Sunday 7 March 2010

ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!


මේ ලඟදි දවසක බූන්දි ලයිව් ඊ-මේල් ලිස්ට් එකට පරණ ටෙලියක තිබුණු සින්දුවක් ගැන ඔත්තුවක් ඉල්ලල මේල් එකක් එවපු නොදුටු හිතවතෙක් මෙන්න මෙහෙම ලියල තිබුණ.

"බොහෝ කලක් සෙවූ මුත් ගීය හමු නොවුන හෙයින් සොයා දෙන කෙනෙකුට මතු භවයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජුයිලියාර්ඩ් මියුසික් ඇකඩමිය අසළ හෝ ඉන්දියාවේ භාත් ඛන්ඩේ අසළ උපදින්නට පින් අනුමෝදන් කරමි."

වෙනත් හිතවත් යුවලක් ඒක හොයල එව්වහම ආපු උත්තරේ මෙන්න මෙහෙමයි.

"මේ කර ගත්තාවූ කුසල කර්මයේ ආනිසන්සෙන් අක්කාට ලබන ආත්මයේ මැඩෝනාට හිමි තැන හෝ මන්ගේෂ්කාර්ට හිමි තැන ලැබේවා කියල ප්‍රාර්ථනා කරන අතරෙම අයියාට සී.එන්.එන් වැනි දැවැන්ත මාධ්‍ය ජාලයක හිමි කරු වීමට ලැබේවායි ඉත සිතින් පතමි."

මේක දැකපු වෙලේ මට මතක් වුනා හොඳ කතන්දරයක්.

ඩෝල්ටන් ල අමරදේවල කිව්වට සසර වසන තුරුම සිරි ලංකාවෙ ඉපදෙමු කියල, දන්නවනෙ, ඒව ඉතිං දශක ගණනක් පරණ කතා. බෝට්ටුවක නැගල හරි පිට රටකට පැනගන්න ඉන්න අපේ "විදේශප්‍රිය" ල නං අහුවෙයි ඕවට.

ඒ කොහෙම වුනත්, අපේ හාමුදුරුවරු නං පාංශුකූලෙ පින් අනුමෝදනාවෙදි විතරක් නෙමේ හැම තිස්සෙම කියන්නෙ මරණින් පස්සෙ දිව්‍ය සැප සම්පත් සහිතව සුගතියක ඉපදිලා කෙලවර අමා මහ නිවන් සුව අත්පත් කරගන්න කියලනෙ.

මරණින් පස්සෙ සුගතියක ඉපදෙන්න පැතීම තුලින් ම ආපසු ලංකාවෙ ඉපදීමේ option එක exclude කරන්න වෙනව නේද? අනේ මන්දා!

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න මං දන්න පවුලක ඉන්නව අවුරුදු නමයක විතර පොඩි කොළු පැංචෙක්. මේ මුළු පවුලම ටිකක් ආගම දහමට බර, නිතරම පන්සල් යන කට්ටිය.

අනේ ඉතිං ඔන්න එක දවසක අපේ කොළු පැටියගෙ සීය, ඒ කියන්නෙ අම්මගෙ තාත්ත මිය ගියා ය කියන ආරංචිය ආව. හදිසියෙමත් නෙමේ, ටික කලක් අසනීප වෙලයි හිටියෙ සීය.

ඉතිං හිතේ දුකින් අම්ම අඬන්න පටන් ගත්ත ඉකි ගහමින්. අපේ කොළු පැටියටත් හරි දුකයි. කොල්ල ගියා අම්ම ලඟට. අම්මත් ඉතිං පැටියව තුරුළු කරන් තවත් හයියෙන් අඬන්න පටන් ගත්ත.

අම්මට තුරුළු වෙලා ඉන්න ගමං පොඩි එකා කිව්ව මෙන්න මෙහෙම.

අඬන්න එපා අම්මි. සීය මළාට හොඳ තැනක ඉපදෙයි "හොලිවුඩ්" වල වගේ!

හොඳ තැනක ඉපදෙන්න කියල හාමුදුරුවරු ප්‍රාර්ථනා කරන කොට තුසිත දිව්‍ය ලෝකෙ වගේ නොදුටූ නොදන්නා තැන් ගැන අපි හිතාගන්නව. අඩු වශයෙන් මේ පොඩි ළමය තමන් ටෙලිවිෂන් එකෙන්, මූවි වලින් දැකල තියෙන තැනක් ගැනයි හිතාගෙන ඉඳල තියෙන්නෙ.

ඒ මිය පරලොව ගිය සීයා සසර වසනා තුරු සියළු සැප සම්පත් මැද "හොලිවුඩ්" හි ඉපිද අවසානයේ උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගනිත්වා!

සාදු, සාදු, සාදූ!

කතන්දරකාරයා

16 comments:

  1. නැවත ඉපදීම ගැන කියද්දි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ මරණයක් වෙලාවෙ හාමුදුරු නමක් කරපු කතාවක් මතක් උනා.

    උන් වහන්සේ කිවුව.

    "මෙතුමාට නිවන් සුව අත්වී නැවත නැවත අප අතරම උපදින්නට වාසනාව ලැබේවා" කියල.

    ReplyDelete
  2. සියම් නිකායෙ හාමුදුරුවරු දානෙකදි පින් අනුමෝදන් ක්රන්න මාර දිග හෑල්ලක් කියවනවා. මටත් ඉස්සර පාඩම් දැන් මතක නෑ. ඒකේ තියෙන දිව්‍ය ලෝක ඔක්කොම් වගේ මතක් කරනව.

    ReplyDelete
  3. මොනව කියන්නද තේරෙන්නේ නෑ. ඇත්තම ඇත්ත. මේ රටට යන කල...

    ReplyDelete
  4. අවුලක් නෑ. ඇයි හාමුදුරුවොත් "නිවං" ලෝකෙ ඉපදිලා නේ...!!!

    ReplyDelete
  5. @මිස්සක, තරිදු,
    එදා දිව්‍යලෝකවල හිටියයි කියන දිව්‍යාංගනාවො තමයි අද ඇන්ජලිනා ලා, ජෙනිෆර් ලා හෙම.

    ReplyDelete
  6. කතන්දරේ කියවල මට හිනා. එත් කොලු පැටියගෙ අම්ම මොකද දන්නෙ නෑ කලේ

    ReplyDelete
  7. මගේ පලස්තීන් ජාතික යාලුවෙක් ඉන්නව බොහොම ආගමට ලැදි, ලස්සන කෙල්ලොන්ට (අපි ඉන්න වෙලාවට පේන්න නම් )සෙම හලන්නෙ නැති, සැර බීම, වල බැහීම තියා film එකක් වත් බලන්න යන්නෙ නැති හාදයෙක්. මන් මිනිහගෙන් ඇහුව ඔහේ මෙහෙම ජීවත් වෙන එකේ අවසාන ඵලය, බල්ලපොරොත්තුව මොකද්ද කියල. මිනිහ කියනව මෙහෙම පුලුවාන් තරන් කල් ඉන්දල කවදහරි ආගම වෙනුවෙන් මැරෙන එකලු මිනිහගෙ පැතුම. ( ඒ කියන්නෙ Israel කාරයො ටිකක් මරාගෙන් මරෙන එක ). මන් එතකොට ඇහුව මොකද්ද උම්බට ආගම වෙනුවෙන් මැරෙන් එකේ ඇති පලය කියල..මිනිහ කියනව ඒ ගොල්ලන්ගෙ ආගමෙ තීන විදියට ආගම වෙනුවෙන් මැරෙන කෙනාට කෙලින්ම 7th heaven එකට යන්න ලබෙනවලු. මන් ඉතින් කිවුව ඔයා කොහොමත් දෙයියන්ට කීකරු ආගමට අනුව ඉන්න මිනිහනෙ, ඉතින් heaven යන එක කොහොමත් sure නෙ, මොකටද ආයි නිකන් මරාගෙන මැරෙන්නෙ කියල. මිනිහ කියනව නිකන් heaven එක වැඩැක් නෑ,. කෙලින්ම 7th heaven ම යන්න ඕනිලු. මන් ඇහුව මොනවද එකට ගියාම තීන වෙනස කියල...එතකොට මූ කියපි ඒකෙ තමයි ලස්සනම ගෑනු ඉන්නෙ, හොන්දම සැප...නියම කෑම සහ බීම සේරම තීනෙන් කියල..කොහොමද වැඩේ...මූ දැන් ගෑනු දිහා බලන්නෙ නෑ, බොන්නෙ නෑ පවු සිද්ද වෙයි කියල..බලන් ඉන්නෙ මැරෙන කල්, heaven එකට ගිහින් areas cover කරන්න්න.


    ( මෙය කිසිදු ආගමකට ගැරහීමක් හෝ විවෙචනය කිරීමේ අදහසින් ලියූවක් නොවේ..මෙවන් අත්තෝ කොයි ආගමෙත් කොහෙත් ඇති බව පෙන්වන්නට දැරූ උත්සාහයකි.සත්ය සිදුවීමක් බව නැවත අවදාරනය කරමි..)

    ReplyDelete
  8. මොනවා උනත් හරි ප්‍රැක්ටිකල් දරුවෙක්!

    ReplyDelete
  9. කතන්දරකාරයාගේ කතාව කියවද්දි මටත් ඔය මරණින් පසු පුද්ගලයෝ දෙන්නෙකුට වෙච්චච කතාවක් මකත් උනා. එක්කෙනෙක් ඉතාම යහපත් පුද්ගලයෙක්.අනිකා ඒ ගමේම බේබද්දෙක්. ගෑණු හොරෙක්.
    දෙන්න එකට ගමනක් යද්දි ඈක්සිඩන්ට් උනා. යහපත් පුද්ගලයා දෙව්ලොව ඉපදුනා. එයා දේව දූතයෙක් එක්ක දෙව්ලොව එයාට නියමිත රාජකාරිය වෙලා තිබුණු දිව්‍ය මන්දිරය අමදින්න පිටත් උනා. ඔහොම යද්දි අර බෙබද්දත් දිව්‍ය ලෝකේ ඉපදිලා. එයා අරක්කු පීප්පයක් ලග ලස්සන ගෑණු කෙනෙක් එක්ක ඉන්නවා. යහපත් පුද්ගලයාට මල පැන්නා. මම මෙච්චර හොදට ඒ ලෝකේ ඉදලා මට දේවදූතිකාවක් දකින්නවත් නෑ.
    ''ඈයි අර බේබද්දට අරක්කු පීප්යක් මදිවට ගෑණියෙකුත් දීලා තියෙන්නෙ.'' දේව දූතයගෙන් යහපත් පුද්ගලයා ඈහැව්ව.
    ''ඔයා දුක්වේන්න එපා... ඔය මිනිහා ඔහොම සතුටු උනාට ඔය අරක්කු පීප්පේ අඩියේ ලොකු හිලක් තියනවා.
    ''එතකොට ගෑනු කෙනා''
    ''ඒ ගෑණු කෙනාට.( බීප්...බීප්...)...නෑ'' දේව දූතයා කිව්වා.
    ඒක මිසක් යහපත් පුද්ගලයා හිනා උනා.

    ReplyDelete
    Replies
    1. 'ඒ ගෑණු කෙනාට.( බීප්...බීප්...)...නෑති උනාට තව විකල්ප දෙකක්ම බේබද්දට තියෙනවනේ

      Delete
  10. තරිදු...
    ඒකට අපි කියන්නේ පින් වාක්‍යය කියලා...
    දායක මහත්තුරුන් සහ උපාසක අම්මලාව දිව්‍යය ලෝකෙ පැත්තෙ හෙම ගෙනිහිල්ලා දිව සැපත් වළදවලා,ආයෙමත් මෙ ලෝකෙට ගෙනල්ලා මෙහෙ සැපත් වළදවලා...අන්තිමට ඔන්න ඔහෙ නිවනටත් යවලා දානවා..
    මම මහණ වෙලා ඉන්න කාලේ ඉතින් ඔය වාක්කිය නැතුව පින් දෙන්න හැදුවා ඒත් අපේ දායක ඇත්තන්ට හිතට මදි. අපේ ලොකු හාමුදුරුවරුත් මුණු කළු කර ගන්නවා. පස්සේ ඉතින් මගෙත් මොකෝ දීර්ඝ කරලාම කියලා දානවා.
    දැන්නම් සමහර කොටස් මතකත් නැහැ. දැනුත් මතක් කරගන්න බැළුවා ටික ටික මතක් වෙනවා..ඒත් ඔක්කෝම නෙවෙයි.

    ReplyDelete
  11. @මාරයා

    අප්පේ මම හිතුවෙ මම විතරයි මේකෙ ඉන්න හීරලුවා කියල. තවත් එක්කෙනෙක් ඉන්නවනෙ. සන්තෝසයි සන්තෝසයි, අප්‍රමාණ සන්තෝසයි.

    ReplyDelete
  12. Thanks all -
    ඔබ සියළු දෙනාගේ මේ ජීවිතය ද මතු ජීවිතද හොඳ ජොලි කතන්දරම වේවා!
    කකා

    ReplyDelete
  13. I read your story only today. Before coming to America I also thought like that small kid. "It’s a sin to be born in sri lanka and it’s a grace to be born in USA" But after spending couple of years here Now Not only I want to be born in sri lanka but also want to restart my life from the day which I won the green card.

    ReplyDelete
  14. ත‍රිඳු...
    අපිත් ඔන්න ඔහේ පාඩුවෙ ජීවත් වෙනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.