Sunday 4 September 2011

එළාරවයි දුටුගැමුණුයි යාළු කරමුකෝ - A "childish" view on Ellaran-Dutugemunu war?


ඔන්න එකමත් එක කාලෙක (දැන් අවුරුදු ගණනාවක කලින්), එකමත් එක රටක (කොළඹ ට නුදුරු පැත්තක් හොඳේ!) තිබුණු එකමත් එක පාසලක, එකම පන්තියේ හිටියා හොඳ යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් විනෝදන්, අනිත්කෙනා දයාලන්. විනෝදන් සිංහල, දයාලන් දෙමල.

මේ දෙන්නා අටේ පන්තියේ විතර ඉන්දැද්දී, ඉස්කෝලේ වර්ෂාවසාන විවිධප්‍රසංගයට මේ පන්තියෙන් නාට්‍යයක් ඉදිරිපත් කරන්න යෝජනාවුණා. පන්තිය භාර ගුරුවරයා මේ සඳහා තෝරාගත්තු කතන්දරේ තමයි එළාර-දුටුගැමුණු සීන් එක.

ඒ දවස්වල ඉඳලාම මේ "එළාර-දුටුගැමුණු සීන් එක" නැගලා යන කතන්දරයක්.

පස්සෙන් පහු නං මේ ගැන කොටස් හතරකින් යුතු කතාවක් පවා ලියවුණා.

1. දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!
2. දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2 - වීසා ඔන් ඇරයිවල්
3. කැම්පස් කවි සහ චිත්තරපටි - දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 3
4. දුටුගැමුණු ලා ගේ වැඩ-කිඩ අවසාන වෙයි!

මේ කියන නාට්‍යයේ දුටුගැමුණු ගේ චරිතයට අටේ පන්තිය භාර ගුරුවරයා තෝරා ගත්තේ විනෝදන්වයි. එළාර චරිතය ලැබුනේ දයාලන්ටයි.

ඉතිං නාට්‍යය හදන්න ගිහින් වෙච්ච කතන්දරේ සින්දුවක් විදියට අපිට අහන්න පුළුවන් විනෝදන් ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන්.

මේ සින්දුව කතන්දරකාරයා බස් රේඩියෝ කතාබස් වැඩසටහන එක්ක කළ ඉන්ටර්වීව් එකේදී ප්‍රචාර වුණා. ඒ වෙලාවේ රේඩියෝ එක නොඅහපු අයටත්, ඇහැව්වට සින්දුව හරියට නොතේරුණ අයටත් ප්‍රයෝජනවත් වෙන්න කියල තමයි මේ පෝස්ට් එක දාන්නේ. අද සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් කතන්දරේ මේකයි.

පද රචනය: ලක්‍ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය: සංගීත් වික්‍රමසිංහ
ගායනය: ළමා ගායක තිසල් පාදුක්ක විදාන

මුලින්ම අපි ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ පදමාලාව කියවලා ඉඳිමු.

ඉස්කෝලෙ ප්රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ

බනිස් ගෙඩිය බෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟපානා
මගෙ මිතුරා දයාලන් ගෙ ගෙල සිඳින්න බෑ

තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගී සටන් කලෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන් ව බිලි දුන්නේ නෑ
ලොවට කියා උපන් රටත් පාව දුන්නෙ නෑ

මුහුණ ට මුහුණත දීලා
පපුව ට පපුව ම දීලා
එළාර ලෙස රඟපානා
අනේ සර් දයාලන් ට හතුරු වෙන්න බෑ

ඉස්කෝලෙ ප්රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ

රංඩු කරන් තරහ වෙලා එක පේලියෙ හිටියා
හොරෙන් බලා දුක් වීලා හිතින් කඳුළු සැලුවා
වෛරයෙ විෂ බැන්දෙත් නෑ
පලි ගන්නට හිතුවෙත් නෑ
කිසි කෙනෙකුට කිව්වෙත් නෑ
ලොකු සර් ල දන්නෙත් නෑ
මේ නාටකෙ රඟපානා
හොඳ මිතුරෝ අපි දෙන්නා
අපි ගහේ වැලේ ගඟේ දොලේ සෙල්ලම් කෙරුවා

ඉස්කෝලෙ ප්රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණු යි යාළු කරමුකෝ


දැන් මෙන්න සින්දුව. මෙතනින් අහන්න පුළුවනි.


මෙතනින් බාගන්න පුළුවනි.
http://www.divshare.com/download/15651754-fcb

අහන්න පුළුවන් වුනාට, බාගන්න පුළුවන් වුනාට, වාද කරන්න නං මෙතන බෑ. ඒකට යන්න ප/ලි එකට.

-කතන්දරකාරයා

ප/ලි
මීට අවුරුදු 2200 කට විතර කලින් කෙරුණු ඒ එළාර දුටුගැමුණු යුද්ධය අද අපි එක එක්කෙනා තේරුම් ගන්නේ එක එක විදියටයි.

මං හිතන විදියට නං ඒ වීසා ඔන් ඇරයිවල් කාලේ වෙච්ච සිද්ධිය අද පවතින ජනවාර්ගික අර්බුදයට ගාවන එක නං තේරුමක් ඇති දෙයක් නෙමේ.

මොකද අද අපි දන්න ජනකොටස් නෙමේ එදා ලංකාවේ හිටියේ.

මේ සින්දුව ගැන මගේ අදහස කියනව නං, සින්දුවේ උඩින් පේන අර්ථය නෙමේ යටින් තියෙන්නේ. ළමයෙක් කියන කතාවක් නිසා ඉතිං අවුලක් නෑ.

කැමතිනං එකඟ වෙන්න, නැතිවුනත් එකඟ වෙන්න!


43 comments:

  1. මං නම් බස් රේඩියෝ එකේදී ඕක ඇහුවා.. :D

    ReplyDelete
  2. ඒ උනාට තවමත් උගන්වනේ, දෙමළු මරළ රට එක්සත් කළ රජ්ජුරුවෝ කියල. උනේ ජාතීවදයක් නෙමේ. දෙන්නගෙම හමුදාවේ කළවමේ කෂ්ටිය ඉඳල තියෙනව. ගැමුණු චරිතේ වර්ථමානයේ ජෝක් එකක් වෙලා තියෙන්නේ. හැබයි අද ගැමුණුලට වඩා එදා ගැමුණු මානුෂික යුද්ධයක් කළා කියල තමයි පොතේ තියෙන්නේ. මොකෝ එයාට විරුද්ධව තවම සිවිල් ජනතාව මැරුවයි කියල චෝදනා එල්ල වෙලා නැති නිසා..

    ReplyDelete
  3. එළාර යනු දෙමළ ජාතිකයෙක් නෙවෙයි. ඔහු චෝල/ සෝළී ජාතිකයෙක්. අනික ගැමුණු රජතුමා සිවිල් වැසියන් ඝාතනය වීම වලක්වාගන්න තමයි ද්වන්ද්ව සටනකට අභියෝග කලේ. එළාර රජතුමාත් තමන්ගේ යටත් වැසියන් බේරාගන්න තමයි ඒ ඉල්ලීමට එකඟ වුණේ. ගැමුණු රජු තමන් අතින් පරාජය වෙලා මියැදුණු එළාරට එතරම් ගෞරව කලේ ඒනිසයි. ගැමුණු රජුට ඕනාතරම් ඉඩ තිබුණා කො‍ටු වෙලා හිටපු එළාර සේනාවගේ සැපයුම් මාර්ග නැති කරලා ඔවුන් බඩගින්නෙ මරලා දාන්න.

    මාතලන් කියපු කතාව ඇත්ත. එළාරගේ සේනාවේ සිංහල සේනාධිපති වරුන් ගොඩක් හිටියා.

    ගැමුණු රජුගේ සංග්‍රාමයේ ප්‍රධාන අරමුණ වුනේ විදේශ ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීම.

    ReplyDelete
  4. මරු සිංදුව... පොඩි එකෙක් කිව්වට රිදෙන්නේ ලොකු එවුන්ට...!

    ReplyDelete
  5. හොඳ සිංදුවක්! අදහස පැහැදිලියි... හොඳයි...

    ReplyDelete
  6. පට්ටම සිංදුව .....
    අනිත් දේවල් ගැන මොනා කියන්නද මන්දා ........

    ReplyDelete
  7. හරිම සංවේදී සිංදුවක්.

    ReplyDelete
  8. සිරාම කතාව... බස් එකේදි අහන්න බැරි උන හින්දා ඔන්න මෙතනින් අහගන්න පුලුවන්...

    ReplyDelete
  9. ලස්සන සිංදුව...සිංදුවේ අදහසට එකඟයි...:)

    ReplyDelete
  10. එලාර දෙමල නොවෙයි චෝල කිව්වෙ කවුද? චෝලයින් කතා කලේ මොන භාෂාව ද?

    හරි උත්තරේ දෙන කෙනා හපනා... :-)

    ReplyDelete
  11. පොඩි එවුන් ලොකු වෙද්දිනෙ මේ හැඟීම් වෙනස් වෙන්නෙ.

    ReplyDelete
  12. සින්දුව නම් නියමයි. ඒත් කාකා අපි පොඩි කාලෙ ඉඳන් අහලා තියෙන්නේ දුටු ගැමුණු කියන්නෙ එළාරව මරා දාලා අපේ රට බේර ගත්තා කියලනෙ. හිතට ගිහින් තියෙන්නේ ඒ විදියට...දුටු ගැමුණුලා අදත් ඉන්නවා. ඒත් දැන් ඉන්න දුටු ගැමුණුලයි එදා උන්න දුටු ගැමුණුයි අතර මොනතරම් වෙනස් කම් තියෙනවද ?



    මේ සින්දුව අහද්දි අපෙ හිතට දැනෙන්නේ වෙනමම දෙයක්.. නියමයි... පොඩි එකාගෙ සිතිවිලි ඉස්සරහටත් වෙනස් නොවී තිබ්බොත්........

    ReplyDelete
  13. 7 පංතියෙ ළමයෙක් ඇවිත් නඩුවක් කියනවා,,
    " ටීච මට අරයා දෙමළි කිව්වා"
    "ඔයා එයාට සිංහලී කියන්න" මට කියවුනා

    ReplyDelete
  14. එළාර, දුටු ගැමුණු යුද්දෙ ගැන කතා ඇහෙද්දි, දැන් නං ඔලුවට එන්නෙම අර සන්ෆ්ලවර්ලගේ සින්දුව!

    ReplyDelete
  15. කතා බස් එකේදී මේ සිංදුව ඇහුවා.

    බොක්කටම වැදුනා.

    අර විසිතුරු කියපු යුද්දෙදි මනුස්සයින් මැරෙන එක වලක්වන්න ද්වන්දව සටනකට ආරාධනා කලේ එළාර රජතුමා කියලා මේ ලඟකදී කොහේදෝ ලිපියක කියෙව්වා.

    කවුරු කලා උනත් දෙන්නම මනුස්සකම් වලින් පිරිනු නායකයෝ දෙන්නෙක් බව පැහැදිලියි.

    මේ සිංදුවේ කියෙවෙන විදිහට එළාරයි දුටු ගැමුනුයි කවදාවත් වර්ථමානයේ නම් යාලු කරන්න බැරි වෙයි මොකද ඒ දෙන්නට යාලු වෙන්න ඕන වුනත් වටේ ඉන්න අය ඒකට අකමැති නිසා . ..

    ReplyDelete
  16. දැන් ඉන්න ගැමුණුලා දැක්කාමනං වමනෙ යන්න එනවා

    ReplyDelete
  17. ප/ලි - කොටසට මමත් බොක්කෙන්ම එකඟයි . මෙතන දකින්න තියෙන්නෙ ශ්‍රි ලාංකිකයින්ගේ හදවත් වල ඉන්න වීරෙයෙක්ගේ ප්‍රතිරූපය වර්ථාමාන නායක්තවයට ආරෝපණය කරන හෙන්චයියන් ගොන් ආතල් තමයි . දැක්කනෙ පහුගිය දවසක දුටු ගැමුණුවත් පහු කරගෙන බුදු හාමුදුරුවො ගාවට යන කන් ඇදෙගන ගියා . වීර ප්‍රතිරූපෙකට තමන්ව උපමා කරනවට කව්ද අකමැති , ඉතින් එතුමාත් මල් හිනාව දාගෙන බලාන ඉන්නව . අන්තිමේදි වෙන්නෙ දුටු ගැමුණු රජ්ජුරුවොත් දෙමලුන් මැරු දේශප්‍රේමීයෙක් ගණයට දාගෙන දුටු ගැමුණුත් අපේ පැත්තේ නොහොත් අපිත් දුටු ගැමුණුගේ පැත්තේ කියන සිඟිති ආතල් එක ගන්න එක

    ReplyDelete
  18. "එලාර දෙමල නොවෙයි චෝල කිව්වෙ කවුද? චෝලයින් කතා කලේ මොන භාෂාව ද?"

    මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ ද එළාර රජ වර්තමානයේ කියෑවෙන "දෙමළ" ජාතිකයකු නොවන බවයි. රාජවංශ පුස්‌තකය ඇසුරින් ඒ පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ මහාචාර්ය පරණවිතාන මහතා ඉදිරිපත් කරයි. එය කෙටියෙන් මෙසේය. දෙවන පෑතිස්‌ස රජුගෙන් පසුව රජ වන්නේ උත්තිය රජුය. උත්තියගේ පුත්‍රයා වන මහාසිව නෙරපා "මහාරිෂ්ඨ තම්බපන්නිය අල්ලාගත් බව රාජවංශ පුස්‌තකයේ සඳහන් වන්නේ යෑයි පරණවිතාන මහතා ප්‍රකාශ කරයි. මෙම මහාරිෂ්ඨ බිංදුසාර රජු (අසෝක රජුගේ පියා) සිංහලට විරුද්ධව කටයුතු කළ සාස්‌ත්‍රද්‍රමිඩගේ පුත්‍රයෙක්‌ ලෙස රාජවංශ පුස්‌තකයේ සඳහන්ව ඇත.

    http://www.divaina.com/2009/11/04/feature03.html

    ReplyDelete
  19. ගීතය රසවින්දා.. අර්ථය හරි ඉහලයි.....

    ReplyDelete
  20. මගේ කොමෙන්ටුව පොලිටිකල් ඇනිමල් කෙනෙක්ගේ වගේ ය කියලා දවසක් ක.ශූ. කියපු නිසා කොමෙන්ට් කරන්න පොඩි බයකුත් තියෙනවා. ඒ වුනාට, සින්දුව ගැන නෙවෙයි එළාර දුටුගැමුණු යුද්ධය ගැන කියන්නයි කල්පනා‍ කළේ. එළාර චෝල නෙමෙයි දෙමළ කතා කරපු කෙනෙක් නිසා කියල වගේ අදහසකුත් ඇනෝ කෙනෙක් කියල තිබුනනේ. අපි ඉගෙනගත්ත ඉතිහාස පොත්වල කියල තියෙන්නේ සොලී ආක්‍රමණයක් ගැන. අනිත් එක එළාර කියන නම ගත්තත් ඒක පිරිබාකරන්, කරුණා අම්මාන්, මුත්තු සිවලිංගම්, කරුණානිදි, ජයලලිතා වගේ නම් එක්කලා ගැලපෙන නමක් නෙමෙයි. හැබැයි, රාවණ, එළාර වගේ නම් එකට ගැලපෙනවා. (මේ කතාවට මට කවුරුහරි වෙඩි තියයිද දන්නෙ නෑ)
    එළාර දෙමළ ද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. රජවරු යුද්ධ කරලා විවිධ ජයග්‍රහණයන් කළා. හමුදාව රජ්ජුරුවන්ගෙ. රටවැසියාත් රජ්ජුරුවන්ගෙ. රජකම තියාගන්නනං ආගම ‍බේරගන්න ඕනැ. ඔහොම ප්‍රශ්න ගණනාවක් එනවනෙ.
    වීසා ඔන් ඇරයිවල් කිවුවහම මතක් වුනේ විජය කුමාර‍යාගෙ කතාව කෙසේ වෙතත්, සංඝමිත්තාවන් ජය සිරි මහා බෝධි ශාඛාව වඩම්මන වෙලාවෙ ඉන්දියාවෙ කර්මාන්ත කුල දහ අටක් ආවලු ලංකාවට. මේ මිනිස්සු ජොබ් එක කරල ආපහු ගියා කියල දැන ගන්ඩ නෑ. අද කාලේ ජපානෙ ජොබ් එකට යන එවුනුත් එහෙ බින්න බහිනව වගේ අර සෙට් එක මෙහෙ නවතින්න ඇති.
    දැනටත්, කච්චතිවු දූපතට දෙපැත්තෙන්ම මිනිස්සු එනව. ආපහු යනකොට කොයි පැත්තට යනවද කියල හොයල බලනවද දන්නෙ නෑ.
    මට තේ‍රෙන එක දෙයක් තියෙනවා. අවසානයේදී ජාතිය, ආගම, පවුල මේ සියල්ලම බිස්නස් වලට යටයි.
    ට්රැේෆික් ඇනෝ

    ReplyDelete
  21. ඕක එදා බස් රේඩියෝ එකේ යනකොටම වගේ තමා මං රේඩියෝ එකටයි බස් එකටයි සෙට් උනේ.. මංනං අහපු ගමන් කොක්ක ඇද්දේ ඒක ලිව්ව කෙනාට..
    මොකද පොඩි උන් දම්මලා කියෙව්වට ඔය ගීතය ලියන්න ඇත්තේ පොඩි එකෙක් නෙවෙයිනේ...

    ගීතය හොඳයි කියලා මතුපිටින් බලලානං මටත් කිව්වහැකි. ඒත් ඒ යට තියෙන වෙනත් කතාවක් ඇති කියලා හිතෙන හින්දා එක පාරටම "අනේ හරි ෂෝයි.. මෙහෙම නේන්නං හිතන්න ඕන.. අන්න ළමා සංකල්පනා.." කියලා බොරුවට කියන්න මටනං බැහැ.

    සාමය.. සමානාත්මතාවය ඇති වෙන විදියට මිසක් ජාතීන් අතර ආරවුල් ඇතිවන අන්දමට ළමා සිත්වලට හිතන්න දෙන්න හොඳ නැහැ කියන පදනමේ ඉඳගෙන ලියන අය බොහෝ වෙලාවට අමතක කරන දේ තමා අපි එහෙම හිත හිත ඉන්න අතරේ අනිත් අය ඒකේ අනිත් පැත්ත ළමයින්ට උගන්වන බව...

    මෙයට අවුරුදු 7 කට විතර කලින් තමා මම මුළින්ම බංගලාදේශ් හාමුදුරු කෙනෙක් අඳුර ගත්තේ... ඊට පස්සේ මට හිටියා බංග්ලා දේශ් යාළුවෝ හැට හුට හමාරක්.. ඒ අය අද විඳින දුක වේදනාව..

    තමන්ගේ රටේ මහ ජාතිය හැටියට ඉඳලා පස්සේ තමන්ගේ රටේ සුළු ජාතිය වෙමින් පවතිනකොට ඒ අයට අද වෙලා තියෙන කරදර හිරිහැර.. අන්න ඒවා ටිකක් අහන්න හම්බ උනානං කවදාවත් ඔය වගේ සිංදුවක් ලියන්න කලින් දෙපාරක් හිතනවා ඕනම මනුස්සයෙක්...

    මේවා කියන්න ගියාම මං ජාතිවාදියා වෙන එක විතරයි වෙන්නේ..ඒත් තාමත් අර මොකක්ද මොඩ කමක් කියන එකක් මං ගාව ඉතිරි වෙලා තියෙනවනේ.. ඒක තියෙනකල් මට බැහැ මේ වගේ තැන් වලදී නොදැක්කා වගේ මාරු වෙන්න.

    ආ මං දැක්කේ පද රචකයත් දාලා තියෙන්නේ.. මට පේන හැටියටනං ළමයෙක් නෙවෙයි වගේ... නම විතරක් බලලා තීරණයකට ආවට සමා වෙන්න ඕන..ඒත් මං හිතන්නේ මේකත් වැඩිහිටියෙක් විසින් ළමා මනසට බලෙන් රිංගවන්න හදපු තවත් එක වැඩිහිටි අදහසක් විතරයි කියලා..එහෙම බැළුවොත් දුටු ගැමුණු වීරවරයෙක් කරලා ළමයින්ගේ ඔළුවට දාන එකෙයි.. සාමය කිය කියා රටේ ආරක්ෂාව වෙනුවෙන් දවසක නැඟී ඉන්න හැකියාවක් තියෙන ළමයින්ගේ ඔළු හෝදලා උන්ව නිවටයින් කරන එකෙයි දෙකේම සමානකමක් තියෙනවා නේද..?

    මට දරුවෝ නැති උනත්.. මං කැමතියි මේ රටේ ඒන තැනකට ගිහින් කාගේවත් අමුතු බැල්මකටවත් ලක් නොවී මගේ පාඩුවේ ජීවත් වෙන්න. මගේ කකුල් දෙකම තාම තියෙන්නේ ලංකාව ඇතුලේ.. එයින් එකක්වත් පිටරටක නැහැ.

    පිටරටවල් වල ඉන්න කතන්දර දුකාලා වගේ අයට හොඳටම අත්දැකීම් ඇති මොන දේ උනත් ඔයාලා ඔය ඉන්න රටේ ප්‍රධාන ජාතිය නොවීම මත එකම එක අවස්ථාවක හෝ අපහසුතාවයන්ට ලක්වෙලා ඇතිය කියන කාරණාව සම්බන්ධව...

    ඒත් ඔයාලා ඒක ඉවසනවා ඇති මේක අපේ රට නෙවෙයි කියලා දන්න හින්දා... ඒත් තමන්ගේ රටේම ඒක උන දවසට ඔය සින්දු ලිව්ව උන්ව තම්බන් කන්න නොහිතුනොත් තමා පුදුමේ...

    සමා වෙන්න ඕන මං මේ සින්දුව පිළිබඳ කතාව වෙන පැත්තකට ගෙනිච්චනං.ඒත් අවංකවම මම මේ සින්දුවට ‍කැමති නැත. ඒක කියන්නයි මට ඕන උනේ...

    ReplyDelete
  22. මමත් මේ සින්දුව මුලින්ම ඇහුවෙ බස් එකේදි තමයි. කාගෙ කොහෙන් කපල බැලුවත් වැගිරෙන්නෙ රතු පාට ලේ..ඒත්...

    ReplyDelete
  23. @මාරයා - "ඒත් තාමත් අර මොකක්ද මොඩ කමක් කියන එකක් මං ගාව ඉතිරි වෙලා තියෙනවනේ" ... ඒ මෝඩ කම නම් පේනව කමෙන්ටුව දැක්කාම .

    " සාමය කිය කියා රටේ ආරක්ෂාව වෙනුවෙන් දවසක නැඟී ඉන්න හැකියාවක් තියෙන ළමයින්ගේ ඔළු හෝදලා උන්ව නිවටයින් කරන එකෙයි දෙකේම සමානකමක් තියෙනවා නේද "

    රටේ ආරක්ෂාව සලස්ස ගන්නේ පිටරටවල උන්ගෙන් ද ? තමන්ගෙම රටේ ඉන්න තවත් ජාතියකගෙන්ද ? .. තමන්ගේම රටේ ජාතියකට එරෙහිව නැඟී සිටිනවාය කියන්නේ රටට ආදරේ කමක් නෙවෙයි ජාතිවාදයක් . පර දෙමලා එලවාපියව් කියල සිංහලයින්ගේ ඔලුවට දාපු උනුත් සිංහලයා මරා පියව් කියල දෙමලුන්ගේ ඔලුවට දාපු උනුත් තමයි අපිව අවුරුදු 30 ක් ආපස්සට ගිය එකට වග කියන්න ඕනි . ඊට විරුද්ධ නැගෙන අහිංසක සිතුවිල්ලක්(ළමා හෝ වැඩිහිටි ) අගය කරන්නවත් හැකියාවක් නැ කියන්නේ ඔබතුමා තවමත් අර ජාතිවාදී මත කරපින්නාගෙන ඉන්න කෙනෙක්ය කියන එක . කොටින්ම එක රටේ මිනිස්සුන්ව කොටවන තැනට කටයුතු කරන තවත් එක අන්තවාදියෙක් කියන එක

    ReplyDelete
  24. තාම සින්දුව ඇහුවෙ නැහැ, අහලම කොමෙන්ට් එකක් දාන්නං, කොමෙන්ට් නං ඔක්කොම කියෙව්ව.

    ReplyDelete
  25. දකුණු ඉන්දියාවේ(තමිල්නාඩුවේ)අද කෝටි 8ක පමණ දෙමළ ජනගහණයක් වාස කරති.එනම් ආසන්න වශයෙන් ලංකාවේ සිංහලයන් මෙන් 6ගුණයක් පමණ.දුටුගැමුණු එරාළ සමයේ ද මේ ජන අනුපාතය පැවතීමට හොදටම ඉඩ තිබේ.එමෙන්ම දකුණු ඉන්දියාවේ සිට පහසුවෙන් ගමන් කළ හැකි (පාගමනින් බැරිම නම් නාවික යාත්‍රා වලින්) තැනක අප රට පිහිටා ද තිබිණි.එසේ නම් සාපේක්ෂව අඩු ජණගහණයකින් යුත් අප රට ද්‍රවිඩ රටක් නොවී සිංහලයා තම අන්‍යතාව රැකගත්තේ කෙසේද?එසේ වීමට ඇත්තේ එකම හේතුවකි.ඒ මෙරට සිටි පාලකයා ජනතාව සමග එක්ව දකුණු ඉන්දීය ආක්‍රමණිකයාට (ද්‍රවිඩ ද චෝල ද ගැටලුවක් නොවේ) එරෙහිව සටන් කොට ඔහු පරදවා පලවා හල බැවිණි.විටෙක ඒ රජු දුටුගැමුණුය.විටෙක වළගම්බාය.විටෙක ධාතුසේනය.තවත් විටෙක 2වන පැරකුම්බාහුය.නැතහොත් 6වන පැරකුම්බාහුය.
    වබැවින් කතන්දර ඇතුලු සියලු දෙනාගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ ජාතියක් ලෙස අපගේ අභිමානය,අනන්‍යතතාව මෙන්ම පැවැත්ම ද රැක දුන් වීරයන්ට අවමන් නොකරන ලෙසයි.ලෝකයේ සියලුම ශ්‍රේෂ්ඨ ජාතීන් තම අතීත විරුවන් අභිමානයෙන් සිහි කරද්දී අප අපේ විරුවන් හෙලා දකින්නේ කවර නම් අවාසනාවකටද?
    මාරයා සහෝදරයාට මාගේ ප්‍රණාමය!

    ReplyDelete
  26. සමාවන්න 2වෙනි නොව 1වෙනි පරාක්‍රමබාහු ය.පළමු වෙනි විජයබාහු රජතුමා ද මීට එක්විය යුතුය

    ReplyDelete
  27. @ජයශ්‍රී - මාරයාට දක්වන ප්‍රනාමයෙන් තේරෙන්නෙ ඔබගේ ජාතිවාදයේ ප්‍රමාණයයි , මෙහි දුටු ගැමුණුට කර ඇති අපහාසයක්ල් නැත . දුටු ගැමුණුට අපහාස කරන්නෙ , ඔහු හා නූතන ජාති වාදීන් සමන කර දුටුගැමුණු රජු ජාති වාදියෙකු කරනා අයයි . අතීතය කබල් ගසමින් රජවරුන්ග් ගැන සිහින මවනා සියල්ලෝම වටහා ගත යුතු සත්‍යක් ඇත , එනම් කාලය වෙනස් වී ඇති බවයි , එපමණක් නොවේ ඔබලා කර තබාගෙන කැගසනා සිංහල ජාතියේත් , දෙමලාගෙත් සුද්දාගේත් ආර්ම්භය අප්‍රිකාවේදී ගසෙන් බිමට බැස ගත් වානරයා බවත් . එතැන් සිට ලෝකය පුරා ව්‍යාප්තවූහැම ජාතියක්ම විවිධ යුග වලදී හැලහැප්පීම් , මිශ්‍ර වීම වලට ලක් වී ඇති බවත් . එනිසා වඩා උතුම් වන්නේ මනුශ්‍යත්වය මිස කුල ගෝත්‍ර නොවන බවත් තේරුම් ගත යුතුය . මාරයාගේ ගොන් පාට් නම් තේරුම් ගත හැක ජයශ්‍රි ගේ ප්‍රතිචාරය නම් තේරුම් ගත නොහැක

    ReplyDelete
  28. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    එල්ලාරන්-දුටුගැමුණු කේස් එක ගැන මගේ අදහස් මං උඩින් ඇති ප/ලි යේත්, වීසා ඔන් ඇරයිවල් නමැති කතන්දරයේත් කියා ඇති නිසා නැවත කිව යුතු නෑ.

    නමුත්, එදා හිටි ජනකොටස් අද ඒ ලෙසින් ඉන්නවායැයි සිතීම නම් විහිළුවක්. මේ ගීතයේ ළාමක (චයිල්ඩිෂ්) ගතිය එයයි.

    එදා මියගිය එළාරට දුටුගැමුණු සැලකූ දෙය අපි මතක තියාගෙන එය පසු කාලයේ ක්‍රියාත්මක කළා නම්, එදා ජේ.ආර්. සැන් ෆැන්සිස්කෝ සමළුවේදී නහී වේරේන වේරානී කියා කීවාට සමාන හෝ ඊට වඩා හොඳ තත්වයක් ලංකාවට උදාවෙන්න තිබුණා කියන එකයි මගේ අදහස.

    ස්තුතියි.

    ReplyDelete
  29. කිසිවක් නොකියා මාරු වෙමි.ජාති වාදය කතා කීරීම මඳකට නවතා ඇත.
    ලිපිය කියවූ බවට මේ කමෙන්ට් එක දැම්මේ....

    ReplyDelete
  30. මාරයා සමග සම්පූර්නයෙන්ම එකග වෙමි.. :)

    ReplyDelete
  31. මම පිලිගන්න දෙයක් තමයි එළාර කියන්නේ දෙමළෙක් නෙමෙයි කියන එක. ඒක ඔප්පු කරලා තියේනවා මෙන්න මෙතන, "එළාර දෙමළෙක්ද.....?"

    ReplyDelete
  32. කෙටිම කෙටියෙන් ලියු කරුනු ගොඩක්.

    - ගීතය හොඳයි. 100% සමබර හෝ මුහුකුරා ගිය අදහසක් නම් නොවේ. එහෙත් කතා කල යුතු කතාවක්.

    - කියවන පුරාවටම මට සන්ෆලවර් ලා ගේ "එළාර දුටු ගැමුණු ... කාට්ටියක් කෙරුවලු ඉස්සර කාලේ" සින්දුව [ගැන මගේ ඇති චිත්ත රූපය] මැවී මැවී පෙනෙන්නට විය. අනේ මේ සින්දුවට වඩා ඒ සින්දුවේ අරුත බොහෝ විශාලයි. බොහෝ දෙනෙක් කෂඩ පන්තියට දාන නමුත්, මහා ප්‍රාඥයින්ටත් බැරිවූ මහා කතාවක් පුංචි සිංදුවකට කැටිකල [ඒ සින්දුව හැරෙන්නට තේරුමක් ඇති දෙයක් නොකළ නමුත්] සන් ෆ්ලවර් ලාට මගේ අත්පොලසන්... හයියෙන්.

    - එළාර කාලේ දෙමල කියන ජාතිය තිබ්බද? ද්‍රාවිඩ ජාති අතර එහෙම වෙන වීමක් තිබ්බා ද කියා නොදනිමි. එහෙත් ඔහු ආක්‍රමණිකයෙකු යයි කියන්නේ මේ රටේ පුරවැසියෙක් නොවූ නිසාය. කතන්දර කියන හැටියට වීසා ඔන් ඇරයිවල් ම නොවේ. අපොන් කින්ස් අප්රූවල් ය.

    - දුටු ගැමුණු අතින් සිවිල් ජීවිත විනාස නොවුණු බවක් පිළිගත නොහැක. අනුරපුරයට එන්න කලින් ඔවුන් අතර මග දිගට සටන් අවිලුනි. අප ඔය කාලය ගැන දන්නා තරමින් සතුරු සෙබළුන් මෙන්ම සතුරු පාලකයාගේ යටත් වැසියන්ද මරා දැමීම ඔය කාලයේ සිදු වුවකි. අනික සිවිල් හා හමුදා අතර අද වැනි පැහැදිලි වෙන වීමක් තිබී නැත. සෙබලා සිවිලා වෙන්නටත් සිවිලා සෙබලා වෙන්නටත් ගත වන්නේ සුළු මොහොතකි.

    - දුටුගැමුණු පැහැදිලි ආගම් වාදියෙකි. ඒ කාලේ උන් ඔක්කොම රජුන් එසේය.

    - එහෙත් මේ කාරනා මත දුටු ගැමුණු මනින එක හරි විකාරයකි. අද අපෙ වත්කමින් ඇමරිකාවේ 1500 ගණන් වල ලංකාව විතර කෑල්ලක් සල්ලි වලට ගත හැක. එයින් මා කෝටිපතියෙකු වේද? දුටුගැමුණු මැනිය යුත්තේ ඔහුගේ කාලයේ පවතී යුක්ති සාධාරණ ධර්මතා මතය. බොහෝ දෙනෙකුගේ වැඳුම් ද ටික දෙනෙකුගේ අන්ත අපහාසද ලබන ධර්මපාල තුමා ට ද මෙම තර්කය යෙදිය යුතු වේ. කොටින්ම එය අතීතයේ හුන් කාටත් පොදු කතාවකි.

    - ලංකාව තුල එදා හුන් දෙමල/ද්‍රාවිඩ ප්‍රජාව ක්‍රමයෙන් සිංහලයන් තුල අනුගත වී ගොස් ඇති බව මගේ මතයයි. එනම් එළාර හා දුටු ගැමුණු දෙන්නාම සිංහලයන්ගේ මුතුන් මිත්තන් බවයි. අද දෙමල කියා ගන්නේ වසර 993 ට පසුව [මහාවංශ දින බැවින් ස්ථිර නැත] ආ ජන කොටසකි. 1215 දි ආ මාඝ ගේ [දෙමලෙකු නොවේ] දැවැන්ත ආක්‍රමණය නිසාවෙන් රජරට ජන ශුන්‍ය වූ නිසා යාපන අර්ධ ද්වීපයේ මේ මිනිසුන් දකුණින් වෙන්ව සිටි බැවින් මිශ්‍ර වීමක් සිදු නොවුනි. එහෙත් 993 ට පෙර පටන් ලංකාවේ හුන් දෙමළුන් [හෝ එවන් වෙනත් ජාතින්] නම් දකුණට මිස උතුරට නොයන්නට ඇත [ඒ වෙනකොට ඒ අය සිංහල කතා කරන අය වෙන්නත් ඇති].

    - දකුණේ ඉන්න හලාගම කියා කියන කුලේ අය ඉන්දියාවෙන් වසර දහසකට පෙර ආ බමුණු කුල පිරිසකි. අදටත් මේ අය සිංහල කතා කරන්නේ හින්දි හුරුවකින් නිසා අදටත් බලපිටිය රත්ගම හරියේ කතා ස්වරය වෙනස් ය. "කුලේ ඇද්දේ නරක හිතින් නොවේ වාහේ... හරිය. ඔය එක එක කචල් අපේ නෑ හරිය [ගාලු දිස්ත්‍රික්කේ අපට නම් මේ වචන ඒ තාලෙන් කිව හැක - මගේ බොහොමයක් පාසල් මිතුරන් මෙන්ම මාත් ඒ කාලේ එහෙම කතා කලෙමි]

    - නුවර රජතුම ගන්වර දී පදිංචි කල දකුණු ඉන්දියානු "සිංහලයින්" අදත් අප අතර සිටිති. මේ අයගෙන් පැවතෙන මගේ මිතුරෙක් පරණ රජ ලියවිලි අනුව ගොස් ඔවුන් මේ රටේ ඉන්නා කී වෙනි පරපුරද කියා හොයා ගෙන ඇත. මේ ගොල්ලන් අප මෙන්ම සිංහල වේ. අන්තර්ජාලයේ ඉන්නා අප දන්නා ප්‍රසිද්ධ එක පුද්ගලයෙකුගේ වාසගම මේ පරපුරක එකකි.

    - මෙසේ පහුගිය දහස් වසේ ද දකුණු/උතුරු ඉන්දියානුවෝ ඇති පදම් දකුණට විත් අපේ ජාන පෝෂණය කළහ. අපේ ජාන තුල ඉන්න විජය හෝ රාවණාට වඩා ඒ තුල ඉන්න දෙමළා/වත්මන් ඉන්දියානුවා විශාලයි.

    - එළාර වැනි අය රාජ්‍ය කොල්ලකරුවන් මිස ආධිරාජ්‍යවාදින් නොවේ. එළාර රට ඇල්ලුවට ඔහු පාලනය කලේ තිබ්බ රටමයි. අපට පරන්ගින්ට පෙර එවැනි අධිරාජ්‍ය ප්‍රහාරයක් ආවේ 993 දී පමණි.

    - ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් වී අප ද්රාවිද බස කතා කරන හින්දුන් නොවන්නේ තනිකරම විජයබාහු රජු නිසාවෙනි.


    ========= ඉතිහාසය එතනින් ඉවරයි ===============

    ReplyDelete
  33. ================ මෙන්න වර්තමානය ගැන ===============


    - අද මේ රටේ මරා ගන්නේ ජාතික පදනමක් මත බිහිකළ ප්‍රාදේශීය වාදයකි. එනම් ප්‍රාදේශීය රාජ්‍යයක් ඉල්ලා ලංකාවේ එක පලාතක ජනයා ගැසූ කැරැල්ලකි. එකේ ඇති කෙහෙම්මල් එළාර දුටු ගැමුණු සම්බන්ධයක් නැත.

    - මහින්දගේ ගමන බුදු දහමේ චිරස්ථිතිය උදෙසා නොවේ. ඔහු සටන් කලේ වෙනම රටකට එරෙහිව නොවේ [එළාර යනු ඒ මොහොත වනවිට වෙනම රටක පාලකයෙකි]

    - අද පවතින තත්වය කැරලි හා ත්‍රස්ත ක්‍රියා මර්දනය කරන මේ සියවසේ ක්‍රමෝපායන්ට සංසන්දනය කිරීම මිස මේ අතීත කතා පට්ට ගහමින් අදට බන දෙසීමේ තාර්කික අරුතක් නැත. එහෙත් මේ වගේ බොළඳ ආතල් වලින් හෝ දෙපැත්තට බෙදුණු හිත නිවේ නම් එය යහපතකි.

    - හෙට ආවත් දකුණේ හෝ උතුරේ කැරැල්ලක් මඩිනු ඇත්තේ ඔයාකාරයෙන්ම පමණි. එය කතන්දරගේ දේශයටත්, අමරිකානුවන්ටත්, අනිකුත් කොයි රටටත් පොදු සත්‍යයකි. ත්‍රස්ත කල්ලියක නායකයා හා ද්වන්ධ සටනකින් ත්‍රස්ත ප්‍රශ්න විසඳූ ජනපතිවරුන් මේ ලෝකේ නැත. යුද්ධයෙන් තොර සාමය කියා හිතලුවක් පටලවා ගත් අයට මේවා පට්ට ආතල් ය, මේ දක්වා යුද්ධයෙන් තොර සාමයක් ලෝකෙට ගේන්න ට්‍රයි කල එකම මිනිහාත් [අඩු ගානේ එහෙම කිව්ව] කුරුසියක ඇන ගැසී මළේය.

    - 2009 ත්‍රස්ත මර්ධනය ගැන විවේචන ඇත්නම් වටේ නොයා කෙලින් කියන්න. අපි එදා කල දෙයට වඩා හොඳ විදිහක් තිබ්බද අපට කරන්න කියලත් ඒ ගමන් කියන්න. නිකම් කරපු වැඩේ වැරදි හොයන් නැතුව හරි ක්‍රමයත් කියා දුන්නා නම් මේ කතාවේ තේරුමක් තිබේ.

    - නැතිනම් මෙව්වා අයිති වනුයේ කොටි සිත් වල මෙත්මල් පුදින්න හමුදා ආරක්ෂාව ලද මහනුවර සත්‍ය ක්‍රියා කල ඒ ටී ආරියරත්න සුපෙශීල ගරු මැතිඳුන් ගේ ක්‍රියා ගණයටයි.

    ReplyDelete
  34. @බුවා, "සිංහල ජාතියේත් , දෙමලාගෙත් සුද්දාගේත් ආර්ම්භය අප්‍රිකාවේදී ගසෙන් බිමට බැස ගත් වානරයා බවත් . එතැන් සිට ලෝකය පුරා ව්‍යාප්තවූහැම ජාතියක්ම විවිධ යුග වලදී හැලහැප්පීම් , මිශ්‍ර වීම වලට ලක් වී ඇති බවත් . එනිසා වඩා උතුම් වන්නේ මනුශ්‍යත්වය මිස කුල ගෝත්‍ර නොවන බවත් තේරුම් ගත යුතුය"

    ඇත්ත මිත්‍රයා.නමුත් ඒ සත්‍ය තේරුම්ගත යුත්තේ අප පමණක් නොව.එදා අසේළ රජු මරා අනුරපුර රජවූ එළාර ද,අනුරපුර බොදු උරුමය විනාශ කළ කාළිංග මාඝලා ද , අතකින් තුවක්කුව ද අතකින් බයිබලය ද ගෙන මෙරටට පැමිණි පරංගියා ද,මාර්ෂල් ලෝ දමා වෙල්ලස්‍ස ගිණි තැබූ ඉංගිරිසියා ද ඒ සත්‍යය තේරුම් ගත යුතුව තිවුණේ ඒඒ ක්‍රියාවන් කිරීමට පෙරය.අප පමණක් ඔබ කී සත්‍යය තේරුම් ගෙන (ඕනි දෙයක් කරගනිල්ලා යයි) නිහඬව සිටීමට නිවට කම හැර වෙනත් වදනයක් තිබේ දැයි නොදනිමි.

    මතක තබා ගන්න ඉතිහාසය පුරා සිංහලයා සටන් වැදී ඇත්තේ ඉඳුරාම තම දේශය,තම උරුමය රැක ගැනීම සඳහා ම පමණි.අනෙක් දේශයකට කඩා වැද එය අත්පත් කරගැනීම සඳහා කිසිදු විටෙක සටන් වැදී නැත.

    ReplyDelete
  35. @මාරයා!
    "පිටරටවල් වල ඉන්න කතන්දර දුකාලා වගේ අයට හොඳටම අත්දැකීම් ඇති මොන දේ උනත් ඔයාලා ඔය ඉන්න රටේ ප්‍රධාන ජාතිය නොවීම මත එකම එක අවස්ථාවක හෝ අපහසුතාවයන්ට ලක්වෙලා ඇතිය කියන කාරණාව සම්බන්ධව..."

    මාරයා දාගෙන ඉන්න පාට කන්නාඩිය හින්දා ඇත්ත ඇති සැටියෙන් පෙන්නේ නැතුව වෙන්ටැ.

    පිට රටකදී දෙවෙනි පුරවැසියෙක් ලෙස අපහසුතාවයට ලක් වුනා කියලා හිතෙන්නේ ලංකාවේ ඉන්න මාරයානේ. ඒක එහෙම උනත් කමක් නෑ කියමුකෝ. ඒත් ලංකාවේදී ප්‍රධාන පුරවැසියෝ උනු අපිම තුට්ටු දෙකේ දේශපාලකයොයි නිලධාරීනුයි නිසා අපහසුතාවයට ලක් උනාම දැනෙන සනීපේ කොහොමද?

    වැඩිය ඕන නෑ උඹම ලයිසම ගන්න ගිහින් කාපු කට්ට?
    ඇමතියෙක්ම නෙමෙයි නිකන් ප්‍රාදේසීය සභා හාල් කෑල්ලක් උඹට පාර්ට් එකක් දැම්මා කියපන් උඹ රටේ ප්‍රධාන පුරවැසියෙක් කියලා යන්නද ඌට විරුද්ධව පැමිනිලි කරන්න.

    පාට පක්ෂ පැත්තක දාලා අපි හැමෝම පෙල ගැහෙන්න ඕන මේ සිස්ටම් එක වෙනස් කරන්න.

    අසාධාරණය සාධාරණීය කරන්න කෑ ගහන පක්ෂයක් බදාගෙන ඉන්න උඹල වගේ මෝඩ මීහරක් ඉන්න රටක හරි හමන් සිස්ටම් එකක් හදන්න පුලුවන් වෙයිද?

    මේ ඊය පෙරේදා සිදුවීමක් මේ - මම ගිය ඉස්කෝලේ ඒ කාලේ දීප්තිමත් සුසුවෙක් මේ අයියා. මෙයා පැමිනි කලා නාමල් රාජපක්ෂට ඉන්ටර්නෙට් ඇතුලු විශේශ පහසුකම් සහිත තනි කාමරයක් ලබා දුන්නා කියලා නීති විද්‍යාල විභාගේදී. මේ ලින්ක් එක කියවලා බලන්න මොකද වෙන්නේ කියලා.

    ප්‍රධාන පුරවැසියෙක් කියලා මොනවද ලැබෙන්නේ ලංකාවේ ජරා සිස්ටම් එක නිසා??

    සාධාරණය වෙනුවෙන් කතා නොකලට කමක් නෑ . . අසාධාරණය සාධාරණීය කරන්න හදන්න එපා . .. උඹට ළමයින් නැති උනාට ළමයින් ඉන්න දෙමාපියෝ වෙනුව්න් වත් අනාගත ළමයින්ට නිදහසේ ජීවත් වෙන්න රටක් නැති කිරීමේ කාරියට හවුල් නොවී ඉඳපන් දයාබර මාරයෝ . . .. !

    ReplyDelete
  36. @දුකා - ඔබගේ කමෙන්ටුවට මාගේ ආචාරය

    @ජයශ්‍රි - ඉතිහාස කථාව ගැන මම ඔබට දෙන්න තියන උත්තරේ (ඊටත් වඩා හොඳට ) සුජීව සහෝදරය දීල තියනවා .රාජ්‍ය පාලන ක්‍රමයක් තිබුන ඉතිහාසයි වර්ථමානයයි පටලවා ගන්න එක තමයි ලොකුම වැරැද්ද

    ReplyDelete
  37. @සුජීව - ඔබගේ ඉතිහාස කථාවට එකඟයි , 2009දි සම්පූර්ණ ප්‍රශ්නය ඉවර උනා කියල නම් මම හිතන්නේ නැ , මූලික ප්‍රශනයෙන් හට ගත්ත ත්‍රස්තවාදය කියන අතුරු පලය ඉවත් කලත් දෙමලා සිංහලයා දෙසත් සිංහලයා දෙමලා දෙසත් බලන විරෝධාකල්ප වල වෙනසක් වෙලා නම් නැ . ඒ සම්බන්ධ යහපත් ප්‍රවනතාවක් වත් නැ . රජයට සම්බන්ධ ජාතීවාදීන් නිසා රජය එක පැත්තකින් පස්ස ගහත්දි දෙමල සංධානය තමන්ගේ දේශපාලන වාසි වෙනුවෙන් වෛරය වපුරනව ඉතින් ප්‍රශ්න ඉවර වෙයිද ?

    මගේ පුද්ගලික අදහසට අනුව නම් යුද්ධය එකම හෝ හොඳම ක්‍රමය නෙවෙයි (අනික් ජනාධිපතිවරුන් වගේ භාගෙට නොකර ඉවරයක් කිරීම ගැන මහින්දට මගේ ගෞරවය පුද කලත්) .විසි වෙනි සියවසේ බලය පාවිච්චියෙන් විතරක් ජය ලැබුවට මේ සියවසේ ක්‍රමය නම් "ඔලුවෙන් ගැහීම " කියලයි මම සලකන්නේ . නුදුරු අනාගතයේදි නැතත් මේ සියවස අග භාගය වෙන කොටවත් සමස්ථ ලෝකයම ඒ තත්වයට පත්වෙයි කියලයි මම නම් හිතන්නේ . අඩු පාඩු කම් රාශියක් මැද වුනත් සටන් විරාමය කියන්නේ ඒ බුද්ධිමය ප්‍රවේශය කියලයි මම අදටත් දකින්නේ ,ඒක වසර දෙකකින් කඩා කප්පල් නොකලා නම් නියම ප්‍රතිඵල දකින්න තිබුනාය කියලත් මම විශ්වාස කරනව . (මේ මගේ පුද්ගලික අදහස හරි හෝ වැරදි දැන් වලංගු තාවයක් නැති දෙයක් නිසා මම මේ ගැන සංවාදයකට සුදානම් නැ , සහෝදරය විකල්ප ක්‍රියා මාර්ගයක් ගැන විමසලා තිබුන නිසා තමයි අදහසක් විදිහට සටහන් කලේ )

    ReplyDelete
  38. @buwa,කණගාටුයි මගේ පැනයට පිළිතුර එතැන නැත.

    කෙසේ වුව ද මේ කතාබහ ‍මෙතැනින් දැනට නවත්වමු.මොකද දන් මේක outdated.කතන්දර මේ topic එක අවසන් කර ගොඩක් වෙලා.පාඨකයොත් එහෙමයි.

    ReplyDelete
  39. සංවාදය දිගටම පවත්වාගෙ ගිය සුජීව, බූවා, දුකා සහ ජය ශ්‍රීට මගේ ස්තුතිය.

    සුජීව ගේ කතා බොහොමයකට මටද එකඟ විය හැක.

    ඒ කෙසේ වෙතත් මට දුකාට කියන්න ඇත්තේ දැන් අපේ වයස අනුව අපේ තියෙන හණමිටි අයින් කරගන්නට ඉඩකඩ ඉතා අඩු බවයි.

    මකලම හදන්න වෙනවා!

    ReplyDelete
  40. දැස් වසා ගත් විට පිලිතුරු නොපෙනේ .. ඕනි .. එකක් මාත් ගියා එහෙනම් . කතන්දරට ස්තුතියි පුංචි සංවාදයකට ඉඩ විවර කලාට

    ReplyDelete
  41. මේ කතාව ඉවරදෝ මන්දා. ඒත් බුවා ට උත්තරයක් දෙන්න ඕනේ.

    2001 සිට 2005 දක්වා සාම ගිවිසුම් යුගය බොහොම ලඟින් ම මොනිටර් කළා මාත්. මා නම් දුටුවේ ඊළඟ සටනට ලක ලැහැත්ති වෙන කොටියන් සහ හෙන හත ගහනකං උඩ බලාගෙන ලිබරල් තියරි වළඳන ශ්‍රී ලාංකීය දේශපාලකයින් [ජී එල් පීරිස් මෙහි උඩම තබමි]

    මහින්ද නාවත් මෙහි සාර්ථක අවසානයක් විය නොහැක. මේ රනිල් සාම යුගය 2005 නොව 2003 වන විට ද අකර්මන්ය වී තිබුණි. ඒ චන්ද්‍රිකා කකුලෙන් ඇද නොවේ [2004]. ලංකාවේ සාමකතා තුල කොටි අවංකව ඉන්න නැති නිසාවෙනි. එයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ අවශ්‍ය කළමනා එකතු කර ගන්නට කොටියන් සමත් වීමයි.

    මේ යුගයේ අග කාලේ රනිල් ගේ කට්ටියත් කිව්වේ ඔහොම තව කලක හිටියොත් කොටින්ට යුද්ධ කරන්න අමතක වේවි වගේ බාල කතාය. ඔවුනට ද ඉන් ඔබ්බට යන ක්‍රියාකාරී සැලසුමක් නොවීය. මෙහෙම කෙළවර වූ හතර හෝ පස් වන සාම කතාවලියයි මේ.

    ඉතින් මට ඔබ කියන අනාවැකිය [දැන් පලක් නැති මුත්] නොපෙනේ. එය පරමාදර්ශී සිහිනයක් කියා හිතේ. මේ රටේ පොළොවේ නම් එවැනි බීජ පැලවී නොතිබුන බවයි මගේ මතය.

    ලංකාවේ සංහිඳියාවක් අවශ්‍ය බව ඇත්ත. ආණ්ඩුව යම වගකීමක් පහර හරිමින් ජාතිවාදීන්ගේ මෝඩ කම් වලට වේදිකාව සපයනවා. මෙය හොඳ දෙයක් නොවේ. මා මෙහිදී ඔබත් එක්ක එකඟයි. හැබැයි හදිසි නීතිය වගේ මේකත් එක පාරටම ඉවර වෙන බවයි මගේ අදහස. 100% හරි දේ නොකලට මේ ආණ්ඩුවේ ගාමක බලවේග යන දිහාව හොඳයි. [ගාමක බලවේග කිව්වේ ආණ්ඩුව ඇදගෙන යන චීන, ඉන්දීය, බටහිර හා දේශීය ලිබරල් හා ධනවාදී බලවේග මිස මහින්ද, බැසිල් වගේ අය නොවේ. ඒ ගොල්ලෝ කරන්නේ පඩ ශෝ එක දිවීමයි]

    එහෙත් ඉතිරි කාරනා බල්ලට දමා මෙන්න මේක නම් කිව යුතුයි. කිසියම් කාරණාවකට බලාත්කාරයෙන් ත්‍රස්ත ක්‍රියා කරමින් අහිංසක මිනිසුන් මරමින් එන පිරිසකට දිය හැකි පිළිතුර මෙය පමණි. එහෙම නැතිව එන්න අමාරු බව ඇත්ත. එහෙත් ප්‍රශ්නයට විසඳුම ආයුධයක ඇති බව හිතන ඇයට උත්තර ද ආයුධයෙන් දීමේ වරදක් මට නොපෙනේ. තම අවි බලයෙන් දිනන්නට ගිය සටනක් අන්‍යයෙක් අවි බලයෙන් පැරදුවා නම් කන්කෙඳිරි ගෑමෙන් පලක් නැහැ.

    මේ සත්‍ය ලංකාවට විතරක් නොව බුවා ගේ අඩවියේ වඩාත් යහපත් කියා පෙන්වන රටවලටත් පොදු සත්‍යයක්. කවුරුත් අවි අරන් එන ත්‍රස්තවාදෙට මුහුණ දෙන්නේ 2001 දී වගේ ගිවිසුම් ගහලා නොවේ. මෙතන ප්‍රශ්නය ඇත්තේ රෙද්ද බැනියම අඳින [බොරුවට] මිනිහෙක් ජාතිවාදය වපුරන [වාසියට] රැලක් සමග එක් වී මේ වැඩේ කිරීමයි. මහින්ද වෙනුවට බටහිරකරණය වූ ජේ ආර් හෝ රනිල්, විමල් ලා වෙනුවට උගත් ලිබරල් මත දරන ලලිත්ලා, මිලින්ද ලා එක්ක මේ යුද්ධයම කළා නම් එය හරි බව ඔබ පමණක් නොව යු එන්, ඇමරිකා, නොර්වේ ඇතුළු සෙට් එකම කියනු ඇත.

    ReplyDelete
  42. "මහින්ද වෙනුවට බටහිරකරණය වූ ජේ ආර් හෝ රනිල්, විමල් ලා වෙනුවට උගත් ලිබරල් මත දරන ලලිත්ලා, මිලින්ද ලා එක්ක මේ යුද්ධයම කළා නම් එය හරි බව ඔබ පමණක් නොව යු එන්, ඇමරිකා, නොර්වේ ඇතුළු සෙට් එකම කියනු ඇත."

    Ditto. Example Israel.

    ReplyDelete
  43. "ඒත් ලංකාවේදී ප්‍රධාන පුරවැසියෝ උනු අපිම තුට්ටු දෙකේ දේශපාලකයොයි නිලධාරීනුයි නිසා අපහසුතාවයට ලක් උනාම දැනෙන සනීපේ කොහොමද"

    දුකාගෙ ඉහත අදසට මමත් 100% එකඟයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.