ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 31 December 2010
අනිච්ඡාවත සංඛාරා - සුදු සාරියේ ශෝකය
එදා සුදු සාරියක් ගැන ලියන්න ගිහිල්ල ලියවිලා තිබුනේ මගේ කහ සාරිය ගැන කතන්දරයක්. මෙන්න අද කියවන්න මං මුලින් ලියන්න හිටිය ඒ සුදු සාරියේ ශෝකය කතන්දරේ.
ජීවිතය අනියතයි, මරණය නියතයි කියනවනේ. අපි පොඩි කාලේ අපේ සීය ලා ආච්චි ලා මැරුණා. ඊ ලඟට වැඩිහිටි ඥාතියෝ අවසන් ගමන යන්න පටන් ගත්තා. ඉඳලා හිටලා කවුරු හරි පෝලිමෙන් පිට නොපැන්නෙමත් නෑ. කොච්චර දුක වුනත්, දවසක අපේ දෙමව්පියෝ විතරක් නෙමේ, අපේ දරුවන් ගේ දෙමව්පියන්ටත් ඔය ගමන යන්න වෙනවා.
ඉස්සර මං කල් මරපු වැඩපොලේ කාන්තා පක්‍ෂයේ -බවලත්- උදවිය තමන් ගේ අම්ම හරි, තාත්ත හරි වගේ පවුලේ කෙනෙක් මිය ගිහින් නිවාඩුවෙන් පස්සේ වැඩට එන්නේ සුදු සාරියක් ඇඳගෙන.
එදා ඉඳං සති දෙක තුනක් ඔන්න සුදු සාරි අඳිනවා.
ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගන්නවා.
තවත් සති දෙක තුනක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට බහිනවා.
තවත් සති දෙක තුනක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට සාරිවලට බහිනවා. සුද නැහැ. පාට. හැබැයි ලා.
අන්තිමේ දී දන්නෙම නැතුව මෙන්න සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි" අඳින්න පටන් ගන්නවා. එතනින් ශෝක කාලය අවසානයි කියලා අපි දැනගන්න ඕනෑ.
ඔන්න අපේ වැඩ පොලේ අපිට වඩා සීනියර් පොරක් හිටියා, හොඳ කොල්ලා. පොර බැඳලා හිටියේ අපේ එකවුන්ට්ස් සෙක්ෂන් එකේ රූබර අංශයක්. දෙන්න ලඟ ඇනෙක්සියක තමයි නතරවෙලා හිටියේ.
ඉතිං පොරගේ අම්ම මිය ගියා. ගම දුර පලාතක. අපේ කීප දෙනෙක්ම මළ ගෙදරත් ගියා.
සතියක් විතර ගියාට පස්සේ ඔන්න ජෝඩුවම වැඩට ආවා. මට දෙන්න හමුවුණා වැඩපොලේ ගේට්ටුව ලඟදී.
අපේ පොර වෙනදා ඇඳල ඉන්නවා දැකල පුරුදු හොඳ නිල් පාට එමරල්ඩ් කමිසෙකුයි, දුඹුරු කලිසමකුයි ඇඳල හිටියේ.
ඒකටත් එක්ක වයිෆරේ.
සුදුම සුදු සාරියකුයි, හැට්ටෙකුයි විතරක් නෙමේ සුදු පාට කාන්තා සපත්තුත් දාලයි හිටියෙ.
අම්ම මැරිච්ච පොර වෙනද ඇන්ද ඇඳුම් සෙට් එකම ඇඳගෙන වැඩට ආවට, නැන්දම්ම ගේ මරණයේ ශෝකයට ලේලි සති තුනක් විතර සුදු සාරි ඇන්දා.
ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගත්තා.
තවත් සති දෙක තුනක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට බැස්සා.
තවත් සති දෙක තුනක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට සාරි ඇඳීම ඇරඹුවා. සුද නැහැ. පාට. හැබැයි ලා.
අන්තිමේ දී සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි" අඳින්න පටන් ගත්තා.
මං හිතන්නේ ඒ විදියට ශෝක කාලය අවසානය සනිටුහන් වුනේ තුන් මාසේ දානෙන් පස්සෙයි.
අන්න නැන්දම්ම ලා ට, ලේලි ලා ගේ ආදරේ.
ඒකටත් එක්ක පුතාලා!
-කතන්දරකාරයා
ප/ලි
හහ්, හා!
මේ කතාවේ අන්තිම වාක්‍යය ටයිප් කරල ඉවර වෙන කොටම තවත් සාරි කතන්දරයක් මතක් වුණා.
දැන් ඉතිං, ඒකත් ලියන්න වෙනවා.
දැන්ම නෙමේ, පස්සෙ දවසක.
Wednesday, 29 December 2010
කහ සාරිය සහ මල් සාරිය -කොල්ලන් ට නොතේරෙන කතන්දරයක්!
බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
සාරිය මිස ගවුං කොටේ දුවේ උඹට නැත කාරිය
ඔය විරිදු පදේ අපේ අම්මලා ගේ කාලේ දුවකට අවවාද කියන නමින් ප්‍රසිද්ධ වුණු විරිදු පෙලක කොටසක්.
දැං ඔය සාරි කිව්වාම ජාති දෙකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් සාරිය කියන්නේ ඉන්දියානු සාරියටයි. ඒ කියන්නේ අර අනාදිමත් කාලෙක ජයා බහදූරිලා, හේම මාලිනී ලා වගේ අය හින්දි චිත්‍රපටිවල ඇඳපු සාරියයි. දැන් ඉන්න හින්දි නිලියෝ නං අඳින්නේ අමුතුම සාරි ජාතියක්. තාමත් සෝනියා ගාන්ධි ලා අඳින්නේ ඒ පරණ සාරියම තමයි.
සිංහල සාරියට කියන්නේ ඔසරිය කියලයි. අර මාල හතක් දාන්නේ ඒ ඔසරිය අඳින කොටයි.
අපේ ආච්චී, අම්ම ගේ අම්මා ඇන්දේ ඔසරිය. එයාගේ ගම හොරණ පැත්තේ. හැබැයි අපේ අම්මා අපි ලොකු කාලේ වෙනකම්ම ඇන්දේ ඉන්දියානු සාරියයි.
කොළඹ පැත්තේ ඉපදුණු අනිත් ආච්චී, තාත්තා ගේ අම්මා, ඇන්දේ ඉන්දියානු සාරිය. එයා ගේ දූවරු, අපේ නැන්දලා, ඇන්දෙත් ඒ ඇඳුම ම යි.
කතන්දර හාමිනේ නං සාරි අඳින්නෙම නෑ හා සමානයි. අපේ වෙඩිම දවසෙයි, හෝම් කමින් එක දවසෙයි ඇන්දට පස්සේ ආයෙ සාරියක් ඇන්දේ මාස හයකට විතර පස්සේ යාළුවෙකු ගේ මගුල් ගෙදරක යන්නයි.
මං හා හා පුරා කියල එයාට තෑග්ගකට අරං දුන්නු සාරිය නං එයා කවදාවත් ඇන්දෙ නෑ!
මේ අපි බඳින්න ඉස්සර කාලේ. ඒ සාරිය ටික දවසකින්ම මාත් අඳුනන ඇන්ටි කෙනෙකුට තෑගි දුන්නා මං කඩෙන් ගන්න කොට දාල දුන්නු බ්‍රව්න් පේපර් බෑග් එකේ තියෙද්දීම.
මල් පොඩි වැඩියි කියන්නෙ!
අනේ පව් කතන්දරකාරයා නේද?
එතකොට ඒ ඇන්ටිට ඒ මල් පොඩි වැඩි නැද්ද, අනේ මන්දා?
මගේ ඒ දවස්වල මාසෙක පඩියෙන් පහෙන් එකක් ම (20%) දීල සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුවයි ඒ තෑග්ග ගත්තෙ.
ඒ පාඩුව ගැන හිතේ ඇතිවුණු දුකයි, තෑග්ග රිජෙක්ට් වීම ගැන දුකයි දෙකම වසං කරගෙන, තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නේ දෝ කියල මං ඔන්න ඔහේ හිත හදා ගත්ත.
-කතන්දරකාරයා
ප/ලි
මං ලියන්න ගියේ මේ කතන්දරේ නෙමෙයි, වෙන එකක්. ලියන්න ගියේ සුදු සාරි ඇඳීම ගැනයි. ලියවුනේ කහ සාරිය ගැනයි.
සුදු සාරි කතාව ඊලඟට බලාපොරොත්තු වන්න.
ඒක සුදු කොඩි කතන්දරේට වඩා ඒක වෙනස් එකක්.
Labels:
කතන්දර හාමිනේ,
සාරි
Monday, 27 December 2010
අපේ සීයා අහපු අපූරු සාත්තරේ
සීය ගැන මේ කතාව මට කිව්වේ සීය ගේ බාල දුව, ඒ කියන්නේ මගේ පුංචි අම්මා. එයා මේ දවස් වල අපේ ගෙදර ඇවිත් පොඩි නිවාඩුවකට. මං සීය ගැන කතන්දර ලිව්වට, පුංචි අම්මා ගැන නම් කතන්දර ලියන්න ඉන්නේ ඉතිං එයා ආපහු එයා ගේ ගෙදරට ගියාට පස්සෙ තමයි. මොකටද නිකං ටොකු කන්නේ නේද?
ඔන්න අපේ සීය තරුණ කාලේ, මේ කියන්නේ ලෝක යුද්දෙ කාලෙටත් කලින් වෙන්න ඕනැ, ගමේ ඉඩමකට වැටක් ගහන්න කටු කම්බි රෝල් වගයක් ගෙනත් තියෙනවා.
මේව ඒ දවස්වල හරි ගණං බඩු.
ඉතිං වැට ගහන්න කලින් කවුද මහ රෑක කම්බි රෝල් ටික හොරකම් කරලා.
අපේ කෝට්ටෙ ගෙදරට හොරු පැනලා කතන්දර හාමිනේ ගේ රත්තරං බඩුයි අපේ මගුල් මුදුයි හොරකම් කළ වෙලේ මං පොලිසියට පැමිණිලි කරපු කතන්දරේ මතකයි නේද? මට වැඩිය මොලේ තිබුණු අපේ සීය ඔය පොලිසි ගානෙ ගිහිල්ල නෑ.
සීය කරල තියෙන්නෙ සාත්තරයක් අහන්න යන එකයි. ඒ හොරා කවුද, බඩු කොහෙද තියෙන්නෙ වගේ විස්තර සාත්තරේ බලෙන් දැන ගන්නයි.
ඒ ටික දන්නව නං ඉතිං ප්‍රශ්ණේ විසඳාගන්න පුළුවන්නේ.
මේ සාත්තරයක් අහන්න ගිය තැන හරිම හාස්කම් තියෙන තැනක්. දේව ආරූඪයෙන්, පරල වෙලයි සාත්තර කියන්නේ මේ ස්ථානයේ.
ඔන්න අපේ සීයයි, යාළුවෙකුයි ගිහින් තමන් ගේ වාරේ ආපුහාම සාත්තර කියන කුටිය ඇතුලට ගියා. බුලත් කොලේක තියල රුපියලකුත් ශත දහයක් තියන්න ඕනෑ පඬුරු විදියට.
ශත දහය දෙවියන්ට මගෙ හිතේ. නිකං 10% සම්තිං එකක් වගේ එකක්.
ඔන්න පඬුරු දුන්නු ගමං සාත්තරකාරය පරල වුණා.
"යුෂ්මතුන් මෙහි පැමිණ සිටින්නේ නැතිවූ යමක් පිළිබඳව අහන්නටයි."
ඔය කියවෙන්නේ කිරි ගහට ඇන්න වගේ. සීයටයි යාළුවටයි හරිම ජොලි.
"කියව, කියව, වහා කියව!" සාත්තරකාරය කෑ ගහනව.
"එහෙයි කියපං!" යාළුව කිව්ව සීයට. සීයත් කිව්ව "එහෙයි" කියල.
"මෙය වටිනා දෙයක්. ඉතා වටිනා දෙයක්. සත්‍යදැයි කියව, සත්‍යදැයි කියව."
"එහෙයි."
"මේ භාණ්ඩය ගෙන ගොස් ඇත්තේ යුෂ්මතුන් හොඳින් දන්න කෙනෙක්."
ඔන්න වැඩේ නියම ට්‍රැක් එකට වැටෙනව.
"හොඳමයි."
"ඒ චෞරයා මෙය රැගෙන ගොස් ඇත්තේ තමන් ගේ ඉනේ සඟවා ගෙනයි."
අපේ සීයට බකස් ගාල හිනා ගියා. අර එකක් රාත්තල් පනහේ කටු කම්බි රෝල් කොහොමද ඉනේ හංගගෙන යන්නේ?
ඔන්න සාත්තරකාරයාට තද වුනා.
"යුෂ්මතා සිනාසෙන්නේ ඇයි? යුෂ්මතා මට අපහාස කරනවා නොවේද? වහා මේ කුටියෙන් පිටවෙව!"
එහෙම කොහේ යන්නද, මේ සල්ලිත් ගෙවලා, නේද? අපේ සීය අහුවෙයි ඕවට.
සීය ඇහැව්වලු නිකං නක්කලේට වගේ:
"එතකොට ස්වාමීණි පඬුරු"?
"තගේ කිලිටි පඬුරුත් රුගෙන වහා මගේ විමාණයෙන් පිටවෙව!"
සාත්තරේ එතනින්ම ඉවර වුණා.
සීය කරල තියෙන්නේ අර රුපියලයි ශත දහයයි ආපහු අරගෙන යාළුවත් එක්ක දේව කුටියෙන් පිටවෙලා ගෙදර යන එකයි.
හොරා කවුද කියල සාත්තරෙන් හොයා ගන්න බැරි වුණු හින්ද සීය කරල තියෙන්නේ ඊලඟට තියෙන හොඳම වැඩේ.
ඒක තමයි වස් කවියක් කියන එක.
මේ හොරකම කරපු එකාට ලේ බඩ යන්න කියල වගේ සාප කරල හොඳ වස් කවියක් ලියව ගෙන අල්ලපු ගමේ ද කොහෙද තිබුණු දේවාලෙට ගිහිං එක දවසයි කියල තියෙන්නේ.
මෙන්න පහුවදා උදේ වත්ත අයිනට ගෙනත් දාල තිබුණලු අර හොරකම් කරපු කටු කම්බි රෝල් ටික සේරම.
කොහොමද වස් කවි වල බලේ?
-කතන්දරකාරයා
ප/ලි
සීයා ගේ අනිත් කතන්දර කියවල නැති අයට මෙන්න ලින්ක්ස්.
1. ජෝන් මහත්තයා සයිලන්ස් කරපු හැටි
2. සීය කොල්ල කාලේ
3. සීය ගේ කෝට් එක නැතිවෙලා
4. හාමුදුරුවෝ සරෙන්ඩර්
මෙන්න ආච්චි ගැන කතන්දර
1. මහා භය වීම
2. ආච්චි ගේ පෙට්ටගම
3. ආච්චි ගේ රෙද්ද (පොලිසියට බයේ දුවපු කොල්ලා)
4. ආච්චි ගේ සීනි බෝතලේ
Saturday, 25 December 2010
දොස්තර හේවා ගැන හෙළිදරව්වක් - Dr Hewa's real identity revealed...!!!
අපි හැමෝම අහල තියෙනවනේ පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා කියන සින්දුව. මේ සින්දුවෙන් කියවෙන්නේ තමන්ගේ නමේ සැබෑ තේරමට හාත්පසින්ම වෙනස් හැසිරීම් තියෙන මිනිස්සු ගැනයි. කුසල්හාමි අකුසල් කරන කෙනෙක් වුනා වගේ.
ඒක මහ අසාධාරණ කතාවක් එක අතකට. මොකද අපි කාගෙවත් නම දාල තියෙන්නේ අපෙන් අහල නෙමේ නේ. මං හිතන්නේ නෑ, අපේ මාරයා ගේ තරිඳු ගේ පැවිදි නම්වත් ඒ ගොල්ලන්ගෙන් අහල දැම්මයි කියලා ගුරු හාමුදුරුවරු!
අපේ ඉරණම අනුව නම් දානව නං ඉතිං ලංකාවේ ජනගහණයෙන් 99.9% කට දාන්න වෙන්නේ "පාලිත" කියලා තමයි!
ඔය කතාවෙම අනිත් පැත්ත තමයි තමන්ගේ නමෙන් හැඟවෙන ආකාරයයේ රැකියාවක් ද කරන්නේ කියන එක.
ඔන්න ඉස්සර අපේ ඉස්කෝලෙ විද්‍යාව උගන්න ගුරුවරයෙක් හිටිය පොරගෙ නම විද්‍යාරත්න. අපේ පැත්තෙ දොස්තරවරයෙක් හිටිය වෛද්‍යසේකර කියන නමින්.
වෛද්‍යසේකර කියල ගායකයෙකුත් හිටිය තමයි, ඒත් ඉතිං ඒකෙ අවුලක් නෑනෙ. වෛද්‍යසේකර කියල ලෙඩ්ඩුත් ඇති එහෙම නං ඕනැ පදං.
අද මගෙ කතන්දරේත් දොස්තර ලෙඩ්ඩු සෙල්ලමක් ගැන.
ඔන්න එක දොස්තර කෙනෙක් හිටිය, පොර ළමයින් ගේ ලෙඩ ගැන ප්‍රසිද්ධ කෙනෙක්.
ඔන්න දවසක් පොරට තමන්ගේ ළමයව පෙන්නන්න තාත්ත කෙනෙක් ඇවිත්.
"අර - ඩොක්ටර් හේවා - ව හම්බ වෙන්න පුළුවන් ද අද?"
"ඩොක්ටර් හේවා, කවුද ඒ? එහෙම ඩොක්ටර් කෙනෙක් මෙහෙ නෑනේ?"
"මොකද නැත්තෙ, අපි දන්න කියන කීප දෙනෙක්ම ඩොක්ටර් හේවා ව හම්බ වෙලා තියෙනව මෙතනදී."
"අනේ මන්ද? සමහර විට නම වැරදිලා වෙන්න ඇති. ඉතිං කාට බෙහෙත් ගන්නද මේ? මොකක්ද ලෙඩේ?"
"මේ අපේ බබාව පෙන්නන්න."
"ඩොක්ටර් හේවා කියල ළමයින් ට බේත් කරන පීඩිට්‍රීෂියන් කෙනෙක් නම් නෑ!"
ඔන්න ටික වෙලාවකින් තේරුණා වැඩේ!
මේ හොයන්නේ ඩොක්ටර් ළමාහේවා වයි. පොර ළමා රෝග විශේෂඥයෙක්. අසනීප වෙච්ච ළමයගේ තාත්ත හිතල තියෙන්නේ දොස්තර ගේ නමේ ළමා කියන්නේ අර නීතිඥ සුමනසේන කතන්දරේ වගේ පොර ගේ ටයිටල් එකේ කෑල්ලක් කියලයි.
-කතන්දරකාරයා
ප/ලි
ඔය කතාව අහපු දාම මං හිතාගත්ත ගයිනකොලජිස්ට් කෙනෙක් වෙන්නෙ නෑ කියල ඊලඟ ආත්මෙවත්.
Thursday, 23 December 2010
ලෝක වාර්තාවක් තැබූ කෙටිම ලව් එෆෙයාර් එක ලංකාවෙන්...!!! World record shortest love affair - set in Sri Lanka
සාමාන්‍යයෙන් සලකල බලමු සාමාන්‍ය ලව් එෆෙයාර් එකක් ඇරඹෙන සාමාන්‍ය විදිය.
ඔන්න කොල්ලෙක් දකිනව කෙල්ලෙක්ව. පොඩි අදහසක් පහල වෙනව. ටිකක් වටේ කැරකෙනව. හිනාවෙන්න, කතා කරන්න හදනව. ඔහොම ගිහින් අන්තිමේදි අහනව. කෙල්ල දෙන තීරණය අනුව වැඩේ 50% ඉඳල 100% දක්වා යන නොඑන එක තීරණය වෙනව.
වැඩේ 100% වුනා කියන්නේ ලව් එක ඔෆීෂියලි ඇරඹුණා කියන එකයි.
ඒ සාමාන්‍ය කතන්දරේ එක එක අදියරවලදී පොඩි පොඩි වේරියේෂන්ස් වෙන්න පුළුවන්. ඒ වෙනසකම් එක්ක එන කම්බිනේෂන්ස්, පර්මියුටේෂන්ස් සේරම ගණං කලොත් සාමාන්‍ය ලව් ස්ටෝරීස් දාස් ගානක ආකෘති ලැබෙයි.
එයින් තුන හතරක් අසාමාන්‍ය ඒවා වේවි.
සමහරු ලව් කරන්නේ එක පාරයි. ඒ මුල්ම ලව් ප්‍රොජෙක්ට් එක ඉවරවෙන්නේ කසාද බැඳලා. පස්සෙන් පහු දරු මල්ලො ලැබිල, නාකි වෙලා, මිය පරලොව යනකං මහා දීර්ඝ කාලයක් ඒ වගේ ප්‍රේම සම්බන්ධ පවතිනවා වෙන්න පුළුවනි. ඒ වගේ දීර්ඝතම ලව් එෆෙයාර්ස් ගැන නම් ඉතිං ලෝකේ වාර්තා අපමණයි.
අද මං මේ කියන්න යන්නේ මං දන්න කෙටිම කෙටි ප්‍රේම සම්බන්ධය හෙවත් ලව් එෆෙයාර් එක ගැනයි. මේක තමයි තාමත් ලෝක වාර්තාව උසුලන්නේ, මං හිතන විදියට.
ඔන්න අපි දන්න කියන පොරක් හිටිය. කෙල්ලන් ගේ හිත යන පිං පාට හැන්ඩි කොල්ලෙක්. සිකුර ඔළුවට ගහල ඔන්න ටික කාලෙකින්ම කෙල්ලෙක් ගැන අදහසක් ඇතිකර ගත්ත. වටින් පිටින් විපරම් කරල, පණිවිඩ ඇරල ඔන්න ටිකක් තත්වය පොසිටිව් වගේ තේරුණා කියමුකෝ.
පොර මොන ආකාරෙකින් හරි ප්‍රශ්ණය ඇහැව්ව, කෙල්ල කැමති වුණා කියලයි අපිට ආරංචි වුනේ.
කොහොම හරි ඉතිං ඔන්න පොර හා හා පුරා කියල කෙල්ලව බලන්න එයා ඉන්න නේවාසිකාගාරයට එකට යන්න පිටත් වුණා.
මෙන්න බොලේ හැරෙන තැපෑලෙන් පොර ආපහු එනවා.
"මොකද මචං ගිය පයින් ම ආපහු?"
ම්හු! නෝ කතා, නෝ සිනා.
පස්සෙ ආරංචි වෙව්ව විදියට මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නෙ.
කෙල්ල බලන්න ගිහිං දෙන්න කතාකරන්න නේවාසිකාගාරයේ බංකුවක වාඩි වෙච්ච ගමං, පොර ඇහැව්වලු කෙල්ල ගෙන් මෙන්න මෙහෙම.
"ඉතිං මට කියන්න බලන්න ඇයි ඔයා මට කැමති වුනේ?"
කෙල්ල ගත් කටටම කිව්වලු මෙන්න මෙහෙම.
"කවුද ඉතිං ඔයාට කැමති වුනේ?"
ලෝක වාර්තාගත කෙටිම ප්‍රේම සම්බන්ධයේ ආරම්භය සහ අවසානය අන්න එහෙමයි වුනේ!
-කතන්දරකාරයා
ප/ලි
මේ වාර්තාව බිඳින්න පුළුවන් ලව් ස්ටෝරීස් හෙම කවුරු හරි දන්නවද?
Tuesday, 21 December 2010
මහදැණමුත්තා ගේ ශිෂ්‍යාව කවුද කියලා දන්නවද?
අපි පොඩි කාලේ ඉඳලා ම අහලා තියෙන විදියට මහදැනමුත්තාට හිටියේ පිරිමි ගෝලයෝ, එහෙම නැත්තං ශිෂ්‍යයෝ විතරයි නේ.
දන්නවනේ, රබ්බඩ අයියා, පුවක් බඩිල්ලා, පොල් බෑ මූණා, කෝටු කිතයියා සහ ඉඳිකටු පැංචා කියන කෂ්ටිය. කාලෙකට කලින් කතාවක තවත් නමක් තිබුණා වගේ මතකයකත් තියෙනවා. නමුත් උන්නැහැහේ ගේ නම නං සිහියට එන්නේ නෑ.
මට ලඟදි ආරංචියක් ආවා ඔය මහදැනමුත්තාට හිටියේ පිරිමි ගෝලයෝ විතරයි කියන එක බොරුවක් ලු, මහදැණමුත්තාගේ ගෝල පිරිස අතරේ ශිෂ්‍යාවක් දෙන්නෙකුත් හිටියාලු කියලා.
මේ එක් කාන්තා ගෝලයෙක් (ගෝලි කියල කියන්න බෑ නේද?) එහෙම නැත්තං ගෝලිච්චියෙක් සම්බන්ධ වුණු කතන්දර දෙක තුනකුත් මට අහන්න ලැබුණා.
මේ කතන්දර ටික බ්ලොග් එකේ දාන්න හිතාගෙන ලියන්න ගිය වෙලේ මට ආපු ලොකුම ප්‍රශ්ණය තමයි, ගෝලිච්චිට හරි හමං නමක් නැති එක.
හිතුවා, හිතුවා, හිතුවා, එක එක නම් හිතට ආවා, ඒත් ඒ එකක් වත් හරි හමනකට හිතට ඇල්ලුවේ නෑ.
ඒක හින්දා මට හිතුණා කතන්දර බ්ලොග් එකේ ආදරණීය පාඨක පිරිසගේ මේකට උදව් ඉල්ලන්න.
කරුණාකරලා මහදැනමුත්තා ගේ අපි නොදන්න ගෝලිච්චිට ගැලපෙන නමක් යෝජනා කරන්න ප්ලීස්!
ඒ එක්කම මේ මහදැණමුත්තා ගේ ගෝලිච්චි ගැන කතන්දර දන්න අය ඉන්නවා නං, ඒවත් එක්කෝ මෙතනම ලියන්න. දිග වැඩිනම් වෙනම ලියලා එවන්න.
-කතන්දරකාරයා
ප/ලි
හැබැයි ඔන්න,
සොඳුරු සිත,
අක්කණ්ඩී,
හරී,
ෆා ද බ්ලොගී,
ටී.එම්.ජී,
ඇන්ශ් ලකී ශ්‍රී ජේ,
චේජනා,
හා පැංචි,
පොඩි කුමාරිහාමි,
කලිකාල,
ජීවිතේ මල්
හිරු ප්‍රභා වගේ නම් නං ඔට්ටු නෑ, හොඳඳ?
අරුණි ශපීරෝ නං ඉතිං ගෝලයෙක් නෙමේ මහදැනමුත්තියක් නේ!
Sunday, 19 December 2010
ඒ සල්ලිත් දාන්න අංකල් දෑවැද්දට...!!!
මේක මං අහපු කතන්දරයක්. ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් අත්දැකීමක්. නමුත් අවිස්වාස කරන්න හේතුවක් තිබුනෙ නෑ කියපු කෙනා මගේ හොඳ මිත්‍රයෙක් වෙන රත්නායක මහත්තය නිසා.
මේ කතන්දරේ ඇහැව්වාම මට මුලින්ම ආවේ නවත්තගන්න බැරි හිනාවක්. හැබැයි ටිකක් වෙලා යනකොට, කතන්දරේ බලපතල කම තේරුණාම, ආවේ නං අමුතුම හැඟීමක්, ඒ කියන්නේ බය, ලැජ්ජාව, තරහ, කණගාටුව, මේ සේරම කවලම් වෙච්ච හැඟීමක්!
මගේ හොඳම යාළුවෙක් වෙන රත්නායක එක්ක එකට වැඩපොලේ ඉඳල තියෙනව එක විදියක පොරක්. එක විදියක් කියන්නේ මේ පොර ගැන පැතිරිලා තිබුණු විවිධ කතන්දර හින්දයි.
එයින් එක ජොලි කතාවක් කියන්නම් කෝ ඉස්සෙල්ලාම පොඩි ඇපිටයිසර් එකක් විදියට.
කොල්ලෝ කැම්පස් එකේ ඉන්න කාලේ ගෙදරින් සල්ලි දෙනවනේ ජීවත් වෙන්න. ෆයිනල් එක්සෑම් ලිව්වට පස්සේ පොරට කැම්පස් එකේම ඩිමොන්ස්ටේ්‍රර් ජොබ් එකක් සෙට් වුණා. විභාගෙ ඉවර වෙලා, ලැබ් රිපෝට්ස් හෙමත් ඉවර කරල පොර ගෙදර ගිහිං දවසෙන් දෙකෙන් ජොබ් එකට ආපහු ආවා. ඉතිං වෙනද වගේම, කලින් හිටිය බෝඩිමේ ඉඳල කැම්පස් යන්න ගත්තා.
ඔය ජොබ් කතා ගෙදරට කියන්නේ මොකටද?
ඉතිං වෙනද වගේම පොරට ඒ මාසේ අන්තිමටත් ගෙදරින් සල්ලි දුන්නා. ඔය අතර ඉස්ඉස්සෙල්ලාම පඩියත් හම්බ වුණා නේ කැම්පස් එකේ ජොබ් එකෙන්.
අපේ පොර කරලා තියෙන්නේ ගෙදරින් හම්බ වෙච්ච සල්ලි වලිනුත් ගාණක් දාලා මුළු පඩියම බැංකුවේ දාපු එකයි.
මාස ගණනාවක්ම පොර ඔය වැඩේ කෙරුව කියලයි ආරංචිය. මං හිතන්නේ විභාග ප්‍රතිපල ඇවිල්ලා පොර ආණ්ඩුවේ තැනක වැඩට යන්න වෙන පලාතකට ගියාට පස්සේ තමයි ගෙදරින් සල්ලි ගැනීම නවත්තලා තියෙන්නේ.
දැන් මෙන්න අද ප්‍රස්තූත කතන්දරේ.
ඔහොම අවුරුදු තුන හතරක් ගියාට පස්සේ අපේ පොර බඳින්න සෙට් වෙලා තියෙනවා. ප්‍රපෝසල් එකක් ද, ලව් මැච් එකක් ද කියල විස්තර නං මං දන්නේ නෑ. කොහොම වුණත් හොඳ පවුලක, හොඳ කෙල්ලෙක් කියල තමයි ආරංචි වුනේ.
ඉතිං වැඩපොලේ හුඟ දෙනෙකුටත් වෙඩිමට ආරාධනා කරල තිබුණ. අපේ කට්ටිය කතා වුණා, වෙඩිම දවසේ උදේ දහයට විතර වැඩපොල ලඟට සෙට් වෙලා සේරම කට්ටියම එකට යන්න. කාර් තුන හතරකුත් ලෑස්ති කරගත්තා, තියෙන තියෙන හැටියට.
කට්ටිය පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මෙන්න බොලේ අපේ පොර එනවා මෝටර් සයිකලේක හති දාගෙන.
මගුල කැන්සල් කියලා කට්ටියට කියලා හැරුණු පයින් ආපහු දිව්වා.
අපේ කට්ටිය අන්දුං කුංදුන්.
සතියකින් විතර ඔන්න ආරංචි වුනා වෙලා තියෙන සන්තෑසිය.
වෙඩිමට කලින් දා කෙල්ල ගේ ගෙදර පිරිතක් ලු. මගුල් ගෙදරකට කලින් දානයක් දීල පිරිතක් කියන සිරිතක් සමහරුන් ගේ තියෙනවනේ.
පොරත් ගිහින් තියෙනවා පිරිතට ආරාධනය අනුව. ඔතනදී, දානේ, පිරිතෙ කටයුතු ගැන කතාකර කර ඉන්න ගමං මූට කියවිලා තියෙනවා මෙන්න මෙහෙම.
"අනේ මේ දාන වලට, පිරිත් වලට, වියදම් කරන සල්ලිත් දෑවැද්දට දුන්න නං ඉවරයිනේ!"
ඕක ඇහිච්ච කෙල්ලගේ තාත්තට කෙල කෝටියට කේන්ති ගිහිං.
එච්චරයි.
-කතන්දරකාරයා
ප/ලි
කෙල්ලගේ තාත්තට කේන්ති ගියාට පස්සේ වෙච්ච දේ ගැන ආයෙ දෙවෙනි පාරටත් ලියන්න ඕනැ නෑනේ, නේද?
Thursday, 16 December 2010
ස්ට්‍රෝබෙරි ජෑම් කාපු හැටි
ස්ට්‍රෝබෙරි කියන කොට මට මුලින්ම මතක් වෙන්නෙම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. ස්ට්‍රෝබෙරි ගෙඩි නං ඉතිං වැඩිය කොළඹ පැත්තේ දකින්න නෑනේ. නුවරඑලිය වගේ පලාත්වල නං හැදෙනවා.
පිං කරන්න ඕනැ ඉතිං ඒව කන්න. පින පල දීලා මාත් කාල තියෙනවා නුවරඑලියේ දී.
ස්ට්‍රෝබෙරි වලින් හදන්න පුළුවන් රසම කෑමක් තමයි ස්ට්‍රෝබෙරි ජෑම්. කතන්දර හාමිනේ පොඩි කාලේ, ඒ කියන්නේ ඒ ලෙවල් කරන්න සෙන්ට්‍රල් එකට යන්න ගෙදරින් පිටත්වෙන්න කලින් කාලේ, ගෙදර ස්ට්‍රෝබෙරි ජෑම් හදලා තියෙනවාලු ඕනැ පදං. සමහර විට කෂ්ටිය දැකලත් ඇති "ස්ට්‍රෝබෙරී ජෑම් ෆෝ සේල්" කියලා ගේ ඉස්සරහා බෝඩ් එකක් ගහලා තියෙනවා හෙම.
මෙන්න නැන්දම්මා ගේ රෙසිපි එක.
අවශ්‍ය ද්‍රව්‍ය
ස්ට්‍රෝබෙරි කිලෝ බාගයයි
සීනි කිලෝ බාගයයි
ක්‍රමය
කුඩාවට කපන ලද ස්ට්‍රෝබෙරි වලට සීනි සහ අවශ්‍ය නම් වතුර ස්වල්පයක් දමා මද ගින්නේ රත්කරමින් හොඳින් කවලම් කරන්න. හරි පදමට සෑදුණු පසු ලිපෙන් බා උණුවතුරේ තැම්බූ බෝතලයකට දමා හොඳින් වසන්න.
ඔය කිව්වට මං දන්න කාලෙක නං කතන්දර හාමිනේ ගෙදර ස්ට්‍රෝබෙරි ජෑම් හදලා නෑ. ඊට වඩා ලේසියි නේ අර කාර්ගිල්ස් එකෙන් ගත්තනං කියලයි එයා කියන්නේ!
මං පොඩි කාලේ කෑවේ නං එක්කෝ වට්ටක්කා ජෑම්. එහෙම නැත්තං තක්කලි ජෑම්. අපේ අම්මා හැදුවේ ඒ ජාති දෙක විතරයි. අපි ඉතිං පිං කරල තිබුනේ නැහැනේ ස්ට්‍රෝබෙරි හැදෙන පලාතක ජීවත්වෙන්න –ඔය කතන්දර හාමිනේ වගේ.
ඉතිං, පොඩි කාලේ ඉඳලම මගේ හිතේ තිබුණු එක්තරා සිහිනයක් වුනේ ස්ට්‍රෝබෙරි ජෑම් කන එකයි. මට අවුරුදු දොලහක් විතර කාලේ ඒකට චාන්ස් එකක් ලැබුණා.
මේ දවස්වල මං ඉස්කෝලේ නිවාඩුවට ගිහිං හිටියා අපේ පුංචි අම්මා කෙනෙකු ගෙදර. ඉතිං එහෙ ඉන්න අතරේ දවසක මායි පුංචි අම්මයි ගියා එයා ගේ යාළුවෙකු ගේ ගෙදරට.
කතා බහ, ඕපා දූප මැද්දේ ඔන්න තේ වෙලාව ආවා. තේ බොන්න කලින් එතනට ආවා ස්ට්‍රෝබෙරි ජෑම් ගාපු සැන්ඩ්විචස් පිඟානක් ම.
දැක්ක ගමන් කටට කෙල ඉනුවා කිව්වොත් -ඔබ හරි.
පැනපු ගමං මං සැන්ඩ්විච් එකක් අරගෙන මාර ජොලියෙන් කටේ දාලා කෑල්ලක් හපලා කෑවා.
බුදු අම්මෝ.. .!!!
මේ ස්ට්‍රෝබෙරි ජෑම් සැන්ඩ්විච් නෙමේ. තෙල් බේරෙන ලුණු මිරිසක් නේ පාන් වලට ගාල තියෙන්නේ. ලුණු මිරිසෙත් හොඳ බ්‍රෑන්ඩ් එක.
-කතන්දරකාරයා
ප/ලි
කොහොම හරි ඉතිං, මං මුලින්ම ස්ට්‍රෝබෙරි ජෑම් කෑවේ වෙන්ඩ කතන්දර හාමිනේව හමුවෙන්න ගිය දවසක එයාට ගෙදරින් එවල තිබුණු බෝතලයකින්.
බුදු අම්මෝ ඒවයේ රහ!
පොඩි කාලේ ඉඳල තිබුණු මගේ ස්ට්‍රෝබෙරි සිහිනය සැබෑ වුනේ එදායි!!!
Labels:
කතන්දර හාමිනේ
Monday, 13 December 2010
අම්මා ට ටී.වී. එකක් - To Mother with love
ආදරය කරන කෙල්ලට නං පුදයි ජීවිතේ
පව් නේද? මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ!
අහල තියෙනව නේද ඒ සින්දුව. මං හිතන්නෙ ඒක කියන්නෙ, මැක්ස්වෙල් මෙන්ඩිස්. අද මං මේ කියන්න යන කතන්දරයට අදාල හින්ද මට හිතුන ඒ සින්දුවෙන් පටන් ගන්න.
මේ කතන්දරය තරමක් වෙනස් එකක්. මගෙ වෙන බහුතරයක් කතන්දර වගෙ උපහාසාත්මක එකක් නොවේ. අම්මලා ගැන කවුද උපහාස, අපහාස කතා ලියන්නෙ නේද? (ප්‍රයිඩ් ඔෆ් ශ්‍රියාලතා කතන්දරේ පොඩ්ඩක් අමතක කරමු කෝ!)
මේ කතන්දරේ ලියන්න මූලිකම හේතුව වුනේ මගේ හිතවත් බ්ලොග්කාරියක් වන මනෝ ගේ අහස්ගව්ව බ්ලොග් එකේ කාළෙකට ඉස්සර තිබුණු කතාවක්.
මගේ පුතා හරි හපනා පනම් තුනක් පඩි කනවා ඉන් පනමක් මට දෙනවා කියන කවිය ඇත්තක් කරන්න පොඩි කාලෙ හිතාගෙන හිටියට, තුන්වැන්නී හෙවත් මනෝ තාමත් අම්ම දෙන සාරි අඳිනව මිසක් අම්මට හරි හමං තෑග්ගක් අරං දීල නෑ වගෙයි එදා ඒ කතාවෙන් මට තේරුනේ.
ඒ කතාව කියවල ටික දවසකට පස්සෙ උපුල් සන්නස්ගලකාරයා තමන්ගෙ අම්ම ගැන සිළුමිණ ට ද කොහෙද කියල තිබුණ කතාව මං කියෙව්ව. පොර ට කොච්චර බර තිබුණත්, අම්ම ජීවත්ව ඉන්න කාලෙ, අම්මට ආදරෙන් සලකල නෑ වගෙයි දැනුනෙ.
අම්ම මළා ට පස්සෙ වෙන අයට අගස්ති මාල අරං දීල ඒ දුක ගෙවාගන්න පුළුවන්ද?
ඒ මාල දානයත් පොර කරල තියෙන්නෙ ලංකාවෙ නෙමේ ඉන්දියාවෙදි. ඉන්දියාවෙ අගස්ති මාල වලට සැපයුම හොඳ ඇති ඉල්ලුම ට වඩා.
අනුංගෙ කතන්දර වලින් පස්සෙ මෙන්න මගේ කතන්දරේ.
අම්මල පුතාලට කොච්චර ආදරේද කියල අමුතුවෙන් ලියන්න ඕනැ නෑනෙ. පවුලෙ ලොකු පුතාට ඒ ආදරේ තවත් වැඩියි කියලයි මං හිතන්නෙ.
නමුත් ඉතිං, ලොකු එකාට නංගිල මල්ලිල හිටියොත් ඉතිං අම්ම කෙනෙකුට ඒ ආදරේ වැඩිකල් දක්වන්න වෙන්නෙ නෑ.
මං පොඩි කාලේ ඉඳලම දැකල තියෙන්නේ අපේ පවුලේ පොඩි එකා අම්මට හුරතල් වෙනව විතරයි. පොර තමයි පොඩි කාලේ හැමදාම අම්මට තුරුළු වෙලා නිදාගන්න ගියේ හෙම.
මට ලැබුනේ ඇඳේ බිත්තිය අයිනේ කොණ තමයි හැමදාමත්!
පිරිමි අපිට, අපේ තාත්තලා පොඩි කාලේ ඉඳලා අපි වෙනුවෙන් කරපු දේවල් වලට කළගුණ සැලකීම ලේසියි වැඩක්. අපිට කරන්න තියෙන්නේ අපිත් අපේ දරුවන් ට හොඳ තාත්තලා වෙන එකයි.
මේ අහස්ගව්ව බ්ලොග්කාරිය නොකළාට අම්මලාට හැකි පරිදි තෑගි බෝග අරන් දෙන එකත් අපේ යුතුකමක්. අඩු ගණනේ අවුරුද්දටයි, අම්මගේ බර්ත් ඩේ එකට වත්.
ඔන්න, මං කැම්පස් එකෙන් අවුට් වෙලා, ස්ථිර රැකියාවකට ගිහින් අවුරුද්දක් විතර යනකොට මට සිස්සස්සයක් ලැබුණා පස්තාච්චි අදින්න යන්න (හෙවත් පශ්චාත් උපාධියක් කරන්න යන්න). වැඩ කලේ රාජ්‍ය අංශයේ සංස්ථාවක නිසා අවුරුදු දෙකකට විතර පඩිත් එක්ක නිවාඩු ගන්නත් පුළුවන් වුණා.
පර්සනල් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇහුව්වාම තමයි මතක් වුනේ නිවාඩු ඉන්න කාලේ පඩිය යවන්න බැංකු ගිනුමක් ඕනැ බව. ඒ වෙනකං කලේ, මාසෙ විසිපස් වෙනිද හම්බ වෙන පඩි පැකට් එක කමිසෙ උඩ සාක්කුවේ දාගෙන, ඊලඟ මාසේ පඩිය හම්බ වෙනකං වියදම් කරපු එකයි.
ඔන්න ඉතිං රට පැටවෙන්න දවසකට කලින් ලංකා බැංකුවේ ගිනුමක් දාලා, ඒ ගිනුමෙන් තාත්තගේ ගිනුමට සල්ලි ටික යන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් දැම්ම.
තාත්ත ගේ ගිනුමට සල්ලි ටික යන්න දැම්මෙ, ඒ දවස්වල තමයි තාත්ත අපේ ගෙදර හැදුවේ. ඒ වැඩපල වලට ගන්නයි.
ඉතිං, මං අර තායිලන්තෙ පස්තාච්චි ඇද ඇද ඉන්න කාලෙ, සංස්ථාවෙ පඩි වැඩි කළා අපි හැමෝගෙම. පඩි වැඩි වුණාට ඉතිං බැංකුවේ ස්ටෑන්ඩින් ඕඩර් එක වෙනස් කලේ නෑනෙ. අවුරුදු දෙකක් විතර ගිහින්, උපාධි ලෝගු දාල ෆොටෝ අරගෙන ආපහු ලංකාවට එනකොට මෙන්න බොලේ මගේ ගිනුමේ සල්ලි ටිකක් ඉතුරු වෙලා.
ගෙදර ආපු දාට පස්සෙන්දම මොකද දන්නවද කලේ.
ගියා බැංකුවට, ගත්ත සල්ලි ටික, එතනින් සිංගර් එකට ගියා, ගත්ත ඒ සල්ලි වලින් ගන්න පුළුවන් ලොකුම ටී.වී. එකයි, ඇන්ටෙනා එකකුයි. යාන්තං, ත්‍රී-වීලර් එකට රුපියක් දෙසීයක්(+) විතර ඉතුරු වුණා.
වීරය වගේ ගෙදර ඇතුලට ටී.වී. එක අරං ගිහින්, වොරන්ටි කාඩ් එක අම්මට දීල වැඳපු වෙලේ මගේ හිතට ආපු සන්තෝශය කියල නිම කරන්න බෑ.
ඒ වොරන්ටි කාඩ් එකේ තියෙන්නේ මගේ නම නෙමේ, අම්මගේ ම නම කියල දැක්ක වෙලේ, අම්මටත් ඒ වගේම සතුටක් දැනෙන්න ඇති.
දැන් මෙන්න එඩ්වර්ඩ් ජයකොඩි ගේ ගීතයකින් කොටසක්.
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
ගෙදර දොරට දුන්නේ මං, හිතේ මනාපෙන්
-කතන්දරකාරයා
ප/ලි
සින්දුවකින් පටන් අරගත්තු මේ ජීවිතේ සින්දුවකින්ම අවසාන කළා වගේ අපේ මුළු ජීවිතේම එකම ගීතයක් කරගන්න පුළුවන් නම්?
Friday, 10 December 2010
තාත්තා ගැන මතකයෙන් බිඳක්
මං මේ බ්ලොග් එක පටන් ගත්තේ කෙලින්ම මගේ ජීවිතය ගැන ලියන්න නෙමේ. ලියපු හැම කතන්දරයක්ම මං ලිව්වේ හැකි උපරිම දුරට කතාවේ පෞද්ගලිකත්වය බැහැර කරලායි.
ඒ ප්‍රතිපත්තිය වෙනස් කලේ මුලින්ම 2010 අප්‍රියෙල් මාසයේ තාත්තා අසනීප වීම ගැන ලියන්නයි, ඊ-ලඟට තාත්තා ගේ මරණය ගැන ලියන්නයි විතරයි.
දැන් ඉතිං, ඒ සේරම ඉවරයි. තාත්තා ගේ මළගම නිමවී හත් දවසේ දානයත් දී හමාර වුණා.
ආපහු මගේ කතන්දර මූඩ් එකට එන්න කලින් කළ යුතු වැඩ දෙකක් තියෙනවා.
එයින් මුල්ම වැඩේ තමයි, තාත්තා ගේ මරණය ගැන මං දාපු සටහන බලා, තමන් ගේ කණගාටුව ප්‍රකාශ කළ අයට ස්තුති කිරීම.
දුක හිතට තදින් දැනෙන කාල වකවානුවක සිය ගණනක් වූ ඒ පණිවුඩ දැකීමෙන් මගේ සිත තරමක් සංසුන් වුණා කියල කියන්න පුළුවන්. ඒ හැම දෙනාටම මගේ ස්තුතිය.
ඉරිද උදෙන්ම මළ ගෙදර ආවා බුද්ධි ප්‍රසාද් (මැරියන් එක්ක) සහ හර්ෂනී නාකන්දල (ඥාති පුත්‍රයෝ දෙන්නෙක් එක්ක) දුර බැහැර පලාත්වල ඉඳලා. ඒ දෙන්න එක්ක කතා බහ කරන්න පටන් අරන් විනාඩි දහයකට විතර පස්සේ තමයි ඇත්තටම මං නින්දෙන් අවදිවුනේ. මළ ගෙදරින් ඔවුන් නික්ම යන්න සූදානම් වී ආචාර කළ මොහොත මට හරිම සංවේදී වූ අවස්ථාවක් වුණා.
එදා හවස මළ ගෙදර ආපු තිස්ස දොඩන්ගොඩ, වැප් නිශාන්ත, අභීත, පසන් මධුරංග, ජේ.ඩී. සහ දිල්ෂලා එක්ක කතා බස් කරමින් ඉඳින්න ලැබීමෙනුත් හිතට ලැබුනේ ලොකු සහනයක්.
චානුක වත්තේගමත්, ප්‍රසාද් වීරසේකර සහ මාලතී කල්පනා යුවලත් එදා හවස් වරුවේ මගේ දුක බෙදා ගත්තා.
පසුව දා අවසාන කටයුතු කෙරෙන මොහොතේදී ලිහිණි කියපු වචන කීපයටත් ස්තුතියි.
මීලඟට මට අවශ්‍යයයි තාත්තා ගැන වචන කීපයක් ලියන්න.
අපේ තාත්තා ගේ ජීවිතයේ ආදර්ශමත් ලක්‍ෂණ ගොඩක් තිබුණා.
තමා උපන් කාලයේ ගම්බදව තිබුණු අධ්‍යාපන රටාව අනුව යමින් වයස අවුරුදු දහනමයේ දී ගුරුවරයෙක් ලෙස සේවය පටන් ගත්තු මගේ තාත්තා, මුලින් ම සිංහල පුහුණු ගුරුවරයෙක් විදියටත්, ඊලඟට ඉංගිරිසි පුහුණු ගුරුවරයෙක් විදියටත් ගුරු විද්‍යාල වල ඉගෙනුම ලැබුවා. ඉන් පස්සේ ලන්ඩන් උසස් පෙල සඳහා ඉගෙන ගත් තාත්තා, වැඩිහිටි ශිෂ්‍යයෙකු විදියට විද්‍යෝදය සරසවියෙන් ඉතිහාසය, භූගෝලය සහ සිංහල විෂයයන් සඳහා බී.ඒ. උපාධිය අරගත්තේ වයස අවුරුදු හතලිස් තුනේ දී. ඉගෙන ගන්න වයස ප්‍රශ්ණයක් නෙමේය කියන එකයි මෙතනදී අපිට ගත හැකි ලැබුණු ආදර්ශය.
මගේ මතකයේ හැටියට, තාත්තා කවදාකවත් තමන් ගේ අදහස් මට බලෙන් පටවන්න ගියේ නෑ. තාත්තගෙයි මගෙයි දේශපාලන අදහස්, නොයෙකුත් සමාජ ප්‍රශ්ණ ගැන අදහස් වෙනස්. මට ප්‍රශ්ණ දෙස තුන්වෙනි ඇහැකින් වුනත් බලන්න හැකි වුනේ තාත්තාගේ ඒ නිවරැදි ක්‍රියා පිළිවෙත නිසයි.
තාත්තා ධාර්මික ජීවිතයක් ගත කළා. සුරාව, සූදුව දුෂ්චරිත ක්‍රියාවේ නිරත වුනේ නෑ. දිනපතා පන්සිල් ගන්න, පන්සල් යන, බණ පොත් කියවන උපාසකයෙක් නොවී ධාර්මිකව ඉන්න පුළුවන් බවට තාත්තා අපට දුන්නේ ඉතා හොඳ ආදර්ශයක්.
-කතන්දරකාරයා
ප/ලි
හැකි විගස සුපුරුදු කතන්දර යලි ඇරඹෙනු ඇත!
Friday, 3 December 2010
ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි
මේ ලෝකේ උපදින හැම දෙනෙකුට ම වෙන දෙයකට මුහුණ දෙන්න දැන් සුළු මොහොතකට කලින් මට සිදු වුනා.
ඒ තමයි මගේ තාත්තා ගේ මරණය පිළිබඳ ආරංචිය ලැබීම.
හිතේ දුක් ගින්න දරාගැනීම මං මේ මොහොත වෙන තුරු හොඳට කරනවා.
මගේ තාත්තාට නිවන් සුව ලැබේවා!
මිතුරෙකු ගේ තාත්තා ගේ මරණය ගැන ආරංචි වී මා ඔහු වෙනුවෙන් ලියූ මේ කවි කිහිපය කියවන මෙන් ඉල්ලා සිටිමි.
මිතුරා ට ලියූ ලිපිය
පියා මිය ගිය පුවත
ලැබ සිත වුවද කම්පිත
සඟවා කඳුළු නෙත
මා කියන බස අසන් පිය මිත
උපන්නොත් මෙලොවේ
දිනක මරණය හිමිවේ
මෙය බුදු දහම වේ
සියළු දේ ලොව නැසෙන සුළු වේ
ඔබ අද ලැබූ එම
දුක් බරිත පණිවිඩයම
මතු දිනයකදි මම
ලබන්නෙමි නැත කිසි සැකක් හෙම
එය අවසන නොවේ
දුක එලෙස නිම නොමවේ
අප පුතුනට ලොවේ
දිනෙක මේ දුක් පුවත හිමි වේ
අප කුඩා කල දී
හොඳ නරක පහදා දී
ගුණ දම් කියා දී
පිය මෙහෙය දෙවි කමට පරදී
අප උපන්දා සිට
පියවරුන් කල සේවෙට
ඇති ණය ගෙවන්නට
කෙලෙස නම් හැකි වේද අප හට
දුක් වන්නට එලෙස
කාරණා නැත කිසි ලෙස
මා කියන මේ බස
අසා සැනසෙන් මා මිතුර යස
ගත් ණය ගෙවන්නේ
ආපස්සට නොවන්නේ
පිය නම රැකෙන්නේ
ඉදිරි පරපුර රැකුනොතින්නේ
පිය ගුණ සිහි කරමු
හොඳ දූ පුතුන් සාදමු
හොඳ පියවරුන් වෙමු
පියාණන් ණය එලෙස පියවමු
-කතන්දරකාරයා
Thursday, 2 December 2010
සිංහල ලෙස්බියන් සින්දුව දන්නවාද? A Sinhala Lesbian Song?
කාලෙක ඉඳල මං මේ කතන්දර බ්ලොග් එකෙන් සින්දු ගැන කතන්දර ලියනව. මුලින්ම ලිව්වෙ මුහුදෙන් ගෙම්බෙක් ගැනයි. එම්.එස්. ප්‍රනාන්දු ගැන ගැන පොඩි කතාවතුත් ලිව්ව.
ඉන් පස්සෙ, අළුත්ම අළුත්, බ්‍රෑන්ඩ් නිව් සින්දු තුනකුයි, වෙන්ඩ සින්දු දෙකකුයි අපේ සිංහල බ්ලොග් අවකාශයේ මුදාහැරියා.
වෙන්ඩ සින්දු තමයි:
1. කතන්දරකාරයා හාමිනේට ලියූ නාඩගම් ගීතය සහ
2. නාන කාමරේ ගීතය
බ්‍රෑන්ඩ් නිව් සින්දු තමයි:
1. ඇම්.පී.ත්‍රී සහිත අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ?
2. ඇම්.පී.ත්‍රී සහිත හන්තානේ ලව් සෝන්ග් එක
3. යූ. ටියුබ් සහිත ටැබූ සබ්ජෙක්ට්ස් ගීතය.
තවත් ඇම්.පී.ත්‍රී සහිත සින්දු තියෙනවා, පසු කාලීනව බෙදාහරින්නම් ඉඩ ලැබෙන විදියට.
අද මාතෘකාවේ තියෙන ප්‍රශ්ණය මගේ හිතට ආවේ, අපි දන්න සමහර සින්දුවල ඒවා ලියපු, ගයපු අය සමහරවිට නොදැක්ක තේරුම් ශ්‍රාවක අපට තේරෙන බව මතක් වෙච්ච වෙලෙයි.
මෙන්න කවුරු කවුරුත් දන්න උදාහරණ කීපයක්.
1. මැවිලා පෙනේවි රූපේ
මං හිතන්නේ ඔය සින්දුව තියෙන්නේ කැලෑ හඳ කියන මූවී එකේ. කෙල්ලෙක් තමන්ට අතරමගදී හමු වුණු හැන්ඩ්සම් කොල්ලෙක් ගැන යි කියන්නේ - කොල්ලගේ රූපය කෙල්ලට මැවිලා පේනවාය කියලා.
නමුත් රුක්මනී දේවී ආච්චි ඕක කියන විදියට අපිට තේරෙන්නේ මැවිලා පෙනේ විරූපේ කියායි. ඒ කියන්නේ මේ කොල්ලව හීනෙන් දැකලා බය වෙලා කියන සින්දුවක්.
2. සන්නාලියනේ කාටද ඇඳුම වියන්නේ
සරෝජිනී නායිඩූ කියන ඉන්දියන් කිවිඳියගේ වීවර්ස් කියන කවිය ආශ්‍රයෙන් මහගම සේකර ලියලා, අමරදේව කියන මේ සින්දුවේ තියෙනවා වැරදි ගොඩක්. අපි දන්න පරිදි සන්නාලියෝ ඇඳුම් මහනවා. රෙදි වියන්නෝ රෙදි වියනවා. සන්නාලියෝ මහනවා මිස වියන්නේ වත්, රෙදි වියනවා මිස ඇඳුම් වියන්නේවත් නෑ.
3. වන දෙව් ලිය තුරුලේ
ක්ලැරන්ස් ලියපු, ඉන්ද්‍රානි කියන මේ සින්දුවත් කොමඩි ඔෆ් එරර්ස් වර්ගයේ එකක්.
මේ සින්දුවේ පෙර කල සිත්තරුවෝ, බිතු සිතුවම් නෙළුවෝ කියල කිව්වට අපි දන්නවනේ සිතුවම් අඳිනවා මිස නෙලන්නේ නැති බව. නෙලන්නේ පිළිම. හැබැයි ඒව නෙලන්නේ සිත්තරවෝ නෙමෙයි. සිත්තරුවෝ කරන්නේ චිත්‍ර අඳින එකයි.
ඊලඟට මේ සින්දුවේ තියෙනවා- දහස් ගණන් නරඹා සීගිරී බැස යනවා කියලා. මේ කියන්නේ සීගිරි කියන කෙල්ල කෝච්චියකින්වත් බැහැල යන එකක් ගැනද, නැත්තං, සීගිරි ගල දැන් තියෙන තැනින් පල්ලෙහාට බැහැල යාමක් ගැනද?
4. පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ
සිසිර සේනාරත්න ගේ මේ සින්දුව අහන කොට අපිට වැඩිය ක්ලික් වෙන්නෙ නෑ මොකක්ද මේ සෙවි කළ කියන්නෙ කියල. සෙව්ව බැලුවා කියන එකද? ඔන්න පිදුරු සෙවිලි කළ පැල්පත් ගැන නං අපි දන්නවා.
මේ වගේ තව උදාහරණ දන්න අය ඉන්නව නං ලියල යන්නකෝ.
ඔය සේරම දේවල් දැන දැන සිද්ද වෙච්ච වචන වැරදි කියලයි මට හිතෙන්නේ.
සිංහල ලෙස්බියන් සින්දුව නං එහෙම එකක් නෙමේ, ලියපු, කියපු අය හිතන්නෙවත් නැතුව අහන අපි පස්සෙන් පහු හිතාගත්තු එකක්. ඔය සින්දුව ලියවුණු, කියවුණු, කාලේ ලෙස්බියන් කියන වචනේ වත් තියෙන්න නැතුව ඇති ලංකාවේ.
බලමු කවුද මේ ගැන දන්නේ කියලා?
-කතන්දරකාරයා
ප/ලි
පොඩි හින්ට් එකක් දෙනව නං, මේ සින්දුවේ මුල් ගායිකාවගේ පරණ වර්ෂන් එකයි දැන් කියන ගායිකාවගේ කොපි කැට් අළුත් වර්ෂන් එකයි දෙකක් තියෙනවා. හැබැයි දැං ඇහෙන්නේ අළුත් වර්ෂන් එක විතරයි. හුඟ දෙනෙක් පරණ වර්ෂන් එකක් ගැන අහලාවත් නෑ.
Subscribe to:
Posts (Atom)