ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 27 February 2013
කතන්දරකාරයා ගේ නිරුවත හෙළිවේ (ඇඩම්ස් ඔන්ලි) - Kathandara Karaya in drag (with photos)
මේ දවස්වල සිංහල බ්ලොග් ලෝකයේ වැඩ කෝටියයි.
නිරුවත හෙළිවෙනවා.
පුකත්වය හෙලිවෙනවා.
ඒ අල්ල පනල්ලේ ඒ අනං මනං ගැන කතන්දරත් ලියවෙනවා.
මං ලියපු බාලචන්ද්‍ර දරුවාගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන් කියන ලිපිය පලවුණාට පස්සේ ඒ කාරණය ටයිටලේට අරගෙන ශිශිර නිද්‍රාවෙන් මේ ළඟදී අවදි වුණු ඇනෝනිමස් ආතල්කාරයා පොඩි ලියුං කෑල්ලක් ලියලා දාලා තිබුණා.
ඒකේ තිබුණු උත්ප්‍රාසය තේරුම් ගන්න තරම් මස්තිස්ක වත්කමක් නොතිබුණු සමහර ඇනෝලා ඒ ගැන කියපු එක එක කතාවලට විනෝද සමයත් පරාදයි. අර කාලෙකට කලින් වර්ගපූර්ණිකාව බ්ලෝග් එක ගැන අපූරු කමෙන්ට්ස් දාපූ විදූ ගොයියාව සිහිවෙන ජාතියේ කමෙන්ට්ස් පවා ලැබිලා තිබුණා ඇනෝනිමස් ආතල් ගේ ලිපියට.
ඔය කේස් එක යන අතරේ මට මතක් වුණා ඇත්තටම කතන්දරකාරයා ගේ නිරුවත එළිවෙච්ච දවසක්.
මෙන්න ඒ ගැන පොඩි විස්තරයක් ඡායාරූප සහිතව.
මේ කාලේ මංතුමා හිටියේ පස්තාච්චි කුපාඩි වැඩකට තායිලන්තේ තියෙන ආසියානු තාක්‍ෂණික ආයතනයේ. නවක ශිෂ්‍යයින්ව පිළිගන්න තිබුණු උත්සවයට සම්ප්‍රදායානුකූලව පොඩි නාට්ටි කෑල්ලක් කරනවා විවිධ රටවලින් එතන ඉගෙන ගන්න ආපු ශිෂ්‍යයෝ.
මේ සැරේ අපේ ලංකාවේ සිසුන් කණ්ඩායම තීරණය කළා රූප සුන්දරී තරගයක් ඉදිරිපත් කරන්න. මෙතන වෙනස තමයි සේරම රූප සුන්දරියන්ට ආවේ කොල්ලෝ ගෑණු ඇඳුම් ඇඳලා, අර ඉස්සර ටීටර් කාලේ වගේ. කෙල්ලෝ ටික හිටියා විනිශ්චය මණ්ඩලයට.
එදා තමයි කතන්දරකාරයා ගේ නිරුවත හෙළිදරව් වෙච්ච එකම දවස.
මෙන්න එදා ගත්තු ෆොටෝ දෙකක ප්‍රින්ට්ස් දෙකක අද ගත්තු ඩිජිටල් ෆොටෝ දෙකක්.
මුලින්ම ෂෝ එක ඉවර වෙලා අපි ගත්තු සමූහ ඡායාරූපයෙන් කොටසක්. අනිත් රූප සුන්දරියන් සහ විනිශ්චය මණ්ඩලය කපලා දැම්මා.
මේ රූප සුන්දරී පැරේඩ් එකේ දී "මිස් එනර්ජි ටෙක්නොලොජි" වේදිකාවට ආ විදිහ. පසුපසින් ඉන්නේ "මිස් හියුමන් සෙට්ල්මන්ට් ඩිවෙලොප්මන්ට්" සහ "මිස් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරිං". ඒ දෙන්නගේ මූණූ නං පේන්නේ නෑ.
දැක්න නේද කතන්දරකාරයා ගේ නිරුවත හෙළිවුණු ආකාරය?
අපේ කොමඩි එක ඉවර වුනේ රූප සුන්දරිය "මිස් ඒඅයිටී" ට තේරුණු සාරියෙන් මූණ වහගෙන හිටපු "මිස් ජියෝටෙක්නොලොජි" ඇත්තටම මූණ පුරා රැවුල තියෙන පොරක් බව එළිවීමෙනුයි!
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න මේ දවස්වලම ගත්තු තවත් ෆොටෝ දෙක තුනක්.
1. උන්මාද විත්‍රසේන
2. එකමත්එක ගමේ කතන්දරාකාරාභිධාන ස්ථවිර
මේවායේ නම් නිරුවත නැත.
(image: http://www.daydaypaint.com/blog/tag/painting-reproductions-for-sale)
Monday, 25 February 2013
පුකත්වය යනු කුමක්ද සහ පුකත්වය හෙළිදරව් වීම - Arseholedness exposed!
පුකත්වය යනු කුමක්දැයි හොඳින් සැකහැර දන්නන් කිහිප දෙනෙක් මේ කතන්දරය කියවන පිරිස අතර සිටින්නට ඉඩ ඇත. ඒ සමගම වචනය ඇසූ පමණින්ම පුකත්වය යනු කුමක්දැයි පිළිබඳව තරමක අදහසක් ඇතිකර ගැනීමට තවත් බොහෝ දෙනෙකුට හැකි වෙනු ඇත.
ඒ කෙසේ වෙතත්, මා මේ සැරසෙන්නේ පුකත්වය යනු කුමක්දැයි පහදා දෙන්නයි. වඩාත් නිවරදිව කිවහොත් පුකත්වය යනුවෙන් මා අදහස් කරන දේ ගැන පහදා දෙන්නයි. පුකත්වයට නිර්වචනයක් ලබා දෙන්නයි.
පුක යනු කුණුහරුපයක් නොවන බව බ්ලොග් ලෝකයේ දී මා කලකට ඉහත කළ ප්‍රකාශය අද පවා උපුටා දැක්වේ. ඒ ලෙසින්ම මේ පුකත්වය යන පදයත් සිංහල බ්ලොග් බස්වහරට අද සිට එක්වේවා යන්න මගේ පරම පැතුමයි.
පුකත්වය යනු ඉංගිලිසි පදයක තේරුම දෙන්නට නිර්මාණය කරගත් මැවිසුරුවා, පිරිවිතර, කොන්දොස්තර, මියැසිය, රිද්මය වැනි වදනක් නොවේ යැයි මම සිතමි. මා දන්නා පරිදි පුකත්වය යනු හුදු හෙළ නිපයුමක් ම වේ. මක් නිසාද යත් පුකත්වය පෙන්වන්නට, පුකත්වය එළිදරව්වෙන ආකාරයේ කටයුතු කරන්නට අපට පර සුද්දා ගේ වැඩ කිඩ හෝ වචන හෝ අවශ්‍ය නැති නිසාය.
පුකත්වය යන්නට ඉංගිලිසි වදනක් අවැසිම නම් ඒ සඳහා ආර්ස්හෝල්ඩ්නස් (Arseholedness) යන්න ගැලපේ යැයි මම සිතමි.
කෙටියෙන් නිර්වචනය කළහොත් පුකත්වය යනු නිරුවතයි.
නමුත් එක් වැදගත් වෙනසක් ඇත.
නිරුවත බොහෝ විට සුන්දර, සෞන්දර්යාත්මක, රාගය වඩවන, කලාත්මක, ආහ්ලාදය ගෙන දෙන දෙයකි. නිරුවත දැකීමෙන් බොහෝ විට සිත පිබිදේ. කුල්මත් වේ. ප්‍රීති ප්‍රමෝදයට පත්වේ. ඔකඳ වේ.
පුකත්වය එසේ නොවේ. පුකත්වය පිළිකුල් සහගතය. අප්‍රසන්නය. අපුලය. ඔක්කාරය ඇති කරයි.
නිරුවත හෙලිදරව් වීම තරමක් හෝ ඉවසිය හැකි වුවත් පුකත්වය හෙලිදරව් වීම ඉවසිය නොහැකි වන්නේ එනිසාය.
පුකත්වය එලිදරව් වූ විට මුළු පරිසරයම ගන්දස්කාර වේ!
පුකත්වය සඳහා මගේ දීර්ඝ නිර්වචනය එසේය.
දැන් පුකත්වය යන වචනය පහදා දීම සඳහා මේ අතීත කතාව ගෙන හැර දක්වමි.
මා පෙරේදා ලියූ නිරුවත හෙලිවීම නම් වූ කයි-කතන්දරය මතකද? ඒ කවිය ලියවුණු වකවානුවේ මා ප්‍රධාන වශයෙන් කල් ගෙවුයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අක්බාර්-නෙල් නේවාසිකාගාරයේ ය.
අක්බාරයේ විසූ අප කෑම ගත්තේ එහි තිබුණු කැෆටේරියාව නොහොත් භෝජනාගරයෙනි. මෙහිදී මා රසවිඳි ගෙඩි ගෝවා මැල්ලුම සහ මූං ඇට හොඳි යනාදිය ගැනද, ටෙකිෆන්කන්ට් රූපවාහිනිය ගැන ද මා කලින් ලියා ඇත.
අක්බාර් කැෆටේරියාවේ කොන්ත්‍රාන්තුව මේ කාලය වන විට අප ප්‍රිය නරියා මුදළාලිගෙන් වෙනත් අයෙකුට පැවරී තිබුණි.
කවරෙකු කළා වුවද මෙය මහා ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් නොවේ. රුපියක් තුනයි පනහකට මිල නියමව තිබුණු කෑම පිඟානකින් කවර නම් ලාභයක් ගන්නද?
සතියේ දිනවල ලැබෙන පැයේදී දවල් කෑම අපි කෙසේ හෝ රස නොබලා ගිල දැම්මෙමු. රාත්‍රී කෑම ගැන තත්වය නම් එසේ නොවීය. අත ලඟ නොවූවද, වූස් එක, සංඝමිත්තාව, නාදන් එක යනාදී විකල්ප කිහිපයක් ද අක්බාර් වැසියන් සතුව තිබුණි.
මේ අතර මුදළාලිගේ තිබුණේ වෙනත් අරමුණකි. එය නම් ලාභාංශය අඩු බත් නොව ඉඳිආප්ප, ගෝදම්බ රොටී යනාදී වැඩි ලාබයක් ගෙන දෙන රාත්‍රී කැම වර්ග අපට කැවීමයි.
මේ හේතුව නිසා යාන්තම් හවස හත පමණ වෙන විට කැෆටේරියාවේ බත් අවසන් විය. එතැන් සිට අපට කන්නට තිබුණේ තවත් රුපියල් කීපයක් වැඩියෙන් වැය වෙන ඉඳිආප්ප හෝ ගෝදම්බ රොටිය.
ගෙදරින් ලැබෙන සොච්චමකින් ජීවිතය ගෙවන අප බොහෝ දෙනෙකුට මෙය දරාගත නොහැකි තත්වයක් විය.
අක්බාර් ශාලාවේ ශාලා කමිටු රැස්වීමට මුදළාලි කැඳවනු ලැබුවේ මේ ගැන විමසීමටයි.
"සර්, මං කීප දවසක්ම සෑහෙන පිරිසකට බත් උයලා සර්ලා පිටින් කාපු හින්දා ඒවා විසි කරන්න වුණා. ඒ හින්දායි මං බත් උයන ගාන අඩු කෙරුවේ" මුදලාලි නිදහසට කරුණු දැක්වීය.
"එහෙම රිස්ක් එකක් ගන්න මේ වගේ බිස්නස් එකක් කරන කෙනෙකුට පුළුවන් වෙන්න ඕනෑ!" කවුදෝ කොල්ලෙක් සභාවේ සිට කීවේය.
"අනේ සර් එහෙම ලිස්ට් එකක් ගන්න පුළුවනි නම් කොච්චර හොඳද? එහෙම නම් මට ඒ ලිස්ට් එකේ ගාණට හරියට උයන්න පුළුවනි!"
සභාවේ සිනා මැද මුදළාලි පොරොන්දු වූයේ ආයේ දිනයක එළෙස සවස 7:30 ට කලින් බත් අවසාන නොවෙන පරිදි වග බලාගන්නා බවත්, ඉන් පසු කෑම සඳහා ඉඳිආප්ප යනාදිය සපයන බවත්ය.
ඉන් සති දෙකක්වත් ගත වෙන්නට පෙර සිදුවූයේ මුදළාලි නොසිතු දෙයකි.
සාමාන්‍යයෙන් සති අන්තයට අක්බාරයේ ජනගහනය අඩුවේ. ඒ කොල්ලන් කොටසක් ගෙදර යන නිසාය. මේ සති අන්තයේ කුමක්දෝ සර්වේයින් ව්‍යපෘතියක් වැනි දෙයක් යෙදී තිබුණු නිසාදෝ තත්වය වෙනස් විය.
එහි ප්‍රතිඵලය වූයේ හවස වැඩි වේලාවක් යන්නට කලින් බත් පමණක් නොව, මුදළාලිට වැඩි ලාභයක් ගෙනදුන් ඉඳිආප්ප, ගෝදම්බ රොටී යනාදිය සියල්ල විකිණී අවසාන වීමයි.
තවත් විසි තිස් ගණනක් රෑට කන්නට බලා සිටිති. කැෆටේරියාවේ කුස්සිය හිස්ය. බතුත් නැත. ඉඳිආප්පත් නැත. රොටීත් නැත. මුදළාලි ට තරු පෙනේ.
"ඔන්න මුදළාලියා ගේ පුකත්වය එළිදරව් වුණා!" මා මිතුරු ජෝෂප් මොරවැව ඒ අවස්ථාවේ උද්ගත වී තිබුණු තත්වය සංක්‍ෂිප්තව විස්තර කළේ එලෙසය.
ඒ මා පුකත්වය යන වචනය මුලින්ම ඇසූ දිනයයි. ඒ උදාහරණයෙන්ම වචනයේ අරුත පැහැදිලි විය.
-කතන්දරකාරයා
ප/ලි:
මේ කතන්දරය මා ලියා ඇති අනෙක් කතන්දර මෙන්ම සත්‍ය සිදුවීමකි. මෙය මගේ සිහියට ආවේ පෙරකී "නිරුවත හෙලිවීම" කතන්දරය ලියන අතරතුර ය. මේ ගැන අනවශ්‍ය පරිදි දිගට සිතා කොකු/තොප්පි දමානොගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලමි.
(image: http://www.sodahead.com/fun/arsehole-of-the-week-6/question-2460005/?page=2)
Saturday, 23 February 2013
නිරුවත හෙලිවීම (මෙය හිකිස් හිකිස් කේස් එකක් ගැන නොවේ) - Nakedness Exposed!
අප සැම උපන්නේ නිරුවතිනි.
එහෙත් දැන් අපි රෙදි ඇඳ පැලඳ සිටිමු.
මොන රෙද්දෙන්, වස්ත්‍රයෙන් ගත වසා ගත්තද ඇතුලේ තිබෙන්නේ නිරුවත ය.
නිරුවත යනු යථාර්තයයි. නිරුවත හෙලිවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ යථාර්තය හෙලිදරව් වීමයි. හක්කේ දල්වා ගෙන ඇති බුදු රැස් නිවී බොක්කේ ඇති දඩමස් පෙනෙන්නට වීමයි.
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ලියන්නේ එවැනි නිරුවත හෙලිවීමක් පාදක කරගෙන ලියවුණු කවියක් ඔබට ඉදිරිපත් කිරීමටයි.
* * *
කලකට ඉහත එක්තරා සමයෙක ජාතිවාදී සංසිද්ධියක් ඇතිවී එදා මා ජීවත් වූ උප සංස්කෘතිය හෙල්ලුම් කෑවේය.
ජාතිවාදීන් ජාතිවාදී කටයුතුවල නිරතවීම පුදුමයක් නොවේ. එය උන් ට පැවරුණු කාර්යයයි. එහෙත් මෙහිදී කැපී පෙණුනු එක් දෙයක් වූයේ වෙනදා සහෝදරත්වය, මානුෂිකත්වය ගැන කයිවාරු ගසමින් සිටි ඇතමුන් ගේ ක්‍රියාකලාපයයි. කතාබහයි. තවත් සමහරුන් ගේ නිහැඬියාවයි.
මේ මා එදා ලියූ කවියයි. ඉතා කෙටි එකකි.
ජාතිවාදයේ බිරුසන් හඬ මැද
සමාජවාදය සැඟවී ගිය සඳ
සහෝදරත්වයෙ සළුපට ගිලිහුණි
අමානුෂිකත්වයෙ නිරුවත හෙළිවුණි!
එදා පමණක් නොව වඳ කෙසෙල් ගස් තර්ක මොටයි දමනා අද ද මගේ කවිය මට එදා අරුතම ගෙන දෙයි.
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න මා ලියූ (2009) තවත් කවි පන්තියකට සබැඳියක්. එහි මාතෘකාව "නූතන ජනකවි".
http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html
(image: http://www.123rf.com/)
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Thursday, 21 February 2013
බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන් - Balachandran, humans and evil beings
ඊයේ මම ඇඬුවෙමි.
ඒ බාලචන්ද්‍රන් මරාදැමීමට පෙර හා පසු ඡායාරූප දැක ඒ සම්න්ධයෙන් පලවී තිබුණු වාර්තාව කියවීමෙන් පසුවය.
එලියකන්ද වධකාගාරය ගැන රෝහිත මුණසිංහ ලියූ පොත කියවා ඇඬු මා ඊයේ ඇඬීම අරුමයක් නොවේ.
මා ඊයේ ඇඬුවේ බාලචන්ද්‍රන් වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ දොලොස් වියට එළඹෙන වයසේ සිටින මගේ පුතා වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ මා වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ මගේ පියා වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ ලොව සියළු පුතුන් සහ පියවරුන් වෙනුවෙනි.
මේ පුවත අසා කම්පා නොවුනු පුතෙකු, පියෙකු හෝ මවෙකු සිටීදැයි පුවත් වෙබ් අඩවිවල, බ්ලොග් අඩවිවල දමා තිබුණු ප්‍රතිචාර නොකියවූයේ නම් මට සිතා ගත නොහැකි වෙනු ඇත.
සමහරු මේ පුවත සහ ඡායාරූප සාවද්‍යයැයි සැක පහල කරති, බැහැර කරති.
සමහරු අරංතලාවේ සහ වෙනත් තැන්වල ත්‍රස්තවාදීන් මරා දැමූ ඡායාරූප සහ විස්තර සහිත සබැඳි එකතු කරති.
ඔවුන් ගේ ඒ හැසිරීම මට වටහා ගත හැක. ඒ මේ අපාරධය ගැන ඇසූ සැනින් නැග එන තම හෘද සාක්‍ෂිය යටපත් කර තාවකාලිකව හෝ හිත රවටා ගැනීමේ ප්‍රයත්නයන් ය.
තවත් සමහරු වාර්තාකරුවන්ට බණිති. වෙනත් බණ දෙසති. එපමණකින් නොනැවතී ඒ ළමා ඝාතනය, යුධ අපරාධය සාධාරණීකරණය කරන්නට සිත් පිත් නැත්තවුන් සේ කරුණු බඳිති. එවැන්නන්ට ළමා ඝාතන, යුධ අපරාධ නොව අඩුතරමින් නහි වේරේන වේරාණි ද අමතකය. න ජච්චා වසලෝ හෝති ද අමතකය. මද්දුම බණ්ඩාර ද අමතකය.
තවත් සමහරුන්ට ඇති ප්‍රශ්නය මේ අපරාධය නොවේ. ඒ අපරාධයේ ඡායාරූප ජනමාධ්‍යයට ලැබුණේ කෙසේද යන්නය.
මගේ කඳුළු මැද මා තනිවූයේ දැයි මට මොහොතකට සිතුණි.
නමුත් මා තනි නැත.
මා මෙන්ම ඒ දුක දැනුණු ටික දෙනෙකු හෝ සිටින බව මේ සිංහල බ්ලොග් අවකාශයේ තබා ඇති ප්‍රතිචාර කිහිපයකින් හෝ පෙනේ.
වසර තුනහමාරකට ඉහත දිනයක සිදුවුණු මේ අපරාධය ගැන මෙලෙස හෙලිවීමේ අතුරු වැදගත් කමක් මට තිබේ.
එනම් මිනිසුන් සහ නොමිනිසුන් වෙන් කර හඳුනා ගැනීමට මේ සිද්ධිය සම්බන්ධයෙන් යමෙකු දක්වන අදහස් මත මට ඉඩ සැලසෙන නිසාය.
මේ නොමිනිසුන්ගෙන් ඈත් වීමට කාලයයි.
-කතන්දරකාරයා
ප/ලි
මා දින තුනක් තිස්සේ අත්හදා බැලූ කඟෙන්ට් ක්‍රමය අත්හැර දැමූවෙමි.
එහි යම් යම් ප්‍රයෝජන තිබුණේ වුවද, හිත් පිත් නැති ඇනෝනිමස් බොට් ලාට එතුලින් රිංගා ගොසින් මා ලියූ ඇගේ බෙල්ල කතන්දරයට ප්‍රහාර එල්ල කළ හැකි වව පෙණුනි.
යම් අපහසුතාවයක් සිදුවුනේ නම් ඒ ගැන කණගාටුවෙමි.
(image: http://my.englishclub.com/profiles/blogs/silent-of-tears)
Tuesday, 19 February 2013
තවත් එක් චූ කතන්දරයක් (නොතේරෙන අයට කේස් එක අවශ්‍යම නම් පහදා දෙනු ලැබේ!) : Bladder control ~ for women only
අපේ වැඩිහිටි ඥාතිවරියක් දින කිහිපයක් ගත කිරීමට අප නිවසට පැමිණියාය. සති අන්තයේ සෙනසුරාදාවේ ඇයව ද රැගෙන පොඩි පහේ විනෝද චාරිකාවක් යෑමට හාමිනේත් මමත් සැලසුම් කළෙමු.
අපට නිවසින් පිටත්වෙන්නට තිබුණේ උදෑසන දහයට පමණය. හීලට කිරිබත් කා තේ බීවේ උදේ හතට පමණ නිසා එදා මට නමයට පමණ තේ එකක් බීමට සිතක් පහළ විය.
"ඩාල්, හදන්නකෝ හොඳ ළමයා වගේ තේ. යන්න කලින් තේ එකක් බිව්වොත් හොඳයි වගේ!" මම මා ප්‍රිය බිරිඳ අමතා කීවෙමි.
"නැන්දට ඕනෑ, කිරි තේ ද, නිකං තේ ද, කෝපි ද?" බිරිද නැන්දා විමසුවාය.
මා නම් මේ වේලාවට බොන්නට කැමති හොඳවායින් ඉඟුරු තේ එකක් බව හාමිනේ දන්නීය.
"අනේ දුවේ, දැන්නම් මට තේ එපා" නැන්දා කියා සිටියාය. "දැන් අර ගමන යන්නත් තියෙනවා නේ!"
"ඒක තමයි නැන්දේ අපි යන්න ඉන්නේ දහය පහුවුණාම නේ. තව පැයක්ම තියෙනවා. තේ එකක් බොන්න. නැත්නම් කාර් එකේ පැයක් විතර යන්න තියෙන නිසා බඩගිණි ඒවි."
"ඒක හින්දාම තමයි මං තේ එපාය කිව්වේ. මං සාමාන්‍යයෙන් ගමණක් යන්න පැයක දෙකකට විතර කලින් ඉඳලා කිසි දෙයක් බොන්නේ නෑ."
"ඇයි නැන්දේ ඒ?"
"ඇයි ළමයෝ, ගිහින් එන්න පැය තුන හතරක් විතර යන ගමණක් නම් යන්න කලින් තේ බීලා අතර මගදී ටොයිලට් යන්න ඕනෑ වුණොත් මොකද කරන්නේ? පිටත් වෙන්න පැය දෙකකට විතර කලින් මං වතුර ටිකක්වත් බොන්නේ නෑ. ඒ විතරක් නොවෙයි, ගෙදරින් පිටත් වෙන්න විනාඩි කිහිපයකට කලින් ටොයිලට් යනවා. එහෙම කළාම පැය පහ හයක් වුණත් කිසි ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුළුවනි" නැන්දා කියා සිටියාය.
නැන්දා ගේ ඒ කතාව අසා මා මුළින්ම විමතියටත්, පසුව දුකටත් පත් වුණෙමි.
මේ ලංකාවේ නගරබද වෙසෙන ගැහැණියකට මුහුණ දෙන්නට වී ඇති තත්වයයි.
ශරීර අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට හරි හමන් තැනක් නැත!
කොළඹ ගියොත් මේ සඳහා ලොකු ෂොපින් සෙන්ටරයකටම ගොස් වෙනම ම මුදල් ද ගෙවා වැසිකිළි යා යුතුව ඇත.
නුගේගොඩ දී චූ බරක් හැදුණෙමි යන කතන්දරයෙන් ද මා කියූවේ මේ තත්වය ගැනයි.
පිරිමි අපි නම් ඔය අවශ්‍යතාවය කොහොම හරි ඉටු කර ගනිමු.
ඒත් කාන්තාවන්?
-කතන්දරකාරයා
ප/ලි:
නොතේරෙන අයට කේස් එක අවශ්‍යම නම් තවදුරටත් පහදා දිය හැක!
ප/ප/ලි
කමෙන්ට්ස් සඳහා අළුත් ක්‍රමයක් අත්හදා බලමින් පවතී. මෙය ආනන්දවර්ධන ගේ වෙබ් ආලෝචනා, ඩීප්ස් ගේ ලෝකය වැනි බ්ලොග්වල කාලයක් තිස්සේ භාවිතා වූ disqus ක්‍රමයයි.
(image: http://www.hivehealthmedia.com/try-some-lifestyle-strategies-for-better-bladder-control/)
Sunday, 17 February 2013
සින්දු ෆැක්ටරියක් දාන්න ක්‍රමයක් - Factory produced songs!!!
මෙන්න මේකයි කේස් එක.
මං ලියපු කවි කෑලි විස්සක් විසි පහක් "එන්ඩෝ, මේ කවි කෑලි සින්දුව වලට ගන්ඩෝ" කියලා බ්ලොග් එකක දැම්මා දැන් අවුරුදු කීපෙකට කලින් 2005 දී. (ඔව් ඒ කියන්නේ ඒක ප්‍රාග් ඓතිහාසික කාලේ බ්ලොග් එකක්, හැබැයි ඒ දවස්වල නෝ යුනිකෝඩ් නිසා රූප විදියටයි පළ කෙරුවේ!)
ඕවා දාලා ටික කාලෙකින් ඉල්ලීම් එන්ණ පටන් ගත්තා ලෝකේ දස දෙසින් සූ ගාලා.
එයින් එක පදමාලාවක් වෙන "ඉස්සර දවසක - ලස්සන හවසක" වචන වලින් ඇරඹෙන හන්තානේ පෙම් ගීතයටත් ආවා "අනේ මේ කවිය මට සින්දුවකට ගන්න දෙන්ඩෝ" කියලා ඉල්ලීමක්. එසේ මෙසේ තැනකින් නොවෙයි ආයිබෝං, ඇමරිකාවෙන්, ඇමරිකාවෙන්.
නමුත් ඉතිං ඒ කවිය සින්දුවක් වෙලා අපිට ඇහෙන්න තවත් සෑහෙන කාලයක් ගියා.
මෙන්න ඒ සින්දුව ගැන කතන්දරේ.
ඇම්.පී.ත්‍රී. සහිත හන්තානේ ලව් සෝන්ග් එක: http://kathandara.blogspot.com/2010/09/blog-post_13.html
ඔය අතරතුරේ ඉතාලියේ ඉන්න වෙන්ඩ ගායකයෙකුගෙනුත් මට මේ කවියම දෙන්න කියලා ඉල්ලීමක් ආවා.
එක සින්දුව දෙන්නෙකුට දෙන්න බෑනේ. මං උන්නැහේට ඒ අදහසම, ඒ තාලෙම තියෙන වෙනම එකක් ලියලා දුන්නා.
මෙන්න ඒ දෙවෙනි සින්දුව ගැන කතන්දරේ.
එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක්: http://kathandara.blogspot.com/2012/04/one-seed-and-two-fruits.html
ඔය වගේම තවත් කේස් එකක් වුණා මේ ලඟදී.
සමන් ජයනාත් ජිනදාස සහ ධම්මිකා දේවසුරේන්ද්‍ර ගායනා කරන මේ සින්දුව මතකද?
වරම් නැත මට ඇඟිලි තුඩඟින් සුමුදු කම්මුල් පිරිමදින්නට: http://kathandara.blogspot.com/2012/12/saman-jayanath-jinadasas-latest-song.html
තවත් දුරු රටක ඉන්න සංගීතඥ ගායකයෙකුත් අර මුලින් ගී පදමාලාවටම ටියුන් දාලා, මියුසික් දාලා සින්දුවක් හදලා!
ඉතිං මොකද කරන්නේ? එක පදමාලාව දෙන්නෙකුට දෙන්න බෑනේ. හැබැයි දැන් මේ දුරු රට සංගීතඥ ගායකයා හොඳ ටියුන් එකක් දාලා මියුසික් කරළා නිසා ඒවා අහක දාන්නත් බෑ!
මං වහාම ඒ වගේ අදහසක්ම, ඒ තාලෙම තියෙන තවත් පදමාලාවක් ලිව්වා. එතකොට අර හදලා තියෙන මියුසික් එකටම කියන්න පුළුවනිනේ. ඔය විකල්ප පදමාලාව ලියන්න වචන එහෙට මෙහෙට කපන කොටන කොට අන්තිමේදී එක විකල්ප පදමාලාවක් නොවෙයි විකල්ප පදමාලා දෙකක්ම ලියවුණා!
මෙන්න ඒවා.
පලමු විකල්පය | දෙවන විකල්පය |
1. වරම් දෙනු මැන ඔබේ තුරුලේ සදාකල් මා හට රැඳෙන්නට වරම් දෙනු මැන ඔබේ නාමෙන් සදාකල් මට ගී ගයන්නට | A. වරම් දෙනු මැන මගේ දෙතොලින් සුමුදු ඔබ වත මල සිඹින්නට වරම් දෙනු මැන මගේ සුරතින් සුමුදු කෙහෙරැලි පිරි මදින්නට |
2. සිතේ බැඳි සෙනෙහසේ මැදුරේ ඇතේ නටඹුන් විසිරිලා අසම්මත පෙම බැඳුනු දෙසිතේ වසන්තය අද ගොළුවෙලා | B. සදා මේ ලොව එක්ව ඉන්නට බැඳුණු පැතුමන් සුන්වෙලා අසම්මත පෙම හදේ සිරකර ඉඳිමු දෙලොවක තනිවෙලා |
3. හිරු නැතේ අද සඳු නැතේ අද මගේ ලොව අඳුරුයි පි‍්‍රයේ ගිලන් හදවත කොනක සෙනෙහස ඔබ නමින් සැමදා තියේ | C. හිරු නොමැති ලොව සඳු නොමැති ලොව අපේ ලොව අඳුරුයි පි‍්‍රයේ සතුට මදහස මිහිර සිසිලස සිහිනයකි සැබවක් නොවේ |
ඒ පදමාලා දෙක ලියලා ඉවර වුණාම තමයි මට තේරුණේ මේ පදමාලා දෙකෙන් ඕන්නම් සින්දු දෙක ගානේ කියන්න ක්‍රම හතරක් තියෙනවා නේද කියලා. ඒ කියන්නේ ඕනි නම් සින්දු අටක් හදන්න පුළුවනි මේ කවි පන්ති දෙකෙන්.
මැත්ස් ඕනෑවට වඩා දන්න කෙනෙකුට හිතෙන්න පුළුවනි සින්දු අටක් නොවෙයි ඕන්නම් හැට හතරක් වුනත් හදන්න පුළුවනි නේද කියලා.
නමුත් ඒ කොහොම වුනත් කියන්න පුළුවන් සින්දු දෙකයි! එක සින්දුවක එන පදයක් තවත් එකක එහෙමම ආවොත් හරි නෑනේ.
දුරු රට ඉන්න ගායකයා සින්දුව කිව්වට පස්සේ දාන්නම් ඇම්.පී.ත්‍රී. එකක්.
-කතන්දරකාරයා
ප/ලි:
මෙය සන්ඩේ ඉස්පැෂල් ඇක්ට්‍රාවකි.
(image: http://i88.photobucket.com/albums/k178/ulver_2006/2qcfd54.jpg)
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Friday, 15 February 2013
තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් හෙවත් පුත් කුමරුට නම් තැබීම - Breaking the trend is trendy!
අර පහේ පන්තියේ සිස්සස්සෙට තියෙන අංක රටා ගණං මතක ළමයි අත උස්සන්න බලන්න.
ඔන්න එක සරල උදාහරණයක්.
1,3,5,7
දැන් ඔහෙලාට තියෙන්නේ මේ රටාවේ ඊලඟට එන අංකය හොයන්නයි.
(පහ පාස් නැති අයගේ ප්‍රයෝජනය පිණිස මෙන්න උත්තරයඃ 9)
මෙන්න තව එකක්.
1,3,7,15 (උත්තරය 31)
මෙන්න තවත් එකක්.
1,2,6,42 (උත්තරය 1806)
ඔය ආකාරයට පහ පාස් අයට වුණත් අමාරු ඉලක්කම් රටා ගණං සෙට් කරන්න පුළුවනි.
රටා කියන ඒවා ඉලක්කම් වලට විතරක් නොවෙයි අදාල වෙන්නේ.
සමහර දෙමව්පියෝ තමන්ගේ ළමයින්ට නම් දාන්නෙත් රටාවකට.
මං දන්න එක පවුළක සහෝදරවරු හතර දෙනෙක් යුනිවසිටියේ හිටියා.
ලොකු අයියා: රාමචන්ද්‍ර රණවක
ඊලඟ අයියා: නාමචන්ද්‍ර රණවක
ඊලඟට: කේමචන්ද්‍ර රණවක
බාලයා: සාමචන්ද්‍ර රණවක
ඔය නම් හතර දැනගත්තු මුල් දවසේ මට හිතුණේ මේ සහෝදර සමාගමේ දෙමව්පියන් කොච්චර නිර්මාණාත්මක සිත් තියෙන අයද කියලයි.
ඒ සිතුවිල්ල හොඳටෝම තහවුරු වුනේ, මේ පවුලේ ලොකු අයියලා දෙන්නෙකුත් ඉන්න බව දැන ගත්තු දවසේදී යි.
ලොකුම ලොකු අයියා: ප්‍රේමචන්ද්‍ර රණවක
ඊලඟ ලොකු අයියා: සෝමචන්ද්‍ර රණවක
මරු නේද?
හැබැයි ඔය එක අච්චුවේ නම් දාන වැඩේ අප්සෙට් යන්නේ කොල්ලොයි, කෙල්ලොයි දෙජාතියෙන් ම ඉපදුණාමයි.
ඔන්න එක කලින් වගේම නිර්මාණාත්මක පවුලක මුලින්ම ඉපදුනේ කෙල්ලෙක්. දෙමව්පියෝ ලොකු බබාට දැම්මා නම මෙහෙම.
ශ්‍රියන්ති රංජනා වික්‍රමාරච්චි
ඊලඟට ඉපදුනේත් කෙල්ලෙක්. එයාට නම දැම්මේ මෙහෙමයි.
ප්‍රියන්ති අංජනා වික්‍රමාරච්චි
තුන්වෙනියත් කෙල්ලෙක්ම වෙච්චි. එයා ට නම වැටුණා මෙහෙම.
දයන්ති කුංජනා වික්‍රමාරච්චි
හතරවෙනියාටත් කෙල්ලෙක්ම ලැබුණොත් මේ දෙමව්පියෝ හිතාගෙන ඉන්න ඇති මෙන්න මේ වගේ නමක් දාන්න.
ජයන්ති වන්දනා වික්‍රමාරච්චි
රයන්ති සංජනා වික්‍රමාරච්චි
අයන්ති වින්දනා වික්‍රමාරච්චි
නමුත් මොකද දන්නවා වුනේ?
ඊලඟ දරුවා පුතෙක්!
නම් දැමීමේ ප්ලෑන් එක අංජබජල් වුණා.
දෙන්නා එකතුවෙලා හිතුවා, හිතුවා දූලා ගේ නම්වල අච්චුවටම ගැලපෙන හැබැයි කොල්ලෙකු ගේ නමක්. නමුත් හිතාගන්නම බැරිවුණා.
ඉතිං දැන් කාටද කියන්න පුළුවන් මේ දෙමව්පියෝ අළුත ඉපදුණු පුතාට දැම්ම නම මොකක්ද කියලා?
හේමසිරි වික්‍රමාරච්චි
තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියන්නේ ඔන්න ඔය වගේ කේස්වලටයි.
සම්ප්‍රදායන් හදාගන්නේ අප හින්දා නිසා ඒවා බිඳින්නට පුළුවනි ද අපටමයි.
-කතන්දරකාරයා
ප/ලි:
අර අත් උස්සන් ඉන්න ළමයි ටික දැන් අත් පහලට දාන්න හොඳේ?
(image: http://www.sofeminine.co.uk/celebrities/jackson-five/album840351/jackson-five-fan-club-album-20809363.html)
Wednesday, 13 February 2013
හිත් පිත් නැති බොට් ඇනෝනිමස් කමෙන්ට්කාරයින්ගෙන් බ්ලොග් ලෝකය ගලවා ගත යුතුය! - Bot Hit, Ouch, Ouch!
වවුලන් එන්නේ, ගල් වදින්නේ රසබර පලතුරු පිරි ගසකට ම ය.
වැසි නැති හෙණ වදින්නේ පව්කාරයින්ට ය.
කතන්දර බ්ලොගය සහ එය කරවන කතන්දරකාරයා සම්බන්ධයෙන් ඉහත කියමන් දෙකෙන් කුමක් අදාල වේදැයි නොදනිමි.
ඒ කෙසේ වෙතත් මේ බ්ලොගයට මෑත අතීතයේ දී ඇනෝනිමස් ලා ගෙන් නිරතුරු කරදය තිබුණු බවට නම් විවාදයක් නැත.
මා මේ කියන්නේ කනේ කළාදුරු ගන කතන්දරයක් ලියා මා සංග්‍රහ කළ නෝටි ඇනෝ ලා ගැන නොවේ.
මා මේ කියන්නේ මා දුටු සුන්දරතම සිහිනය ගැන කියා උපහාරයට බඳුන් කළ ගුඩ් ඇනෝ ලා ගැන ද නොවේ.
මා මේ කියන්නේ හිත් පිත් නැති ඇනෝ ලා කොටසක් ගැනය.
සැබවින්ම හිත් පිත් නැති රොබෝ ඇනෝ ලා නොහොත් බොට් ලා ගැනය.
මින් වසරකට පමණ පෙර මේ ආකරයේ හිත් පිත් නැති බොට් ඇනෝ ලා ගෙන් කතන්දර බ්ලොගයට අති භයානක ප්‍රහාරයක් එල්ල විය. මෙන්න ඒ ගැන මා එදා ලියූ කතන්දරය. http://kathandara.blogspot.com/2012/01/cyber-attack-on-kathandara-blog.html
ඒ දිනවල සිටම කතන්දර බ්ලොගයට දිනකට ස්පෑම් කමෙන්ටු එකක් දෙකක් ලැබෙන්නට පටන් ගත්තේය. මෑත කාලයේ මේ තත්වය වැඩි වී තිබේ.
පසුගිය දිනයක පැය විසිහතරක් ඇතුලත මෙවැනි ඇනෝනිමස් කමෙන්ටු විසි හතරක්ම ලැබුණි.
මගේ හොඳ වෙලාවට බ්ලොගර් කරවන ගුගල් බාප්පා ඒවා ස්පෑම් ෆෝල්ඩරයට යවයි. මා කමෙන්ටු මොඩරේට් කරන්නට පටන් ගත් දා සිට එකක් දෙකක් ස්පෑම් ෆිල්ටරයට මග හැරී සාමාන්‍ය ස්ථානයට එයි.
මේ දිනවල මේ ස්පෑම් කමෙන්ටු ලැබෙන්නේ "අහෝ ඇගේ බෙල්ල" නමැති කතන්දරයටයි. ඒ කතන්දරයේ අනෙකුත් කතන්දරවලට වඩා වැඩි වෙනසක් නැත. මේ බොට් ලා ඒකටම කමෙන්ට් දමන්නේ ඇයි දැයි මට නොතේරේ.
මෙන්න මට ලැබෙන ස්පෑම් කමෙන්ටු සඳහා උදාහරණ කීපයක්.
මේ හැම එකකම විවිධ භාණ්ඩ සහ සේවා සඳහා සබැඳි අමුණා ඇති බව පෙනේ.
මෙය කියවන බ්ලොග් ලියන ඔබටත් මේ කරදරයට මුහුණ දෙන්නට වී තිබේද?
-කතන්දරකාරයා
(image: http://techtites.com/2009/07/01/defend-cyberspace-with-a-massive-multiplayer-online-game-bots/)
Monday, 11 February 2013
වැසි දිනයක දර්ශණයක් : A rainy day - as seen by a grade three student ;-)
මා තුන්වන වසරේ උගන්නා කාලයේ පාසැලේ තෙවන ශ්‍රේණි පංති තුනක් විය. ඒ එක් පංතියක ලමුන් විසි දෙනෙක් පමණ ඉගෙන ගත්හ. අපේ පංතිභාර ගුරුතුමියවූ සෝමාවතී ටීචර් අපට ඉංගිලිසි විෂයය හැර අන් සියළු දේ ඉගැන්නුවාය. පාසැලේ ඉංගිලිසි ගුරුතුමා වූයේ වංකනාසික තිස්ස (මෙය දේශපාලනිකව නිවැරදි අන්වර්ථ නාමයක් නොවේ) සර්ය.
මේ සමගම කිව යුත්තේ, අපේ ගුරුවරියන් ටීචර්ලා වශයෙන් ඉංගිලිසි පදයෙන් හැඳින්නුවද, සර් කෙනෙකු ලෙස ඉංගිලිසි පදයෙන් හැදින්වුනේ වුනේ කලිසම් හැඳි ඉංගිලිසි ගුරුවරයා පමණක් බවයි. අනෙක් පිරිමි ගුරුවරු තිදෙනාම හැඳින්වුනේ මහත්තයා යනුවෙනි. ඒ නිකුලස් මහත්තයා, චන්ද්‍රසේන මහත්තයා සහ ලොකු මහත්තයා තිදෙනාය. ඔව්හූ රෙදි බැනියම්කාරයන් වූහ.
තුනේ පංති තුනක් තිබුනද, වාරාවසාන පරීක්‍ෂණයන් පැවැත්වුනේ නම් සෝමාවතී ටීචර්ගේ 3-ඒ පන්තියටද, ඥණවතී ටීචර්ගේ 3-බී පන්තියටද, මැගිලින් ටීචර්ගේ 3-සී පන්තියටද එකටය. මේ සඳහා පන්ති තුන වෙන් කරන ශබ්ද භාධකයන් වූ කබඞ් යනාදිය පසෙකට කර තරමක ශාලාවක් නිමවා, සියළු මේස පුටු එහි එක් දිශාවකට හරවා ඉඩ කඩ ඇතිව සකසනු ලැබේ. ශාලාවේ එක් කොනක කළුලැල්ලක් ද අටවනු ලැබේ. ඒ විභාග ප‍්‍රශ්ණාවලිය ලියනු පිණිසය. අපේ බොහෝ විෂයයන් සඳහා තිබුනේ ප‍්‍රශ්ණ දහයක් පමණක් බැවින් මෙසේ ලිවීම ටීචර්ලාට අපහසු කටයුත්තක් නොවේ. කළුලැල්ලේ ලියනවාත් සමගම ප‍්‍රශ්ණ හඬ නගා කියවනුද ලැබේ.
සිංහල, බුද්ධාගම, ගණිතය, ඉංගිරිසි යන මූලික විෂයයන්ට අමතරව, ඉතිහාසය, භූගෝලය, ස්වභාව අධ්‍යයනය සහ සෞඛ්‍යය යන විශේෂ විෂයයන් ද මේ වන විට අපි උගත්තෙමු. මීට අමතරව, ප‍්‍රායෝගික විෂයයන් වූ වතුවැඩද, චිත‍්‍රකර්මයද විය.
එක් වාරාවසාන විභාගයකදී චිත‍්‍රකර්ම විෂයය සඳහා අපට නියමවූයේ "වැසි දිනයක දර්ශණයක්" සහ "චීත්ත රෙදි මෝස්තරයක්" අදින්නටයි. මේවා අප සැමට හුරු පුරුදු මාතෘකාවන් විය. මම අඩ පැයක් පමණ ගතකොට වැසි දිනයක දර්ශණයක් ඇඳ නිම කලෙමි. වැස්ස වසී. වංගු සහිත පාරක් ඇත. කුඩ, හබරල කොල ඉහලා ගත් පිරිස් පාරේ යති. වාහන දෙකක් හැපී පාරෙන් ඉවතට පෙරලී ඇත. ළමෝ වතුර පාරවල් වල කඩදාසි ඔරු පා කරති.
අප චිත‍්‍ර අදින අතර ටීචර්ලා තිදෙන ශාලාව මැදට වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ.
ටික වේලාවකින් පාසැලේ ලොකු මහත්තයා සැපත්විය. ඔහු ඩෙස් බංකු පේලි අතර සැරිසරමින් ළමුන් වැඩ කරන ආකාරය නිරීක්‍ෂණය කරන්නට විය.
ශාලාවේ ඈත කොනේ සිටි මා මිතුරු සිසුවෙකු ලඟ නැවතුනු ලොකු මහත්තයා මද වේලාවක් මිතුරාගේ චිත‍්‍රය දෙස බලා සිට ඔහුගෙන් කුමක්දෝ විමසන අයුරුත්, මේ වන විට එතැනට පැමිණි ටීචර්ලා තිදෙනාද සමග චිත‍්‍රය දෙස බලමින් සිනාසෙන අයුරුත් මට පෙනුණි.
චිත‍්‍ර විභාගය අවසානයේ දී අප සැම දැනගත් පරිදි සිදුවී තිබුනේ මෙයයි.
විභාග ශාලාවේ ඈත කොනේ සිටි මා මිතුරාට එදින චිත‍්‍ර විභාගයේ මුල් මාතෘකාව ඇසී ඇත්තේත්, පෙනී ඇත්තේත් "වැසිදිනයක දර්ශණයක්" ලෙසින් නොව "වැසිකිලියක දර්ශණයක්" ලෙසිනි.
ඔහු අඩ පැයක් පමණ ගතකොට ඉතා අගනා චිත‍්‍රයක් ඇඳ තිබුනි. එය ගමේ ගොඩේ එවකට සුලභව තිබූ "වල කක්කුස්සි" නමින් හැදින්වෙන ආකාරයේ වැසිකිලියකි. එහි දොර පිටතට විවෘතව ඇත. වැසිකිලි වලද, පා තබන කොටස ද ඉතා හොදින් පෙනේ.
වාසනාවට මෙන් කිසිවෙකු හෝ ඒ මොහොතේ වැසිකිලිය පාවිච්චි කරමින් සිටියේ නැත!!!
-කතන්දරකාරයා
(image: http://blogs.bettor.com/Sri-Lanka-v-Pakistan-Match-Abandoned-due-to-heavy-rain-Cricket-News-Update-a162336)
Saturday, 9 February 2013
කවියක් සින්දුවක් කරන හැටි - A new song by Hemal Jayawickrama
සින්දු කවි කරන හැටි නම් අපේ කෂ්ටියට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නෑ නේ! බොහෝ විට දිනපතා ම, සතිපතා ම හෝ මාස්පතා ම කරලා සෑහෙන්න එක්ස්පීරීයන්ස් තියෙනවා මට නම්.
අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය කවියක් සින්දුවක් කරන විදිය ගැනයි. පාඩම් පොතක විදියට පියවරෙන් පියවර නෙමෙයි, එකෝම එක උදාහරණයකින්.
මෙන්න අහවලා ලියපු කවියක්.
දුරු රට පෙම්වතිය
නැගී දිලේවා සඳ අම්බරයේ
පිපී සැලේවා තරු මන්දාකිණියේ
නිමා නොවේවා මේ සුන්දර සිහිනේ
සදා ඔබෙයි මා පින්බර ළඳුනේ
වෙලිලා සීතල සුළඟේ
නැගිලා සුදු වළා රොදේ
පාවී එන්නම් මෙලෙසේ
පෙම් ගීයක පද විලසේ
යොදුන් ගනන් දුර දෙරණේ
තනි කමක් දැනේදෝ
සැබෑ ලොවේ නොව සිහිනේ
ඔබ මගේ නොවේදෝ
ඕක මං හිතන්නේ දැන් අවුරුදු ගණනාවකට කලින් ලියවුණු එකක්.
කවිය ඔහොම තිබුණට සින්දුවක් වෙන්නේ නෑ. ඒකට මුලින්ම තනුවක් ඕනෑ.
ඔන්න තනුව දැම්මා හේමාල් ජයවික්‍රම.
නමුත් තනුවට ගැලපෙන්න නම් කවිය එහෙන් මෙහෙන් කෑලි කපලා, කෑලි අල්ලලා, අළුත් පද දාලා වෑල්ඩිං කරලා ගන්න වුණා.
කෝරස් කෑල්ලේ දෙවෙනි සහ තුන්වන පදවල මාත්‍රාවක් වැඩියි. කපලා දැම්මා කීස් ගාලා.
නැගී දිලේවා සඳ අම්බරයේ
පිපී දිලේ තරු මන්දාකිණියේ
නිමා නොවේවා සුන්දර සිහිනේ
සදා ඔබෙයි මා පින්බර ළඳුනේ
කෝරස් කිව්වාට ඒ කෑල්ලෙන් "සදා ඔබෙයි මා පෙම්බර ලඳුනේ" කොටස විතරයි කෝරස් වෙන්නේ.
මුල් වර්ස් එකේ දෙවෙනි පදේ දිග මදි හේමාල් ගේ තනුවට. ඉතිං හේමාල් වචනයක් වාත්තු කළා එතනට. ඒ මදිවට වර්ස් සෙට් දෙකට තව පදය ගානෙත් දැම්මා.
වෙලීල සීතල සුළඟේ
නැගීල සුදු මුදු වළා රොදේ
වෙලීල සීතල සුළඟේ
නැගීල සුදු මුදු වළා රොදේ
පෙරාල ගී රස සවනේ
පාවී එන්නම් මෙලෙසේ
පෙම් ගීයක පදවැල් විලසේ
සෑහෙන කාලයක් ගියා ඔය ඔපරේෂොන් එක ඉවර වෙන්න.
සංගීතය දැම්මා අශෝක් සිටිනාමලුව.
මෙන්න අවසාන ප්‍රතිපලය. මේ ක්ලිප් එක හැදුවේ ගායකයාමයි. මං නං කැමති ඇස් දෙක වහගෙන මේ සින්දුව රස විඳින්නයි!
මේ ටිකත් ලියන්න ඕනෑ. මං මේ බ්ලොග් එක කරන්නේ විනෝදාංශයක් විදියටයි. එහෙම නැතුව සම්භාව්‍ය නිර්මාණ කරලා කම්මැල්ලවීරට හරි අමරකීර්තිට හරි සටනක් දෙන්න නොවෙයි.
ඒ වගේම මේ සින්දු හදන, කියන, මියුසික් කරන අයත් මේවා කරන්නේ විනෝදාංශයක් විදියට. නැතුව අමරසිරී පීරිස්ට, රෝහණ විරසිංහට සටනක් දෙන්න නොවෙයි.
තවත් එකක් කියන්න ඕනෑ. මං ලියන ඒවායින් මට විනෝදයක් ලැබෙනවා වගේම කියවන අයටත් විනෝදයක් ලැබෙනවා නම් ඒක බෝනස් එකක්. හැබැයි ලියන එකාට ලැබෙන විනෝදය නැති වුණ දවසට ලිවීම නතර වෙනවා ඇති.
-කතන්දරකාරයා
ප/ලි:
කරුණාකර මේ කවිය ගැන හෝ ගීතය ගැන හෝ පොදුවේ ගීත සාහිත්‍යය ගැන පමණක් ප්‍රතිචාර දක්වන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලමි.
(image: from google - exact source unknown)
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Thursday, 7 February 2013
පොතකින් උස්සන ලදී - උණු උණු නැත, ටිකක් පරණයි! - A leaf out of Akshara Senaga
"ඉනි අවන්" කරපු අශෝක හඳගම කාළෙකට කලින් "අක්‍ෂරය" කියලා මූවි එකක් කළා. ඒක තහනම් කළ නිසා හුඟ දෙනෙක් ඩීවීඩී එක දැකලා ඇතිනේ?
අක්‍ෂරය කිව්වාම මට මතක් වුනේ අක්‍ෂර සෙනග කියන පොත. මේක නිර්මාණ එකතුවක්. ප්‍රකාශනය කෙරුවේ බූන්දි කාරයෝ.
සයිබර් අවකාශයේ ලේඛන කලාව ගැන උනන්දුවක් තියෙන බොහෝ දෙනෙක් බූන්දි [boondi.lk] වෙබ් සයිට් එක සහ ගූගල් ගෲප් එක ගැන දන්නවා වෙන්න ඕනෑ.
බූන්දි වෙබ් සයිට් එක 2008 ආරම්භ කරපු දවසේ දොරට වැඩිය "අක්‍ෂර සෙනග" ග්‍රන්ථයට රසික සූරියආරච්චි ලියපු හැඳින්වීම මෙන්න.
බූන්දිය ගෝලීයකරණයේ සොඳුරු ඵලයකි
අළුත්ම පෙන්ටියම් පෙති රාජයෝ වනාහී වැඩට රුසියෝ ය. දහඩිය දමන දැඩි උණුසුමක් ජනිත කරමින් ඔව්හු පැය විසි හතරම ස්පාටකස් ලා සේ වැඩ කරති. එසේ උපදින තාපය නම් මේ පෙති රාජයන් ට අරහං බව නොකිව මනාය. නමුත් උණුව දියව යෑමක් ගැන කිසිසේත් බිය විය යුතු නැත. අසල සවි කොට ඇති අධිබලැති තාප අවශෝෂක පංකාවෝ සැණෙකින් ඒ ජනිත තාපය ණිවති. කෘතිම වූ නමුදු සුමුදු වූ පරිසරයක් එහි මවති.
කරුණු එසේ වුවද, එකී පෙන්ටියම් පෙති මත උදේ හවා ගැටෙමින්, උත්තල කැතෝඞ් කිරණ නාල තිර මත නැත්නම් ද්‍රව ස්ඵටික ප‍්‍රදර්ශක තිර මත තම නෙත් කෙවෙනි උලමින්, ප්ලාස්ටික් යතුරු පුවරු මත ගට්ටා තම අතැඟිලි ගෙවා ගනිමින්, හරි හතරැස් පික්සල් ජීවිත ගෙවන්නන් ගේ තාප ජනිත සරතස කෙලෙස නම් නිවේද? ව්‍යාපෘති, පිරිවිතර, ප‍්‍රක‍්‍රමණ, දේය දින, සම්පත් කළමනාකරණය යනාදී මෙකී නොකී මළ-ඉලව් වලින් උපදින ආතති කෙලෙස නම් සිඳී යා ද?
එදා නිල් අහස යට ගොයම් කපද්දී, තරු වියන යට හේන් රකිද්දී, හපුතලේ කන්දට ගොනු කුර ගෙවෙද්දී, ඒ දිවි දුක මකා ගනු පිණිස අපේ ඇත්තෝ කවි ගෙතූහ. ඒ කවි මුඛ පරම්පරානුගත ජන ස‍්‍රැතියෙහි ලියූහ. අද ෆ්ලොරොසන්ට් එළියෙන් මිලාන වූ දෙනෙතින් යුතුව, සංස්ථාපිත දුක් බරින් පීඩිතව, වෙළඳ ලොවේ මෙගෆෝන් විලාපය සවනට රත් යවුල් ඔබද්දී, පරිගණක අසල චූලාසන මත නිරතුරු බගන්දිරා මල් අස්වනු නෙළන අපේ ඇත්තෝ තම ආතති, සරතස සිඳලනු පිණිස ඩිජිටල් කවි ගොතති.
ඒවා අද ලියවෙන්නේ නාග පාදයෙනි. සහෘද රස වින්දනය පිණිස ගලා යන්නේ අන්තර්ජාල නාලිකා ඔස්සේ විද්‍යුත් ලිපි පොරාතුකොළ ආධාරයෙනි. සයිබර් ජන ස‍්‍රැතිය නම් වන්නේ මෙය වේ.
දශකයක පමණ කාලයක් තිස්සේ ලක්වාසී මෙන්ම විප‍්‍රවාසී සිංහල කවි ලියන්නෝ අන්තර්ජාල සයිබර් ලෝකය තුළ තම සලකුණ තබමින් සිටියහ. සිංහල කවි එකමුතු සංහිතා ද, ඒක පුද්ගල කෘති ද වෙබ් අඩවි ලෙස පිබිද ආහ. ක්‍ෂණිකව දසත පැතිරෙන්නටත්, ක්‍ෂණිකවම ප‍්‍රතිචාර දක්වන්නටත් ඇති අපූරු හැකියාව නිසාම විද්‍යුත් ලිපි මගින් ද විශාල වශයෙන් සිංහල කවි හුවමාරු වෙමින් තිබිණ.
මේ සියලු ප‍්‍රපංචයන් එකට ගොනු කොට එක් ප‍්‍රවාහයකට හැරවීමේ ඓතිහාසික වූ යෝධ කාර්යභාරය මකුණන් හෙවත් බග්ස් ලා ගැන පමණක් එතෙක් ඇසුණු සයිබර් ලෝකයේ දී පැවරුණේ කුඩා කූඹියෙකුට වීම උත්ප‍්‍රාසය දනවන කාරණයකි. පැණි රසට කැමති කුහුඹුවානෝ ඒ ඕඝ ප‍්‍රවාහය "බූන්දි" ලෙස හැඳින්වූහ.
බූන්දිය රස ගුලාවකි. එහි එන කාව්‍යයේ ද ගද්‍ය රචනාවේ ද නව නළු රසයම ඇතුළත් වේ. සිඞ්නි වාසියාගේ සිට සියැටල් වාසියා දක්වා ද, දාසයේ ගැටයා ගේ සිට හැටහයේ වැඩිහිටියා දක්වා ද, අධ්‍යාපනය ලබන්නන් ගේ සිට ආචාර්යවරයා දක්වා ද, කවිකොලකාරයා ගේ සිට හයිකු රචකයා දක්වා ද, බෝම්බ බිය අමතක කර දින නොදැමූ මරණ සහතිකය අතැතිව බස්රියේ, දුම්රියේ සේවයට එන්නන් ගේ සිට සසර වසන තුරු ගීතය කණපිට හැරවූවන් දක්වා ද, විවිධ වූ මානයන් ගේ, විවිධ වූ මුහුණතෙහි සරන්නාවූ, විවිධ වූ චරිත රාශියක් එකම එක සයිබර් අහස් වියනක් යටට එකතු කරන්නට බූන්දිය සමත් වූ අයුරු නූතන මානව විද්‍යාව සහ තත්කාලීන ජන සාහිත්‍යය හදාරන්නන් ට කදිම කමටහනක් වනු ඇත.
බූන්දි කාව්‍ය සංග‍්‍රහය කියවන පෙදෙහි රස හව් හඳුනන්නෝ, සයිබර් අහස් වියන යට සිට කවි ලියන්නවුන් සයිබෝර්ග් ලා නොව හඬන, හිනැහෙන, රවන, ඉඟිමරණ, ඔරවන, ඔමරි කරන, ළතැවෙන, සැනසෙන, සුසුම්ලන, ඔකඳවන තවත් මිනිස් දූ පුතුන් සමූහයක් ම බව පසක් කරගනු ඇත.
රසික සූරියආරච්චි (2008)
අදට එපමණයි. කාලය හොයා ගත්තොත් සෙනසුරාදා නැවත කතන්දරයක් දාන්නම්!
-කතන්දරකාරයා
(image: http://www.boondi.lk/)
Tuesday, 5 February 2013
අහවල් ඉස්කෝලේ ටීචර් - In Her Majesty's Service
මගේ වැඩිහිටි පරම්පරාවේ රැකියා කළ බාප්පලා, මාමලා, නැන්දලා, පුංචි අම්මලා, ආච්චීලා, සීයලා අතුරෙන් අති බහුතරය ගුරුවරුන් ය.
මා දන්නා තරමින් මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුගේ පවුල්වල තත්වයද එලෙස වෙනු ඇත.
එයට හේතුව මා ලියූ මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් කියූවෙමි.
වසර දහනවයේ දී රජයේ උප ගුරුවරයෙකු ලෙස රැකියා කිරීම ඇරබූ මගේ පියා පසුව මරදානේ කාර්මික විද්‍යාලය, මීරීගම ගුරු විද්‍යාලය, විද්‍යෝදය විශ්ව විද්‍යාලය වැනි තැන්වලින් කප් ගැසූවද දිගටම ගුරු වෘත්තියේ රැඳී සිටියේ ය.
තම සේවා කාලය තුල ඔහු තලල්ලේ, කෑගල්ලේ, කලවානේ, බොල්ලතේ, කැන්දලියද්දපාළුවේ, බුළුගහගොඩේ පාසල් රාශියක සේවය කළ ද ඔහු සැමදා වෘත්තියෙන් රජයේ ගුරුවරයෙකු ළෙස හැඳින්විණි. ඔහු සේවය කළ පාසල එහිදී වැදගත් නොවීය.
පසු කළෙක සේවයෙන් විශ්‍රාම ගත් දින සිට ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු විය. මෙහිදී ද ඔහු සේවය කළ විවිධ පාසල් හෝ අවසාන වරට සේවය කළ පාසල අදාල නොවීය.
මා දන්නා හඳුණන පෙරකී සියළුම ගුරුවර ගුරුවරියන් පිළිබඳ තත්වයද එලෙස විය.
අද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දක්නට ලැබෙන පුද්ගලික වර්ගයේ පාසල් වල සේවය කරන ගුරුවරුන් හැරුණු කොට අන් සියළු ගුරුවරුන් මෙලෙස රජයේ සේවයේ නියුතු අය යැයි මම සිතා සිටියෙමි.
එය එළෙසම නොවන බව මට වැටහුනේ දැන් වසර කිහිපයකට පෙර දිනයක දන්නා හඳුණන අයෙකුගේ ඥාතියෙකු හඳුන්වා දුන් මොහොතේදීය.
"මේ අපේ රානි ඇන්ටි. රෝයල් එකේ රිටයර්ඩ් ටීචර් කෙනෙක්!" ඒ වයෝවෘද්ධ මාතාව මට හඳුන්වා දෙනු ලැබුවේ එලෙස ය.
අන් සියළු රජයේ පාසල් ගුරුවරුන්, රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගොස් රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් වන අතර අපේ රානි ඇන්ටි පමණක් රාජකීය සේවාවක යෙදී සිට අවසානයේ රාජකීය විශ්‍රාමයක් ලබමින් සිටින බව මට එදා වැටහිණි.
-කතන්දරකාරයා
(image: http://www.joe-ks.com/archives_jun2012/HerMajestysService.htm)
Sunday, 3 February 2013
සමලිංගික පරබල්ලා! - Homosexual Pariah dog
මේ ලියන්න යන්නේ කාට හෝ කරන බැනුමක් ගැන නම් නොවේ.
හොඳ සුද්ද සිංහලෙන් බණින විදිය ගැන ලියවුණු කතන්දරයක් බලන්න ඕනෑ නම් මෙන්න පාර.
http://kathandara.blogspot.com/2012/04/few-rarely-heard-sinhala-words.html
මේක බල්ලෙක් ගැන කතාවක්!
නිකං බල්ලෙක් ගැන කතාවක් නොවෙයි, ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන කතාවක්!!
නිකං ම නිකං ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන නොවෙයි, ඇමරිකාවේ ඉන්න සමලිංගික බල්ලෙක් ගැන කතාවක්!!!
මූ ඇමරිකාවේ හිටියට හොඳ බුල්ඩෝග් ක්‍රොස් බල්ලෙක්. කාලයක් තමන්ගේ අයිතිකාරයා ලඟ හොඳින් හිටියත් එක දවසක් මූ වෙනත් බල්ලෙක් ලඟ උරහිස් හකුලාගෙන නැට්ට පස්ස පැත්තේ ගහගෙන නිකං බාල්දු වෙච්ච විලාසයක් පෙනිලා තියෙනවා අයිතිකාරයාට.
අයිතිකාරයා හිතලා තියෙන්නේ මේ බල්ලා තවත් බල්ළෙක් ලඟ පීචං විදියට හැසීරීම සමලිංගික ලක්‍ෂණයක් කියලායි. ඉතිං ඊට පස්සේ ඌ මේ බල්ලාව අත දැරලා දාලා.
අන්තිමේදී මරණයට ගොදුරු වෙන්න නියමිතව හිටි මේ බල්ලාට දැන් අළුත් අයිතිකාරියක් ලැබිලා. ඒ විතරක් නොවෙයි, එල්ටන් කියලා අළුත් නමකුත් ලැබිලා.
මෙන්න මේ කේස් එක ගැන මං කියවපු පත්තර කෑල්ල.
වැඩි දුර විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/news/article-2271192/Dog-sentenced-death-gay-saved-minute--new-owner-calls-Elton.html
එල්ටන් ගේ මුල් අයිතිකාරයාට වැරදුණු තැන තමයි, බල්ලෙක් තව බල්ලෙක් ලඟ අසරණව හැසිරුණා කියන එක සමලිංගික ලක්‍ෂණයක් ය කියලා හිතීම.
ඕනෑ බල්ලෙක් දන්නවා ඒක ඇත්තටම බය පක්‍ෂපාතබව පෙන්නීමේ ලක්‍ෂණයක් බව.
හැබැයි සමලිංගික බල්ලොත් නැතුවම නොවෙයි.
බල්ලෝ විතරක් නොවෙයි ෆ්ලෙමින්ගෝස්ලා, බයිසන්ලා, බීට්ල්ස්ලා වගේ සත්ව වර්ග 450 ක් අතර සමලිංගික හැසිරීම් තියෙන බවයි ජීව විද්‍යාඥයෝ කියන්නේ.
ඇලස්කාවේ ඇල්බට්‍රොස් කියන පක්‍ෂී ජෝඩු අතරින් තුනෙන් එකක්ම ලෙස්බියන් ජෝඩු බව 2010 සමීක්‍ෂණයකින් හොයා ගත්තා ලු. සත්ව උද්‍යානවල ඉන්න පෙන්ගුයින්ලාගෙන් 20% ක් ම සමලිංගිකයි ලු!
හොමෝ-සෙපියන්ස් ලා අතර මේ තත්වය කොහොමද මන්දා?
මේ කතන්දරත් බලන්න.
1. අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව:
http://kathandara.blogspot.com/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html
2. සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන
http://kathandara.blogspot.com/2011/08/homosexuality-is-natural-tendency-dr.html
3. බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි
http://kathandara.blogspot.com/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html
-කතන්දරකාරයා
ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවකි!
(image: by KK)
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Friday, 1 February 2013
සීයලා පස් දෙනෙක් අංකල් ලා කාලේ ඡායාරූපයක් - Who's who of Sinhala literature
මේ පහත තියෙන්නේ මට ඊයේ පෙරේදා දවසක ඊ-මේල් එකකින් ලැබුණු ඡායාරූපයක්.
මේක මං හිතන්නේ අවුරුදු හතලිහකට විතර කලින් ගත්තු එකක් වෙන්න ඕනෑ.
මටයි තව මිතුරන් කීප දෙනෙකුටයි මේක එවපු මගේ මිතුරා මෙතන ඉන්න අංකල්ලා පස් දෙනා අඳුණා ගන්න කියලා පොඩි චැලේන්ජ් එකක් කළා.
මං තුමා ඒ ප්‍රහේලිකාවේ 60% ක්ම විසඳුවා.
මෙන්න ඒ ෆොටෝ එක. කියන්න පුළුවනිද බලන්න මේ පස්දෙනා කවුද කියලා.
මෙන්න පොඩි ඉඟි කීපයක්.
1. මේ පස් දෙනාම සිංහල සාහිත්‍ය කලාවේ බල කණු.
2. තුන් දෙනෙක් කවියෝ.
3. තුන් දෙනෙක් නවකතාකාරයෝ.
4. දෙන්නෙක් නාට්‍යකාරයෝ.
5. තුන් දෙනෙක් යුනිවසිටිකාරයෝ.
6. එක් කෙනෙක් දැන් මැරිලා ටික දවසක් වෙනවා.
7. තවත් එක් කෙනෙක් අදහස් අතින් මැරිලා ගොඩ දවසක් වෙනවා.
මේ පස් දෙනා කවුද?
-කතන්දරකාරයා
ප/ලි:
කමෙන්ටු පසුව පලකරනු ලැබේ!
Subscribe to:
Posts (Atom)