hostal එකක් කලා අපෙන් පස්සේ. අපිට පට්ට මල ඒකට) සහ නිෂ්මි first batch එක.
    (Inta ඉන්නකොටත් හිටියේ නිෂ්මි තමයි)
    JP කලේ තමයි පිස්සුවෙ උපරිමය. 3rd year subjects 3 ක් ඇන ගත්තේ ඒ හින්ද තමයි.
    කොහොමත් අවුරුදු හතර හොස්ටල් හතරක හිටපු එක PR ඒකට නම් හොඳයි. නමුත් මම හිතන්නේ ඉන්ජෝ අක්බාර් ඉන්න එක හොඳයි studies වලට.
    මාකස් හොස්ටල් ඒකට විතරයි ඒ දවස් වල (1995-96) ITN channel එක අහුවෙන්නේ. ඉතින් ෆිල්ම් එකක් බලන්න ඕනේ නම් හිල්ඩා ඉඳල මාක්ස් නගිනවා මහ රෑ. LOLzzzz.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.