Monday 8 March 2010

තඩි ප්‍රියන්ත, ලොකු අතුල සහ හොඳ සුරන්ජිත්


එක වගේ දේවල් දෙකක් හෝ ඊට වැඩිය තියෙන කොට එහෙම නැත්තං එක වගේ අය දෙන්නෙක් හරි ඊට වඩා හරි ඉන්න කොට මේ අය වෙන්කරල අඳුන ගන්න අපිට ක්‍රමයක් ඕනැ වෙනව.

අපි හැමෝටම නම් දාල තිබුනට එකම නම කී දෙනෙකුට තියෙනව ද? සුද්දන් අතර නම් ජෝන් ල, පීටර් ල, මයිකල් ල වැහි වැහැල. සිංහල නම් නං පරම්පරාවෙන් පරම්පාරාවට වෙනස් වෙන හින්ද වැඩේ නරකම නෑ.

ඒත් ඉතිං නිමල් ල, සරත් ල, සුනිල් ල, රංජනී ල, මල්ලිකා ල කොච්චර ඉන්නවද ලොකු පරම්පරාවල, පොඩි පරම්පරාවල ත් නදුන් ල, සඳුනි ල, රොෂාන් ල, නිලූෂි ල වැහි වැහැල.

එකම මුල් නම තියෙන දෙන්නෙක් හිටියොත් ඒ දෙන්නව වෙන් කරල අඳුනගන්න තව නාම විශේෂණයක් ඕනැ වෙනව.

මේ කතන්දර මාතෘකාවෙ මුල් නම් දෙක, ඒ කියන්නෙ තඩි ප්‍රියන්ත සහ ලොකු අතුල කියන නම් දෙක ඒවගේ හැදිච්ච ඒවා මයෙ හිතේ. ඔය කියන දෙන්නම දැන් ලේඛකයො.

ඒ කාලෙ කෙට්ටු ප්‍රියන්ත කෙනෙක් ඉන්න ඇති ප්‍රියන්තගෙ ක්ලික් එකේ. පොඩි අතුල කෙනෙක් ඉන්න ඇති අතුලගෙ ක්ලික් එකේ.

ඔය සේරම කතා ලිව්වෙ මෙන්න මේ කතන්දරේ කියන්නයි.

ඒ දවස්වල අපේ හොඳ යාළුවෙක් හිටිය නම සුරංජිත්. කාලයක් යන කොට අපිට තව පොරක් සෙට් වුනා. මෑන්ස් ගෙ නමත් සුරංජිත්. ඉතිං මොකද කරන්නෙ? එකෙක් ගැන කතා කරන්න බැහැ අනික කියල පැටලෙනව.

ටික දවසකින් ප්‍රශ්ණෙ විසඳුනා.

එදා ඉඳල පස්සෙ සෙට් වෙච්ච පොරට නම වැටුන හොඳ සුරංජිත් කියල. අනිත් පොරට අමුතුවෙන් විශේෂණ දාන්න මහන්සි වෙන්න ඕනැ වුනේ නෑ.

තාමත් හොඳ සුරංජිත් කිව්වහම කවුරුත් දන්නව මේ කා ගැනද කතා කරන්නෙ කියල. ඒ එක්කම එදා වගේම අපි හැමෝටම හිනා යනව.

අපේ ඔරිජිනල් සුරංජිත්ටත් එදා වගේම අදත් නහුතෙට කේන්ති එනව ඇති.

කතන්දරකාරයා

ප/ලිඃ මේ කතන්දරේ මතක් වුනේ සුදන්ත සාදුගෙ කතාව බලනකොටයි.

9 comments:

  1. අපේ සෙට් එකෙත් හිටියා ආත්මාරක්ෂක සටන් ක්‍රම හදාරපු යාලුවො දෙන්නෙක්. එක්කෙනෙක් ''ජෙට් ලී'', අනිකා ''ෂැවොලිං''

    ReplyDelete
  2. "පොඩි අතුල කෙනෙක් ඉන්න ඇති අතුලගෙ ක්ලික් එකේ."

    1971 අප්‍රේල් කැරැල්ලට පෙර සමයේ ජනතා විමුක්ති පෙරමුණේ අතුලලා තුන්දෙනක් සිටියහ. මේ කිසිවකුගේ මුල් නම අතුල නොවේ. 'අතුල' යන නම යොදා ගන්නා ලද්දේ මාර්ටින් වික්‍රමසිංහගේ 'රෝහිනී' නවකථාවේ එනමින් යුතු වීර චරිතය නිසාය. මෙය එවකට උසස් පෙළ සිංහල විෂය සඳහා පාඨ ග්‍රන්ථයක් වීම නිසා සැලකිය යුතු ජනප්‍රියතාවයක් දිනා ගත් පොතකි.

    'ලොකු අතුල' (නිමලසිරි ජයසිංහ ) කැරැල්ලේ තෙවන නායකත්වය ඉසුලූ අතර කිසි දිනෙක ලේඛකයකු නොවීය. පොලිතීසියෙකි. මගේ මතකය නිවැරදි නම් ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ 'පොඩි' ඇමතිවරයකු විය.

    'පොඩි අතුල' (වික්ටර් අයිවන්) දැනට රාවය පුවත්පතෙහි කතුවරයාය. එසේම ප්‍රකට ලේඛකයෙකි. 'අතුල' නමට ඔහු කෙතෙක් ආදරය කළේද යත් තම පුතා එනමින් නම් කොට ඇත.

    වැඩි ප්‍රසිද්ධියක් නොදැරූ තෙවැන්නා 'බටපොළ අතුල' ය. මතක හැටියට ඔහු කැරැල්ලේදී මිය ගියේය.

    ReplyDelete
  3. අපිත් ඉතින් වජිරලා දෙන්නව අඳුනගන්න පාවිච්චි කලේ ඔය ලොකු, පොඩි කෑලි දෙක තමා. පොඩි වජිරට තව විශේෂණයක් තිබ්බ. ඒත් ඒක කියන්න අමාරුයි. මගේ කතාව ඉස්සරහට කියවනකොට හිතා ගන්න පුලුවන් වෙයි ඒ මොකද්ද කියල. තව අපේ සුනන්දලත් දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් පේර සුනන්ද. එයාගෙ ගමේ නමේ පේර කියල කෑල්ලක් තිබ්බ නිසා. අනිත් එක්කෙනා ජම්බු සුනන්ද. මූණ ජම්බු ගෙඩියක් වගේ නිසා.

    ReplyDelete
  4. මම ඉස්කෝලෙ යන කාලෙ මෙහෙම නම් පල හිලවුවක් උනා. හැබැයි වැඩේ කියන්නෙ පැටලුනේ පටබැදපු නම් දෙකක්
    ඉස්කෝලෙ 1,2 වසරවල විතර ඉන්නකොට පන්තියේ හිටිය කලිසමේ කක්ක දාගන්න එකෙක්. මිනිහට නම දාල තිබ්බෙ "කක්කි බබී" කියල.2දි හෝ 3 වසරෙදි පන්ති මාරු කරද්දි පන්තියට ආව තව කක්කි බබී කෙනෙක්. දැන් ඉතින් එක පන්තියෙ කක්කි බබීල දෙන්නෙක් ඉන්න බැහැනෙ. දෙවැන්නට දැම්ම "කක්සි බබ්ස" කියල.

    ReplyDelete
  5. @ බුද්ධි
    අපි එක්ක හිටිය කරාටේ කාරයාට නං කීවේ කොස් ලී කියලායි

    @ ටැබූ
    ඔබේ මතකය හරි. ඇයි තඩි ප්‍රියන්ත ගැණ දන්නේ නෑද්ද? මුං තුල්ලේ හාදයෙක් නේද?

    @ රේවන්
    අපි නං අක්කි ටයි කක්කි අක්කි කියල කියන්නෙ.

    කතන්දරකාරයා

    ReplyDelete
  6. "ඔබේ මතකය හරි. ඇයි තඩි ප්‍රියන්ත ගැණ දන්නේ නෑද්ද?"

    අහා, මොකද නොදන්නෙ? පොතක් ලියතෑකි මා ඔහු ගැන දන්නා තොරතුරු වලින්. ඉතාම ශූර ලෙස තමන්ගේ ස්ථාවරය ආරක්ෂා කර ගැනීමට හැකි පුද්ගලයෙක්, කවර කඳවුරක හිටියත්. ළඟදිම බ්ලොග් පෝස්ට් එකක් ලියන්නම්.

    ReplyDelete
  7. අපේ පංති වල හිටියා නදීශා ලා ගොඩක්.. අපිත් එහෙම තමා නම් දැම්මේ.. කළු නදීශා.. නපුරු නදීශා..පොඩි නදීශා වගේ

    ReplyDelete
  8. තඩි ප්‍රියන්ත යනු වම් ඉවුරෙන් කොළපාට සමාජයට ගොඩවී ගෝඨාස් වෝර් ලිවූ අප මහා සී ඒ චන්ද්‍රප්‍රේම ශ්‍රීමතාණන් නොවෑ.

    ReplyDelete
  9. මං හිටපු නාට්‍ය කිපයකම sounds කරන්න හිට්යෙත් තිළිණ කියල මට වඩා අවුරුදු කීපයක් බාල මල්ලි කෙනෙක්. but මිනිහා මට වඩා උසයි,මහතයි. ඉතින් මිනිහා හිටපු දවස් වල කණ්ඩායමෙ අයට පැටලෙන නිසා මට පොඩි තිළිණ කිව්වා, මිනිහට ලොකු තිළිණ කිව්වා. ඒ කෙන් උනේ පැටලිල්ල වැඩිවුන 1. මමයි මිනිහයි නැති තැනකදි මං ගැන කතාවෙනවනම්,
    "උඹ පොඩි තිළිණ කියන්නෙ ලොකු තිළිණද පොඩි තිළිණද ?" කියලයි
    මිනිහ ගැන කතා වෙනවනම්,
    "උඹ ලොකු තිළිණ කියන්නෙ ලොකු තිළිණද පොඩි තිළිණද ?" කියලා හමැටම අහන්න සිද්ද වෙනවලු... කොටින්ම මටත් සමහර දේවල් කතාබහ කරද්දි,
    "උඹ ලොකු තිළිණ කියන්නෙ මමද? පොඩි තිළිණද? " , "උඹ පොඩි තිළිණ කියන්නෙ මමද? ලොකු තිළිණද?" , කියලා අහන්න උන වෙලාවල් ආවා...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.