Thursday 18 March 2010

තමන්ට තියෙන ක්ලාස් එක කරගෙන ඉන්නවකෝ ඕයි...!!!


රසික සූරියආරච්චි ගේ සිව් සිත් කව් කියන කවිපොත ගැන මං දාපු සටහන මතකයි නේද?

ඒ පොතේ තියෙන මං වඩාත්ම කැමති එක කවියක් තමයි දේශපාලන විද්‍යා තලකැරළි වෙළඳාම කියන කවිය.

ඒ කවියෙන් විස්තර වෙන්නේ දේශපාලන විද්‍යාව පිළිබඳ අවුරුදු හතරක උපාධියක් කරල, ඒකෙන් ගෞරව පන්ති සාමාර්ථයක් (එහෙම නැත්තං, ක්ලාස් එකක්) එක්ක පාස් වෙච්ච කෙනෙක් තමන්ගේ උගත් කමට ගැලපෙන පිළිගත් ආකාරයේ රැකියාවක් නැති නිසා, ගෙදර තලකැරළි හදල, ඒව තමන් ඉගෙන ගත්තු විශ්ව විද්‍යාලයේ කැන්ටින් වල විකුණන්න දාපු එක ගැනයි.

ඒක සත්‍ය කතාවක්. ලංකාවේ පවතින දේශපාලන විජ්ජාවේ ප්‍රායෝගික යෙදුම් ගැන තාත්වික උදාහරණයක්.

ඔය කවිය ටයිප් කරන වෙලේ මට මතක් වුනා මේ වගේම තව කතන්දරයක්.

ඔන්න අපේ පොරක්, ඔය තල කැරලි පොර වගේම යුනිවසිටි එකෙන් අවුට් වුනා. ටිකක් කල් බැළුව ජොබ් කට්ටක් හොයා ගන්න හතර අතේ ඇප්ලිකේෂන් දම දමා.

අන්තිමේදී, ඉතිං එන පොට හොඳ නැති හින්ද පොර තීරණය කළා, තමන්ගෙ ප්‍රතිපත්ති පැත්තකට දාල දෙමව්පියන්ගෙ කීමට අනුව පලාතේ මන්ත්‍රීතුමා හමුවෙන්න යන්න. අවුරුදු විසි පහක් විතර වෙන්නත් ඇවිත්, තව කාලයක් දෙමව්පියන්ගෙ සල්ලි වලින් කාල ඇඳල දෙමව්පියන්ට බරක් වෙලා ඉන්න කැමති කොයි කොල්ලද?

ඉතිං, මන්ත්‍රීතුමා ගමට එන දවසක් බලල, තාත්තත් එක්ක පොර ගියා එතුමා ව හම්බ වෙන්න.

තමන්ගෙ වාරෙ ආවහම දෙන්නම කාමරේ ඇතුලට ගියා. තාත්තව මන්ත්‍රීතුමා ටිකක් අඳුණනව. ඔන්න දෙන්න හිටගෙනම එතුමා එක්ක කතාවට බැස්ස.

තාත්තාඃ "සර්, මේ මගේ ලොකු පුතා, විස්ස විජ්ජාලෙ ඉගෙන ගෙන හොඳට පාස් වෙලා දැන් ගෙදර ඉන්නේ."

මන්ත්‍රීතුමාඃ "බොහොම හොඳයි, බොහොම හොඳයි!"

තාත්තාඃ "රස්සාවක් හොයාගන්න සර්ගෙන් උදව්වක් ඉල්ල ගන්නයි ආවේ."

මන්ත්‍රීතුමාඃ "බොහොම හොඳයි, බොහොම හොඳයි!"

තාත්තාඃ "මොනවද සර් ඉතිං අපි මේ ගැන කරන්න ඕනැ?"

මන්ත්‍රීතුමාඃ "ආණ්ඩවෙ ගැසට් එක බලල ඇප්ලිකේෂන් දාන්න. ඉන්ටර්වීව් එකට ගෙනියන්න මං ලියුමක් දෙන්නං."

මෙතෙන්දි පුතාටත් හිතුන පොඩ්ඩක් කට දාන්න.

පුතාඃ "සර්, මට ක්ලාස් එකකුත් තියෙනව උපාධියට."

මන්ත්‍රීතුමාඃ "බොහොම හොඳයි, බොහොම හොඳයි! ඉතිං එහෙනං ළමයෝ ඒ ක්ලාස් එක කරගෙන ඉන්නවකෝ, ආණ්ඩවෙ ජොබ් ම හොයන්නෙ නැතුව. දැං, අපේ ආණ්ඩුවත් හදන්නේ තරුණ පරපුර වැඩි වැඩියෙන් ස්වයං රැකියා වලට යොමුකරන්න තමයි. ඕක අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමත් නිතරම කියන දෙයක්."

කාලා වරෙංකෝ!

අපි නොදන්න ක්ලාස්!!

කතන්දරකාරයා

10 comments:

  1. ඒත් මේ දවස්වල නම් සිද්ද වෙන්නේ class කර කර හිටපු අයත් ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු මංත්‍රී රස්සාව කරගන්න try කරන එක

    ReplyDelete
  2. ඒ කා‍ලෙත් සුදු ඇදන් බණ කියන මහත සාධුලගේ මොලේ කඳුලක් වත් තිබිලා නෑ වගේ... :D

    ReplyDelete
  3. ගෞරව පන්ති සාමාර්ථයක් තියෙනවා කියලා කිව්වනම් ඉවරනෙ.. සිංහලෙන් "ක්ලාස්" කියන්නෙ ටියුෂන් පන්ති වලටනෙ... හිකිස්..

    ReplyDelete
  4. සිංහලෙන් ක්ලාස් කියන්නෙ ටියුෂන් පන්ති වලටනෙ..

    ReplyDelete
  5. අර කතාව්ක් තියෙන්නෙ "ෆෑකල්ට්යෙ ඩීන්" කිවුවම ඔයකියන්නෙ මුස්ලිම් හාදයෙක් ගෑන ද කියල ඈහුව්ලු.

    තව එකක්, ඩෙන්ටල් ෆෑකල්ට්යෙ ඩෙන්ටල් චෙයාර්ස් නෑ කිව්ව්ම "මම හෙටම 100 ක් එවන්න්ම් කිව්වලු.

    ReplyDelete
  6. අපරාදේ නේ කට දැම්මේ

    ReplyDelete
  7. හික්ස්! ඒ කාලෙත් දැන් වගේ තමයි එහෙනම්
    @gamini ඇයි තව කතාවක් තියෙන්නෙ...කම්කරු ඇමති ඉස්පිරිතාලෙට ගිහින් ලේබර් රූම් එකක් දෙන්නම් කිව්වලු.

    ReplyDelete
  8. මගෙත් ඉන්නව යාලුවෙක්, මිනිහා මන්ත්‍රි කෙනෙක් ලග ඉන්න ලේකම් බුවෙක්? දවස ගානේ පවත්වගන යන්න ඕන ෆයිල් වගේකට එක දවසත් ලියුම් වගයක් දාන්න අමතක වෙලා පොරට. පොර මන්ත්‍රිගෙන් ඈහැව්වලු සර් ඊයේ බැරි වෙච්ච ලියුම් ටික අදඅ(other) ෆයිල් එකට දාන්නද කියලා! අද ඒවාට දාන්න එපා මනුස්සයෝ දිනේ කපලා ඊයේ එකටම දාන්ඩ කිව්වලු.

    ReplyDelete
  9. ඉතින් ඊට පස්සේ ඒ හාදයා ක්ලාස් එකකුත් කරගෙන හිටියද?

    ReplyDelete
  10. කතන්දර

    ඔයා මාව සොයලා තිබ්බා පහුගිය දවස්වල. මොකක් හරි අවුලක් ද?

    වියවුල් න්‍යාය ගැන මේ දවස්වල කියවනවා. මොන ප්‍රශ්නෙ ඇහුවත් මේ දවස්වල මම උත්ත‍ර දෙන්නේ ඒකෙන් තමයි!!!

    ක්ලාස් කතාව නියමයි. පුංචි මාලුවො ඉන්නෙ ලොකු මාළුවො අල්ලන්න නේ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.