Tuesday 2 March 2010

අපේ සීය කොල්ල කාලේ


කතන්දරකාරයා ගේ සීයා ඉස්කෝලෙක ගුරුවරයෙක් විදියට වැඩ සේවය කරන කාලේ, එතන ලොකුමහත්තයා වුනු ජෝන් මහත්තයා ගේ කට වහපු හැටි ගැන කතන්දරය පහුගිය දවසක කියෙව්වා මතකයි නේද?

ඒ කතාව කියවපු හැම දෙනාම පාහේ එකඟ වුනා අපේ සීයා ජොලි සීයා කෙනෙක් බව.

ඉතිං අද මට හිතුනා අපේ සීය කොල්ල කාලෙ වෙච්ච දෙයක් ගැන කතාවක් කියන්න.

අපේ සීය ඉගෙන ගන්න කාලෙ (එක්දාස් නමසිය පොඩි ගණන් වල) ඔය අද වගේ ඕ.ලෙවල්. ඒ.ලෙවල් කතා තිබිල නෑ. ඒ සුද්දගෙ කාලෙ. ගමේ ගොඩේ ඉස්කෝලවල අධ්‍යාපන ක්‍රමය හදලා තිබුනේ සාමාන්‍ය දැනුමක් ලබා දෙන්න විතරයි. ඒවගෙ ඉගෙන ගෙන කරන්න පුළුවන් එකම ජොබ් එක තමයි ගුරුවරයෙක් වෙන එක.

එහෙම නැත්තං තවත් විභාග කරල නොතාරිස් කෙනෙක් හරි, වෙනමම ඉගෙන ගෙන ආයුර්වේද වෙද මහත්තයෙක් වෙන්න හරි පුළුවන් වුනා.

අවුරුදු අටක් විතර ඉස්කෝලෙ ඉගෙන ගත්තහම තියෙනවලු අවසානෙ කියල විභාගයක්. ඒ විභාගෙ පාස් වුනාම ශිෂ්‍ය ගුරු කෙනෙක් විදියට බැදෙන්න පුළුවන්. අවුරුදු දෙක තුනකට පස්සෙ ස්ථිර ගුරු පත්වීම ලැබෙනව.

ඉතිං අපේ සීයට අවසානෙ පාස් වෙලා ටික දවසක් ඉන්න වෙලා තියෙනව ශිෂ්‍ය ගුරු පත්වීම ලැබෙන කං. ඔය කාලෙ මට හිතෙන විදියට අපි ඒ ලෙවල් කරල කැම්පස් යන්න පුළුවන් වෙයිදෝ කිය කියා හූල්ල හූල්ල හිටි ගන්ධබ්බ කාලෙ වගෙ එකක්.

ඉතිං සීයත් (සීයෙක් නෙමේ, මේ කොල්ලෙක්!) ගමේ ගොඩේ රස්තියාදු ගහමින් ඉඳල තියෙනව. රා බොන්න, බූරුව ගහන්න හෙමත් ටික ටික පුරුදු වෙන්න ඇති මයෙ හිතේ.

කාලය ගත වුනා, ඒත්, පත්වීමෙ ලියුම එන පාටක් නෑ!

සීය ගෙ රස්තියාදු වැඩ වලට ගෙදරිනුත් වලි දාන්න පටන් ගත්ත.

ඔන්න මේ කියන දවසෙ, සීය ට ගෙදරින් රුපියල් දහයක් දුන්න කාගෙන් ද ගත්තු මුදලක් ගෙනිහින් බාර දෙන්න කියල.

ඒ කාලෙ මේක ඉතාම ලොකු ගාණක්. ගුරුවරයෙක් විදියට සීය ගෙ මුල් පඩිය වෙන්න ඇත්තෙත් මීට වඩා අඩු මුදලක්. මේ කියන කාලෙ ආප්ප දෙකක් තුට්ටුවයි. ඒ කියන්නෙ ශත එකහමාරයි.

ඔන්න ඉතිං අපේ සීයත් මේ සල්ලි ටික පරිස්සමින් අරගෙන යනව. අතර මගදි, සීයට මතක් වුනා එදා ගමේ මළ ගෙදරක බූරුව ගහන බව. තමන් ගාවත් ශත පණහක් තිබුණ හින්ද දන්නෙම නැතුව ඒ පැත්තට යැවුනා.

මුලින්ම සීය තමන්ගෙ ශත පනහ පැරදුනා. ඒක බේර ගන්න කියල හිතල, අර ගෙදරින් දුන්නු මුදලින් ශත පනහක් ඔට්ටු ඇල්ලුව. ඒක පැරදුනා. ඊට පස්සෙ ඒ ශත පනහ බේරගන්න ගියා. ඒකටත් කෙලවුනා.

කොහොමින් කොහොමින් හරි, අන්තිමේදී සීය ලඟ ඉතුරු වුනේ රුපියලක් විතරයි.

මේ වෙන කොට සීය ට තරු පෙනිල දාඩිය දාල. සීය ට හිතුණ ලු මෙන්න මෙහෙම.

"ඕනැ මගුලක් වේවා කියල මේ අන්තිම රුපියලත් ඔට්ටු අල්ලනව, පැරදුනොත් ආයෙ ගෙදර යන්නෙ නෑ!"

ඒක භයානක තීරණයක්.

ඒත් සීය ගෙ ග්‍රහය ඒ මොහොතෙ වෙනස් වුනා. ඒ රුපියල විතරක් නෙමේ එදා සීය දිනුව එතන ඉදන් එක දිගටම.

ඊලඟට සීය ගත්ත තව තීරණයක්. ඒක තමයි හරියටම රුපියල් දහයක් දිනපු ගමන් එතනින් නැගිටල යන්න.

ඉතිං සීය රුපියල් දහයෙ ගණුදෙණුවත් බේරල, හවස් වෙලා ආපහු ගෙදර ගියා.

ඒ යනකොට ගෙදරට ඇවිල්ල අර බලාගෙන හිටිය පත්වීමෙ ලිපිය.

ඊලඟ මාසෙ ඉඳල සීය ශිෂ්‍ය ගුරුවරයෙක් වුණා.

මේ කතාව මට කියල සීය අන්තිමට කිව්ව, එදා ඒ අන්තිම රුපියල පැරදුනා නම් තමන් හිස හැරුණ අතේ යනව මිස ආපහු ගෙදර යන්නෙ නෑ ය, එහෙම වුනා නම් තමන් කවදාවත් ගුරුවරයෙක් වෙන්නෙත් නෑ ය කියල.

එහෙම වුනා නම් සීය අපේ ආච්චි බඳින්නෙත් නෑ. අපේ අම්ම මේ ලෝකෙට එන්නෙත් නෑ. මේ කතන්දරකාරයත් නෑ. කතන්දර බ්ලොග් එකත් නෑ.

කතන්දරකාරයා

16 comments:

  1. එහෙම වුනා නම් සීය අපේ ආච්චි බඳින්නෙත් නෑ. අපේ අම්ම මේ ලෝකෙට එන්නෙත් නෑ. මේ කතන්දරකාරයත් නෑ. කතන්දර බ්ලොග් එකත් නෑ.

    ඒ ටික නම් ඉතා හොදයි

    ReplyDelete
  2. වෙලාවට සීය ඉතුරු රුපියලත් ඇල්ලුවේ අපට ‍මේ ‍බ්ලොග් එක බලන්නන. :D

    ReplyDelete
  3. "එහෙම වුනා නම් සීය අපේ ආච්චි බඳින්නෙත් නෑ. අපේ අම්ම මේ ලෝකෙට එන්නෙත් නෑ. මේ කතන්දරකාරයත් නෑ. කතන්දර බ්ලොග් එකත් නෑ."

    haofi me katandara blog eka nati wunoth . . .???? mata nam hita gannath baha . . .

    hoda welawata seeya dinuwe . .. . !!!

    ReplyDelete
  4. සීයා අපි ගැන හිතලා අන්තිම රැපියලට ඔට්ටුව අල්ලපු එක නම් හරිම හොදයි...

    ReplyDelete
  5. රුපියලේ බලේ...

    ReplyDelete
  6. මේ සංසාර ගමනේ, රුපියලකිං කරන්ඩ පුලුවං වෙච්ච වටිනාම දේ වැන්ඩැ ඔය සීයගේ ග්‍රහයා සීයා ලව්ව කරවන්ඩ ඈත්තේ?

    දැං චුයිංගමි එකකකුත් රුපියල් දෙකයිනෙ!

    එහෙව් එකේ රුපියලකිං කතන්දරකාරයෙක් උපන්නා කියන්නෙ.

    කතන්දරකා​රයෝ, සීයාට ඔය කේස් එක පහදලා දුන්නං උන්දැට ඒ පහන් සිතිවිල්ලම ඈති බුදුන් දැන නිවං දකින්ට!;)

    ReplyDelete
  7. මම ඇස් දෙකටම දැකලා තියනවා මෙ වගෙ සිද්දි, රුපියල් සියෙන් ගෙඩ ගිය අය...., මට හිතෙන හැටියට සියගෙ රුපියල හින්දා උනෙ මෙ කථාව බ්ලොග් එකට ආපු එක විතරයි, අනිත් කථා කොහොමත් වෙනවා... කතන්දරකාරයා ලොවට වෙන රුපයකින් හරි පහල වෙනවා. ලොවට පහල වෙලා කතන්දර කියනවා. එක වලක් වන්න සියගෙ රුපියලට බැරි වෙයි නෙද...?

    ReplyDelete
  8. කතන්දර...

    ආච්චි මොකද මේ ගන කියන්නෙ. අවන්කවම සතුටු වෙන්වද සීය අනිතිම රැපියල දිනපු එක ගැන.

    ReplyDelete
  9. 爷爷的命运他自己做的啊。
    Its a good one.

    ReplyDelete
  10. සීය රුපියල පැරදුනා නං හොඳයි. එහෙනං අපි මේ වගේ පල් හෑලි කියවන්නේ නෑ නෙ.

    ReplyDelete
  11. ඒ කියන්නෙ සීයගෙ ඔට්ටුව තමයි මේ සේරටම මුල :D ලොල්

    ReplyDelete
  12. සීයාට පිං...
    සසර වසනා තුරු ඔබේම සීයා වෙවා...

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මටත් රුපියලක් සම්බන්ද පොඩි කතාවක් තියෙනවා. link 1 මෙතන දාන්නම්. ඔට්‍ටු නැත්තම් අයින් කරන්න. its ok.
    thanz
    http://harakageblogeka.blogspot.com/2013/07/blog-post_26.html

    ReplyDelete
  15. එහෙම වුනා නම් සීය අපේ ආච්චි බඳින්නෙත් නෑ. අපේ අම්ම මේ ලෝකෙට එන්නෙත් නෑ. මේ කතන්දරකාරයත් නෑ. කතන්දර බ්ලොග් එකත් නෑ.

    ehema unanam hamadama udeta me mangalle kiyawanna oneth na kathandara karaya oyanam niyamai

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.