Tuesday 27 September 2011

හොඳම කවි බූට් කවි ද? Realisation


සාහිත්‍ය මාසය වෙනුවනේ මං මේ කයි-කතන්දර පලකරන්න පටන් අරං සතියකට විතර පස්සේ මං දාපු එක කවියක්, ඊට කලින් දාපු ඒවට වැඩිය චෝයි කියල බින්දි කියල තිබුණා. මං එදා කිව්වේ, කොහෙමටත් බූට් කවි තමයි නියම රහ තියෙන්නේ කියලයි. හරියට විරහ ගී වගේ.

අමරදේවගේ කඳුළු කතාවේ නිමක් දුටුව දා කියන හැපි එන්ඩින් ලව් සෝන්ග් වඩා මං කැමති මගේ කඳුලින් ඔබේ දෙනුවන් දොවා ලන්නට වරම් නෑ කියන විරහ ගීතයටයි.

මට මතකයි රෝහණ බෝගොඩ කියලා ගායකයෙක් හිටියා (ලඟදී සින්දුවක් ඇහුනේ නෑ ඒකයි හිටියා කියලා ලිව්වේ) මිනිහා කියන්නේම විරහ ගී විතරයි.

මේ පල්ලෙහා දාලා තියෙන කවි දෙකත් මං පේරාදෙනියේ හිටිය මුල් අවුරුද්දේ ලියපු මං කැමතිම කවි දෙකක්.

I: උපමාව

ඔබයි මමයි සඳුයි හිරුයි සේ කියා
උවම් යොදා කවක් ගෙතූයෙමි එදා
එනමුදු මට නොම සිහිවිය ඒ වෙලේ
සඳුයි හිරුයි කිසි කලකදි එක් නොවේ!෴



II: සත්‍යය

ඔබ
සඳ මෙනැයි මම සිතූයෙමි

මා නිවරදිය

සඳ දෙස බලා සැනසුනද
සඳට ලංවිය නොහැක

සඳෙන් බිඳුණද අඳුර
හිමිකර ගත නොහැක සඳ සදා!෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
සාහිත්‍ය මාසය ඉවර වෙන්න තව දින කීපයයි තියෙන්නේ. ඔහොම යමු, ඔහොම යමු!

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: Microsoft Clip Art)

32 comments:

  1. දැන් එහෙනං කය් කතන්දර ඉවර වෙන්න ඉතාම ළඟය්

    ReplyDelete
  2. කතන්දර ඔය Followers ගැජට්‍ටුව side bar එකක දාන්නකෝ! ඔය උඩින් දැම්මම මෙලෝ රහක් නෑනෙ

    ReplyDelete
  3. ඔබ හරි.. හරියට හරි!

    ReplyDelete
  4. @ Observer
    ඉතාම ලඟයි, නැවත ලබන සැප්තැම්බරයේ.
    සමහරවිට මං තනිවම Xmas in July වගේ අළුත් සාහිත්‍ය මාසයක් දාන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
  5. @ ඇනෝ - 6:17 AM
    සොරි මෙයා. එය දැනට කළ නොහැකෙ. පසුව සලකා බලන්නම්.

    ReplyDelete
  6. @ වැම්පයර්
    තවත් බූට් කාපු පොරක් වගේ?

    ReplyDelete
  7. විරහ ගී වලට තමයි බහුතරය කැමති..මමත් එසේමැයි..ඒ කියන්නෙ වැඩියෙන් අපි අත් විඳින්නෙ ආදරයට වඩා විරහවද ?

    ReplyDelete
  8. ඉරද හඳද?

    මහත්තුරු දෙන්නෙක් කන සාක්කුවේ දාගෙන බැලන්ස් කර ගන්න ලේසී නිසා දෙන්න බදාගෙන බාර් එකෙන් එළියට ආවලු. හෝල්ට් එකේ තව එකෙක් ඉන්නවලු කන පැලෙන්න බීලා.
    මහත්තුරු දෙන්න අරූගෙන් අහනවලු.
    මචන් අර ඉරද හඳද..?
    හරියටම කියන්න බෑ මචන් මම මේ පළාතේ නෙමෙයි.

    විරහ ගී වලට කවුද අකමැති. කතත් කාලා වගේ බූට්ස්...

    ReplyDelete
  9. අයියා හරි අයියා..

    ReplyDelete
  10. බූට් කවි ගොඩාක් ලස්සනයි අනික්වාට වඩා. මොකද ඉතින් ඕකේ තියෙන්නේ දුකම විතරනේ.

    ReplyDelete
  11. සඳ තනියට තියා..
    ඔබ නොකියම ගියා...
    ඇසුවම ඇයි කියා..
    නිරුත්තරයි එයා....

    (මේ කවිය මගේ මුණු පොතේ දාපු එකක්.මාත් ගොඩාක් කැමති විරහ කවි වලට )

    ReplyDelete
  12. විරහ ගී තමයි වැඩිය ලස්සන . හැබැයි හැම විරහ ගීයම ලස්සනත් නැහැ. සමහර එව්වා නිකන් අඬනව විතරයි . ආදරයෙන් පැරදෙන එකට ''බුට් '' කියන්නේ ඇයි දන්නවද? . සාමාන්‍යයෙන් සපත්තුවෙන් ගහගෙන වෙන් වෙන්නෙම නැහැනේ හැමෝම . අනික බුට් එකක් කෑවා කියලයි කියන්නේ .

    ReplyDelete
  13. රෝහන බෝගොඩ කියන්නෙ තබ්ල වාදකයෙක්, ඔය අවාරෙට සින්දු ටිකක් කිව්වට. එයාගෙ "දිවි කතරට ගංගාවයි මට හමුවුණු ගංගා...දිවි ඇති තුරු මගෙසරණට ඔබම වේය ගංගා" කියන්නෙ නං විරහ ගීයක් නෙමෙයි.

    ReplyDelete
  14. මම නම් විරහ කවි ආදර කවි දෙකටම එකම විදියට කැමතියි... ඒත් වැඩිපුර දුක වෙලාවට ආයාසයක් නැතුවම ලියවෙන බූට් කවි වල පොඩි ගතියක් තියෙනවා..

    ReplyDelete
  15. විරහ ගීයේ රසය දන්නේ විරහව විදි කෙනාම පමනි

    ReplyDelete
  16. බොහොහොවිට හොදම කවි පරාජිත ප්‍රේමයන් උදෙසාම බිහිවූ ඒවාය .ඒවා ඉතා සංවේදීව සිතට දැනෙන ගතිය වැඩිය.
    "ආදරය දිනු විට ජීවිතයකි
    ආදරය පැරදුනු විට කවියකි "
    කියා මගේ සමරු පොතේ තිබු සටහන ලිය ඇත්තේද ඒ නිසයය් මට සිතේ
    සතියට එක දවසක් හෝ දිගටම කතන්දර කවි පලකරනවානම් මම කැමැත්තෙමි
    *වසිලිස්සා*

    ReplyDelete
  17. @ Weni
    මගේ තියරිය නම් මුලින්ම අදහසක් ආපු කොල්ලට ට්‍රයි කරලා, එයා හා කියලා, එයාට ලව් කරලා, එයාව බැඳලා... ඉන්න ජීවිතේ බාගයක් හිස් කියලයි!

    ReplyDelete
  18. @ මාතලන්
    මෙන්න තව යාළුවෝ දෙන්නෙක් ගේ කතන්දරයක් -

    මගේ ගෑනියි හොර ගෑනියි

    ReplyDelete
  19. @ ChammA
    @ මධුරංග
    @ Gimhani

    ඔය එන්නේ බූට් කාපු අය පෝලිමේ!

    ReplyDelete
  20. @ Bindi
    මං හිතන්නේ බූට් එක එන්නේ පස්සට පයින් ගහලා එලවන කාලේ ඉඳලා වෙන්න ඕනෑ.

    Falling in love head over heels වලටත් සම්බන්ධයක් තියේද මන්දා

    ReplyDelete
  21. @ ඉන්දික උපශාන්ත
    මං හිතන්නේ ඒ සින්දුව කියන්නේ බූට් කාලා ගඟට පැනලා මැරෙන්න කලින් කියලයි.

    ReplyDelete
  22. @ ප්‍රාර්ථනා
    එහෙනම් ප්‍රාර්ථනා දෙලොවක් අතර වගේ.

    ReplyDelete
  23. @ වසිලිස්සා
    ලස්සන වසිලිස්සා ගේ ඉල්ලීමට මං කැමතියි.

    බලමු.

    සතියකට එක ගානේ අවුරුදු ගණනාවකට රෙඩි මේඩ් බඩු හෑව්!

    ReplyDelete
  24. කකා,
    ලස්සන වසිලිස්සා.. Hikzzz
    කකාත් විරහ ගී දාල පොටකට එන්න වගේ.. ඔහොම යන් ඔහොම යන්..

    ReplyDelete
  25. මට හිතෙන්නෙත් බූට් කවි සින්දු තරම් අනෙක්ව සුන්දර නැහැ කියල තමයි. හැබැයි හේතුව හරියටම හිතා ගන්න අමාරුයි.
    කකා කිව්වා අර 50% හිස් කතාවට නම් 200% ක් ම එකඟයි. මිනිහෙක් උනාම බූට් එකකුත් කාල ඒකෙ කටුක බවත් විඳලා තියෙන්න ඕනේ.
    ගෑනු ළමයින් ට ඒ concept එක කොහොම අදාල වෙනවද දන්නේ නැහැ.

    ReplyDelete
  26. අපි පොඩි ට්‍රේනින් එකකට ඉන්දියාවේ ගියා. දවසක් හවස සෙට් උනා කට්ටිය සින්දු කියන්න. අපි සින්දුවක් කිව්වහම ඉන්දියන් කාරයා තේරුම අහනවා. තුන්වෙනි සින්දුව ඉවර උනහම උන් අහනවා හැබැට උඹලට තියන්නේ විරහ ගීත විතරක්ද කියල.
    ට්‍රැෆික් ඇනෝ

    ReplyDelete
  27. ටැන්කූ.. සුපිරියි කතෝ.. බිපෙසි....

    ReplyDelete
  28. සඳ ඉන්නෙත් අහසෙ තමයි
    ඉර ඉන්නෙත් අහසෙ තමයි
    ඉර සඳ මැද තරු නැත්තම්
    මේක අපේ ලෝකෙ නෙමෙයි

    ( තේරුමක් නැති කවියක්)

    අපරාදේ දුකේ බැහැ. සාහිත්‍ය මාසේ ඉවර වෙනව නෙව....... මාත් ලීව සඳයි , තරුයි අහසට මැවුන හැටි ගැන කතාවක්...... ලින්ක් එක දැම්මට කමක් නැතෙයි...

    ReplyDelete
  29. සඳක් ගැන කියලා තිබ්බ නිසා බලලා යන්ඩ ආවා !

    ReplyDelete
  30. ඔබේ අත ගෙන පෙර සැදෑවක
    උයන් තෙර හිද ආදරෙන්
    ගැයූ කුලුදුල් ප්‍රේම ගීතය
    විරහ ගීයක් නොවේවා !!!!!

    ReplyDelete
  31. //@ Weni
    මගේ තියරිය නම් මුලින්ම අදහසක් ආපු කොල්ලට ට්‍රයි කරලා, එයා හා කියලා, එයාට ලව් කරලා, එයාව බැඳලා... ඉන්න ජීවිතේ බාගයක් හිස් කියලයි!//

    කතන්දරගෙ තියරිය හැමෝටම හරිද? එහෙම නං ඔබීගෙය් මගෙය් ජීවිත දෙකම භාගයක් හිස් ජීවිත. අපි දෙන්නට නං එහෙම හිතෙන් නැහැ අවරුදු 32 කට පස්සෙ වත්

    ReplyDelete
  32. දැනට ඇනෝ ...28 September 2011 at 20:32

    මමත් මෙන්න මෙහෙම ලියල තිබ්බ..
    "නූඹ මගේ ජීවිතයයි.."
    පස්සෙ කාලෙක මෙහෙමත් ලියල තිබ්බ..
    "නුඹ මගේ ජීවිතය යැයි වරෙක මම ලියා ඇත්තෙමි.එහෙත් ජීවිතය යනු කුමක්දැයි මම එකල නොදැන සිටියෙමි."

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.