Friday, 11 July 2014

පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of an era!


මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු විවිධ අවස්ථාවල දී මං ප්‍රාඨමික පාසලේ සිදුවුණු විවිධ සිදුවීම් කතන්දර විදියට ලියලා තියෙනවා.

හෝඩියේ පන්තියේ දී මුණ ගැසුණු සිත්තරාවිය,
ඒ පන්තියේ මෙන්ම දෙවෙනි පන්තියේ හිටිය නපුරු ටීචර් ලා,
දෙකේ පන්තියේ මාලවතී ටීචර් දුවන කොට ඇද වැටුණු හැටි,
තුනේ පන්තියේ දී පළමුවෙනියා වෙලා හතරට පාස් වෙච්ච හැටි,
හතරේදී සිදුවුණු "මයි ෆස්ට් ක්‍රෂ්" අවස්ථාව,
මගෙ ලේ සෙලවුණ විදුහල්පති වේවැල් පාර,
හතරෙන් පහට පාස් වුණු හැටි,
පහේ පන්තියේ දී පන්ති නායකයා වුණු හැටි,
එතකොට පහේ පන්ති නායිකාව ගේ කතාව,
පන්තියේ පළමුවෙනියා වෙලා අටපට්ටම් පැන්සලක් තෑගි ලැබුණු හැටි
යනාදී වශයෙන් ලියවුණු කතන්දර ගණනාවක්ම ඒ ගොඩේ තියෙනවා.

මොනවා වුණත් පහේ පන්තිය තමයි මං ප්‍රාථමික පාසලේ ගතකරපු හොඳම අවුරුද්ද.

තුන්වාරෙම පළමුවෙනියා වුණු එක, පන්ති නායකයා වුණු එක විතරක්ම නෙමෙයි ඒකට හේතුව. ඉගෙන ගත්තු දේවල් වගේම, උගන්නපු ටීචර් ගැනත් තියෙන්නේ හරිම සුන්දර මතකයක්.

එච්චර කල් පන්තිය බාර චීචර්ලා සෙට් කරපු විභාග කරපු අපිට පහේ පන්තියේ දී ලොකුම ලොකු ආණ්ඩුවේ විභාගයකට මුහුණ දෙන්න වුණා.

හයේ පන්තියේ සිට ඉගෙන ගන්න වරම් ලැබෙන්නේ මේ විභාගේ ප්‍රතිපල අනුව තමයි කියලා අපේ චීචර් අපිට කිව්වා.

අප දන්නා හුරු පුරුදු ගණිතය සහ සිංහල භාෂාවට අමතරව බුඩ්ඩි පරීක්‍ෂණය ද මොකක්ද මන්දා විෂයකිනුත් එක ප්‍රශ්ණ පත්තරයක් තියෙනවා ලු කියන එක තමයි අපිට ලැබුණු අනිත් අළුත් ආරංචිය වුනේ.

මෙන්න මේ බුඩ්ඩි පරීක්‍ෂණය විභාගෙට අපිව ලෑස්ති කරන්න අපේ ටීචර් ටවුමේ කඩෙන් පොතක් ගෙනවා මට මතකයි.

ඒ පොතෙන් බලන කොට තමයි මට තේරුණේ මේ බුඩ්ධි පරීක්‍ෂණය කියන්නේ විවිධාකාර බෝල, ඉරි, කොටුවලින් සමන්විත ජ්‍යාමිතික රූප පිළිවෙලට හදන ගේම් එකක් බව!

ඒ බුඩ්ඩි පරීක්‍ෂණය පොතෙන් විවිධ ප්‍රශ්ණ අරගෙන අපේ චීචර් පන්තියේ සාකච්ඡා කෙරුවා. ඒ විතරක් නොවෙයි, පොත සති අන්තයට ළමයින්ට ගෙදර ගෙනියන්න දෙන බවත් කීවා.

මුලින්ම ඒ පොත ගෙදර ගෙනියෑමේ වරප්‍රසාදය ලැබුණේ පන්තියේ පළමුවෙනියාටයි!

කොහොමද සනීපේ?

මේ කියන විභාගෙන් මට මතක එකම එක ප්‍රශ්ණයයි.

පුර්ණ සංඛ්‍යා සහ භාග ඉලක්කං පහක් දීලා ඒවා අවරෝහණ ක්‍රමයට සැකසු විට එන ආකාරය ගැන බහුවරණ ප්‍රශ්ණයක් තිබුණා ගණිතය ප්‍රශ්ණ පත්තරේ. නමුත් මට පෙණුනු විදියට ඒවා ඒ වෙනකොටත් තිබුණේ අවරෝහණ ක්‍රමයටම තමයි.

කොහොම හරි ඒ ප්‍රශ්ණයට මං සාර්ථකව මුහුණ දුන්නා වුණාට, ඊට අමතරව තව ප්‍රශ්ණ රාශියක් තියෙනවා මට දන්නාව කියලා හිතුණාට ඇත්තටම මං නොදැන හිටපු. ඒ් හින්දා මට ගණිතයට ලකුණු ලැබිලා තිබුණේ සීයෙන්ම 86 යි.

බුඩ්ඩි පරීක්‍ෂණයට 87 කුත්, සිංහලවලට 88 කුත් ලැබී තිබුණා.

ඒ කියන්නේ සාමාන්‍යය අගය 87% යි.

මේ තමයි මං මගේ ජීවිතයේ පස්තාච්චි කාලේ වෙනකම්ම විභාගෙකට හොඳින් ම මුහුණ දුන්නු, වැඩියෙන්ම ලකුණු ගත්තු අවස්ථාව!

කලින් දවසක ලිව්වා වගේ එතැන ඉඳන් උසස් පෙල විභාගේ දී 69.25% ක් ගන්න දවස වෙනකල්ම ඩවුන් ද පල්ලන් තමයි ගියේ.

කොහොම හරි ඔය විභාගෙන් ඒ ආකාරයට ඉහලින් ම ලකුණු අරගෙන තමයි මං හයේ පන්තියට පාස් වුණේ.

බ්ලොග් එක සම්බන්ධව මගේ විභාග ප්‍රතිපල කියනවා නම්, 2009 ජූලි 11 දින පටන් අරගෙන, කතන්දර 1,033 ක් ලියලා, ෆලෝවර්ස් ලා 1,300 ක් එකතු කරගෙන, හිට්ස් මිලියන් දෙකයි පොඩ්ඩක් අරගෙනයි මං මේ මගේ කතන්දර බ්ලොගයේ පස්වෙනි වසර මේ විදියට අවසාන කරන්නේ!

පහේ පන්තිය ඉවර වුණාම අවුරුද්ද අන්තිමේ මට ලැබුණා දිග නිවාඩුවක්. නිවාඩුවෙන් පස්සේ මට සිදුවුණා හයේ පන්තියේ ඉඳලා ඉගෙන ගැනීම සඳහා ටවුන් එකේ මධ්‍ය විද්‍යාලයට යන්න.

ඊට පස්සේ මං වැස්සකටවත් ඒ කණිෂ්ඨ විද්‍යාලයේ පස් පාගලා නෑ! එදා මා එක්ක ඉගෙන ගත්තු සමහර යාළුවෝ අද වෙනතුරු ඇහැට දැකලාවත් නෑ.

ඒ අනුව කියනවා නම් කතන්දර බ්ලොග් එකේ මගේ කාලයත් අදින් අවසන්. මින් පසු මේ බ්ලොග් එකේ නඩත්තු කටයුතු සහ කොස්මෙටික් අළුත් කිරීම් හැර වෙනත් කතන්දර පලවීමක් නොවෙනු ඇති.

අවුරුදු පහක් කියන්නේ දිගු කාලයක්. මේ බ්ලොග් එක කියවන සමහර අයගේ ජීවිතවලින් ඒ කාලය 10% පමණ වුනාට, බොහෝ දෙනෙකුගේ ජීවිතවලින් අවුරුදු පහක් කියන්නේ ඊට වඩා ලොකු ප්‍රතිශතයක්. සමහර විට 25% ටත් වඩා!

දිගු කාලයක් එකම වේගෙන් යම් කාර්යයක නිරව වෙනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් කියලයි මට හිතෙන්නේ.

ඒ ජයග්‍රහණයේ තවත් කොටස්කාරයෝ ඉන්නවා. පසුගිය වසර පහ තුල මට දැක්වූ සහයෝගයට ඒ සියළු දෙනාටම මගේ ස්තුතිය පිරිනැමෙනවා.

බ්ලොග් එක නවත්වනවාය කියන එක ඉතිං දුකයි තමයි! ඒත් නැට්ට එක්ක අලි මැරෙන එකේ, මේ බ්ලොග් කට්ටක් ගැන කවර කතාද?

දන්නෙම නැතුව වැහිලා අන්තර්ධාන වෙලා යන බ්ලොග්, ලියවීම අඩුවෙලා, අඩුවෙලා අමතක වෙලා යන බ්ලොග් අතරේ මෙහෙම කලින්ම කියලා බ්ලොගයක් නතර කරන එක එක අතකට හොඳ තත්වයක් කියලා මට හිතෙනවා.

එහෙනම් ඉතිං, ආයුබෝවන්!

-කතන්දරකාරයා

ප/ලි:
ඔබේ කමෙන්ටු තව පැය කිහිපයකින් මෙහි පලවෙනු ඇත.

Wednesday, 9 July 2014

මළා තමයි..! - When you reach the end of the road


එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා මට හිතුණා මරණය ගැන කතන්දරයක් ලියන්න.

ඔන්න එක ආච්චී කෙනෙක් ගියාලු එයා ගේ හිතවතියක ගේ මළ ගෙදරකට, ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් "මර්ඩර් හවුස්" එකකට. ඒ ගිහිල්ලා ආපහු ඇවිල්ලා කේන්තියෙන් පිපිරි පිපිරී ගෙදර හිටිය උන්දෑ ගේ ළමයින්ට කියලා තියෙන්නේ මේකයි.

"මං දැක්කා අර සිරියාවතී ගේ මිනියේ අත්වලටයි, කකුල්වලටයි මේස් දාලා තියෙනවා. ඔන්න නොකිව්වැයි කියන්න එපා, මං මැරුණු දාක නං ඒ කෝලං කරන්න හිතනවා නෙමෙයි! මට එහෙම ඒ විදියට මේස් දාන්න ආවොත් මගෙන් හොඳවෑයින් දෙකක් අහගන්න පුළුවන් වෙයි උඹලාට!"

අපි පොඩි කාලේ අපේ ගමේ විවිධ මරණ වෙන්න ඇති. නමුත් මගේ හිතේ හොඳින් ම රැඳිලා තියෙන මුල්ම මළ ගෙදරක මතකය අපේ බාප්පා ගේ මරණයයි.

බාප්පා මැරුණේ අපේ සීයලා, ආච්චිලා කිසිම කෙනෙක් මැරෙන්න කලිනුයි. ඒ කියන්නේ ඒ මරණය, ස්වභාවික රෝගී තත්වයක් නිසා සිදුවුණත්, හදිසි මරණයක්.

බාප්පා හිටියේත්, ආච්චීත්, සීයාත් එක්ක, අපි පොඩි කාලේ හිටිය තාත්තා ගේ මහ ගෙදරමයි. එක දවසක් මං මහ රෑ හදිසියේ කළබල සද්දයක් නිසා නැගිටලා බලන කොට බාප්පාට අසනීප වෙලා හොස්පිටිතාලේ ගෙනිහිල්ලා.

අපි වෙනදා වගේ පාසල් ගියා. මං හිටියේ හතේ පන්තියේ.

එදා හවස අපි පාසල් බසයේ ඇවිත් ගෙදර ලඟින් බහින කොට බස් එකේ කොන්දොස්තර අපෙන් ඇහැව්වා "බාප්පා මැරුණාලු නේද?" කියලා.

ඒ කතාවෙන් අපි ගල් ගැහුණා වගේ වුණත් මල්ලියි, මායි ගෙදරට ගොඩ වෙලා එතැන රැස්වෙලා හිටිය අය ගේ විකාර රූපී මුණත් තහඩු දකින කල්ම ඒ කතාව විශ්වාස කෙරුවේ නෑ.

එදා තමයි මං දැනගත්තේ මළ ගෙදරක් වුණාම බිත්තිවල එල්ලලා තියෙන බුද්ධ රූප ඇරුණාම අනිත් සියළුම ෆොටෝ අනිත් පැත්ත හරවනවාය කියලා.

බාප්පාගේ අවසන් ගෞරවය දක්වන්න ආපු අයට සංග්‍රහ කරන්න එලිෆන්ට් හවුස් බීම, බුලත් විටවලට අමතරව, සිගරැට් බන්ඩල් පිටින් ගෙනත් තිබුණා මට මතකයි.

අපේ පන්තියේ ඉස්සර හිටපු මදාවි කොල්ලෙක් (පොර මේ වෙනකොට ගියේ වෙනත් ඉස්කෝලෙකටයි) තවත් ලොකු කොල්ලන් දෙන්නෙක් එක්ක ඇවිත් මේ සිගරැට් දෙක තුනක් අරන් දෙන්න කියලා මගෙන් ඉල්ලනවාත් මට මතකයි.

බාප්පා ගේ අවසන් කටයුතු කෙරුණේ සාමාන්‍ය චාරිත්‍රාණුකුලවයි. මං පසුව සහභාගී වුණු අවමංගල්‍යවලට වඩා තිබුණු එකම වෙනස තමයි බාප්පාව ආදාහනය කෙරුණේ අපේ ඉඩමේ ම වීම. ඇත්තටම ඊට අවුරුදු හතකට පස්සේ මැරුණු සීයාව ආදාහනය කෙරුණේත් එතැනමයි.

මේ දෙන්නා ගේ ම අළු කැළණි ගඟට දැම්මා මිස සොහොන් හැදීමක් කෙරුණේ නෑ.

මේ විස්තරය ලියන්න හිතුණු සුවිශේෂී හේතුව දැනට නොකියා වෙනත් කාරණයක් කියන්නම්.

ඒ තමයි මාතලන් ගොයියා ලියපු අවමගුල් ගැන ලිපිය කියවා මං එතැන ලියපු දේ.

තමන් මලාම මොකක්ද කරන්න ඕනෑ කියලා තමන්ගේ ඥාතීන්ට කියලා මැරෙන්න අපිට පුළුවන් නේද?

මේ ලඟදී මං දන්නා කියන කෙනෙකුගේ ඥාතියෙක් මිය ගියාම පහුවදාම අවසාන කටයුතු කෙරුණා. ඒ මිය ගිය අයගේ ඉල්ලීම අනුව. ඒ වගේම තවත් මැණියෙකු ගේ සිරුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දුන්නා.

එහෙම ඉල්ලීම් නැතුව යමෙක් මැරෙන්නේ තමන්ගේ මරණයෙන් පසු කෙරෙන අවසාන කටයුතු කෙසේ කෙරුණත් තමන්ට ඉන් ප්‍රශ්ණයක් නැති නිසා විය යුතුයි.
මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි
එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට ඇසේවි
කියලා මහගම සේකර ලිව්වා.
මා මල පසු සොහොන් කොතේ බලු බැටියෙක් බඳිනු මැනවි
එතකොට ඌ රෑ ජාමෙට හීන් හඬින් මට බුරාවි
කියලා ඉවාන් පවුලූෂා ලියා තිබුණා.

රොබරෝසියා ගසුත් මැරෙන එකේ අපි ගැන මොන කතාද, නේද?

මට නං කියන්න තියෙන්නේ මා මල පසු සොහොන් කොතේ ස්මයිලි ෆේස් එකක් අඳිනු මැනවි කියලයි.

එහෙම කිව්වාට දුක් ගීයක් ලිව්වා කියල මං අර මේස් දානවට විරුද්ධ ආච්චී වගේ ඔහෙලා එක්ක තරහ වෙලා, ඒ කමෙන්ට් කපලා දාන්නේ හෙම නෑ හොඳේ?

-කතන්දරකාරයා

ප/ලි:
සුවිශේෂී හේතුව ඊලඟ දවසේ ලියන්නම්!

(image: http://zenwords.com/?attachment_id=497)

Monday, 7 July 2014

වෘෂණ කෝෂ ඉවත් කරන ලද ගායකයෝ - Castrati singers


අර ලාංකික කාන්තාවන් ගේ නිල ඇඳුම වෙන "හවුස් කෝට්" නමැති ගවුමට "හුචක්කුව" යැයි කියමින් කතාවක් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ සරත් විජේසූරිය දන්නවා නේද?

අප සමහරු "අවිඳු අඳුර" කාලේ ඉඳලාම ලේඛකයෙක් යැයි විදියට දැනගෙන හිටියාට, ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරණ බොහෝ දෙනෙක් සරත් විජේසූරියව දැන ගන්නට ඇත්තේ ඔය "හුචක්කුව" වීඩියෝව හින්දායි.

සරත් විජේසූරිය දැන් සිංහල භාෂාව ගැන මහාචාර්යවරයෙක්. පොත් ප්‍රකාශකයෙක්. ජනප්‍රිය දේශකයෙක්. හොඳ කෙටිකතාකාරයෙක්. ඒ වගේම වෙනත් විවිධ මාතෘකා ගැනත් පොත් රාශියක් ලියලා තියෙනවා. ඔහු ලියා ඇති පොත්වලින් මා ගාව තියෙන දුසිමක් විතර පොත් අතරින් මා වඩාත් කැමතිම කෘතිය නම් "මගේ නඩුව ඉවරයි" යන්නයි.

මා මේ කියන්න යන්නේ ඒ පොත් ගැන කතන්දරයක් නම් නොවෙයි.

අර මුලින් සඳහන් කළ හුචක්කුව වීඩියෝවට පස්සේ සරත් විජේසූරිය කරපු කතා ගොඩක් යූ ටියුබ් එකේ නැගලා ගියා. මට මතක හැටියට මේවායින් එක වීඩියෝවක තිබුණු කතාවක් තමයි වර්තමාන ලාංකික ගායකයින් සමහර දෙනෙකුට පුරුෂ කටහඬක් නැතිය, ඔවුන් ගී ගයන්නේ වෙනත් ආකාරයක කටහඬකින් ය කියන කතාව.

මට ඒ කතාව මතක් වුනේ විකිපීඩියාවේ තියෙන ඉතාලියේ සිටි කැස්ට්‍රාටෝ නම් ගායකයින් ගැන විස්තරයට සබැඳියක් මිතුරෙකුගෙන් ලැබී කියවූ වෙලාවේයි.

මේ කියන කැස්ට්‍රාටෝ ගායකයින් ගේ කටහඩ යුරෝපීය සම්භාව්‍ය ගායනාවේ යෙදෙන (ඒ කියන්නේ ලයනල් රන්වල ගේ වචනවලින් හූ කියන) සොප්‍රානෝලා ගේ කටහඬට සමාන බවයි කියවෙන්නේ.

නමුත් මෙතැන තියෙන අවාසනාවන්ත කාරණය තමයි මේ කැස්ට්‍රාටෝ ගායකයෙක්ව බිහිකරන්නේ පිරිමි ළමයෙක් කුඩා කාලයේදීම ඔහු ගේ වෘෂණ කෝෂ අයින් කිරීමෙන් වීමයි.

වැඩිවියට පත්වෙන්න පෙර මෙසේ කිරීමෙන් ඒ ළමයා ගේ පරාසයෙන් වැඩි ළමා කටහඩ එලෙසම වාගේ පැවතෙන අතර, පිරිමි හෝමෝන නිපදවීමක් සිදු නොවන නිසා අස්ථි දිගෙන් වැඩී හුස්ම අල්ලාගෙන ගායනා කිරීමේ වැඩි හැකියාවක් ද ලැබේ ලු!

මේ ආකාරයට ඌරන් ගේ වෘෂණ කෝෂ අයින් කීරීම ගැන පසුගිය දවස්වල අපි බ්ලොග් ලෝකයේ දැක්කා. ඒ වගේම හරකුන් ගේ වෘෂණ කෝෂ අයින් කරලා කිරි පුස්සන් හදන බව නම් කාලෙකට කලින් ඉඳලාම මං අහලා තිබුණා අර ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගීතය නිසා.

ඒ මොනවා වුණත් මේ ළමයින් ගේ වෘෂණ කෝෂ ඉවත් කරන කතාව නම් තරමක් විශ්වාස කරන්නත් අමාරුයි වගෙයි දැනුනේ!

රජකාලේ දඬුවම් ලෙස හෝ සතුරන්ගෙන් පළිගැනීම් ලෙස මේ වැඩේ කරලා තිබුණාට, ගායකයෙක් හදන්න ළමයෙකුට මේ වගේ අතවරයක් කරන්නේ මොන හිතකින්ද?

හැබැයි, ඒ එක්කම මතක් වෙන්නේ විකාෂ් ස්වරූප් ගේ "කිව් ඇන්ඩ් ඒ (Q and A) කෘතියේ සහ ඒ අනුසාරයෙන් හැදු "ස්ලම් ඩෝග් මිලියනර්" චිත්‍රපටයේ තිබුණු අන්ධ ගායකයින්ට හොඳින් හිඟමන් ලැබෙන නිසා ගී ගයන්න හැකි ළමයෙකුව අන්ධයෙක් කරන සිද්ධියයි.

"හන්ච්බැක් ඔෆ් නොට්‍රැඩෑම්" පොතේ හෝ එවැනි තැනක, මධ්‍යතන යුරෝපයේත් ළමයින් ගේ අත් කකුල් පොඩි කාලේම විකෘති කර සර්කස් යනාදියේ ප්‍රදර්ශණ භාණ්ඩ කරන තිරිසන් ක්‍රියාවන් ගැනත් සඳහන් වී තිබුණා මට මතකයි.

කෙසේ වෙතත් ඉතාලියේ මේ කැස්ට්‍රාටෝ කිරීම 1870 දී නීතියෙන් තහනම් කර තියෙනවා.

මෙන්න විකිපීඩියාවේ එන කැස්ට්‍රාටෝ ගායකයින් ගැන විස්තරයට පාර නැවතත්.
http://en.wikipedia.org/wiki/Castrato

-කතන්දරකාරයා

ප/ලි:
ඉංගිරිසියෙන් හී හැස් ගොට් නෝ බෝල්ස් යැයි කීමෙන් අදහස් කෙරෙන්නේ මොකක්ද කියා දන්නවාද?
http://www.urbandictionary.com/define.php?term=you%27ve+got+no+balls

තමන්ට විරුද්ධ මතයක් දරන අයෙකුව මතවාදීව පරාජය කරන්නට නොහැකි වූ විට පුද්ගලිකව මඩ ගසන්නට අසත්‍ය ප්‍රචාර කරන අයටත් "දේ හැව් ගොට් නෝ බෝල්ස්!" යැයි කිව හැක.

(image: http://upload.wikimedia.org/wikipedia/commons/9/90/Scalzi_by_Flipart.jpg)

Friday, 4 July 2014

දොස් පිරි, දොස්-තරයෙක් ගේ කතාවක් - What's up doc?


මේක කෙලින්ම මගේ අත්දැකීමක් නොවෙයි, මේ ඊයේ පෙරේදා දවසක, මුලින් ෆේස් බුක් හරහා ආපු මැසේජ් එකක් ඔස්සේ ගිහින් දුරකතනයක් හරහා වාචිකව අහන්නට ලැබුණු කේස් එකක්.

"මේ කතන්දරේ උඹේ බ්ලොග් එකට හොඳයි නේද?" කියලාම යෝජනාව ලැබුණු නිසා හිතුණා ලියලා දාන්න. කොහොමටත් මේ කතන්දරේ මේ දවස්වල සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තියෙන අවුල් අස්සට හොඳට ගැලපෙනවා.

මට අහන්න ලැබුණු ආකාරයෙන්ම කතාව නැවත ලියන්නම්.
මචං, කතන්දර, මේකයි කේස් එක!

දැන් මාස දෙකකට විතර කලින් දවසක අපේ නැන්දම්මා නාන වෙලාවේ කොන්ද රිදෙන්න පටන් අරං තියෙනවා. ඉතිං වයිෆ් ගේ නංගිත් එක්ක පහුවදා හවස ගමේ ගෙවල් ලඟ ඩිස්පැන්සරියක් දාගෙන ඉන්න දොස්තර ලඟට ගිහින්.

පොර ආණ්ඩුවේ මූලික රෝහලක වැඩ කරන ඩොකෙක්, වැඩ ඇරිලා හවසට මේ දිස්පැන්සරියට එනවා පොල් කඩන්න. වයසත් නිකං හතලිස් පහක් විතර ඇති.

අම්මා කොන්ද රිදෙනවාය කියපු ගමන්ම ඩොකා කියලා තියෙනවා, "ආ, එහෙනං ඕක කැන්සර් එකක් වෙන්න ඉඩ තියෙනවා. වහාම එක්ස් රේ එකක් අරගෙන බලන්න ඕනෑ" කියලා.

මොකුත් බේතක් හේතක් දීලාත් නෑ අමාරුවට, හැබැයි ඉතිං අම්මා පොඩි පෙනඩෝල් පාරක් දාලා ජාම් බේරාගෙනයි ඔය ගමන් ගිහින් තියෙන්නේ.

ඉතිං මොකද කරන්නේ පහුවදාම උදේ ගිහින් ඔය කියන එක්ස්-රේ එක ටවුමේ කඩේකින් අරගෙන, ඒක ලැබුණු වහාම ගිහින් තියෙනවා ඩොකා ලඟට ආපහු.

පොර එක්රේ එක අතට ගත්තු ගමන්ම කිව්වාලු, "මං හිතුවා හරියට හරි! කැන්සර් එකක් තමයි, මේ තියෙන්නේ කළු පැල්ලමක් කොඳු ඇට පෙළ දිගටම!" කියලා.

"මේකට කරන්න නං ඉතිං බේතක් නෑ. වේදනාව අඩුවෙන්න කොන්දට මැෂිමක් හයි කරන්න වෙනවා. ඒක මට පුළුවන් ඇරේන්ජ් කරන්න!" කියලාත් කිව්වාලු.

ඊට පස්සේ අම්මාව දිස්පැන්සරියට එක්කගෙන ගිය නංගිවයි, එයාගේ හස්බන්ඩ්වයි පැත්තකට කරලා කිව්වලු, "දැන් ඉතිං අම්මා තව මාස කීපෙකට වඩා ජීවත් වෙන්නේ නැති වේවි, මගේ තාත්තාටත් ඔය වගේම නාන කොට ආපු කොන්දේ අමාරුවකින් තමයි අසනීපේ පටන් ගත්තේ, ඒ වෙනකොට කැන්සර් එක ඔඩු දුවලා, ඊට පස්සේ මාස දෙකකට වඩා ජීවත් වුණේ නෑ!" කියලාත්.

ඉතිං නංගි කලබල වෙලා අඬ අඬා වයිෆ්ට කෝල් එකක් දුන්නා එදා රෑම. එහෙමයි මට ආරංචි වුණේ.

කතාව අහලා මං නං කිව්වේ, "කැන්සර් එකක් කොහොමද ඔය විදියට එක පාරටම එක්ස්-රේ එකකින් හොයා ගන්නේ? අනික ඔය මනුස්සයා ස්පෙෂලිස්ට් කෙනෙකුත් නෙමෙයි නේ!" කියලයි.

කොහොම හරි දැන් සේරම කට්ටිය හොඳටම බයවෙලා. අපි කෙරුවේ ඒ සති අන්තයේදීම මහරගම කැන්සර් හොස්පිටල් එකේ ස්පෙෂලිස්ට් කෙනෙක්ව චැනල් කරලා අම්මාව පෙන්නපු එකයි.

අන්තිමට බැලින්නං අම්මට මේ පොඩ්ඩක් කොනද ඇවිලිලා මිසක් ඇති කැන්සර් එකක් නෑ. ස්පෙෂලිස්ට් එක්ස් රේ එක බලලා හිනා වුණා විතරයි.

තව දවස් දෙක තුනකින් ඒ කොන්දේ ඇවිලිල්ලත් මග හැරිලා ගියා.

අන්න නැන්දම්මා දැන් ඉන්නව වෙනදාටත් වඩා හොඳට!

මං හොයලා බැලුවාම මේ දොස්තරයා අර කාලෙකට කලින් රාගම තිබුණු ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගත්තු පොරක් ලු
!
මගේ හිතවතා කතාව කියලා ඉවර කලේ එහෙමයි.

මේ කතාව අහලා මට හිතුනේ අනේ අපොයි අර කැන්සර් එකක් හැදිලා මිය ගියාය කියන (මේ දොස්-තර ගේ) තාත්තා කියලයි.

-කතන්දරකාරයා

(image: http://emoryhealthcare.org/spinal-radiosurgery/index.html)

Wednesday, 2 July 2014

බ්ලොග්කාරයෙක් ගේ වයිෆරේ ගේ කතාවක් සහ ඒ බ්ලොග්කාරයා ගේ මතකයන් සමගින් තත්කාලීන කේස් එකකට සම්බන්ධ කතන්දර කීපයක ආරම්භය - Here we go!


මේ දවස්වල වින්නඹු-හෙදි සටනක් යනවනේ ජයටම. ඕකට දොස්තරලාත් එහෙන් මෙහෙන් හෝ කෙලින්ම සම්බන්ධයි ලු.

මේ ගැන බ්ලොග්කාරයින් දෙතුන් දෙනෙක්ම ලිපි ලියා තිබුණා. එක්කෙනෙක් රාජ්. ඊලඟට පැරා. මේ ලිපිය ලියලා පලකරන අතරේ මාතලනුත් එකතුවෙලා.

පැරා නම් අදත් ලිපියක් ලියා තිබුණා, ඒ අර කලින් ලිපියක කමෙන්ට් එකක් දාපු ඇනෝවෙක් උපුටා දක්වලා තිබුණු දිවයින වාර්තාවට හරියටම ගැලපෙන විදියටයි. ඒ ඇනෝලා ගේ යටි අදහස ලෙස පෙනුණේ බ්ලොග්කාරයින් ගේ ලිපිවලින් කියවෙන මතය ඔවුන්ගේ බිරින්දෑවරුන් ගේ රැකියාව අනුව සැකසී ඇති බවකුයි.

අපි ඕනෑම කෙනෙකුට රටේ ලෝකේ ප්‍රශ්ණ ගැන මතයක් තියෙනවා. ඒක අපේ අත්දැකීම්, දැනුම සහ අපි අගය කරන වටිනාකම් ඒ කියන්නේ වැලිව්ස් මත පදනම් වෙච්ච දෙයක්. එය අපේ කලත්‍රයා ගේ රැකියාවට අදාල වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

විවාහ වෙලා ඉන්න දෙපලකට ඕනෑම දෙයක් ගැන දෙයාකාරයක අදහස් තියෙන්න පුළුවන්. මතවාද දෙකක් දරන්න පුළුවන්. සමහර විට මේ මතවාද එකිනෙකට අතිශයෙන් ප්‍රතිවිරුද්ධ වෙනකොට නං වැඩේ අංජබජල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් බොහෝ වෙලාවට ඔය අදහස්වල තියෙන සුළු සුළු වෙනස් කම් නම් සුළු සුළුම තමයි!

මේ බ්ලොග් බලන අස්සේ මටත් මතක් වුණා පරණ සහ අලුත් කතන්දර දෙක තුනක්.

ඒවායින් සමහර කතන්දරවලට අදාල දේ මීට කලිනුත් මං අතින් ලියවිලා තියෙනවා.

මුලින්ම මතකද මං ලියපු පේරාදෙනිය ද කටුබැද්ද ද කියන කතන්දරේ?

ඒ කතන්දරේ කියවුණා වගේම වැදගත් තීරණයක් මට ගන්න සිදුවුණා අපි දහයේ පන්තියේ ඉඳලා එකොළහේ පන්තියට යන දවසේ.

"මැත්ස් කරන ළමයි මේ පේලියට එන්න, බයෝ කරන ළමයි අර පේලියට යන්න!" අපේ අංශබාර ප්‍රධානියා කීවා. ඒ වෙනකොට අපි හැමදෙනාම වගේ ඒ තීරණය අරගෙනයි හිටියේ.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව විභාග ප්‍රතිපල අනුව ශිෂ්‍යයින් හැදෑරිය යුතු විෂයන් මොනවාද කියන එක කලින්ම තීරණය වෙලායි තියෙන්නේ.

හොඳට ඩිෂ්ටින්ෂන් තියෙන අය එක්කෝ මැත්ස් නැත්නම් බයෝ. ඊලඟට ස්ථතරය යන්න ඕනෑ කොමර්ස් කරන්න. අන්තිම ස්ථරයට, ඒ කියන්නේ ගණිතයට, විද්‍යාවට ඩිෂ්ටින්ෂන් හෝ ක්‍රෙඩිට් නැති අයට කලා විෂය ධාරාවේ අබ සරණ පමණයි.

ඔය කලාව කිරීම ගැන තවත් මං ලියපු කතන්දරයක් තමයි මේක.
http://kathandara.blogspot.com/2012/01/disaster-strikes-kathandara-household.html

ඒ වගේම මිණිවන් පී තිලකරත්න ලියපු "කුඩා දොස්තර, මහ දිසාපති" කියන කෙටිකතාවත් මේ කේස් එක මත පදනම් වුණු එකක්. මං ලියපු "මං ලියන්නේ මට ඕනෑ දේවල්, ඇයි උඹ ලියන්නේ කාට ඕනෑ ද?" කියන කතන්දරේ පෙර කතාවේත් ඔය වගේ සම්බන්ධයක් තිබුණා.

ඒ මොනවා වුණත්, මං එදා අම්මා ගේ කැමැත්තටත් පිටුපාලා, මැත්ස් පන්තියට යන පෝලිමට එකතු වුණේ අර පවිත්‍රා වන්නිආරච්චි වගේ මැත්ස්වලට විශිෂ්ඨ සාමාර්ථයක් තිබුණු නිසාම නොවෙයි. ඊට වඩා මට ජීව විද්‍යා විෂයයන් ගැන ඒ වෙනකොට ඇතිවෙලා තිබුණු අප්‍රසන්නකම නිසයි.

කූප්‍රකට බ්ලොග්කාරයෙකුගේ වයිෆරේ ගේ නයෙක් කියලා මං ලියපු කතන්දරේ කියවුණු කේස් එකේදී මේ කියන වයිෆරේට සාමාන්‍ය පෙළට ගණිතයට විශිෂ්ඨ සාමාර්ථයක් තිබුණාට විද්‍යාවට තිබුණේ ක්‍රෙඩිට් එකක් විතරක් නිසා ඇගේ අම්මා වගේම පාසලේ ගුරුවරියනුත් උපදෙස් දිලා තියෙන්නේ ඒ ලෙවල්වලට මැත්ස් කරන්න කියලයි. නමුත් ඇය බයෝ පන්තියටයි ගිහින් තියෙන්නේ. ඒ මොනවා වුණත් ගණිතයට ඇති බය හින්දා වෙන්න ඕනෑ!

මට කියන්න ඕනෑ එක කරණයක් නම්, අද සෞඛ්‍ය ක්‍ෂේතයයේ රැකියාවන් කරන අති බහුතරය ඒ තැන්වලට ගිහින් තියෙන්නේ මේ ලෙඩ්ඩුන්ට සලකන්න තියෙන පින් අතේ සිතුවිලි හින්දා නොවෙයි. වෙනත් සමාජ, ආර්ථික කරුණු හින්දයි.

මතකද මං ලියපු ලොකු වෙලා තාත්තා කෙනෙක් වෙන්න ආසයි කියන කතන්දරේ?
http://kathandara.blogspot.com/2009/09/blog-post.html

එදා තමයි මං තීරණය කලේ ලොකු වෙලා මැවිසුරුවෙක් වෙනවා කියලා. ඒ තීරණයට හේතුව මේ මැවිසුරුකමට කිසිසේත්ම අදාල දෙයක් නොවෙයි.

ඒ වගේම තමයි, අද දොස්තර ලා, නර්ස් ලා, මිඩ් වයිෆ්ලා වෙලා ඉන්න අයත්.

බහුතරයක් එහෙම වුණාට සුළුතරයක ගේ පසුබිම් කතාව ඊට වෙනස් වෙන්න පුළුවනි.

මං පොඩි කාලේ ගමේ ගිය වෙලාවක අපේ ඇන්ටිලා මගේ අහපු ප්‍රශ්ණයම, අපි හතේ පන්තියේ විතර ඉගෙන ගන්න කාලේ අපිට සමාජ අධ්‍යයනය උගන්නපු සුගතදාස ගුරුවරයා අපෙන් ඇහැව්වා.

පන්තියේ කොල්ලෝ, කෙල්ලෝ සාමාන්‍ය ටිපිකල් උත්තර දුන්නා. දහයේ පන්තියෙන්ම ඉස්කොලෙන් කැපිලා තාත්තා වගේ ඩ්‍රෑයිවර් කෙනෙක් වෙන්න ගිය සුනිල් පවා දුන්නේ වෙනත් උත්තරයක් මට මතක විදියට.

ඒ උත්තර අසා අවසානයේ සුගතදාස සර් මෙහෙම කිව්වා.

"මගේ දුව නම් පොඩි කාලේ කියන්නේ එයා ලොකු වෙලා නර්ස් කෙනෙක් වෙලා ලෙඩ්ඩුන්ට සාත්තු කරන්යි කැමති කියලා. මං එහෙම කතාවක් වෙනත් ළමයෙක් කියනවා තාම අහලා නෑ!"

කතාව ඇත්ත නේද?

මාත් තාම අහලා නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
සෞඛ්‍ය සේවයේ අය ඒ ක්‍ෂේත්‍රවලට යොමුවෙලා තියෙන්නේ රෝගීන්ව සනීප කරන්නට, රැකබලා ගන්නට, උපස්ථාන කරන්නටය කියා සිතීම, අද දවසේ දේශපාලුවන් දේශපාලනයට එන්නේ මහජනයාට සේවය කිරීමටය කියා සිතීම වගේ දෙයකි!

(image: http://www.dreamstime.com/royalty-free-stock-photography-hospital-staff-standing-row-over-white-image8564507)