Sunday 29 April 2012

එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක් - One seed and two fruits


දැන් අවුරුදු දහයකටත් එහා කාලෙක මං දවසක් කවි කීපයක් කුරුටු ගෑවා. ටිකක් පද ගැලපිලා එනකොට මේක නිකං සින්දුවක පදවැලක් වගේ සෙට් වෙලා ආවා.

ඔහොම තවත් කාලයක් ගියාට පස්සේ මං අතින් ඔයවගේ සින්දු අච්චුවේ කවි දහයක් දෙලහක් විතර ලියවුණාය කියමුකෝ. ඒ දවස්වල ඊ-කොමර්ස් වගේ කතා නැගලා යන හින්දා මට හිතුණා මේ රචනා ටික වෙබ් එකේ දැම්මොත් නවක ගායක ගායිකා කෂ්ටියගෙන් පොඩි පහේ ඉල්ලුමක් එන්න ඉඩ තියෙනවා නේද කියලා.

මගේ පලමු බ්ලොග් එක බිහිවුනේ ඒ විදියටයි.

ඒ මුල්ම ගීතයේ පදවැල මෙන්න මෙහෙමයි ලියවුනේ.

ඉස්සර දවසක
ලස්සන සවසක
අත්වැල් බැඳ ගෙන අප දෙන්නා
මහවැලි ඉවුරේ
නන්දන උයනේ
මතකයි හෙමිහිට පිය මැන්නා

හන්තානේ කඳු
පිසගෙන සුසිනිඳු
සීතල පිණි පොද හමාගියා
සිත සන්සුන් කල
හද කුල්මත් කල
සුන්දර ගී හඬ ගලා ගියා

නාදළු පහසක
මල් පෙති රහසක
රස පිරි සමයයි ගෙවී ගියේ
කොළොම් පුරවරේ
ගිනිදැල් අතරේ
තාමත් ඒ සුව මතක තියේ


ඔය පදමාලාව මගේ අහවල් බ්ලොග් එකේ තියෙනවා දැකලා ඒකට හිත ගිය පේරාදෙනියේ ඊ-ෆැක් එකේ හිටපු ශිෂ්‍යාවක් වන ධම්මිකා දේවසුරේන්ද්‍ර දැන් අවුරුද්දකට විතර කලින් ඒක ගායනා කළ බව මං කලින් කියලා තියෙනවානේ.

ඔය සින්දුව හැදෙන අතරේ ඉතාලියේ ඉඳලා ලාංකිකයෙක් මගෙන් ඔය සින්දුව කියන්න අවසර ඉල්ලලා ඊ-මේල් එකක් එව්වා.

පොර කාලෙකට කලින් පේරාදෙනිය, කටුගස්තොට පලාත්වල වැඩ කරලා තියෙන හින්දා තමයි මේ පදමාලාවට කැමතිවෙලා තිබුනේ.

එකම පදමාලාවක් සින්දු දෙකකට දෙන සිරිතක් නෑනේ. ඉතිං මං කළේ, ඒ අදහසම මෙන්න මේ විදියට වෙනස් වචනවලින් ලියලා ඉතාලියේ හිටපු ලෝලිත විජේසිංහට යවපු එකයි.

මතකයි මට තව ඉස්සර දවසක
මහවැලි ඉවුරේ අපි දෙන්නා
ආසිරි මල් සිරිපොද වැසි මැද්දේ
අත්වැල් බැඳගෙන පියමැන්නා

හන්තානේ සෙවනැලි සිපගෙන ආ
සීතල මදනල හමන වෙලේ
මතකයි තුරුලුව උණුසුම් වූ හැටි
මැයි ගස් සෙවනේ හවස් කලේ

දුරු රට සීතල හිම කැටි අතරේ
ගත උණුසුම අද ඇතිය සිඳී
සොඳුරු මතකයේ පාළුව විතරයි
හදවත උණුසුම නැතිය රැඳී


මෙන්න ලෝලිත තමන්ම සංගීත නිර්මාණය කරලා ගයපු ගීතයේ ඇම් පී ත්‍රී එකක්. මෙතනින් අහන්න.


මෙතනින් බාගන්න.
http://www.divshare.com/download/17533084-238

අද මේ සින්දු දෙකම අහපු මට හිතුනේ එකම සිතක ඉපදුණු එකම අදහසකින් කොච්චර වෙනස් ප්‍රථිපල දෙකක් ලැබෙන්න පුළුවන්ද කියන එකයි.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මේ ගැන ලියන්නේ ඒ ඇතිවුණු හැඟීම ඔහේලාත් එක්ක බෙදාගන්නයි.

-කතන්දරකාරයා

ප/ලි:
ධම්මිකා නෝනා නං බටහිර බලවේග රටක සුවෙන් ඉන්නවා. ඉතාලියේ හිටිය ලෝලිත මහතාගෙන් නම් දැන් සෑහෙන කාලෙකින් ආරංචියක් නෑ.

(image: http://www.illustrationsource.com/)

24 comments:

  1. ආදර්ශය: මහවැලි ඉවුරේ අත්වැල් බැඳගෙන සක්මන් කරන්ට.

    කවි හා ගී සිතුවිලි පහලවේ. එමෙන්ම ගායක, ගායිකාවෝද පහල වෙති.:D:D:D

    ප/ලි

    ලෝලිතගේ සිංදුව නම් load වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කන්ද උඩරට කුමාරිහාමිලා මහවැලි ගඟ දැකලා කියලා ඇති නොවැ?
      වැව ඉවුරෙත් ඇවිදලා ඇති!

      Delete
  2. ගීත දෙකම ඇහුවා .. මම වැඩිය කැමති ධම්මිකාගේ ගීතයට . ලස්සන පද වැල්.

    ReplyDelete
  3. PUTHA MEWATA KIYANNE PELALI KAI KIYALAI. MAMA DANA WIDIYATA.------U N C L E ------

    ReplyDelete
    Replies
    1. අංකල් ට ඉතිං ඉගෙන ගන්න වෙනවා අළුතින්.

      හොඳට පලන්න මේවා හොඳට එලිසමය සහිතව ලියපු පද දෙකේ කවි. ඒ විතරක් නෙමේ පද මැද්දේත් ශබ්ද රසය එන විදියට මාත්‍රා කඩලයි තියෙන්නේ.

      මේ කතාව අංකල් කියන්නේ එලිසමය සහිත සිව්පද කවි ගැන හිතලා වෙන්න ඕනෑ.

      අනේ අංකල් බලන්නකෝ මෙන්ණ මේක එහෙනං.
      http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html

      Delete
    2. මෙන්න අංකල් කැමතිවෙන ආකෘතියේ තවත් කවි.

      1. කටුබැද්දේ සැවුළු අන්දරය
      http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

      2. කතන්දරකාරයා ගේ දෙව්ලෝ ගමන
      http://kathandara.blogspot.com/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html

      කියවලා ඒ ඒ තැන්වල අදහස් දක්වන්නේ නම් ස්තුතිවන්ත වෙමි.

      Delete
  4. ෂහ්!!! නියමයි කවියයි සින්දුවයි 2ම.

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවොත් හතරක් නේ!

      Delete
  5. ආවේ බලන්නට මෙහි ඇතියයි කතන්දර
    ලියා තිබෙන්නේ ගීයකි ඔබ් අරුත්බර

    ReplyDelete
    Replies
    1. වදනක් දෙකක් එකිනෙක හා එකතු කර
      කවියක් ලියන්නට හැක ඔබටත් මිතුර

      Delete
  6. හෑ ..... නන්දන උයන තියෙන්නේ කොහෙද ?

    ReplyDelete
    Replies
    1. නන්දන උයන තියෙන්නේ පේරාදෙනිය යුනිවසිටියේ ඇතුලේ මහවැලි ගඟ අයිනේයි.

      You never never know, if you never never go!

      Delete
    2. නන්දන උයන තියෙන්නේ තව්තිසා දිව්‍යලෝකේ කියලයි පොත පතේ සඳහන් වෙන්නේ. නමුත් පේරා ගිය එවුන් දන්නවා මුළු පේරා Uni එක ම නන්දන උයන වගේ කියල.. :P

      Delete
  7. තවම ගීත දෙකාන්ම් ඇහුවේ නෑ ඒ වුනාට මම වැඩියෙන්ම කැමති පලවෙනි පද මාලාවට තමා


    ඉස්සර දවසක
    ලස්සන සවසක
    අත්වැල් බැඳ ගෙන අප දෙන්නා
    මහවැලි ඉවුරේ
    නන්දන උයනේ
    මතකයි හෙමිහිට පිය මැන්නා

    ReplyDelete
  8. ඔයා ඉතිං නමටම හරියන්න කවි ගැන දන්නවා ඇතිනේ?

    ReplyDelete
  9. සිංදු දෙකම ලස්සනයි.. ඒත් මට නම් වැඩියෙන් හිත ගියේ ලෝලිත මහත්මයා කියන එකට..

    ReplyDelete
  10. කතන්දර ගීත රචකයෙකුත් වෙච්චි... :D :D

    ReplyDelete
  11. කකාගෙ තවත් පැත්තක්! ++++++++++++++++

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මලා...! ඕක හදිස්සියට කියවුනේ වෙනත් විදිහකට...! :D

      Delete
    2. කකා පැත්තක් ගියත් ඇත්ත කියනවා!

      Delete
  12. සිංන්දුව ඇහුවා.....බොහොම අපූරුයි. තවත් අපූරුයි වයලින් සැට් එකකිනුයි, තබ්ලා කුට්ටමකිනුයි, බටනලා කෑල්ලකිනුයි මියුසික් දුන්නා නම් ....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ දෙවෙනි සින්දුවේ මියුසික් computer generated!

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.