Wednesday 31 March 2010

රත්නායක ජෝක්ස් - a new classification of jokes


අද කතන්දරේ ජෝක්ස් ගැනයි. හැබැයි මේක ජෝක් එකක් කියල නං හිතන්න එපා, හරිය?

දන්නව නේද අපේ සමහර කෂ්ටිය ඉන්නව ඒ ගොල්ලන්ට බොහොමයක් දේවල් වගේම ජෝක් එකක් වුනත් ටියුබ් ලයිට්!

ඔය ටියුබ් ලයිට් කතාව තේරුණේ නැති අයට පොඩ්ඩක් විතර විස්තර කරල දෙන්නංකො මුලින්ම.

ටියුබ් ලයිට් එකක් පත්තු වෙන්නෙ ස්විච් එක දාල ටික වෙලාවක් ගියාට පස්සෙනේ. ජෝක් එකක් ටියුබ් ලයිට් කියන්නෙ අහල ටික වෙලාවකට පස්සෙයි ඒක තේරෙන්නෙ කියන එකයි.

ඒ එක්කම හැබැයි මේකත් මතක තියාගන්න. බෙට(ර්) ලේට් දැන් නෙව(ර්) කියල කියනවනෙ. ඒ වගේ, පරක්කු වෙලා හරි ටියුබ් ලයිට් එක පත්තුවෙනව නම් ඒ මදෑ. ඒකටත් එක්ක, ස්ටාටරේ ගහල ගිහිල්ල නං, ස්විච් එක දැම්මත්, කරන්ට් තිබුනත්, සැමදා අඳුරෙ තමයි!

ඔය ජෝක් සාමාන්‍යයෙන් ටියුබ් ලයිට් වෙන කෂ්ටිය ඒ වගේ එක ජෝක් එකකට තුන් පාරක් හිනාවෙන බව දන්නව නේද? ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි.

  1. ඔන්න ජෝක් එක අහපු ගමං, අනිත් සේරම අය හිනාවෙන හින්ද හින්ද මුලින්ම හිනාවෙනව.

  2. ඊ ලඟට, ටියුබ් ලයිට් එක වැඩ කරල, ජෝක් එක ඇත්තටම තේරිලා, දෙවෙනි පාරට හිනා යනව.

  3. පස්සෙ ඔන්න හිතෙනව, මේ ජෝක් එකට මං මුල්ම සැරේ හිනාවුනේ ඇත්තටම ජෝක් එක තේරෙන්නෙ නැතුව නේද කියල. තුන්වෙනි පාර හිනාවෙන්නෙ ඒකටයි. ඒ කියන්නෙ තමන්ටමයි.

දැන් ඉතිං අපේ ප්‍රධාන කතන්දරේට බහිමුකෝ.

රත්නායක කියන්නෙ මගෙ හොඳ මිත්‍රයෙක්. අර, කීප් අ සයිඩ් ක්‍රමයට අන්තර්ජාලෙන් උයන්න ඉගෙන ගත්තෙ ඔන්න පොර තමයි.

මිනිහටම ආවේණික වුනේ නැතිවුනත්, ඔය රත්නායක ජෝක් කියල මං කියන්නෙ අපේ රත්නායක මහත්තය නිතරම කියන කරන ආකාරයේ විහිළු තහළු වලටයි.

විහිළු වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවනේ.

මුලින්ම, "සිරා ජෝක්ස්" සහ "මෝඩ ජොක්ස්".

"සිරා ජෝක්ස්" කියන්නෙ ජෝක් එක දාන එකා හිනාවෙන්නෙ නැතුව අනිත් අයට හිනා යනවනම් ලු. "මෝඩ ජෝකස්" කියන්නේ ජෝක් එක දාන එකා හිනාවුනත් අනිත් අයට හිනා යන්නෙ නැති ජෝක් වලටයි.

ඊලඟ වර්ගීකරණය තමයි "ක්ලැසික් ජෝක්ස්" සහ "පඩ ජෝක්ස්".

"ක්ලැසික් ජෝක්ස්" කී පාරක් අහල තිබුණත් අහන අහන සැරේට හිනා යනව. "පඩ ජෝක්ස්" කියන්නෙ හිනා වෙනව තියා එක පාරක්වත් අහගෙන ඉන්න බැරි ඒවට.

අනිත් වර්ගීකරණය තමයි "රත්නායක ජෝක්ස්" සහ "රත්නායක නොවන ජෝක්ස්".

සාමාන්‍යයෙන් අපි ජෝක් එකක් දාන්නෙ වෙනත් කෙනෙකුට හිනාවෙන්න බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ. සමහර වෙලාවට එකෙකුටම කොච්චර හිනාවෙනවද කියනව නං ඌව බයිට් එකට ගත්ත වගෙ වෙනව. අනුන්ගෙ වරදක් ගැන හරි, වැරදීමක් ගැන හරි, අඩුපාඩුවක් ගැන හරි, හිනාවෙන එකට තමයි පොදුවේ අපි ජෝක්ස් කියල කියන්නෙ. මෙන්න මේවා තමයි "රත්නායක නොවන ජෝක්ස්" කියල වර්ගීකරණය වෙන්නේ.

"රත්නායක ජෝක්ස්" කියන්නෙ මේ පොදු ජෝක්ස් වර්ගයට අයිති නොවෙන ඒවා. ඒ කියන්නේ, අනුන්ට හිනාවෙනව වෙනුවට තමන්ටම සරදම් කරගන්න ජෝක්ස්.

"රත්නායක ජෝක්ස්" දාන මං දන්න එකම කෙනා අපේ රත්නායක මහත්තය තමයි. මෙන්න පොඩි උදාහරණ කීපයක්.

මමඃ මචං උඹ හරක් මස් කනවද?
රත්නායකඃ අනේ නෑ බං, හරක් මස් කනවයැ, අපි කන්නෙ තණකොල නෙ?

මමඃ මචං, මට මේක කොහොම හරි හෙටම කරල දීපං.
රත්නායකඃ අපෝ බෑ බං, හෙට මං බිසි. අප්‍රියෙල් පලමුවෙනිද නේද? යකෝ මනුස්සයෙකුට උගේ උපන් දිනේ දවසෙවත් විවේකයක් නැද්ද?

මමඃ මොනවද බං උඹට තියෙන වැඩ රාජකාරි, උඹ ඔච්චර බිසිවෙන්න?
රත්නායකඃ ඇයි බං උඹ දන්නෙ නැත්ද, බල්ලට හෙමින් ගමනකුත් නෑ, ඇති වැඩකුත් නෑ.

තේරුණා නේද රත්නායක ජෝක්ස් කියන්නෙ මොනවද කියල? නැත්තං මේ ටිකත් කියවන්නකෝ.

ඔය කලින් තිබුණු කතාබහම අනිත් පැත්තට වුණා නම්, මෙන්න මෙහෙමයි.

රත්නායකඃ මචං උඹ හරක් මස් කනවද?
මමඃ අනේ නෑ බං, මං කොහොමද උඹේ මූණ බලාගෙන හරක් මස් කන්නෙ.

රත්නායකඃ මචං, මට මේක කොහොම හරි හෙටම කරල දීපං.
මමඃ ආ, හෙට අප්‍රියෙල් පලමුවෙනිද උඹේ උපන් දිනේ හින්ද නිවාඩුවක් දාන්නද යන්නේ?

රත්නායකඃ මොනවද බං උඹට තියෙන වැඩ රාජකාරි, උඹ ඔච්චර බිසිවෙන්න?
මමඃ උඹ හිතන්නෙ මාත් උඹ වගේම හෙමින් ගමනකුත් නෑ, ඇති වැඩකුත් නෑ කියලද?

දැන් තේරුණා නේද රත්නායක ජෝක්ස් කියන්නෙ මොනවද කියල?

කතන්දරකාරයා

ප/ලි:
දැන් නං රත්නායක කාරය පොරගෙ නම වෙනස් කරල වගේ. ඉස්සර වගේ රත්නායක ජෝක්ස් දාන්නෙ නෑ!

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නියම ජොක්ස් වර්ගීකරණය

    ReplyDelete
  3. මිනිස්සු කොහොමත් අනුන්ට හිනා වෙන්න දත කට මැද ගෙන නෙව ඉන්නෙ....

    ඒත් තමන්ටම හිනා වෙන රත්නායන ජෝක්ස් ගොඩක් අඩුයි. ​මම දන්න රත්නායක කෙනෙක් ඉන්නව.එයා විධායක නිලධාරියෙක්. එයාත් තමන්ටම හිනා වෙන ජාතියෙ කියල තමයි කාටත් හිතෙන්නෙ.ඒත් හිනාවෙලා ඈවිත් පසුව හිතල බැලුවම (ටියුබ් ලයිටි) තේරෙනව ..දෙයියනේ මේ මිනිහ අපිටම නේද හිනා වෙලා තියෙන්නෙ කියල...
    මහ හයියෙන් හිනා වෙන විහිලු වලට වඩා ..නිදහසේ තනියම ඉන්න වෙලාවට එක පාරට මතත් වෙලා හීනියට හිනාවක් එන විහිලු වලට තමයි මම නමි කැමති. හරියට අර... කතන්දර කාරයා දිව්‍ය ලෝකෙ ගිය හැටි මතක් වුනාම මුවඟට එන සිනාව වගේ ...

    ReplyDelete
  4. @ වත්
    තුති ඔබ වදන් වලට.
    සමහර විට මගේ මේ කතන්දරයේ හොඳම විහිළුව තියෙන්නේ අර ප/ලි කොටසේ විය හැකියි!!!

    ReplyDelete
  5. සුභ උපන් දිනක් වෙවා..!

    ReplyDelete
  6. ‍මෙයාගෙ උපන් දිනෙත් අදද .........මාරයිනෙ....හරි හරි මට තේරුනා ....එක අත්තෙ එකතුවෙන්නෙ එක වගේ අයලුනේ නේද.....

    ReplyDelete
  7. කතාව එල. මේ වගේ විහිලු දාන අයව මටත් හම්බ වෙල තියෙනව, කලාතුරකින් මමත් එහෙම විහිළු නොකරන්නෙමත් නෑ. :D

    ReplyDelete
  8. හා හා....වර්ගීකරණයත් නරකම නැ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.